කම්බාය බිම එළා එළවළු විකිණූ කොළඹ එළවළු පොළ


 

 

  • එදා කොළඹ එළවළු විකිණූ වැඩි පිරිස කාන්තාවන්   

 

 

දඹුල්ල, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආරම්භවීමට ප්‍රථම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එන එළවළු තොග, බස්නාහිර පළාතේ පමණක් නොව වෙනත් බොහෝ ප්‍රදේශවල සිල්ලර වෙළෙඳුන් වෙත ලැබුණේ ‘මැනිං මාර්කට්’ හි තොග වෙළෙඳපොළ හරහාය.   


එක් දහස් නවසිය අසූ දෙකේ මැයි මාසයේ මැනිං මාර්කට් භූමියේ එළවළු තොග වෙළෙඳ පොළ ආරම්භ වුවත්, කොළඹ එළවළු පොළ ඉතිහාසය බොහෝ ඈත අතීතයට දිව යන්නකි.   


ලන්දේසි පාලන සමයේ කොළඹ එළවළු පොළ ප්‍රථමයෙන්ම පවත්වාගෙන ගියේ පළමුවන හරස් වීදියේය. එවකට එය ප්‍රකට වූයේ ‘මාර්කට් වීදිය’ නමිනි. එම අවධියේ මාළු වෙළෙඳපොළ පැවැතියේ මල්වත්ත පාරේය. ඒ වනවිට එම ප්‍රදේශය ජනාවාස වීම හේතුවෙන් එය එතැනින් ඉවතට ගෙන යෑමට එවකට පාලකයන්ට අවශ්‍ය විය. එම නිසා මල්වත්ත පාරේ පිහිටි මාළු වෙළෙඳපොළ 1893 දී ගෑස්පහ හන්දියට සමීප, ශාන්ත ජෝන් පාරේ තැනකට ගෙන එන ලද අතර එය ‘සාන්ත ජෝන්ගේ මාළු කඩය’ යනුවෙන් ප්‍රකට විය.   
එම කාලයේම අලුත් කඩේ හල්ෆ්ඩෝෆ් කන්ද ආරම්භවන ස්ථානයේ අලුත් එළවළු අලෙවි පොළ පිහිටුවන ලදී. සමහරු පවසන්නේ හල්ෆ්​ඩෝෆ් ප්‍රදේශය ‘අලුත් කඩේ’ යනුවෙන් හඳුන්වන්නට වූයේද මෙම අලුත් එළවළු වෙළෙඳපොළ පිහිටුවීම නිසාය.   


කොළඹ පිහිටු වූ පළමුවන ක්‍රීඩා භූමිය වන ප්‍රයිස්පාක් උද්‍යානය ආසන්නයේ පිහිටු වූ මෙම වෙළෙඳපොළ වැඩි දෙනා හැඳින්වූයේ ‘කච්චේරි පාරේ එළවළු කඩය’, නැතිනම් ‘ගෑස් පහ එළවළු කඩය’ යනුවෙනි.   


එකල මෙම කච්චේරි පාරේ එළවළු කඩයෙහි වැඩිපුර වෙළෙඳාමේ යෙදුණේ කාන්තාවන්ය.   


කම්බා දෙකකින් සහ සුදු අත්දිග බෝරිච්චි හැට්ටවලින් සැරසුණ මෙම කාන්තාවෝ ගම්වලින් එළවළු එකතුකර කූඩවල අසුරාගෙන, කරත්තවලින් අග නගරයට රැගෙන ආහ. මෙලෙස පැමිණෙන කාන්තාවන් හිස රැඳි කූඩය බිම තබා, එක කම්බායක් ගලවා මාර්කට්ටු භූමියෙහි එලයි. එම කම්බාය එළු තැන එදින වෙළෙඳාමේ අයිතිය හිමිවන්නෙ කම්බාය අයිති කාන්තාවන්ටය.   


මුල් කාලයේ කොළඹ නගරයේ, එළවළු වෙළෙඳාමෙහි පිරිමින් යෙදුයේ සීමිත වශයෙනි. ඔවුන්ගේ හිසේ බැඳි පට ලේන්සුව එළු ස්ථානයේ අයිතිය එදින එම තැනැත්තාට හිමිවෙයි.   
මුල් කාලයේ එළවළු මාර්කට්ටුවෙහි තරාදි පඩි භාවිතයක් තිබී නැත. එළවළු අලෙවි වූයේ කරල් හෝ ගෙඩි වශයෙනි. පතෝල කරලක්, පුහුල් ගෙඩියක් වශයෙන් මිල නියම කෙරුණි. බෝංචි, අමු මිරිස් අලෙවි වූයේද කරල් ගණනටය. බෝංචි කරල් පනහක්, අමු මිරිස් කරල් විසි පහක් ලෙස ඒවා අලෙවි විය. අල වර්ග, රතු ලූනු, ගොරක ආදිය අලෙවි වූයේ ගොඩවල් ලෙසටය.   


කාලයක් යන විට එළවළු වෙළෙන්දියන්ද, එළවළු කූඩද කොළඹ මාර්කැට්ටුවෙන් ඉවත් වෙන්නට වූ අතර එම හිස් තැන් පිරවුණේ, දකුණේ මාතර වැනි ප්‍රදේශවලින් පැමිණි තරුණ වෙළෙඳුන්ගෙනි.   


එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අවසානය වනවිට කච්චේරිය පාර එළවළු වෙළෙඳ පොළේ කඩ බක්කි තුන්සිය එකක් විය. ඩේවිඩ් වික්‍රමරත්න, ඩබ්ලිව්.ඩී. පවුලිස් අප්පුහාමි, ජේ.ඩී. මාටින් සිංඤෝ, ටී.ඒ. මුණවීර, පී.ඩී. කරුණාරත්න එවකට එම වෙළෙඳපොළේ ඉතාමත් ප්‍රකට එළවළු වෙළෙන්දෝ වූහ. ඩේවිඩ් වික්‍රමරත්න එවකට ත්‍රිවිධ හමුදාවට එළවළු සැපයූ තොග වෙළෙන්දා විය.   


එක්දහස් නවසිය හැත්තෑ හතේදී බලයට පත්වූ නව රජයේ පළාත් පාලන ඇමැති ආර්. ප්‍රේමදාසට, කච්චේරි පාරේ එළවළු මාර්කට්ටුව වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමට අවශ්‍ය විය.   


ඒ අනුව ඔහු මැනිං මාර්කට්හි ඇති ගොඩනැගිලිවල තම වෙළෙඳා​ෙමහි කටයුතු ආරම්භ කරන ලෙස වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කළේය. ‘මැනිං මාර්කට්’ යනුවෙන් ප්‍රකට මෙම ගොඩනැගිලි සමූහය සීනි ගබඩාකිරීම සඳහා ඉදිවූයේ ආනයනික සීනි ගබඩා කිරීම සඳහාය. ඒ 1918 සැප්තැම්බර් 11 දින සිට මෙරට ආණ්ඩුකාර ධුරයට පත් හෙන්රි විලියම් මැනිංගේ සමයේදීය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සමීපයෙන් පිහිටුවීම නිසා සීනි දුම්රියෙන් ප්‍රවාහනය පහසු කටයුත්තක් විය.   
මැනිං වෙළෙඳ පොළට, එළවළු වෙළෙන්දන් එනවිට අඳුරු ගුහා වැනි මෙම ගබඩා සමූහයේ සීනි රහට ලොව බැඳගත් මී මැස්සන් එහි රොද බැඳ සිටි බව පැරැණි වෙළෙන්දෝ පවසති.   


කච්චේරිය පාරේ එළවළු පොළෙහි කඩ බක්කි තුන්සිය එක මැනිං මාර්කට්හිදී එක්දහස් අනූ එක දක්වා ඉහළ නැංගේය. අගමැති ආර්. ප්‍රේමදාස භාරයේ පැවැති, සෙවණ ලොතරැයිය, රුපියල් විසිපන්දහසක අලෙවිකර දුන් අයට අලුතෙන් කඩ බක්කි ලැබුණි.   


එවකට කොළඹ නගරාධිපති සිරිසේන කුරේද තම දේශපාලන හිතවතුන්ට සැලකීම සඳහා කඩබක්කි තුන්සිය එකක් ලබාදුන් අතර එනිසා කඩ බක්කි ප්‍රමාණය තවත් ඉහළ නැංගේය.   


කොළඹ මහ නගර සභාවට අයිති අක්කර තුනහමාරක් පමණ වන මෙම භූමියේ ගුදම් අටක එක්දහස් එකසියයකට ආසන්න වෙළෙඳසල් පිහිටා ඇත. එයට අමතරව ගුදම්වල අගුවලද අසූවකට ආසන්න පිරිසක් වෙළෙඳාමෙහි යෙදෙති.   


මැනිං මාර්කට්හි වෙළෙඳාම සඳහා වාර්ෂික අවසර පත්‍රයක් ගත යුතුය. එය එක් ලක්ෂ තිස්දාහේ සිට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වෙයි. එය මාසිකව ගෙවිය හැක.   
සාමාන්‍යයෙන් දිනකට, එළවළු ලොරි දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් එළවළු වෙළෙඳපොළට එයි.   
බහුලව එළවළු වගා කරන ප්‍රදේශවල එළවළු එකතු කරන ලොරි නියෝජිතයෝ සිටිති.   
ගොවීහු තමන්ගේ එළවළු කිරා, ගෝනිවල අසුරා ‘විලාසම’ ගසා ලිපියක්ද සමඟ ලොරි නියෝජිතයාට භාරදෙති. ලිපිය ලියන්නෙ තමන්ගේ එළවළු විකිණීමට සඳහා එවන මැනිං මාර්කට්හි වෙළෙන්දා වෙතය.   


‘අද දින ලොරියේ කිලෝ දෙසිය පනහක, බෝංචි ගෝනි දහයක් ඇත. ඒවා සතුටින් භාරගෙන මිලකර දන්වා එවන්න’ ලිපියේ සඳහන් වෙන්නේ එවැන්නකි.   
‘විලාසම’ යනු එළවළු ගෝනියක් ලැබිය යුතු ලිපිනයයි. එහි වෙළෙන්දාගේ නම්වල මුල් අකුරු සහ කඩයෙහි අංකය සඳහන් වෙයි. නිමල් හෙට්ටිආරච්චිගේ කඩය අංකය 257 වෙයි. ඔහුට එවන එළවළු ගෝනිවල සටහන් කරන විලාසම 'NH 257' ය.   


මෙලෙස එක ලොරියක එළවළු ගෝනි සියයකට වැඩි ප්‍රමාණයක් පැටවෙයි. ගොවියාගෙන් එළවළු භාරගන්නා නියෝජිතයා පිටපත් දෙකකින් යුක්තවූ ‘වේ බිලක්’ (Way bill) පිළියෙල කරයි. එහි එක් එක් ගොවියකු යවන ගෝනි හෝ පෙට්ටි ප්‍රමාණය, යවන අය, ලබන අය, එම කිලෝ ගණන සහ ලොරි කුලිය සටහන්ව තිබේ. 

 
මෙලෙස මැනිං වෙළෙඳ පොළට, එළවළු තොග ගෙන එන ලොරියකට, එම එළවළු කෙළින්ම වෙළෙඳුන්ට භාරදීමට නොහැක. එම එළවළු ලොරිවල, එළවළු භාර ගැනීම සඳහා එක එක පළාත අනුව මැනිං වෙළෙඳ පොළෙහි නියෝජිතයින් ඇත. මොවුන් ‘ලයින් ඕනර්’ යනුවෙන් හඳුන්වනු ලැබේ.   


එළවළු ලොරිවල ‘වේ බිල’, ගොවීන් එවූ ලියුම් සමග මුළු ලොරියෙහි වගකීම ‘ලයින් ඕනර්ට’ පවරනු ලැබේ. එයට පසු ලොරියෙහි කටයුතු සිදුවන්නේ ‘ලයින් ඕනර්ගේ’ අධීක්ෂණය යටතේය.   


මෙම කටයුතු සිදුවන්නේ පාන්දර එකට පමණය. ඒ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එළවළු තොග මැනිං වෙළෙඳපොළට එන වෙලාවය.   


මෙලෙස මැනිං වෙළෙඳපොළට එළවළු රැගෙන එන ලොරියකට ‘නාටාමි’ කෙනෙකු සහ ‘පෙරළුම් කාරයකු’ පත්කරනු ලැබේ. ‘පෙරළුම්කාරයා’ එළවළු ගෝනියේ විලාසම කියවා, එළවළු ගෝනිය ගෙන යා යුතු කඩයේ අංකය නාටාමියට පවසා, එළවළු ගෝනිය නාටාමිගේ කරට ගැනීමට සහාය වෙයි. නාටාමි එක ගෝනියක් කඩයට දැමූ විට, එහි අයිතිකරු එක් ටෝකන් එකක් නාටාමිට දෙයි. නාටාමි එය පෙරළුම්කාරයාට දෙයි. ලොරියේ සියලුම එළවළු බා අවසානයේ පෙරළුම්කරු එම ටෝකන් ‘ලයින් ඕනර්’ට භාරදෙයි. ‘වේ බිල’ සහ ටෝකන් ගණන අනුව එළවළු ගෝනි සියල්ලම නිසි පරිදි වෙළෙඳුන් වෙත ගිය බව මෙයින් ලයින් ඕනර් දැන ගනී.   


පසුව ‘ලයින් ඕනර්’ ‘වේ බිල’ අනුව එක් එක් වෙළෙඳුන්ගෙන් ප්‍රවාහන ගාස්තු අයකර ගනී. මුළු ලොරියේම ප්‍රවාහන ගාස්තු රුපියල් දොළොස් දාහක් එකතුවූ යැයි සිතමු. එහිදී ලයින් ඕනර් තමන්ගේ සේවා ගාස්තුව වශයෙන් සියයට පහක මුදලක් එනම් රුපියල් හය සියයක මුදලක් අයකරගෙන ඉතිරි මුදල ලොරියේ රියැදුරු වෙත භාරදෙයි.   


මැනිං මාර්කට්හි එළවළු වෙළෙඳුන් එදින පවතින මිල ගණන් අනුව එළවළු විකුණා එම මුදලින් සියයට දහයක කොමිස් මුදල් වශයෙන් අයකරගෙන, ප්‍රවාහන ගාස්තු ගෙවූ ගණන පිළිබඳ බිලක්ද සහිතව නියමිත මුදල් ගොවියා වෙත ලොරියේම යවනු ලැබේ. නැතිනම් බැංකුගත කරනු ලැබේ.   


මැනිං වෙළෙඳපොළෙහි එළවළු මිල නියම වන්නේ ඉල්ලුම සහ සැපයුම අනුවය. මිරිස් ගෝනි සියයක් දිනකට වෙළෙඳාමට අවශ්‍ය නම්, මාර්කට් එකට ලැබුණේ මිරිස් ගෝනි පනහක් නම් මිරිස් මිල ඉබේම ඉහළ යයි. මාර්කට් එකට එළවළු වැඩියෙන් ලැබී, ඒවා මිලට ගැනීමට ගැනුම්කරුවන් අඩුනම් එළවළු මිල ඉබේම පහළ යයි.   


මැනිං මාර්කට් හි නාටාමිවරුන් කීප වර්ගයක් ඇත. ලයින් ඕනර්ලා යටතේ ලොරියෙන් එළවළු කඩයට, එළවළු ගෙන යන නාටාමිවරුන් වෙනත් කටයුත්තක් එනම් එළවළු කඩයෙන් මිලදී ගන්නා එළවළු වෙනත් ලොරියකට පටවන්නේ නැත.   


එළවළු කඩවලින් සිල්ලර වෙළෙඳුන් මිලදී ගන්නා එළවළු පැටවීමට වෙනම නාටාමි පිරිසක් ඇත. එයට අමතරව තුන්වන, හතරවන, හරස්වීදිවල ලූනු අල ගෙනියන ලොරිවලට බඩු පටවන වෙන වෙනම නාටාමි පිරිස් ඇත.

 

 

පීටර් කැනියුට් පෙරේරා