එද‌ා ආණ්ඩුවේ උදව්වෙන් උපත්පාලන ක්‍රම හුරුකළ හැටි


‘නැණැති දනා - පමණ දැනා - දරු සුරතල් බලති මනා’. එක්දහස් නවසිය හැටඅට, හැත්තෑව වසරවල ලංකා ගුවන් විදුලියෙන් නිතරම ප්‍රචාරය වූ වෙළෙඳ දැන්වීමකි ඒ.   


පවුලක සිටිය යුතු දරුවන් ගණන සීමා කිරීමේ අදහස ඇතිව ‘පුංචි පවුල රත්තරන්’ යන සංකල්පය රට පුරා ව්‍යාප්ත කරන්නට වූයේ මෙම කාලයේය. එකල පවුල් සැලසුම් සංකල්පය ව්‍යාප්ත කිරීම සඳහා වෙහෙසගත් ආයතන කීපයක්ම විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ සහ ළමා වැඩසටහන මඟින් මුලින්ම ආරම්භ කළ පවුල් සැලසුම් ව්‍යාපාර දීප ව්‍යාප්තව කිරීමේ අදහසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය පිහිටුවන ලදී. ඒ 1962 වසරේ දී ය.   
 1965 දී පවුල් සැලසුම රජය විසින් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන සමඟ ඒකාබද්ධ විය.   


 නමුත් 1968 වන විට පවුලක දරුවන් සංඛ්‍යාව සීමා කිරීමේ ජාතික වැදගත්කම සලකා එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෙනම ඒකකයක් පිහිටුවන ලදී. එය හැඳින්වූයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය යනුවෙනි. එහි මුල්ම අධ්‍යක්ෂවරයා වූයේ වෛද්‍ය ටෙරන්ස් පෙරේරා ය.   


 ශ්‍රී ලංකාව තුළ පවුල් සංවිධාන කටයුතු සඳහා ප්‍රමුඛව කටයුතු කළ අනික් රාජ්‍ය නොවන සංවිධානය වූයේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ය. මෙය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ සිල්වියා ප්‍රනාන්දුට ය.   
‘ෆැමිලි ප්ලෑනින් ඇසෝෂියේෂන් ශ්‍රී ලංකා’ යනුවෙන් එය ආරම්භයේදී හැඳින්විණ. මහත් අභියෝගාත්මක කාලවකවානුවක, පවුල් සැලසුම යන්න ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක කිරීමේ අසීරු වගකීම සිල්වියා ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් ඇරඹුණි.   


 ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් 1953 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පවුල් සැලසුම් ඒකකය ආරම්භ කළේ කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ කොරිඩෝවකය. එහිදී ලබා දුන් උපත් පාලන සේවාවන් අතර උපත් පාලන කොපු ද විය. පසුව බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහල ද ප්‍රධාන නගර කීපයක රෝහල් කීපයක ද ව්‍යාප්ත කෙරුණි.   


එක්දහස් නවසිය හැටඅට පමණ වන විට පවුල් සැලසුම් උපකරණ, මාතෘ සහ ළමා සෞඛ්‍ය කාර්යාංශය මඟින් ක්‍රියාත්මක වූ පවුල් සැලසුම් සායනවලින් මෙන්ම, පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් බෙද‌ාහරින්නට කටයුතු සූද‌ානම් කර තිබුණි.   


 මේ අවධියේ පවුල් සැලසුම් කාර්යාංශය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, තාවකාලික උපත් පාලන ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු ජනප්‍රිය කිරීමට විශාල උත්සාහයක් ගන්නා ලදී.   


 ඔවුන් උපත් පාලන කොපු මෙරට සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට පෙර ද ඒවා 'FT' යනුවෙන් ප්‍රධාන නගරවල ඇති සමහර ඖෂධ වෙළෙඳසල්වල අලෙවි විය.   


පසු කාලයක ලංකාවේ ජනප්‍රියම උපත් පාලන කොපු වර්ගය වූයේ ‘ප්‍රීති’ ය. රතට හුරු පැහැයකින් මුද්‍රණය කර තිබූ ‘ප්‍රීති’ පැකට්ටුවක උපත් පාලන කොපු තුනක් වූ අතර මුල් කාලයේ එහි මිල ශත තිස්පහක් විය.   
 උපත් පාලන කොපු ‘ප්‍රීති’ යනුවෙන් නම් කිරීම ද රසවත් කතාවකි.   


ඒ පිළිබඳව මාධ්‍යවේදී චින්තන ජයසේනගේ ස්වයං චරිතාපදාන කෘතියේ රසවත් කතාවක් ඇතුළත්ය.   
පවුල් සැලසුම් කාර්යාංශය මඟින් ව්‍යාප්ත කිරීමට අදහස් කළ මෙම උපත් පාලන කොපු සඳහා නමක් යෝජනා කිරීම මෙන්ම, මෙම උපත් පාලන කොපු රට පුරා ව්‍යාප්ත කිරීමේ කටයුත්ත භාරවූයේ කලක් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ද දැරූ එයට කලින් ‘දින දින’ යනුවෙන් ලංකාවේ ජනප්‍රියම සඟරාවේ සංස්කාරකවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස්ගේ ‘ඩී අල්විස්’ ප්‍රචාරක ආයතනයටය. එම අවධියේ චින්තන ජයසේන එහි පිටපත් රචකයකු විය. අලුතෙන් හඳුන්වා දෙන මෙම උපත්පාලන කොපු වර්ගයට ලබා දිය යුතු නම ගැන ආයතනයේදී සාකච්ඡාවක් පැවැත්විණි.   


‘ස්ත්‍රී පුරුෂ දෙන්නම ප්‍රීතියෙන් ඉන්න වෙලාවට මේ උපත් පාලන කොපු පාවිච්චි කරන නිසාත් දරුවන් ලැබීමේ ගැටලුවකින් තොරව ලිංගික ක්‍රියාවන් හි නිරත විය හැකි නිසාත් අපි මේක ප්‍රීති කියල හඳුන්වමු’ චින්තන ජයසේන යෝජනා කර තිබේ. චින්තන ජයසේන තම චරිතාපද‌ානයහි ‘ප්‍රීති’ නමෙහි ආරම්භය පිළිබඳ සටහන්කර තිබුණේ එසේය.   


මේ අතර රාජ්‍ය පරිපාලන සේවයහි උසස් තනතුරක් දැරූ, කලක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ලේකම් ධුරය ද දැරූ එමෙන්ම ලේඛකයකු ද වූ මගේ මිතුරෙකු පැවසුවේ එම උපත් පාලන කොපු මගින් දරුවන් සීමාකරනු නිසා මුලින්ම එය හැඳින්වීමට යෝජනා වූ නම ‘සීමා’ බවය.  


එවකට අගමැතිනිය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ය. එහෙයින් සීමා සහ සිරිමා නම පටලවා ගනී යැයි සැකය නිසා ‘සීමා’ නම ඉවත් වී තිබේ.   


 ඔහු මෙය කීවේ කාටවත් නොකියන ලෙසය. එය කාටවත්ම නොපවසන බවට මම ද පොරොන්දු වීමි.   
මුල් කාලයේ ‘ප්‍රීති’ පැකට් ගමේ සිල්ලර කඩවල ද අලෙවියට තිබුණි. නමුත් පුරුෂ පක්ෂය එය මිලදී ගත්තේ ඉතාමත් රහසේය. ‘ප්‍රීති’ යන නම නොකියූ ඔවුන් එය ඉල්ලුවේ ශත තිස්පහේ පැකට් එකක් කියාය. මුදලාලි ද එය රහසේ කොළයක ඔතා දුන්නේ පසු කාලයක සිල්ලර කඩවල සනීපාරක්ෂක තුවා අලෙවි කළ ආකාරයට ඉතාමත් රහසේය.   


එකල දරු උපත් සීමා කිරීම පිළිබඳ ඉතා ආකර්ශනීය පෝස්ටර් ප්‍රදර්ශනය විය. මට මතක එක පෝස්ටරයක වූයේ නතර කරන ලද මොරිස් මයිනර් ටැක්සියකි. ඒ අසලම දරුවන් පස් දෙනෙකු සමඟ දෙමාපිය යුවළකි.   
රථයේ කවුළුවෙන් හිස දමන රියැදුරා පවසන්නේ ‘ඉඩ නැහැ’ යනුවෙනි.   


 මුල් කාලයේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත වූ පවුලක් දිරි ගැන්වූ පෝස්ටර් පසුකාලයක දරුවන් දෙදෙනකු ද පසුව එක දරුවෙකුට ද සීමා කළ බව ප්‍රකට විය.   


ඒ අතර ස්ථීර උපත් පාලන ක්‍රම ලෙස කාන්තාවන්ට ටියුබෙක්තමී (එල්.ආර්.ටී.) සැත්කම ද, පුරුෂයන්ට වාසත්තමී සැත්කම ද හඳුන්වා දෙන ලදී. එල්.ආර්.ටී. සැත්කම මගින් පැලෝපීය නාළය ගැටගසා කපා දැමීමෙන් ඩිම්බයක් ගර්භාෂය වෙත පැමිණීම වළක්වා, ගැබ් ගැනීම වළක්වන ලදී. වාසත්තමී සැත්කම මගින් ශුක්‍ර ගලා එන ශුක්‍ර නාළ ගැට ගසා කපා දැමීමෙන් ශුක්‍ර තරලයට ශුක්‍රාණු ඇතුළුවීම වළක්වන ලදී.   
 හැට අට වසරෙන් ආරම්භ වුණ එම කාලයේ රජයේ රෝහලකින් සිදුකෙරෙන මෙම සැත්කමක් සිදුකරගත් අයෙකුට දිරි දීමනාවක් වශයෙන් රුපියල් පන්සියයක් රජයෙන් ගෙවන ලදී. එම කාලයේ සාමාන්‍ය කම්කරුවෙකුගේ මාසික වැටුප වූයේ රුපියල් දෙසීය පනහකි. ඒ අනුව රුපියල් පන්සියයක් යනු ලොකු මුදලක් විය. සමහරුන් මෙම රුපියල් පන්සියය ලබා ගැනීමේ අදහසින්ම වාසත්තමී සැත්කම සිදුකරගෙන පසුව පසුතැවිල්ලට පත් වූ අවස්ථා ගැන අපමණ වූ කතා ඇත.   


සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සැලසුම් කාර්යාංශය ස්ථීර උපත්පාලන සැත්කම් සඳහා ජනතාව උනන්දු කළ සමයේ ඉංගිරිය රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ නෙල්සන් දයානන්ද පවසන්නේ එම කාලයේ වතු ආශ්‍රිත කාන්තාවන් බොහෝ දෙනා එල්.ආර්.ටී. සැත්කම් කිරීමට පැමිණි බවය.   
‘බොහෝ දිනවල උදය කාලයේ එම සැත්කම සිදුකළා. පෙකණිය අවට හිරිවට්ටල, අඟල් එකහමාරක කැපුමක් කරල පැලෝපීය නාළය කැපුමකින් අවහිර කරනවා. දවසක් දෙකක් රෝහලේ තියාගන්නවා.   


 තුවාලය සුව වෙනකම් බර වැඩකරන්න එපාය කියනවා.’ හිටපු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි නෙල්සන් දයානන්ද පවසයි.   


ඔහු වැඩිදුරටත් පවසන්නේ මුල්ම කාලයේ දරුවන් දෙදෙනකු සිටි කාන්තාවන් එල්.ආර්.ටී. සැත්කම සිදුකරගෙන, ටික කාලයකින් එක දරුවකු මියගිය පසු නැවත දරුවෙකු ලබා ගැනීම සඳහා සැත්කමක් සිදුකරන ලෙස ඉල්ලා රෝහලේදී හඬා වැලපුණ අවස්ථා අපමණ බවය.   


මුල් කාලයේ කසාද නොබැදපු තරුණයොත් රුපියල් පන්සියය ගන්න ගිජුකමින් වාසත්තමි සැත්කම් කරගත් අවස්ථා තිබූ බවය. පසුව කසාද සහතිකය ඒ සඳහා අවශ්‍ය වූ බව නෙල්සන් දයානන්ද හිටපු දිස්ත්‍රික් වෛද්‍යවරයා පවසයි.   


ඔහු පවසන ලෙස එම වන්ධ්‍යාකරණ සැත්කම් රජයේ රෝහලකින් සිදුකර ගැනීමේදී සපිරිය යුතු අවශ්‍යතා කීපයක් විය. එල්.ආර්.ටී. සැත්කමකදී කාන්තාවගේ වයස අවුරුදු තිහකට වැඩිවිය යුතු විය. දරුවන් තිදෙනෙකු සිටිය යුතුය. බාල දරුවා වයස අවුරුදු පහ සම්පූර්ණකර තිබිය යුතු විය.   


වාසත්තමී සැත්කමක් කර ගැනීමේදී එම ඉල්ලුම් පත්‍රයේ ඔහුගේ බිරිඳ ඔහු වාසත්තමි සැත්කමක් කරගන්නට අනුමැතිය දෙමින් අවසර දිය යුතු විය.   


 එල්.ආර්.ටී. සහ වාසත්තමී සැත්කම්වලට භාජනය වන අයට රුපියල් පන්සියයක දීමනාවක් ලැබුණ අතර එම සැත්කම කරන රජයේ වෛද්‍යවරයාට, ඔහුට සහාය වන හෙදියට සහ සහායක සාත්තු සේවකයාට ද කිසියම් දිරිගැන්වීමේ දීමනාවක් ලැබුණි.   


මේ අතර මගේ තවත් හිතවතකු පැවසුයේ රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පවුල් සංවිධාන ක්‍රම ක්‍රියාත්මක වූයේ 1977 කාලයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වික්‍රම වීරසූරියගේ කාලයේ බවය. මේ සඳහා බටහිර රටවලින් විශාල වශයෙන් ලංකාවට ආධාර ලැබුණ බවය.

 

 

පීටර් කැනියුට් පෙරේරා