කටුවාපිටිය ගමට එක දේශපාලකයෙක්වත් එන්න නම් එපා


තනි නොකර රකිමු

 

 

​දොර ළඟ ඉව කරන මුරකරු
තවමත් සාගින්නේ ඇති
ගත වුණා මාසයක් මුරකරු
දොරකඩම මැරිලත් ඇති
නෑ ඉදෙන්නේ බතක්
ගෙදරම ගොම්මන් වෙලා ඇති
රෑ වෙනවා එළි වෙනවා
කටුවාපිටියේ වහපු ගේකත් මිදුලේ මල් පිපිලා ඇති   

 

වෙනදා මෙන්ම කටුවාපිටියට ද ඉර සඳ පෑයුවත් අප්‍රේල් 21 පාස්කු ඉරු දින නතර වුණු ජීවිත අදටත් එලෙසමය. ඉඳහිට හෝ ගෙදරක ළිප ගිනි මෙලවුණත් බොහෝ දෙනාට අදටත් බත් කටක් වතුර ටිකක් උගුරෙන් පහළට වැටෙන්නේ නැත.   


මෙම අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දී මසක් ගත වී ඇත. එහෙත් ඔවුනට මේ අඳුරු සෙවණැලි මතකයෙන් මකා දමන්නට මැරෙන තුරාවට නොහැකිය. කෙසේ වුවත් මේ ජීවිත යළිත් නගාසිටුවිය යුතුය.   


සුදු කොඩියෙන් මරණ දැන්වීම්වලින් වැසී ගිය මේ මාවත් දැන් ටිකෙන් ටික ඔවුන්ගේ මතකයෙන් ඈත් කරන්නට ගම්මුන් කොඩි වැල් බැනර් ගලවා දමන අයුරු ද අපට දිස්විය.   
“උදේ සවස මේවා පේනකොට අපිට හිත හදා ගන්න හරිම අමාරුයි. පල්ලිය දිහා බලනකොට පපුව පිච්චෙනවා. මගේ පවුලේ කවුරුත් මැරුණේ නැහැ. එදා මම විතරයි පල්ලි ගියේ. මාව සීරිමක්වත් නැතුව බේරුණේ හාස්කමකින්. මරුණ, තුවාල වුණ හැමෝම අපි එක පවුලක් වගේ ගමේ හරිම එකමුතුවෙන් ජීවත් වුණේ. නිතර දෙවේලේ මුණගැහුණ කතාබහ කරපු යාළු හිතමිත්‍රාදීන් අද වෙනදා වගේ මුණගැහෙන්නේ නැහැ. කොටින්ම මගේ ගම දිහා බලන්න බැහැ. අපි දැන් ගමට අඳුරන්නේ නැති වාහනයක් ආවත් බයයි. කෙනෙක් ඇවිල්ලා පාර ඇහුවත් අපි වචනයක් කතා කරන්න බයයි මහත්තයෝ. මොන ජාතියක වුණත් අපි සාමාන්‍ය මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ. අපිට වෛරය තියෙන්නේ මේ රටේ පාලකයොත් එක්ක. එන්න නම් එපා එක දේශපාලනඥයෙක්වත් කටුවාපිටිය ගමට. මරාගෙන මැරෙනවා.”


ඔහු අපට අහම්බෙන් මුණගැසුණු ගම්වැසියෙකි. ඔහුගේ වේදනාව අප ඉදිරියේ සටහන් තැබුවත් නම හෙළි කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කෙසේ වුවත් ප්‍රහාරයෙන් අසරණ වුණ නිවෙස්වලට මංසලකුණු පෙන්වන්නට ඔහුගෙන් ලැබුණු සහාය කියා නිම කළ නොහැකිය.   


මීගමුව කටුවාපිටිය දෙවි මැඳුරට එල්ල වුණු කෘෘර ත්‍රස්ත ප්‍රහාරයෙන් බිලි ගත් ජීවිත අතර ​ලෝකය ගැන හයක් හතරක් නොදත් අහිංසක දරු පැටව් රැසක් ද වූහ.   
ඉන් දරුවන් 176 දෙ​ෙනකුට පමණ මේ ප්‍රහාරයෙන් තුවාල සිදු වී ඇති අතර මව පියා අහිමි වීම සහ දැඩි ආබාධයට පත් අහිංසක දරුවෝ ද ඒ අතර වෙති.   
එදා අම්මා තාත්තා අතේ එල්ලිලා සහෝදර සහෝදරිය එක්ක දෙවි සමිඳුන් නැමදීමට මේ පුංචි දරු පැටව් එකතු වුණේ ලොකු ආශාවකින්. ගීතිකා ගයලා නටලා විනෝද වුණු මේ පුංචි පැටවුන්ට එක් නිමේෂයක දී සිදු වුණේ මොකක් ද කියලා අදටත් හිතා ගන්න බැහැ. සමහර දරුවන්ට මතක එදා ඒ පල්ලියෙන් නැගුණ විලාපය පමණයි. සමහරු තවමත් කට ඇරලා වචනයක් කතා කරන්නේ නැහැ. වෙනදාට කෑගැසූ හඬ පවා මේ දරුවන්ගේ මුවින් අද පිට වෙන්නේ නෑ.   


රෝහලේ ඇඳ මත වැතිරිලා දවස් ගාණක් පියවිලා තිබුණු ඇස් ටිකෙන් ටික දැන් ඇරෙනවා. ඉස්සර මේ ගමේ හිනා වෙලා දඟලපු දුවපු ඉස්කෝලේ දහම් පාසල් ගිය පැටව් අද ඇඳක් උඩට වෙලා දෑස් අයාගෙන බලාගෙන ඉන්නවා.   


‘‘කවද ද මට ආයේ ඇවිදින්න පුළුවන්. කවද ද අම්මේ මට ආයේ ඉස්කෝලේ යන්න පුළුවන් කියලා.’’   


ඒ විදිහට බලාපොරොත්තු ගොන්නක් එක්ක අද ඇඳක් මත වැතිරිලා ඉන්න පුංචි සයුර සත්සරව බලන්න පසුගියදා අපි ඔහුගේ නිවසට ගියා. මේ මීගමුව කටුවාපිටිය පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරයට බිලි වූ පුංචි පුතකුගේ කඳුළු කතාවක්.   


නිවසේ සාලයේ ඇඳක් මත නිසොල්මනේ වැතිර සිටින මේ පුංචි පුතාගේ හිසට බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස හානි වෙලා. මේ වෙනකොට සයුර පුතා ඉන්නේ මොළයේ සංකීර්ණ සැත්කමකට මුහුණ දීලා. පයට සිදු වූ තුවාල නිසා තවමත් මේ පුංචි පුතාට දෙපයින් නැගී සිටීමට වාරු නැහැ.   


ජීවිතයත් මරණයක් අතර විශාල සටනක් කර කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙමින් සිටින සයුර සත්සර පුතුගේ පියා ලසන්ත රෝයි මහතා මුහුණ දී ඇති ඛේදනීය ඉරණම ගැන අපට පැවැසුවේ මෙලෙසිනි.   

 

ස්නේහා දියණිය පියා මිල්රෝයි සහ මව සමග

 


“මම වඩු වැඩ කරලා තමයි දරු පවුල ජීවත් කරවන්නේ. මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. අනතුරට පත්වෙලා ඉන්න දරුවාට මාස දෙකේදී දරුවන්ගේ අම්මා ගෙදරින් ගියා. දැන් දරුවන්ගේ අම්මා වෙනත් විවාහයක් කරගෙන කියලා තමයි ආරංචි. අම්මා මේ දරුවන්ව දාලා ගිහින් දැන් අවුරුදු 6ක්. මම කවදාවත් දරුවන්ට අම්මා නැති අඩුව දැනෙන්න දුන්නේ නැහැ. පුළුවන් විදහට කුලී වැඩක් කරලා කන්න බොන්න දීලා ඉගැන්නුවා. මගේ අම්මා, මගේ නංගිලා මට ඒකට ලොකු ශක්තියක් වුණා. ආච්චි අම්මාට තමයි දරුවෝ අම්මා කියන්නේ.   


දරුවා බෝම්බෙට අහුවුණාට පස්සේ දරුවාගේ අම්මට මම කතා කළා. මට මොකට ද ඕවා කියන්නේ කියලා කෝල් එක කට් කළා. දරුවන්ගේ අම්මට කිසිම දරු කැක්කුමක් නැහැ. පුළුවන් විදිහට මම දරුවාව සනීප කර ගන්නවා කියලා ඒ වෙලාවේ හිතා ගත්තා. මගේ ලෝකේ මේ දරුවෝ ටික විතරයි. අනතුරට පත්වෙලා ඉන්න පුතාට අවුරුදු 9 යි. ඉගෙන ගන්නේ 4 පන්තියේ.   


