කඩුගන්නාවේ අඩිපාර මහපාරක් කළ සුදු ඉංජිනේරුවා


ශීඝ්‍ර බෑවුමක් සහිත කඩුගන්නාව දුර්ගයේ ඉස්මත්තෙහි ස්මාරකයක් පිහිටුවා ඇත. මෙය ඉදිකර ඇත්තේ කඩුගන්නාව දුර්ග මාර්ගය ඉදිකිරීමේ නියමුවා වූ රාජකීය ඉංජිනේරු බලකායේ කපිතාන් ඩෝසන් සිහිවීම පිණිසය. 


1829දී මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු උතුරු සහ බටහිර දෙසින් කඳුකර දිස්ත‍්‍රික්කයට ගමන් කිරීමේ එකම සහ පහසුම මඟ විවර විය. කඳුකරයට දුම්රිය මාර්ගය විවර වූයේ මෙයින්ද වසර 40කට පසුවය. 

මෙම මාර්ගය තැනීමට පෙර මුහුදුබඩ ප‍්‍රදේශවල පැවතියේ මාර්ග දෙකක් පමණි. ඒවාද මාර්ග ලෙස හැඳින්වීමටවත් බැරිතරම් නොසෑහෙන අබලන් ඒවාය. මේ මාර්ගවල ගමන් කළේ බඩුමළු ඔසවාගත් කුලීකරුවන් පිරිවරා ගෙන පල්ලැක්කි මත නැගී ගිය සංචාරකයන්ය. එහෙත් මධ්‍යම පළාතට යන එවන් මගක් නොවීය. 


කපිතාන් ඩෝසන් සිහිවීම පිණිස ඉදිකර ඇති ස්මාරකය කුළුණකි. අඩි 125 ක උසින් යුතු එය ඉදිකිරීමට පවුම් 347 යි සිලිං 7 යි පැන්ස 11 ක් වැය වී ඇත. 


කපිතාන් ඩෝසන් 1819දී මුලින්ම සේවයේ පිහිටුවනු ලැබුවේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු බලකායේ දෙවැනි කපිතාන්වරයකු ලෙස කොළඹ කඳවුරේය. ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ දැඩි හිතෛශී මිත‍්‍රයකු වූ ඩෝසන් ආණ්ඩුකාරයාගේ පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කළේය. 


කපිතාන් ඩෝසන් මන්නාරම් ඇළ සිතියම් කිරීමේ යෙදී සිටියදී දරුණු පාචන රෝගයකට ගොදුරුවිය. එහෙත් තම රාජකාරිය මුල් තැනට තැබූ ඔහු  එහි නිමාවක් දකින තුරු රෝගී තත්ත්වය අමතක කර කටයුතු කළේය. එම සිතියම් ගතකිරීම නිමා වනවිට ඔහු ශාරීරිකව බෙහෙවින් බෙලහීන වී සිටි අතර චිත්ත ශක්තිය සහ වෘත්තීමය කැපවීම නිසාම එම කාර්යයන් නිම කිරීමට හැකි වූ බව අවිවාධිතය. ඔහුගේ අභාවයෙන් පසු ලංකා ගැසට් පත්‍රයේ මෙවැනි සඳහනක් පළවිය.


“කපිතාන් ඩෝසන්ගේ අභාවයෙන් මහ රජ්ජුරුවන්ගේ සේවයටද ඔහු අනුයුක්තව සිටි බලකායටද ඉතා වටිනා අති දක්ෂ නිලධාරියකු අහිමි විය. විවිධ පැතිකඩ ඔස්සේ නිපුණත්වයක් දැක්වූ ඔහු ගැන මෙවැනි කෙටි සටහනකින් සාධාරණත්වයක් ඉටු කළ නොහැකිය. ඔහු සතුව විනෝදකාමී යහපත් චර්යාව, සුහදශීලී බව ආදී වූ ගුණාංග රැසක් නිසා හෙතෙම කා අතරත් ජනප‍්‍රිය පුද්ගලයකු විය. ඔහුගේ වියෝව එතුමන් ළඟින් ඇසුරු කළ සැමට වඩාත් සංවේදීව දැනෙනු ඇත. එතුමාගේ මතකය ඔවුන් සතුව සදා පවතිනු ඇත.” (ගැසට් පත‍්‍රය අප්‍රේල් 4. 1829) 

 

 

ගලගෙදර දුර්ගය ඔස්සේ හත්කෝරළයත් මධ්‍යම පළාතත් යා කෙරෙන කොස්පෙත්තාඔය මාර්ගයද (කුරුණෑගල - ගලගෙදර කටුගස්තොට පාර) ඔහුගේ නිර්මාණයකි. ඒ පිළිබඳව එවකට හමුද‌ා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් කැම්බල් මෙසේ සඳහන් කර තිබේ. 


