කප්පම් ගත් කොස්තාපල්


පොලිස් 
චෝදනාගාරයෙන්
 

පොලිස් හැඳුනුම්පත පෙන්වා තමා මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් හඳුන්වා දෙමින් දුම්වැටි දැල්වීමට ගින්දර ලබා දීමේ චෝදනාවට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රාගම හෝටල් හා වෙළෙඳසල්වලින් කප්පම් ලබාගැනීමේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් සැකකරුවකු රාගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණ. 

සැකකාර කොස්තාපල් කොටුව පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු වන අතර අනිත් පුද්ගලයා කොටුව පොලිසිය ස්ථාපිත කර තිබෙන ගොඩනැගිල්ලේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන්නෙකි. 


සැකකරුවන් එක් දිනක් තුළ මෙම කප්පම් මුදල් හෝටල් හා වෙළෙඳසල් 3කින් ලබාගෙන ඇති අතර රාගම දී හඳුනාගත් පුද්ගලයා යොදවා ඔහු ලවා වෙළෙඳසල් හා හෝටල්වලින් දුම්වැටි දල්වාගෙන, කොස්තාපල් එම වැරැද්ද වෙනුවෙන් වෙළෙඳසල් හා හෝටල් හිමියන්ට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රුපියල් 25,000, 15,000, 7000, වශයෙන් කප්පම් ලබාගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 
සැකකරුට එරෙහිව සිද්ධියට අදාළ පැමිණිලි 3ක් රාගම පොලිසිය වෙත ලැබී ඇති අතර ඒවා සියල්ල ලැබී ඇත්තේ ඉකුත් 25 වැනිදාය. 


සිද්ධිය වූ ඉකුත් 25 වැනිද‌ා මෙම කොස්තාපල් තැන රාත්‍රී රාජකාරි සඳහා සූදානමින් සිටි අතරේ පෙරවරුවේ සිය හිතවතා සමඟ දුම්රියෙන් රාගමට ගොස් ඇත. 


අනතුරුව රාගම කොළඹ බස් නැවතුම්පොළ ආසන්නයේ හෝටලයකින් උදේ ආහාර ගනිමින් සිටින අතරේ එම වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු දුම්වැටියක් මිලදී ගෙන ඒ සඳහා හෝටලේ මුදල් අයකැමිව සිටි හිමිකාරියගෙන් ගිනිපෙට්ටිය ඉල්ලා එම දුම්වැටිය දල්වාගෙන ඇත. 


එම හෝටලේ ආහාර ගනිමින් සිටි පොලිස් කොස්තාපල්වරයා එය දැක මිතුරා සමඟ එම හෝටල් හිමිකාරිය වෙත ගොස් පොලිස් හැඳුනුම්පත පෙන්වා “මම මිරිහාන යුනිට් එකේ. කොහොමද එහෙම සිගරට් පත්තු කරන්නේ? නීතිය දන්නේ නැද්ද? මේක ලොකු වැරැද්දක්. මම ඇරස්ට් කරලා උසාවි දානවා” යැයි හිමිකාරිය වෙත බැණවැදී ලොකු රඟපෑමක් කර තිබුණි. 


ඉන් නොනැවතුණ ඔවුන් “යං අපිත් එක්ක මිරිහානට” කියා ඇය අත්අඩංගුවට ගන්නා මට්ටමින්ම ඇයට බැණ වැදී තර්ජනය කර ඇත. 


“ඔයා දන්නවාද වරද? ගින්දර දුන්න කෙනාව සාක්කිකාරයෙක් කරලා ඔයාව උසාවි දානවා. ඔයා ලොකු වරදක් කරලා තියෙන්නේ” යැයි හෝටල් හිමිකාරියට මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමට ගොඩින් බේරා ගැනීමට මුදල් ඉල්ලන නොඉල්ලන මට්ටමින් නොයෙක් ආකාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. 


සිද්ධියෙන් බියට පත් එම කාන්තාව “එහෙම කරන්න එපා සර්. මම කීයක් හරි දෙන්නම්. මේ කඩේ කුලියට කරගෙන යන්නේ. කීයක් ඕනැද?” යන්න විමසා ඇති අතර සැකකරු ඇගෙන් රුපියල් 25,000ක මුදලක් ඉල්ලා ඇති බව කියති. 


“අනේ සර්, උදේ පාන්දර එච්චර සල්ලි තාම එකතුවෙලා නැහැ. සර් 01.00 ට විතර එන්න මම රුපියල් 15,000ක් විතර ලෑස්ති කරලා තියන්නම්. මේ දවස්වල සල්ලි අමාරුයි අපිට. සර්ට මාව විශ්වාස නැතිනම් මගේ පාස්පෝට් එක අරගෙන යන්න. මෙන්න පාස්පෝට් එක” යැයි ඇය විදේශ ගමන් බලපත්‍රය ඇපයක් වශයෙන් සැකකාර පොලිස් කොස්තාපල්ට දී ඇත. 


ඒ අනුව සැකකරු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදල් ලබාගන්නා තෙක් ඇපයක් ලෙස ලබාගෙන එම හෝටලයෙන් පිටව යන්නේ මුදල් ලබාගැනීමට නැවත පස්වරු 01.00 ට පැමිණෙන බලාපොරොත්තුවෙනි. 
මෙම ක්‍රියාව අතිසාර්ථක බවට හැඟී ගිය කොස්තාපල්වරයා, කිසිදු වෙහෙස වීමකින් තොරව මුදල් සොයා ගැනීමට මෙය පහසු ක්‍රමයක් බවට තීරණය කළ අතර මෙමගින් විශාල මුදලක් දිනකට උපයා ගත හැකි බවට සිතාගෙන මෙම රඟපෑම දිගටම කිරීමට තීරණ කළේය. 

 

 

පෙර හෝටලයේ දී දුම්වැටියක් මිලදී ගෙන ගින්දර පත්තු කළ පුද්ගලයා පසුපස හඹා ගොස් ඔහු සමඟ හිතවත් වී ඔහු ඉත්තා කරමින් මෙම ක්‍රියාව දිගටම සිදුකරගෙන යාමට සැලසුම් කරගෙන ඇති අතර ඒ සඳහා එම පුද්ගලයාගේ ද කැමැත්ත ලබාගෙන ඇත. 


ඒ වෙනුවෙන් ඔහුට යම් මුදලක් ලබා දීමට ද පොලිස් කොස්තාපල් එකඟ වී තිබුණි. 


සියල්ල කතා කරගත් පරිදි මෙම ක්‍රියාව එක දිගට සිදුකිරීමට එකඟ වී ඇති සැකකරුවන් එදිනම දෙවැනි අවස්ථාවේ තවත් වෙළෙඳසලක් වෙත යාමට සැලසුම් කළහ. 


මෙලෙස පොලිස් කොස්තාපල් විසින් දෙන උපදෙස් මත මෙම පුද්ගලයා තවත් වෙළෙඳසලක් වෙත ගමන් ගත්තේය. 

 

රාගම කොළඹ බස් නැවතුම්පොළ ආසන්නයේ හෝටලයකින් උදේ ආහාර ගනිමින් සිටින අතරේ එම වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු දුම්වැටියක් මිලදී ගෙන ඒ සඳහා හෝටලේ මුදල් අයකැමිව සිටි හිමිකාරියගෙන් ගිනිපෙට්ටිය ඉල්ලා එම දුම්වැටිය දල්වාගෙන ඇත. 


එම හෝටලේ ආහාර ගනිමින් සිටි පොලිස් කොස්තාපල්වරයා එය දැක මිතුරා සමඟ එම හෝටල් හිමිකාරිය වෙත ගොස් පොලිස් හැඳුනුම්පත පෙන්වා “මම මිරිහාන යුනිට් එකේ. කොහොමද එහෙම සිගරට් පත්තු කරන්නේ? නීතිය දන්නේ නැද්ද? මේක ලොකු වැරැද්දක්. මම ඇරස්ට් කරලා උසාවි දානවා” යැයි හිමිකාරිය වෙත බැණවැදී ලොකු රඟපෑමක් කර තිබුණි. 


ඉන් නොනැවතුණ ඔවුන් “යං අපිත් එක්ක මිරිහානට” කියා ඇය අත්අඩංගුවට ගන්නා මට්ටමින්ම ඇයට බැණ වැදී තර්ජනය කර ඇත. 


“ඔයා දන්නවාද වරද? ගින්දර දුන්න කෙනාව සාක්කිකාරයෙක් කරලා ඔයාව උසාවි දානවා. ඔයා ලොකු වරදක් කරලා තියෙන්නේ” යැයි හෝටල් හිමිකාරියට මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමට ගොඩින් බේරා ගැනීමට මුදල් ඉල්ලන නොඉල්ලන මට්ටමින් නොයෙක් ආකාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

 

එසේ ගොස් පෙර සේම දුම්වැටියක් මීලදී ගෙන  එම වෙළෙඳසලේ හිමිකරුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලා ඉන් දුම්වැටිය දල්වාගත්තේය. 


එම අවස්ථාව් දී එම වෙළෙඳසලේ සිටි කොස්තාපල් සහ ඔහුගේ මිතුරා පෙර සේම එම වෙළෙඳසල් හිමියා වෙත ගොස් පොලිස් හැඳුනුම්පත පෙන්වා ඔහු කළ වැරැද්ද කියා දුන්නේය. 


පෙර හෝටලයේ රඟපෑ භූමිකාව ඔහු දෙවැනි වරට රඟපා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට එහි වෙළෙඳසල් හිමියාගෙන් රුපියල් 15,000ක මුදලක් ලබා ගත්තේය. 


ඉන් නොනැවතුණ සැකකරුවන් එදින තෙවැනි වරටත් තවත් වෙළෙඳසලක් වෙත ගොස් එම භූමිකාවම රඟපා ඇති අතර එම වෙළෙඳසලේ හිමිකරු ද මොවුන්ට බිය වී රුපියල් 7000ක මුදල් ලබා දී තිබුණි. 


මෙම සිද්ධියට මුල් අවස්ථාවේ මුහුණ දුන් කාන්තාව විසින් සැකකරුවන්ගේ තෙවැනි ගොදුර බවට පත්ව රුපියල් 7000ක මුදලක් ලබාදුන් වෙළෙඳසල් හිමියාට දැනුම් දී තිබේ. 


එම පොලිස් නිලධාරීන් රුපියල් 15,000ක මුදල් ලබාදීමට එකඟ වූ බවත් එම මුදල ලබා ගැනීමට සැකකරුවන් පස්වරු 01.00ට එම වෙළෙඳසැලට පැමිණෙන බව ද පවසා ඇත. 


එවිට වෙළෙඳසල් හිමියා ද තමන් මීට මඳ වෙලාවකට පෙර එවන් වූ සිද්ධියකට මුහුණ දුන් බවත් පොලිස් කොස්තාපල්ට ඒ මොහොතේ රුපියල් 7000ක මුදල් ලබා දී බේරුණ බව කියා ඇත


මෙම සිද්ධිය එකම හැඩහුරුකම් ඇති පිරිසක් සිදුකර ඇති බවත් තමන් වංචාවකට හසුව ඇති බවටත් ඔවුහු සැක කළෝය. 


එම වෙළෙඳසල් හිමියා ඔහුගේ හිතවත් වෙළෙඳසල් හිමියකු වෙත සිද්ධිය දැනුම්දුන් අතර එම වෙළෙඳසල් හිමියා ද සැකකරුවන්ට ඒ ආකාරයෙන් රැවටී ඇති බවත් ඔහු ද සැකකරුවන්ට රුපියල් 15,000ක මුදල් ලබා දුන් බවත් පවසා ඇත. 


තමන් විශාල රැවටීමකට හසුව ඇති බවත් මෙම ක්‍රියාව එකම කල්ලියක් විසින් සිදුකරන බවත් මොවුහු තේරුම් ගත්හ. 


මුල්ම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගෙන් සැකකරුවන් මුදල් ලබා ගැනීමට පස්වරු 01.00 ට පැමිණෙන බවට ලැබුණ දැනුම් දීම අනුව සෙසු වෙළෙඳ සල් හිමියන් දෙදෙනාම එම හෝටලය වෙත ගියේ මේ සිද්ධිය එකම කල්ලියක් විසින් සිදු කරන ලද්දක් ද යන්න නිවැරදිව හඳුනාගැනීමටය. 


පස්වරු 01.00 ට පෙර එම වෙළෙඳසල් හිමියෝ දෙදෙනා හෝටලය වෙත ගොස් ඒ තුළ රැඳී සිටියහ. 


හරියටම පස්වරු 01.00ට සැකකාර කොස්තාපල් සහ ඔහුගේ මිතුරා පෙර හෝටලය වෙත පැමිණ මුදල් ඉල්ලා සිටියහ. 


හෝටලයේ සිටි වෙළෙඳසල් හිමියන් දෙදෙනා තමන්ගෙන් මුදල් ලබා ගත්තේ ද මොවුන් බවට හඳුනා ගත්හ. 


සැකකරුවන් අල්ලා පොලිසියට භාරදීමේ අරමුණින් පැන යාමට ඉඩ නොදී ඔවුන් වටලා අල්ලා ගැනීමට වෙළෙඳසල් හිමියෝ කටයුතු කළහ. 


පොලිස් කොස්තාපල් හා ඔහුගේ මිතුරා සිද්ධිය අතේ පත්තු වී ඇති බවට දැනගෙන එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය. 


පසුව කඩ හිමියන් සිද්ධිය රාගම පොලිසියට දැනුම් දී “සර් කඩවල්වලින් කප්පම් ගන්න ආව දෙන්නෙක් අපි අල්ලගෙන ඉන්නවා. ඉක්මනින් එන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇත. 


එම දැනුම් දීම අනුව වහාම ක්‍රියාත්මක වූ රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ගුණසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ආහ. 


සැකකරුවන් පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමෙන් මෙම කොස්තාපල්වරයා මිරිහාන පොලිසියේ අයකු නොව කොටුව පොලිසියේ අයකු බවට හෙළි කරගෙන ඇත. 


සිද්ධිය සැලවීමත් සමඟ කොළඹ උතුර කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රාගම පොලිසියට උපදෙස් ලබා දී තිබුණේ සැකකරු පොලිස් කොස්තාපල්වරයකු වුවද ඔහුට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියා කරන ලෙසටයි. 


ඒ අනුව රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්හ. 


ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරියකු වුවද ඔහුට ද නීතිය කිසිදු ලිහිල් බවක් නොපෙන්වා, මුදල් බලෙන් ලබාගැනීම හා අන් අයකු ලෙස පෙනී සිටීමේ වරදට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14ක් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 


මෙම වෙළෙඳසල් හිමියන් වහාම ක්‍රියාත්මක නොවන්නට මෙම සැකකරුවන් මෙම වංචාව දිගින් දිගටම සිදුකරගෙන යාමට බොහෝ ඉඩ තිබුණි. මොවුන් මේ ආකාරයෙන් තවත් වෙළෙඳසල්වලින් මුදල් ලබා ගෙන ඇති ද යන්න හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

 

 

 


සටහන සහ ඡායාරූප 
ඉන්දිකා රාමනායක