එදා පුතා පල්ලි ගියේ චූටි දුවත් එක්ක. ඔය සිද්ධිය වුණාට පස්සේ එතනට ආපු කවුරු හරි පුතාව රෝහලට අරගෙන ගිහින් තියෙනවා. හොයන්න පුළුවන් හැම තැනම එදා රෑ වෙනකම් පුතාව හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. චූටි දුවට මතක මල්ලි එයාගේ කකුල් දෙක ළඟ වැටිලා හිටියා කියලා විතරයි. පස්සේ ජාතික රෝහලෙන් තමයි මම පුතාව සොයා ගත්තේ. අඳුර ගන්න බැහැ ගොඩක් ඉදිමිලා තිබුණේ. පුතාව ජීවත් කරවන්න පුළුවන් වේවි කියලා දොස්තරලවත් විශ්වාස කළේ නැහැ. දවස් 5කට පස්සේ තමයි දරුවට සිහිය ආවේ. දරුවව සොයා ගන්න මට ගොඩක් උදව් කළේ අසිත සර්. දරුවව දැක්කම මට මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. අන්තෝනි මුනිතුමාට මම දරුවගේ ජීවිතේ බාර කළා. මොන විදිහයකින් හරි මට මගේ දරුවව බේරලා දෙන්න කියලා. ඒ වෛද්‍යවරු බුදු වෙන්න ඕන. මගේ දරුවා හිටියේ මළ කඳක් වගේ. දවස් 5කින් සිහිය ආවම දොස්තරවරු කිව්වේ ‘සුරදූතයා’ කියලා. දොස්තරවරු කිව්වා මට බලාපොරොත්තු තියා ගන්න එපා එයාට ගොඩක් අසාධ්‍යයි කියලා. අනේ අද මගේ පුතා තාත්තේ කියලා කියනකොට අලුතින් ඉපදුනා වගේ හැඟීමක් දැනෙනවා.   


මොළයේ කරපු සැත්කමින් පස්සේ පුතාගේ එක් පැත්තක් අඩපණ වුණා. කකුලේ තුවාලෙත් දැන් ටික ටික සුව අතට පත්වේගෙන එනවා. දැනට පටක බැංකුවේ පුතාගේ හිස් කබල මාස තුනකට අධිශීතකරණයේ තැන්පත් කරලා තියෙනවා. මාස තුනකින් නැවත සැත්කමක් කරන්න තියෙනවා. සති දෙකෙන් දෙකට දරුවව කොළඹ ඉස්පිරිතාලේ අරන් යන්න ඕනෑ. පිටි වර්ගවලට බේත්වලට ලොකු වියදමක් යනවා.   


පල්ලියේ නදීක පියතුමා ඒ හැමදේම සොයලා බලනවා. ගෙදරටත් ගොඩක් අය ඇවිත් විවිධ අයුරින් උපකාර කරනවා. ඒ අයගේ උදව්වෙන් තමයි මගේ පුතා අද ජීවත් වෙන්නේ. මම ඉන්නේ කුලී ගෙදරක. රජයෙන් දෙනවා කියපු මුදල් තවම සත පහක්වත් අපට ලැබුණේ නැහැ. මට දරුවන්ව දාලා හිත හදාගෙන රැකියාවකට යන්න තවම අමාරුයි.   


රැකියාවට යන්න ඕනෑ. ඒත් මාස 3ක් දරුවාව මලක් වගේ ආරක්ෂා කරන්න ඕන. දූවිල්ලෙන් පරිස්සම් කරන්න ඕනෑ. අපි ඉන්න ගෙදර සිවිලිම නැහැ. සිවිලිම ගහන්න උදව් කරන්න කැමැති අය ආවා. ඒත් ගෙදර අයිති අය කැමැති නැහැ. අපි ඉන්නේ කුලියට නිසා අකැමැති දේවල් කරන්න බැහැ. ගෙදරක අවශ්‍යතාව මේ වෙලාවේ තදින්ම දැනෙනවා. හිස් කබල නැවත තැන්පත් කරන තෙක් දරුවට හෙම්බිරිසාවක්වත් හැදෙන්න නොදී පරිස්සම් කරන්න කියලා දොස්තරලා කියලා තියෙන්නේ.”


දැන් සයුරට කරන ප්‍රතිකර්මවලින් සුවයක් තියෙනව ද?   


“ඔව්. පණ නැති අතට ව්‍යායාම කරන්න දොස්තර කෙනෙක් ගෙදරට එනවා. දරුවා ලියන දකුණු අත තමා අප්‍රාණික වෙලා තියෙන්නේ. ලියන්න ඕනෑ කියනවා. ඇවිදින්න ඕනෑ කියනවා. ඉගෙන ගන්න හරිම දක්ෂයි. තාත්තේ මට කවදාවත් අකුරු ලියන්න බැරි වෙයි ද කියලා නිතරම අහනවා. තාත්තා කෙනෙක් විදිහට මට එහෙම අහනකොට දරාගන්න අමාරුයි. ඇඬුවත් අඬන්නේ දරුවට නොපෙනෙන්න. නැන්දලා දෙන්නයි, ආච්චියි දරුවව හොඳින් බලා ගනන්වා. තවම වචන පිට වෙන්නේ බොහොම හෙමින්. හැම පැත්තෙන්ම අපි මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ.”

 

සයුර සත්සර පුතු.

 


පුංචි සයුර වෙනුවෙන් කෙනකුට හිතෙනවා නම් උපකාර කරන්න මේ වෙලාවේ ඔහුට දෙපයින් නැගිටින්න ඒ උපකාරය විශල හයියක් වේවි. කොමර්ෂල් බැංකුවේ 8510032784 ලසන්ත රෝයි සයුරගේ පියාගේ ගිණුම් අංකයයි.   


කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා මේ වනවිට මොළයේ සැත්කමකට ලක්ව මරණයෙන් නැවත ඉපදුණු පුංචි ස්නේහාගේ නිවසට අපි මීළඟට ගොඩ වුණෙමු.   


අප එහි යන විටත් රෝහලෙන් ඇයව නිවසට රැගෙනවිත් දින කිහිපයක් පමණි. නිවසේ පුංචි කාමරයක බාහිර පරිසරයේ සුළඟවත් නොවදින ලෙස ආරක්ෂිතව සිටින ස්නේහා දින ගනින්නේ, කවදා ද මම පාසල් යන්නේ, කවදා ද මම නංගිලා මල්ලා සමග සෙල්ලම් කරන්නේ යන සිතුවිල්ලෙන් බවට සැකයක් නැත.   


පුංචි ස්නේහා ජීවිත අවදානමෙන් මිදුණත් ඇයගේ හිස් කබලේ ඉදිරි කොටසට බෝම්බ ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවීම නිසා තවත් මාස කිහිපයකින් නැවතත් හිස් කබල බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දීමට ඇයට සිදුවනවා. රෝගී තත්ත්වයට පත් වූ මේ පුංචි දැරියව සුවපත් කරන්නට ඇයගේ මවත් පියාත් වෙහෙසෙන්නේ පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ. ස්නේහාගේ පියා මිල්රෝයි මහතා බෝම්බ ප්‍රහාරය නිසා මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වය ගැන අපට විස්තර කළා.   


“අපි ඉරිදා උදේ පූජාවට මුළු පවුලම අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. පාස්කු දවසේත් එදා මගේ බිරිඳ අසනීපයි කියලා පල්ලි යන්න බැහැ කිව්වා. පස්සේ මම දුවයි පුතයි එක්ක පූජාවට යන්න සූදානම් වුණා.   


ඒත් මම ටිකක් ප්‍රමාද වුණා. රැවුළ කපන රේසරය පුතාලා සෙල්ලම් කරන්න අරගෙන කඩලා කොහොම හරි රැවුළත් කපාගෙන එනකොට මම ප්‍රමාද නිසා දරුවෝ දෙන්නව පල්ලියට යැව්වා. ටික වේලාවක් යද්දි ලොකු ශබ්දයක් ආවා. අපි හිතුවා සුරුවම එළියට ගන්න හදන්නේ පෙරහර යන්න කියලා. ටික වේලාවකින් චූටි පුතා හති දාගෙන ගෙදරට දුවගෙන ආවා.   


චූටි පුතා කලබලෙන් කෑ ගහලා කිව්වා පල්ලියේ බෝම්බයක් පිපුරුවා, අක්කා සොයාගන්න බැරි වුණා, අනේ තාත්තේ ඉක්මනට පල්ලියට යන්නකෝ කියලා. පුතාගෙත් මුළු ඇඟම ලේවලින් තෙත් වෙලා තිබුණේ.   


