කන්‍යා සහෝදරියක් වෙන්න හීන මවපු ඈන් ජවිපෙ සහෝදරියක වූ හැටි


සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ

 

 

කන්‍යා සොයුරියක් වෙන්න හීන මවපු ඈන් චන්ද්‍රමාලි පෙරේරා ජවිපෙ පූර්ණකාලීන ක්‍රියාකාරිනියක වුණේ කොහොමද? කවුද එයාට එයාගේ හීනේ අත්අරින්න බලකළේ? ඒ කතාව අපි ඔබට කියනවාට වඩා චන්ද්‍රමාලි සහෝදරියගේ වචනවලින්ම අසා දැන ගැනීම රසවත් වේවි. ඒ වගේම විශ්වාසවන්ත වේවි.   


ඉතින් මේ චන්ද්‍රමාලි සහෝදරියගේ කතාවයි.   


 “සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුක්ත පවුලේ බාලයා මම. මම පොඩි කාලේ ඉඳන්ම ටිකක් වෙනස් විදිහට සමාජය දිහා බලපු කෙනෙක්. ඒකට මගේ අම්මා කරපු මග පෙන්වීම් දායක වෙන්නත් ඇති. පොඩි කාලේ අක්කලාටයි අයියලාටයි වෙන වෙනම කාමර දෙනකොට මමත් ඇඬුවා වෙනම කාමරයක් ඕන කියලා. නිතරම මම ඒ වෙනුවෙන් අම්මාට ඇවිටිලි කළා. දවසක් අම්මා මාත් එක්ක කොළඹ යන ගමන් කැලණි පාලම යට පැල්පත් නිවාස පෙන්නුවා. අම්මා කිව්වේ පුතේ ඔයාලට වෙනම කාමර ඉල්ලනවා, බලන්න අර පොඩි පැලේ කන්න, බොන්න, නිදාගන්න, හැමදේටම එකම කාමරයක් තියෙද්දීත් ළමයි ඉගෙන ගන්නවා, ජීවත් වෙනවා කියලා.   


 ඒක ටිකක් තදට මගේ හිතට වැදුණා. මම එදා ඉඳන් ප්‍රශ්න කළේ ඇයි ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් නැත්තේ කියලයි. ඇති නැති පරතරය විසින් ඇති කරන ප්‍රශ්න ඒ අර්ථයෙන් තේරුම් ගන්න බැරි වුණත් එ්වා මගේ හිතට වද දුන්නා. මම ක්‍රිිස්තියානි පවුලක දරුවෙක්. ඒ නිසා නිතරම පල්ලියත් එක්ක අපේ සම්බන්ධකම් තිබුණා. ටිකක් ලොකු වෙනකොට පල්ලියේ සිස්ටර්ස්ලා, ෆාදර්ස්ලා එකතු වෙලා කරපු සමාජ සුභසාධන වැඩවලට මම සම්බන්ධ වුණා. අපි කළේ දුප්පත් පවුල්වල දරුවන්ට ඉගෙන ගන්න උදව් කිරීම, ඉන්න තැනක් නැති අයට ගෙයක් හදාගන්න උදව් කිරීම වගේ දේවල්. ඒ වගේම අම්මා තාත්තා නැති දරුවෝ කන්‍යාරාමෙට ගෙනත් තියාගෙන හදාගත්තා. ඉගැන්නුවා. ඒවාට අපි හැම සහයෝගයක්ම දුන්නා.   


 මේ දේවල් මගේ හිත ගත්තා. සමාජයට සේවයක් කිරීමේ දැඩි උවමනාවක් ආසාවක් මගේ හිතේ ලොකුවටම තිබුණා. ඒක කරන්න නම් කන්‍යා සොයුරියක් වෙන්න ඕන කියලා තමයි මම හිතුවේ. උසස් පෙළ ඉගෙන ගන්නකොට මගේ එක විෂයක් තමයි දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව උගන්වපු චන්ද්‍රපාලි මැඩම් ගොඩක් හොඳට සමාජ ක්‍රම ගැන ඉගැන්නුවා. සමාජවාදය ගැන මුලින්ම හිත ගියේ ඒ පාඩමේදීයි. ඒ අතරතුරේ පල්ලියේ මගේ යාළුවො ගොඩක් සම්ප්‍රදායෙන් එහාට හිතන්න පෙළඹුණ, ඒ ගැන කතා කරන පිරිසක්. ඒ නිසා අපි සමහර දේවල් ගැන පැය ගණන් කතා කළා. ඒවා මගේ ගමන්මග වෙනස් කරන්න ටික ටික දායක වුණා කියලා හිතෙනවා.   


 මම විෂය බාහිර වැඩවලටත් ගොඩක් සම්බන්ධ වුණා. ඉස්කෝලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ හිටියා. අපි අපේ ඉස්කෝලෙට හොඳම ශිෂ්‍ය භට කණ්ඩායමට හිමි කුසලානයත් ගත්තා. ඒ නිසා දිගටම මට එහි පුහුණුවීම්වලට යන්න වුණා. උසස් පෙළ ඉගෙන ගන්න කාලේ වෙනකොට ජවිපෙ අය පාරවල්වල කැන්වසින් කරනවා මට හම්බවුණා. 89 මර්දන කාලේ වෙනකොට මගේ වයස අවුරුදු දහතුනක් විතර ඇති. ඒ කාලේ තැනින් තැන මිනිස්සු මරලා දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ අයට එහෙම මරණයක් ලැබුණේ නිවැරදි දෙයක් කරන්න ගිහින් කියලා මම දැනගෙන හිටියා.   


ඒ අපේ වැඩිහිටියන්ගේ කතාවලින් ලැබුණ අදහස් අනුවයි. ඉතිං උසස් පෙළ කරද්දි ජවිපෙ අය මුණ ගැහුණා පාරවල්වල කැට හොලවද්දි, පත්තර විකුණද්දී. අර නැත්තටම නැති කළා කියලා කියපු පක්ෂෙ අය ආයෙම ඉන්නවා කියන හැඟීම නිසා මට සියුම් සතුටක් දැනුණා. මොකද එයාලා දේශප්‍රේමීන් කියලා මම අහලා තිබුණා. ඒකවෙන්න ඇති එයාලා දකිනකොට මට පත්තරයක් අරන් උදව්වක් කරන්න විතරක් නෙවෙයි පවුලේ කෙනෙක් කාලෙකින් දැක්කා වගේ සතුටක් දැනුණේ.   


 එහෙම පටන් ගත්තු ගමන මම නැවතුණේ ජවිපෙ සාමාජිකයන් නිතර එකතු වන ගෙදරකින්. එතකොට මම උසස් පෙළ ලියලා අවසන්. ඒත් ශිෂ්‍ය භට කණ්ඩායමේ පුහුණුවීම්වලට නිතර ඉස්කෝලේ යන්න තිබුණා. පුහුණුවීම් තියෙන දවස් හා නැති දවස් හැම එකකම මම පුහුණුවීම් කියලා ගෙදරින් ආවා. දවසක් දෙකක් පුහුණුවීම්වලට ගියා. අනෙක් දවස්වල යාළුවන්ටත් එක්ක කියලා ලොකු බත් එකකුත් බැඳගෙන මම ජවිපෙ කාර්යාලයට ගියා.   


 

ඒක හැමෝම එක්ක බෙදාගෙන කෑවා. කාර්යාලයක් කිව්වට ඒක සහෝදරයෙක්ගේ ගෙදරක්. එතනට ගිහින් මම පෝස්ටර් අඳින්න උදව් කළා. දැන් වගේ නෙවෙයි ඒ කාලේ පෝස්ටරයක් කරගන්නවත් මුදලක් හොයාගත්තේ අමාරුවෙන්. ඩිමයි කොළවල කහ පාට පැච් එකක් පාට කරන එක තමයි මම මුලින්ම කළේ. ඊට පස්සේ අකුරු අඳින්න පුරුදු වුණා.   


 පස්සේ මට සහෝදරවරු දේශපාලනය ගැන ඉගැන්නුවා. මූලික පංති පහ කළා. අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න බැරිවුණ කාරණා ගොඩක් මම එතනදී ඉගෙන ගත්තා. අපි කොටසක් දුප්පත් වෙලා තව කොටසක් පෝසත් වෙන්නේ ඇයි කියලා පොඩි කාලේ ඉඳලා තිබුණ ප්‍රශ්නයට මට උත්තරයක් ලැබුණා. ඒකට පිළියම මොකක්ද කියන එකටත් අදහසක් ලැබුණා. ඉතිං මට හිතුණා කන්‍යා සොයුරියක් වෙලා කරන සේවයට වඩා දෙයක් සමස්ත දුප්පත් වැඩකරන පීඩිත ජනතාව වෙනුවෙන් කරන්න ජවිපෙට සම්බන්ධ වීම තමයි හොඳම කියලා. ඉතිං ඒ නිසා මම කන්‍යා සොයුරියක් වෙන හීනය අතඇරලා ජවිපෙ පූර්ණ කාලීනයෙක් වුණා. ඒක වුණේ ගොඩක් පස්සේ. ඊට කලින් මම අර්ධ කාලීනව වැඩ කළා ගෙදරට හොරෙන්.   


 අපේ පවුල එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දෙන පවුලක් විතරක් නෙවෙයි මගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙටත් ඉදිරිපත් වෙලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ වුණාට තාත්තා ප්‍රගතිශීලී විදිහට හිතන කෙනෙක්. ඒ නිසා මම ජවිපෙ සමග වැඩකරනවා කියලා දැනගත්තාම දොස් කිව්වත් ගෙදරින් එළියට ඇදලා දාන තරමට ඒකාධිපතියෙකු වගේ වැඩ කළේ නැහැ. ඉතා ඉක්මනින්ම මම කියන දේවල් අහලා එයාලා වෙනස් වුණා. අන්තිමට අපේ පවුලේ හැමෝම වගේ ජවිපෙ හිතවතුන්, ඡන්ද දායකයන් වුණා. මම පූර්ණ කාලීනයෙක් වුණා. ඒ 1995දී.   


 ඒ කාලේ විඳින්න වුණ දුෂ්කරතා ගැන විශේෂයෙන්ම කාපු බීපු හැටි එක එක්කෙනා දොස් කියපු හැටි නම් තවත් කියන්න ඕන වෙන එකක් නැහැ. මට කලින් කතා කරපු හැමෝම වගේ ඒ දේවල් කියලා තිබුණා. ඒත් ඒ අයගෙන් නොකියවුණ කරුණු කීපයක් විතරක් මම ඒ කාලේ ගැන කියන්නම්.   


 97 මැතිවරණය කියන්නේ අපිට තීරණාත්මක මැතිවරණයක්. හැම පළාත් පාලන ආයතනයකටම අපේ නියෝජිතයකු යවා ගැනීම තමයි අපේ අරමුණ වුණේ. ඒත් ඒක ලේසි නැහැ. මොකද ඒ වෙනකොටත් ජවිපෙ ගැන සමාජයේ තිබුණේ නරකම චිත්‍රයක්. නරක චිත්‍රයක් කියනවාටත් වඩා ජවිපෙ සමග කතා කරන්න තියෙන බයක්. කතා කළොත් සමාජයෙන් කොන්වෙයි කියන හැඟීමක් ද බොහෝ දෙනා අතර තිබුණා. ඒ නිසා අපේ ගම්වල රැස්වීම්වලට සෙනඟ ආවේ නැහැ. අපි උදේට ගම පුරා ඇවිදලා කතා කරලා මිනිස්සු දැනුම්වත් කරලා අත්පත්‍රිකා බෙදලා එනවා. හවසට ඒ ගමේ කඩමණ්ඩියක් හෝ විහාරස්ථානයක් ආසන්නයේ ගමේ පොදු තැනක මේසයක් තියලා පුටුවක් දෙකක් තියලා වතු රැස්වීම් නැත්නම් කුඩා ජනහමුවක් කරනවා.   


අපේ රැස්වීම්වල කථිකයොත් අපිම තමයි. මමයි තව කවුරුහරි සහෝදරයෙකුයි කතා කරනවා. අපිට ස්පීකර්ස් නැහැ. යකඩ කට වෙනුවට මස් කටම තමයි තිබුණේ. අපි පුළුවන් තරම් හයියෙන් කෑගහලා කතා කරනවා. දවසට ජනහමු දෙක ගානේ දවස් කීපයක් කතාකරන කොට උගුර ලේ රහ වෙනවා. ඒත් පස්සට යන්නේ නැහැ. අන්තිම දවස් වෙනකොට නම් අපි සාමාන්‍ය වෙලාවට කතා කරන දේවල් ඇහෙන්නේ නැති ගානට උගුර බැරැන්ඩි වෙනවා.   


කාන්තාවක් විදිහට අපි කතා කරනකොට බලන්න ආසාවක් ගොඩක් අයට ඇති වෙනවා. ඒත් ළඟට එන්න බයයි. ඉතිං වැටකට මුවා වෙලා, ගහක් අස්සට වෙලා ටිකක් දුරින් ඉඳන් තමයි ගෑනු අය අපේ කතාවලට ඇහුම්කන් දෙන්නේ. සමහර පිරිමි අයත් එහෙම තමයි. අපේ කිට්ටුවට එන්නේ කලාතුරකින් කෙනෙක් තමයි. ඒ වුණත් අපි දන්නවා අහල පහළ හැමෝම ඇහුම්කන් දෙනවා කියලා. ඒ නිසා අපි හිත හදාගෙන පුළුවන් වෙර දාලා කෑගහලා කතා කරනවා.   


මැතිවරණ අත්දැකීම් නම් හරිම රසවත්. එක වතාවක් මට මතක හැටියට 2008 පළාත් සභා මැතිවරණය වෙලාවේ මමත් ආසනයක සංවිධායිකාවක් හැටියට වැඩ කළා. අපි පෝස්ටර් අලවන්නේ රටේම එක දවසකනේ. එදා අපිට පෝස්ටරයක් අලවන්න තිබුණා. ඒත් එ්ක කරන්න පිරිස හිටියේ අඩුවෙන්. පහුවදා තිබුණ දිස්ත්‍රික් රැළියේ වැඩවලට ගොඩක් සහෝදරවරු යවන්න මට සිදුවුණා. ඒ නිසා පෝස්ටරය අලවන්න මමත් ගියා. අපි දිගටම පෝස්ටර් අලවමින් අපේ වපසරිය සම්පූර්ණ කළා. ඒත් අන්තිම වෙලාවේ පොලිස් ජීප් එකක් ඇවිත් කෙළින්ම අපි ගාවම නැවැත්තුවා. කිසිම කතාවක් නැහැ කෙළින්ම කූඩුවේ. එළිවෙනකල් කූඩුවේ හිටිය අපව උදේ ඇවිත් බේරගත්තේ මං වැඩ කළ ආසනයේ හිතවත් කෙනෙක්.   


එදා පොලිසිය අපිට කිව්වා ඔයාලා මොනවද මේ කරන්නේ? අපිට ඔයාලව අනාචාරයේ හැසිරුණා කියලා උසාවි දාන්න පුළුවන්. එහෙම කළොත් ඔයාලගේ පෞරුෂයට හොඳ නැහැ. මේක අපරීක්ෂාකාරී රිය ධාවනය කියලා පොඩි දඩයකට සීමා කරන්නත් අමාරුයි. මීට පස්සේ මේ වගේ ගමන් යන්න එපා කියලා අවවාද කරලා පොලිසියේ ලොකු මහත්තයා මාව එළියට දැම්මා. ඒත් අනෙක් සහෝදරවරුන්ට උසාවි දාලා දඩ ගෙවලා තමයි එළියට ගන්න සිදුවුණේ.   


අනූහතේ මැතිවරණය ගැන සුජාතා සහෝදරිය කියපු කතා කීපයකුත් අපිට තියෙනවා.   


ඒ කාලේ ගම්වල ජනහමුවල වේදිකා ගාවට මිනිස්සු ආවේ නැති වුණාට නගරේ තියෙන රැස්වීම්වලට සෙනඟක් එකතු වෙනවා. ඒ රැස්වීම්වල වේදිකා හැදුවෙත් එළිවෙනකල් අපි තමයි. අපි අලවන පෝස්ටර් උඩින් තව කවුරුහරි මුද්‍රණය කරපු පෝස්ටර් අලවනවා. සමහර තැන්වල අපි ටිකක් ලොකු කටවුට් වගේ අඩි දහයේ දොළහේ පෝස්ටර් අතින් ඇඳලා අලවනවා. ඒවාට ගොඩක් අය හානි කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ අවට ඉන්න අය ඒවා ආරක්ෂා කරනවා. ඒ පක්ෂෙට තියෙන හිතවත්කමකට වඩා මහන්සි වෙලා අතින් අඳින එකකට හානි කරන්න හිත දෙන්නේ නැති නිසා වෙන්න ඇති. නගරේ රැස්වීම් තියෙන දවසට කලින් දවසේ රෑ අපේ සහෝදරවරු වේදිකා හදන කල් මම සහෝදරවරු කීපදෙනෙක් එක්ක පෝස්ටර් අලවන්න යනවා. ඊට පස්සේ වේදිකාවේ සැරසිලි වැඩ කරනවා. එළි වෙන කල් වේදිකාව ගාව තමයි.   


තරුණ ගෑනු ළමයෙක් හෝ දෙන්නෙක් පිරිමි ගොඩක් එක්ක මහ රෑ නගරේ ඇවිදිනකොට, රැස්වීම් වේදිකාවක් හදන තැන ඉන්නකොට දකින අයට විවිධ දේවල් හිතෙනවා ඇති. ඒත් මට සහතික වෙන්න පුළුවන් කිසිම සහෝදරයෙක් ඉඟියකින්වත් අප අපහසුතාවට ලක්වෙන ආකාරයේ හැසිරීමක යෙදිලා හෝ යමක් කියලා හෝ නෑ කියලා. සහෝදරවරු අපිව ආරක්ෂා කළේ තමන්ගේම සහෝදරියන් හැටියටයි. ප්‍රේම සම්බන්ධතා අපි අතර ඉන්න අය අතරේ ගොඩනැඟුණේ නැතිවා නෙවෙයි. ඒත් ඒවා ඔවුන් කාටවත් ප්‍රශ්නයක් වෙන විදිහට පවත්වාගෙන ගියේ නැහැ. සාමාන්‍ය සමාජයේ දකින්න ලැබෙන පෙම්වතුන් නෙවෙයි අපිට හිටියේ. ඒවාත් හරිම වෙනස්. ඒ නිසා සාමාන්‍ය සමාජයට අපි අතර බැඳීම් තේරුම් ගන්න අමාරු ඇති.”   


අදත් ශිෂ්‍ය සංගම් උපවාස කරන අට්ටාලවල සිසුවියන් ද එළි වන තුරු අසුන් ගෙන සිටී. ඇතැම් විට ඔවුන් ද සිසුන් සමග අට්ටාලයේම ඇළ වී නිදාගන්නවා ඇත. ඒවා දකින අය හිතන්නේ මේ අය මෙතන වෙන ජොලියක් ගන්නවා වැනි අදහසකි. ඔවුන් මහ රෑට මත්පැන් පානය කරනවා වැනි අදහස් පවා ඇතැමුන් තුළ තිබේ. එහෙත්, ඔවුන් එසේ පවසන්නේ හුදෙක් සමාජයේ සාමාන්‍ය අත්දැකීම් අනුව මිස ඒ ස්ථානවලට මහ රෑ දොළහට ගිහින් ලැබූ අත්දැකීමක් අනුව නොවේ. 

 
අයියා විසින් නංගී දූෂණය කරන, තාත්තා දුව දූෂණය කරන සමාජයක සුජාතාගේ කතාවෙන් කියවෙන සහෝදර බැඳීම තේරුම් ගැනීම පහසු නොවනු ඇත. එහෙත් ජවිපෙ සාමාජිකයන් තුළ දැඩි විනයක්, හැදියාවක්, සංස්කෘතියක් ඇති බව නම් කවුරුත් පිළිගන්නවා ඇත. සුජාතා හා චන්ද්‍රමාලි සහෝදරියන් තුළින් ප්‍රකාශ වන්නේ ඒ සත්‍යයේ එක් පැතිකඩකි.   

 


 


“මට මතකයි 97 මැතිවරණය වෙලාවේ මම අරණායක රැස්වීමකට ගිහින් එදා රෑ ඉන්න ප්‍රදේශයේ පාක්ෂ හිතවතෙකුගේ ගෙදරට ගියා. අරණායක සංවිධායක සහෝදරයා තමයි මාව එක්ක ගියේ. ඒ කාලේ අපිට යන්න තැන් ගොඩක් තිබුණේ නැහැනේ. ඒ ගෙදරටම තිබුණේ සාලයයි, කාමරයයි, කුස්සියයි විතරයි. මාත් එක්ක ගිය සහෝදරයයි, ගෙහිමි සහෝදරයයි දෙන්නා සාලයේ නිදාගත්තාම ගෙදර අක්කායි එයාගේ දුවයි මායි තුන්දෙනාට නිදාගන්න සිදුවුණේ කාමරේ. එ්ත් දුවට පැපොල හැදිලා හිටියේ. ගෙදර අක්කා ලොකු අපහසුතාවකට පත්වුණා මට ඉන්න පහසුකමක් සහිත තැනක් දෙන්න බැරිවීම ගැන. ඒ වගේම පැපොල ලෙඩෙක් ළඟ නිදාගන්න දීලා මමත් ලෙඩ වුණොත් කියන බයත් එයාට තිබුණා. ඇත්තටම මටත් ඒ බය තිබුණා. ඒත් හිතට ධෛර්යය අරන් මම කිව්වා ඔය ලෙඩේ ගැන ඒ තරම් හිතන්න එපා. ලෙඩ හැදුණොත් බෙහෙත් කරනවානේ. ඒ ගැන හිතන්න එපා කියලා. ඉතිං පැපොල ලෙඩා ඇඳ උඩ නිදාගත්තා. මමයි එ් ගෙදර අක්කයි දෙන්නා ඇඳ ළඟින්ම බිම නිදාගත්තා. ඒත් මට නම් කිසිම ලෙඩක් එහේ හිටියා කියලා වැලඳුණේ නැහැ.   


ඒ කාලේ මැතිවණවලදී අපිට බලය තියෙන පක්ෂයේ මැර ප්‍රහාරවලට ලක්වෙන්න සිදුවීම සාමාන්‍ය දෙයක් වගේ. නිතරම අපේ කාර්යාල ගිනි තියනවා. රථ පෙළපාළිවලට පහර දෙනවා. පෝස්ටර් අලවද්දී පහර දෙනවා. කාන්තා සංගමය හැටියට අපි මැතිවරණවලදී වීදි නාට්‍ය කණ්ඩායම් හදලා වෙනම කැන්වසින් එකක් කරනවා. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා ආශ්‍රිතව තමයි වැඩිපුරම වීදි නාට්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ. ඒ අයටත් මැරයෝ පහර දෙනවා. වීදිනාට්‍ය කණ්ඩායම්වලට එකතු වෙන සහෝදරියෝ පූර්ණ කාලීනයන් නෙවෙයි. ඉතිං ඒ අයට මේවාට මුහුණ දෙන්න ශක්තිය ලබාදීම වගේම එයාලගේ ගෙවල් වෙනුවෙන් උත්තර බැඳීමත්, මැරයින්ගෙන් සහෝදරියෝ ආරක්ෂා කරගැනීමත් සියල්ලම කරගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන එක අපිට ලේසි වුණේ නැහැ. ඒක භාරදූර වගකීමක් වුණා ඒ කාලේ. අද කියලා වෙනස් නෙවෙයි. නමුත් අද ඊට වඩා සන්නිවේදන ජාලය පුළුල් නිසා ප්‍රශ්නවලට උත්තර හොයා ගැනීම පහසුයි.”   

 

 

සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද