එදා හෙළයේ අවුරුදු අසිරිය


පැරණි ලක්දිව ගමක් තවත් ගමකින් වෙන් වුණේ ස්වභාවික පාරිසරික සීමා මායිම්වලිනි. ගංගා, ඇළ දොළ කඳු වනබිම් වැනි ස්වභාවික මායිම් ද මංපෙත් වෙල්යායන්ද ගමක් තවත් ගමකින් වෙන් කරන මායිම් විය. ගමේ වෙසෙන ගැමියන්ගේ ගෙවතු වෙන් කෙරෙන මායිම් සඳහා බොහෝ විට වූයේ පැලඉනි වැටකි. වැට එඬරු, එරබදු, ගිනිසීරියා, ගංසුරියා, අන්දර ආදී පැළැටි හා ගස් ගෙවතු වටා දක්නට ලැබුණි. ගෙවතු කිහිපයක් එක දිගට මායිම් වන පැළ ඉනිවැටක් ඇතිවිට ඒ ආශ්‍රිතව බඩවැටියක් තිබෙනු දක්නට ලැබුණි. බෝවිටියා, මාදං, පලුකං, කරඹ, ඇඹිල්ල, බාලොලියා, බලුදං, පේරආදියෙන් යුක්ත මේ බඩවැටිය 
ගමේ ළමුනට නදුන් උයනක් විය.


බක්මහ උදාවෙත්ම බඩවැටිය පුරා ගස්වැල් මලින් බරවේ. දෙවැට දිගේ එරබදු ගස්වල රතුමල් කිනිති පිපෙද්දී කජු 
ගස්වලද අඹ ගස්වල ද මල් කැකුළු  හට ගන්නේ බක්මහ  අසිරියට ඔච්චම් කරමිනි. අලුත් අවුරුදු ළඟ ළඟ එන බව පවසන මේ සොබා දහමේ පණිවුඩුය  හඬගා කියන  එරබදු  ගහේ ලගින කොහාගේ කුහු කුහුවට නිගාදෙමින් මී මැසි බඹර කැල අඹ කජු බක්මී මල් ගොමුවල සිට  ගුමු ගුමු නද දෙති. 


මාස් කන්නයේ වී අස්වනු කොළදින් කරන ගොවියෝ මැටි ගා පිරියම් කළ වී බිස්සට හෝ අටුවට හෝ වී අස්වනු පුරවති. ගැමි දරුවෝ කැපුණු ඉපනැල්ලේ  චක්ගුඩු පනිති. ලුණු අදිති. ගුඩු ගසති. බුහු කෙළිති. අලුත් වියෙන් කෙටු සහල් ද අඩුම කුඩුමද රැගෙන සංහිදගාවට යන ගෙවිළියෝ හා එක්ව 
ගැමියෝ අලුත් සහල් මංගල්ලේ පවත්වති.


අලුත් සහල් මංගල්ලෙන් ඇරඹෙන අලුත් අවුරුදු උත්සවය සඳහා ගැමියෝ ද තරුණ තරුණියෝද ළමා ළපටියෝ ද ලහි ලහියේ සූදානම් වෙති. කාන්තාවෝ   ගේ දොර පිරිබඩ ගා අවශ්‍ය කළමනා එක්රැස් කර ගැනීමෙහි නිරත වෙති. ලුණු ඇටයේ සිට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයද මුළුතැන් ගෙය එකසිය අටක් වු ආම්පන්න ද පැදුරු කොට්ට මෙට්ට ආදිය ද එක්ලස් කර ගන්නේ  බවලත් ඇත්තියන්ය. වී සහල් කොටන්නේද ධාන්‍ය අඹරන්නේද ඔවුන්ය. කැවිලි පෙවිලි සෑදීම ද ඔවුනටම බාරවූවකි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම ගෘහ මූලිකයාගේ කාරියකි. එහෙත් දූ දරුවන් සඳහා ඒවා මස්වා ගැනීම කරන්නේ මව විසිනි. 


ගමේ ගොඬේ ඇඳුම් මැහීමේ කාරිය කරන ඇත්තියන්ට ඒ දිනවල ගජරාමෙට වැඩය. 


මේ වනවිට ගම ආසන්නයේ පිහිටි වෙළඳ පොළ වඩාත් සරු බවක් දක්වයි. කෑම බීමට අවශ්‍ය කළමනා මෙන්ම රෙදිපිළිද, කරවලද, ඇඳුම් පැළඳුම් ද පිඟන් කෝප්පද ලූණු මිරිස් ද රතිඤ්ඤා පෙට්ටි ද වෙළඳ සැල්වල ගොඩගසා ඇත්තේ එළැඹෙන සැණකෙළිය සඳහා උපකාර කිරීමට මෙනි. 


මේ අතර ගමේ තරුණ ගැටව් කුඩා කණ්ඩායම් වශයෙන් එකතුවී ජන ක්‍රීඩා සඳහා සුදානම් වෙති. කතුරු ඔංචිල්ලා බඳින්නේ වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද ලබමින්  ඒ සඳහා  යුහුසුළු වෙති. 


ගැමියන් ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට පෙරය. එය එතරම්ම අසීරු කාරියකි. ඒ සඳහා අවශ්‍ය දැව දඩු හා 
රැහැන් සපයා ගන්නේ අවට පරිසරයෙනි. මේ  හැරෙන්නට ගහක හරස් අත්තක  හෝ  ගස් දෙකක් අතරේ හරස් අතට බැඳුන ලී කඳක පැද්දුම් ඔංචිල්ලා බැඳීම ද සිදු කරන්නේ දින කිහිපයකට පෙරය. 


මෙසේ බැඳෙන පැද්දුම් ඔංචිල්ලාව ළමුන් සඳහා  වෙන්වෙන අතර වාරම් ඔංචිල්ලාව තරුණ තරුණියන්, 
ගැටවර ගැටවරියන් සඳහා වෙන්වේ. සිංහල අලුත් අවුරුදු උත්සවයේ නැකත් සිරිත් විරිත් වලින් පසු එදිනෙදා වැඩකටයුතු වලින් නිදහස් වන ගැමි ළඳුන් ද තරුණ තරුණියන් හා එක්ව ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වාරම් කවි කියමින් ඔංචිලි පදින්නේ මල්මල් චීත්ත රෙද්දෙන් හා ඊටම ගැළපෙන හැට්ටයකින් ද සැරසී ගෙනය. සුවඳ කොකුම් ඇඟ තවරා, වරළස මලින් සරසාගත් යුවතියෝ කෙළිබර සිනා හඬින් යුතුව  එකිනෙකා පරයන කිංකිණි  හඬින් වාරං කියමින් ඔංචිලි පදින රඟ බැලීමට ගමේ තරුණයෝ එතනට පැමිණෙති. උසුළු විසුළු කරති. එවිට තරුණ කෙල්ලෝ තව තවත් උකුළු මුකුළු පාමින් ඔංචිලි වාරං ගයමින් ඔංචිලි පදිති. එදා ගැමි තරුණියන්

ගැසූ ඔංචිලි වාරං අතර 


පදින කලට අඟනෝ             ඔංචිල්ලා 
අඳින සළුව තදකර ඇඳ         ගල්ලා 
තදින අතින්වැල් අල්ලා         ගල්ලා 
සොඳින වරල බැඳගෙන පැද        පල්ලා 

ගෝමර වට පෙති ළැමදේ         දිලෙනා
රූබර ලඳවරු දැකමන         මතිනා
ඒ සුරඟන මෙන් රැඟුමෙන්         ඉතිනා 
මේ වර පැදපන් ලෙස වට         පෙනෙනා 


ආදී කවිද ගායනා කෙරුණි. ගමේ ළඳුන් මේ අන්දමට ඔංචිලි වාරම් ගයමින් ඔංචිලි පදින්නේ අලුත් අවුරුද්ද එළැඹීමෙන් පසුවය. ඊට පෙර ඔවුනට කළ යුතු කාර්යයන් බොහෝය. අලුත් අවුරුද්දේ මෙහෙයුම් කටයුතු මෙන්ම සම්පත් දායකත්වය සම්පූර්ණයෙන්ම සපුරන්නේ මව විසිනි. 


අලුත් අවුරුද්ද ආසන්න වෙත්ම මව ඒ සඳහා සූදානම් වන්නීය. හිරුගේ ශක්තියෙන් හා අම්මාවරුනගේ ක්‍රියාකාරිත්වයෙන් එළැඹෙන සුර්ය මංගල්‍යය උදෙසා  අවශ්‍ය කෑම බීම සකස් වන්නේ මවගේ අතිනි. අලුත් සහල් පිදීමෙන් සිය මවුපියන් සහ නැදි මයිලන් වෙතද වැඩිහිටි ඥාතීන් වෙත ද අලුත් සහලෙන් පිසූ ආහාර වේලක් ගෙන ගොස් දීමත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වී, සහල්, කුරහන්, මුං ඇට ආදිය ගෙන ගොස් දීමත් සිදු කෙරෙයි. 


ඉන්පසු අවුරුදු සමයට අවශ්‍ය සහල්, මුං, උඳු ආදිය කොටා පොළා සකස් කර ගැනීමත් රස කැවිලි සකස් කර ගැනීමට අවශ්‍ය සහල් පිටි, උඳු පිටි, මුං පිටි ආදිය  සකස් කර 
ගැනීමත් පැණි හකුරු සපයා  ගැනීමත්  
ගෘහිණිය සතු කාර්යයකි. එම කටයුතුවලදී පවුලේ අනෙකුත් 


ගැහැනුන්ගේද සහය ලැබුණි. වී හාල් කෙටුණේද පිටි කෙටුණේද  ඇඹරුණේ ද වංගෙඩි හා මෝල් ගස් වලිනි. එකළ අවුරුදු සමය ලංවෙත්ම හැම ගෙදරකම ඇසුනේ වංගෙඩි 


මෝල්ගස් ගැටෙන හඬය. එසේ නොඇසුණේ  නම් ඒ ගෙදර මූසල කාලකන්ණි  අති දුප්පත් ගෙදරකි. 


අලුත් අවුැද්දට ගමේ ගැහැනුන් මෙලෙස සූදානම් වෙද්දී අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ දිනය උදාවෙයි. ඒ බව සඳහන් වන අවුරුදු  සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය එක් එක් ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් සහිතව සිදු කෙරෙයි. 


නව සඳ බැලීමේ චාරිත්‍රයෙන් පසු උදා වන්නේ කැවිලි බැඳීම සඳහා තෙල් වළං ළිප තැබීමේ චාරිත්‍රයකි. අවුරුදු සිීට්ටුවේ සඳහන් සුබ දිනයේදී සුබ නැකතින් තෙල් වළං ළිප තබා කැවුම්, කොකිස්, ආස්මී ආදි රස කැවිලි පිසීම ආදියේ සිට පැවත එන සිරිත මේවනවිට වියැක ගොස් ඇතත් දුම්බර හා වයඹ පළාත්වල ඈත එපිට ගම්මානවල තවමත් නියමිත පරිදි සිදු කෙරෙති. මෙසේ සකස් කර ගන්නා අතිරස, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, අළුවා, අග්ගලා, මුං කැවුම්, මුං ගුලි, ආස්මී, කොළනාවුල්, කොකිස්, දොදොල් ආදිය  ලොකු මැටි බඳුන්වල බහා වසුන් බැඳ දුම් මැස්සේ  හෝ සුරක්ෂිත ස්ථානයක තබති. අවුරුද්ද සඳහා සකස් කරන රස කැවිලිවලට අමතරව කල්තබා ගත හැකි ඇඹුල් තියල්, අච්චාරු ලුණු දෙහි, ලුණු ඇඹුල්, කෝන් ඇඹුල් ආදිය ද දින දෙක තුනකට පෙර සකස් කර බඳුන්වල බහා තබති. 


ජන සමාජයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ද ජාතීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සුහදතාව ශක්තිමත් කෙරෙන සේවාවන් ලබාගැනීමට එකල අවුරුද්ද සැමරීමේ අත්‍යවශ්‍ය අංගයක් විය. 


අලුත් අවුරුද්ද ලබන්නට සති කිහිපයකට පෙර මුළුතැන් ගෙට අවශ්‍ය වළං සියල්ල කුඹල්කරුවන් විසින් ගමේ ගෙයක් ගෙයක් පාසා කද බැඳගෙන ගෙනවිත් දෙයි. ඒ වෙනුවට 
ගැමියන් වී හාල්, මුං මෑ, පැණි හකුරු ආදිය ඔවුනට දිය යුතු වේ. ඇතැම් විට ඒ හැරෙන්නට කිසියම් මුදලක් දීමට ඇතැම්හු අමතක නොකරති. 


