එදා ලක්දිව හෙල්ලූ හාරලක්ෂයේ කොල්ලය සිනමාවට නැඟුණේ මෙහෙමයි


සලරුවක කතාව

ජේම්ස් සෙනෙවිරත්න (පියදාස ගුණසේකර) මැද පිටුපස වමේ සිට මුණසිංහ (සේනාධීර රූපසිංහ) විජේදාස ජෝ අබේවික්‍රම රූපානන්ද (ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර) රොබින් ප්‍රනාන්දු   

 

 

 

ලංකාවේ පළමුවෙන්ම සිදුවූ බිහිසුණු මංකොල්ලයක් සහ මිනීමැරුමක් වූ හාරලක්ෂ මංකොල්ලය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඇසුරෙන් ටයිටස් තොටවත්ත හාරලක්සෙ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ මීට වසර 48කට එපිට එනම් 1971 දෙසැම්බර් 17 වැනිදාය.   


මෙම සත්‍ය සිදුවීම සිදු වුණේ මීට වසර 71කට පමණ පෙර 1949 ජනවාරි 27 වැනිදාය. ලංකා රේස් ඉතිහාසයේ විශාලම සිද්ධිය වූයේ කොළඹ හැව්ලොක් පාක් රේස් පිටියේදී නොව කොළඹ නගර මධ්‍යයේ මහ දවල් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. රොක්වුඩ් මහතා ලියූ ලිපියක සඳහන් වෙයි. එහි ප්‍රතිඵලය ලෙස කරුණු තුනක් ඔහු දක්වා ඇත.   


1. රියැදුරකු දරුණු ලෙස මරා දැමීම   
2. කොළඹ ටර්ෆ් ක්ලබ් සමාජයට අයත් රුපියල් හාර ලක්ෂයක් හොරකම් කිරීම   
3. ටර්ෆ් ක්ලබ් සමාජයේ කැෂියර් තැනට වෙඩි තබා තුවාල සිදු කිරීම   


මිනීමැරීම සිදු වූයේ හොරකමට දහහතර පැයකට පෙරාතුවය. හිටපු නියෝජ්‍ය පොලිස්පති රොක්වුඩ් පවසා ඇති අන්දමට සෑම සඳුදාවකම උදෑසන ආම්ස්ට්‍රෝං ගරාජයෙන් සැපයෙන මෝටර් රථයකින් මුදල් බැංකුව වෙත ගෙන යනු ලබන ආසන හතේ ‘ලිමේසින්’ වර්ගයේ කාර් එකක් මේ සඳහා යොදවා ගත් බවය.   


එහි රියැදුරු වූයේ ජෝන් සිල්වා නම් 56 හැවිරිදි ගරාජයේ පැරණිම සේවකයා මෙන්ම ඉතා හොඳ චරිතයකින් යුත් පුද්ගලයෙකි. 

 
මේ මිනීමැරුම ගැන A.C. Alles විසින් ලියන ලද The Turf Club Robbery and Murder කෘති හා නඩු වාර්තා හා කවි කොළ පුවත්පත්වලින් කියවූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත එය සිනමාවට නැංගීමට සිහින මවමින් සිටියේය. ඔහු මේ තම සිතැඟි මා හා පැවසුවේ 1971 වස​ෙර්දීය.   


‘වයිට් හවුස් මිනීමැරුම හා ටර්ෆ් ක්ලබ් මංකොල්ලය අතර සම්බන්ධයක් ඇති නිසා මේ සිද්ධීන් ආශ්‍රයෙන් චිත්‍රපටයක් කිරීමට මගේ සිතේ කළල රූපයක් හට ගත්තේ මා ‘පුංචි බබා’ (1966) චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරන කාලේ. හාර ලක්සෙ ඇතැම් සත්‍ය චරිත මගේ මනෝ ලෝකයේ සිය දහස් වර රඟපෑවා. එහි ප්‍රධාන චරිත වූ සෙනෙවිරත්න, රාජපක්ෂ, මුණසිංහ, විජේදාස ආදීන් මගේ ජීවිතයට වඩාත් සමීප වුණා.   


දිනක් ටයිටස් ‘පුංචි බබා’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරමින් සිටින එක් හැන්දෑවක චිත්‍රපටයේ නිෂ්පාදක සුගතදාස මාරසිංහ සංස්කරණ මැදිරියට ආවේය.   


‘ටයි අපි අලුත් චිත්‍රපටයක් කරමුද?’  
‘කරමු.’ 
‘කතාවක් කො​ෙහාමද?’   


‘මිස්ටර් මාරසිංහට මම හොඳ කතාවක් කියන්නම්. හැබැයි අසතුටු නම් ඒ ගැන කාටවත් කියන්න එපා. මොකද මගේ හිතේ තියෙනව දවසක මේ කතාව තනියම කරන්න.’   


‘නෑ කාටවත් කියන්නේ නැහැ. මොකක්ද කතාව?’  
‘රේස් කෝස් මංකොල්ලය’   
‘මට සතියක් කල් දෙන්න’  


සතියකින් මාරසිංහගෙන් වචනයක් ලැබිණ. චිත්‍රපටය ආරම්භ විය. මුලින්ම හාර ලක්සෙ මකොල්ලයේ දී ජෝන් සිල්වා මැරූ ස්ථානය දැක රූපගත කිරීමට සුදුසු තැන් දැක බලාගැනීමට ටයිටස් මාරසිංහ චිත්‍රපට නළු ජෝ අබේවික්‍රම කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න හා සරසවිය පුවත්පතේ කුමාරදාස වාගීස්ට 1969 ඔක්තෝබර් මාසයේ දවසක පුත්තලම අනුරාධපුර පාර බලා ජීප් රථයකින් පිටත් වූහ.   


ජීප් රථය පැදවූයේ ජෝය. පුත්තලම තානායමින් දහවල් ආහාරය ගත් ඔවුන් පුත්තලම නගරය පසුකොට 13 වැනි සැතපුම් කණුවට සමීපව තිබූ බෝක්කුව අසල නතර වූහ. ජීප් රථයෙන් බැස්ස ඔවුන්ට දකින්ට ලැබුණේ ‘ජෝන් සිල්වා මහතා ගේ අවසාන ගමන’ යන අකුරු තිබූ පුවරුවය. ඔවුහු ජෝන් සිල්වා බැඳ තිබූ පලු ගසට සමීප වූහ.   


ඒ මනුස්සයට මොනව හිතෙන්න ඇද්ද? ජෝ රැවුල කසමින් ටයිටස්ගෙන් අසා ඇත.   


ප්‍රධාන වශයෙන් ටයිටස්ට අවශ්‍ය වුණේ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සඳහා යොදාගත් ආම්ස්ට්‍රෝං ගරාජයේ ඉසැඩ් 6033 චවලට් රථය සොයා ගැනීමටය. මේ රථය සොය සොයා ආරංචි ඔස්සේ ජෝ හා ටයිටස් නොගිය තැනක් නැත. මේ රථ ගෙන්වූ සමාගමට ගිය ඔවුනට දැන ගන්නට ලැබුණේ ඔවුන් ලංකාවට ගෙන්වූයේ මෝටර් රථ 5ක් පමණ බවය. එතැනින් ලැබූ ආරංචි අනුව හැතැප්ම 400ක් පමණ බදුල්ල, නුවරඑළිය, නානුඔය, දියතලාව ආදී ප්‍රදේශවලට ගිය දුෂ්කර ගමනේදී දකින්ට ලැබුණේ යුරෝපීය වතු යායක අබලන්ව තිබූ මේ රථයේ දැල් ගසා කුකුළු කූඩුවක් සාදා තිබූ බවය. යාපනයට ගිය ඔවුන්ට මෙවැනිම රථයක් තිබූ අතර එහි වටිනාකම අයිතිකරු ඉහළ නංවා ඇත. නිෂ්පාදක එය රුපියල් 12,000කට මිලදී ගත්තේය.   


ටයිටස්ට ‘හාර ලක්සෙ’ ගැන අගනා තොරතුරු ලබා ගැනීමට මංකොල්ලයේ පරීක්ෂණ මෙහෙයවීම් කළ එකල උපපොලිස් අධිකාරිව සිටි ලයනල් ගුණතිලක මහතා උපකාරී වී ඇත. 1970 වනවිට 1949 සිදු වූ කාලයට වඩා කොළඹ නගරය වෙනස් වී තිබුණි. හැකි හැම විටම පැරණි තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ටයිටස් පරෙස්සම් වී ඇත. රේස් කෝස් පිටිය. අවට රීඩ් මාවත, කේම්බ්‍රිජ් පිටිය අවට, රීඩ් මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, රෝලන්ඩ්ස් ගරාජය අසල ප්‍රදේශවල රූපගත කිරීමට, මහා මාර්ගයේ වාහන නතර කර ගැනීමට කුරුඳුවත්ත පොලිසියේ සහාය ලැබී ඇත.   


හාරලක්ෂය මංකොල්ලයට සම්බන්ධව සිට පසුව ආණ්ඩුවේ සාක්ෂිකරුවකු වූ ඒ කාලයේ ජීවතුන් අතර සිටි පුද්ගලයකුගෙන් රූපානන්ද එදා මංකොල්ලයට සම්බන්ධ වූ අයගේ ගති පැවතුම් ඇඳුම් පැලඳුම් කෑම බීම ආදිය ගැන තොරතුරු ලබාගැනීමට ජෝ හා ටයිටස් සමත් වූහ.   


හාර ලක්ෂය චිත්‍රපටය ඇරඹෙන්නේ 1945 යුද්ධය අවසන් වෙන කාලය දැක්වෙන රූපාවලියකිනි. සයිරන්ස් හඬ නළා හඬත් ඇතිව වෙඩි පහරවලින් ගිගුම් දෙන පසුබිමක ලෝක බෝලය කැරකෙයි. ඒ සමගම පසුබිම් කථනයෙන් ඒ වකවානුව පිළිබඳ හැඳින්වීමක් ගෙන ඒමට ටයිටස් අදහස් කළේය. මේ ඔහුගේ තිර නාටකයේ එන පසුබිම් හඬය.  
යුද අඳුර බිඳ සාමයේ එළි නැගිණි. හිට්ලර්ගේ ආධිපත්‍යය වැනසිණි. හිරෝෂිමා ද නාගසාකිය ද පරමානුවෙන් සුනු විසුනු විය. දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවිය. මැද පෙරදිග යුද බිමේ සිට අපේ තරුණ පෙළ ද පෙරළා මව්බිම වෙත ආහ. සමහරෙක් අපේ හුරු පුරුදු තැන්පත් ජීවන රටාවට එක්වූහ. එහෙත් යුද හඬ රැව් දෙන දෙසවන් ඇත්තෝ අරමුණු රහිතව කෙමෙන් සැහැසි ක්‍රියාවලට පෙළඹුණේය.   


ටයිටස් මේ පසුබිම චිත්‍රපටයේ චරිත තුළින් මතු කළ ආකාරය එදා මට කීවේ මෙසේය.   


යුද්ධ කාලය අවසානයත් සමගම පෙරළා දිවයිනට පැමිණි පුද්ගලයින් අතර සෙනෙවිරත්න මුණසිංහ විජේදාස වඩාත් කැපී පෙනෙන අය වුණි. ඔවුන්ට තරම් තීක්ෂණ බුද්ධියක් කපටි ඥානයත් ස්ථානෝචිත ප්‍රඥාවත් තිබූ මිනිසුන් අපට සිටියේ ටික දෙනෙකි.   


ඔවුන් පිළිබඳව වූ මේ මංකොල්ලය සිනමාවට නැගීමේ දී ඔවුන්ගේ සිත් තුළට බැසීමට මා උත්සාහ කළා. ඔවුන් මෙයට පෙළඹුණු හේතු මොනවාද? ඊට පසුබිම් වූ සමාජ තත්ත්වය කුමක්දැයි මම සිනමා මාධ්‍යයෙන් කීමට උත්සාහ කළා. චිත්‍රපටයේදී සම්පූර්ණ සිද්ධිය හෝ නඩු විභාගය දැක්වීමට වඩා මංකොල්ලය කිරීමට පෙළඹුණු අයුරුත් කළ අයුරුත් විවරණය කිරීමට මම උත්සාහ කළා.   


මේ චිත්‍රපටයේ පෙම්වතියක් නෑ. චිත්‍රපටයේ එන වයිට් හවුස් මංකොල්ලය (The white house murder case) පෙන්වන වයිට් හවුස් වතු පාලකයාගේ බිරිඳ සිටින එකම රූපරාමුවක හැර කාන්තාවක් රඟ නොපෑ එකම සිංහල චිත්‍රපටය විය හැකියි හාර ලක්සෙ.   


හාර ලක්සෙ චිත්‍රපට කතාව ඇරඹෙන්නේ මෙසේය.   


එනම් වයිට් හවුස් මිනීමැරුමෙනි. වයිට් හවුස් එවකට රත්නපුර ප්‍රදේශයේ යුරෝපීය වතු පාලකයෙකි. තම වතු යායේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 35,000ක් කොළඹ චාටඩ් බැංකුවේ සිට රැගෙන යමින් සිටිය දී රත්නපුරයට නුදුරුව පිහිටි හිදැල්ලන ගමේ කරපිංචා පාලම අසල දී කිසියම් පිරිසක් (ලෑතර බාස් - සෝමසිරි දෙහිපිටිය) (නැපෝ සිං​ෙඤා - වින්සන්ට් වාස්) (ඇල්බට් - බුද්ධි වික්‍රම) වයිට් හවුස් මහතා මරා මුදල් පැහැරගෙන යති.   


මේ මිනීමැරුම සිදු කරනු ලබන්නේ ජේම්ස් සෙනෙවිරත්නගේ පියදාස ගුණසේකර මන්සිනා වන ලෑතර බාස් (සෝමසිරි දෙහිපිටිය) විසිනි. එහෙත් බෑගයේ දක්නට ලැබෙන්නේ මුදල් නොව එළවළු මල්ලකි. මේ අපරාධයට වැරදිකරු වන ලෑතර බාස් බේරා ගනු පිණිසය. ජේමිස් සෙනෙවිරත්න හාර ලක්සෙ මංකොල්ලයට යොමුවෙන්නෙ කොළඹ තුරඟ තරග පිටියේ සෙනසුරාදා දින පැවැත්වෙන තරගවලින් ලැබෙන මුදල් සඳුදා දින කොළඹ චාටඩ් බැංකුවේ තැන්පත් කෙරේ. එම මුදල් බැංකුව වෙත ගෙන යනුයේ කොටුවේ ආම්ස්ට්‍රෝං ගරාජයේ මෝටර් රථයකින් කුරුඳුවත්ත පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු කැටුව තුරග තරග පිටියට එන මෝටර් රිය ටර්ෆ් ක්ලබ් මුදල් අයකැමියන්ගේ භාරකාරත්වය යටතේ මුදල් බැංකුවට ගෙන යයි.   


ආරක්ෂාව සඳහා ටර්ෆ් ක්ලබ් වෑන් රථයක් ද මේ මෝටර් රථය පිටුපසින් ගමන් කිරීම සිරිතකි. තුරඟ තරග පිටියට එකතු වන්නේ පීඩිතයන්ගේ මුදල් වන බැවින් ඒවා හොරකම් කිරීම අයුක්ති සහගත නොවේය යන දර්ශනය මත පිහිටා සිටින ජේම්ස්ගේ සැලසුම මෙම මුදල් මංකොල්ල කෑමටය. ඒ සඳහා ඔහු විජේදාස (ජෝ අබේවික්‍රම) රාජපක්ෂ (රොබින් ප්‍රනාන්දු) මුණසිංහ (සේනාධීර රූපසිංහ) වැනි අයගේ සහාය ලබා ගනී.

   
ඔවුන් මෙම මංකොල්ලය සැලසුම් කරනුයේ ජේම්ස්ට අයත් මිනී පෙට්ට් සාප්පුවේ සිටය. රාජපක්ෂ මෙයට වීරසිංහ නමැති පට්ටල්කාරයකු ද (ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු) සම්බන්ධ කර ගනී. සොරකමෙන් පසු මුදල් ගෙවන්නේ හය මාසයකින් පසුව බව ජේම්ස් තම සගයන්ට කියයි.   


ඊට විරුද්ධ වෙන්නේ මුදල්වලට අතිශයින් ඇලුම් කරන වීරසිංහය. වීරසිංහ වැන්නකු මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ ජේම්ස් රාජාට දොස් පවරයි. පසුව වීරසිංහ බැහැරකොට රූපානන්ද (ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර) ඒ වෙනුවට යොදවා ගැනීම ජේම්ස්ගේ තීරණය වේ.   


ඔවුන්ගේ සැලසුමට අනුව 1949 ජනවාරි 29 වැනි දින රූපානන්ද ආම්ස්ට්‍රොං ගරාජයට ගොස් රුපියල් 50ක අත්තිකාරම් මුදලක් දී පුත්තලමට යනු පිණිස මෝටර් රථය වෙන් කරවා ගනී. ජනවාරි 30 වැනි දින රූපානන්ද මුණසිංහ සමග ආම්ස්ට්‍රොං ගරාජයට ගොස් ඉසැඩ් 6033 දරන චවලට් රිය ලබා ගනී.   


මේ රිය පැදවීමේ අවස්ථාව අහඹු ලෙස හිමිවෙන්නේ කුරුවිටගේ හේරත් ජෝන් සිල්වාටය. මෙම චරිතය රඟපාන්නේ කේ.ඩී. ජිනදාසය. තොටලඟ වික්ටෝරියා පාලම අසලදී විජේදාස රියට ගොඩවේ. මේ අතර ජේම්ස් හා රාජපක්ෂ CE 757 දරන කුඩා ස්ටෑන්ඩර්ට් වර්ගයේ මෝටර් රථයකින් පුත්තලම බලා පිටත් වෙති. ජොන්ස් මෝටර් රථය පුත්තලමේ 13/4 දරන බෝක්කුව වෙත ළඟාවෙද්දී විජේදාස උදරාබාධයක ව්‍යාජයක් පාමින් රිය නවතාගනී.   


මේ අතර කැලයේ සිට කඩා වදින ජේම්ස් හා රාජපක්ෂ ජෝන් පැහැර ගෙන කැලයට රැගෙන යති. ජේම්ස් කළු ලේන්සුවකින් තම මුහුණ බැඳ ගෙන සිටින අතර රාජපක්ෂ ගෑස් මුහුණක් පැලඳ සිටී. ඔවුහු ජෝන් සිල්වාට ගෑස් මුහුණ බඳියි. විජේදාස එහි නළය මිරිකීමත් සමග ජෝන් මිය යයි. ජනවාරි 31 වැනිදා උදයේ මරදානේ බුහාරි හෝටලයේ සිට ආම්ස්ට්‍රොං ගරාජයට දුරකතනයෙන් කතා කරන රූපානන්ද ටර්ෆ් ක්ලබ් වෙත එවන මෝටර් රථ රිය මෙදින මදක් පමා කරන ලෙස දැනුම් දෙයි.

   
ජෝන් මරා දැමීමෙන් ඉක්බිතිව පැහැරගත් Z 6033 දරන මෝටර් රථයේ නැගී රියැදුරු ලෙස විජේදාස පොලිස් පරීක්ෂක ලෙස මුණසිංහත් තුරඟ තරග පිටියට පිවිසෙති. ලක්ෂ හතරේ ට්‍රන්ක පෙට්ටිය ද සමග පීරිස් (හෙක්ටර් හපුගොඩ) පෙරේරා (ගීතාල් පෙරේරා) හා සිල්වා යන මුදල් අයකැමිවරු රථයට ගොඩවෙති. මෝටර් රථය කොළඹ කෞතුකාගාරයට ආසන්නවත්ම මුණසිංහ රිවෝල්වරය එල්ල කොට අයකැමියන් බිය වද්දයි. මෙහිදී ඔහුගේ වෙඩි පහරක් එක් අයකැමියකුට වැදේ. 

 
මේ සමගම යතුරුපැදියක එන ජේම්ස් සහ රාජපක්ෂ මෝටර් රථයට පැන මුදල් පෙට්ටිය සොරකම් කොට වෙනත් රියක නැග පලා යති. අලුත්කඩේ සාංචි ආරච්චිගේ වත්තට පැමිණෙන සොරු වේළු නමැත්තෙකුගේ නිවසක මුදල් සඟවා රථය නොරිස් පාරේ අතහැර දමති.   


1949 පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවය බැලීමට සහභාගි වන වීරසිංහ පුවත්පත මගින් මෙම මංකොල්ලය පිළිබඳව තොරතුරු දැන ගනී. ඔහු රාජපක්ෂ සොයා යන්නේ මුදල් ඉල්ලීමටය. මේ පිළිබඳ පිළිවෙළක් යොදන බව රාජපක්ෂ ඔහුට කියයි. මකොල්ලය පිළිබඳ ඔත්තු සපයන්නෙකුට රුපියල් 20,000 මුදලක් ලබාදෙන බවට රජය නිවේදනය කරන අතර මෙය දකින වීරසිංහ පොලිසියට ඔත්තු දීමට සිතුවත් රාජපක්ෂ ඔහුට පහරදීම නිසා එය නවතී. පොලිස් නිලධාරියෙක් (නාමෙල් වීරමුනි) ඔවුහු අත්අඩංගුවට ගත් පසු සොරුන් එකිනෙකා පොලිසියට කොටුවේ. තුන් වැනි විත්තිකරු වන රූපානන්ද රජයේ සාක්ෂිකරුවකු බවට පත්වේ. අවසානයේ ජෙම්ස්, රාජපක්ෂ, මුණසිංහ හා විජේදාස යන සිව් දෙනා පෝරකයට නියම වේ.   


ඒ.සී. අලස් විසින් ලියූ ටර්ෆ් ක්ලබ් මංකොල්ල හා මිනී මැරුම නම් කෘතියේ ජෝන් සිල්වා මරාදැමීම හා මංකොල්ලයට සම්බන්ධ අට දෙනකුගේ නම් සඳහන් කර තිබුණි.   


1. හත්වැල්ලගේ ගිල්බට් ඩයස්   
2. මලිගස්පෙකෝරළගේ විල්සන්   
3. සුබවීරගේ ලුවිස් ඩයස් නොහොත් මදාවියා   
4. නානායක්කාර අතලුගමගේ සයිමන් ද සිල්වා ජයසිංහ නොහොත් ආරච්චිරාල   
5. මාකවිටගේ විජේදාස පෙ​රේරා   
6. මුණසිංහ ආචි ලේකම්ලාගේ චාර්ලිස් මුණසිංහ නොහොත් මුණසිංහ අරච්චි ලේකම්ගේ වජිර මුණසිංහ   
7. මනිකුමාර ආරච්චිගේ දොන් ජේම්ස් සෙනෙවිරත්න   
8. රාජපක්ෂ ලියනගේ ජයනන්ද ප්‍රේමලාල් නොහොත් ජේ.පී. රාජපක්ෂ නොහොත් වෙද මහත්තයා   


ජෝන් සිල්වා මරා දමන චිත්‍රපට දර්ශනයේ පසුබිමින් වන්දනා නඩයක් තුන් සරණේ කවි කියමින් ඒ අසලින් ගිය දර්ශනය ටයිටස්ගේ තිර නාටකයේ තිබුණක් නොව එය ඔහුගේ මනසේ සංස්කරණය වෙමින් තිබූ දර්ශනයක් බව අපට කියා ඇත.   


චිත්‍රපටය ඇරඹෙන්නේ හාර ලක්සෙට සම්බන්ධ සිව්දෙනා එල්ලා මැරීමට සිර ගෙට නියම වූ බන්ධනාගාර දර්ශනවලිනි. ජේම්ස් එල්ලා මැරීමට පෙර සංඝයා වහන්සේ පංචසීලයේ පිහිටුවන අවස්ථාවේ ‘පානාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ ශික්ෂාපදය දෝංකාරය සමග ජෝන් සිල්වා මැරී සිටින දර්ශනයේ ඡායාවක් ක්ෂණික ඡේදනය ටයිටස්ගේ සංස්කරණයේ පරිණත බව පෙන්වන අවස්ථාවකි.   


චිත්‍රපටයේ කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න සිය සිනමා ජීවිතයේ ලොකුම දුෂ්කර ක්‍රියාව කළේ හාරලක්සෙ චිත්‍රපටයෙන් බව අපට කියා තිබුණි.   


අැත්තටම ටයි මහත්තයාට තිර නාටකයක් තිබුණේ නෑ. මුළු කතාව ඔහු කිව්වම half sheet එකක ලියලා තිබුණෙ පේළි 20ක් පමණයි. ඔක්කොම තිබුණේ ඔළුවේ. මුළු චිත්‍රපටයම ඔහුගේ ඔව්වේ. ටර්ෆ් ක්ලබ් එකෙන් මුදල් ට්‍රන්ක් එක සොරකම් කරලා කාර් එකේ දාගෙන රීඩ් මාවතේ වේගයෙන් එන විට රික්ෂෝවක් එනවා. වාහනය රික්ෂෝවේ හැප්පෙන කොට එය පදවන මනුෂ්‍යයාව බේර ගන්නත් ඕනෑ. කාරය රික්ෂෝවට හැප්පෙනවා.   


මේ දර්ශනය රූපගත කළේ තුන් පොළකදීය. මේ දර්ශන ටයි මහත්තයා අතින් සංස්කරණය වෙන විට ඔබ දකින්නට ලැබුණේ බටහිර චිත්‍රපටයක බිහිසුණු දර්ශනයක් වගෙ.   
හාර ලක්සෙ මුදල් පැහැර ගත් හොරු පොලිසියට අසුවේදෝයි බියෙන් ඉසෙඩ් 6033 චවලට් රථය වේගයෙන් පදවාගෙන යන අවස්ථාවක් තිබුණා. අධ්‍යක්ෂ​ෙග් උපදෙස් අනුව මම මේ දර්ශනය කැමරා ගත කිරීමට තවත් රථයක උඩ නැගලා හොරු ගමන් ගන්නා රථය පසුපස්සේ එළවා ගෙන ගියා. 

 
අපි ගිය රථය කෞතුකාගාරය ඉදිරිපිට වංගුවෙන් හැරෙනවත් එක්කම වේගයෙන් ඉදිරියට ආ නිසා අපේ රථය නවත්වන්න සිදු වුණා. හදිසියේ ගැසූ බ්රේක් පාරට මෝටර් රථය උඩ හිටිය මම කැමරාවත් එක්ක බිමට විසිවුණා. මගේ හිස තුවාලවෙලා ලේ ගැලුවා. මට තුවාල වුණා. කැමරාව මම අතහැරියේ නෑ. තවත් දර්ශනයක් තිබුණා. මේ ඉසෙඩ් 6033 චවලට් රථයට ජේම්ස් (පියදාස ගුණසේකර), රාජපක්ෂ (රොබින් ප්‍රනාන්දු) ගොඩවන දර්ශනයක්. මෙම දර්ශනය මම රූපගත කළේ චවලට් රථයේ පිට පැත්තේ යකඩවලින් හදපු ස්ටෑන්ඩ් එකක ඉඳගෙන.   


මෙහෙම කැමරා ගත කරමින් යන අතරේ රථය පදවාගෙන ගිය ජෝ අබේවික්‍රම (විජේදාස) රථය වැංගුවකින් හරවා ගත්තා. එවිටම වංගු​වෙන් ඉදිරියට එමින් සිටි රික්ෂෝ රථය මේ රථයේ හැපී වේගයෙන් බිඳී යනවා. මාබැඳ සිටි කඹය බුරුල් වේගෙන එනවා. මට දැනුණා. ඒත් මේ බැරෑරුම් දර්ශනය අතරමග නතර කරලත් බෑ. මම කැමරාව දිගට ක්‍රියාත්මක කළා.   


මොහොතයි ගත වුණේ කඹය බුරුල්වෙලා මාව පරෙන් අනිත් පැත්තට විසි වුණා. එදත් මගේ හිස තුවාල වෙලා දවස් පහක් රෝහල් ගතවීමට සිදුවුණා. ඇන්ඩෲ අපට කියා ඇත.   
චිත්‍රපටයේ රජපක්ෂ ලෙස රඟපෑ රොබින් ප්‍රනාන්දු ධාවනය වන චවලට් රථයේ දොරේ එල්ලී පැද්දී ගිය ගමනත් ලියවන පට්ටලයක් තුළ වීරසිංහ ලෙස රඟපාන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග රොබින් කළ බිහිසුණු සටනත් තවම සිංහල චිත්‍රපටයක අපට දකින්න නොලැබුණු බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක සටන් දර්ශනයක් සිහිපත් කරයි. 

 
අධ්‍යක්ෂ ටයිටස් තොටවත්ත රජයේ චිත්‍රපට අංශයේ (GFU) සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කිරීම නිසා එහි සංරක්ෂිතව තිබූ සෝ්ල්බරි සාමි අග්‍රාණ්ඩුකාරයා ඩී.එස්. සේනානායක අගමැතිතුමා සමග අශ්ව රේස් බැලීමට පැමිණෙන දර්ශන news reels වලින් අරගෙන 1949 වර්ෂයේ නිදහස් දින උත්සවයක් ලංකාවේ එදා සමාජ පරිසරය මතුවන අයුරින් චිත්‍රපටයට ඇතුළත් කර ඇත.   


චිත්‍රපටය කරන අවස්ථාවේ මිනීමැරුම සිදුකළ පාර්ශ්වයක් ඥාතීන්ගෙන් තර්ජනාත්මක ලිපි කිහියක් නිර්නාමිකව අධ්‍යක්ෂවරයාටත් නිෂ්පාදකවරයාටත් ලැබී තිබුණත් ඔවුන් ඒවායින් අධෛර්ය නොවිණි. චිත්‍රපටයට ඇතුළත් වූයේ එකම ගීතයකි. එය කාවලි ගීතයකි. ඒ ගීතය ගැයූ මොහිදින් බෙග්ම දර්ශනයේ රඟපාමින් ගායනා කළේ ජේම්ස් හා රාජපක්ෂ මුලින්ම එකතු වන සූස්ති කාමරයේදීය.   


හාරලක්සේ චිත්‍රපටයෙන් ටයිටස් කීමට උත්සාහ කළේ කොයිතරම් තීක්ෂණ බුද්ධිය තිබුණත් වැරදි මාර්ගයේ යන හැම පුද්ගලයෙක්ම ජීවිතයෙන් පරාජය වෙන බව පෙන්වීම බව ටයිටස් අපට කියා තිබුණි. පාප මිත්‍ර සේවනය අනුන් නැසීමට ගන්නා උත්සාහය කිසි දිනක සාර්ථක ජීවිතයට මග නොවන බව පෙන්වීමටයි ටයිටස්ට අවශ්‍යව තිබුණෙ.   
සිංහල චිත්‍රපටයක් දෙමළ බසින් දෙබස් කවා නාංගු ලෙච්චමි නමින් ප්‍රදර්ශනය කරන මුල්ම අවස්ථාව මෙයයි. ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඒ අයුරින්ම ඒ ස්ථානවලම රූපගත කොට සිනමාවට එන මුල් අවස්ථාවයි. සියයට සියයක්ම ඒ අයුරින් රූපගත කිරීමයි අපේ උත්සාහය වුණේ. මේ චිත්‍රපටයේ කාන්තා චරිත නෑ. පෙම්වතියක් නෑ. මේ චිත්‍රපටය ප්‍රධාන චරිත කිහිපයක මනස විග්‍රහ කිරීමට ගත් උත්සාහයක්.   


ටයිටස් මා සමග පැවසූ මේ ප්‍රකාශය 1971.12.17 සරසවිය පත්‍රයේ තුන්වැනි පිටුවේ පළ වී ඇත.   


ටයිටස් තොටවත්ත විවිධ කුසලතාවලින් සපිරි කලාකරුවෙකි. හාරලක්සෙ චිත්‍රපටය තිරගත වෙන විට ඔහු ප්‍රේම් ජයන්ත් චිත්‍රශිල්පියා ලවා දැවැන්ත ප්‍රචාරක පුවරුවක් (cut out) මරදාන හන්දියේ ඉදිකරන ලදී. එහි චවලට් වර්ගයේ අනුරුවක් එදා හාරලක්සේ මිනීමැරුම හා මංකොල්ලය ගැන පළවූ අද දින නම් පුවත්පතක අකෘතිය ඉරාගෙන මේ රථය එළිය පැමිණෙන දැවන්ත ප්‍රචාරක පුවරුවකි ඒ. මේ ප්‍රචාරක පුවරුව ගැන තතු දන්නෝ අදත් ඒ ගැන කතාකරති.   


සත්‍ය ජීවිතයේ ​ෙජා්න් සිල්වා ගැන පොලිස් වාර්තාවල ඇත්තේ ඔහු යහපත් පුද්ගලයකු බවය. ජෝන් සිල්වාට සිටියේ එකම පුතෙකි. ඔහු නමින් කේ.පී. සිල්වාය. එයා හරිම පුදුම ගතිගුණ තියෙන ළමයෙක්. පිනට දහමට හරි ළැදියි. යනුවෙන් හාරලක්සෙ චිත්‍රපටයේ ඒ චරිතය රඟපාන නළුවාගේ මුවට නංවන දෙබසින් මේ පුතා ගැන කියවෙයි. චිත්‍රපටයේ ජෝන් සිල්වාට රඟපෑවේ හොරණ ලංගම රියැදුරෙකුව සිටි කේ.ඩී. ජිනදාසය. ඔහුට දෙබස් කවා තිබුණේ ගැමුණු විජේසූරියයි.   


ඇත්ත ජෝන් සිල්වා ගේ පුත්‍ර කේ.පී. සිල්වා පසුව කෝට්ටේ දේවානන්ද හිමි නමින් පැවිදි විය. සිල්වා මහතා ගැන තොරතුරු ද මේ ලිපිය කියවන ඔබට කිව යුතුය.  
කේ.පී. සිල්වා මහතා පිළිබඳ තොරතුරු හොඳින් දන්නා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපට ඔහු ගැන මෙසේ පැවසුවේය.   


මගේ තාත්තාට (විලියම් කුරුවිට බණ්ඩාර මහතා) අයත් නුගේගොඩ තිලක උයනේ ගෙයක ජෝන් සිල්වා හතාත් ඔහුගේ බිරිඳත් පුතාත් පදිංචිව හිටියේ. ජෝන් සිල්වා මහතාගේ පුතා අපි දන්න කාලේ සිටම නුගේගොඩ ගයි පරණවිතාන දොස්තර මහතාගේ ඩිස්පැන්සරියේ ඖෂධවේදියකු ලෙස සේවය කළේ ඔහු සම්පූර්ණ ආගමික ජීවිතක් ගත කළේ රෑට ආහාර ගන්නේ නැහැ. අනාගාරික ජීවිතයක් පුරුදු වූ ඔහු හිටි හැටියේ මහණවීමට සිතුවා.   


අපේ තාත්තා ඔහුට අවවාද කළා කවුද එතකොට අම්මාව බලා ගන්නේ. කියලා. ඔහු ඒක පිළිගත්තා. අම්මා මියගිය දිනයේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසු එදා රෑම ඔහු පැවිදි වෙන්න ගියා. මගේ ගෙදර සියලුම බඩු අවශ්‍ය කෙනෙකුට දෙන්න. මම පැවිදි වෙනවා. තාත්තාට කීවා. තමාගේ පැවිදි ජීවිතයට අයිති දේ පමණයි ඔහු අරගෙන ගියේ. තාත්තා ඔහු​ෙග් පිටකෝට්ටේ හිටිය ඥාතීන්ට ගෙදර තිබූ සියලු දේ භාර දුන්නා. පිටකෝට්ටේ දේවානන්ද හිමි නමින් පුහුල්වැල්ලේ ආරණ්‍යයේ කඩවැද්දුවේ ජිනවංශ හිමියන් යටතේ පැවිදි වුණා. අතුරුගිරියේ ඥානවිමලාරාමයේත් වැඩවිසූ උන්වහන්සේ දායකයන්ගේ ආරාධනාවෙන් බෞද්ධාලෝක මාවතේ ජර්මන් බෞද්ධ ධර්මදූත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් වැඩ සිට අපවත් වුණා.   

 

සිරගෙදර සිටි ජෝ අබේවික්‍රමට ටයිටස් තොටවත්තගෙන් උපදෙසක්.   

 

ඇන්ඩෲ ජයමාන්න අසීරු දර්ශනයක් රූගත කරයි  

 

 

 


ඒ. ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්