“මෙවැනි උසස් තත්ත්වයේ මහා මාර්ගයක් නිර්මාණය කිරීම නැපෝලියන්ගේ උත්කෘෂ්ට ක්‍රියාවක් තරමටම එහි ගමන් ගන්නා සැවොම අගය කරන බව විශ්වාස කරමි. රාජකීය ඉංජිනේරු බලකායේ කපිතාන් ඩෝසන්ගේත් ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේත් නම සද‌ාකල්හි හා සන්තානයේ පැවතීමට මෙම මාර්ගය ඉදිකිරීමම ප‍්‍රමාණවත් බව එම ඉදිකිරීම් උදෙසා ඔවුන්ට ජය ගැනීමට තිබූ බාධක පිළිබඳව සලකා බැලීමේදී මේ මහා මාර්ගය භාවිතා කරන්නන් මා හා එකඟ වනු නොඅනුමානය.” ඒ කැම්බල්ගේ සඳහනයි. 


උඩරට ආක්‍රමණයට ආ පෘතුගිසීහු ලන්දේසීහු මෙන්ම ඉංග්‍රීසිහු බලන කඳු පාමුලදී සිංහල හමුද‌ාවෙන් අමතක නොවන පාඩම් ඉගෙන ගත්හ. එදා කන්ද උඩරට රාජ්‍යයේ ප‍්‍රධාන ආරක්ෂකයා වූයේ බලන කොටුවයි. පහතරට සිට උඩරටට ඇතුළුවන ඕනෑම හමුදාවකට බලන කොටුව ජයග‍්‍රහණය කර මිස උඩරටට යා නොහැක්කේය. මාවනැල්ලේ සිට කඩුගන්නාව දුර්ගය නැග බලනට ළඟාවීම අතිශය අවද‌ානම් සහගත කටයුත්තකි. කඳුබෑවුමේ පිහිටි රූස්ස වනාන්තය අතරින් බලන කඳුමුදුනට ළංවීම යනු මරණය කැඳවාගෙන ඒම සඳහා යන ගමනකි. 


බලන කඳුමුදුනට පහතරටින් එන ඕනෑම හමුදාවක් දර්ශනය වෙයි. තනි තනිව කඳු මුදුන කරා යන අයකු වුවද වනයේ සැඟවී සිටින සෙබළුන්ට දර්ශනය වෙයි. මේ සියල්ල අතිශය අවද‌ානම්ය. මේ හැර බලනේ සිට පහතට බසින අඩිපාරවල් ඇතත් ඒවා ගලින් ගලට පැන වැල්වල එල්ලී යා යුතු දුෂ්කර මාවත්ය. මේ නිසා කිසිම සතුරු හමුදාවක් එක් වරක් හැර බලනෙන් උඩට නොගියේය. මේ නිසා බලන කොටුව උඩරට රාජධානියේ ප‍්‍රධාන ස්වාභාවික ආරක්‍ෂකයා බවට පත්ව තිබිණි. 


1815දී උඩරට රජුට එරෙහිව සිටි සිංහල ප‍්‍රධානීන්ගේ පාවාදීම නිසා සටනකින් තොරවම බලන කොටුවට ඇතුළු වූ ඉංග්‍රීසිහු එහි සිට මහනුවර රාජධානියට ඇතුළු වූහ. ඔවුන් අවසන් රජු අල්ලාගෙන රාජධානිය තම කිරීටයට ඈද‌ා ගත්තේ ක‍්‍රිස්තුවර්ෂ 1815 මාර්තු 2 වැනිද‌ාය. 


ඉන්පසු ඉංග්‍රීසිහු උඩරට සහ කොළඹ යාකර මහා මාර්ගයක් ඉදිකිරීම සඳහා ලහිලහියේම කටයුතු සූද‌ානම් කළහ. මේ සඳහා විශේෂ උනන්දුවක් තිබූ පුද්ගලයා වුණේ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් ය. 


බ්‍රිතාන්‍යයන් මේ රට යටත් කරගත්තේ මෙහි ඇති ධන නිධාන රැගෙන ගොස් තම රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට වුවත් ඔවුන් නිසා මෙරටටද එවකට ලෝකයේ පිළිගෙන තිබූ නවීන බොහෝ දෑ හිමිවිය. මහාමාර්ග එයින් එක් වර්ගයකි. 


පෑලියගොඩ සිට මහනුවර දක්වා මහාමාර්ගයක් කපන ලෙස ආණ්ඩුකාරවරයා රාජකීය ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතාන් විලියම් ප‍්‍රැන්සිස් ඩෝසන්ට නියෝගයක් නිකුත් කරන්නේ මේ අතරතුරය. ඔහු එම නියෝගය ලැබෙන විට මන්නාරමේ බලකොටුව ආශ‍්‍රිතව මාර්ගයක් තනා ප‍්‍රසිද්ධව සිටියේය. ඔහු තම සේනාංකයද රැගෙන ගොස් පෑලියගොඩ සිට පාර කපාගෙන මාවනැල්ලට ආවේය. ඒ වනවිට බ්‍රිතාන්‍යයන් මෙරට මාර්ග සංවර්ධනය සඳහා දමිළ කම්කරුවන් දකුණු ඉන්දියාවේ සිට ගෙන එමින් සිටි යුගය විය. ඉතා අඩු වැටුපට සේවය කළ ඔවුන් මාර්ගය තැනීමේ කටයුතු සඳහා යොදවන ලදී. 


උඩරට අල්ලාගැනීමෙන් පසු ඉංග‍්‍රීසීහු විකුණාගත හැකි සියලු දේම විකුණා මුදල් උපයා ගත්හ. බලන කොටුවේ ඉතිරිව තිබූ දෑද ඔවුහු විකුණා දැමූහ. 


උඩරට සමඟ තවදුරටත් සටනක් නොවූයෙන් බලන කොටුවෙන්ද ප‍්‍රයෝජනයක් තිබුණේ නැත. දැවැන්ත මුර අට්ටාල, ගබඩා ගෙවල්, ලැගුම් ගෙවල් ආදියෙන් යුතු බලන කොටුව අවුරුද්දක් ගෙවී යනවිට වනපෙත තිබුණේ කොටුව ඇතුළේය. කොටුවේ තිබූ වටිනා කියන දෑ තිබුණේ ආරච්චිල සහ වෙල්විද‌ානේලාගේ ගෙවල්වලය. ආරච්චිට වාල්කම් කළ කුඩා පනික්කියා නමැත්තෙක් අඩු ගණනකට බලන කොටුව කාසිවලට ගත්තේය. 


ස්වභාවයෙන්ම ගැමියන්ට ඉංග්‍රීසින් නුරුස්නා ස්භාවයක් තිබූ හෙයින් පාර හදන කුලීවැඩට ගැමියන් ගියේ නැත. 


මේ නිසා කුලීකරුවන් ගෙන ආවේ ඉන්දියාවෙනි. ටික දවසකින් කඩුගන්නාව කන්දේ හැම බෑවුමක්මත් අලගල්ල, මොරගොල්ල, බලගොන්න, බතලේගල ආදී හැම කන්දක්මත් දහස් සංඛ්‍යාත කාල වර්ණ මිනිස් ප‍්‍රවාහයකින් පිරී ඉතිරී ගියේය. 


බලනින් පහළ භූමියේ හැම බිම් අඟලක්ම මේ කාලවර්ණ මිනිසුන්ගේ කචපචයෙන් පිරී තිබුණි. ඉනුත් ටික කලකට පසු කඩුගන්නාව නිම්න භූමියේ හැම කන්දක්ම, ඇඳි වත උනා රහසඟ නිරාවරණය කරගත් ගැටවරියකසේ තුණු සිරුරේ සියලු ලලිත රේඛාවන් අහසට යොමාගෙන බලා සිටියේය. විලි වසන්නට රෙදි කඩක්වත් ඇයට ඉතිරිව නොතිබිණි.


එතෙක් නොඉඳුල් වන වදුලෙන් පිරී තිබූ කඳු බෑවුම් සියල්ල කොහේදෝ සිට ආ මේ කාලවර්ණ කෙසඟ මිනිසුන්ගේ දෑතට හසුව නිරාවරණය වී තිබිණි. වතුකාර සුද්දන්ට මායිම් ලෙස ලැබී තිබූ කඳු පමණක් නොව අතට හසුවූ තරම් ඉඩම් යායවල් මේ කෙසඟ මිනිසුන්ගේ දෑතට හසුව සුදු හාම්පුතුන්ට බන්දේසියක තබා පිළිගන්වනු ලැබිණි. ලාංකිකයන් වතු වගාව සඳහා කුලී වැඩට නොයාමේ ප‍්‍රතිඵලය වූයේ මිහිකත ඇති තුරා යළි ආපසු නොයන ජන වර්ගයකට උඩරට දොරටු විවර කර දීමය. 


උඩරටින් හා පහතරටින් ගෙන එන බඩුමුට්ටු හුවමාරු වන මධ්‍යස්ථානය වූයේ මාවනැල්ලය. කරත්ත පාර දෙපස ඇණ තබාගත් ගැමියෝ තම ගෙවතුවලින් ගෙන ආ කොස්, දෙල්, අඹ, පොල්, පුවක් ආදිය පාරේ යන එන තවලම්වලට විකුණූහ. කොළඹ සිට තවලම් පුරවා බඩු ගෙන ආ වැඩි පිරිස මරක්කල ජනයාය. තවලම්කාරයෝ මාවනැල්ලෙන් බඩු මිලදී ගෙන කොළඹින් ගෙන එන කරවල, ජාඩි, හාල්, ලුණු, රෙදිපිළි ආදිය ගැමියන්ට විකිණූහ. දෙපිරිස අතර බඩු හුවමාරුව සිදුවූයේ කරත්ත නවතා ගිමන් හරින ගාල ළඟදීය. පුවක් ගෝනියකට කම්බායක්, කරවල කූරියෙක් ලෙස බඩු හුවමාරුව සිදුවෙයි. 


ඒ අතර සුදු ජාතිකයන්ගේ කෝපි වතු වේගයෙන් ව්‍යාප්තවිය.


මාවනැල්ලට යන එන කරත්තකාරයන්ට මෑතක සිට අලුත් දසුනක් දැක ගත හැකිවිය. ඒ කුණූ ලේ පාටින් ඉදී අතු බරවී ඇති කෝපි අකුල්ය. කැලෑ කපා අලුතෙන් සිටවූ කෝපි ගස්වල අස්වැන්න කොළඹට ඇදීම සඳහා පාරක අවශ්‍යතාව දැනුණි. ඩෝසන්ට පැවරුණේ ඒ වගකීමය. 


කොලොම්රටින් උඩරටට යන ගමනේදී කරත්තවලට යා හැකි අවසන් තැන වූයේ මාවනැල්ලය. එතැන් සිට බලන දුර්ගය ඔස්සේ යා හැකි එකම ක‍්‍රමය පාගමනය. ඇතැම් ධෛර්යමත් හමුද‌ා නිලධාරීහු අශ්වයා පිටින් බැස මේ දුර්ගය තරණය කර ඉතිරි හරිය අශ්වයා පිටේ ගියහ. එතෙක් තැනිතලා පාරේ යන ගමන ජීවිතය පරදුවට තබන ගමනක් බවට පත් වෙයි. 


කපිතාන් ඩෝසන් අමාරුවේ වැටුණ එක්තැනක් වුණේ මාවනැල්ල හරහා ගලන මාඔයය. 


ගල් තලාවක් මතින් ගලන ගංගාව ළඟට ආ ඩෝසන් බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියේ මේ ගල් තලාව උඩින් වැටෙන පාර කුමන මට්ටමකින් ඉදිකළ යුතුද කියාය. ඈත කඳුකරයෙන් ගලා එන ජල පහර කම්කරුවන්ගේ පැල්පත්ද ගලවාගෙන ගියාට පසු ඔහුගේ සැලසුම වෙනස් වී තිබුණි. කුඩා පාලමක් ඉදිකිරීම සඳහා පළමුව තිබූ අදහස ඔහු පසුව වෙනස් කරගත්තේ ගංගාවේ තරම හරිහැටි දැකගත් පසුවය.  