මුළුතැන් ගෙට අවශ්‍ය මිරිස් ගල, කුරක්කන් ගල, දෝනිගල ගැමියාට සපයන්නේ දෙමළ ජාතික ගල් වඩුවන් විසිනි. මිරිස් ගලට බරපැන වශයෙන් වියලි මිරිස් හා වී හාල් දිය යුතුවේ. කුරක්කන් ගලට හිලවු කරන්නේ කුරක්කන් කරල් ප්‍රමාණයක්ය. වී, මුං, තල වැනි ධාන්‍ය වර්ගද ගිතෙල්, පැණි හකුරු පස්ගෝ රස ආදිය ද මෙම සේවාවන් සැපයීම වෙනුවෙන් දිය හැකිය.


අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර අතර සිදු කෙරුණ මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය තුළ මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් කුලභේදයක සේයාවකුදු දක්නට නොවීය. මීට අවුරුදු පනහක හැටක පමණ කාලයකට පෙර මෙම සේවා සැපයුම් ක්‍රමය දක්නට ලැබුණ ද වර්තමානයේ එම චරිත්‍රය වියැකී ගොසිනි. එකල අවුරුදු උත්සවය සඳහා 
ගැමියනට අවශ්‍ය ඇඳුම් පැළඳුම් රෙදිපිළි ගෙනවිත් දුන්නේ මුස්ලිම් වෙළෙන්දන්ය. පොට්ටනි කාරයන් යැයි හැඳින්වූ ඔවුන් කාසි මුදල්වලට ද ධාන්‍ය වර්ග වලටද රෙදිපිළි හුවමාරු කළේය.  මීට අමතරව මාල, වළලු, පනා, සබන්, කණ්නාඩි, විසිතුරු භාණ්ඩ ආදිය  ගම්වලට ගෙන ගොස් විකුණු  මුස්ලිම් වෙළෙන්දෝ  ද වුහ. කඩගම් පෙට්ටිධාරීන්  තොරම්බලකාරයන් මනි බඩු කාරයන් යනුවෙන් ඔවුන් හැඳින්විය. 


වසරක් පුරා කුලවතුන්ගේ සේවා අවශ්‍යතා සැපයුවන් සඳහා පරණ  අවුරුදු දිනයේදී හෝ ඊට පෙර දිනකදී  ඌලියම් කුලී  දිය යුතුය. රෙදි අපුල්ලන හේනේ මාමාට රිදී නැන්දාට මෙන්ම කම්මල්  නයිදේට ද ඔවුන්  විසින් කරන ලද ඌලියම් වෙනුවෙන් ඌලියම් කුලී  ගෙවිය යුතු වේ. රෙදි අපුල්ලන්නන් රජක කුලේය. කැති පොරෝ උදලු හදා දෙන්නේ නවන් දන්නා  කුලේය. හැළිවං සාදා දෙන්නේ කුඹල් කරුවන්ය. මංගල්‍ය කටයුතුවලදී  දැකුම් කද ගෙනි යන්නේ කන්ද 
ගැමියන් හෙවත් දේව වංශිකයන්ය. ඔවුන් සඳහා ඌලියම් කුලිය හා තෑගි වශයෙන් වී හාල් කුරක්කන් ධාන්‍ය  වර්ගත් කුළුබඩු ද බුලත් පුවක්, පැණි හකුරු කෙසෙල් කැන් ආදියත් දීම සිරිතකි. 


එක් එක් කර්මාන්තයෙහි දක්ෂ වූවන් පාරම්පරිකව පැවත ආ දක්ෂතා අනුව මේ අන්දමට කර්මාන්තයෙහි නියුක්ත වූ අතර එම වෘත්තීමය නිපුණතා දැක්වූවෝ පසු කාලයේදී  කුලහීනයන් ලෙස දැක්වීමේ විපාක නිසා ලාංකීය  ජන සමාජයේ ආර්ථික  සමාජිය  පරිහානිය සිදුවිය. අලුත් අවුරුදු සමයේදී ඔවුනට තෑගි බෝග ලබාදීමේ සිරිත තුළින් 
ගොඩනැගුණු සමාජ ඒකාග්‍රතාව ඇතිකිරීමේ මූලික අඩිතාලම විය. මේ වනවිට එම සිරිත වියැකී යාම හේතුවෙන් එකල තිබුණු සමාජ බැඳීම ද කැඩී බිඳී ගොස් ඇති බව පැහැදිලි කරුණකි. 


සිංහල අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය, බක්මහ උළෙල හුදෙක් සිංහල ජාතියට පමණක් වෙන්වූ අවුරුදු උත්සවයක් නොවේ. සුර්යා පෘථිවිය වටා එක් ගමන් වාරයක් ගොස්  අවසන් කර තවත් ගමන් වාරයක් අලුතින් ආරම්භ කිරීම නිමිත්තෙන් පවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව විදහා දක්වන සැමරුම් උත්සවයකි. එම උත්සවය පරිසරය හා බැදුන සතියක් පමණ කාලයක් පවත්වන අර්ථික සමාජීය  සංස්කෘතිමය උත්සවයකි. මෙවැනි ජාතික උත්සවයක් ලෝකයෝ කිසිම රටක දක්නට නැත. ජනේරුව, නත්තල ද වෙනත් රටවල පවත්වන ජාතික උත්සවයද දවසකට හෝ දෙකකට සිමාවෙයි. 


සිංහල අලුත් අවුරුද්ද බක්මහ උළෙල සුර්ය මංගල්‍යය ආදී විවිධ නම්වලින් හැඳින්වෙන අපේ ජාතික උත්සවයට 
සමගාමීව යාපනයේ වෙසෙන ජනතාව  වසන්ත උත්සවයක් පවත්වති. උතුරු ඉන්දියාවේ  හින්දු ජනතාවද අප්‍රේල් 14 දින වසන්ත උත්සවය සමරති. 


එයද හිරු දෙවියන් මුල් කරගත් උත්සවයකි. 


ඉන්දියාවේ පමණක් නොව බුරුමය, තායිලන්තය, වියට්නාමය, ජපානය, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ග්‍රීසිය ආදි රටවලද අප්‍රේල් 14දා වසන්ත උත්සව  පවත්වන බව වාර්තා වෙයි. ලංකාවේ උතුරේ වෙසෙන දමිළ ජනයාගෙන් ඇතැම් පිරිසක් සිත්තර පුත්තාණ්ඩු නම් උත්සවයක් පවත්වති.  අලුයම  අවදිවී ස්නානය කර කෝවිලට ගොස් පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරි ඉතිරිවීම ද  කිරිබත් පිසිමද ඔවුහු සිදු කරති. 


මෙදින ගෙදරට අමුත්තෙකුට ආරාධනා කරන අතර බුලත් කොළයක ඔතන ලද කාසි හුවාමරු  කර ගනුදෙනු සිදු කරති. අනතුරුව පවුලේ  සියලුදෙනාම එකතුවී කිරිබත් කැවුම්  කෙසෙල් ආදිය අනුභව කරති. සිංහල අලුත් අවුරුද්ද  පවත්වන අප මෙන්ම ඔවුන්ද සිත්තර පුෂ්තාන්ඩු උළෙල සඳහා ගෙවත්ත හා ගේදොර පිරිසිදු කිරීමත් උත්සව දිනයේදී අලුත් ඇඳුම් ඇඳීමත් සිදු කරන ලද අතර  සාම්ප්‍රදායිකව කෙරෙන කෙසෙල් ගස් සිටුවා  අගිකොළ, කොහොඹ කොළ එල්වා ගෙදර අලංකාර කිරීමද සිදුකරයි. මධ්‍යාහ්නය වනවිට ඔවුන්ගේ  උත්සවය අවසන් වෙයි.  ඉසතෙල් ගෑමත් ජලස්නානයක් ඔවුන් ගේ චාරිත්‍රා අතර නැති අතර අප මෙන් අවුරුදු  උත්සවය  දින කිහිපයක් පැවැත්වීමද නොකරයි. 


මේ අනුව සිංහල අලුත් අවුරුද්ද ලාංකික ජනයා විසින් නව වසරක් ආරම්භවීම නිමිත්තෙන් කාලයක සිට පවත්වාගෙන ආ ජාතික  උත්සවයක් බව නිගමනය කළ හැකිය. සුර්යාගේ ගමන පදනම් කර ගෙන බක් මහේදී පවත්වනු  ලබන මෙම උත්සවය සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත්තේ ලාංකික ජනතාවගෙන් බහුතරය සිංහල ජාතිකයන් වීම නිසා විය හැක. එය ජාතියක්  මුල්කර ගත් අවුරුදු උත්සවයක් නොවුවද ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී ක්‍රි.ව. 1886 දී සම්මත වූ ජාතික නිවාඩු දින පණතට අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් නීතිගත කෙරිණි. ඉන්පසු 1984 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ සිංහල හින්දු  අලුත් අවුරුද්ද යන්න සංශෝධනය කර සිංහල දමිළ අලුත් අවුරුද්ද බවට පත් කෙරුණි. (1986.01.15 හැන්සාඞ් වාර්තාව අංක 4 රජයේ නිවාඩු පණත) 


එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ  පැවැති සිංහල අලුත් අවුරුද්ද යන පොදු ව්‍යාවහාරය තවමත් වෙනස් නොවී බහුලව අප අතර ව්‍යවහාරයේ පවතී. සුර්යා මුල්කරගෙන පැවැත්වෙන සිංහල අලුත් අවුරුද්ද යනු එක් නිෂ්පාදන වර්ෂයක් අවසන්වී අලුත් නිෂ්පාදන වර්ෂයක්  ආරම්භවීම නිමි්ත්තෙන් පවත්වන සැමරුම් උත්සවයක් ද වන්නේය.


මෙය සූර්ය මංගල්‍ය වශයෙන්ද නම්කිරීමට අපි පුරුදුව සිටිමු. ලෝකයේ පැවැත්මට බලපාන ප්‍රධාන ග්‍රහ වස්තුව සූර්යා නිසා හිරු දේවත්වයේලා සැලසු බව පැවසෙන වෘතාන්ත බොහෝය. එය මිත්‍යාවක් නොවේ. හිරුගේ ශක්තිය ප්‍රවාහය නිසා ලෝකයේ පැවැත්ම සිදු වන්නේ හිරු දේවත්වයේලා සැලකීම කවර වරදක්ද? 


හිරු තරම්ම බලවත් නොවූවද ජීවින්ගේ පැවැත්ම උදෙසාත්  පරිසරයේ සමබරතාවය උදෙසාත් චන්ද්‍රයා ද වැදගත්වේ. එහෙයින් පැරැන්නෝ සඳු ද දෙවියකු කොට සැලකූහ. අවුරුදු චාරිත්‍ර අනුව හිරු සඳු දෙදෙනාටම සැලකිලි දැක්වේ. අපේ ජීවිත පැවැත්මට පරිසර පද්ධතියේ සුරක්ෂිතාවය කෘෂි නිෂ්පාදන සරුවී සශ්‍රිකත්වය උදාවීමට සූර්යාගේ බලපෑම උපකාරි වන අතර ඒ මේ කටයුතු සඳහා සඳුගේ බලපෑමද යම් තරමකින්  උපකාරි වනු හෙයින් කෘතගුණ පුර්වකව සූර්ය ගමන මුල්කර ගනිමින් අලුත් අවුරුදු සංකල්පය බිහිවී ඇත. හිරුගේ ප්‍රභාෂ්වරයෙන් දිලෙන චන්ද්‍රයාද සුර්ය මංගල්‍යය පැවැත්වෙන උත්සව සමයේදී පරණ අවුරුද්දට සඳ බැලීම, නව වර්ෂය සඳහා සඳබැලීම තුළින් කෘතගුණ පූර්වකව ස්මරණය කෙරෙයි. 


ලෝකයාට සෞභාග්‍යය ගෙනෙන හිරු-සඳු දෙදෙනාට අමතරව සෞභාග්‍ය උදා කරන දෙවඟනක ලෙස පත්තිනි දේවිය පිදීම ද සිංහල අලුත් අවුරුද්දේදී සිදු කෙරෙන චාරිත්‍රයකි. ඒ සඳහා බොහෝ විට  යොදා ගැනෙන්නේ ජන ක්‍රීඩා ආදියයි. දරු සම්පත් ලබාගැනීම සඳහාත් දරු ගැබ ආරක්ෂා කරගැනීම උදෙසාත් පමණක් නොව රෝග පීඩාදියෙන් වළක්වාලීම උදෙසාත් පත්තිනි  දෙවියන් පිදීම අපේ සිරිතකි. අං ඇදීම, පංච කෙළිය, පොර  පොල් ගැසීම ආදිී ජනක්‍රීඩා අවුරුදු සමයේදී සිදු කරන්නේ  පත්නිනි දේවියගේ ගුණ ගයමිනි. කතුරු ඔංචිලි බැඳීමේදී ද පැදීමේ ද ගැයෙන ඇතැම් වාරම් කවි වලින් හිරු සඳු දෙවියන් ද පත්තිනි දෙවියන් ද සමරති. 


ඉර බාරයි ඉරවට යන         ගිරවුන්ට 
සඳ බාරයි  සඳවට යන         සාවුන්ට
මල බාරයි මලවට යන         බමරුන්ට 
අප බාරයි සත් පත්තිනි         දෙවියන්ට


ආදි කවි ගායන අතර අංකෙලියේදී ද පොර පොල් කෙළියේදී ද 
රන කෙළි කෙළියේ දෙවිඳුගේ         නාමට 
පද කර කවි කිව්වේ ඔබේ         නාමෙට 
පත්තිනි මම පැන්නෙද ගිනි         ජාලයට 
දෙවොල් පතිනි වැඩියයි         අංකෙළියට 

එරන් තැඹිලි පොල් අරගෙන         සුරතට 
වරන් ලැබුණු ගිනි  පත්නි         අපහට 
සියලු රෝග දුරුවෙයි         හළඹට 
බිඳුනා උඩු පිළියේ පොල්         හනිකට 


ආදී කවි ගායනා කෙරෙති. සිංහල අලුත් අවුරුද්ද සමරමින් ගැමියන් එක්වී සාමූහිකව මේ අන්දමට ජනක්‍රීඩාවල  යෙදීම සුවිශේෂ  ලක්ෂණයකි. ලොකු කුඩා උසස් පහත් භේදකින් තොරව සැවොම එක්වී ප්‍රීතිවෙති. රසමුසු අහර බුදිමින්  ප්‍රීතිය  සතුට අත්විඳිමින් ගුණ දහම් හා චාරිත්‍ර  වාරිත්‍ර රකිමින් සෑම දෙනාම වර්ණවත්  ඇඳුමෙන් සැරසී අවුරුදු සමරති. එකම දවසක එකම වෙලාවක  ආගමික ස්ථාන කරා ගොස් ආගමික වතාවන්හි යෙදෙන  ලක් වැසියෝ පුණ්‍යකාලය තුළ ගුණ දහම් රකිමින් නිරහාරව උපවාසයේ යෙදෙති. දුගී දුප්තාගේ සිට රජ මාළිගයේ වෙසෙන රජ දරුවන් දක්වා වූවෝ එකම වෙලාවක චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙමින් නියමිත වේලාවට  ලිප් බැඳ කිරි උතුරවති.  කිරිබත් පිස එකම මොහොතක  ආහාර අනුභව කරති. දෙමාපියන් වැඩිහිටියන් වැඳ ගනුදෙනු කරති.  නව වසර සඳහා වැඩ අරඹති. 


එදා සිට පැවත එන මේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම හේතුවෙන් රටපුරා හැම ගෙදරකම එකම වෙලාවක කිරිඉතිරවීම  කෙතරම් අසිරියක්ද? එකම වෙලාවක ආහාර අනුභවය මොන තරම් ඉසුරුමක් බවක්ද?  වෙනත් කිසිදු රටක සිදු නොකරන  මෙවන් ජාතික උත්සවයක්  අපට හිමිවුයේ පෙර වාසනා මහිමයෙනි. 


සිංහල අලුත් අවුරුද්දේ වැදගත්ම අංගය වන්නේ එම ඉපැරණි සිරිත් විරිත් පණ ගැන්වීමයි.  අපේ ජාතිය සතු මහඟු දායාදයක් වූ අවුරුදු සිරිත් විරිත්  මතුවටත් රැක ගැනීම අපේ  යුතුකමකි. පැරණි හෙළයේ පැවැති සිංහල   අවුරුදු අසිරිය ගැන කියවෙන 


වැදගත් නිලතල  කරනා මැති     හට 
බඳකත් ගොස් දෙති රඹකැන් සහ     තුට 
පිසගත් කැවුමුත් අතිරස එක්     කොට 
මෙහෙමත් ලොව ඇති අවුරුදු     වෙනුවට 


යන කවියෙන් කියවෙන්නේ ද පින්සාර හෙළයන්ගේ පැරණි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව යශෝරාවයයි. 

සඳරුවන් ලොකුහේවා