ඔබේ දරුවා වෛද්‍යවරයකු වෙයිද ?


බොහෝ ජ්‍යොතිෂකරුවෝ ජ්‍යොතිෂයෙන් කිව නොහැකි දේ කීමට ගොස් අමාරුවේ වැටෙති. ඉපදුණු දරුවා පිරිමි ද ගැහැනුද? ජනාධිපති වරණයෙන් දිනන්නේ කවුද? සුනාමියක් කවද‌ා එයිද? ගං වතුරෙන් නායයාමෙන් විනාශයක් එයිද? ආදී නොයෙක් ප්‍රශ්නවලට පිළිතුරු ජ්‍යොතිෂයේ නැත. එහෙත් ඉපදුණු දරුවා පිරිමි ද ගැහැනු ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයන කපටි ජ්‍යොතිෂකරු තමා කියූ දේ වැරදුණ විට ගැහැනු දරුවා පිරිමි නවාංශකයකින් ඉපදී ඇති බවත් පිරිමි දරුවකු නම් ඔහු ගැහැනු නවාංශකයකින් ඉපදී ඇති බවත් කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ ගනිති.   


පිරිමි නවාංශකයකින් ඉපදුණත්, ගැහැනු නවාංශකයකින් ඉපදුණත් ලිංගිකත්වයේ වෙනසක් නැත. පිරිමි දරුවකු නම් පිරිමිමය. ගැහැනු දරුවකු නම් ගැහැනුමය. ස්ථිරව, හරියටම දරුවා පිරිමි ද ගැහැනු ද කීමට ජ්‍යොතිෂයේ ක්‍රමයක් නැත. සමහර විට හරියන සමහර විට වරදින ක්‍රමවලින් වැඩක් නැත.   


ජනාධිපති වරණයෙන් එක අපේක්ෂකයකු දිනනවා යැයි එක ජ්‍යොතිෂකරුවකු කියන විට අනෙක් අපේක්ෂකයා දිනන බව තවත් ජ්‍යොතිෂකරුවකු කියයි. එවිට අනාවැකි කියන ජ්‍යොතිර්වේදීන් දෙදෙනාගෙන් එක් අයෙක් අනිවාර්යයෙන්ම දිනනු ඇත. 


සුනාමි, ගංවතුර ආදිය ගැනත් අනාවැකි කිවූ බව එම සිද්ධියෙන් පසුව කියන ජ්‍යොතිෂකරුවෝ සිටිති. එහෙත් සිද්ධියට කලින් හරියටම එවැනි අනාවැකියක් කිවූ අයකු ගැන අප අසා නැත. එම සිදුවීම්වලින් බේරුණු අය ද නැත. 

 
බටහිර වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණු වුණත් ඒ ක්‍රමයෙන් සුව කළ නොහැකි රෝග තිබේ. උද‌ාහරණයක් ලෙස පිළිකා රෝගය ගනිමු. මුලදීම දැන ගෙන පිළිකා සෛල විනාශ කර සුව වූ අය කලාතුරකින් සිටිය හැකිය. එසේ සනීපවීත් පසුව නැවතත් එම රෝගය මතුවී මිය ගිය අය ගැන අපට අසන්නට ලැබේ. මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ අඩුපාඩුවක් කියනවා නොවේ.   


වෛද්‍ය විද්‍යාවට අනුවද සුව කළ නොහැකි රෝග තිබේ. අධික රුධිර පීඩනය වැනි රෝග සම්පූර්ණයෙන් සුව වූ අය ගැන ද දැන ගන්නට නැත. වෛද්‍ය විද්‍යාවෙන් සියල්ල සුව කළ නොහැකිය. ජ්‍යොතිර් විද්‍යාවෙන් ද සියල්ල කිව නොහැකිය. කිව නොහැකි දේ කියන්නට ගොස් අමාරුවේ වැටුණු ජ්‍යොතිෂකරුවන් ගැන ඔබ අසා ඇත.   


දරුවකු වෛද්‍යවරයකු වෙතැයි අනාවැකියක් කිව නොහැකිද? ඇත්ත වශයෙන්ම කිව හැකිය. එහෙත් ඒ සියයට සියයක් හරි යන ප්‍රකාශයකින් නොවේ. වෛද්‍යවරයකු වෙතැයි හඳුනා ගනු ලැබූ දරුවා හරියට ඉගෙන ගත්තේ නැත්නම්, උත්සාහයෙන් තොර වුණි නම් කොපමණ හොඳ ග්‍රහ පිහිටීම් තිබුණත් ඔහුට වෛද්‍යවරයකු විය නොහැකිය.   
දරුවාගේ සහ මවුපියන්ගේ උත්සාහය ඇතොත් ඔහුට වෛද්‍යවරයකු විය හැකිය. උනන්දුව හා උත්සාහය ඇත්නම් ඕනෑම කෙනකුට වෛද්‍යවරයකු වීමේ හැකියාව ඇතැයි කෙනකුට පුහු තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එසේ වෙතොත් අද සමාජයෙන් 95% කට වඩා වෛද්‍යවරු වෙති.   


වෛද්‍ය විද්‍යාලයට යාමට පාර කැපී ඇති දරුවෝ සිටිති. ඔවුන්ට උත්සාහවන්ත වීමෙන් වෛද්‍යවරයකු විය හැකිය. පාර කැපී ඇති දරුවන් ගේ හඳහන්වල බලවත් රවි දහයේත්, බුධ බලවත් වීත් (උච්ච හෝ ස්වක්ෂේත්‍ර වී) ඇත. අනෙක් ග්‍රහයින් සාමාන්‍ය ලෙස බලවත් වීම ප්‍රමාණවත්ය. දුර්වල ග්‍රහයින් සිටියත් කමක් නැත. ග්‍රහයින් බලවත් වූ තරමට හොඳය.   
වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ සිටින එවැනි වෛද්‍ය ශිෂ්‍යයකු ගැන මම දනිමි. ඔහු ගේ පියා බේබද්දකු යයි කීවොත් ඔහුට අපහාස නොවේ යයි සිතමි. ඔහුට උපහාරයක්ම වේවා. මෙම පියා සෑම දවසකම වාගේ හොඳටම මත්පැන් පානය කර හැන්දෑවට ගෙදර ඇවිත් මේ දරුවාගේ මවට තාඩන පීඩන කළේය. ඔහු ගේ රැකියාව වූයේ මල් මැදීමය. මල් මැදීම යනු රා පිණිස නොව තෙලිදිය සඳහා මල් කැපීමය.   


මේ දරුවා උසස් පෙළ විභාගයට යන පළමු දවසේ පියා මියගොස් මිනිය ගෙදර තිබුණි. මෙතරම් කරදර, කලබල මධ්‍යයේ වුවද ඔහු උසස් පෙළ විභාගයෙන් සමත්ව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තේරී තිබුණි. ඔහුගේ පරම්පරාවේම උගත් අය නොසිටියහ. කැපී තිබුණ පාර දිගේ ඔහු වෛද්‍ය විද්‍යාලයට ගියේය.   


පාර කපා ගෙන වෛද්‍ය විද්‍යාලයට යන තවත් පිරිසක් සිටිති. ඒ ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් නැතිව තම උත්සාහයෙන් උසස් පෙළ විභාගය සමත්ව යන අය වෙති. එහෙත් බොහෝ විට රවි හා බුධ බලවත්ය. පාර කැපී ඇති දරුවන්ට වඩා පාර කපා ගෙන යාමට බොහෝ මහන්සි විය යුතුය.   


ජ්‍යොතිෂයෙන් කෙනකු කරන රැකියාව කිව නොහැකිය. ඉහත සඳහන් උද‌ාහරණ දෙකම එයට සාක්ෂි දරයි. කෙනකුට ගැළපෙන රැකියාව කිව හැකි වුවත් කරන රැකියාව ජ්‍යොතිෂයෙන් කිව නොහැකිය. රැකියාව ගැන කියවෙන්නේ හඳහනේ දස වැන්නෙන්ය.   


දහයේ සිටින ග්‍රහයින් බලවත්වීම උසස් රැකියාවක් ලැබීමට හේතුවේ. එමෙන්ම එහි සිටින ග්‍රහයින් දුර්වලවීම පහත් රැකියාවක් ලැබීමටත් හේතු වේ. බුධගේ බලවත් වීම සහ රවි ගේ බලවත් වීම ද රැකියාව කෙරෙහි බලපායි. දහයේ ග්‍රහයින් කීප දෙනකු සිටින විට වඩා බලවත් ග්‍රහයා රැකියාව කෙරෙහි වැඩියෙන් බලපාන අතර අනෙක් ග්‍රහයින් නිසා රැකියා කීපයකට යෝග්‍ය කරයි. දහයේ ග්‍රහයකු නැති විට දහය අධිපතියා ගැන බැලිය යුතුය.   


රවි දහයේ සිටීම ඉතා යහපත් වේ. හොඳ රැකියාවක් ලැබේ. වෛද්‍යවරයකු වීම, ආයතනයක හෝ පළාතක ප්‍රධානියකු වීම, ස්වර්ණාභරණ නිෂ්පාදනය හෝ වෙ​ෙළඳාම රවි දහයේ සිටින විට ගැළපෙන රැකියාවන්ය.   


චන්ද්‍රයා දහයේ සිටීම ක්ෂේත්‍ර රැකියාවලට හොඳ පිහිටීමකි. ඇවිදීම් සහිත රැකියා වැඩියෙන් ගැළපේ. බැංකු කටයුතු, විසිතුරු දේවල් විකිණීම, සිසිල් බීම වැනි ද්‍රව සම්බන්ධ රැකියා, හෙදි, වෙ​ෙළඳ‌ාම ආදිය ද ගැළපේ.   


කුජ දහයේ සිටීම කම්මැලි නැතිව තමා කරන රැකියාව ඉතා හොඳින් කිරීමට හේතුවේ. බුධත් බලවත් නම් ඉංජිනේරුවකු වීමේ හැකියාව ලබයි. හමුද‌ා සේවය ගෘහ නිර්මාණ ශිල්පී වැනි රැකියා ගැළපේ. කෙසේ වෙතත් ඒකාකාරී සුළු වැටුපකින් සෑහීමකට පත් නොවේ. බුධ දුර්වලවීම කම්කරු රැකියාවකට ද හේතු විය හැකිය.   


බුධ බලවත් වීම ඉහළ තත්ත්වයේ රැකියා ලැබීමට හේතු වේ. දහයේ බුධ පොත්පත් සම්බන්ධ කටයුතු, ලේඛන කටයුතු, වෛද්‍ය, ඉංජිනේරු ආදී රැකියාවලට යොමු කරයි.   
ගුරු දහයේ සිටීම ගුරු වෘත්තියට යෝග්‍ය වේ. බුධත් බලවත්ව සිටිතොත් නීතිඥ, විනිශ්චයකාර ධුර, ඇමැති, තානාපති වැනි ඉහළ පෙළේ රැකියාවලට යෝග්‍ය කරයි.   


දහයේ සිකුරු බලවත් නම් රඟපෑම, ගායන වැනි රැකියාවලට හිමිකම් තිබේ. එහෙත් දැනට සිටින නළු නිළියන්, ගායක ගායිකාවන් සෑම දෙනාගේම සිකුරු බලවත්ව දහයේ සිටිතැයි නොසිතිය යුතුය. කලා අංශයේ රැකියා පමණක් නොව මල් සම්බන්ධ ව්‍යාපාර, සුවඳ විලවුන්, ස්ත්‍රීන්ට අවශ්‍ය දේ විකිණීම සහ සුඛෝපභෝගී භාණ්ඩ විකිණීම ආදියෙන් ද ඔවුන්ට දියුණු විය හැකිය.   


ශනි දහයේ සිටීම නීතිඥ, කළමනාකාර තනතුරු ලැබීමට හේතු විය හැකිය. මහන්සි වී වැඩ කරන කම්කරු රැකියා ශනි දුර්වල වීම නිසා ලැබීමට ඉඩ තිබේ. 

 
රාහු දහයේ සිටින විට විදේශ රැකියා, දේශපාලන කටයුතු, ක්ෂේත්‍ර නිලධාරී, මස් මාළු වෙළෙඳ‌ාම, මත්පැන් වෙළෙඳ‌ාම වැනි රැකියාවලට පෙළඹෙති.   


දහයේ කේතු ලිපිකරු, ගුරුවරු, ලේඛක වැනි රැකියාවලට යොමු කරයි. රැකියා ලබා ගැනීමේදී හා උසස්වීම් ලබා ගැනීමේ දී දුෂ්කරතා ඇති වේ.   


බොහෝ දරුවෝ ඉගෙනීමට වඩා නවීන දුරකථනයෙන් (ස්මාර්ට් ෆෝන් එකෙන්) ලිංගික චර්යා නැරඹීමට ඇබ්බැහි වී ඇති නිසා ගැළපෙන උසස් රැකියාවලට යාමේ මං පෙත් අවුරා ගනිති. ඉගෙන ගන්නා දරුවා ගේ පරමාර්ථය විය යුත්තේ පළමුවත් ඉගෙනීමය. දෙවනුවත් ඉගෙනීමය. තුන් වෙනුවත් ඉගෙනීමය.   

 

 


ජ්‍යොතිර්වේදී   
එඩී කරුණාතිලක   
විශ්‍රාමලත් විදුහල්පති,   
32, ගලවැටි මෝදර පාර   
නල්ලූරුව, පානදුර