එදා ශිෂ්‍යත්ව විභාගය සමත් වී මධ්‍ය විද්‍යාලයකට ඇතුළු වීමි


ශිෂ්‍යත්ව  විභාගයේ අරුත නොදන්නා   මව්පියන් සහ අධ්‍යාපන ලොක්කන්ගේ අවධානයටයි   

 


තවත් ශිෂ්‍යත්ව විභාගයක් අවසන් විය. එහි ප්‍රතිඵල ළඟදීම එළිදක්වනු ඇත. මෙය දරුවන්ගේ විභාගයට වඩා මාපියන්ගේ විශේෂයෙන් මව්වරුන්ගේ විභාගයක් බවට පත්ව ඇත්තේ දරුවා විභාගය සමත් වීමෙන් පවුලේ වටිනාකම සහ ගෞරවය වැඩිකර ගැනීමට දරන උත්සාහය නිසාය.   


ඒ අතර බොහෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ද දේශපාලකයන්ගේ නම්වලින් ඇති සියලුම පදනම් ද ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්මන්ත්‍රණ පවත්වති. පුද්ගලික අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපන විශේෂඥයෝද විශ්‍රාමික විභාග කොමසාරිස්වරු ද ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් කරති. එපමණක් නොව සියලුම මූල්‍ය ආයතන හා බැංකු, සිසු දරුවන්ට ත්‍යාග පිරිනැමීම සඳහා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කරවති. සමහර මිත්‍යා මතධාරී ජ්‍යොතිෂ්‍යකරුවෝද මිත්‍යා මත පළකර ජනතාව නොමඟ යවමින් විභාග අපේක්ෂක සිසුන් අතර මතුරන ලද පෑන් බෙදා හරිති.   


අප ජාතියේ පිනට පහළ වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් 1940 දශකයේ අගභාගයේදී දුප්පත් දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය හඳුන්වා දුන් අවස්ථාවේ පෙන්වා දුන් ඉතා උසස් පරමාර්ථ අද අතුරුදන් වී ඇත. එතුමා දිවයින පුරා මධ්‍ය මහා විද්‍යාල 54 ක් ආරම්භ කර ඒවායේ බාලක බාලිකාවන් සඳහා නේවාසිකාගාර දෙක බැගින් විවෘත කර අඩු ආදායම්ලාභී මාපියන්ගේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත් වන දක්ෂ දරුවන් සඳහා නිදහස් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නේය.   
එකල මම වයඹ පළාතේ කුලියාපිටිය නගරයෙන් බැහැර පිටිසර බද කනිෂ්ඨ විද්‍යාලයක අකුරු කරමින් සිටියෙමි. මගේ පන්තියේ මා සමඟ සිසුන් 22 දෙනෙක් සිටි මුත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීටම අවසර ලැබුණේ අඩු ආදායම්ලාභී දෙගුරුන්ගේ දුප්පත් දරුවන් 07 දෙනෙකුට පමණි. මගේ පියා මා කුඩා කාලයේදීම මියගොස් සිටි අතර මගේ මව කොහු මෝලක කම්කරු කාන්තාවක ලෙස නියමිත කඩඉම් වාර්ෂික ආදායමට වඩා අඩු කම්කරු වැටුපක් ලැබූ නිසා එකල ශිෂ්‍යත්ව විභාගයට ඉල්ලුම් පත්‍රයේ මගේ නමද ලොකු මහතා විසින් ඇතුළත් කරන්නට ඇත.   


එසේ වුවත් එම විභාගය සඳහා විශේෂ සූදානමක් නොතිබුණි. අපගේ පන්තිය භාරව සිටියේ පාසලේ ලොකු මහතාගේ නෝනා මහත්මියයි. ඇය අපට “ලොකු නෝනා” මහත්මිය පමණක් නොව අපගේ සෙනෙහෙබර මවද වූවාය. පන්තියේ සියලුම විෂයයන් ඉගැන්වූයේ ඇය විසිනි. ඉදිරියට ඇති විභාගයක් ගැන අපට මතක නැත. අත්වැඩ, වතුවැඩ ආදී විෂයයන් ද දිනපතා අපගේ ක්‍රියාකාරකම් අතර සිදුවිය.   


ලොකු නෝනා මහත්මිය අපේ පන්තියේ ඉගැන්වීමේ කටයුතු වැඩි කාලයක් සිදු කළේ පාසලේ ළිඳ අසල තිබූ ස්ට්‍රෝබෙරි ගසක් යට සෙවණේ රවුමට තබා බංකුවලය. ඇය ගස මුල පුටුවක වාඩිවී සිටි අතර නිතර පන්තියේ රවුමට අප වටා ඇවිදිමින් අභ්‍යාසවල යෙදෙන අප නිරීක්‍ෂණය කළාය. පාසල අවසන් වීමට ආසන්න වන විට ලොකු නෝනා මහත්මිය අපට වැඩක් පවරා ගුරු නිවාසයේ කුස්සිය දෙසට යයි. අපට පවරන ලද පාඩම් කඩිනමින් අවසන් කරන අපි ළිඳ ළඟට ගොස් එහි ඇති ටැංකිය පිරිසිදු කර ළිඳේ බාල්දියෙන් වතුර ඇද ටැංකිය පිරවීමට පුරුදු වී සිටියෙමු. ඒ ලොකු මහතාට සහ ලොකු නෝනා මහත්මියට ස්නානය කිරීම සඳහාය.   


ඒ අතර සහෝදරයන් කීපදෙනෙක් කුස්සිය දෙසට ගොස් ලොකු නෝනා මහත්මියට උදව් කරති. මේ අපට කිසිම දිනයක පවරන ලද කාර්යයන් නොවේ. අප තුළ වූ ගුරු භක්තිය නිසාම අප, අප විසින්ම යෝජනා කර ඉටු කළ කාර්යයන්ය. කුස්සියේ වැඩ කඩිනමින් අවසන් කර අපගේ පන්තිභාර ලොකු නෝනා මහත්මිය නැවත පන්තියට පැමිණ පාසල අවසන් වී දිගු වේලාවක් සවස් වනතුරු අපට අකුරු කරවන්නීය.   


1952 වසරේ පාසලේ තුන්වන වාරයේ එක්තරා සති අන්ත සෙනසුරාදා දිනයක කුලියාපිටිය නගරයේ මහා විද්‍යාලයකට මා ඇතුළු අපේ පන්තියේ සිසුන් හත්දෙනා කැඳවාගෙන ගොස් විභාගයට පෙනීසිටුවන ලදී. ලොකු මහතා එදින කල් තබා එහි ගොස් සිටි අතර අප ශාලාවක පේළියට තනන ලද ඩෙස්ක් සහ පුටුවල වාඩි වී අප අතර බෙදා දුන් මුද්‍රණය කර තිබූ ප්‍රශ්න පත්‍ර දෙකකට එම ප්‍රශ්න පත්‍රවලම ශිෂ්‍ය ජීවිතයේ ප්‍රථම වරට පිළිතුරු සැපයීමට සිදුවිය.   


ප්‍රශ්න පත්‍ර කියවන විටම මට එකවරම අපගේ පන්ති භාර ගුරුතුමිය, ලොකු නෝනා මහත්මිය සිහිවිය. ඒ අනෙකක් නිසා නොව එම ප්‍රශ්න පත්‍රවල වූ සියලුම ප්‍රශ්න ඇය විසින් පන්තියේදී මැනවින් උගන්වන ලද පාඩම්වලට අදාළ ඒවා වූ නිසාය. මම ඉතා පහසුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු ලීවෙමි. නැවත සුපුරුදු ලෙස අප පාසලේ තුන්වන වාරය අවසන් වනතුරු අකුරු කළෙමු. අප විභාගයකට ලියූ බව පවා අපට අමතක වී තිබුණි. ලොකු මහතා නිවාඩු කාලයේ ගමට ගිය සතියක පමණ කාලය හැර ඉතිරි දිනවලදී ද ලොකු නෝනා මහත්මිය අප වෙනුවෙන් පන්ති පැවැත්වූවාය. ළිඳෙන් වතුර ඇද ටැංකිය පිරවීම හා පාසල් වත්තෙන්ම ළිපට දර ටිකක් සොයා දීම අප අතින් සතුටින් ඉටුවිය.   
1953 වසර උදාවිය. අප පන්තියේ එක් අයෙකු හැර අන් සියලුම දෙනා 6 වන ශ්‍රේණියට සමත් වූ අතර අපගේ පන්තිභාරව සිටි ලොකු නෝනා මහත්මිය වෙනුවට අලුත් නෝනා මහත්මියක් පැමිණ සිටියාය. අලුතින් එක් වූ ඉංග්‍රීසි භාෂාව හැර අනෙක් සියලුම විෂයයන් ඇයට භාරවිය.   


එක්තරා දිනයක ඇය එළිමහනේ ගසක් යට අපට පාඩමක් උගන්වමින් සිටියදී ලොකු මහතා හදිසියේ අප පන්තියට පැමිණියේය. ලොකු මහතාගේ එක් අතක ලිපියක් ද අනෙක් අතේ සුපුරුදු වේවැලද විය. කඩිසර ගමනින් හා මිටි සිරුරකින් යුතු ලොකු මහතා ටුවිඩ් රෙද්දක් ඇඳ කෝට් එකකින් සැරසී සිටි අතර යමෙකුට වේවැල් පහරක් එල්ල කරන විට වේවැල රෙද්දට වැදී බියජනක හඬක් උපදී. ඒ හඬ මුළු පාසල පුරාම දෝංකාර දී බියෙන් ඇළලී සියල්ලම නිහඬ කරයි.   


ලොකු මහතා පන්තියකට ඇතුළු වන්නේ වරදක් කළ සිසුවකුට දඬුවම් කිරීමට හෝ තදින් අවවාද කිරීමට බව දන්නා බැවින් අප පන්තියට එදින ඔහුගේ පැමිණීම ගැනද අප තුළ ඇති වූයේ බියජනක හැඟීමකි. කම්පනයකි. පැළඳ සිටි උපැස් යුවළ උඩින් අප දෙස බැලූ ලොකු මහතා මගේ නම කියා අත ඔසවන ලෙස දැන්වීය. මට මුත්‍ර පිට නොවුණා පමණි. මගේ ඔළුව කැරකෙන්නට වී ඇස් නොපෙනී ගියේය. ඉන්පසු ලොකු මහතා කී කිසිවක් මට හොඳින් නොඇසුණි. අවසානයේ මට ඇසුණේ මම වෙනත් පාසලකට යා යුතු බවය. එයින් මා තේරුම් ගත්තේ මා යම්කිසි වරදක් කර ඇති නිසා මෙම පාසලින් අස් කරන නිසා වෙනත් පාසලකට යා යුතු බවය.   


මගේ හිස මත හෙණ ගෙඩියක් පාත්වූවා සේ දැනිණි. මට ඇඬුම් ආවේය. පාසලින් මා අස් කිරීමට තරම් මා කළ වරද කුමක්දැයි සිතාගත නොහැකි විය. වටපිට බලන විට ලොකු මහතා පන්තියෙන් බැහැර ගොස් ඇති බව දුටු මා වේගයෙන් දුවගොස් පසුගිය වසරේ පන්ති භාරව සිටි ලොකු නෝනා මහත්මිය ඉදිරියේ දණගසා වැඳ දෙපතුල අල්ලාගෙන ඉකි ගසා හඬමින් මා කිසි වදරක් නොකළ බවක් පාසලින් අස් නොකරන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටියෙමි.   


බොහෝ වේලාවක් මගේ අතින් අල්ලාගෙන සිටි ගුරුතුමිය මගේ හිස පිරිමැද මා වරදක් කළ නිසා නොව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී සිටින නිසා ලොකු පාසලකට යාමට හැකි වී ඇති බවත් එය දඬුවමක් නොව වාසනාවක් හා විජයග්‍රහණයක් බවත් එය පාසලටද ගෞරවයක් බවත් කරුණිකව දන්වා සිටියාය. මගේ කුඩා ඔළුවට කරුණු අවබෝධ වූයේ එවිටය. මේ සිදුවීමත් සමඟ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සහ සහෝදර සිසුන්ගේ ද දැඩි අවධානයට සහ කතාබහට මා ලක් වූ බව මට දැනුණි.   


මගේ මව සේවය කළ කොහුමෝලේ පාලකතුමාට මගේ ජයග්‍රහණය ගැන දන්වා පසුව වාරික වශයෙන් පඩියෙන් අඩුකර ගන්නා පදනම මත ඉල්ලා ගත් ණය මුදලකින් මට අලුත් ඇඳුම් කට්ටලයක් පිළියෙල කර දුන්නාය. සුදු පාට කලිසමක් සුදු අත් කොට කමිසයක්, සුදු මේස් ජෝඩුවක් හා සුදු කැන්වස් සපත්තු ජෝඩුවක් එයට ඇතුළත් විය. මා මීට පෙර කිසි දිනෙක සපත්තු පැලඳ නොතිබුණි.   


ගමේ පාසලේ ලොකු මහතා ඇතුළු ගුරු මහත්මීන් නමැද ආශිර්වාද ලබාගෙන සහෝදර සිසුන්ටද සමු දී 1953 පළමු වාරයේ දිනෙක මම අලුත් ඇඳුම් කට්ටලයක් සැරසී සත්කෝරළයේ පහන් තරුව යැයි විරුදාවලිය ලත් කන්නන්ගර මැතිඳුන්ගේ 54 වන මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වීමි. ගමේ පාසලේ ලොකු මහතා සහ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සැරසී සිටි නිල ඇඳුම් අතර වෙනස්කම් තිබුණද ඔවුන් දෙදෙනාම අප වෙත දැක්වූ කරුණාව හා අප වෙනුවෙන් වූ කැපවීම සමාන විය. ඒ ඉතා ඉහළ මට්ටමක පැවතුණි.   


විදුහල්පතිතුමා මගේ සියලු විස්තර විමසලා සටහන් කර ගැනීමෙන් පසු හොඳින් ඉගෙන ගන්නට කාරුණික උපදෙස් දී 6 C පන්තියට මා කැඳවාගෙන ගොස් භාරදෙන ලෙස කාර්යාල සේවක ගුණසේකර මාමාට දන්වන ලදී. 6 C පන්තියේ ඒ වනවිට උගන්වමින් සිටි විෂය භාර ගුරුතුමිය මට වාඩි වීමට පුටුවක් සහ ඩෙස්ක් එකක් වෙන් කරවා දීමෙන් සුළු වේලාවකට පසු සීනුවක් නාද විය. එම කාලපරිච්ඡේදය අවසන් වී ගුරුතුමිය පන්තියෙන් බැහැර යාමත් සමග පන්තියේ අලුත් මිතුරෝ මා වටා රොක් වූහ. මට ඉබේම අසුනෙන් නැගිට්ටවුණි.   


“ගොඩයා! ගොඩයා!!” යැයි ඔවුන් මට විහිළු කරමින් මගේ සපත්තු ජෝඩුව දෙසට එබිකම් කරමින් මා සමච්චලයට ලක් කරන ලදී. මගේ නොදැනුවත්කම නිසා සපත්තු ජෝඩුව වම දකුණ මාරු වී දමා තිබුණි. මම ඔවුන් ඉදිරියේ දී සපත්තු දෙක ගලවා නිවැරදිව පැලඳ ගත්තෙමි. මධ්‍ය මහා විද්‍යාලයේදී මම පළමු පාඩම එසේ ඉගෙන ගතිමි.   


සී.ඩබ්.ඩබ්. කන්නන්දර මැතිඳුන්ගේ සැලසුම් අනුව ආරම්භ කරන ලද දිවයිනේ 54 වන මධ්‍ය විද්‍යාලය කුලියාපිටිය නාගරික කලබලකාරී පරිසරයෙන් බැහැර නිසංසල අක්කර 10 ක භූමි භාගයක ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත විය. විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරියෙන්ම දිස්වන අතර ශාලාව ඉදිරියෙන් අක්කරයක පමණ භූමි භාගයක ක්‍රීඩා පිටිය සකස් කර ඇත. ක්‍රීඩා භූමිය දෙපස බාලක හා බාලිකා නේවාසිකාගාර දෙක සමමිතිකව පිහිටා ඇත. විදුහලට ඇතුළුවීමට හා පිටවීමට ගේට්ටු දෙකක් වන අතර එම දොරටුවලින් ඇතුළු වීම සඳහා වූ මාර්ගය ක්‍රීඩා පිටිය වටා මැනවින් නිර්මාණය කර ඇත්තේ විදුහලේ ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට පහසුවන ආකාරයටය.   


විදුහල්පති නිවාසය, ගුරු නිවාසය, බුදු මැදුර, විදුහල්පති කාර්යාලය, පංති කාමර, පුස්තකාලය, නැටුම්, සංගීත හා චිත්‍ර කාමර, ලී වැඩ, ලෝහ වැඩ, මැටි වැඩ සඳහා වූ පංති කාමර, රසායන විද්‍යාගාරය, භෞතික විද්‍යාගාරය, ජීව විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය හා ආපනශාලාව සඳහා කාමර ආදී සියල්ලම මෙම අක්කර 10ක පමණ භූමි භාගය පුරා විසිරී තිබුණ අතර මෙහි විශේෂත්වය වූයේ විදුහලට ඇතුළත් වන ඕනෑම කෙනෙකුට අව්වැසිවලින් පීඩාවට පත් නොවී විදුහලේ ඕනෑම අංශයක පන්ති කාමරයකට යාමට හැකි වන සේ සියලු ගොඩනැගිලි එකට සම්බන්ධ කර නිමවා තිබීමයි.   


කන්නන්ගර මැතිඳුන්ට පිං සිදුවන්නට 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී 1953 වර්ෂයේදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියට ඇතුළු වූ අප වෙනුවෙන් එතුමාගේ දූරදර්ශී සැලසුම් අනුව සියලු අධ්‍යාපන පහසුකම් මැනවින් සංවිධානය කර තිබුණි.   


ඉන් ප්‍රථම වැදගත්ම කරුණ වූයේ සියලු ශිෂ්‍යත්වධාරීන් අනිවාර්යයෙන්ම නේවාසිකාගාරවල නැවතී සිටිය යුතු වීමයි. තමන්ගේ නිවෙස්වලට අප යාමට හැකි වූයේ මසකට එක්වරක් පමණක් විශේෂ වූ කරුණක් සඳහා පමණි. ඒ සඳහා වුවද පියා, මව හෝ ලියාපදිංචි වූ භාරකරුවෙකු විදුහලට පැමිණ විදුහල්පතිතුමාගෙන් අවසර ලබාගත යුතුවිය.   
විදුහලට මා ඇතුළත් වූ දිනම සවස මා බාලක නේවාසිකාගාරයට ඇතුළත් කරන ලදී, නේවාසිගාරයේ නැවතුණ පළමු දිනයේදීම ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, තුවා, සබන් සහ දත් බෙහෙත් ආදිය අපට නොමිලයේ සපයන ලදී. නේවාසිකාගාරයේ (2X50) දෙනෙකු බැගින් නිදාගත හැකි නිදන ශාලා දෙකක් වැසිකිළි හා නාන කාමර පද්ධති දෙකක්ද, පාඩම් කිරීමට හා ආහාර ගැනීමට විශාල ශාලා දෙකක් ද ගෘහස්ථ ක්‍රීඩා (කැරම්, ටේබල් ටෙනිස්) සඳහා කාමරයක් ද විය. නිදන කාමරයේ අපගේ ඇඳුම් සහ පොත්පත් තබා ගැනීම සඳහා දෙදෙනෙකුට ඇඳන් දෙකක් අතර අල්මාරිය බැගින් ලැබුණි.   


අපට ජීවිතයේ ප්‍රථම වරට නළ ජල පහසුකම් හා විදුලි පහසුකම් භුක්ති විඳීමට ලැබුණේ කන්නන්ගර මැතිඳුන්ට පින් සිදුවන්නට මෙම විදුහලේ නේවාසිකාගාරය තුළදීම. එතුමාගේ සැලසුම්වල වූ නිවැරදි බව කොතෙක්ද යත් ශිෂ්‍යත්වධාරී දුප්පත් අපට කිසිම අඩු පාඩුවක් නොතිබූ අතර අපට ඉතිරිව තිබුණේ මේ පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ලබමින් හොඳින් අකුරු කිරීමටයි.   


නේවාසිකාගාරයේ රඳවන ලද අප දෛනික අධ්‍යාපන කටයුතුවල මෙහෙයවීම සඳහා පාලකතුමාට අමතරව ක්‍රීඩා භාර ගුරුතුමා සමඟ තවත් ගුරු භවතුන් කීප දෙනෙක්ම නේවාසිකාගාරයේ රැඳී සිටියහ. අප වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කර ක්‍රියාත්මක කරන ලද කාල සටහන් විය. දිනපතා අලුයම 5.00 ට හඬවන සීදුවත් සමඟම අප අවදි විය යුතුය. උදේ ලැබෙන තේ එකකින් ඇඟ රත් කරගෙන ක්‍රීඩා පිටියට ගොස් 6.00 වන තෙක් ක්‍රීඩා ගුරුතුමාගේ අධීක්‍ෂණය යටතේ ව්‍යායාම කළ යුතු විය. ඉන් අනතුරුව 7.00 දක්වා අධ්‍යාපන කටයුතු ද 7.30 ට උදේ ආහාරයද ගෙන පෙරවරු 8.00 ට විදුහලට යාමට විදුහලේ නිල ඇඳුමින් සැරසී පෙළ ගැසී සිටිය යුතු අතර පාලකතුමාගේ අධීක්ෂණයෙන් පසු විදුහලට යාමට අවසර ලැබුණි.   


පස්වරු 2.00 දක්වා විදුහලේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අප නේවාසිකාගාරයට පැමිණ දිවා ආහාරය ගෙන කැරම්, ටේබල් ටෙනිස් වැනි ගෘහස්ථ ක්‍රීඩාවල යෙදීමට හෝ නිදන කාමරයේ විවේක ගැනීමට පුළුවන. පස්වරු 4.00 ට තේ පානයෙන් පසු 6.00 දක්වා ක්‍රීඩාපිටියේ වොලිබෝල්, ෆුට්බෝල් හා ක්‍රිකට් වැනි ක්‍රීඩා සහ මලල ක්‍රීඩා පුහුණු කටයුතු ක්‍රීඩා ගුරුතුමාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.   

 

 


පස්වරු 6.00 ක්‍රීඩා පිටියෙන් බැහැරව 6.30 දක්වා නේවාසිකාගාරය ඉදිරියේ ඇති උද්‍යානයේ මල් වැවීමේ කටයුතුවල යෙදෙන අතර රාත්‍රී 7.00 වන විට ඇඟපත සෝදාගෙන පිරිසිදු වී පොත්පත් රැගෙන පාඩම්වල යෙදීමට ඒ සඳහා දිග මේස තබා දෙපස පුටු තබා සකස් කර තිබූ ශාලාවට යා යුතුය. රාත්‍රී 8.00 ට අපට රාත්‍රී ආහාර ලැබෙන අතර නැවත රාත්‍රී 9.00 සිට 10.00 දක්වා දෙවන අධ්‍යාපන කටයුතු සඳහා වෙන්වූ පැයක කාලයකි. රාත්‍රී 10.00 ට නින්දට යාමට පෙර පොත්වල වැඩ කරමින් සිටි කාමරයේ සිට සියලුමදෙනා තුන් සූත්‍රයෙන් එක් සූත්‍රයක් එක්ව ගායනා කර පසුව නින්දට යා යුතුය. මෙම කාල සටහනට අනුගතව මාස කීපයක් නේවාසිකාගාරයේ ගත කරන ශිෂ්‍යත්වධාරීහු නිරෝගී මනසකින් හා නිරෝගී සිරුරකින් යුතුව විදුහලේදී පංතිවල ශාස්ත්‍රීය කටයුතු හා විෂය සමගාමී කටයුතුවලින්ද ප්‍රමුඛස්ථානය ලබාගත්හ. එදා කන්නන්ගර චින්තනය ඵල දැරුවේ ඒ ආකාරයටය.   
6 වන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා වසර තුනක අඛණ්ඩ කනිෂ්ඨ අධ්‍යාපනය නිමකර 1955 දී අප තෝරාගැනීමේ පරීක්ෂණයට පෙනී සිට ලබාගත් ඉහළ ලකුණු මත 9 සහ 10 වසර සඳහා විද්‍යා අංශයට මා ඇතුළු 12 දෙනෙක් තෝරා ගැනිණ. එකල ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා (S.S.C.) කලා හා විද්‍යා අංශ දෙකක් විය. කලා අංශය සිංහල මාධ්‍යයෙන්ද විද්‍යා අංශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඉගැන්විණි.   


රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව හා ගණිතය, ඉංග්‍රීසි මාධ්‍ය විෂයන් (CHEMISTRY, PHYSICS, BOTANY, MATHEMATICS) විය. විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට සිදුවූ නිසාත් ඉගැන්වීමට සිටි දෙමළ ගුරු මහත්වරුන්ට සිංහල භාෂාව කථා කිරීමේ අපහසුව නිසාත් විද්‍යා අංශයට තෝරාගෙන සිටි සිසුන් සංඛ්‍යාව 12 සිට 05 දක්වා අඩුවිය. විවිධ දැඩි දුෂ්කරතා මැද වසර දෙකක (9-10) අඛණ්ඩ ඉංග්‍රීසි, විද්‍යා අධ්‍යාපනයෙන් පසු 1957 දෙසැම්බර් මාසයේ පැවති ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (Senor School Certificate) විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි දෙදෙනෙකු පළමු වරට සමත්වීමු.  විභාගය සමත් වූ පසු නැවත ගැටලුවක් මතුවිය. කලා අංශයෙන් S.S.C. සමත්වූ සිසුන් සඳහා උසස් පෙළ පංතියක් පැවැත්වුවද විද්‍යා අංශයෙන් සමත් අප දෙදෙනා සඳහා විද්‍යා උසස් පෙළ පංතියක් විදුහලේ නොතිබුණි. මගේ මිතුරා වෙනත් විදුහලක් සොයා අස්ව ගියේය. මගේ නමද කලා උසස් පෙළ පංති නාම ලේඛනයට ඇතුළත් කර තිබූ නමුත් විද්‍යා විෂයයන් එම පංතියේ ඉගැන්වූයේ නැති නිසාත් කලා විෂයයන් අලුතින් ඉගෙනීමට වූ අකැමැත්ත නිසාත් උකටලීව කාලය ගත කරමින් සිටින විට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය විද්‍යා අංශයෙන් සමත් වූ අයට අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යා ගුරු පත්වීම් ලබාදී ඔවුන් කනිෂ්ඨ පාසල්වලට පත්කරන බව දැනගන්නට ලැබුණි. ඒ සඳහා මම කොළඹ මැලේ වීදියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉල්ලුම් පත්‍රයක් තැපැල් කළෙමි. එකල ලංකාවටම සිටියේ එක අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි.   


සතියකට පමණ පසු මා හට විද්‍යා ගුරු පත්වීමක් තැපෑලෙන් එවා තිබුණි. මගේ ගුරු පත්වීම ලබාගැනීමට මෙකල මෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට හෝ අරලියගහ මන්දිරයට යාමට සිදුවූයේ නැත. එමෙන්ම දේශපාලකයින්ගෙන් ලිපි ලබා ගැනීමටද සිදුවූයේ නැත. ලියාපදිංචි තැපෑලෙන් මධ්‍ය විද්‍යාලයටම පත්වීම් ලිපිය එවා තිබුණි. මා පත්කර තිබුණේ මා 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ කනිෂ්ඨ විද්‍යාලයට වීම මගේ දෛවෝපගත සිදුවීමක් විය.   


ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වුවද මෙතෙක් කොට කලිසමකින් සැරසී ශිෂ්‍යයකු ලෙස පාසල් ගිය මට එම ඇඳුමින්ම සැරසී ගුරුවරයකු ලෙස පාසලකට යා නොහැක. ඒ බව හඳුනාගත් කුලුනුබර ගුරු මහත්ම මහත්මීන් මගේ අවශ්‍යතාව ඉටුකරදීම නිසා මගේ දුප්පත් මෑණියන්ට එදා ලොකු සැහැල්ලුවක් දැනෙන්නට ඇත.   
නියමිත දින එනම් 1959.07.01 හිමිදිරි උදෑසන දිගු කලිසමකින් හා අත්දිග කමිසයකින් ද කළු සපත්තු ජෝඩුවකින් ද නිවැරදිව සැරසී ඊට වසර 7 කට පෙර මා 5 වැනි පංතියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ කනිටු විදුහලට ගොස් එහි මුල්ගුරු මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. පුදුමයකි. වාසනාවකි. එදා සිටි ලොකු මහතා අදත් එම විදුහලේ මුල්ගුරු මහතාම විය.   


අතිශය සතුටට පත් ලොකු මහතා සහ ලොකු නෝනා මහත්මිය මා ආදරයෙන් පිළිගෙන විදුහලේ උදේ රැස්වීමට මා කැඳවාගෙන ගොස් ගුරු මණ්ඩලයට හා සිසු දරුවනට මා විද්‍යා මහත්මයා ලෙස හඳුන්වාදී එම රැස්වීම අමතන ලෙස ඉල්ලා සිටියේය. මධ්‍ය විද්‍යාලයේදී විශේෂයෙන් නේවාසිකාගාරයේදී සමිති, විවිධ ප්‍රසංග හා කලා කවය ආදී විෂය සමගාමී කටයුතුවලදී මා ලත් අත්දැකීම් හා ශිෂ්‍ය නායකයෙකු ලෙස ලබා තිබූ පන්නරය උපයෝගී කරගෙන ගුරුවරයකු ලෙස එදින පත්වීමක් ලබා එම විදුහලට ඒමට මට අවස්ථාව ලැබීම ගැන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ටත් මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් එම කනිටු විදුහලේ ලොකු මහත්මා හා ලොකු නෝනා මහත්මියටත් පින් දී ස්තුති කරමින් ලොකු මහතාගේ හා ලොකු නෝනා මහත්මියගේ දෙපා නමැද පසෙකින් සිට ගත්තෙමි. එම රැස්වීමෙන් පසු ලොකු මහතා මා කාර්යාලයට කැඳවා අවශ්‍ය උපදෙස් දී ලොග් සටහන් තබා මට කාලසටහනක් ලබා දුන්නේය. 6, 7, 8 යන පංතිවල සාමාන්‍ය විද්‍යාව සහ 9, 10 පංති දෙකේ අංක ගණිතය මට පැවරුණි. පංතියකට ගොස් ඉගැන්වීම පිළිබඳව මට බියක් මෙන් චකිතයක් නොවූයේ මධ්‍ය විද්‍යාලයේදී විභාගය සමත් වීමෙන් පසු විද්‍යා උසස් පෙළ නොතිබූ අවධියේ වසර එකහමාරක් පමණ ගුරු මහත්ම මහත්මීන් නොපැමිණි අවස්ථාවලදී විදුහල්පතිතුමාගේ විධාන යටතේ පංතිවලට ගොස් කළුලෑල්ල භාවිත කර උගන්වා හොඳ හුරුවක් ලබා තිබූ නිසාය.   
එදින දෙවන කාලපරිච්ඡේදය 10 වන ශ්‍රේණියේ අංක ගණිතය එම පාසලේ මගේ ප්‍රථම පාඩම විය. ශිෂ්‍යයන් 13 දෙනෙකු එම පංතියේ සිටි අතර කොටස් හා ව්‍යාපාර වස්තු පාඩම ඔවුන්ගේ ඉල්ලීම මත නිදසුන් සමග ඉතා සරලව උදාහරණ ගෙනහැර දක්වමින් ඉගැන්වීමි. අසල පංතිවල සිසුන් හා උගන්වමින් සිටි ගුරු මහත්ම මහත්මීන් ද මගේ පාඩම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ බව මට අවබෝධ විය. ඒ වන විට මගේ වයස අවුරුදු 18 මාස 6 ක් වූ අතර මා පළමු අංක ගණිත පාඩම ඉගැන්වූ පංතියේ මට වඩා මාස 6 ක් හා මාස 9 ක් වැඩිමහල් සිසුන් දෙදෙනෙක් සිටි බව මා පසුව දැනගතිමි.   


ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා මම එම විදුහලට පැමිණියද මගේ සිතේ ඒ වන විට ගුරුකම පිළිබඳව හැඟීමක් ගැඹුරින් පැලපදියම් වී නොතිබුණා විය හැකිය. එදින මට විවේක කාලපරිච්ඡේදයක් ලැබූ සැණින් මම පාසලේ ළිඳ ළඟ තිබුණු ස්ට්‍රෝබෙරි ගස යටට ඉබේම පැමිණියෙමි. එදා ලොකු නෝනා මහත්මිය අපට අකුරු කරවූයේ මේ ගස යටදීය. ඒ ඉමිහිරි ළමාවිය ඒ සුන්දර අතීතය සිහිවිය.   


එදා අපට සෙවණ දුන් ගස උඩ බැලූ විට ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් රතුපැහැ ගැන්වී තිබෙනු දුටුවෙමි. මට ගුරුකම අමතක විය. මා අත ඔසවා ඉන් ගෙඩි දෙකක් කඩා ගත්තා පමණි. කුඩා සිසුවකු මා අසලට පැමිණ විද්‍යා මහත්තයාට ලොකු මහත්තයා එන්න කීවා යැයි දන්වා සිටියේය. මම කඩිනමින් ගොස් ලොකු මහතා ඉදිරියේ පෙනී සිටියෙමි.   
ඔබ අද සිට මෙම පාසලේ ශිෂ්‍යයෙකු නොව ගුරුවරයෙකු බව අමතක වුණා දැයි මගෙන් විමසා සිටියේය. ගුරුවරයා ශිෂ්‍යයනට ආදර්ශමත් විය යුතුය යන පාඩම එදින මම ඉගෙන ගත්තෙමි.   

 


ජේ.ඒ. කරුණාසේන   
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති