කදුරු ලී නැතිව අඳුරු වූ වෙස් මුහුණු කර්මාන්තය


 

කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාව නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ තර්ජනයකට මුහුණපා තිබෙන බව වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවෝ ප්‍රකාශ කරති. 


දිය කදුරු වෙරළාසන්නයේ, දියපාරවල් ඔයවල් හා කුඹුරු ආශ‍්‍රිතව දැකිය හැකි විශාල පඳුරක් සහිත ජලාශ‍්‍රිත ශාක විශේෂයක් වන අතර එය උග‍්‍ර විෂ සහිතය. ඉංග‍්‍රීසි භාෂාවෙන් poison nut ලෙස හැඳින්වෙන දියකදුරුවල විද්‍යාත්මක නාමය Cerbera manghas වේ. 


දියකදුරු ශාකයෙහි පත‍්‍ර අරලිය පත‍්‍රවලට බෙහෙවින් සමාන වේ. එනම් පත‍්‍ර තලය එහි මුල සිට අග දක්වා එකම පළලින් යුක්තය. පත‍්‍රවල, පත‍්‍ර නාරටිවල මෙන්ම ශාක කඳෙහි ද කිරි අඩංගුය. ඉද්ද මලට සමාන හැඩයක් ගන්නා තරමක් විශාල ප‍්‍රමාණයේ සුදු පැහැති මල් හට ගනී. ඒවා මිහිරි සුවඳින් යුක්තය. දොඩම් ගෙඩියක ප‍්‍රමාණයට හා හැඩයට සමාන දියකදුරු ඵලය කොළ පැහැති වන අතර හොඳින් ඉදුණු පසු දීප්තිමත් තද රතු පැහැයක් ගනී. ඵලයෙහි තන්තුමය ස්වභාවයක් ඇත. මෙම ගෙඩියෙහි ඇති ආකර්ෂණීය ස්වභාවය නිසාම කුඩා දරුවන් ආහාරයට ගැනීමට පෙළඹේ. 


දිය කදුරු ශාකයේ වඩා විස සහිත කොටස වනුයේ බීජ මදයයි. මෙහි විස සහිත ග්ලයිකොසයිඩ වන සර්බේරින් (Cerberine) ඔඩලම් (Odollum) සහ තිවේටින් (Thevetin) අඩංගු නිසා උග‍්‍ර විස සහිතය. ශාකයේ ඇති කිරි ද ශරීරයට විස සහිතය. මේවා ශරීරගත වීම තුළින් හෘද ක්‍රියාකාරීත්වයට තදින් බලපායි. කුඩා දරුවන් සිටින නිවෙස් ආශ‍්‍රිතව මෙම ශාකය තිබීම අනතුරුදායක විය හැකිය. මේ නිසා නිවෙස්වල වැටවල්වලට සිටුවීම නැවැත්වීම මගින් සහ කුඩා දරුවන් දැනුම්වත් කිරීම මගින් බොහෝදුරට මින් සිදු වන අනතුරු අවම කරගත හැකිය. 


දිවි කදුරු ශ‍්‍රී ලංකාවේ උෂ්ණ ප‍්‍රදේශවල හා තෙත් කලාපීය පහතරට දැකිය හැකි දිවිකදුරු, කදුරු පවුලේ අනෙක් විස සාමාජිකයා වෙයි. උද්භිද විද්‍යාත්මකව Tabernae montana dichotoma නමින් හැඳින්වෙන මෙම ශාකයට ඉංග‍්‍රීසි භාෂාවේ Eve's apple ලෙස භාවිත කරයි. නොමේරූ ශාක කොටස් දිලිසෙන සුලු රිසීන් අඩංගු ආවරණයෙන් යුක්තය. පත‍්‍ර ඉලිප්සාකාර වන අතර පුෂ්පය මද වශයෙන් සුදු පැහැ වේ. දිවිකදුරු ශාකයෙහි පලය තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගනියි. තිරස් අතට පෘෂ්ඨය හා උදරීය දාර දිගට ද දෙකට ද බෙදී ඇත. දිවිකදුරු කිරිළ කටු ඇනීමෙන් පසු එය පහසුවෙන් ඉවත් කර ගැනීම සඳහා භාවිත කරයි. 


දිවි කදුරු ශාකයේ විෂ සහිත කොටස ඇත්තේ බීජවලය. එම විෂ ශරීරගත වීමෙන් බඩ විරේකය සහ නිදිමත ඇති කරවයි. ‘අත්තන’ විසට සමාන විෂක් මෙම බීජවල ඇති අතර, කුඩා දරුවන් නොදන්නාකම නිසාවෙන් ආහාරයට ගත හැකිය. මේ නිසා වැටවලට සිටුවීම වැනි ක්‍රියාවන්වලින් වැළකීමෙන් මෙය නිවෙසේ පරිසරයෙන් ඉවත් කළ හැකිය. මේ නිසා කදුරු වගාවන් ඉවත් කිරීම නිරතුරුවම සිදුකරයි. ඒ නිසා වෙස්මුහුණු කර්මාන්තයට අවශ්‍ය වූ දැව ලබාගන්නට නොහැකිව පවතී. 


 වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවකි. මෙය උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමග සබැඳීය. 


ශ්‍රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමග ද මෙම වෙස් මුහුණු බැඳී පැවතුණු බව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරුණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි. 


ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපණය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත. 
ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිද්ධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගොඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්‍රිය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඇද ගැනීමට උපක්‍රමයක් ලෙස ද යොදාගෙන තිබේ. 


මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බොහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණුවල ස්වභාවිකත්වය සහ සංස්කෘතික ලක්ෂණ ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක. 


අම්බලන්ගොඩ ප්‍රදේශයේ හා ඒ අවට කදුරුගස් සොයා ගැනීමට දැඩි අපහසුතාවක් තිබෙන බව ද ඔවුහු ප්‍රකාශ කරති. වෙස් මුහුණු කර්මාන්තය විනාශ වී ගියහොත් ශ්‍රී ලංකාවේ පවුල් පන්දහසකට ආසන්න පිරිසකට සිය ජීවන වෘත්තිය අහිමි වන බවත් එයින් සංචාරක ව්‍යාපාරයට ද මරු පහරක් වදිනු ඇති බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන්ගේ මතය වී තිබේ. 


දිවයිනේ වෙස් මුහුණු කර්මාන්තය පවත්වාගෙන යන්නේ අම්බලන්ගොඩ නගරයේය. රූකඩ කර්මාන්තයට ද ප්‍රසිද්ධියක් උසුලන්නේ අම්බලන්ගොඩය. රූකඩ හා වෙස් මුහුණු කර්මාන්තයන් දෙකම කරන්නේ අම්බලන්ගොඩ කේන්ද්‍රකරගෙනය. මෙම කර්මාන්තයන් දෙකේම බොහෝ නිර්මාණකරුවන්ගේ මුල් පුරුක්වල නිජබිම, බළපිටියේ වතුගෙදර හා පරගහතොට ප්‍රදේශයන්ය. 


ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ආසන්තම නගරය වන අම්බලන්ගොඩට කේන්ද්‍ර වෙමින් සිය ව්‍යාපාරවල නිරත වීම මත රූකඩ හා වෙස් මුහුණු කලාව අම්බලන්ගොඩ හා එකට බැඳී දිවයින පුරා ජනප්‍රිය විය. දැනට අම්බලන්ගොඩ වෙස් මුහුණු කලාව පවත්වාගෙන යන්නන් වන ආරියපාල ගුරුන්නාන්සේ සූරීන්ගේ පරම්පරාව අම්බලන්ගොඩ තානායම ඉදිරිපිට නිවසේ සිට මෙම කර්මාන්තයට ප්‍රවිෂ්ට වී තිබේ. අම්බලන්ගොඩ තානායමට ආ විදේශිකයන් ආරියපාල ගුරුන්නාන්සේගේ කෝලම් නාට්‍ය හා වෙස් මුහුණු නැරඹීමෙන් ඒවා විදේශයන් අතර ජනප්‍රිය වී ඇත. රූකඩ කලාවේ විශිෂ්ටයා වන කේ. ප්‍රේමින් මහතා පරගහතොට කේන්ද්‍ර කර ගනිමින් රූකඩ කලාවට ප්‍රවිශ්ට වී තිබේ. 


වෙස් මුහුණු කලාවේ දී මුහුණු වර්ග කීපයක්ම නිර්මාණය කරනු ලබයි. ඒවා අතර දිව්‍ය මුහුණු, කෝලම් මුහුණු, රාක්ෂ මුහුණු, යක්ෂ මුහුණු, නාග මුහුණු, සන්නි මුහුණු මෙන්ම විවිධ මිත්‍යා මුහුණු ද තිබේ. මෙම මුහුණු විවිධ ශාන්ති කර්ම සඳහා මෙන්ම උඩරට, පහතරට, සබරගමු නැටුම් සඳහා ද යොදාගනු ලබයි. එයට අමතරව නිවාස හා ගොඩනැගිලි අලංකාර කිරීම සඳහා ද වෙස් මුහුණු යොදාගෙන තිබේ. සන්නි මුහුණු 18ක් නිර්මාණය කරනු ලබයි. මෙසේ නිර්මාණය කරනු ලබන්නේ මහා සන්නි කෝල යකාගේ අවතාර 18යි. ඒවා යොදා ගනු ලබන්නේ ශාන්තිකර්ම සඳහාය. 

 

වෙස් මුහුණු කැපීමට ගන්නා එකම ලීය වන්නේ කදුරු ලීයයි. ඒ ලීයෙන් වෙනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. අවම වශයෙන් ළිපට දරටවත් දමන්න බැහැ. කිසි කෙනෙක් වුවමනාවෙන් කදුරු ගසක් වවන්නේ නැහැ. වැට මායිම්වලටයි සිටුවන්නේ. 


ලෝකයේ සැහැල්ලුම ලීය වන්නේ බල්සා ලීයයි. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මාතලේ ප්‍රදේශයේ වගා කර තිබෙනවා. නැව් සහ අහස්යානා තැනීමට ඒ ලී අරගෙන තිබෙනවා. ලංකාවේ වැවෙන කදුරු ලීයත් ඒ කුලයට අයත් එකක්. ඉස්සර වෙස් මුහුණු කැපීමට රුක්අත්තන ලී ගත්තත් ඉක්මනින් ගුල්ලො විදල දිරා පත්වන නිසා එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අම්බලන්ගොඩ අවට වෙල්වල කදුරු ගස් තිබුණත් දැන් ඒවා දකින්නට නැහැ. කදුරු ගස් සොයා ගන්න කරන්දෙණියටත් වඩා ඈතට යන්න වෙනවා. කදුරු ගස්වල විශාල හිඟයක් තිබෙනවා. ඉස්සර මේවා සල්ලි දීලා ගත්තෙ නැහැ. එහෙත් දැන් සල්ලිවලටවත් සොයා ගන්න නැහැ. 


අම්බලන්ගොඩ අවට ගොඩහේන, තල්ගස්ගොඩ ආදී ප්‍රදේශවල ප්‍රයෝජනයක් ගන්න බැරි වගුරු බිම්වල නියරවල්වල කදුරු ගස් වවන්න අවසර දෙන්නයි කියල අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළත් තවම උත්තරයක්වත් ලැබුණෙ නැහැ. මේ කර්මාන්තයට ආදේශ කරල ගන්න වෙන ලීයක් නැති නිසා තව අවුරුදු හතරක් පහක් යන විට මේ කර්මාන්තය නැති වී යන්න පුළුවන්.


වෙස් මුහුණු කැපීම සඳහා යොදාගනු ලබන්නේ කදුරු හා රුක්අත්තන ලීය. මෙයිනුත් කදුරුලීය වැඩි වශයෙන් යොදාගන්නා අතර ඊට හේතු වී තිබෙන්නේ කදුරු, ගුල්ලො ගැසීමකින් තොරව වසර 300 ක් පමණ තබා ගැනීමට හැකි වීමයි. මෙම කදුරු ලීය වෙල් ආශ්‍රිතව වැඩෙන නිසා වෙල් කදුරු වශයෙන් ද හඳුන්වයි. 


වෙස් මුහුණු කලාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහා සම්මත රජුගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළ දුකක් ඇති වී එය සංසිඳවීම සඳහා වෙස් මුහුණු නිර්මාණය කළ බව පැරණි පොත පතේ සඳහන් වේ. මෙම වෙස් මුහුණු ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්වකර්මයා ලවා කරවූ බව ද එහි සඳහන් ය. වෙස් මුහුණු, රාම-රාවණා යුද්ධයේ දී ද භාවිත කළ බව සඳහන්ය. මෙම යුද්ධයේ දී නාගරාක්ෂ මුහුණු හා ගුරුළු මුහුණු භාවිතකර තිබේ. ගෝත්‍රික යුද්ධ පිටියේ දී සතුරන් බිය වැද්දීම සඳහා වෙස් මුහුණු යොදාගෙන තිබෙන බවත් එහිදී යුද්ධයට එන්නේ මිනිසුන් නොව භයානක සතුන් විශේෂයක් බවට සතුරන් සිතා බිය වී තිබෙන බවත් සඳහන් ය. 


අම්බලන්ගොඩ වෙස් මුහුණු කලාව ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර සහ ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වශයෙන් දෙපාර්ශ්වයක් විසින් මතු පරම්පරාව සඳහා පවත්වාගෙන ගොස් තිබේ. එහෙත් මේ වන විට වෙස් මුහුණු කලාවේ නියැළෙන්නේ ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර පමණි. විවිධ සමාජීය ගැටලු හා දුෂ්කරතා හේතුවෙන් ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වෙස් මුහුණු නිර්මාණ ශිල්පය වෙතින් දුරස් වී ඇත. 
අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ පුරෝගාමියකු සහ ආරියපාල ගුරුන්නාන්සේගේ පුතෙකු වන ජේ.ඩබ්ලිව්. භද්‍රානන්ද විජේසූරිය මහතා මෙසේ කීය. 

 

 


වෙස් මුහුණු කැපීමට ගන්නා එකම ලීය වන්නේ කදුරු ලීයයි. ඒ ලීයෙන් වෙනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. අවම වශයෙන් ළිපට දරටවත් දමන්න බැහැ. කිසි කෙනෙක් වුවමනාවෙන් කදුරු ගසක් වවන්නේ නැහැ. වැට මායිම්වලටයි සිටුවන්නේ. 


ලෝකයේ සැහැල්ලුම ලීය වන්නේ බල්සා ලීයයි. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මාතලේ ප්‍රදේශයේ වගා කර තිබෙනවා. නැව් සහ අහස්යානා තැනීමට ඒ ලී අරගෙන තිබෙනවා. ලංකාවේ වැවෙන කදුරු ලීයත් ඒ කුලයට අයත් එකක්. ඉස්සර වෙස් මුහුණු කැපීමට රුක්අත්තන ලී ගත්තත් ඉක්මනින් ගුල්ලො විදල දිරා පත්වන නිසා එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අම්බලන්ගොඩ අවට වෙල්වල කදුරු ගස් තිබුණත් දැන් ඒවා දකින්නට නැහැ. කදුරු ගස් සොයා ගන්න කරන්දෙණියටත් වඩා ඈතට යන්න වෙනවා. කදුරු ගස්වල විශාල හිඟයක් තිබෙනවා. ඉස්සර මේවා සල්ලි දීලා ගත්තෙ නැහැ. එහෙත් දැන් සල්ලිවලටවත් සොයා ගන්න නැහැ. 


අම්බලන්ගොඩ අවට ගොඩහේන, තල්ගස්ගොඩ ආදී ප්‍රදේශවල ප්‍රයෝජනයක් ගන්න බැරි වගුරු බිම්වල නියරවල්වල කදුරු ගස් වවන්න අවසර දෙන්නයි කියල අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළත් තවම උත්තරයක්වත් ලැබුණෙ නැහැ. මේ කර්මාන්තයට ආදේශ කරල ගන්න වෙන ලීයක් නැති නිසා තව අවුරුදු හතරක් පහක් යන විට මේ කර්මාන්තය නැති වී යන්න පුළුවන්. 


අම්බලන්ගොඩ, බෙන්තොට, හොරණ, ඔලබොටුව, පිළියන්දල, පිටිගල, මාතර, මිරිස්ස ආදී ප්‍රදේශවල පවුල් හාරපන් දහසක් පමණ ජීවත් වන්නේ මේ කර්මාන්තයෙන්. එක්දහස් නමසිය අසූ ගණන්වල ජර්මන් ජාතික මහත්තයෙක් ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයක් කරන්න තෝරගෙන තිබුණේ වෙස් මුහුණු හා බලිතොවිල් ආදියයි. එතුමා ඇවිත් මේ ගැන අධ්‍යයනයක් කරලා මේ තරම් වටිනා කර්මාන්තයට රජයෙන් ලැබෙන අඩු සැලකිල්ල ගැන කනගාටු වුණා. එතුමා ඒ රටට ගොස් මේ ගැන දැනුම් දී ජර්මන් රජය ලවා අපේ රජයට ඉල්ලීමක් කර තිබුණා මේ කර්මාන්තය රැක දෙන්නයි කියලා. 


ඒ රටෙන් කණ්ඩායමක් ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරයක් සහ පුහුණු ආයතනක් හදන්න කියල ඉල්ලා තිබුණා. ඒ අනුවයි ඒ පිරිස ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරය හැදුවේ. 1987 දී ජර්මන් තානාපතිවරයා ඇවිල්ලයි එය විවෘත කළේ. දැන් විදේශීය සංචාරකයෝ මෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් ඇවිත් අධ්‍යයනය කරනවා. 


දේශීය අත්කම් භාණ්ඩ මිල දී ගන්නා ලක්සල ආයතනයේ වෙස් මුහුණු පිළිබඳව අවබෝධයක් දැනුමක් නැති අයයි ඉන්නේ. දේශපාලනඥයන්ගේ හෙංචයියලා පත්කර තිබෙන්නේ. ඒ නිසා මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිතියක් ඇත්තේ නැහැ. ඒ ගැන හසළ දැනුමක් තිබෙන අය රැකියාවක් නැතුව මුහුදු යනවා. ඉදිරි පරපුර වෙනුවෙන් මෙය රැක ගන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය. 


ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුරේ මෙම කලාව රැකගෙන ඉදිරියට ගෙනයන තවත් අයෙක් වන්නේ ආරියපාල ගුරුන්නාන්සේගේ බාල පුතු වන ජේ.ඩබ්ලිව්. මහින්ද විජේසූරිය මහතාය. මේ ඔහු දැක්වූ අදහස්ය. 
‘‘අපේ ගෙදර තිබුණෙ අම්බලන්ගොඩ තානායම ඉදිරිපිට තාත්තා නිතරම කෝලම්, සන්නි නැටුම් පුරුදු වෙනවා. බෙර ගහන සද්දෙට තානායමට එන විදේශිකයො ඇවිත් බලනවා. ඒ ආවම ගෙදර හැමතැනම තිබෙන විවිධ වර්ගවල වෙස් මුහුණු දකිනවා. විදේශිකයන්ගේ ආකර්ෂණය අපේ වෙස් මුහුණුවලට යොමුවුණේ එහෙමයි. 


ඒ කාලේ අපේ තාත්තා කෝලම් නාට්‍ය හා සන්නි නැටුම්වල එන චරිත නිරූපණය කරන්න විවිධ ස්වරූපයේ මුහුණු හැදුවා. එක් එක් ස්වරූපයේ මුහුණු පැලඳගෙන කරන රංගනයේ දී සැබෑ මුහුණ වෙනුවට වෙනත් මුහුණක් පෙනෙන නිසා තමයි, මේවට වෙස්මුහුණු කියන නම භාවිතා කළේ. අපේ තාත්තා වෙස් මුහුණු නිර්මාණය හා ඒ හා බැඳුණු කෝලම් සන්නි නර්තන කළේ රැකියාවට නොවෙයි, විනෝදයටයි. ඒ දවස්වල ගම්වල අද වගේ සෑම දෙයක්ම මුදල්වලට කළේ නැහැ. අපේ තාත්තලා කලාව කළේ මානසික තෘප්තියට. අදටත් අපේ සමාජයේ සැබෑ මුහුණ සඟවාගෙන වෙනත් ස්වරූපයෙන් සිටින අයට වෙස්මූණු දාගෙන ඉන්න අය කියල කියනවනේ. ඒ කාලේ කෝලම් බොහොම ජනප්‍රිය නාට්‍ය කලාවක්. 


වෙස් මුහුණු නිර්මාණය වෙස් මුහුණේ පෙනුම තරම් අලංකාර පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කදුරු ලී සොයාගැනීම අපහසුයි. වෙස් මුහුණ කැපීමට කදුරු ලීයම යොදා ගන්නේ එය කල්පවතින, සතුන්ගෙන් ආරක්ෂා වන කැටයම් කැපීමට පහසු හා සැහැල්ලු ලීයක් නිසයි. කදුරු ලීය වසර 300 ක් පමණ කාලයක් තියා ගන්න පුළුවන්.’’ 


මේ පිළිබඳව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් සරසි එස්. ගුණසේකර මහත්මියගෙන් විමසූ විට මෙසේ කීවාය. 


‘‘ඔවැනි ඉල්ලීම් කරපු ලිපියක් මට ලැබුණේ නැහැ. කුඹුරු ඉඩම්වල කදුරු වගා කරනව නම් ගොවිජන සේවා කොමසාරිස්තුමාගෙනුත් වගුරු බිම්වල වගා කරනව නම් හික්කඩුව වනජීවී කාර්යාලයෙනුත් අවසර ලබා ගත යුතුයි. අපට අවසර ලබාදීමට හැකියාවක් නැහැ.’’ 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව  නිමල් අල්ගෙවත්ත