ඔබ ඉන්න ඉරියව්වෙන් ඔබේ ගතිගුණ කියන්න පුළුවන්


අප අසල සිටින හෝ ඇසුරු කරන අයගේ ශාරීරික ඉරියව් ගැන පරික්ෂාවෙන් නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ රුචි අරුචිකම් ගැන, ජීවන රටාව ගැන මෙන්ම ඔවුන්ගේ ආශා හා අපේක්ෂා ගැනද හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙයි.   


අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇතැම්හු විවිධ ඉරියව්, විලාසිතා භාවිත කරති. මෙසේ ඔවුන් උපයෝගී කරගන්නා ඉරියව් අනුව ඔවුන්ගේ අභ්‍යන්තර ගතිගුණ චරිත ලක්ෂණ හෙළි වන බව පරික්ෂණවලදී සොයාගෙන ඇත.  
 
ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් හස්ත රේඛා ශාස්ත්‍රයෙන් මෙන්ම දේහ ලක්ෂණ විද්‍යාවෙන්ද යමකුගේ චරිත ලක්ෂණ, ගතිගුණ විදහා දැක්වෙන බව පුරාණාචාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව යමකුගේ අභ්‍යන්තර ගතිගුණ ඔහුගේ හෝ ඇයගේ ඉරියව් හෝ හැසිරීම් රටාවන් මගින් හඳුනාගැනීමට හැකි වෙයි.   


මිනිසාගේ විවිධ ඉරියව් පිළිබඳව පරික්ෂා කළ පුරාණාචාරීහු ප්‍රකාශයට පත්කර ඇති කරුණු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමුකර ඇත.   


තමා දැන හෝ නොදැන සිදුවන ශාරීරික ඉරියව් මගින් නොයෙක් අදහස් අන්‍යයන්ට දැනගැනීමට හැකි වෙයි. මනසට බලපාන චෛතසික හේතූන් මත නොයෙක් ඉරියව් හා හැසිරීම් විලාසිතා මගින් සිතේ ඇති අදහස් පිළිබිඹු කෙරේ.   


ආදරය, කරුණාව, සතුට වැනි මනෝභාවයන් කෙරෙහි නිරන්තරයෙන්ම ඇතිවන ඉරියව්වලට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉරියව් වෛරය, භීතිය, පිළිකුල වැනි අවස්ථා නිසා ඇති වෙයි.   


සමහරු වාඩිවීමේදී පුටු පත්ත උඩ වාඩිවන අවස්ථා අප දැක ඇත. එය හීනමානී පුද්ගලයෙකුගේ ගති ලක්ෂණයකි. නමුත් සමබර ලෙස දෙඅත් තබා සෘජුව සම්පූර්ණ පුටුවේ වාඩිගන්නා අය බලවත් ආත්ම විශ්වාසයෙන් යුත් ස්ථිරසාර ගුණධර්මවලින් පිරිපුන් අයෙකි.   


කකුලක් පිට කකුලක් තබාගෙන වාඩිවන අය අපට නිතර මුණගැසෙති. දකුණු කකුල මත වම් කකුල තබා හිඳගන්නා තමාගේ අධික කාමාශාව එයින් පිළිබිඹු කරයි.   


නමුත් වම් කකුල යටකර දකුණු කකුල උඩින් තබාගෙන හිඳ ගන්නා තැනැත්තා සමාජයේ පැසසුමට බඳුන් වන අයෙකි. දෙකකුල් පුටුව යටට කර වාඩිවන අයද අප දැක අැත. සිතේ මහත් පෙරළියක් ඇති කරන රහස් රැසක් සිතේ ඇති අය එසේ වාඩිවෙති.   


එක් කකුලක් මත අනෙක් කකුල තබාගෙන වාඩිගන්නා කාන්තාව කල්පනා ශක්තිය දියුණු, සෞන්දර්යයට රුචියක් දක්වන්නියකි. ඇය රාගාධික කාන්තාවක ලෙසද සැලකේ. ඇය සංගීතය කෙරෙහි ඇල්මක් දක්වන්නීය.   
දණහිස් එකට රඳවාගෙන දෙපා ඈතට විහිදුවා වාඩිවන තැනැත්තිය තරමක් අහංකාර වූ නිතර තමා ගැනම කතා කිරීමට රුචියක් දක්වන ආත්මාභිනියකි. ඇය නොසැලකිලිවන්තය. උද‌ාසීනය, ඇය තේරුම් ගැනීම පහසු නොවේ. එක් කකුලක් සැහැල්ලුවට රැඳෙන සේ දණහිස මත කකුලක් පිට කකුලක් තබාගෙන වාඩි ගන්නා කාන්තාව අනියම් මෙවුන්දම්හි යෙදීමට ආශා කරන්නීය. පිරිමින් ගොදුරුකර ගැනීමේ ආශාවෙන් මාන බලන තැනැත්තියකි.   


වාඩි වී සිටින විට තම දණහිස් එකිනෙක ගැටෙනසේ එක්ව තබා කකුල් සමාන්තරවද දෙපා ඊටම සරිලන සේ මනාවද තබා ගන්නා තැනැත්තිය ආදර්ශවත් උතුම් කාන්තාවක් වන්නීය. කලට වේලාවට වැඩ කරන්නීය. සියල්ල නිවැරදිව අකුරටම ඉටු කරයි. එමෙන්ම සත්‍යවාදීය. නිතරම මනාව හැඳ පැළඳ සිටින්නීය.   


සිය දණහිසද පයැඟිලිද එකට තබාගෙන වාඩිගන්නා තැනැත්තියගේ කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණය විශ්වාසයයි. ඇය සන්සුන්ය. ආත්ම විශ්වාසයෙන් යුක්තය. නමුත් වහා කිපෙන සුලුය.   


බොහෝ අවස්ථාවලදී තරුණියක් තරුණයෙකු ඉදිරිපිට සිට කතා කරන අවස්ථාවේදී කකුලේ මහපට ඇඟිල්ලෙන් පොළොව හාරනු දැකිය හැකිය. දැඩිලෙස අසහනයට පත්වී සිටින ඇය තරුණයාගේ ඇසුර පතන බව ඒ මගින් දැනගත හැකිය.   


ලේන්සුව හරි මැදින් අල්ලාගෙන අතේ තබාගෙන යන තරුණිය ඇයගේ සිත තුළ තිබෙන විවාහය ගැන බලවත් ආශාව පෙන්නුම් කරන්නීය. ක්‍රමානුකූලව ලස්සනට නවා පිළියෙල කරගත් ලේන්සුවක් පාවිච්චි කරන තරුණියෝද සිටිති. තැන්පත් ගෘහ ජීවිතයක් ගත කිරීම ඇයගේ අභිලාසය බව එම ඉඟියෙන් ඇය කියා පාන්නීය.   


බැරිවීමකින් මෙන් ලේන්සුව බිම දමා යන කාන්තාවද, ලේන්සුවේ කොනකින් අල්ලාගෙන යන කාන්තාවද අපට එම ඉඟියෙන් පවසන්නේ ඇයට ආදරය අවශ්‍ය බවකි. විශේෂයෙන් ලේන්සුවේ කොනක් වෙදැඟිල්ලේ පටලවාගෙන කර කවයි නම් එය ඇය විවාහ වී ඇති බව අන්‍යයන්ට කියාපෑමකි.   


නිතර ප්‍රයෝජනයට ගන්නා ලේන්සුව එක් අතකින් ගුළිකරගෙන අනිත් අත මිට මොළවාගෙන ගමන් කරන කාන්තාවගේ ජීවිතය කරදරවලින් පිරී ඇති බව නොකියා කියා පෑමකි.   


දැනට දශක කිහිපයකට පෙර සෑම තරුණියකගේම හා කාන්තාවකගේම අතේ කුඩය හා ලේන්සුව අනිවාර්යයෙන්ම තිබිණි. නමුත් වර්තමානයේදී ලේන්සුව අතින් ගිලිහී ඒ වෙනුවට ජංගම දුරකතනය අතට පත් වී ඇත.   
අහස පොළොව ගැටලන්නට වගේ කම්මුලේ අත තබාගෙන කල්පනා කරන අයද අපට නිතර හමුවෙති. තම සිත තුළ දැවෙමින් පවතින අසහනය, ශෝකය, වේදනාව ආදී මානසික තත්ත්ව අන් අයට පෙන්වන ඉරියව්වකි එය. සිතේ පහළවන බලවත් කාමාශාව නිතර දෙතොල දිවෙන් නෙත් කරන අයගෙන් පෙන්නුම් කෙරේ. කාමාශාව නිසා ඇතිවන අසහනය නියපොතු සැපීමෙන් හෙළිවන බව මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් සඳහන් කරයි.   
කිසියම් පුද්ගලයෙක් තවත් කෙනෙකු සමග කතා කරමින් සිටින අවස්ථාවේ තම අතේ තිබෙන දෙයක් පටලවමින් හෝ කඩද‌ාසි කොළයක් වැනි දෙයක් ඉතා කුඩා කැබලිවලට ඉරමින සාකච්ඡා කරයි නම් ඔහුගේ හෝ ඇයගේ මනසට ඉතා තදින් බලපාන කරදරයක් ඇති බවට එය ඉඟි කිරීමකි.   


කතාව අවසානයේදී ඉරූ කොළ කැබලි සියල්ල එකතු කොට විසිකළේ නම් එය සාකච්ඡාව නිසා ඔහුගේ හෝ ඇයගේ මනසට සහනයක් අත් වූ බව පවසන ඉඟියකි.   


දෙඅත් සෘජුව තබාගෙන කෙළින් එක එල්ලේ බලාගෙන ගමන් කරන පුද්ගලයෝ අපට හමුවෙති. ඔහු දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියටම යන අයෙකු බව පෙන්නුම් කරයි. තමන් කරන හැම දෙයක්ම මනා සිහි බුද්ධියෙන් යුතුව කිරීම ඔහුගේ හෝ ඇයගේ චරිතයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. එසේම තමා කරන සෑම වැඩක්ම නිරවුල්ව නිවැරදිව කිරීම ඔහුගේ අභිමතාර්ථය වෙයි.   


බිම බලාගෙන යන බව අන්‍යයන්ට අඟවමින් කාටත් හොරෙන් සතර වටේ විමසිල්ලෙන් යුතුව බලමින් ගමන් කරන තැනැත්තා නිහීන හා වංචනික අදහස් ඇති පුද්ගලයෙක් බව එම ගමන් විලාසයෙන් පෙන්නුම් කෙරේ. දෑතෙහි ඇඟිලි පණනැති ස්වභාවයෙන් දෙඅත් වනමින් ගමන් කරන තැනැත්තා සමාජයේ පැසසුම් ලබන්නෙකු බව කියාපායි.   


ඇත් ගමනින් යන කාන්තාව වාසනාවන්තියක් බව පැරණි ඉසිවරුන් ප්‍රකාශ කර ඇත.   


යම් කාන්තාවක් ඉරියව් අධ්‍යයනය කර තමා විශිෂ්ට බව ඇඟවීමට නිවැරදි ක්‍රමයක් අනුගමනය කළ හැකි වුවද පුරුද්ද අභිබවා ක්‍රියා කිරීම එතරම් පහසු කාර්යයක් නොවනු ඇත.   

 

 

 


ගම්පහ
අබේසේන හේරත්