වතුර නැති කාලයට ගල් තලා මතින් ගලා යන්නේ කුඩා දිය පහරකි. ඒ කාලයට පා ගමනින් වුවත් ඔයෙන් එතෙර විය හැකිය. මේ නිසා පළමුව ඔයට බැස බිම පරීක්ෂා කිරීමට ඩෝසන් තීරණය කළේය.


අශ්වයා පිට නැගුණු ඩෝසන් ගංගාවට බැස බොහෝ වේලාවක් බලා සිටියේය. ශත වර්ෂ ගණනාවක් කඳුකරයෙන් ගෙන ආ ජල පහරින් ගල් තලාවේ බොහෝ වක්කලං ඇති වී තිබිණි. අශ්වයකු වුවත් ඇද දැමිය හැකි ගල් කුහර ඇති වි තිබිණි. ඔහු ඔයට බැස්සේ පාලමක් සඳහා උචිතම ස්ථානයෙනි. මේ ගල් තලාව තවත් ශත වර්ෂ ගණනාවක් ඔයෙන් එගොඩ වෙන තොටුපොළ වනු ඇත. ඔහු පාලමේ හැඩරුව සිතේ ඇඳගෙන කම්කරු වැඩ බිමට ඉහළින් වු කුඩා කඳු ගැටයේ තැනු තාවකාලික නවාතැනට ගියේය. ගම්මුන් මෙයට කීවේ ඩෝසන් බංගලාව කියාය. විනය ගරුක සෙබළා විනය ගරුක පරිසරයක් නිතරම අපේක්ෂා කළෙන් ඔහුගේ නවාතැන පිරිසිදුව තිබුණා සේම නිහඬතාවෙන්ද රැකුණේය. බැස යන හිරුට පිටු පා එළිමහනේ එල්ලූ කැන්වසය මත ශත වර්ෂ ගණනක් ජනී ජනයා එගොඩ කරන අනාගත පාලමේ හැඩ රුව සටහන් වී තිබිණි. එය ආරුක්කු හතරකි. ඉදිවන්නේ පුළුල් ගඩොල් පාදම් පහක් මතය. වෙඩි බෙහෙත් යොද‌ා ගල් තලා පුපුරවා හාරන පුළුල් වළවල් මත මෙම පාලම ඉදිකරයි. ඒ සඳහා විශාල ගඩොල් ප‍්‍රමාණයක්ද අවශ්‍ය කෙරෙනු ඇත. 
එම හැන්දෑවේම ඩෝසන් තමාගේ නිලධාරීන් කැඳෙව්වේය. ”මෙන්න මෙතනයි අපි පාලම ඉදි කරන්නේ. මේ ඔය හරහා ලොකු පාලමක් ඉදි කෙරෙන්න ඕනෑ. මේකට ගඩොල් කරත්ත දහස් ගාණක් යනවා. වහාම ගඩොල් හොයා ගන්න. හෙට ඉඳලම පාලමේ පාදම ද‌ාන්න ගල් වෙඩි ද‌ාන්න ඕනෑ.” 


නිලධාරීහු තම ප‍්‍රධානියාගේ අණ හිස නමා පිළිගත්හ. මාඔය කුමරියට තම පාරිශුද්ධ භාවය තබාගෙන සිටිය හැකි වුයේ එදා රාත‍්‍රිය තෙක් පමණි. ඇගේ ගමන පසුදා උදෑසන පටන් අවහිර කිරීම ආරම්භ විය. ඩෝසන්ගේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවෝද ඔවුන්ගේ අතවැසියෝද පසුදා පාන්දර යාමේ සිට ගල් තලාවේ තැනින් තැන බෝර වළවල් ගැසුහ. පළමු වතාවට නදී කුමරියගේ යටි කය දක්වාම මිනිස් අත් පහස වැදී තිබිණි. 


පසුද‌ා දහවලේ සිට මාවනැල්ල ඉසව්ව එතෙක් නෑසු කණ් අඩි පුපුරුවන මහා වෙඩි ශබ්දවලින් පිරී ගියේය. එය මාවනැල්ල ආරුක්කු පාලමේ ඉදි කිරීමේ ආරම්භය විය.

 

 

 


මතු සම්බන්ධයි...

 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග