කඹුරුපිටියේ නිවස සෙවූ ගාල​්ලේ උපන් දරුවෙක්


පෙරභවයේ ප්‍රබල සාක්කි   

පෙරභවයේදී පාසල් සිසුවකු ලෙස ජීවත්ව සිටි බැව් හෙළිකරන දරුවෙක් ගාල්ලේදී උපත ලැබීය. ඔහු පවසන පරිදි පෙරභවයේ මව පිළිකාවක් සැදී මරණයට පත්වී ඇත. පියාගේ නම චාමි රණවීර බැව් පවසන එම දරුවා කඹුරුපිටියේ දෙමහල් නිවසක් ඔවුන්ට තිබූ බැව්ද හෙළි කරයි. චාමි යනුවෙන් නමක් ශ්‍රවණය වීමෙන් පසු තම පියාගේ නමත් එය බැව් එම දරුවා පවසා ඇත්තේ වයස අවුරුදු තුනේදීය.   

ගාල්ලේ බැංකු නිලධාරියකු සිය බිරිය සමඟ මෝටර් බයිසිකලයකින් යමින් සිටි​ෙය්ය. ඔවුන් ගමන් කළ සයිකලය බස් රථයක ගැටුණි. බිරියට තුවාල සිදුවී සිහිසුන් වූවාය. ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර දිගු කලක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.  

රෝහලේදී දැන හැඳිනගත් අය අතර චාමි යනුවෙන් නම සඳහන් ආයතනයක අයෙක්ද විය. සුවපත් වී නිවසට පැමිණි ඇය රෝහලේදී ඇයට උදව් උපකාර කළ අය පිළිබඳව සැමියා සමඟ ඇතැම්විට කතා බහ කිරීම සිරිතවී තිබිණි.  


දිනක් සැමියා සමඟ කතා බහ කරමින් සිටි බිරිය ඇයව රෝහලේදී උදව් උපකාර කළ අය සිහිපත් කරන විටදී චාමි නම ප්‍රකාශ කළාය. ඒ වන විට ඔවුන්ගේ තෙවැනි දරුවාට වයස අවුරුදු තුනක් පමණ වී තිබිණි. මව අනාවරණය කළ ‘‘චාමි’’ නම ශ්‍රවණය වූ දරුවා එක් වරම මව ඇමතුවේය.  


‘‘ඒ නම තමයි අපේ තාත්තට තිබුණේ තාත්තට කිව්වෙ ‘‘චාමි රණවීර’’ කියල. යැයි දරුවා පැවසීය. දරුවාගේ මෙම ප්‍රකාශය මවට අදහාගත නොහැකි විය.  


‘‘ඒ තාත්තා කොහේද ඉන්නේ?’’ යයි මව තම පුතුට ප්‍රශ්නයක් මතු කළාය. ඇයට පිළිතුරු වශයෙන් පෙරභවය හෙළි කළ දරුවා.  


‘‘අපේ එ් ගෙදර හරි ලස්සනයි. බිත්තිවල කහ පාට ගාල තිබුණා. අපි හිටියෙ කඹුරුපිටියෙ යයි පැවසීය. අනතුරුව පෙරභවයේ ජීවිත තොරතුරු අනාවරණය කරන්නට විය. පෙර භවයේදී සොහොයුරියන් දෙදෙනෙක් සිටි බවත් පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටි බවත් දරුවා මතකයෙන් හෙළි කළේය.  


පෙරභවයේ මව පිළිබඳ අනාවරණයක යෙදුණු දරුවා පැවසුවේ.  


‘‘අපේ ඉස්සර අම්මට පිළිකාවක් හැඳුණා. ඒ පිළිකාවෙන් අම්ම මැරුණා. අම්මා සුදුයි. ලස්සනයි. ඒත් එයාගෙ මුහුණෙ ගෙඩි හැදිල තිබුණා.’’ යනුවෙනි.  


තම පුත්‍රයා ‘‘පිළිකාවක්’’ යන වදන ප්‍රකාශ කිරීම ගැන දෙමාපියෝ පුදුමයට පත් වූහ. ඒ වන විට නිවසේදී කිසිවිටෙක පිළිකා යන වදන කතාබහට ඇතුළත් වී නොතිබිණ. එම වදන දරුවා ප්‍රකාශ කරන්නේ පෙරභව මතකයෙන් බැව් දෙමාපියන්ට පැහැදිලි විය.  


‘‘අම්මා මැරුණට පස්සෙ මාව බලාගන්න කෙනෙක් හිටියා.’’ යැයිද ඔහු වරෙක අනාවරණය කළේය. ඔහු පවසා ඇත්තේ පාසල් ගිය ගමන් දැන් නිවසට පැමිණි බවකි. සිදුවූ අනතුරක් හෝ මරණය සිදුවීමක් පිළිබඳව ඔහුගෙන් අනාවරණ නොවීය. මෙම දරුවා පිළිබඳව විමර්ශනයක් කිරීමට පසුගිය දිනෙක අපට අවස්ථාව ලැබිණ. එහිදී එම දරුවාගේ මව හෙළි කළ තොරතුරු ඒ අයුරින්ම මෙසේය.  

 

‘‘පුතා ඉප​ෙදන කොට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. බහ තෝරන වියට පත්වීමට ප්‍රථම එයාට හදිසියේ උණ හැදුණා. එම රෝගයෙන් සිහිසුන් වන තත්ත්වයක් උදාවී තිබුණ. වෛද්‍ය ප්‍රතිකාරවලින් එයාට සුවය ලැබුණා. එම සිදුවීමෙන් වසරකට පසුව තමයි පෙරභවය පිළිබඳව හෙළි කිරීම ආරම්භ කළේ. පුංචි කාලෙ ඉඳලම එයාට තරමක් කේන්ති යන තත්ත්වයක් තිබුණා. එයාට හැම දෙයක්ම හරි පිළිවෙළට තියෙන්න ඕනෑ.

 


‘‘පුතා ඉප​ෙදන කොට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. බහ තෝරන වියට පත්වීමට ප්‍රථම එයාට හදිසියේ උණ රෝගයක් හැදුණා. එම රෝගයෙන් සිහිසුන් වන තත්ත්වයක් උදා වී තිබුණ. වෛද්‍ය ප්‍රතිකාරවලින් එයාට සුවය ලැබුණා. එම සිදුවීමෙන් වසරකට පසුව තමයි පෙරාභවය පිළිබඳව හෙළි කිරීම ආරම්භ කළේ. පුංචි කාලෙ ඉඳලම එයාට තරමක් කේන්ති යන තත්ත්වයක් තිබුණා. එයාට හැම දෙයක්ම හරි පිළිවෙළට තියෙන්නේ ඕනෑ. යයි මව පැවසුවාය.  


‘‘පුත්‍රයා පෙරභවය ආරම්භ කිරීම සිදුවූයේ කෙසේද?’’ යැයි අපි විමසීමක් කළෙමු එයට මව දුන් පිළිතුරත් මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඒ අයුරින්ම මෙසේය.  


ප්‍රශ්නය- ඔබේ පුත්‍රයා පෙරභවය ගැන හෙළි කළේ වයස කීයෙදීද?  


පිළිතුර- එයාට එතකොට අවුරුදු තුනක් විතර ඇති.  


ප්‍රශ්නය- පුතා ඉපදුණේ කොහේද?  


පිළිතුර- ගාල්ලෙදී  


ප්‍රශ්නය- පෙරභවය ගැන ප්‍රකාශ කළ මුල්ම වදන කුමක්ද?  


පිළිතුර- ඒක සිදුවුණේ හරිම පුදුම විදියට. මම අනතුරකට පත්වෙලා රෝහල් ගතවෙලා හිටියා. රෝහලේදී මට උදව් කළ අයෙක් ‘‘චාමි’’ කියන නම සඳහන් සමාගමක සේවය කළා. මම ගෙදර ඇවිත් ඒ අය ගැන සැමියා සමඟ කිව්වා. ඒ අවස්ථාවේ එ් නම කතාවෙනව පුතාට ඇහිලා. ඒ නම තමයි අපේ තාත්තටත් තිබුණේ කියලා කිව්වා.   


ප්‍රශ්නය- ඒ නම කුමක්ද?  


පිළිතුර-චාමි කියල විතරයි මම කිව්වේ.   


ප්‍රශ්නය: පුතා හෙළි කරපු නම මොකක්ද? 

 
පිළිතුර: චාමි රණවීර   


ප්‍රශ්නය: එවිට ඔබ ඒ ගැන විමසුවාද?  


පිළිතුර: ඔව් තාත්තාගෙ නම කිව්වම එයා කො​හේද කියලා මම ඇසුවා. 

 
ප්‍රශ්නය: පුතා එවිට කිව්වේ කුමක්ද? 

 
පිළිතුර: කඹුරුපිටියෙ කිව්වා. 

 
ප්‍රශ්නය: කඹුරුපිටිය ගැන ගෙදර කතාවෙලා තිබුණද?   


පිළිතුර: නෑ. අපි කඹුරුපිටිය කියන ගම ගැන කතා කරල නෑ. 

 
ප්‍රශ්නය: එවිට ඔබ සිතුවේ කුමක්ද?   


පිළිතුර: පුතා එහෙම කියන්නෙ පෙර භවයක් ගැනද? කියල අපි සැක කළා. ඒ සමගම එයා අම්මා ගැනත් කීවා.   


ප්‍රශ්නය: අම්මා ගැන කීවේ කුමක්ද?   


පිළිතුර: අම්මා ලස්සන කෙනක් කීවා. එයා මැරුණේ පිළිකාවකින් බැව් කීවා.   


ප්‍රශ්නය: අම්මගෙ හැඩරුව ගැන කිව්වාද?   


පිළිතුර: ඔව්. එය කීවෙන් පුදුම විදියට මුහුණේ ගැටිති තිබුණ අපේ නෑකෙනෙක් හිටියා. එයාගෙ වගේ මුණෙ ගෙඩි තියෙන බව කීවා.   


ප්‍රශ්නය: පියාගේ හෝ මවගේ රැකියා ගැන කීවාද?  


පිළිතුර: නෑ.   


ප්‍රශ්නය: ඔවුන් සිටි නිවස ගැන කීවාද?  


පිළිතුර: ඔව්. තට්ටු දෙකේ ගෙයක් කීවා.   


ප්‍රශ්නය: වෙනත් තොරතුරු හෙළි කළාද?  


පිළිතුර: කාරයක් තිබුණ බැව් කීවා.   


ප්‍රශ්නය: මැරුණ හැටි ප්‍රකාශ කළාද? 


පිළිතුර: නෑ.   


ප්‍රශ්නය: ඔබ ඒ ගැන විමසුවාද?   


පිළිතුර: ඔව්. මෙහෙ ආවේ කොහොමද කියල ප්‍රශ්න කළා.   


ප්‍රශ්නය: එවිට ඔහු කීවේ කුමක්ද? 

 
පිළිතුර: පාසල් ගිය ගමන් මෙහි ආවා කීවා.   


ප්‍රශ්නය: පාසලේ නම කීවාද?  


පිළිතුර: නෑ.   


ප්‍රශ්නය: දරුවා හෙළි කළ පෙරභව තොරතුරු සොයා බැලීමක් කළාද?  


පිළිතුර: පුතා කුඩා අවදියේ නිසා ඒ ගැන සොයන්න අපි එතරම් උත්සාහයක් ගත්තේ නෑ. පුතා තවත් පුදුම තොරතුරු කීවා.   


ප්‍රශ්නය: ඒ මොනවාද?   


පිළිතුර: එයා දකින දර්ශනයක් ගැන කීවා. මළ සිරුරක් පෙට්ටියක දමා තිබෙන දර්ශනයක් ඔහුට පෙනෙන බැව් කීවා.   


මෙම දරුවා හෙළිකර ඇති දර්ශනය ගැන ඔහුගෙන් විමසීමටද අපට අවස්ථාව ලැබිණි. මළ සිරුරක් බහා ඇති පෙට්ටියක් අසළ ඔහු හිඳගෙන සිටින අයුරු මනසින් දක්නට ලැබෙන බැව් ඔහු අප සමගද අනාවරණය කළේය.   
මෙම තොරතුරු හෙළි කළ දරුවා අද තරුණ වියට පා තබා තිබේ. පෙරභවයේ නිවස පිහිටා ඇති ආකාරය මනසට දැනෙන අයුරු චිත්‍රයකට ඇඳ පෙන්වීමටද ඔහුට හැකි විය.   


සෑම අඳින ලද චිත්‍රය දෙමහල් නිවසකි. වම් පසින් වීදුරු ජනේලයක් ඇඳ ඇත. පියා මව සහ ඔහු නිවසේ සිටින අයුරු එහි චිත්‍රයට නගා තිබේ.  


මෙම දරුවා කුඩා කල සිට අනාවරණය කළ පෙර භවය පිළිබඳව විමර්ශනයක් කිරීමට දෙමාපියෝ කැමැත්තක් දක්වති. මෙම තොරතුරුවලට සමාන කිසියම් පවුලක් හෝ පුද්ගලයන් පිළිබඳ සොයා ගැනීමට හැකි වුවහොත් මෙම කරුණ පර්​ෙ‌ය්ෂණයකට ලක් කිරීමට අවස්ථාව තිබේ.

 

 

 


 
තිස්ස ජයවර්ධන