කම්සා මැරූ ක්‍රිෂ්ණට ප්‍රහාරයක්


භාරත දේව සභාව

 

 

ක්‍රිෂ්ණ විසින් කම්සා මරාදමනු ලැබිණි.  


මෙයින් අතිශය කැලඹීමට පත් වූවන් අතර කම්සාගේ බිරින්දෑවරුන් සේම ඔහුගේ මාමන්ඩියද සිටියේය.  


කම්සාගේ බිරින්දෑවරුන් වූ අස්ති සහ ප්‍රාප්ති යනු මගධයේ රජකළ ජරසන්ධගේ දියණිවරුන්ය.  


තම දියණිවරුන් වැන්දඹුවන් බවට පත් කිරීම නිසා ජරසන්ධ, ක්‍රිෂ්ණ කෙරෙහි කෝපයෙන් පසු වූ අතර, තම රාජ්‍යයේ සිටි හමුද‌ාවත් පිරිවරාගෙන මථුර නගරය වැටලුවේය. එහෙත් ක්‍රිෂ්ණගේ හමුද‌ාව බෙහෙවින් ශක්තිමත් වූයෙන් ඒ සටනින් ජයගැනීමට ජරසන්ධ අපොහොසත් විය.


  
වැන්දඹුවන් වීමෙන් තවමත් කඳුළු සලන තම දියණියන් දකින මොහොතක් මොහොතක් පාසා ජරසන්ධ​ෙග් හිත, ක්‍රිෂ්ණ කෙරෙහි කෝපයෙන් ඇවිලුණේය. ඒ හැම වරෙකම තම හමුද‌ාව රැගෙන මථුර පුරයට යන ජරසන්ධ ක්‍රිෂ්ණට ප්‍රහාරයක් එල්ල කළේය. වරක් දෙකක් නොව දහ අට වතාවක්ම ඔහු මේ අයුරින් මථුර රාජ්‍යයට පහර දුන්නේය. එහෙත් ඒ හැම වතාවේම තම බල සෙනඟගෙන් විශාල පිරිසක් අහිමි කරගෙන ආපසු එන්නට ජරසන්ධට සිදුවිය.   


‘‘කොහොම හරි ක්‍රිෂ්ණයට පාඩමක් උගන්වන්නම ඕනෑ’’  


ජරසන්ධ තමන්ටම කියා ගත්තේය.  


මේ වැඩේ මට තනියම කරන්න බැහැ. තව හමුද‌ාවක් අරගෙන ගිහින් මථුරයට දෙපැත්තතෙන් පහර දෙන්න ඕනෑ. එතකොට ක්‍රිෂ්ණට කරගන්න දෙයක් නැතුව යාවි’’  


ජරසන්ධ, ඉනික්බිතිව හමුවූයේ කාලයවන නම් වූ තම මිතුරු රජුය. බොහෝ තෑගි බෝගද රැගෙන කාලයාවන මුණ ගැහුනු, ජරසන්ධ ඔහුගෙන් යුධ සහාය ඉල්ලා සිටියේය.  


මඳ වේලාවක් කල්පනා කළ කාලයාවන, තම බලගතු හමුද‌ාවෙන් සේනාංකයක් ජරසන්ධට දුන්නේය.  


ජරසන්ධ අපමණ ප්‍රීතියට පත්විය. මේ වතාවේ නම් මම මථුරය විනාශ කරල ක්‍රිෂ්ණව පණපිටින් අල්ලා ගන්නවා.  


රාජ සභාවේදී පුරසාරම් දෙඩූ ජරසන්ධ, මථුරය ආක්‍රමණය කිරීමට පිටත් විය. කාලයාවන රජුගේ බලසෙනඟ එක පැත්තකිනුත් තම බල සෙනඟ තවත් පැත්තකිනුත් මථුරයට ඇතුළු කරවූ ඔහු දැවැන්ත ප්‍රහාරය ආරම්භ කළේය.  


ක්‍රිෂ්ණ සහ බාලරාම වහාම තම ජනතාව ද්වාරකා රාජ්‍යයෙන් පිටමං කළහ. තම බලගතු හමුද‌ාව මථුර නුවර පුරා ස්ථාන ගත කරවූ ක්‍රිෂ්ණ, සතුරු ප්‍රහාරයට අභීතව මුහුණ දෙන්නට සියළු සැලසුම් පිළියෙළ කළේය. ඔහු තම මිතුරු රජ වූ මුචුකුන්ද හමුවිය.  


මුචුකුන්ද මට ඔබේ සහාය අවශ්‍ය වී තිබෙනවා. මේ මොහොතේ ජරසන්ධගේ දැවැන්ත හමුදාවක් කාලයාවනගේ හමුද‌ාවත් එක්ව මථුරය අක්‍රමණය කරලා’’  


ජරසන්ධ, මථුරය ආක්‍රමණය කිරීමට දීර්ඝ ඉතිහාසයක් තියෙනව නේද?  


මුචුකුන්ද සිනාවකින් විමසුවේය.  


‘‘ඔව් මං හිතන්නෙ, මේ දහ අට වැනි වතාව’’ ඉකුත් හැම වරම ඔහු පැරදී පලාගිය නමුත් මෙවර ඔහු කාලයාවනගේ පිහිටත් ලබාගෙන මේ වන විට දෙපැත්තකින් මථුරයට ප්‍රහාර එල්ල වෙනවා’’  


‘‘හ්ම් එසේ නම් මම මගේ බල සෙනඟත් රැගෙන කාලයාවනට ප්‍රහාරයක් එල්ල කරන්නම්’’  


‘‘ස්තූතියි එසේ නම් මට ජරසන්දට මුහුණ දීමට පහසු වේවි.  


මුචුකුන්ද තමන්ගේ ප්‍රභලම සේනාංකයත් රැගෙන කාලයාවනගේ හමුද‌ා සේනාංකය ඉදිරියට ගියේය. කාලයාවනට හා ඔහුගේ හමුද‌ාවට ප්‍රබල ප්‍රහාර කීපයක්ම එල්ල කර ඔවුන් අන්ද මන්ද කරන්නට මුචුකුන්ද සමත්විය.  
‘‘කාලයාවනගේ බලසෙනග හතර වටින් වට කරනු’’  


මුචුකුන්ද තම හමුද‌ාවට අණ කළේය. කාලයාවනට එල්ල වූයේ ඔහු නොසිතූ විරූ ප්‍රහාරයකි. අනුන්ගේ උදව්වට පැමිණ තමන්ට සිදු වූ අකරතැබ්බය ගැන කම්පිතව සිටි කාලයාවනගේ හමුද‌ාව, මුචුකුන්ද වටකළේ, කාලයාවනට කරකියා ගන්නට කිසිවක්ම ඉතිරි නොකරමිනි.  


ඉනික්බිති එල්ල වූ ප්‍රබල ප්‍රහාරයෙන් කාලයාවන ඇතුළු ඔහුගේ බල සෙනග සමූල ඝාතනයට ලක් විණි.  


‘‘මම හරි කාලයාවන ඇතුළුව මුළු හමුදාවම සමූල ඝාතනයට ලක්වුණා.’’   


මුචුකුන්ද, ක්‍රිෂ්ණට පණිවිඩ පිටත් කළේය.  


ඒ පණිවිඩය ලැබීමත් සමඟ ක්‍රිෂ්ණ ප්‍රීතියට පත්විය.  


එහෙත් ඔහුට මෙවර සටන් කරන්නට සිදුව ඇත්තේ වඩාත් බලවත් හමුද‌ාවක් සමගය. ජරසන්ධ මෙවර ගෙනැවිත් ඇත්තේ අතිශය බලසම්පන්න හමුද‌ාවකි. ඔහුගේ ප්‍රහාරය අන් කවරද‌ාටත් වඩා බලවත්ය.  


එහෙත් දැන් කාලයාවනගේ පැත්තෙන් එල්ල වූ ප්‍රහාරය අවසාන බැවින් මුචුකුන්ද ගේ හමුද‌ාවද ජරසන්ධට එරෙහිව යෙදවිය යුතුයැයි ක්‍රිෂ්ණ කල්පනා කළේය.   


ජරසන්ධා සමඟ සටන් කරමින් සිටි ක්‍රිෂ්ණ සහ බාලරාම උන්හිටිගමන් සටන් බිමෙන් පලා ගියහ.  


ජරසන්ධා එදෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ මිතුරා වූ කාලයාවන ගේ ඉරණම ගැනද කිසිවක්ම දැන නොසිටි ඔහු ක්‍රිෂ්ණ සහ බලාරාම සටන් බිමෙන් පැන දිව්වේ ඇයි දැයි කල්පනා කළේය.  


ජරසන්ධා ඔවුන් පසුපස ලුහුබැඳීම ඇරඹුවේය.  


ක්‍රිෂ්ණ සහ බලාරාම දිවගියේ ප්‍රාවාසනා කඳුකරය වෙතය. නිබඳ වැසිවැටෙන වැහිබර කඳු හිසක් වූ ප්‍රාවාසනා කඳුමුදුන කරා ක්‍රිෂ්ණ සහ බලාරාම දිවයද්දී, ජරසන්ධා හිතුවේ, මේ කන්දට ගිනි තබා ක්‍රිෂ්ණ සහ බලාරාම ඒ ගින්නට මැදි කරන්නටය.  


‘‘ගිනි තබනු’’  


ජරසන්ධා ඔහුගේ හමුද‌ාවට පැවසුවේය.  


ඒ සමඟම ප්‍රාවාසනා කන්ද වටකර ගත් පිරිස එම කන්ද එකම ගිනි ගොඩක් බවට පත් කළේය.  


බුර බුරා ඇවිලෙන ගින්දර නිසා ප්‍රාවාසනා කඳු ශිකරය පෙනුණේ විදාරණය වන ගිනිකන්දක් ලෙසිනි.  


‘‘ක්‍රිෂ්ණවයි බලාරාමටයි පලායන්න බැහැ. නොවැරැදීම ඒ අය ගින්නට අසුවේවි.   


ජරසන්ධා ප්‍රීතියෙන් පැවසුවේය ඔහු ආපසු තම රාජධානියට ගියේ තම බෑනා මැරූ පළිය ක්‍රිෂ්නගෙන් ගත්තේයැයි සතුටෙනි.  


එහෙත් ක්‍රිෂ්ණ සහ බාලාරාම ප්‍රාවාසන කන්ද වෙලාගත් ගිනිජාලාවට ගොදුරු වුණේ නැත. ප්‍රාවාසනා කන්ද ගිනි ජාලාවට ගොදුරු වෙද්දීම කඳුමුදුනේ සිට මයිල එකසිය හතලිහක් තරම් ඈත දුරකට පැනගත් ඔවුහු ද්වාරකා අගනගරය බලා දුවන්නට පටන්ගත්හ. ද්වාරකා අගනගරය වූ කලී හැම අතින්ම ආරක්ෂිත පුරවරයකි. ජරසන්ධාට වුව ද්වාරකාවට පහරදෙන්නට පුළුවන්කමක් නැති බව ක්‍රිෂ්ණ විශ්වාස කළේය.  


ද්වාරක පුරවරයට ගිය දෙසොහොයුරන්ට අපූරු කන්දක් දක්නට ලැබිණි. රධිවතක නම් වූ ඒ කඳු ශිඛරයේ අලංකාරය දුටුවිට ක්‍රිෂ්ණට සහ බාලාරාමට ආසා හිතුණි. ඔවුහු ඒ කඳු පාමුලට ගියහ.  


රූබර යුවතියක හා වියපත් මිනිසෙක් ඒ කඳු පාමුල සිටිනු ක්‍රිෂ්ණ දුටුවේය.  


ඒ මහල්ලා සාමාන්‍ය මිනිසකු නොවන බව ඔහු පැළඳ සිටි රන් අභරණවලින් ක්‍රිෂ්ණ තේරුම් ගත්තේය.  


‘‘එයා රජකෙනෙක් විය යුතුයි’’   


ක්‍රිෂ්ණ මිමිනුවේය.  


එහෙත් මේ මහල්ලා කවරෙක්දැයි හරියටම වටහාගනු පිණිස ඔහු කව්දැයි ඔහුගෙන්ම විමසිය යුතුය.  


‘ඔබ කව්ද?’’  


ඒ වනවිටත් බාලාරාම බලාසිටියේ අර රූබර යුවතිය දෙසය.  


‘‘මගේ නම කකුදිවි. සමහරු මට කියන්නේ රේවත කියලා.’’  


මහල්ලා පිළිතුරු දුන්නේය. එහෙත් ඔහුගේ කතා විලාශය අතීත භාෂාවකට නෑකම් කීවේය.   


මම කුසස්තායි රාජධානියේ හිටපු රජ්ජුරුවෝ’’  


මහල්ලා තව දුරටත් පැවසුවේය.  


බාලාරාම සහ ක්‍රිෂ්ණ මහල්ලා දෙස බැලුවේ විමතියෙනි.  


‘‘කුසස්තායි’’  


මේ වචන විශ්වාස කරන්නේ කෙසේදැයි ක්‍රිෂ්ණ කල්පනා කළේය.  


‘‘ඔව්’’  


අර සුන්දර යුවතිය ප්‍රථම වතාවට කතා කළාය.  


ඇගේ ගීතවත් ස්වරය අසා සිටීමේ ලෝබකම බාලාරාමට දැනිණි.  


‘‘මම තමයි ඒ රාජධානියෙ, කුමාරිකාව’’  


ක්‍රිෂ්ණ සහ බාලාරාම එකිනෙකා දෙස බලා සිටියේ මේ මහල්ලා සහ යුවතිය තේරුම් ගැනීමේ අපහසුවෙනි.  


‘‘මට ඔබව තේරුම්ගන්න බැහැ කුමරිය’’  


ක්‍රිෂ්ණ කීවේ පුංචි කරගත් දෙනෙතින් යුවතිය දෙස බලමිනි.  


‘කුසස්තායි නැමති රාජධානියක් ගැන අප අහල තියෙන්නෙ යාම්තමට. එය ඉතිහාසයේ සැඟවී ගිය රාජ්‍යයක්’’ ඒ විතරක් නෙවී අද ඒ කුසස්තායි රාජධානිය මතුපිට ද්වාරවතී නමින් රාජධානියක් ඉදිකෙරිලත් ඉවරයි’’  
ක්‍රිෂ්ණ අර සුන්දර යුවතියට පැවසුවේය   


‘‘ඔබ, ඔබ ගැන අපට කියන්නෙ නැත්තෙ ඇයි රජතුමනි’’  


ක්‍රිෂණ මහල්ලාගෙන් ඇසුවේය.  


‘‘මම ඔබට කිව්වා මම තමයි කුසස්තායි රාජධානියෙ රජු’’  


මහල්ලා පැවසුවේය.  


‘‘මම දැන් සොයමින් සිටින්නේ මගේ දියණියට ගැලපෙන සහකාර​ෙයක්’’  


ක්‍රිෂ්ණ සහ බාලාරාම කතා නැතුව මහලු රජු දෙස බලා සිටියෝය.  


‘‘මම පොළොවෙත් දේවලෝකයෙහිත් සුදුසු තරුණයෙක් හෙව්වා. ඒත් මට සුදුස්සෙක් හමුවුණේ නැහැ. අන්තිමට මම බ්‍රහ්ම ලෝකෙටත් ගියා’’  


‘බ්‍රහ්ම ලෝකෙට?’’  


ක්‍රිෂ්ණ මිමිනුවේය.  


‘‘එතකොට ඔබ සත්‍යලෝක මැදුරටද ගියේ.’’  


‘‘ඔව් අපි සත්‍යාලෝකෙට යනවිට බ්‍රහ්ම සංගීතය රසවිඳිනවා. ගාන්ධර්වයන් සංගීත භාණ්ඩ වාදනය කළා. අප්සරාවො නර්තන ඉදිරිපත් කළා. මම පැයක් විතර සංගීතය රස වින්ඳා’’  


‘පැයක්?’  


‘‘ඔව් පැයක්. බ්‍රහ්ම ලෝකයෙ පැයක් කියන්නෙ අපේ පොළවේ අවුරුදු ගණනාවක්. මම ආපහු සත්‍යාලෝකයෙන් එනකොට අපේ පොළවෙ මං අඳුනන කිසිකෙනෙක් හිටියෙ නැහැ. හැමෝම මිය ගිහින්. වෙන එකක් තියා මගේ රාජ්‍යය තිබුණෙත් නැහැ.’’


ක්‍රිෂ්ණ සහ බාලාරාම, මහලු රජු දෙස බලා සිටියේ කටවල් විවර කරගෙනය. ඔහුගේ බ්‍රහ්ම ලෝකයේ චාරිකාව ඒ තරමටම විචිත්‍ර එකක් වූ නිසාය.  


‘‘ඉතින් ඔබ, ඔබේ ගැටළුව ගැන බ්‍රහ්ම සමඟ කතා කළේ නැද්ද?’’  


ක්‍රිෂ්ණ ඇසුවේය.  


‘‘කිව්වා, එතකොට බ්‍රහ්ම උතුමානන් මට වෙනින් කතාවක් කිව්වා’’  


‘‘ඒ මොකක්ද?’’  


‘චක්සුස් මානි රජ්ජුරුවන්ගෙ කතාව’’  


‘‘ඒ මොකටද?’’  


ක්‍රිෂ්ණ සහ බාලාරාම එකවිටම විමසූහ.  


එහෙත් මහලු රජු ඔහු කියාගෙන ගිය කතාව ඔහේ කියාගෙන ගියේය.  


‘‘චක්සුස් මානි කියන්නෙ පොළොව පාලනය කළ බලගතු රජකෙනෙක්. ඔහුට සිටියා බොහොම ලස්සන දියණියක්. ඇය ජන්මය ලැබුවේ ගින්නෙන් මේ දියණිය වැඩිලා ලොකු මහත්වුණාට පස්සෙ ඇයට විවාහ වීමට සුදුස්සෙක් රජ්ජුරුවො හෙව්වාලු. නමුත් ඔහු පොළොවේ රජකළ බල සම්පන්න රජ කෙනෙක් වුණු නිසා ඔහු දියණියට හෙව්වෙත් ලෝකෙ ඉන්න බලසම්පන්නම තැනැත්තා’’   


‘‘ඒ කව්ද?’’  


කතාවේ කුතුහලය නිසාම බාලාරාම විමසුවේය.   


‘‘ඉතින් මේ රජු මුලින්ම ගියේ ඉන්ද්‍ර ළඟට. ඉන්ද්‍ර කිව්වා ඔහුට වැඩියෙන් වායු බලසම්පන්න බව. ඊට පස්සෙ රජ්ජුරුවො වායු ළඟට ගියා. වායු කිව්වා ඔහුට වඩා පෘථිවි දෙවියො බලසම්පන්නයි කියලා.’’  


බාලාරාමටත් ක්‍රිෂ්ණටත් මේ මහලු රජුගේ කතාව මෙතැනට අද‌ාල වන්නේ කෙසේදැයි සිතාගත නොහැකි විය. එහෙත් මහලු රජු ඔහු කියාගෙන ගිය බ්‍රහ්ම විසින් කියාදෙනු ලැබූ, කතාව තවදුරටත් කියාගෙන ගියේය.  
‘පෘථිවි දෙවියො එතකොට රජ්ජුරුවන්ට කිව්වෙ, මට වඩා බලවත් ශේෂා ඔහු හිස් දහසක් ඇති යෝධ සර්පයෙක්. ඔහු තමයි මෙලොව ඉන්න බලවතා. ඒ නිසා ඔබේ දියණියට සුදුසුම සහකරුවා ශේෂායි කියලා. ඉතින් රජ්ජුරුවන්​ෙග් දියණිය ඔහුට විවාහකරල දීලද?’’  


බාලාරාම ඇසුවේය.  


‘‘ඔව් ඒ සිද්ධිය වෙලා තියෙන්නෙ මීට යුග විසි හතකට කලින්. අන්න ඒ රජ්ජුරුවන්ගෙ දියණිය ජෝතිස්මතී තමයි. මේ ඉන්න මගේ දියණිය ජෝතිස්මතීගෙ සහකාරයා වුණු ශේෂා, ඇයට හමුවේවි. ආපහු ඔබේ රාජධානියට ගිහින් රයිවා තැන කඳු පාමුල මට රැඳී ඉන්න කියලා බ්‍රහ්ම කිව්වා. ශේෂාගේ වර්තමාන ජන්මය මේ කඳුපාමුල දී අපට හමුවෙයි කියා.’’  


බාලාරාම අර යුවතිය දෙස බලා සිනාසුනේය. යුවතිය ද දෑසින් ඉඟිමරා බාලාරාම දෙස බැලුවාය.  


ඔවුන්ගේ විවාහය නොබෝ දිනකින්ම සිදුවිය.  

 

 

 


ශාන්ත කුමාර විතාන