ඔප්පුවක සාක්කිකරුගේ අත්සන හරිද ?


එදා නඩු පොතෙන්

 

නීතියෙන් යම්කිසි ලේඛනයක් ලියා සහතික කළ යුතු බව අවශ්‍ය කොට ඇත්නම් එකී ලේඛනය අධිකරණය හමුවේ සත්‍ය ලේඛකයක් වශයෙන් පිළිගනු ලබන්නේ එකී ලේඛනයට සාක්‍ෂිකරුවන් වශයෙන් අත්සන් කරන සාක්‍ෂිකරුවන් දෙදෙනාගෙන් එක් කෙනෙක් වත් අධිකරණය ඉදිරියේ පෙනීසිට එකී ලේඛන සත්‍ය ලේඛනයක් බවට සාක්‍ෂි වශයෙන් පවසා ඔප්පු කළහොත් පමණි. මෙය සාක්‍ෂි ආඥා පනතේ 68 වන වගන්තියේ සඳහන් පරිදි අනිවාර්යය කොට ඇති නීති ප්‍රතිපාදනයකි. කෑගල්ලේ ඉල්ලීම් උසාවියේ පළමුවෙන්ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමා ඉදිරියේ එහ පැහැදිලි කෙරුණ ආකාරය:  


අධිනීතිඥ විමලසේන සන්ගේ ලියයි.  


කෙනෙකු විසින් නිශ්චල දේපළක් අන්සතු කිරීමේදී එය නොතාරිස් මහතකු ඉදිරියේ ලියා සහතික කෙරෙන ඔප්පුව මගින් කළ යුතු බව සෑම කෙනෙක්ම හොඳින් දන්නා කරුණකි. එසේ පැවරීමක් කෙරෙන ලේඛනයට ඇතුළත් පාර්ශ්වකරුවන් හඳුනාගනිමින් අනිවාර්යයෙන්ම සාක්‍ෂිකරුවන් දෙදෙනෙක් අත්සන් කළ යුතු වේ. එකී ලේඛනය අධිකරණය ඉදිරියේ සත්‍ය ලේඛනයක් වශයෙන් පිළිගැනීමට නම් එකී ලේඛනයට අත්සන් කළ සාක්‍ෂිකරුවන් දෙදෙනාගෙන් එක් සාක්‍ෂිකරුවෙකුවත් අධිකරණය ඉදිරියේ සාක්‍ෂි දී එකී ලේඛනය සත්‍ය ලේඛනයක් ලෙස පිළිගත යුතු වේ. එකී අවශ්‍යතාව සාක්‍ෂි ආඥා පනතේ 68 වන වගන්තියේ මෙසේ පැහැදිලි කොට දක්වා ඇත.  


යම් ලේඛනයක් සහතික කිරීම නීති මගින් අවශ්‍ය වුවහොත් අධිකරණයේ කැඳවීම් නියෝගයකට යටත් වන්නාවූ ද සාක්ෂි දීමට පුළුවන් වූද සහතික කරන සාක්‍ෂිකරුවෙක් ජීවත්ව සිටීනම් එය ලියා අත්සන් කරන ලද බව සත්‍ය බැව් ඔප්පු කිරීම සඳහා යටත් පිරිසෙයින් සහතික කරන එක සාක්‍ෂිකරුවෙකු කැඳවනු ලබන තෙක් එම ලේඛනය සාක්‍ෂි වශයෙන් පාවිච්චි කළ යුතු නොවේ.   


මේ අනිවාර්ය ප්‍රතිපාදන අනුගමනය කිරීම අවශ්‍ය වන්නේ ඔප්පු මගින් යම් යම් දේපළ හුවමාරු වීමේදී සිදුවන ව්‍යාජ කටයුතු වැළැක්වීම පිණිසය. ඔප්පුවක නම් සාක්‍ෂි වශයෙන් සාක්‍ෂිකරුවන් දෙදෙනකු අවශ්‍ය වේ. මේ අවශ්‍යතාව උවමනා වන්නේ පසුවදී එකී ඔප්පුව මගින් යම් දේපළවල අයිතිය තහවුරු කර ගැනීම පිණිසය. සාමාන්‍යයෙන් මේ අවශ්‍යතාව ඔප්පු කිරීම උවමනාවන්නේ බෙදුම් නඩු සහ ඉඩම් නඩුවලදීය. එවැනි නඩුවලදී දේපළවල අයිතිය තහවුරු කිරීමට ඔප්පුවේ නැතහොත් ලේඛනයේ සත්‍ය භාවය තහවුරු කර ගැනීමට යටත් පිරිසෙයින් අධිකරණයේ සාක්‍ෂි දීම පිණිස කැඳවිය යුතුය. ඔප්පු මත නම් බොහෝ විට සාක්‍ෂි දීමට අවශ්‍ය වන විට සාක්‍ෂිකරු මිය ගොස් සිටිය හැකිය. එසේත් නැත්නම් වයස්ගත වී ඔත්පළ වීම හේතුවෙන් අධිකරණයට පැමිණ සාක්‍ෂිදීමට පැමිණිමට නොහැකි තත්ත්වයක පසුවිය හැක. මෙය නඩුවලදී බහුලව දැකිය හැකි අවස්ථා වේ. එකී විවිධ අවස්ථා විග්‍රහ කරමින් පෙන්වූ නඩුවක් ඉහත දක්වන ලද පරිදි මීට බොහෝ කලකට පෙර කෑගල්ල දිසා අධිකරණයේදී විභාග විය.  


මූලික සාක්‍ෂි විභාගය ඉල්ලීම් උසාවියේ උගත් ඉල්ලීම් කොමසාරිස් ඉදිරියේ ගැනුනි. එකී නඩුවේ විසඳිය යුතු එකම ප්‍රශ්නය වූයේ අංක 41375 දරන ඔප්පුව ඩිංගිරිය නමැත්තකු විසින් ලියා සහතික කරන ලද ඔප්පුවක් වන්නේද යන්නය. දීර්ඝ සාක්‍ෂි විභාගයකින් පසුව උගත් ඉල්ලීම් උසාවි කොමසාරිස්තුමා නිගමනය කළේ තමා ඉදිරියේ ඇති සාක්‍ෂි සියල්ල සලකා බැලීමේදී එකී ඔප්පුව ඩිංගිරිය නමැත්තා විසින් ලියා සහතික කරන ලද සත්‍ය ඔප්පුවක් බවට පිළිගත හැකි ඔප්පුවක් බවය.  


එකී ඔප්පුවට විරුද්ධ වූ නඩුවේ විත්තිකරුවෝ කොමසාරිස් තුමාගේ තීන්දුව පිළිනොගත්තේය. ඒ අනුව ඔවුහු නඩු තීන්දුවට විරුද්ධව අභිආයාචනා අධිකරණය වෙත අභිආයාචනා පෙත්සමක් ඉදිරිපත් කළේය. විත්තිකාර අභිආයාචකයින්ගේ තර්කය වූයේ එකී ඔප්පු ඉහත සඳහන් සාක්‍ෂි ආඥා පනතේ 68 වන වගන්තිය අනුව සත්‍ය ඔප්පුවක් බව ඔප්පු කළ හැකි බවය. ඔප්පුවට සාක්‍ෂිකරුවන් වශයෙන් දෙදෙනෙක් අත්සන් කළ යුතු බව අවශ්‍ය වූවත් එක් සාක්‍ෂිකරුවකු මිය​ෙගාස් ඇත්නම් අනිත් සාක්‍ෂිකරු සාක්‍ෂිදීම පිණිස කැඳවිය යුතුය. බොහෝ විට එකී සාක්‍ෂිකරු සඟවා තබා ගැනීමේ හැකියාව විරුද්ධ පාර්ශ්වයට අවශ්‍ය වන්නේ දැනට ජීවත් වී සිටින සාක්ෂිකරු අධිකරණයට පැමිණීම වැළැක්වීමටය.  
කරුණු මෙසේ වන බැවින් සාක්‍ෂි ආඥ‌ා පනතේ 68 වන වගන්තියේ ප්‍රතිපාදනවලින් අවශ්‍ය කොට ඇත්තේ එක් සාක්‍ෂිකරුවෙකු ජීවත්ව සිටින බව ඔප්පු කළ යුතු බවය. එසේම ඔහු අධිකරණය වෙත කැඳවා සාක්‍ෂි දීමට හැකි තත්ත්වයෙන් ඔහු පසුවන බවද ඔප්පු කළ යුතුය. තවදුරටත් එකී සාක්‍ෂිකරු අධිකරණය මගින් නිකුත් කෙරෙන සිතාසි මගින් අධිකරණය වෙත කැඳවිය හැකි කෙනෙක්ද විය යුතුය. මෙයින් අදහස් කෙරෙන්නේ ඔහු අධිකරණය මගින් නිකුත් කෙරෙන සිතාසියක් මගින් සාක්‍ෂි දීම පිණිස අධිකරණය වෙත කැඳවා ගත හැකි බවය.   


මේ නඩුවේ දෙපාර්ශ්වයට ඉල්ලීම් උසාවියේ පිළිගත් කරුණක් වූයේ ඔප්පුවට අත්සන් තබා ඇති එක් සාක්‍ෂිකරුවෙකු සෙන්දියා දැනට ජීවත්ව සිටින බවය. ඔප්පුවේ සත්‍යභාවය සහතික කරමින් ඔප්පුවට අත්සන් කොට ඇති සෙන්දියා සාක්‍ෂි දීම පිණිස කැඳවීමට දැනට සොයාගත නොහැකි බවය. ඉල්ලීම් උසාවියේ කොමසාරිස්තුමාගේ මතය වූයේ කවරකු හෝ විසින් සෙන්දියා සඟවා රඳවාගෙන තබාගෙන ඇති බවත් නඩුව අසා නිමවූ පසු ඔහු කුමන හෝ තැනකින් එළියට පැමිණෙන බවය.  


මේ ක්‍රියාකලාපය කිසිවෙකු විසින් ඔහුගේ උවමනාවට කළ දෙයක් බව තමා විශ්වාස කරන බව ඔහු තරයේ කියා සිටියේය. සෙන්දියා සෙවීමට පැමිණිලිකරු දරන ඉමහත් ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කරන්නේ මේ සාක්‍ෂිකාර සෙන්දියා මේ නඩුවේ සාක්‍ෂි දීමෙන් වැළැක්වීමට කරන උත්සාහයක් බවත් ඔහු කැඳවා සාක්‍ෂි ලබා ගැනීමට නොහැකි වුවහොත් පැමිණිලිකරුට ඇතිවන ප්‍රතිඵලය වන්නේ ඔහුට ආරවුලට ලක්ව ඇති ඔප්පුවේ සත්‍ය තාවය ඔප්පු කර ගැනීමට නොහැකි වන බවය. ඒ අනුව සාක්‍ෂි ආඥා පනතේ 68 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පැමිණිලිකරුට ඔප්පුවේ සත්‍යභාවය ඔප්පු කරන නොහැකි වන බවය.   


කරුණු එසේ වූ විට පැමිණිලිකරු විසින් ඔප්පුවේ සාක්‍ෂිකරු කැඳවා ගැනීම ඔහු සොයා ගත නොහැකි වූ බව අධිකරණය ඉදිරියේ වෙනත් සාක්‍ෂි මගින් ඔප්පු කළ යුතු වේ. මේ ක්‍රියා පටිපාටියෙන්ද අසාධාරණයක් සිදුවිය හැකි බව පැහැදිලි වේ. ඔප්පුවේ සත්‍යතාවය සැක සහිත අවස්ථාවක ඔප්පුවට විරුද්ධ වන පාර්ශ්වකරුට ඉහත දැක්වූ පරිදි සාක්‍ෂිකරුට ඔප්පුව සත්‍ය ඔප්පුවක් බවට සාක්‍ෂිදීමෙන් බැහැර කිරීමට ඔහු නඩුව අවසන් වන තෙක් සඟවා තබාගත හැකිය.  


මෙවන් අවස්ථාවක ඔප්පුවේ සාක්‍ෂිකරු අධිකරණයට කැඳවා ගැනීමට අවශ්‍ය පාර්ශ්වකරුට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 131 වන වගින්තිය අනුගමනය කිරීමය. ඒ අනුව සාක්‍ෂිකරු කැඳවා ගැනීමට අවශ්‍ය පාර්ශ්වකරු විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 131 වන වගින්තියට අනුකූලව සිතාසියක් පිස්කල් නිලධාරියා මගින් ඔහු සොයා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පිස්කල් නිලධාරිතුමා විසින් එසේ කොට සිතාසිය බාර දීමට නොහැකි වූ බව සාක්‍ෂි මගින් අධිකරණයේ ඔප්පු කළ යුතුවේ.  


කරුණු මෙසේ වූ විට සාක්‍ෂිකරු කැඳවා ගැනීමට අදාළ පාර්ශ්වකරු උත්සාහ ගත් බවත් අධිකරණය ඉදිරියේ ඔප්පු කළ යුතු වේ. එකී සාක්‍ෂි සහ වෙනත් අදාළ සාක්‍ෂි නඩුවට ඉදිරිපත් වූ විට එකී සියලු සාක්‍ෂි සලකා බලා සාක්‍ෂි ආඥ‌ා පනතේ 68 වන වගින්තියේ කුමක් සඳහන් වූවත් ඔප්පුවේ නිර්වද්‍යතාව පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි බව අග්‍රවිනිශ්චයකාර ලසලස් මැතිතුමා තීන්දු කළේ.   


මේ අනුව නඩුවේ සියලු සාක්‍ෂි සලකා බලා ඔප්පුවේ එක් සාක්‍ෂිකරුවෙක් පිළිගෙන ඇති පරිදි මියගොස් ඇති බවටත්, අනික් සාක්‍ෂිකරු සොයා ගත නොහැකි බවත් කොමසාරිස්තුමා එකී සාක්‍ෂි සඳහන් කරමින් කරන ලද නිගමනය නිවැරදි බවත්, ඒ අනුව විත්තිකාර අභයාචනා පෙත්සම ඉවත දමා අභියාචනට අභියාචනා ගාස්තු ප්‍රදානය කළේය.  


අවසානයේ අග්‍රවිනිශ්චයකාර ලසලෙස් විනිශ්චයකාරතුමා සියල්ල කැටිකොට මෙසේ දැක්විය. 

 
‘‘නීතිය අනුව යම්කිසි ලේඛනයක් ලියා සහතික කළ යුතු බවට අවශ්‍ය කර ඇත්නම් එකී ලේඛනය සත්‍ය බව සහතික කරමින් එකී ලේඛනයේ සත්‍ය බවට සහතික කරමින් එකී ලේඛනයේ සත්‍ය බවට ලියා සහතික කළ එකී ලියවිල්ලේ සාක්‍ෂිකරුවන්ගෙන් එක් සාක්‍ෂිකරුවෙකු එකී ලේඛනය සත්‍ය ලේඛනයක් බවට ලියා සහතික කළ එක් සාක්‍ෂිකරුවකු පමණක්වත් කැඳවා එකී ලේඛනය සත්‍ය ලේඛනයක් බවට එකී සාක්‍ෂිකරු ජීවත්ව සිටීනම් ඔහුට අධිකරණය හමුවේ සාක්‍ෂි දීමට හැකිනම් එසේ ජීවත්ව සිටින සාක්‍ෂිකරු අධිකරණයේ බලසීමාව තුළ ජීවත්ව සිටීනම් එසේම ඔහුට සාක්‍ෂි දීමට හැකිනම් ඔහු කැඳවා එකී ලේඛනය සත්‍ය ලේඛනයක් බවට ඔප්පු කිරීමෙන් තොරව එසේ ලියා සහතික කළ සත්‍ය ලේඛනයක් බවට ඔප්පු කිරීමෙන් මිස නඩුවේ සාක්‍ෂියක් වශයෙන් පිළිනොගත යුතුය.’’  


‘‘සාක්‍ෂිකරුවෙක් සොයාගත නොහැකි බවට නිසි සාක්‍ෂිය වන්නේ එකී සාක්‍ෂිකරු අධිකරණයට කැඳවීමට අවශ්‍ය තැනැත්තා විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 131 වන වගන්තිය යටතේ ඔහු ගරු අධිකරණය වෙත කැඳවා ගැනීමට නීත්‍ය, යුකුල බලය පාවිච්චි කළ බව ඔප්පු කිරීමය. එකී වගන්තිය යටතේ සාක්‍ෂිකරු ගෙන්වා ගැනීමට පිස්කල් වෙත සිතාසි නිකුත් කොට පිස්කල් නිලධාරීවරයා එකී සිතාසි බාරදීම නැතහොත් වරෙන්තුවක් බාර දීමට ඔහු සොයා ගැනීමට නොහැකි වූ පිස්කල් නිලධාරියා කැඳවා ඔහුගේ සාක්‍ෂිය ඉදිරිපත් කිරීමයි.  


එසේම ඔහු වෙත වරෙන්තුවක් බාර දීමට පිස්කල් නිලධාරියාට ඔහු සොයාගත නොහැකි වූ බව පිස්කල් නිලධාරියා කැඳවා සාක්‍ෂි ලබා ගැනීම සාක්‍ෂි ආඥ‌ා පනතේ 68 වන වගන්තියේ ප්‍රතිපාදන සපුරා ලා ඇති බවට නිසි සාක්‍ෂියක් බව පිළිගත හැකිය. සාක්‍ෂිකරු සොයා ගත නොහැකි බවට නඩුවේ වෙනත් පාර්ශ්වකරුවකුගේ සාක්‍ෂිය ප්‍රමාණවත් සාක්‍ෂියක් නොවන බවත් විනිශ්චයකාරතුමා නිගමනය කළේය.  

 

 


අධිනීතිඥ විමලසේන ගන්ගේ ලියයි