ඕල්කොට්තුමා අත පැලඳි විස්මිත මුද්ද


ඕල්කට්තුමාට ලෝක සත්‍යය පහදා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිමින් ලොවට සේවය කිරීම සඳහා මිනිස් බලය ඉක්මවූ අරුම පුදුම පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සහාය ලැබුණු අයුරු ඉකුත් සතියක පෙන්වා දීමට අපට හැකි විය. එයින් කියවෙන්නේ පරාර්ථකාමීත්වය මුල්කොට ගත් අධිෂ්ඨානශීලී කැපවීම තවත් ශක්තිමත් කිරීම සඳහා විශ්ව බලවේගයන්හි ආධාර ලැබුණ අන්දමය.  

ඒ ජීවන ගමන තුළ පොදු යහපත සඳහාද අනුන්ගේ දුක් වේදනා නිවීම සඳහාද කළ කී දේ අපමණය. එතුමා සත්‍යය සොයා පෙරදිගට පැමිණි අයුරු දැක්වෙන තොරතුරුද විස්මිතය. විශේෂයෙන් ඉහළ නිලතල දැරූ ඇමරිකානුවකු විසින් ලෝකවාසීන් වෙනුවෙන් කළ ඒ කැප කිරීම සුළුපටු නොවේ. 

 
ඔහු උපතින් ක්‍රිස්තියානි ආගමට අයත් වූවෙකි. කිතුනු දේවගැති පරපුරකට සබඳකම් ඇත්තෙකි. විවාහවී සිටියේද කිතුනු දේවගැතිවරයෙකුගේ දියණියක සමගය. ඔහුගේ පුතුන් තිදෙනා හා දියණියද කිතුනු ආගම අදහන අය විය. (එම දරුවන්ගෙන් දෙදෙනෙකු අකල් මරණවලට ගොදුරුව ඇත)   


තරුණ වියේ තමන් විනෝදකාමී ලෙස දිවිගෙවූ බවත් මත්පැන් පානය, සූදු ක්‍රීඩාවල යෙදීම, සැණකෙළි නාට්‍ය ගීතාදිය නිතර ඇසුරු කිරීම, ජීවිතයේ කොටසක්ව තිබූ බව පසුකාලයේ ඔහු විසින් කළ දේශනයක සඳහන් කොට තිබේ.   


‘‘මගේ ජීවිතයේ ඇති වැරදි මට වැටහෙන්නට වුණා. මිනිස් දිවියෙන් නියම පල ලැබීමට නම් මේ වැඩකට නැති ජීවන පැවැත්මෙන් මුළුමනින්ම වෙන්විය යුතු බව මට අවබෝධ වුණා. එතැන් පටන් මා ඒ නොවැදගත් දේවලින් අෑත් වුණේ බටහිර ශිෂ්ටාචාරයේ නිස්සාරත්වය පසක් කොට ගත් නිසයි.   


මා ඒ දේ කළේ නොකැමැත්තෙන් හෝ කනගාටුවෙන් නොවේ. මම අමුතුම මිනිසකු හැටියට කටයුතු කරන්නට පටන් ගත්තේ එතැන් සිටයි.”   


එසේ ඕල්කට් තුමා 1877 දී පරම විඥානාර්ථ සමාගමේ දේශනයකදී කියා තිබේ. මේ බව පෙන්වා දී ඇත්තේ වසර 61 කට පෙර පුවත්පත් කලාවේදී ගත්කතුවර ඩී.ඩබ්ලිව්. සේනාධීර මහතා විසින් රචිත ‘‘ඕල්කට් හා බෞද්ධ ප්‍රබෝධය’’ නමැති කුඩා පුස්තකයෙහි ය.   


ජාති ආගම් කුල, වර්ණ ආදි කිසිදු භේදයකින් තොරව සත්‍ය පමණක් සෙවීමෙහි නිරත වූවන්ගෙන් සැදුම්ලත් පරම විඥානාර්ථ සමාගම නම්වූ අපූරු සංවිධානය බිහිවූයේ මෙකලය. ඒ 1875 නොවැම්බර් 11 වන දිනය. මිනිස් සංහතිය තුළ සහෝදරත්වය පතුරුවාලීම, ආගම්වල මූලධර්මයන් ප්‍රගුණ කිරීම, ස්වභාවධර්මය හා මිනිසාගේ අභ්‍යන්තර බලය පිළිබඳ කරුණු සෙවීම මේ සංවිධානයේ අරමුණු අතර විය. ඕල්කට්තුමා මේ සමාගම පිහිටුවීමෙහි පුරෝගාමියකු විය. මෙහි සාමාජිකයන් වූයේ උගත් බුද්ධිමත් සත්‍ය ගවේෂි පිරිසකි. එකල මෙහි ශාඛා 13 ක් ලොව නොයෙක් රටවල පිහිටුවා තිබිණ.  


මිනිස් ප්‍රජාව අතර ඉපිද එකී මිනිස් ප්‍රජාවට අවංකව සේවයක් නොකර ගෙන යන දිවි පැවැත්මෙහි නිසරු බව ඕල්කට්තුමා හොඳින් අවබෝධ කොටගෙන තිබිණ. රටින් රට සැරිසැරීමත් පොත පත කියවීමත් විවිධ ආගම් දර්ශනවාද ගැන ගවේෂණය කිරීමත්, දිනපතා හුදෙකලාව කල්පනාවේ නිමග්නව සිටීමත් සිත එකඟ කරගෙන ගත සිත සැහැල්ලු කර ගැනීමත් හේතුවෙන් ඒ අවබෝධය පුළුල් විය.   


මිනිස් ප්‍රජාවට, සොබා දහමට, මිහිතලයට කිසිදු ලාභාපේක්ෂාවකින් ​ෙතාරව සේවය කිරී​ෙම් කාලීන අවශ්‍යතාව එතුමා මැනවින් දැන සිටියේය. පෙරදිග ආගම්වල හරය තුළින් පෝෂණය ලබන්නටත්, පරගැති නොවැදගත් සිරිත්වලට වහල්ව නිදා සිටි එම රටවල වැසියන් නැගිටවීමටත් එතුමා අපමණ උත්සාහයක් ගත්තේය. ඒ සඳහා බාහිර නොපෙනෙන බලවේගයක ආධාරද ලැබී ඇති බව එතුමා​ෙග් සටහන්වලින් පෙනී යයි.  


පෙරදිග ලෝකවාසීන් ගුණදහම් අතින් පිරිහී හොඳ දෙයින් ඈත්වන විට යළි ඔවුනට සත්‍ය පහදා දීමට මනුෂ්‍ය ප්‍රජාව අතරින්ම කිහිප දෙනකු පහළ වේ. ඒ නිකම්ම නොව විශ්ව බලවේගයන්හි යහපත් ආශිර්වාද ඇතිවය. ඒ අය එකල එකතු කරමින් සුහදතා බැම්මකින් බැඳ කායික මානසික ආධ්‍යාත්මික ශක්තිය කුළුගන්වා අදාළ රට රාජ්‍යවල ​ෙයාමු කරවීමට මේ විශ්ව අධ්‍යාත්මික බලවේග උපකාරී වූ බව විශ්වාස කරනු ලැබේ. ඒ පිළිබඳ වූ රසවත් කතා පුවත්ද පවතී. මේ එයින් එක් කතා පුවතකි.   


ඕල්කට් තුමා සම්ප්‍රදායික ගිහි දිවියේ සහ සමාජ වටපිටාවේ අරුත් සුන් බව වටහාගෙන ගිහි ගෙදර කටයුතුවලින් ඈත්ව නිව්​ෙ‌යා්ර්ක්හි සිටි සමයේ රුසියානු ජාතික කාන්තාවක්ද විවාහ ජීවිතය හා විවාහක පුරුෂයා ගැන කලකිරී පිල​ෙඩල්පියාවේ නතරවී සිටියාය. රුසියාවේ පැරණි ප්‍රභූ පවුල්වලටඅයත් සාමාජිකාවක වූ මේ කාන්තාව සහ ඕල්කට්තුමා මිත්‍රත්වයට පත්කොට ලෝකයට සේවය කරන්නට ඉඩකඩ සලසා දුන්නේ මිනිස් බලය ඉක්මවූ දේවතාවකු මගින් යැයි (ඕල්කට්තුමා විසින්ම) සඳහන් කොට ඇත.  


​ලොවපුරා සංචාරය කරමින් පෙරදිග න්‍යාය ශාස්ත්‍ර ප්‍රගුණ කොට සිටි හෙලේනා බ්ලැවැට්ස්කි නම්වූ මේ මැතිනියට අරුම පුද්ම දේ කළ හැකිව තිබූ බව එකල විවිධ රටවල පුවත්පත්වලද පළවී තිබේ. ඉංග්‍රීසි බසින් ‘‘අයිසිස් අන්වෙල්ඩ්’’ නම් ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථය ලියා ඇත්තේද ඇය විසිනි. ප්‍රාතිහාර්ය පෙන්වන ලද මේ කාන්තාව ඇතැම් අවස්ථාවල මොස්කව් ගැසට් පත්‍රයට ලිපි සම්පාදනයද සිදුකර ඇත.   


මෙතුමිය පිළිබඳ ඇතැම් කතාවන් සුරංගනා කතා මෙන් රසවත්ය. උන්හිටි ගමන් මල්වැසි වැස්සවීමටත් රන්, රිදී, මුතු මැණික් නිර්මාණය කර පෙන්වීමටත් ඇය උගත්තේ ඉන්දීය සහ ටිබෙට් ධ්‍යානලාභීන් වෙතින් බව කියනු ලැබේ. හිමාලයේ වෙසෙන ධ්‍යානලාභී තවුසන් සමග ස්වකීය මන්දිරයේ සිට අදහස් හුවමාරු කර ගැනීමට ඇයට හැකිවූ බවද කියති.   


ටිබෙට් අකුරුවලින් සැකසුන තාපසවරුන්ගේ හසුන්පත් අහසින් විත් මෙතුමියගේ පාමුල වැටුන බවටද තොරතු පවතී. බ්ලැවැට්ස්කි මැතිනියගේ අධ්‍යාත්මික හැකියාවන් ඕල්කට්තුමන් සහ ඔහුගේ සොහොයුරිය වන මිචෙල් හොඳින් දැනසිටියේ ඒ පිළිබඳ අත්දැකීම් ලද පසුය.   


රටින් රට යමින්, රෝගීන් සුවපත් කරමින්, සත්‍යය පහදාදී, ජනතාවගේ වැරදි ඇවතුම් පැවතුම් හීන දීන ගති නැති කොට ලොවට සේවය කළ ඕල්කට්තමා ඉන්දියාවටද ලංකාවටද ජපානයටද අනුපමේය සේවයක් සිදුකර තිබේ. ඒ යන හැම ගමනකදීම එතුමාගේ අත පැලඳි අගනා දියමන්ති මුදුවක් විය. මේ මුදුව බොහෝ රටවල ජනයාගේ අවධානය දිනාගන්නා ලද්දකි. මෙකී පළඳනාව එතුමන්ට ලැබුණු අන්දම පුදුම සහගතය. බ්ලැවැට්ස්කි මැතිනිය විසින් ස්වකීය හොඳම මිතුරා වූ ඕල්කට් තුමාගේ අතෙහි වූ රෝස මලකින් මේ මුදුව නිර්මාණය කොට ඇත. එම රෝස මුදුව ගැන ඕල්කට් තුමා තම දිනපොතෙහි සටහන් කොට ඇත.   
‘‘එක් අවස්ථාවක මේ මුදුව මගේ සොහොයුරිය අතේ තිබියදීම එයට තුන් හුලස් දියමන්ති තුනක් සවි වෙන්නට සලසා ඇත. ලොව නොයෙක් රටවල ජනයා මේ මුදුව දැක තිබේ. උරගා බලා පරීක්‍ෂා කොට ඒ දියමන්ති සැබෑ දියමන්ති බව පිළිගෙන තිබේ’’ යනුවෙන් ඕල්කට්තුමා සටහන් කොට ඇත.   


ඕල්කට් තුමාගේ හැම යහපත් වැඩකටම පසුබිමෙහි සිට ආශිර්වාද කළ ​ෙද්වතාවකු වරක් මෙසේ කියා තිබේ. ඒ 1875 දීය.   


‘‘කාලය අපතේ හරින්න එපා. ඔබේ කාමරය හොඳින් පිළියෙළ කර තබන්න. මා එහි සිටින බව ඔබට වැටහෙනු ඇත. ඔබ මා ගැන සිතන හැම විටෙකම, මා ඔබට වුමනාකරන හැම විටෙකම මා ඔබ ළඟ සිටිනවා. අප ගැන සොයන අයට අප හමුවෙනවා. සැක දුරුකර සිත නිසලව තබා ගන්න. හෙලේනා බ්ලැවැට්ස්කි නම් වික්‍රමාන්විත කාන්තාව ගැන විශ්වාසය තබා ඇය සමග කටයුතු කරන්න. ඇයට නිලයක් භාරදී ඇගෙන් වැඩ ගන්න. ඒ සුන්දර සොහොයුරියට ලොව ඇතිතාක් පඬිවරුන් හඳුන්වා දෙන්න. සාමාන්‍ය ජීවිතය ගැන ඔබ ඇයට කියා දෙන්න. නොපෙනෙන බලවේග ගැන ඇය ඔබට කියා දේවි.’’  


ලොව බලවත්ම රාජ්‍යයන් දෙකකින් පැමිණ ආධ්‍යාත්මික පෝෂණය ලබමින් මිනිස් වර්ගයාගේ යහපත උදෙසා එකට එක්ව කටයුතු කළ මේ දෙදෙනාට සහාය දෙන්නටත් ඔවුනගේ අදහස්වලට එකඟ වෙමින් යහපත සලසා ගන්නටත් විවිධ රටවල ජනයා පෙළඹුණහ. අවසානයේ මේ දෙදෙනා ලංකාවේ බෞද්ධ නාහිමිවරුන් හමුවේ දණ නැවූ අයුරු ඉදිරි ලිපියකින් කියවමු.   

 

 

 


දෙවිනුවර   
දම්සිරි කරුණානායක