එස්ටීඑෆ් බළකායට යාපනයේදී ප්‍රහාරයක්


ත්‍රස්තවාදයෙන් රට රැකගන්න 
එස්ටීඑෆ් හැදූ හැටි

 

 

ස්ථානය: කන්කසන්තුරේ පේදුරුතුඩුව මාර්ගයේ ටික්කම් හංදිය   
දිනය: 1984 වසරේ සැප්තැම්බර් මාසයේ 1 වැනිදා   
වේලාව: දහවල් 1.00 ට පමණ   


ජීප් රථ දෙකක් ට්‍රක් රථයක්ද ඊළඟට තවත් ජීප් රථයක්ද මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අතර එම රථවල ගමන් කරමින් සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා භට කණ්ඩායමකි.   


ජීප්රථ දෙකට සහ පිටුපසින් ගමන් ගත් ජීප් රථයට මැදින් ගමන් කරමින් තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ට්‍රක් රථයකි.   
මාර්ගය ආසන්නයේ පිහිටි තල්ගසක් පසුකර යනවාත් එක්කම ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගියේ පළාතම දෙදරුම් කවමින්ය. 

 
බෝම්බයට අසුවූ ට්‍රක් රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගියේ ඒ ආසන්නයේ තිබූ මුහුදු වෙරළටය.   


ඉදිරියෙන් ගමන්ගත් ජීප් රථ දෙකක් සහ ට්‍රක් රථයට පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් පෙරළී ගිය ට්‍රක් රථය දෙසට එම ජීප්රථ වලින් බැස දුවගෙන එනවාත් සමගම සැඟව සිටි කොටි ත්‍රස්තවාදීන් දිගට හරහට වෙඩි තබන්නට පටන්ගෙන ඇත.   


විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉදිරියටම ඇදී එද්දී කොටි ත්‍රස්තයන් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් පසුබසින්ට වූයේ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ වෙඩි බලයට මුහුණදීගත නොහැකිවය.   


ට්‍රක් රථයේ ගමන්ගත් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරුන් 04 දෙනෙක් මිය ගොස් සිටි අතර තවත් 9 දෙනෙක් බරපතළ තුවාල ලබා සිටියහ.   
බරපතළ තුවාල ලබා සිටි නිලධාරීන් අතරේ උප පොලිස් පරීක්ෂක කපිල ජයසේකර මහතාද විය.   


බෝම්බ පිපිරීමෙන් මිය ගියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ පොලිස් සැරයන්වරුන් ඒකනායක (4100), චන්ද්‍රපාල (2539), නානායක්කාර (3928) සහ සැරයන් රියදුරු සුමනසේකර (13089) යන මහත්වරු වෙති.   


මෙය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට එල්ල වූ පළමු බෝම්බ ප්‍රහාරය වන්නේය.   


ඉන්පසු සෑම වසරකම පොලිස් විශේෂ කාර්ය බළකා විරු දිනය සමරනු ලබන්නේ මීට වසර 35 කට පෙර බෝම්බ පිපිරීමෙන් මියගිය ඒ පොලිස් විශේෂ කාර්ය බළකා විරුවන් සිවුදෙනා සිහිපත් කරමිනි.   


එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ව ඉලක්ක කරගනිමින් මෙවැනි බෝම්බ ප්‍රහාරයන් එල්ල කරනුයේ 1984 වසරේ අගෝස්තු මාසයේ 17 වැනිදා යාපනය අර්ධද්වීපයේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දෙවැනියාව සිටි රංජන් ලලා නමැත්තාව ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙනි.   


ප්‍රභාකරන්ගේ දකුණු අත බඳුව ඒ කාලයේ සිටි රංජන් ලලා නමැත්තා මරා දැමීමට එකට එකක් කිරීමක් ලෙස එස්ටීඑෆ් එකෙන් පළිගන්නා බවට ඔහු ඝාතනය කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපය පුරා පෝස්ටර්ද එකල අලවා තිබී ඇත.   


රංජන් ලලා එල්ටීටීඊයේ කපිතාන් තනතුර දැරූ අයෙකු විය. 

 
කැප්ටන් රංජන් ලලා මැරුම් කෑවේ එස්ටීඑෆ් නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදීය.   


ප්‍රභාකරන්ගේ දෙවැනියා එදා මැරුම්කෑවේ සේනාරත්න මහතා ඇතුළු එස්ටීඑෆ් කණ්ඩායමක් සමග ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනි.   


ඒ කාලයේ ප්‍රභාකරන් ලබාදුන් නියෝග සෑම එකක්ම ක්‍රියාත්මක කර ඇත්තේ මේ රංජන් ලලා නමැත්තාය.   


ප්‍රභාකරන් එස්ටීඑෆ් එකෙන් පළිගැනීමට සිතුවේ රංජන්ගේ මෙම ඝාතනයෙන් පසුවය.   


යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ඉදිරියෙන්ම ගමන්ගත් ජීප් රථයේ සිටියේ එවකට උප පොලිස් පරීක්ෂකවරයකුව සිටි අමරසිරි සේනාරත්න මහතාය.   
පොලිස් දෙපාර්තමේන්තුවට 1981 වසරේ ජනවාරි මාසයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස බැඳුණු සේනාරත්න මහතා 2016 වසරේ විශ්‍රාම ගියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම ලබා සිටියදීය.   


නැගෙනහිර පළාතේ එවකට පැවති එල්ටීටීඊ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමටද කොටි ත්‍රස්තවාදය මීට වසර 10 කට ඉහතදී මෙරටින් තුරන් කිරීමෙන් පසු පාතාල ක්‍රියාකාරකම් මැඩලීමටද සේනාරත්න මහතා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දක්ෂ නිලධාරියෙකු විය.   


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි​යෝජ්‍ය පොලිස්පති සේනාරත්න මහතා රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා භට කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් එල්ලවූ පළමු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු මෙතැන් සිට පෙළගස්වන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගේ මතකය ඇසුරිනි.   


අපි කණ්ඩායමක් 1984 වසරේ සැප්තැම්බර් මාසයේ 1 වැනිදා යාපනයේ සිට පේදුරුතුඩුව බලා යාමට සූදානම් වුණා. මේ කණ්ඩායමට මම ඇතුළුව උපපොලිස් පරීක්ෂක ලලිත් වික්‍රමසිංහ, අනුර කිත්සිරි සහ කපිල ජයසේකර යන අයද ඇතුළත් වුණා. අපි තමා කණ්ඩායම් බාරව සිටියේ. අපි යාපනයේ කඳවුරෙන් පිටත්වෙන්න මොහොතකට කලින් ද්‍රවිඩ ජාතික පොලිස් පරීක්ෂකවරයෙක් කතා කරලා කිව්වා මල්ලි උඹලා අද ඔය ගමන යන්න එපා එල්ටීටීඊ එක අතරමග රැකලා ඉඳලා ගහන්න ඉන්නවා කියා. ඊට පස්සේ මම මේ බව සහකාර පොලිස් අධිකාරි එන්​.කේ. ඉලංගකෝන් මහත්තයාට කතා කරලා දැනුම් දුන්නා. පස්සේ කාලයකදී පොලිස්පති වු​ෙණ් මේ ඉලංගකෝන් මහත්තයා.   


සහකාර පොලිස් අධිකාරි ඉලංගකෝන් මහත්තයාට මම කිව්ව පණිවිඩය ඔහු ඒකාලයේ යාපනය සම්බන්ධීකරණ නිලධාරියාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ගුණවර්ධන මහත්තයාට කතා කරලා දැනුම් දුන්නා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගුණවර්ධන මහත්තයා මේ බව ඒ මොහොතේම යුද හමුදාවේ උසස් නිලධාරීන්ට පැවසුවා. යාපනයේ ඉඳලා පේදුරුතුඩුවට යන්න හමුදාවෙන් මාර්ගය පරීක්ෂා කිරීමෙන් පස්සේ අපට උපදෙස් ලැබුණා. ඒ අනුව අපි පේදුරුතුඩුව බලා යන්න පිටත් වුණා.   


අපි ගමන යන්න පිටත්වුණ වෙලාවේ සිටන් රේඩියෝ සෙට් එකෙන් යාපනයේ කඳවුරේ නිලධාරීන් නිතර කතා කරමින් විස්තර විමසනවා. අපි ගමන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගුණවර්ධන මහත්තයා දැනුම් දුන්නු මාර්ගයේ.   


වැල්වැටිතුරේ පහුකරලා ටික දුරක් යනකොට ටික්කම් හංදිය හමුවෙනවා. ඉදිරියෙන්ම තමා මම ජීප් එකක ගියේ. මට පිටුපසින් තවත් ජීප් එකක් ආවා. ඒ ජීප් එකට පස්සෙන් ට්‍රක් රථයක් ආවා. ට්‍රක් රථයට පස්සෙන් තවත් ජීප් එකක් ආවා. ටික්කම් හංදිය පහුකරලා අපිට මීටර් 200 ක් වත් ඉස්සරහට යන්න ලැබුණේ නැහැ. ලොකු පිපිරුම් ශබ්දයක් ඇසුණා.   
උපපොලිස් පරීක්ෂක කපිල ජයසේකර ඇතුළු කණ්ඩායම ගමන් කරපු ට්‍රක් එක බෝම්බයකට අහුවෙලා තිබෙනවා දැක්කා. කපිලත් එක්ක ඒ ට්‍රක් එකේ 13 ක් ගමන් කළා.   
මේ බ්ලාස්ට් එකට අහුවෙලා ට්‍රක් එක මුහුදු වෙරළට පෙරළී ගොස් තිබුණා. අපි කට්ටිය වාහන නවත්තලා බ්ලාස්ට් එක වෙච්ච තැනට එනකොට පෙරලා අපිට ඇටෑක් කරන්න පටන්ගත්තා. අපිත් උන්ට ඇටෑක් කරමින් සිද්ධිය වෙච්ච තැනට ආවා. උන් ටී 56 අවි වලින් අපිට ප්‍රහාර එල්ල කළා. අපි එස්.එල්.ආර්. අවි වලින් වෙඩි තිබ්බේ එස්එල්ආර් වෙපන් එකෙන් මීටර් 800 ක් විතර දුරට වෙඩි තියන්න පුළුවනි.   


ටී. 56 වෙපන් එකෙන් වෙඩි තියන්න පුළුවන් මීටර් 400 ක විතර දුරක් පමණයි. අපේ මේ වෙඩි බලය හමුවේ කොටි පලාගියා. කොටි ප්ලෑන් කරලා තියෙන්නේ ට්‍රක් එක පුපුරුවා හැරලා ඊට පස්සේ ඒ ගැන හොයා බලන්න එතැනට එන අපිට වෙඩි ප්‍රහාර එල්ල කරලා මරා දමන්න කියා අපට තේරුම් ගියා.   


ට්‍රක් එකේ හිටිය එස්.ටී.එෆ් එකේ පොලිස් කොස්තාපල්වරු හතරදෙනෙක් මිය ගොස් උපපොලිස් පරීක්ෂක කපිල ජයසේකර මහත්තයා එක්ක 9 දෙනෙක් බ්ලාස්ට් එකට අහුවෙලා බරපතළ තුවාල ලබා සිටියා. මේ වෙනකොට ස්පෝර්ටින් ගෲප් අපි හිටිය තැනට ආවා. මළ සිරුරු හතර හා තුවාලකරුවන් අපේ වාහනවලට පටවා ස්පෝර්ට් එකට ආපු කණ්ඩායම්වලට බාරදුන්නා. ටික්කම් හංදියේ ඉඳලා පේදුරුතුඩුව පොලිසියට කිලෝමීටර් 2 1/2 ක් විතර තියෙනවා. අපි ඒ දුර පොලිසියට එනකම් පයින්ම ආවා.   


ටික්කම් හංදියේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ එස්.ටී.එෆ් එකේ නිලධාරීන් 9 දෙනා පේදුරුතුඩුව රෝහලට අරගෙන යන පාරෙත් කොටි ක්ලේමෝ බෝම්බ අටවා තිබුණා. යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැමිණ අටවා තිබූ ඒ බෝම්බ නිෂ්ක්‍රීය කරලා තමා තුවාලකරුවන් රෝහලට අරගෙන ගිහින් තිබුණේ. ඊට පස්සේ පේදුරුතුඩුව රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබාදී කපිල ජයසේකර මහත්තයා ඇතුළු තුවාල ලබා සිටි අපේ නිලධාරීන් 09 දෙනා ගුවන් මගින් කොළඹට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබුණා. මියගිය කොස්තාපල්වරුන් හතරදෙනාගේ සිරුරත් ඒ අයගේ පවුල්වල අයට බාරදෙන්න ගුවන් මගින්ම කොළඹට රැගෙන ගියා.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ හතරදෙනා මියයාම සිහිපත් කරන්න එදා ඉඳන් අදටත් පොලිස් විශේෂ කාර්ය බළකා විරු දිනය සැප්තැම්බර් මාසයේ 1 වැනිදාට සමරනවා යැයිද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසයි.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කටයුතු කිරීමට බලපෑ හේතු සාධක ගැනද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේනාරත්න මහතා පැහැදිලි කළේ මේ අන්දමිනි.   


මේ සිද්ධිය මට අද වගේ හොඳට මතකයි 1984 වසරේ අගෝස්තු මාසයේ 17 වැනිදා වැල්වැටිතුරේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකට මාත් එක්ක ගිය එස්ටීඑෆ් කණ්ඩායමකට සැඟව සිටි පුද්ගලයෙක් වෙඩි තිබ්බා. අපේ ප්‍රති ප්‍රහාර වලින් ඔහු වෙඩිකා මිය ගියා. වෙපන් එකත් සොයාගත්තා. වෙඩිකා මිය ගොස් ඇත්තේ ප්‍රභාකරන්ගේ දෙවැනියා ලෙස ඒ කාලයේ කටයුතු කළ රංජන් ලලා කියන පුද්ගලයා ලෙස අපි හඳුනා ගත්තා. ඔහු එල්ටීටීඊ එකේ කපිතාන් කෙනෙක්.   


රංජන් ලලාගේ මරා දැමූ එස්ටීඑෆ් එකට දඬුවම මරණයයි. යනුවෙන් සඳහන් පෝස්ටර් යාපනය හා ඒ අවට ප්‍රදේශවල හැමතැනකම එල්ටීටීඊ එකෙන් ගහලා තිබුණා. පෝස්ටර් වලින් කරලා තිබුණ තර්ජනවලට බයේ අපි අපේ මෙහෙයුම් සෝදිසි කිරීම් නැවත්තුවේ නැහැ. ඒවා දිගටම කරගෙන ගියා. අපේ මේ ගමන ගැන එල්ටීටීඊ එකට තොරතුරු කල්තියා ලැබිලා තමා මේ ප්‍රහාරය සැලසුම් කරලා තිබෙන්නේ කියා පසුව දැනගැනීමට ලැබුණා.   


බෝම්බය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලැබූ කපිල ජයසේකර මහතා මාස දෙකකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇත.   

 

 


සටහන   
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය