කඩුවෙල කප්පම් ගත් සමයංගේ ගෝලයාට අත්වූ ඉරණම


රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-7

හර්ෂ යසස් ශ්‍රී ජයසේකර යනු සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිතගේ ශරීරයෙන් අඩක් නැත්නම් ජීවිතයෙන් අඩක් වැනි වූ සමීපතමයෙකි. ඒ අඩ අහිමි කිරීමට බොහෝ දෙනා උත්සාහ කළ ද මධූෂ් ඊට ඉඩ තැබුවේ නැත. ඔහු හැමවිටම හර්ෂ ආරක්ෂා කිරීමට උත්සාහ කළේය. මෙරට සිටියදී පමණක් නොව විදේශගතව සිටිය දී පවා ඔහු සිය ගෝල බාලයන්ට හා සගයන්ට ද උපදෙස් ලබා දුන්නේ හර්ෂව ආරක්ෂා කරන ලෙසය. එහෙත් ඔහුට හර්ෂ බේරා ගැනීමට ඉඩක් ලැබුණේ නැත. පළිගැනීමේ, වෛරයේ, ක්‍රෝධයේ ගිනිදලු ඊට වඩා බලවත් විය. ඒ නිසා මීට වසර දෙකකට පමණ පෙර එනම් 2016 මාර්තු 03 වැනිදා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යාමට හර්ෂට සිදුවිය. 

 

හර්ෂ ඝාතනය කිරීමේ චෝදනාව එල්ල​ෙවන්නේ කඩුවෙල පාතාලයේ කිරුළ අතට ගන්නට වෙර දරමින් සිටි අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් සමයංටය. සමයංට මේ චෝදනාව එල්ල වීමට බලපෑ පසුබිම දිගු කතාවකි. 


කඩුවෙල වසන්තගෙන්, කරාටේ ධම්මිකලාගෙන් පසු කඩු​ෙවල පාතාලයට එකම උරුමක්කාරයෙකු තවම බිහිවී නැත. ඒ උරුමය ලබා ගැනීම සඳහා ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා හා රනාලේ සමයං අතර දැඩි තරගයක් පැවතිණ. සරාද මේ අතර බිහි වූ තවත් පතාල අංකුරයකි. මේ තිදෙනාම විවිධ හේතු මත විටින් විට අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත්වෙති. නැවත නිදහස් වෙති. එක් කෙනෙක් හිරේ සිටිය දී අනෙකා ඔහුගේ තැන පසුකර යාමට උත්සාහ කිරීම මේ තරගයේ දක්නට ලැබුණු සාමාන්‍ය තත්ත්වයකි. ඒ පිළිබඳව තොරතුරු අපි පසුගිය වර ලිපියෙන් ගෙන හැරපෑවෙමු. 


චාමර කඩුවෙල ප්‍රදේශයේ තරුණයෙකු වන අතර ඔහු සමයංගේ කටුයුතුවලට සහය දුන්නෙකි. සමයං රිමාන්ඩ් භාරයට පත්වූ විට චාමර ඔහු බැලීමට නිතර බන්ධනාගාරය වෙත පැමිණියේය. කඩු​ෙවල ප්‍රදේශයේ ඇතැම් කර්මාන්ත ශාලාවලට සේවකයන් සැපයීම, සේවක ප්‍රවාහනය සඳහා වාහන සැපයීම සමයං කොන්ත්‍රාත් ගෙන සිටියේ කිසිදු ගිවිසුමකට යටත්ව නොව ගිනි අවිවල සවිය පෙන්වමිනි. කඩු​ෙවල ප්‍රසිද්ධ බීම කම්හලකට ද සේවකයන් සැපයීම සමයං විසින් සිදු කළේ ඒ අනුවය. මේ සේවය සැපයීම තනි භුක්තියට කරගෙන යාමට සරා සමයංට ඉඩ දුන්නේ නැත. පාතාලයේ අත්පොත් තබමින් සිටි සරාද එයට හොඳ තරගයක් දුන්නේය. ඒ තරගය එකිනෙකා මරාගන්නා තත්ත්වයකට පත් වූ අවස්ථාවන් ද තිබිණ. 


සමයං අත්අඩංගුවට පත්වූ අවස්ථාවල සමයං වෙනුවෙන් ඒ කටයුතු කරගෙන ගියේ චාමරය. ඒ නිසා සරාගේ ගෙරවිලිවලට ලක්වීමට චාමරට සිදුවිය. ලොක්කා ඇතුළේ සිටින වෙලාවේ චණ්ඩිපාට් දාලා නහින්න හදන්න එපා, පැත්තකට වේලා හිටපං කියලා සරා චාමරට අවවාද කළේය. අවවාද වලින් නොනැවතුණ කල සිය ගෝලයන් ලවා තර්ජන ගර්ජන කරමින් චාමරට පණිවුඩ යැව්වේය. එහෙත් සමයංගේ චණ්ඩිකම හිතට ගෙන සිටි චාමර සැලුනේ නැත. ඔහුද නිතර කඩුවෙල බීම කම්හල වෙත පැමිණ සේවකයන් සැපයීම ගැන සොයා බැලුවේය. දිනක් චාමර බීම කම්හල අවට ගැවසෙන බවට තොරතුරක් සරාට ලැබුණේය. චාමරට පාඩමක් ඉගැන්වීමට මෙය හොඳම අවස්ථාව බව දැනගත් සරා ගෝලයන් පිරිසක් ද එකතු කරගෙන චාමර සොයා කම්හල දෙසට පැමිණියේ කඩු කිණිසි ද අත දරාගෙනය. 


සරා සිය ගෝලයන් සමග වටකරගෙන පහර දෙද්දී චාමර සිය ජීවිතය බේරා ගැනීමට පැන ගියේය. එහෙත් ගැලවිල්ලක් ලැබුණේ නැත. සරාගේ හා ඔහුගේ ගෝලයන්ගේ කඩු කිණිසි පහරවලට ලක්වූ චාමර මරු වැලඳ ගත්තේය. මේ ආරංචිය ලද සමයංට ඇතිවුණ කේන්තිය කොතෙක්ද යත් ඒ මොහොතේම හිරෙන් පලාගොස් සරා මරා දැමීමට තරම් සිත් විය. එහෙත් එය කළ නොහැකි නිසා ඉවසාගෙන සිටි සමයං එය කෙසේ හෝ සිදුකරන බවට දැඩි අදිටනක් ඇති කර ගත්තේය. 


සමයං රිමාන්ඩ් භාරයෙන් එළියට එන විට සරා කප්පම් සිද්ධියකට ඇතුළට ගියේය. ඒ නිසා මේ දෙන්නාගේ පළිය ගැනීම තවත් ටික කලකට පස්සට දැමීමට සිදුවිය. ඒ අතර සමයං කවදා හෝ සරා එළියට ආ සැණින් මේ පළිය ගැනීමට ක්‍රමයක් යෙදුවේය. ගහට ගහක් මොරටුවේදී හමුවෙනවා යැයි කියන්නා සේ අපරාධකාරයන් තවත් අපරාධකාරයන් මුණ ගස්වන තැන බවට බන්ධනාගාරය පත්ව තිබේ. ඔවුන් ඒ සබඳතා හඳුනාගන්නේ තව තවත් තමන්ගේ පාතාල කටයුතු වර්ධනය කරගැනීමට මිස අනේ අපොයි මෙහෙම කළොත් අපිට වෙන්නේ හැමදාම හිරේ විලංගුවේ වැටනේනයි. ඒ නිසා මේක අත්ඇරිය යුතු යැයි අදිටන් කරගන්නට ඉඩක් හදන්න නම් නොවේ. සමයංලා, අංගොඩ ලොක්කලා, මධූෂ්ලා වැඩිපුරම තමන්ගේ කල්ලියට පිරිස් ඈඳා ගන්නේ හිරේ සිටියදීය. ඔවුන්ගේ මෙහෙයුම් වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන්නේද හිරේ සිටියදීය. 


සමයංට හිරේදී දකුණු පාතාලයේ නමක් දැරූ අයෙක් හමුවිය. ඔහු අන් කවරෙකුවත් නොව මාකඳුරේ මධූෂ්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව කොමාන්ඩෝ නිශ්ශංක සමග එක්ව දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනි හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ හර්ෂ යසස් ශ්‍රී ජයසේකරය. සමයං රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එළියට එන්නට ටික දිනකට පෙර හර්ෂ ද එළියට ආවේය. සරා ටික කලකින් එළියට එනු ඇත. ඒ අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට සමයං සැලසුම් කළේය. සරා එළියට ආවේ වසරකට පමණ පසුවය. ඒ අනුව සමයං හර්ෂට කොන්ත්‍රාත්තුව දුන්නේය. එය ලක්ෂ පහක ගනුදෙනුවකි. හර්ෂ භාරගත් වගකීම අකුරටම ඉටු කළේය. එහෙත් සමයං තමන්ගේ පොරොන්දුව ඉටුකළේ නැත. හර්ෂ එයින් කෝපයට පත්විය. තමන්ට තැබු මේ පොල්ල ගැන හර්ෂ මධූෂ් සමගද පැවසීය. ඒ වින විට මධූෂ්ද ලංකාවේ සිටියේ නැත. 


මධූෂ්ටද සමයං සමග ප්‍රශ්නයක් තිබිණ. ඒ සමයං කොස්ගොඩ සුජීලාගේද සහාය ඇතිව දකුණේද කුඩු පාතාලයේ කටයුතුවලට අතගසා තිබීම නිසාය. එහෙත් මේ දෙකම මධූෂ්ට සමයං ඝාතනය කිරීමට තරම් ප්‍රබල හේතු නොවිණ. ඒ නිසා ඒ ගැටුමේ ගිනි පුපුරු මද කලකට අළුයට සැඟවිණ. 


කැලෑවේ රජා තමන් කියලා හිතට ගත්ත නරියා මෙන් සමයංද කඩුවෙල පාතාලයේ රජකම හිතට ගෙන කටයුතු කළේය. එයට කඩුවෙල භූමිය ද නැත්නම් හිරගෙදරද කියා වෙනසක් තිබුණේ නැත. හිරේ සිටිය දී ඔහු කුඩුවලින් මෙන්ම කප්පම් ගැනීමෙන් ද ඉපයූ ධනය අතදිග හැර වියදම් කරමින් ඇප ලබාගත නොහැකිව සිටි අයට ඇප ලබාගැනීමට සහය වුණේය. ඔවුන්ගේ ගෙවල්වලට විය පැහැදම් කළේය. ඒ නිසා සමයං වෙනුවෙන් ඔවුහු බැඳී සිටියහ. සමයං කියන්නේ කුමක්ද? ඒ දේ කරන්නට ඔවුහු සැදී පැහැදී සිටියහ. මේ තමන්ගේ සාමාජිකත්වය වැඩි වර්ධනය වෙද්දී සමයං රජාට ඇඳීම තවත් හොඳට කරගෙන ගියේය. ඔහු දිගටම රිමාන්ඩ් සිර මැදිරියට පැමිණෙන අයට බලපෑම් කරමින් තමන්ගේ ගොඩට එකතු කරගැනීමට වෑයම් කළේය. 

 

සමයංට හිරේදී දකුණු පාතාලයේ නමක් දැරූ අයෙකු හමුවිය. ඔහු අන් කවරෙකුවත් නොව මාකඳුරේ මධූෂ්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව කොමාන්ඩෝ නිශ්ශංක සමග එක්ව දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනි හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ හර්ෂ යසස් ශ්‍රී ජයසේකරය. සමයං රිමාන්ඩ් බන්ධානාගාරයෙන් එළියට එන්නට ටික දිනකට පෙර හර්ෂ ද එළියට ආවේය. සරා ටික කලකින් එළියට එනු ඇත. ඒ අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට සමයං සැලසුම් කළේය. සරා එළියට ආවේ වසරකට පමණ පසුවය. ඒ අනුව සමයං හර්ෂට කොන්ත්‍රාත්තුව දුන්නේය. එය ලක්ෂ පහක ගනුදෙනුවකි. හර්ෂ භාරගත් වගකීම අකුරටම ඉටු කළේය. එහෙත් සමයං තමන්ගේ පොරොන්දුව ඉටුකළේ නැත. හර්ෂ එයින් කෝපයට පත්විය. තමන්ට තැබු මේ පොල්ල ගැන හර්ෂ මධූෂ් සමගද පැවසීය. ඒ වින විට මධූෂ්ද ලංකාවේ සිටියේ නැත. මධූෂ්ටද සමයං සමග ප්‍රශ්නයක් තිබිණ. ඒ සමයං කොස්ගොඩ සුජීලාගේද සහාය ඇතිව දකුණේද කුඩු පාතාලයේ කටයුතුවලට අතගසා තිබීම නිසාය. එහෙත් මේ දෙකම මධූෂ්ට සමයං ඝාතනය කිරීමට තරම් ප්‍රබල හේතු නොවිණ. ඒ නිසා ඒ ගැටුමේ ගිනි පුපුරු මඳ කලකට අළුයට සැඟවිණ. 

 


වාහන කොල්ලයක් සම්බන්ධයෙන් චමින්ද නැමැත්තා රිමාන්ඩ් භාරයට පත්​ෙවන්නේ මේ කාලයේදීය. සමයං චමින්ද නොහොත් චමීව ද තමන්ගේ ගොඩට එකතු කර ගැනීමට උත්සාහ කළේය. එහෙත් චමී සමයංගේ අණ පිළිපැදීමට සුදානම් වූයේ නැත. ඔවුන්ගේම භාෂාවෙන් කියන්නේ නම් චමීට සමයංව දිරෙව්වේ නැත. ඒ නිසා ඔහු සමයං සමග ගැටුමක් ඇති කරගත්තේය. සමයං සිය ගෝලයන් ද සමග එක්ව චමිට පහර දුන්නේය. අංගොඩ ලොක්කාද මෙකල සිටියේ රිමාන්ඩ් භාරයේය. සමයංගේ මේ කෙරුම් දිහා බලාගෙන සිටි ලොක්කා චමීට කිට්ටු විය. 


‘‘බය වෙන්න එපා මල්ලි අපි ඕකට ගේම එළියෙදී දෙමු. මටත් තියෙනවා මිනිහත් එක්ක බේරගන්න ගනුදෙනුවක්. ඔයා වැඬේ කරනවා නම් මම සපෝට් එක දෙන්නම්.’’ ඔහු චමීට පොරොන්දුවක් දුන්නේය. හර්ෂ යසස්, අංගොඩ ලොක්කාව ද රිමාන්ඩ් භාරයේදී හඳුනාගෙන තිබිණ. තමන්ට කළ හදිය ගැන ඔහු ලොක්කාට පැවසීය. මේ තිදෙනාගේම උවමනාවන් එකට ගැටගැසිණ. ඒ අනුව සමයං රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයට රැගෙන එන අවස්ථාවේ ඔහුව ඝාතනය කිරීමට තිදෙනාම සැලසුම් කළහ. 


හර්ෂ සහ චමී එකට වැඬේ කරන්නට සැලසුම් කළේය. එදා 2015 සැප්තැම්බර් 23 වැනිදා සමයංව නඩු විභාගයක් සඳහා කඩුවෙල අධිකරණයට රැගෙන එන දවසය. සැලසුම සකස් වුණේ ආබාධිතයෙකු ලෙස අත වෙළාගෙන අධිකරණ භූමියට ඇතුළු වී සමයං අධිකරණ භූමියට රැගෙන එද්දි වෙඩි තැබීමටය. අංගොඩ ලොක්කා එයට අවශ්‍ය මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය සැපයුවේය. චමී අත වෙලාගෙන කරේ එල්ලා ගත්තේ ආරක්ෂකයන්ගේ දැඩි පරීක්ෂාවට ලක් නොවන පරිදි අධිකරණ භූමියට ඇතුළු වීමට උපක්‍රමයක් ලෙසය. ලොක්කා සැපයු පිස්තෝලය කකුලේ මේස් අතර සඟවා ගත්තේය. 


වෙලාව පැමිණියේය. සමයං අධිකරණයට රැගෙන එනු දක්නට ලැබිණ. වහාම ක්‍රියාත්මක වූ චමී මේස් අතර සඟවාගෙන සිටි පිස්තෝලය රැගෙන වෙඩි තබන්නට පටන් ගත්ත ද එය පළමු මොහොතේම ක්‍රියාත්මක වූයේ නැත. දෙවනුව ක්‍රියාත්මක වුවද සමයංට හානියක් කළ හැකි ලෙස වෙඩි තැබීමට නොහැකි විය. අවසානයේ තමන් හසුවීම වළක්වා ගැනීම සඳහා පිස්තෝලය හතර අතට වනා වෙඩි තබමින් එළියට පැමිණි චමීව ගත් යතුරු පැදිකරු විදුලි වේගයෙන් පලා ගියේය. එදා චමීව හසු නොවුණත් පසුව ඔහු දොම්පේ දී අත්අඩංගුවට පත්විය. තමන්ට වෙඩි තැබුවේ කවුදැයි සමයංට හෙළිදරව් විය. හෙතෙම එයින් තව තවත් කෝපාවිෂ්ට විය. අංගොඩ ලොක්කාත් හර්ෂත් දෙන්නාම මරා දැමීමේ සැලසුම් සමයං සකස් කළේ එතැන් සිටය. 


සමයං එළියට එන විට හර්ෂ සිටියේ නැවතත් රිමාන්ඩ් භාරයේය. ඒ නිසා ඔහු මරාදැමීම පහසු කටයුත්තක් නොවිණ. එහෙත් ඔහු වැඩිකල් නොගොස් ආපහු එළියට එන බව සමයං දැන සිටියේය. ඒ ආ විගස ඔහු මරා දැමීමට සැලසුම් සකස් කෙරිණ. සැලසුම සකස් වුණේ අධිකරණයෙන් ඇප ලබා එළියට එන හර්ෂ අධිකරණයෙන් එළියට පැමිණෙන විටම වෙඩි තබා ඝාතනය කිරීමටය. එදා 2016 පෙබරවාරි 26 වැනිදාය. හර්ෂ ඇප ලැබුවේය. එහෙත් ඇප ලැබු හර්ෂ එළියට ආවේ නැත. ඔහු එළියට ආවේ නැත්තේ ඇයි? ඔහු රහසේ සැඟව ගියේ කෙසේද? යන ප්‍රශ්නයක් සමයංට ඇතිවිය. සැබවින්ම ඔහුට සිදු වූයේ කුමක්ද? අපි ලබන කලාපයෙන් ඒ ගැන කතා කරමු. 

 

 

 


මුදිතා දයානන්ද