මම පල්ලියට යනකොට පල්ලිය ඇතුළත මම දැක්කේ මස් ගොඩක් වගේ. මම මළ මිනී උස්ස උස්ස මගේ දරුවව සෙව්වා. දුවව හම්බ වෙනකොට අඳුර ගන්න බැරි තරමට වෙනස් වෙලා තිබුණේ. දවස් 4ක් දුවට සිහිය තිබුණේ නැහැ. දොස්තරලා කිව්වේ දරුවා ගැන ලොකු විශ්වාසයක් තියාගන්න එපා කියලා. අම්මගෙයි මගෙයි හරියට හිත හැදුවා. අනේ දෙවියෝ මගේ දරුවව බේරුවා. කතෝලික වුණාට ස්නේහා දුව මස් මාළු කන්නේ නැහැ. එයා නිර්මාංශයි. සතුන්ට හරිම ආදරෙයි. කූඹියකුටවත් මේ අහිංසක දරුවා හානියක් කරන්නේ නැහැ. ඒ පිනම ලැබෙන්න ඇති දරුවව ජීවත් කරවන්න.   


දරුවාව රෝහලේ දී පැත්කකට දාලා තිබුණේ. මේ දරුවාට ලොකු අමාරුවක් නැහැ කිව්වා. ඒත් දුව හොඳටම ඉදිමිලා හිටියේ. මම දුවව හොඳට බලන්න කියලා දොස්තර ළඟ වැඳ වැටුණා. ඊට පස්සේ දොස්තර කිව්වා අතේ සල්ලි තියෙනවා නම් ඉක්මනට CT ස්කෑන් එකක් කරන්න කියලා. ඒ ස්කෑන් එකෙන් තමයි දැන ගත්තේ දරුවාගෙ මොළයට දැඩි ලෙස හානි සිද්ධ වෙලා කියලා. පැය පහක විතර සැත්කමක් කරලා දුවගේ හිස් කබල අයිස් පෙට්ටියක දාලා මගෙ අතට දෙනකොට ඇහුවා තාත්තා හොඳ සිහියෙන් නේද ඉන්නේ කියලා. දුවගේ හිස් කබල ගලවලා මගේ අතට දෙනකොට මගේ මුළු ඇඟම හිරි වැටුණා. ඒත් මම මනසින් වැටුණේ නැහැ. දුවගේ හිස් කබල මම විනාඩි 4ක් ඇතුළත පටක බැංකුවේ තැන්පත් කළා.   


මාස 6ක් ඇතුළත නැවත හිස් කබල සවි කිරීමේ සැත්කම සිදු කරනවා. ඒ වනතෙක් දරුවා පරිස්සමින් රැක ගන්න ඕනෑ. විවිධ දානපතියන්ගේ උදව්වෙන් දරුවව දූවිල්ලෙන් පරිස්සම් වෙන විදිහට තියාගන්න සුදුසු පරිසරයක් බාත්රූම් එකක් හදාගන්න පුළුවන් වුණා.   

 

ස්නේහා දියණිය

 


වෛද්‍යවරු කිව්වේ මේ ඔපරේෂන් එකෙන් පස්සේ කල්පනාව නැතුව යනවා, අතපය පණ නැතුව යනවා, ඒ වගේ දේවල් වෙනවා කියලා. දෙවියන්ගේ පිහිටෙන් දරුවට එ් කිසිම අනතුරක් වුණේ නැහැ. එයාට හොඳ මතකයක් තියෙනවා.”   


“එ් වෙලාව වුණු දේවල් ගැන නම් මට හරියට මතක නැහැ. ඉස්පිරිතාලේ දේවල් නම් මතකයි. ඉස්කෝලේ යාළුවෝ නිතරම මාව බලන්න එනවා. එයාලව දැක්කම මට දුකයි. මට තව කොච්චර කල් ඉස්කෝලේ යන්න බැරි වේවි ද දන්නේ නැහැනේ.”   


පුංචි ස්නේහට ඒ අඳුරු මතකයේ බොහෝ දේ අමතකයි. ඒත් ඒ අඳුරු මතකයෙන් එකතු වුණ සදාකාලික වේදනාවක් මේ අම්මගෙයි තාත්තගෙයි හිතේ හැමදාටම තියේවි.   
“මගේ දෝණි යළිත් ලෝකය දකින්න ආශිර්වාද ලැබුවේ දොස්තර දෙවිවරුන්ගේ ශක්තියෙන්. මහ පාරට වැටුණත් දැන් මට ඕනෑ මගේ දරුවව කොහොම හරි සනීප කරගන්න. මම කළේ වඩු වැඩ. මුළු ගෙදරම තිබුණේ වඩු වැඩවලට ගන්න අායුධ මැෂින්. දැන් මම ඒ ඔක්කොම ගෙදර පිටිපස්සට දාලා වහලා දාලා තියෙනවා. අවුරුදු එකහමාරක් යනතෙක් මම මේ ගෙදර ආයේ ශබ්ද බද්ද කරන්නේ නැහැ. දුවට ලොකු ශබ්ද, ලී කුඩු හොඳ නැහැ.   


දැනට ගෙදර සියලු දේ පල්ලියේ පියතුමන්ලා සොයා බලනවා. ගොඩක් අය අපට උදව් කළා. ඉන්න ගෙදරට මාසෙකට රුපියල් 12,000ක් ගෙවන්න ඕනෑ. මට වඩු වැඩ කරන්න තැනක් හරි තියෙනවා නම් අපට දෑතේ රස්සාව කරගෙන ජීවත් වෙන්න පුළුවන් කාටවත් කරදරයක් නැතුව. ගෙදර දැන් මට වඩු වැඩ රස්සාව කරන්න බැහැ. රජයෙන් දෙනවා කියලා කියපු සල්ලි සත පහක්වත් මේ වන තෙක් ලැබුණේ නැහැ. අපිව නිලධාරීනුත් හරියට රස්තියාදු කරවනවා. අපි පීඩනයට ලක් වුණු මිනිස්සු. අපිව මෙහෙම රස්තියාදු කරවන්න එපා. මට වෙනත් රැකියාවක් කරන්න අමාරුයි. දුවව සති දෙකෙන් දෙකට කොළඹ ගෙනියන්න ඕනෑ. බෙහෙත් ගන්න ඕනෑ. මේ ​ඔක්කෝම එක්ක අපිට නැවත ජීවිතේ පටන් ගන්නවා කියන්නේ ඒක ලොකු සටනක්. දෙවියන් වහන්සේ මේ හැම ප්‍රශ්නෙකදීම මගේ ළඟ ඉඳීවි කියලා හිතනවා. 

 

 

සයුර පුතු පියා වන ලසන්ත රෝයි මහතා සහ නැන්දනිය සමග

 


අවුරුද්දක් විතර දරුවට පාසල් යන්න බැරි වේවි. ඇහැක් වගේ දරුවව පරිස්සම් කරන්න කියලා වෛද්‍යවරු කියනවා.   


එයා ආසා කරන දේවල් නිතර දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මල්වලට ගොඩක් ආසයි. එක සංවිධානයකින් අැවිත් අපේ මිදුලේ ලස්සන මල් පෝච්චි ගෙනත් තියලා සකස් කරලා ගියා. අනේ දුව උදේ පාන්දර ඒ මල් දිහා හරිම ආසාවෙන් ළඟට ගිහින් බලාගෙන ඉන්නවා. මගේ දරුවා වෙනුවෙන් මේ කරන හැම දේකටම ඒ දානපතියන්ට ගොඩාක් පිං. තව දෙයක් කියන්න ඕනෑ. අපේ දරුවගෙයි සයුර සත්සර පුතාගෙයි ඡායාරූප අරගෙන ෆේස්බුක් එකේ දාලා ආධාර සොයනවා කියලා අපිට කීප දෙනෙක්ම කතා කරලා කිව්වා. ඒ ගැන අපේ කිසිම අනුදැනුමක් නැහැ. ඒවට රැවටෙන්න එපා.”


මේ දරුවන්ගේ හෙට දවස මොනව වේවි ද කියන්න ඔබටවත් අපටවත් බැහැ. ඒත් ඒ මුහුණට පුංචි සිනාවක් එක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මේ දරු පැටවුන්ට ඒක ලොකු ශක්තියක්. 8004224699 කොමර්ෂල් බැංකුවේ සෙනරත් ආරච්චිගේ මිල්රෝයි O/A S.A. ස්නේහා මින්දනිගේ ගිණුමට උපකාර කළ හැකියි.   

 

 


නදිශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර