කන්ද උඩරටින් සබරගමුවට එක්වූ ඇහැලේපොළ මහාධිකාරම


 

ඇහැලේපොළ අදිකාරම නූතන ඉතිහාසඥයන්ගේ මතභේදයට ලක් වූ චරිතයකි. එමෙන්ම කන්ද උඩරට මහත් පෙරළියට තුඩුදුන් එතුමාගේ දිවියට වඩා ඔහු අපේ ඉතිහාසය ඔපවත් කළේය.   


මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැළේ පොළ’’ නම් ග්‍රාමය මෙතුමාගේ නිජබිම විය. එය මාතලයට සැතපුම් 12 ක් උතුරු දෙසින් පිහිටා ඇත. ඒ ග්‍රාමය පිළිබඳ තොරතුරු මෙසේය.   


‘‘පොරපොල් කෙළිය නම් ක්‍රීඩාවෙහි අතිශයින් සමර්ථ කුමාරයෙක් ඇහැළේපොළ අදිකාරම්තුමාගේ පරවිථියෙහි මී මුත්තණු කෙනෙකු එම ක්‍රීඩාවෙහි යෙදුණු සියලු වාරවලදීම පරාජය වූයෙන් ලඡ්ඡාභිභූතව විරුද්ධ පක්ෂයේ නිත්‍ය ජයග්‍රහණයට හේතු වූ පොල්ගෙඩිය මනාව පරීක්ෂා කළ විට එය සාමාර්ථ කම්කරුවෙකු විසින් පොල් ගෙඩිය ආකාරයට ඇහැල මුලකින් කරන ලද පොල් ගෙඩිය කරන කොට ජයග්‍රාහි වූ ප්‍රධානියාට ඇහැලපොළ නිළමේ යන නාමයෙන් ව්‍යවහාර වූයේ යයි ද කියත්’’      


‘‘එතුමාගේ ගෘහය ඇහැලගස් බොහෝ සෙයින් වැඩී තිබුණ ස්ථානයට නුදුරුව ගොඩ නගන ලද හෙයින් ඇහැලේපොළ නාමය ව්‍යවහාර වූ බව ද කියත්’’   


1905 ජන ලේඛනයේ ප්‍රකාර එහි ගෙවල් 118 ක් සහ ජනයා 454 ක් වූ බව සඳහන් වේ.   


(ඥාන දර්ශය - 1909-1911 කාණ්ඩය)   


ඇහැලේපොළ අදිකාරම්තුමා​ෙග් පියා පඬිකාර නිළමේය. මව කොස්සින්නේ කුමාරිහාමිය. එතුමන්ට පුතුන් දෙදෙනෙක් හා දියණියක වූහ. එතුමා සත්කෝරලයේ දිසා පදවිය හෙබ වූයේය. ඇහැලේපොල අදිකාරම යනු මුරුසි දිවයිනට පිටුවහල්කොට 1829 දී මියගිය අයයි. ඇහැලේපොල අදිකාරම්තුමාත්, ඌව පාලනයට ඔහුගේ සහෝදර ඇහැලේපොළ දිසාවත් සිටි බව කියවේ.   


ඇහැලේපොළ අදිකාරම ක්‍රි.ව 1773 දී උපන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. එතුමාගේ භාර්යාව වූයේ ඌවේ කැරැල්ලේ නායකත්වය ගත් වීර කැප්පෙටිපොළගේ නැගෙණිය වූ මොනරවිල කුමාරිහාමිය. පිළිමතලව්වේ අදිකාරම එතුමාගේ මාමා විය.

   
ක්‍රි.ව 1803 දී සත් කෝරලේ දිසාවේ හැටියටත් ක්‍රි.ව 1806 දී මීගස්තැන්නේ අධිකාරම් මියයාමෙන් පසුව උඩුගම්පහ දිසාවේ හැටියටත් ඇහැලේපොළ නිළමේ පත් කෙරිණ. පිළිමතලව්වේගේ මහා අදිකාරම් ධුරයට අනුප්‍රාප්තිකයා වූයේ ඇහැලේපොළ නිළමේය. ක්‍රි.ව 1812 දී ඔහු කන්ද උඩරට අදිකාරම් ධුරයට පත්කරනු ලැබීය. එම පදවිය ලැබීමෙන් පසුව ඔහුගේ නමට දීර්ඝ අභිධානයක් එක්විය. එම අභිධානය ඇහැළේපොළ සන්නසේ මෙසේ සඳහන්ව ඇත.   


‘පුවර දනකර තෙජතෙජහිරාම උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ ​ෙසංඛඬ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වද‌ාරණ සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විද‌ාන විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිළය කරවන විසුඬ වරවංශාභිජාත ඇහැලේපොළ විජසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ යන්නය.   


මෙමඟින් මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව පෙනේ. දෙදෙනා අතර මෙම විශ්වාසය කෙරෙහි ඇතැම් උඩරට රදලවරුන් අතර පැවැතියේ අමනාපයෙකි. එසේම උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන පිළිමතලව්වේ ඇතුළු රදලවරු කලක් සිට නොකැමැත්තෙන් පසු වූහ. ඇහැලේපොළ අදිකාරම් තුමාගේ අධිෂ්ඨානය වූයේ යළිත් උඩරට සිහසුන දේශීය සිංහලයන් අතට පමුණුවා ගැනීමේ ජාතිහිතෙෂි සංකල්පයයි.   


ඇහැලේපොළ අධිකාරම්තුමාගේ දෙවෙනි අධිකාරම් වශයෙන් උනම්බුව දිසාව පත් වූ අතර ක්‍රි.ව 1812 දී ඔහු මිය යෑමෙන් පසුව අහැලේපොළ අධිකාරම්තුමාගේ පරම හතුරෙකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ දිසාව එම තනතුරට පත් කෙරිණ.   


පාලන ත්‍රන්තයේ පැවැති බලතල අතින් රජු ළඟට දෙවෙනි වූයේ මහා අධිකාරම්ටයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන යුගයෙහි ප්‍රධාන දෙදෙනෙක්ද තවත් දෙවෙනි අධිකාරම් කෙනෙක්ද වූහ. මහනුවර නගරයේ ආරක්ෂාව පැවැතුණේ ප්‍රධාන අධිකාරම්වරු යටතේය. ස්වර්ණ කල්‍යාණ වීදියේ උතුරු කොටස මහා අධිකාරම් යටතේ ද පැවැතිණ.   


ඇහැලේපොළ අදිකාරම්තුමාට දෙවෙනි වූයේ මොල්ලිගොඩය, ඇහැලේපොළ අධිකාරම් තුමාගේ වලව්ව පිහිටා තිබුණේ ස්වර්ණ කල්‍යාණ වීදියේය. කන්ද උඩරට රාජ්‍යයේ මහා අධිකාරම් ධුරයට පත්වීමෙන් පසුව ඊට අමතරව සබරගමුව පාලනය කරුනු පිණිස රත්නපුරයට පැමිණීමට සිදුවීම එතුමාගේ ජීවිතයේ විශේෂ සිද්ධියක් විය.   


ඇහැලේපොළ අධිකාරම්තුමා සබරගමු පාලනයට ඒමට පෙරාතුව පාලනය කළේ පිළිමතලව්වේ මහා අධිකාරම් යටතේය. ඇහැලේපොළ සබරගමුවට පත්කර එවීමට හේතු වූ විවිධ ජනශ්‍රැතියන් ගෙනුත් ඓතිහාසික මුලාශයන්ගෙනුත් ප්‍රකාශ කෙරෙහි රාජසිංහ රජු ඉංග්‍රීසින් සමග කළ සටන්වල දී ඇහැලේපොළ නිලමේ රජුගේ සිත් දිනා ගැනීම එකකි.   


බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සමඟ ගනුදෙනු කිරීම නිසා ඇති වූ කලකිරීම ද පළමු විවාහයෙන් තමාට දරුවන් නොමැති නිසා ශ්‍රී වික්‍රම රජු වෙතත් විවාහයක් කරගන්නා අවස්ථාවේ පැවැති උත්සවයට සුදුසු ලෙස මහා නිළමේ අනුග්‍රහ නොකිරීම නිසා ජනිත වූ නොසතුට ද ඔහු සබරගමුවට එවීමට හේතු වූ මුල් කරුණු ලෙස චූලවංශය සඳහන් කරයි.   


මේ පිළිබඳ තොරතුරු කියැවෙන ජනශ්‍රැති වලින් හෙළිවන්නේ මෙයට වඩා වෙනත් දෙයකි. ඒ මෙසේය. ඇහැළේපොල වලව්වට නිතර යාම් ඒම් කළ තරුණ මොල්ලිගොඩ නිලමේ ඇහැලේපොළ කුමාරිහාමිගේ රූපශ්‍රීයෙන් වශී වූයේය. ඇහැලේපොළ අධිකාරම් නිවසින් බැහැර වූ දිනක මේ බව ඇයට අඟවා අැත.   


එවිට කුමාරිහාමි තමාට මෙවැනි යෝජනාවක් නොකරන්නැයිද තමාව සහෝදරියක්සේ සලකන්නැයි ද ඉල්ලා ඇත. ඊට උරණ වූ මොල්ලිගොඩ ඇයගෙන් පළිගන්නට සිතා විවිධ දේ ගොතා රජුට දැන්වීය.   


ඇහැලේපොළ අධිකාරම්ධුරය පිරිනැමෙන උත්සවයට පැමිණ සිටි ඇහැලේපොළ කුමාරිහාමි දැකීමෙන් රාජසිංහ රජුට ඇය කෙරෙහි මහත් ආලයක් හටගෙන ඇත. දිනක් රෑ කුමාරිහාමි හමුවන්නට ඇහැලේපොළ වලව්වට ගිය රාජසිංහ රජුතුමා ඇය කෙරෙහි හටගත් ආලය පිළිබඳ විස්තර කොට ඇත. රජුගේ ඉල්ලීම පිළිකෙව් කළ ඕ තොමෝ තමාගේ ස්වාමියාගෙන් තොර සැපයක් නැතැයි කීවේලු. රජු කෝප වන්නට ඇත්තේ මේ හේතුව නිසා යැයි ජන ප්‍රවාදය කියයි. රජු ඇහැලේපොළ නිළමේට උසස්වීම් ආදිය දීමෙන් කුමාරිහාමිගේ සිත් දිනා ගැනීමට උත්සහ කළා යැයි ජන වහරින් කියැවේ.   


සබරගමුවට පැමිණ රාජකාරි​ෙය් නිරත වුණ යුගය ඇහැලේපොළ අධිකාරම්තුමාගේ ජීවිතයේ කාර්ය බහුල කාල පරිච්ඡේදයක් විය. පළාතේ කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින් සාමාන්‍ය ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා ඔහු දියත් කළ සංවර්ධන යෝජනා ක්‍රම රැසකි. 

 
සබරගමුවට ආ හෙතෙම තාවකාලිකව පදිංචිව සිටියේ රත්නපුර බටුගෙදර මුත්තෙට්ටුවෙගම වලව්වෙහිය. (අංගම්මනට නුදුරු) ඓතිහාසික ලේඛන අනුව, බටුගෙදරගම සබරගමුවේ දිසාපතිට අතිරේක ආද‌ායමක් ලබාගැනීම සඳහා නිල බලයෙන්ම අයත් වූවකි. ඒ බව මෙසේ සඳහන් වේ.   


‘‘මෙය සබරගමුවේ දිසාපතිට අතිරේක ආදායම් වශයෙන් නිළ බලයෙන්ම අයත් වූවකි. පිළිමතලව්වේ හා ඇහැලේපොළට කලින් කල අයත් විය’’   


‘‘51 පිට - මහනුවර යුගය සිංහල සමාජ සංවිධානය - රැල්ප් පිරිස්’’   


බටුගෙදර ග්‍රාමයේ අංගම්මන පිහිටි මිහිටිය කන​්දේ පහත්බිමේ සිට අඩි 800 ක් ඉහළින් වැවක් තනා ඇත. එහි සිට වාරි මාර්ගවලින් ජලය ගෙනවිත් ප්‍රදේශයේ අක්කර සිය දහස් ගණනක් වගා කරවනු ලැබ ඇත. එහි සිට කප්පවන ලද පැරැණි වාරිමාර්ගය දැනට වල්බිහිවී ඇත. එම වැව් ජලය අදත් රත්නපුර ජනතාව ප්‍රයෝජනයට ගැණේ. තිරිවානා කැටිය බටුගෙදර ඔස්සේ ගලායන වේල්ල අදත් ඇහ​ෙල්පොල වේල්ල’’ යනුවෙන් හඳුන්වනු ලබයි.   


මෙහි මත්පැන් පානය හා ඌරන් වැනි සතුන් මැරීමට පවා ඉඩක් නොලැබුණි. බටුගෙදර රාජකීය ගම්මානයේ සිට අංගම්මන විහාරය කරවා ඒ අවට ගොඩනැගිලි කීපයක් ද විවිධ සමාජ කටයුතු ක්‍රියාත්මක කළ බවක් අසන්ට ලැබේ.   

 

මෙමඟින් මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව පෙනේ. දෙදෙනා අතර මෙම විශ්වාසය කෙරෙහි ඇතැම් උඩරට රදලවරුන් අතර පැවැතියේ අමනාපයෙකි. එසේම උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන පිළිමතලව්වේ ඇතුළු රදලවරු කලක් සිට නොකැමැත්තෙන් පසු වූහ. ඇහැලේපොළ අදිකාරම් තුමාගේ අධිෂ්ඨානය වූයේ යළිත් උඩරට සිහසුන දේශීය සිංහලයන් අතට පමුණුවා ගැනීමේ ජාතිහිතෙෂි සංකල්පයයි.

 


ඒ බව පහත සඳහන් ඇහැලේපොළ සන්නස් පත්‍රයේ කොටසින් වඩාත් පැහැදිලි වේ.   


ඇහැලේපොළ අග්‍රමන්ත්‍රීස්වරයණන් සබරගමු දිසාවෙහි බටුගෙදර රාජ නියෝගයෙන් පොරොන්දුව සිටින වතාවක දී කළුගඟට නුදුරු අංගම්මන යන රම්‍ය ස්ථානයෙහි නානාවිධ කර්මාන්තයෙන් චිත්‍ර කර්ම සුනිම්මිත බුද්ධ ප්‍රතිමාවක් ද භෝජනශාලා, සක්මළු ආදින් සමලංක්‍රත උළු සුණුකම් සුනිම්මිත ඉතා මා හැඟි ගෙවල් කීපයක් ද අවට ස්ථිරතර ප්‍රාකාරයක් කරවා යන්නයි.   


රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවා ඇති. ඓතිහාසික ‘‘ඇහැලේපොළ වලව්ව’’ ඇහැලේපොළ අදිකාරම්තුමා බටුගෙදර නවාතැන්ව සිට සිදුකළ බව ජනප්‍රවාදයේ පැවැසේ. තවද පිළිමතලව්වේ මහා අධිකාරම්තුමා විසින් මෙය නිළ කටයුතු සඳහා ඉදිකර ඇතිමුත් වඩාත් ප්‍රචලිත වූයේ ඇහැලේපොළ අධිකාරමතුමා නමින් යැයි ද මතයක් පවතී.   


ප්‍රතාපවත් පෙනුමකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිරිපස විශාල අංගණයක්ද වටේට ආරක්ෂිත දිය අගලක් ද තිබු බවට සාධකයන් ඇත. දැනට මෙහි පිවිසෙන දොරටුව එකල පසු පස ලෙස භාවිත කර ඇත. එම කොටසෙහි අශ්වගාල, ආහාර ගබඩා සහ මුළුතැන් ගෙවල් වේ. එය වර්තමානයේ නව කාර්යාල ගොඩනැගිල්ල හා ගබඩා කාමර ​ෙව්.   


මෙහි ඉදිරිපස හා පසු පස විශාල ආලින්ද දෙකකි. මෙහි එකල ඉදිකිරීමේ දී දොරටුව කන්ද උඩරට රාජධානියට මුහුණලා උතුරු දෙසට (වෙරළුව පාරට මුහුණලා) තබා ඇත. එහි ප්‍රධාන දොරටුව හා මධ්‍යයේ අධිකරණ ශාලාවේ සිවිලිම අලංකාර ලියකම් වලින් සකසා ඇත. ජනතාව අැමතීම සඳහා සකසා ඇති අංගණය එකල දැකුම් මළුව ලෙස හඳුන්වා ඇත.   


එහි නශ්ටාවශේෂයන් අදත් දක්නට ඇත. වර්තමානයේ පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල (පර්ගසන් විදුහලට යාබදව ඇති) එකල අන්තඃපුරය ලෙස භාවිත කර ඇත. සතුරු උවදුරු වලින් ආරක්ෂාවීම සඳහා අැහැලේපොළ වලව්වේ සිට කළුගඟට ආරක්ෂිත උමඟත් ඒ හරහා තිබු බව ජන ව්‍යවහාරයේ පැවැතිණි. එය සැබෑ කරමින් උමං මාර්ගය ස්ථාන දෙකක දී ගෙපල් කැපීමේ දී හමුව ඇත.   


ඇහැලේපොළ වලව්ව පිළිබඳ ‘සිංහලේ රජ දහන’ කතුවරයා දකින්නේ ​ෙමසේය.   


‘‘ඇහැලේපොළ වලව්ව පිහිටියේ සාමාන්‍ය ව්‍යවහාරයේ රත්නපුර නමින් හැඳින්වෙන රත්නපුර නගර මායිමේය. රත්නපුර යනු මැණික් නගරයයි. එය සබරගමුවේ අගනුවරය. පැරැණි රදල නිවහනක් අනුව ඉදිකෙරුණු විශාල මාලිගාවක් බඳු වලව්ව විවිධ පලතුරු වගාවෙන් අලංකාර වූ අක්කර හතරක පමණ භුමි භාගයක පිහිටා තිබුණි. වතුසුදු, කඩුපුල්, සමන් පිච්ච වැනි මල් පාත්ති වලින් වලව්වේ ඉදිරිපස භූමිය අලංකාර විය.   


වලව්ව පිටුපස වූ සේවක නිවාසවල පදිංචිව සිටි දහ දොළොස් දෙනෙකු පමණ සේවකයෝ එහි සේවය කළහ. කුලුනු සහිත සක්මන වටා වූ බොරළු අඩිපාර එහි සිට පියවර සියයක් පමණ ඈතින් වූ අඹගහ යටින් පටන්ගෙන වත්තට ඇතුළු වන තැන පිහිටි කඩුල්ල සහ ඉන් පිටත වූ තණතිල්ල දෙකට බෙදමින් ඒ හරහා ඇදුණු පුළුල් හඹුරු වර්ණ රේඛාවක් බඳු බොරළු අඩිපාර කුඩා කුඩාගල් වලින් හා සුදුවැල්ලෙන් වැඩී තිබුණි.   


මහල් මැඳුරක් නොවු වලව්වේ පුළුල් ආලින්දය හා එහි එක් කෙළවරක සිට අනෙක් කෙළවර පැවැත්තේය. ඉදිරිපස ආරක්කු ගොඩනැගුණේ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකරනු ලැබු කුලුනු මතය. ඒ මත ඇඳුණු වැල්වල පිපී සුදු පැහැ කුඩා රෑ කුමරි මල් සුවඳ සැඳෑ සමීකරණයට මුසුවිය.  


කුමාරිහාමි ඉදිරිපස දොරටුව අසල සේවිකාවක් පහන් දල්වමින් ආලින්දය ආලෝකවත් කළේය. ඇයට අශ්ව කරත්තයේ හඬ ඇසෙන්නේ එය නෙත ගැටෙන්නට බොහෝ වේලාවකට පළමුවය. ප්‍රධාන ප්‍රවේශයෙන් ගෙවත්තට ඇතුළු වූ අශ්ව කරත්තය වලව්ව ඉදිරිපස නතරවිය. දිවි හිමියෙන් ඇහැළේපොළ දිසාවගේ ප්‍රධාන සේවකයා වූ ඩිංගිරියා රියැදුරු අසුනෙන් බිමට බැස සිය ස්වාමියාට බසින්නට කරත්තයේ දොර හැරියේය. කරත්තයේ හඬ ඇසී ගේ තුළ සිට දිව ආ කුඩා පිරිමි ළමුන් දෙදෙනා මව පසුකොට ඉදිරියට දිව්වේ පියා පිළිගැනීමටය.   


විසිතුරු හැට්ටයකින් උඩුකය ආවරණය වූ ඇහැලේපොළ රියෙන් බැස්සේය. ස්ථුල බඳවටා ඔහු ඇඳ සිටියේ ඊටම සරිලන ලා පැහැයට හුරු සළුවකි. එහි පසෙකින් එල්ලෙමින්  තිබුණේ රිදී දම්වැලක් සහිත සංකේතාත්මක රිදී කිණිස්සය. තද පැහැති විල්ලුද හිස් වැස්මක් පැලදි ඔහුගේ අතෙහි වූයේ කළුවර ලීයෙන් කළ රිදී මිටක් සහිත සැරයටියකි.   


මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඇහැලේපොළ සාමාන්‍ය උසින් යුත් පුද්ගලයෙකි. එකල චාරිත්‍රය අනුව කොණ්ඩය පස්සට පීරා බැඳ තිබුණි. මුහුණ වසා සිටි තද පැහැ රැවුල මනා සේ කොට කර කපා තිබුණි උඩරට පාලක පැලන්තියේ පවුලක ඉපිද කුඩා කල සිටම සිංහල ජනතාව අතර නායකත්වයක් දැරීමට පුහුණු කරන ලද ඔහු සිත් ගන්නා සුලු පෞරුෂත්ව​ෙයන් හෙබියේය. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්දාසේකර අමරකෝන් නම් වූ හෙතෙම සබරගමු පළාත සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියෝජිතයෙක් හා ආණ්ඩුකාර​ෙයක් වශයෙන් පත් කරන ලද දිසාපතිවරයා විය.   


එතෙක් වේලා දොරකඩ රැඳී සිටි කුමාරිහාමි සිය වල්ලභයා, පිළිගැනීම සඳහා මිදුලට පිවිසියාය. ඇය රූමත් කාන්තාවකි. උසය, සරාගීය, සිහින් සිරුරින් යුතුය. ඇය ඉදිරියට තැබූ පියවර කීපයකින් ද ද්වනිත වූයේ ඊටම ආවේණික සුන්දරත්වයකි’’ යන්නය.   


සබරගමුවේ සංවර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරින්ගේත්, පොදු ජනතාවගේත් සිත් දිනා ගනිමින් ප්‍රාදේශීයව පාලනය කළ ඇහැළේපොළ අධිකාරම් කෙරෙහි රජුගේ අමනාපකම් ඇති කරවීමේ ව්‍යාපාරයක් උඩරට රදලවරු දිගටම ගෙන ගියහ. එවැනි සිදුවීමක් පිළිබඳ රජුට දන්වා ඇති ආකාරය ජෝන් ඩොයිලිගේ වාර්තාවක මෙසේ සඳහන් වේ.   


‘‘ආහාරපානාදිය සඳහා දිනපතා නිරන්තරයෙන් සපයනු ලබන බඩු බාහිරාදිය හා මහනුවර සිට පැමිණ සිටි පනස් දෙනෙකුට ප්‍රමාණ වූ එතුමාගේ සේවක පිරිසේ නඩත්තුව හැරදමා එතුමා බැහැ දැකීමට යන අවස්ථවෙල දී ඔප්පු කිරීම සඳහා ගම්පතියන් විසින් ගෙන එනු ලබන බඩුබාහිරාදිය මහත් රාශියක් එතුමා රැස්කර ගනී. හැම දවස් අටකට හෝ දහයකට වරක් තම කුමාරිහාමි වසන හතර කෝරලේ කොස්සින්න සිය වලව්වට කුලී කරුවන් දහ දොළොස් දෙනෙකුගේ බර ප්‍රමාණයටම බඩු බාහිරාදිය උදළු හා යකඩ බඩු පෙට්ටි පිටත් කර යවයි’’ යන්නයි.   


(ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතාගේ පොතෙහි ජෝන් ඩොයිලිගේ වාර්තාවකි)   


මෙයට අමතර තවත් කේළමක් මොල්ලිගොඩ හා කන්දේපොළ නිළමේ මෙසේ ගොතා රජුට දැන්වීය.   


‘‘ඇහැලේපොළ රජු ලෙස පත්කරන්නට යන බවත්, දෙමළ පරපුරේ අයට වඩා ඔහු සුදුසු බව එක් ආරංචියකි’’ මොහු රජු වූ පසු භාවිතයට ගැනීමට සබරගමුවේ රන්කරුවන් ළවා සිංහාසනයක් හා ඔටුන්නක් තනන බව තවත් ආරංචියකි’’   


මේ අතර ඇහැලේපොළ මහා අධිකාරම්තුමා වටා විශාල ජනතාවක් එක්ව සිටීම කෙරෙහි රජු බිය වී සිටි අතර ඇහැලේපොළ කෙරෙහි මිනිසුන් තැබු විශ්වාසය පලුඳු කිරීමට දැඩි උත්සහයකින් පසුවිය. ඒ නිසාම රජු ඇහැලේපොළගෙන් ජනතාව දුරස් කිරීමට උපක්‍රමයක් කල්පනා ක​ෙළ්ය. ඒ අනුව රජු ඔහුට පැවැසුවේ සබරගමුවේ බදු අය කිරීමට පැරැණි පෘතුගීසි ලැයිස්තුවට අනුව සිදු කරන්නට කියාය.


එය ප්‍රායෝගික ක්‍රියාවක් නොවන දෙයක් බව රජු පවා දැන සිටියත් ඔහු රජ අණ නිසා එය පිළිපදිමි යන අදහසින් රජු පසුවුණා. එහෙත් ඇහැලේපොළ මෙය ප්‍රායෝගික නොවන බව රජුට දැන්වූවා. මිනිසුන් එයට අකමැති බව පවසමින් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඇහැලේපොළ අධිකාරම පිළිබඳ කලින් පැතිර ගිය ආරංචි ද සත්‍ය යැයි විශ්වාස කළ රජු ඔහු සමග තදින් විරුද්ධ විය.   


​ෙම් අතර ඇහැලේපොළ අධිකාරම් තුමා කන්ද උඩරට නායක්කර් වංශිකයන්ගෙන් බේරා ගැනීමට ඉංග්‍රීසින් සමඟ සාකච්ඡා කරමින් සිටි බව ද පැවැසේ.   


මින් උරණ වූ රජු ඇහැලේපොළ අධිකාරම්තුමාට රජ වාසලට එන ලෙස හසුන් පතක් එවීය. මේ අවස්ථාවේ බදු බර නිසා සබරගමුවේ ආරාවුල් හටගෙන තිබුණ නිසාත්, තමා සුද‌ානම් කළ තුටු පඬුරු නිමවා නොතිබු නිසාත් රජු හමුවීමට කල් ඉල්ලා ඇහැලේපොළ මහාඅදිකාරම්තුමා හසුන් පතක් හා පණිවිඩයක් යැවීය.   


එම පණිවුඩකරු ‘‘ගඟසිරි පු​ෙර්දී’’ මොල්ලිගොඩ දිසාව හමුවිය. මොල්ලිගොඩ එම හසුන්පත ඊට හාත්පසින් වෙනස් කර රජු කෝපවන පරිදි සකසා යැවීය. මේ හේතුවෙන් කෝපාවිෂ්ට රජු ඇහැලේපොළ මහා අධිකාරම් අල්ලා ගෙන ඒමට මොල්ලිගොඩ දුන් තඹ සන්නසේ මෙසේ සඳහන් වී ඇත.   


‘අසත්පුරුෂ ස්වාමිදෝහී වූ ඇහැලේපොළ පෙරළියා සබරගමු දිසාව මැද හිටගෙන එම දිසාවේ ආඥානවඩු ගණනේ සිල්වාරන් දෙනෙකුත් එකතු කරගෙන පෙරළියක් උපදවාපු නිසා ඒ කාරණාව උපසමනය කරන පිණිස එවකට අති විශ්වාස ජයවර්ධන සතර කෝරලේ දිසාවන් සහ පල්ලෙගම් පහේ අදිකාරමුත් දෙව වද‌ාරමින් එ් උපන් කාරණාව සන්හිඳුවන හැටියට යඩතම නියම වූ නිසා අති විශ්වාස ජයවර්ධන සතර කෝරලේ මහා දිසාවේ හාමුදුරුවන් සමඟ ගොසින් ඒ අවුල සන් සිදුවාලා හිතුවක් කුපාඩන් කම්කාරයොත් අල්ලාගෙන ඇවිත් දෙවනුව පැපුවාට ඊට බොහෝ සේ කාරණා සන්තෝස වී වද‌ාරමින් මහත් උද‌ාන තාන්න මාන්න සහ ඇහැලේපොළ පෙරළියාට තිබුණ ගඟ බඬ වැවිලි පංගු වලින් අති විශ්වාස ජයවර්ධන සතර කෝරළේ මහා දිසාවේ හඳපාන් දුනු කෝරලය බඳ මාවත පත්තුවේ කොස්සින්නට ඇතුළත් දෑ’’ යන්නය.   


එවිට එද‌ා ඇහැලේපොළ අධිකාරම්තුමාට රහස් පණිවිඩයක් සහිත තල්පතක් ලැබිණ. එම තල්පතේ මෙසේ සඳහන්ව ඇත.   


‘‘සෙංකඩගල ඇතා හොඳටම කුලප්පු වී සිටී. හෙණඩුවෙන්ද පාලනය කළ නොහැකිය. දුර දිග බලා වහාම පැන යන්න’’ මෙහි අත්සනක් ද වූයේ නැත.   


මෙවිට ඇහැලේපොළ අදිකාරම්තුමා රත්නපුර සිට අඟුලක නැගී කළුගඟ ඔස්සේ යාත්‍රා කොට රයිගම් කෝරළයේ ගල්පාත තොටුපළෙන් ගොඩබැස ගල්කිස්සට ගොස් ඇත. එලෙස නැවැතී සිට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හමු වූ බව අසන්නට ලැබේ. එතැන් සිට ඉංග්‍රීසින්ගෙන් උදව් ලැබ සැඟවී සිටියේය.

 

 

 


සටහන :
විනී ලයනල් ගලහිටියාව