ඔබේ ලග්නය අනුව ලැබෙන භාර්යාව හඳුනාගන්න


 

යම් පුරුෂයකු උපත ලබන මොහොතේදී හිමිකර ගත් ලග්න රාශිය සහ එහි ග්‍රහ පිහිටීම් එම තැනැත්තාගේ ජීවිතයේ සිදුවන සෑම කරුණු කාරණා සඳහා මූලික වන බව ජ්‍යොතිෂයේ පෙන්වාදී ඇත. ඒ අතර පුරුෂයකු ලබන භාර්යාව පිළිබඳ සියලු තොරතුරුද දැනගත හැක.   


ස්ත්‍රීන්ගේ ගතිගුණ සහ ක්‍රියාකලාපයන් අනුව සත් වර්ගයකට වෙන්කර ඇත. එනම් මාතෘ භාරී, දාස භාරී, භගිනි භාරී, චෝර භාරී, ස්වාමි භාරී, සකී භාරී, වදක භාරී යනුවෙනි. ජ්‍යොතිෂයේදී ඒ ඒ ග්‍රහ පිහිටීම් අනුව ඒ ඒ ලග්න හිමියන්ට එම භාර්යාවන් බෙදී යන ආකාරය මෙයින් ඉදිරිපත් කරමි.   


මේෂ ලග්න හිමියන්ට අයත් වන භාර්යාව   


මේෂ ලග්නයේ අධිපතිකම දරන්නේ අඟහරු හෙවත් කුජය. කුජ නිර්භීත තේජවන්ත සටන්කාමීත්වයට මූලිකත්වය දෙන ග්‍රහයෙකි. මේ නිසා ඉතා තියුණු ආකාරයට සහකරු පාලනය කරයි. කතාව සහ ක්‍රියාවන් තේජාන්විත වේ. මෙම ලග්න හිමියන්ගේ යෝග කාරක ග්‍රහයා වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිය. මේ නිසා ගුණවත් නැණවත් ක්‍රියා ඇති කෙනෙකු වේ. තවද හත්වැන්න හෙවත් විවාහක ස්ථානය අධිපති වන්නේ සිකුරුටය. එබැවින් සිකුරුගේ ගතිගුණ අනුව රූප සම්පත්තිය ලැබෙනු ඇත. මේ නිසා සැමියාට පක්ෂව අනට කීකරුව සියලු සම්පත් රැකගනිමින් කටයුතු කරන භාර්යාවක් ලැබෙනු ඇත. ඒ අනුව මේෂ ලග්න හිමියන්ට ලැබෙනුයේ දාසි භාර්යාවකි.   


වෘෂභ ලග්න හිමියන්ට අයත් වන භාර්යාව   


මෙම ලග්නයට අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ ඔපය සංදර්ශනය ආලය කරුණට යහපත සැපත යන කරුණුවලට මූලික වේ. මේ නිසා නිවැරදි දැක්මක් නිදහස් පාලනයක් ආදියට සරිලන වැඩපිළිවෙළක් ඇති අයද විවාහයට ලැබෙනු ඇත. සිතුවිලි යහපත් වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ සෙනසුරු නිසා කරන කියන කටයුතුවලදී දුකක් වේදනාවක් කණගාටුවක් පසුතැවීමක් ඇති වේ. මෙම ලග්නයේ හත්වැන්න අධිපති කුජය. එනිසා සැර පරුෂ තදබල බිහිසුණු ගති ඇතිවීමට පුළුවන. ධනය ඉපයීමට දක්ෂය. චෞර ගතිවලින් යුක්තය. මේ නිසා වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන්නේ චෝර භාර්යාවකි.   


මිථුන ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මිථුන ලග්නය අධිපති ග්‍රහයා වන්නේ බුධය. නුවණ සත්‍යවාදී බව ඉ​ෙගනීම කථාව ලිවීම ආදියට මූලික වේ. මේ නිසා බුද්ධියට මූලිකත්වය දෙමින් සෞඛ්‍ය ගතිගුණ ඇතිව උදාරව කටයුතු කරන කෙනෙකු වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා සිකුරුය. එබැවින් නැටුම් ගැයුම් ආදී කලාවන්ට ළැදි එම අදහස්වලින් පෝෂිත අයකු වේ. හත්වැන්න අධිපති ගුරු නිසා කාලයක සිට හඳුනන කෙනෙකුගේ දැනෙන කාන්තාවක් විවාහයට සම්බන්ධ වේ. ඇය යෙහෙළියක් බඳුය. ඒ නිසා මිථුන ලග්න හිමියන්ට ලැබෙන්නේ සකී භාර්යාවකි.   


කටක ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


කටක ලග්නයේ අධිපති වන්නේ සඳු ග්‍රහයාය. සඳු මනුෂ්‍යයාගේ සිතට අධිපති වේ. රූපය කෙරෙහිද බලපානු ලැබේ. ඒ අනුව චංචල සිතක් ඇති රූමත් තරමක ස්ථුල ශරීරයක් ඇත්තියක් වේ. මෙම ලග්නයට යෝග කාරක ග්‍රහයා වන්නේ අඟහරු හෙවත් කුජය. එබැවින් කුජගේ බලපෑම නිසා තරමක සැර පරුෂ වීමට පුළුවන. මේ අයට දරා ගැනීමේ ශක්තියක් ඇත. තවද එදිනෙදා කටයුතුවලදී තදින් බලපෑම් කරනු ඇත. 

 
සිංහ ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයේ ලග්නාධිපති වන්නේ හිරු හෙවත් රවිය. රවි තේජසින් යුත් අභිමානයෙන් යුත් ග්‍රහයෙකි. මේ හේතුකොටගෙන ගැටුමට බර තේජසින් යුතු අහංකාර ගති ඇති භාර්යාවක් වේ. ඉහළ පෞරුෂයක් ඇති දරා ගැනීමේ හැකියාවක්ද ඇත. මේ අය නිතර තම සැමියාට බලපෑම් ඇති කරයි. මේ අනුව සිංහ ලග්න හිමියාට ලැබෙන්නේ වදක භාර්යාවකි.   


කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන භර්යාව   


කන්‍යා ලග්නයේ අධිපතිවන්නේ බුධය. බුධ බුද්ධිය, ඉ​ෙගනීම ආදියට මූලික වේ. මේ නිසා බුධගේ ගතිගුණවලට අනුරූපව ගුණය සහ දැනුම ඇති ආදර්ශමත් රූමත් සිරුරක් ඇති අයකු වේ. මෙම ලග්නයට යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරුය. ඒ නිසා ලෞකික ජීවිතයට ඇලුම් කරන සත්‍යවාදී මත දරන කෙනෙකි. හත් වැන්න අධිපති වන්නේ ගුරුය. ඒ නිසා යෙහෙළියක සේ සමබරව විවාහ ජීවිතය ගෙනයනු ලබයි. ඒ අනුව කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන්නේ සකී භාර්යාවකි.   


තුලා ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයට අධිපති වන්නේ සිකුරුය. සිකුරු නැටුම් ගැයුම් රූපය පිරිසිදුකම ආදියට මූලික වේ. මේ නිසා ප්‍රසන්න පෙනුම, ගතිපැවතුම් ආදරය සත්‍යවාදී යථාර්ථවාදී ගතිගුණවලින් යුතු කෙනෙකු වේ. වැඩ කටයුතු කිරීමේදී මන්දගාමී බවක් පෙන්නුම් කරයි. ඔරොත්තු දීමේ ශක්තියද ඉහළය. මෙම ලග්නයේ හත්වැන්න අධිපතිවන්නේ කුජටය. ඒ නිසා බිහිසුනු ගති පෙන්වන අවිචාරවත් ලෙස කථා කරන කෙනෙකු වේ. එබැවින් තුලා ලග්න හිමියන්ට ලැබෙනුයේ චෝර භාර්යාවකි.   


වෘෂ්චික ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයේ අධිපති කුජය. කුජ නිර්භීත සැර පරුෂ ගති ඇති කරයි. මේ නිසා කුජ හේතුකොටගෙන තරමක් උඩඟු තේජසින් යුතු අහංකාර ගති ඇති කෙනෙකි. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ රවිය. එබැවින් දරාගන්නා බව සහ ආරක්ෂා කරගන්නා කෙනෙකු වේ. මෙම ලග්නයේ හත්වැන්නාධිපති සිකුරු නිසා අහිතකර තත්ත්වයන් අඩුකරගනු ඇත. තම සැමියාට දාසියක මෙන් කටයුතු කරයි. එබැවින් වෘෂ්චික ලග්න හිමියන්ට ලැබෙන්නේ දාසි භර්යාවකි.   


ධනු ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


ධනු ලග්නයේ අධිපති ග්‍රහයා වන්නේ ගුරුය. ගුරුගේ ගතිපැවතුම්වලට අනුකූලව හොඳ පෞරුෂ තත්ත්වයක් ඇති කතක් ලැබෙනු ඇත. ලග්නයේ යෝගකාරක රවි නිසා ස්වාධීන බවක් ඇලුම් කරන තමාගේ වගකීම් හරිහැටි හඳුනාගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇත. මෙම ලග්නයේ හත්වැන්න අධිපති බුධ බැවින් ගුණවත් නැණවත් සහෝදරියක සේ සැමියාට සලකන කතකි. එ් අනුව ධනු ලග්න හිමියන්ට ලැබෙන්නේ භගිනි භාර්යාවකි.   


මකර ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මකර ලග්නයට අධිපති ග්‍රහයාවන්නේ සෙනසුරුය. සෙනසුරුට ඔරොත්තු දීමේ සහ දුක් ඉවසීමේ ශක්තියක් ඇත. මේ නිසා මැනවින් වගකීම් ඉටුකරන අයකු වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. ඒ නිසා සිකුරුට අනුව තැන්පත් ගතිගුණ ඇති මනා රූපයකින් යුතු කෙනෙක් වේ. මෙම ලග්නයේ හත්වැන්නාධිපති සඳු නිසා තම සැමියාට උසස් ආකාරයෙන් ගරු සැලකිලි බුහුමන් කරන උතුම් කතකි. ඒ අනුව මකර ලග්න හිමියන්ට ලැබෙන්නේ මාතෘ භාර්යාවකි.   


කුම්භ ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයටද අධිපති වන්නේ සෙනසුරුය. සෙනසුරු අාධ්‍යාත්මික ගුණය ඇති ලෝකෝත්තර ගතිවලින් පිරි ග්‍රහයකු වේ. මේ නිසා මෙම ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව අාධ්‍යාත්මික ගුණයෙන් පිරුන ධර්මයේ නියැළුණ කෙනෙකි. ඇය යුතුකම් ඉටු කරමින් වගකීම් දරා සිටින කෙනෙක් වේ. මෙම ලග්නයේ යෝගකාරක ග්‍රහයා සිකුරු බැවින් ඇය රූ සපුවෙන් යුක්තය. ලග්නයේ හත්වැන්නාධිපති රවි නිසා නිතර මූලිකත්වය ගෙන කටයුතු කරයි. ඒ නිසා කුම්භ ලග්නය හිමියන්ට ලැබෙන්නේ ස්වාමි භාර්යාවකි.   


මීන ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මීන ලග්නයේ අධිපති ගුරුය. මෙම ග්‍රහයා ගුණයෙන් දැනුමෙන් යුතු කෙනෙකි. තවද උතුම් ගතිගුණවලින් පිරි පරිණත භාවයෙන් සත් ධර්මයේ නියැළුණ තම යුතුකම් මැනවින් ඉටුකරන අයෙකි. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ අඟහරුය. එබැවින් පාරම්පරික දේපළක් අයිති වන නිරන්තරයෙන්ම තේජසක් පෙන්නුම් කරන කෙනෙකි. හත්වැන්න අධිපති බුධ නිසා සහෝදරියක ලෙස කටයුතු කරන්නියක වේ. මේ නිසා මීන ලග්න හිමියන්ට ලැබෙන්නේ භගිනි භාර්යාවකි.   

 

 


ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක   
යාන්ත්‍රික ඉංජිනේරු   
නිශාන්ත විජේසේන