කන්ද උඩරට ජනතාවගේ පුද ලබන බෝගම්බර දෙයියෝ


 

 

ලොව පාලනය කරනු ලබන ‘‘තිස්තුන් කෝටියක්’’ දෙවි දේවතාවන්ගෙන් නිබඳවම පිහිට පතන ශ්‍රී ලාංකික (විශේෂයෙන්ම හෙළ බොදු) ජනතාව ඔවුන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නටත් වැඳුම් පිදුම් කරන්නට මෙන්ම පුද පූජා පවත්වන්නටත් කිසිසේත්ම පසුබට නොවෙති. ඒ තම තමන්ගේ පෞද්ගලික හෝ නැතිනම් පොදු වාසි තකා ය.   


අවුරුදු දස දහස් ගණනක් තිස්සේ පැවතෙන මෙම සිරිතේ නොමැකෙන කෙටි සටහන වී ඇත්තේ හැම මුවකම ‘දෙවියන්ගේ පිහිටයි’ යන්න ස්ථාපිත වී ඇති සැටියෙනි.  අද තාක්‍ෂණවේදය අහස උසට දියුණු වී ඇතත් අපේ මිනිස්සු තවමත් දෙවියන් පස්සේම දුවති. දස දහස් නොව ලක්‍ෂ ගණනින් ඒ සඳහා වියදම් කරති. 


ඊට ලොකු කුඩා උගත් නූගත්, දුප්පත්, පොහොසත් භේදයක් දක්නටම නැත. විවිධ වූ දේවාල හෝ එවන් ස්ථාන පිරී ඉතිරී ඇති ස්වභාවයෙන් එය මනාව පෙනේ. හොඳ නරක දෙකම වෙනුවෙන් පෙනී සිටින්නට වී ඇති නිසාම දෙවි දේවතාවෝ අපෙන් ඈත් වූවද අප එයින් කිසි විටකත් ඈත් වන්නට නම් ආශාවක් හෝ කැමැත්තක් නැති බව සහතිකය. තව තවත් පෙළ ගැසෙනවා මිසක්.... 


දෙවියන් ගැන සහ ඇදහිලි පිදවිලි ගැන කතා කරද්දී අපටම ආවේණික වූ දෙවි දේවතා පෙරහැර නම් ඉතාමත් දිගය. ඒ දෙස් විදෙස් වශයෙනි. මේ දෙවියන්ගෙන් වැ​ඩි පිරිසක් තම තිඹිරිගෙය කරගෙන ඇත්​ෙත් උතුර සහ දකුණු ඉන්දියාවය. නමුත් ඒ අතරින් අපට අයත් වූ හෙළ අනන්‍යතාව ඇති වැඳුම් පිදුම් ලබන දෙවියන්ද නැතුවා නොවේ. ඒ අල්ප වශයෙනි. 
‘‘උපුල්වන්, ‘‘සුමන සමන්’’ ‘‘මහසෙන්’’ ආදී නාමයන් හැරුණු විට ඒ ඒ ප්‍රදේශවලට අධිගෘහිත වූ අනන්‍ය වූ දෙව්වරු ගැනද කතාකළ යුතුව තිබේ. ඒ වත්මන් දරු පරපුරුවල අවබෝධය සඳහාය. 


ශ්‍රීලංකාවේ අතිප්‍රසිද්ධ දේවකතා අතර එම නාමයන් ප්‍රචලිත වී ඇත්තේ ඔවුන් විසින් කළ කී දෑ ද මුල්කරගෙනය. සුජීවත්ව සිටින කාල වකවානුවෙහිදී ඔවුන්ගේ දැහැමි බව පරහිතකාමී බව මත ඔවුන් මියගිය පසු දේවත්වයට පත්වී ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකාව බතබුලතින් සරුකළ ‘‘මහසෙන්’’ රජු මරණින් පසු ‘මහසෙන් දෙවි’ නමින්ද ප්‍රචලිත වීම මීට හොඳම නිදසුන ය. 


එමෙන්ම ඒ ඒ ප්‍රදේශ වශයෙන් ගතහොත් ප්‍රාදේශීයව මෙහෙවරක් කර ජනතා මතකයෙන් ඈත් නොවූ සැබෑ චරිතද පසුක​ෙලක දේවත්වයට පත්ව වැඳුම් පිදුම් පුද පූජා ලද වග ඓතිහාසික හේතු සාධක මගින් පෙනේ. 


ශ්‍රී ලංකාව වටා ගම් නියම් ගම් අතර ජනප්‍රිය වූ එවන් ප්‍රාදේශීය දෙවි දේවතාවුන් අතර අපේම යැයි කිව හැකි දෙවියෙකු ලෙස ‘‘බෝගම්බර දෙවියන්ට’’ ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂයෙන්ම පැරණි කන්ද උඩරටට පමණක් ආවේණික වූ බලපරාක්‍රමයෙන් අනූන දෙවියෙකු ලෙසට ප්‍රකට බෝගම්බර දෙවියෝ, කන්ද උඩරට රාජධානී සමයෙහි පහළ වූ වීර චරිතාපදානයක් වටා ගෙතුණු අපූරු කතාන්තරයකි. ජන පවතකි. 


මහනුවර (කන්ද උඩරට) රාජධානිය වූ මුල් යුගයේදී ‘‘මාතලේ දිසාව’’ හඳුන්වා ඇත්තේ ‘‘බෝගම්බර දිසාව’’ නමිනි. ඒ නිසා එහි පාලකයාගේ නාමය වුණේද බෝගම්බර දිසාව ලෙසටයි. සමහර විට ඔහු කන්ද උඩරට බෝගම්බර ප්‍රදේශයෙන් ගිය පාලකයෙකු නිසා හෝ නැතිනම් ‘මාතලේ රත්තොටට’ නුදුරු ‘බෝගම්බර ග්‍රාමයෙහි උපන් අයෙකු නිසාදැයි පැහැදිලි තොරතුරක් නැත. 


නුවර යුගයෙහි අතිප්‍රසිද්ධ බෝගම්බර වැව පිහිටියේ නගර මධ්‍යයේය. ඒ පසුගිය කල ඉවතට ගෙනගිය බෝගම්බර හිර ගෙදර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්ය. ඇහැළේපොළ මහාධිකාරම් තුමාගේ ළමාතැනිය වූ එකී කුමාරිහාමි දියේ ගිල්වා මරා දමන ලද්දේ එම බෝගම්බර වැවේය. කෙසේ නමුත් මෙම නාමය පිළිබඳව නිශ්චිතවම තොරතුරක් දැනගන්නට නැත. 


කෙසේ වෙතත් ක්‍රි.ව. 1634 සිට 1686 දක්වා කන්ද උඩරට රජ පැමිණි දෙවන රාජසිංහ රජුන් දවස මාතලේ දිසාව (පළාත) හෙවත් බෝගම්බර දිසාව පලනය කළ ‘‘බෝගම්බර දිසාහාමුදුරුවෝ’’ බොහෝ ප්‍රතාපවත් ශූර වීර චරිතයක් වූ අතර ඒ නිසාම ඔහුගේ මරණයෙන් අනතුරුව දේවත්වයට පාත්‍ර වූ බව මේ දේව සංකල්පනාවේ එක් මතයකි. 
තවත් මතයකින් කියවෙන්නේ ඔහු කරුණාබර, ගුණවත් හා ජනතාවගේ දුක් දන්නා අයෙකුව සිට මියගිය පසු බෝගම්බර දෙවියන් ලෙස ජනතාව පිළිගත් බවයි. 
ක්‍රි.ව. 1686 සිට 1705 දක්වා කන්ද උඩරට රජකළ ‘‘දෙවන විමලධර්මසූරිය’’ රජුන් දවස මෙන්ම ක්‍රි.ව. 1705 සිට 1738 දක්වා රජකළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුන් දවසද බෝගම්බර දෙවියන් පිදීම උඩරට ගම් නියම්වල ප්‍රබල ලෙස පැවැති අතර එය වර්ෂ 1815 දී සිංහලේ බිඳවැටීම තෙක්ම සිදු කෙරුණ බව ඓතිහාසික පොතපතවලින් පෙනේ. 
ක්‍රි.ව. 1660 සිට 1679 දක්වා පුරා වසර 19ක්ම කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙකුව දිවි ගෙවූ ඉංග්‍රීසි ජාතික ‘‘රොබට් නොක්ස්’’ (Robert Knox) විසින් පසු කලෙක ශ්‍රී ලංකාවේ සැබෑ වතගොත අලලා ලියන ලද "An Historical Relation of The Island of Ceylon 1681" නම් කෘතියෙහිද ක්‍රි.ව. 1816 සිට 1820 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයෙහි යෙදී සිටි ඉංග්‍රීසි ජාතික ‘ජෝන් ඩේව්’ විසින් ලියන ලද "An Account of the interior of ceylon and of its inhabitants with travels in that Island 1821" ග්‍රන්ථයේද බෝගම්බර දේව ඇදහිලි පිදවිලි හා දෙවියන් පිළිබඳව විග්‍රහ කර තිබේ. 


මීට අමතරව තවත් දෙස් විදෙස් වියතුන් විසින් ලියන ද ඓතිහාසික වාර්තාවලද මෑත කාලයේදී ලියුණු ‘‘නුවර යක්කු’’ නම් ග්‍රන්ථයේද මෙම දේව ඇදහිල්ල සහ දෙවියන් පිළිබඳව අපූරු විස්තර දැක්වෙයි. කන්ද උඩරට රාජ්‍ය හා ඒ පිළිබඳව නොදත් යටගිය තොරතුරු ගවේශණය කර ඇති මහ වියතෙකු වූ එස්.කේ. ජයවර්ධන සූරීන්ද මේ පිළිබඳව මෙයට වසර ගණනාවකට පෙර විස්තර සොයා බැලූ බවක් මගේ මතකයට එයි. 


කෙසේ නමුත් මෙම ‘බෝගම්බර දෙවියන්’ අතිප්‍රබල බලයක් ඇති චරිතයක් ලෙසට කන්ද උඩරට වාසීන් එදා වගේම අදත් අදහති. විශේෂයෙන්ම මාතලේ ප්‍රදේශවාසින්ගේ අතිපූජනීයත්වයට පත්ව සිටි සහ සිටින මෙම දෙවියෝ එදා වගේම අදත් ගෞරව පුද පූජා බුහුමන් ලබති. වැඳුම් පිදුම් ලබති. 


ප්‍රදේශයේ ගැමි ජනතාවට ඇතිවන්නා වූ කායික මෙන්ම මානසික ආබාධයන් දුරු කරගැනීම් වස් තෙල්, මල් පහන්, බුලත් පුදා යැදීම් කළ කල්හි එයින්ම දුක සංකා දුරුවී සෞභාග්‍යය උදාවන බව උඩරට ගැමි ජනතාවගේ විශ්වාසයකි. එදා මෙන්ම අදත් බෝගම්බර දෙව් උපත ලද ‘මාතලේ ප්‍රදේශයේ ගැමි ජනතාව තුළ මේ ඇදහිල්ල මුල්බැසගෙන තිබේ. දෙවියන් වෙතට පිදවිලි බුලත් යහන් තබන ‘මැහිපොළ’ නම් ස්ථාන අදත් ඉඳහිට හෝ එම ගම්මානවල දක්නට ඇති අතර යැදීම, පිළිබඳ යහමින්ම සිදු කෙරෙයි. මෙම දෙවිඳුද එහෙයින්ම යහතින් වැඩහිඳ පිහිට ලබා දෙතැයි ඔවුන්ගේ විශ්වාසයයි. 


බෝගම්බර දේව විශ්වාසය මත දුකට පත් ගැමි ජනයා විසින් දෙවියන්ට බුලත් පුදන මැහිපොළ වෙතට බුලත වඩින්නේ රාත්‍රිය උදා වී සත් පැයකිනි. අනතුරුව තමන් පත්ව ඇති ව්‍යසනය කියමින් යාදින්න ඇරඹෙයි. එම යාදිනිවලින් කියැවෙන්නේ ‘බෝගම්බර දිසාවේ’ ජීවමානව සිටිද්දී කරන කියන ලද ප්‍රතාපවත් ක්‍රියාවන් ගැනය. 


‘‘බෝගම්බර ග්‍රාමයට නුදුරු’’ ගණේතැන්න නම් ස්ථානයේ පිරිත් සජ්ජායනයක යෙදී සිටි භික්‍ෂූන් වහන්සේලා හැට නමකගේ හිස් එකට ගසා තෙද අණසක පා පොත්ගුල් හතරක් කරවාගෙන ජනයාගෙන් පුද පඬුරු පාක්කුඩම් ලබමින් මාතලේ රට යෙහෙන් ආරක්ෂා කරමින් සිටින ඔද - තෙද පිරි බෝගම්බර දෙවි හාමුදුරුවනේ’’? ආදී වශයෙන් එකී යාදිනිවලින් කියවෙයි. ඔහු වෙනුවෙන් සබැඳි සුරුවිරුකම් සහිත ස්තෝත්‍ර රැසක්ම මෙම යාදිනිවලදි මැහි​ෙපාළවල් අසලින් අසන්නට ලැබෙයි. 


බෝගම්බර දෙවිඳු කිසිම දිනෙක කිනම් අයුරකින්වත් දුටු අයෙකු නැතත් ඔහුගේ රුවට සමානකම් ඇති අවතාරයක් නම් ප්‍රදේශයේ සැරිසරණු දුටු බව පැරණි ගැමියන් කීප දෙනෙකුගෙන්ම දැනගත හැකි විය. ඒ මාතලේ, රත්තොට ආදී ප්‍රදේශවලදීය. පුර සඳ ඇති පුන් පොහෝ දිනවල අලංකාර රාජාභරණයෙන් සහ ‘අටමුලු තොප්පියක්’ හිස දරා විනෝදයෙන් ගම් දනව්වල සැරිසරන බවද සිහිල් දියඇලිවලින් නාමින් එහි ගැවසෙන බවත් එම කතා තුළ ගැබ් වී ඇත. 


බෝගම්බර දිසාවේ ලෙසට රාජ පහිංඩය කරන වකවානුවලදී ඔහු ගැමි ජනතාවට මහත් වූ දයාවක් දක්වා ඇති බව පෙරදී කියා තිබේ. ඒ අනුව කන්ද උඩරට ගැමි ජනතාව අගතියට ලක් කර විනාශ කිරීමට මහන්සි ගන්නා ඇතැම් කූට කෛරාටික යකැදුරන්ගේ පරම සතුරෙකු වූ බෝගම්බර දෙවියෝ ඔවුන් විසින් කරනු ලබන අණවින අාදී හූනියම් හා බන්ධන ආදිය සහමුලින්ම විනාශ කිරීමට හැමවිටම මාන බලන බවද කියැවෙයි. ඒ ඔහුගේ එදා වූ සැබෑ ස්වභාවය පෙන්නුම් කරන එක් අංගයක් බව ගැමි විශ්වාසයයි.
අහිංසකයින්ගේ මිතුරෙකු ලෙසට බෝගම්බර දෙවියන් මෙසේ ප්‍රකට වුවද ඔහුගේ ළමාතැනීගේ (බිරිඳ) රූපය සිහිනෙන් හෝ දර්ශනය වීම අනිටු ඵල දෙන්නක් සේ කන්ද උඩරට ගැමියෝ විශ්වාස කරති. එය කොතෙක්ද යත් අසුභ බව පමණක් නොව මරණයේ දොර විවර කර ගැනීමක්ම විය හැකි බව ඔවුහු අදහති. 


එහෙයින්ම ‘‘බෝගම්බර ළමා තැනීගෙන් අපව බේරා ගන්නැ’’යි කියා දෙවියන් හමුවේ යාදිනි කියන්නට ඔවුන්ට සිදුවී තිබේ. මෙම යාදිනිවලට දිවැස් හෙළන බෝගම්බර දෙවියෝ සිය ළමාතැනීගේ රුව සෙස්සන්ට නොපෙ​ෙනන ලෙස රන් සළුවකින් ඇ​ෙග් මුහුණ වසා දැමීම සිදුකරන බවද මෙම ඇදහිල්ලේ සඳහන්ය. 


තමා ජීවත්ව සිටි කාලයට අනුරූපව ඔහු විසින් කරන කියන ලද දේ අනුව දේවත්වයට පත්ව පුද පූජා ලබමින් සිටින බෝගම්බර දෙවියෝ වැනි තෙදවත් ප්‍රාදේශීය දෙවිවරුන් තවත් ඕනෑ තරම් සිටින නමුත් මෙවන් ලෙස ව්‍යාප්ත වී ගිය දේව විශ්වාසයක් නම් දක්නට නැති තරම් ය. ඇතොත් ඒ යුගයකට සීමා වී පමණය. එහෙත්... බෝගම්බර දෙවියෝ...? 

 


නාලගමුවේ  උබේසේකර කුමාරසිංහ