එයාර් ලංකා යානයේ බෝම්බ පිපිරීම


කොළඹ බ්යපත් කළ කොටි බෝම්බ

 

 

“කොළඹ බියපත් කළ කොටි බෝම්බ” විශේෂංගය යටතේ මෙවර විස්තර කෙරෙන්නේ එයාර් ලංකා ගුවන් යානයේ පිපිරවූ බෝම්බය පිළිබඳවය.  
 
1986 මැයි 3 වනදා, එයාර් ලංකා ගුවන් සේවයට අයත් යූ.එල්. 512 වර්ගයේ ට්‍රයිස්ටාර් ගුවන් යානය ලන්ඩන් ගුවන් තොටුපළේ සිට පළමු නැවතුම්පළ වන සුරිච්, දෙවන නැවතුම්පළ ඩුබායි, අවසන් පූර්ව නැවතුම්පළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මාලේ ඉබ්‍රහිම් නසීර් ගුවන් තොටුපළ දක්වා පිටත්වීමට නියමිත විය.   


ගුවන් යානය ලන්ඩන්, සුරිච්, ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ වනවිට පෙරවරු 7.30 පමණ වී තිබිණි. සිටි ඔෆ් කලම්බු (City of Colombo) නමින් හැඳින්වුණු මේ ගුවන් යානය ඊළඟට මාල දිවයින බලා යාමට සූදානම් කෙරෙමින් පැවතිණි.   


කාලසටහනට අනුව මාලදිවයින් ගමන පිටත්වීමට තිබුණේ පෙ.ව. 9.14 ටය. මේ යානයේ මඟීන් 276 කට ගමන් කළ හැකිව තිබිණි.   


එදින මාලදිවයින බලා පිටත්වීමට සිටියේ මගීන් 128 ක් පමණි. විදේශිකයෝද රැසක් මේ පිරිසට අයත්ව සිටියහ.   


පෙ.ව. 9.10 ට ආසන්න වෙමින් තිබුණේ මේ අතරය.   


ඒ වනවිට මගීහු 111 ක් යානයට ඇතුළු වී සිටියහ. තවත් 22 ක් යානයට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටියහ.   


වේලාව පෙ.ව. 9.10 පසුවූවා පමණි. කටුනායක පළාතම දෙවනත් කරමින් ට්‍රයිස්ටාර් ගුවන්යානය දෙදරුම් හඬක් නංවමින් දෙකඩ වී ගියේය. 

 
යානයේ වීදුරු කඩා හැලෙද්දී මහා ගිනි ජාලාවක් සමඟ මුළු ගුවන් තොටුපළම දුමෙන් වැසී ගියේය. මගීහු 17 දෙනෙක් එම ස්ථානයේම මරුමුවට පත්වූහ. තවත් පිරිසකගේ ශරීරවලට ගිනි ඇවිළී තිබිණි.   


ඔවුහු ගිනිගෙන දැවෙන සිරුරින් යුතුව ගුවන් යානයේ සුන්බුන් අතරින් එළියට එන්නට වූහ. මෙලෙස ගුවන් යානය ගිනි ගනිද්දී මාලදිවයින බලා ගමන් කිරීමට සිට මඟීන්ගේ අනුවේදනීය සිදුවීම් රැසක් ගුවන් යානයේ දැක ගන්නට ලැබිණි.   


මියගිය අයගෙන් හා තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා විදේශිකයෝ වෙති. මෙම ගුවන් යානය කොළඹ සිට මාලේ බලා පිටත්ව යෑමට විනාඩි කීපයකට පෙරදී පිපිරීම සිදුව ඇත.   
ගුවන් යානය පැමිණ පැය 4 කට පසු පිපිරීම සිදුව ඇති අතර එම අවස්ථාවේදී ඒ අසළ තිබූ ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පුද්ගලයකු බැසගොස් ඇති අතර ඔහුද පිපිරීමට හසුවී මියගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග හෙළි කරයි.   


ගුවන් ගමන් වෙලාව අනුව මෙම ගුවන් යානය මාලේ බලා පිටත්වීමට නියමිතව තිබුණේ පෙරවරු 9.15ට බවත් එම වෙලාවට වඩා ප්‍රමාද වීම නිසා විනාශ වන්නට ගිය ජීවිත විශාල සංඛ්‍යාවක් බේරුණු බවත් එයාර් ලංකා ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.   


මෙම සිදුවීමෙන් යානය තුළ සිටි මගීන්ගෙන් 21 දෙනෙකු මියගොස් 41 දෙනෙතු තුවාල ලැබූහ.   


යානය පිපිරී ගිනි ගැනීමෙන් පිලිස්සී මියගිය ගුවන් මඟීන්ගේ මළ සිරුරු පර්යන්ත ගොඩනැගිල්ල අද්දර ගොඩ ගසා ඉටි රෙද්දකින් වසා තිබිණි.   


තැනින් තැන විසිරී තිබූ මළ සිරුරුවල කොටස් එකතුකොට පොලිතින් උරයක බහා තිබිණි.   


බෝම්බ සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලැබූ රෝගීන් කොළඹ හදිසි රෝහලේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සහ කටුනායක ගුවන් හමුදා රෝහලටත් ගිලන් රථ හා හෙලිකොප්ටර් යානා මගින් පිටත්කර යවනු ලැබූහ.   


කොළඹ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් නව දෙනෙකුම විදේශිකයන් වූහ. ඉතිරි තිදෙනා ශ්‍රී ලාංකිකයන්ය. මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, බටහිර ජර්මානුවන් දෙදෙනෙක්, ප්‍රංශ ජාතිකයන් තිදෙනෙක්, ජපන් ජාතිකයන් දෙදෙනෙක්, මාලදිවයින් ජාතිකයෙක් සහ පාකිස්තානු ජාතිකයෙක් විය. ප්‍රහාරයෙන් විදේශිකයෝ 13 දෙනෙකු මිය ගියහ.   


ජාතික ආරක්ෂක අංශය නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩුය. එයාර් ලංකා ට්‍රයිස්ටාර් ගුවන් යානය පිපිරවූ අවස්ථාවේදී ඒ අසළින් ඉන්දීය ගුවන් යානයේ ගමන්කළ ඉන්දීය ගුවන් නියමුවෝ දෙදෙනෙකුද තුවාල ලැබූ අය අතර වෙති.   


ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වීමට නියමිතව තිබුණේ පෙරවරු 9.15 වුවත් කෙසේ හෝ එහි පැයක ප්‍රමාදයක් විය.   


කොළඹදී ගුවන් යානයට පටවනු ලැබූ භාණ්ඩ අතර තැන්පත්කොට තිබූ බෝම්බය ගුවනින් පුපුරන අන්දමට සකස් කර තිබිණි. කෙසේ වුවද පැයක ප්‍රමාදය නිසා යානය ගුවනට නැංවීමට ප්‍රථම එය පුපුරා ගිනිබත් විය.   


විනාඩි 05 ක සුළු කාලයක් ඇතුළතදී ගුවන් තොටුපළේ ගිනි නිවන සේවා මගින් ගින්න මැඩ පැවැත්වුවද පිපිරීම නිසා ඇතිවූ කම්පනයෙන් ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් සුනුවිසුනු වී ගියේය.   


අනතුරට පත් බොහෝදෙනා දැවීගොස් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයකට පැමිණ තිබිණි. ඔවුන්ගේ අනන්‍යතාව සෙවීම අපහසු බව එම කටයුතුවල නිරතවූවෝ පැවසූහ.   
බෝම්බය පිපිරීමෙන් කටුනායක අවට ප්‍රදේශවල විදුලි ට්‍රාන්ස්පෝමර්වලට පවා හානි සිදුවී ඇති අතර විදුලි කම්බි පවා කඩා වැටී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.   
මේ සිද්ධියත් සමඟම එයාර් ලංකා ගුවන් සමාගමට අයත් සියලුම ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. එදින තාවකාලිකව වසා දමන ලද කටුනායක ගුවන් තොටුපළද එදිනම සවස නැවත විවෘත කරන ලදී.   


එදින මොනම හේතුවක් සඳහා හෝ පිටස්තර පුද්ගලයෙකුට නිසි බලධාරියෙකුගේ අවසරයක් නොමැතිව කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට ඉඩ නොලැබිණි.   
ගුවන් තොටුපළේදී පුපුරා ගිය එයාර් ලංකා ගුවන් යානයට බෝම්බ පාර්සලය තබා ඇත්තේ ඩුබායි නගරයේදී බවට විශ්වාස කළ හැකි තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි.   
යානයේ පිටුපස මගින්ගේ බඩු බාහිරාදිය තැන්පත් කරන කාමරය අසල බෝම්බය බහාලූ සූට්කේසයක් තිබුණු බවටද තොරතුරු හෙළිවිය.   


යානය මඟින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මස් සහ එළවළු ඇසුරුම් අතර බෝම්බය අටවා තිබෙන්නට ඇතැයිද විශ්වාස කෙරේ.   
මේ සමයේ ශ්‍රී ලංකා රජය සහ ඊළාම් විමුක්ති කොටි අතර ඇතිව තිබූ සාම සාකච්ඡා කඩාකප්පල් කර ගැනීමට එල්.ටී.ටී.ඊ. ය විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර ඇති බවද එවකට ශ්‍රී ලංකා රජය තහවුරු කරන ලදී.  

 

වේලාව පෙ.ව. 9.10 පසුවූවා පමණි. කටුනායක පළාතම දෙවනත් කරමින් ට්‍රයිස්ටාර් ගුවන්යානය දෙදරුම් හඬක් නංවමින් දෙකඩ වී ගියේය.   යානයේ වීදුරු කඩා හැළෙද්දී මහා ගිනි ජාලාවක් සමඟ මුළු ගුවන් තොටුපළම දුමෙන් වැසී ගියේය. මගීහු 17 දෙනෙක් එම ස්ථානයේම මරුමුවට පත්වූහ. 


තවත් පිරිසකගේ ශරීරවලට ගිනි ඇවිළී තිබිණි. ඔවුහු ගිනිගෙන දැවෙන සිරුරින් යුතුව ගුවන් යානයේ සුන්බුන් අතරින් එළියට එන්නට වූහ. 
මෙලෙස ගුවන් යානය ගිනි ගනිද්දී මාලදිවයින බලා ගමන් කිරීමට සිටි මඟීන්ගේ අනුවේදනීය සිදුවීම් රැසක් ගුවන් යානයේ දැක ගන්නට ලැබිණි. මියගිය අයගෙන් හා තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා විදේශිකයෝ වෙති. 


යානය තුළ සිදු කළ පරීක්‍ෂණවලදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ තවත් එක් ම්ලේච්ඡ පාර්ශ්වයක් වූ මරාගෙන මැරෙන කළු කොටින්ට අයත් නිල ඇඳුමක් තිබී හමුවී තිබිණ.   
මේ අතර මාලදිවයිනට එළවළු සහ මස් සපයන කිහිප දෙනෙකුගෙන්ද කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුක්තවූවන් රැසකගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත.   
ගුවන් යානය තුළට බෝම්බයක් රැගෙන යාමට ආධාර කළේ යැයි සැක කරන පුද්ගලයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.   


යානය පිපිරීමට පෙර ඒ අසළ නවතා තිබූ ඉන්දීය ගුවන් යානයෙන් පැමිණි කිසියම් පුද්ගලයෙකු බැසගොස් එයාර් ලංකා ගුවන් යානයට බෝම්බ පාර්සලය තැබුවාදැයි විශාල සැකයක්ද හටගෙන තිබිණි. මෙම බෝම්බය තබා ඇත්තේ පෙරවරු 5.30 ත් උදෑසන 9 ත් අතර කාලය තුළදී බවට විශ්වාස කළ හැකි යැයි පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ගේ මතය වී තිබිණි.   


ගුවන් යානාවලට බෝම්බ තැබීමට ප්‍රසිද්ධියක් උසුලන තමිල් ඊළාම් විමුක්ති හමුදාවේ නායක පනාගොඩ මහේෂ්වරන් විසින් එයාර් ලංකා ගුවන් යානයට බෝම්බය සවිකර ඇත්දැයි රහස් පොලිස් නිලධාරීන්ගේ සැකය වී තිබිණි.   


මදුරාසියේ මීනාම් බක්කම් ගුවන් තොටුපළේ සිදුවූ බෝම්බ පිපිරීම ද පනාගොඩ මහේෂ්වරන් සම්බන්ධ වී සිටීම මෙම සැකයට ප්‍රධාන හේතුව වී තිබේ.   
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී ගුවන් තොටුපළේ සිටි සියලුම සේවකයන්ගෙන් එම අවස්ථාවේදීම සිද්ධිය පිළිබඳව කටඋත්තර ලබා ගත්හ.   


මෙහිදී තුවාල ලැබූවකු මීගොඩ රෝහලෙන් පිටවී යාමට තැත්කොට ඇති අතර ඔහු විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ගනු ලැබීය.   


මෙම සිද්ධිය පිළිබඳව ඉහළ පෙළේ රහස් පොලිස් කණ්ඩායම් හා සිවිල් සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් විශේෂ පරීක්‍ෂණ පවත්වා ඇත. ඉතා හොඳ හෝඩුවාවල් කීපයක් ඔස්​ෙස්  පරීක්ෂණ පැවැත්වූ අතර මේ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවිය.   


මේ අතර කටුනායක ගුවන් තොටුපළේදී අල්ලා ගනු ලැබූ සෙල්ලමුත්තු කුමාරස්වාමි නමැති පුද්ගලයාගෙන් රහස් පොලිසිය දිගටම ප්‍රශ්න කළේය.   


එයාර් ලංකා ජම්බෝ ජෙට් යානයක කපිතාන්වරයෙකු ලෙස වෙස් වළාගෙන ගුවන් තොටුපළේ තහනම් ප්‍රදේශයකට මොහු ඇතුළු වූයේ මන්ද? පළමුවෙන් සොයා ගත යුතුව ඇතැයි පොලිසිය දන්වා සිටියේය.   


එයාර් ලංකා ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ කාර්මික අංශයේ 747 ජම්බෝ ජෙට් යානාවේ රෝද සහ ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු විමසමින් සිටියදීය.   


මොහු කිහිපවතාවක්ම මෙසේ වෙස් වළාගෙන ගුවන් තොටුපළේ තහනම් ප්‍රදේශවලට ගොස් ඇති බවද සොයාගෙන ඇත.   


මේ පිපිරීමේ සිද්ධිය පිටුපස ඇති තොරතුරු ඇමෙරිකානු ජනාධිපති රේගන් ඇමෙරිකානු සෙනෙට් සභිකයන් සහ ඇමෙරිකානු කොංග්‍රස් සභිකයන්ටත් වහාම දැන්වීමට ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති අර්නස්ට් කොරෙයා මහතා පියවර ගෙන තිබිණි.   


මෙම පිපිරීම මදුරාසියේ සිට ක්‍රියාත්මකවන ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් යැයි ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දී තිබේ. 

 
මෙම පිපිරීම් සඳහා යොදාගෙන ඇති පුපුරන ද්‍රව්‍ය ඊළාම් විමුක්ති කොටි සංවිධානය මඟින් මීට ඉහතදී බොහෝ අවස්ථාවල පාවිච්චි කර ඇති පුපුරන ද්‍රව්‍යයන්වලට සමාන බව මූලික රසායනික පරීක්‍ෂණවලින් සොයාගෙන ඇතැයිද කොරෙයා මහතා පවසා ඇත.   

 

 


වැඩි ප්‍රසිද්ධියට පත් නොවු බ්ලැක් ටයිගර් (Black Tiger) කණ්ඩායම් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් සාමාජික සංඛ්‍යාව වසන් කිරීම පිණිස යානය තුළ තබා තිබුණු හිස්වැසුම්වල කණ්ඩායමේ ලාංඡනය තිබුණු බවත් තවදුරටත් සඳහන් වෙයි.   


මෙම පිපිරීම විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් බවට සාධක ලැබී ඇතැයි එවකට ජාතික ආරක්ෂක ඇමතිව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා පවසා ඇත.   


මෙම පිපිරීම තුර්කි අගමැති ටර්කර් මසාම් මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටි අගමැති ආර්.ප්‍රේමදාස මහතාට දැනගන්නට ලැබී එතුමා මෙම  අනතුර සම්බන්ධයෙන් තමා බලවත් ශෝකයට පත්වී යැයි පවසා පණිවිඩයක් එවා ඇත.


මෙම අන්දමේ ත්‍රස්ත ක්‍රියා සෑම දෙනෙකුම දැඩිසේ හෙළා දකිනු ඇතැයි තමා විශ්වාස කරන බව එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වේ.   


සාමාන්‍ය ජනතාවට සහ ඔවුන්ගේ දේපළට හානිගෙන දෙන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාමත් ඛේදජනක යැයිද ඒ නිසා ඒවා හෙළා දැකීම අත්‍යවශ්‍ය යැයිද කොළඹ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මෙම ක්‍රියාව තදින්ම හෙළා දුටුවේය.   


ඊට අමතරව ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නියෝජිත පිරිසේ නායක දිගම්බරන් මෙම බෝම්බය පිපිරවීම හෙළා දකිනු ඇතැයි එම නායකයාගේ ප්‍රකාශය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසා ඇත.   


මෙම විනාශයෙන් මරණයට පත්වූ අහිංසක පුද්ගලයන් පිළිබඳ සිය ශෝකය  පළකළ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා එම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දුටුවේය.   
එය නිදහස සඳහා කරනු ලබන සටනක් නොව කටුක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් පැවසූ ඇමැතිතුමා රට තුළ ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් කොළඹ නරගය තුළ ඇති සාමකාමීභාවය කඩාකප්පල් කිරීම සඳහා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ගන්නා ලද පියවරක් බව සඳහන් කළේය. 

 
විනාශයට පත් මෙම Lockheed L - 1011 - 385 Tristar ගුවන් යානය අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතිමුත් එහි ගමන් කළ මගීන් මෙන්ම ගුවන් යානයද සම්පූර්ණ​ෙයන්ම රක්ෂණය කර ඇති බවද පැවසේ.   

 

 


ධනු විජේරත්න