එදා කොළඹ චණ්ඩි සිටි නෙයිනගෙ සූදුපිටිය තිබූ තැන


නෙයිනගෙ සූදු පොළ තිබූ ස්ථානයට ඇතුළුවන ස්ථානය

වත්තට පිවිසෙන මාර්ගය

නෙයිනගෙ සූදු වත්ත

මසන් ගස් හන්දිය

 

 

යටත් විජිත යුගයේ ඉපදී ලංකා පොලිසියේ සාජන් මේජර් තනතුරක් දැරූ ජෝන් කොතලාවල මහාවීර පුරුෂයෙකි. ඉංග්‍රීසීන් විසින් සිංහල දේශයේ ඉඩම් කොල්ලකා ඒ ඉඩම්වල වැඩකරන සිංහලුන් වහලුන් බවට සලකමින් සිටි වකවානුවක මෙතුමා ප්‍රසිද්ධ විය.  


ඉංග්‍රීසි පාලකයන්ට සිංහල වැසියෝ මහත් වූ බියක් දැක් වූහ. එසේම අසීමිත ගෞරවයක් දැක් වූහ. ඇතැමෙක් ඉංග්‍රීසීන් අදහාගෙන සිටියහ. ඔවුන්ගේ තාඩන පීඩන නිහඬව දුවමින් දුක්ඛිත ජීවිත ගත කළහ.  


එවන් වූ පසුබිමක දී පොලිස් සේවයට එක්වූ ජෝන් කොතලාවල කිසිදු භේදයකින් තොරව නීතිය අකුරටම ඉටු කළේය. විශේෂයෙන්ම දුප්පත් සිංහල වැසියන්ට අසාධාරණකම් කළ ඉංග්‍රීසීන්ට අපූරු හා මතක හිටින දඬුවම් දීමට ඔහු කටයුතු කළේය. කිසිවිටෙකත් කිසිදු බලපෑමකට බිය නොවූ කොතලාවලයන්ගේ ක්‍රියා සමාජය පුරා පැතිර ගියේය.  
සුද්දන්ට බියෙන් ජීවත් වූ සිංහල ජනතාව අවදි කිරීමට හඬ නැගූ අනගාරික ධර්මපාලතුමා පවා සිංහල පොලිස් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවලයන් ඉංග්‍රීසීන්ට දඬුවම් කළහැටි කියාපාමින් දේශනා කළ බව ඉතිහාස කතාවල කියවෙයි.  


සාජන් මේජර් කොතලාවල ඉංග්‍රීසීන්ට පමණක් නොව ආගම් ජාති භේදයකින් තොරව වැරදි කළ සැමට නිසි දඬුවම් දීමට නොපැකිළිව ඉදිරිපත් වූවේය. විශේෂයෙන්ම කොළොම්පුරයම භීතියට පත්කරමින් අයහපත සමාජගත කළ නෙයිනතම්බි ඇතුළු පිරිස අැල්ලීමේ සිද්ධිය අද සමාජයේද ප්‍රසිද්ධ කතාවක් බවට පත්ව ඇත්තේ එහි ඇති සිත්බැඳගන්නා සුළු බව නිසාමය.  


ජෝන් කොතලාවලයන් කළ අභීත ක්‍රියා නිසාම ඔහු එදා සමාජයට පෙනුණේ නැපොලියන් බොනපාට් කෙනෙකු ලෙසින්ය. ඒ නිසා එම නම කොතලාවලයන්ටද පටබැඳුණු බව අසා ඇත්තෙමු. 


කොතලාවල ඉතිහාසය 


ජෝන් කොතලාවලයන්ගේ මී මුත්තන් කොතලාවල නාමය ලද්දේ වීරකම් පදනම් කරගෙන බව ඉතිහාස පොත්වල සඳහන්ව ඇත.  


විශේෂයෙන්ම රාජසිංහ රජු සමයේ දී රජුට හිතවත්ව සිටි වික්‍රමසෙනවි ලද ගෞරව නාමයක් ලෙස කොතලාවල නාමය දැක්වෙයි. මීට හේතුපාදකවී ඇත්තේ කෝවිලක කොත අදෘශ්‍යමානව කඩා දැමීමේ අපරාධය වික්‍රම සෙනවි විසින් නතර කර දීමය.  


කිසිවෙකුටත් කළ නොහැකිවූ එම වීර ක්‍රියාව වික්‍රම සෙනවි නතර කළ හෙයින් ඊට ගෞරව නාමයක් ලෙස කොතලාවල නාමය රජු විසින් පිරිනමා ඇත. ඔහුගෙන් පසුව ඔහුගේ දෙවන මුණුබුරෙකුට මුකවෙටි තනතුරක් පිරිනමා ඇති අතර ඔහු දොළොස්වෙල කොතලාවල මුකවෙටි ලෙස ප්‍රසිද්ධව ඇත්තේය.  


වීර ක්‍රියා සමග පෙරට පැමිණි කොතලාවල පරපුරේ තවත් පුරුකක් ලෙස දොන් ආරොන් කොතලාවල හැඳින්විය හැකිය. ඔහු කළුතර තොටමුණේ නොතාරිස් ධූරයට පත්වූවේය. මොහුට පුත්‍රයන් අට දෙනෙක් වූහ. කොතලාවල පරපුරේ අභීත රණකාමීත්වය සනිටුහන් කරමින් ජන්මය ලද්දේ වැඩිමල් පුතු වූ ජෝන් කොතලාවලය.  


ජෝන් කොතලාවල


1864 උපත ලද ජෝන් කොතලාවල කුඩා කළ සිටම විප්ලවීය ගති ඇති දරුවකු වූවේය. කොළඹ රාජකීය ශාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල වලින් අධ්‍යාපනය ලද ජෝන් කොතලාවල පොලිස් සේවයට බැඳුණේය. 


සූදු පොළ වටලයි 


එම පොලිස් ජීවිතයේ දී සිදුකළ වීර ක්‍රියා අතරින් අදටත් කථාබහට ලක්වන නෙයිනතම්බිගේ සූදුපොළ වැටලීමේ රසබර මෙහෙයුම එදා සිදුවූයේ මෙසේය.  


1815 කන්ද උඩරට ගිවිසුමත් සමග ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූවේය. මුඩු ඉඩම් පනත යටතේ සිංහල වැසියාගේ ඉඩකඩම් රාජසන්තක විය. වතු වගාව ආරම්භ කළ අතර ඒවායෙහි සේවය සඳහා ඉන්දීය, ද්‍රවිඩ ප්‍රජාව මෙරටට ගෙන්වීය. භාණ්ඩ හා සේවා හුවමාරු ආර්ථිකය, මුදල් හුවමාරු ආර්ථිකයක් බවට පත්විය. මෙම වෙළෙඳ ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස මෙරටට විදේශීය මුස්ලිම් වෙළෙන්ඳෝ ඇදී ආහ.  


ඔවුහු මෙරට ප්‍රධාන වෙළෙඳ නගරය වූ කොළඹ වටා සිය වාසස්ථාන පිහිටුවා ගත්හ. එසේම ඉංග්‍රීසීන් හඳුන්වා දුන් සුරාව සූදුවල සමාජය අරක් ගත්තේය. එතුලින් ජනප්‍රිය වූ චරිතයක් ලෙස නෙයිනතම්බි හඳුන්වාදිය හැකිය.   


කොටහේන ආමර්වීදිය ග්‍රෑන්ඩ්පාස් පෙදෙසෙහි පිහිටි මසංගස් හන්දිය නෙයිනතම්බි ජීවත්වූ ප්‍රදේශය විය. එදා එය හඳුන්වන ලද්දේද නෙයිනගෙ සූදු වත්ත නමිනි. මෙහි වැඩ ආරම්භ වන්නේ රාත්‍රී කාලයටය.

   
සුදුවත්තේ පිහිටි විශාලම නිවස නෙයිනගෙ සූදු තිප්පොළ වූ අතර එහි බිම්මහලේ සූදුව ආරක්ෂා සහිතව කරගෙන යාමට පහසුකම් සලසා තිබිණි. නෙයිනතම්බිගේ සූදුපොළේ චණ්ඩියා වූයේ සේදවත්තේ ජෝන්ය. නෙයිනගේත් සූදුවේ නිරතවන මුදලාලිලාගේත් ආරක්ෂකයා වූයේ ඔහුය. යමෙක් පොලිසියට ඔත්තුවක් දුන්නොත් ඔහුට අතපය දිගහැර සැලකීම ජෝන් සතු රාජකාරියකි. නෙයිනාගේ ලොකුම හයිය ඔහු ඇති කරන එළුවාය. යමෙක් නෙයිනතම්බීට එරෙහිවී ද ඔහුට සිය අඟෙන් ඇන තුවාල කිරීම එළුවාගේ කාර්යභාරය වූවේය.  


කොළඹ ධනවත් මුදලාලිලා ඒකරාශී වන සූදුපොළට ළංවීමට පොලිසියත් බයය. ආණ්ඩුවට යහමින් මූල්‍ය හා සේවා සපයන මුදලාලිලාට එරෙහිවීමට ආණ්ඩුවත් අකමැතිය. මෙම නීතිවිරෝධී ජාවාරම නතර කිරීම සඳහා කෙදිනකහෝ කොන්ද පණ ඇති එඩිතර පොලිස් නිලධාරියකුගේ පහළවීම අත්‍යවශ්‍ය වූවේය.  


ඉංග්‍රීසි ආණ්ඩුවට භය නැති වරදට ඉංග්‍රීසීන්ට ද දඬුවම් දෙන ​ජෝන් කොතලාවල නම් පොලිස් නිලධාරියා මෙවන් වූ ප්‍රදේශයකට මාරුකර යවන්නේ එවන් වූ අපරාධ නතර කිරීම සඳහාය.  


එහි මුල් පියවර ලෙස කොතලාවලට සාජන් මේජර් තනතුරක් දී කොටහේන පොලිසියට මාරුකිරීම සිදුවූවේය. පළමුව ඔහු එම ප්‍රදේශ​යේ සාමකාමිත්වයට පටහැනිව සිදුවන අපරාධ පිළිබඳ සොයා බැළුවේය. එහිදී මෙපමණ කලක් පොලිසියටත් මට්ටු කරන්න බැරිවුණ නෙයින තම්බිගෙ සූදුපොළේ විස්තර ඔහු අතට පත්විය.  


ඔහු සූදු පොළ වැටලීමට පියවර ගත්තේය. ඒ අනුව ඔහු යටතේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් විශ්වාසවන්ත පිරිසක් තෝරාගෙන ඔවුන් මෙහෙයුමට දායක කරගත්තේය.  
උපක්‍රමයක් ලෙස කලිසමින් නොසැරසී සරම හැඳයාමට කල්පනා කළ කොතලාවල පොලිස් නිලධාරීන්ට ඇඳීමට සරම් ද හිස දවටා ගැනීමට ලේන්සු ද ලබා දුන්නේය. කොළඹ මුදලාලිලා ලෙස වෙස් මාරු කළ ඔවුන්ව නෙයිනාගෙ සූදුපොළට යැවිණ. ඔවුහු කිසිවෙකුටත් සැක නොහිතෙන පරිදි සූදු ක්‍රීඩාවේ යෙදුණහ. අනතුරුව සාජන් මේජර් ජෝන් කොතලාවල ද වෙස් මාරුකර ගත්තේය.  


සුදු වේට්ටියක් ඇඳ හිසට ජටාවක් බැඳගත් ඔහු නළලෙහි සින්දූර් ටිකකුත් ගා ගත්තේය. දෙමළ හෙට්ටියකු ලෙස සැරසුණේය. මුදල් මිටි කීපයක් පසුම්බියකට දමා ගත් ඔහු රික්ෂෝවකට නැග නෙයිනගෙ සූදුපොළ බලා පිටත් වූවේය.  


රික්ෂෝවෙන් බැසගත් කොතලාවලයන් සූදුපොළට ළංවූවේය. හොඳ සල්ලි කඳක් එන බව දැක සූදුපොළේ උන් සතුටු වූවේය. නෙයිනා නානා පැමිණ සුහදශීලීව අමුත්තා පිළිගෙන සූදුපොළ වෙත කැන්ඳාගෙන ගියේය.  


අමුත්තා දුටු නෙයිනගෙ එළුවා කලබල විය. අනතුරක් ළඟ එන බව ඌට ඉවෙන් මෙන් දැනිණි. එබැවින් වියරු වැටුණ එළුවා කොතලාවලයන්ට පහර දෙන්නට සැරසුණේය. නෙයිනා එය වළක්වා කොතලාවලයන් ඇතුළට රැගෙන ගියේය.  


සූදුපොළේ ප්‍රධානියා ජෝන් අයියා වූවේය. ඔහු සමග සෙල්ලම් කරමින් සිටියේ වෙස්ගත් පොලිස් භටයෝය. සෙට්ටියෙකුගේ වෙස්ගත් කොතලාවල ද සූදුවට එකතු වුණි. සූදුවේ දී පළමු අත ඔහු ජයග්‍රහණය කළේය. කේන්තියට පත් වූ ජෝන් අයියා ​කොතලාවල දෙස ඔරවා බලා නැගී සිටියේය. ගෝලයෝ ද ඒ සමගම කලබල වූහ.  


හෙට්ටි වෙස්ගත් කොතලාවල කාඩ් කුට්ටම හා සල්ලි රැගෙන නැගී සිටියේය.  


මම තමයි සාජන් මේජර් ජෝන් කොතලාවල ඔහු සිංහනාද කළේය. වෙස්වළා ගත් පොලිස් නිලධාරීහු ද ඔහුගේ සහායට නැගී සිටියහ. එම ස්ථානයේ සිටි සියලු මැරයන් යටත් කරගත් ඔහු ඊළඟට හැරුණේ ජෝන් නම් චණ්ඩියා දෙසටය.  


කෝපයට පත් ජෝන් පිහියකුත් අරගෙන කොතලාවලට පහරදීමට සැරසුණේය. කොතලාවල ඉක්මන් විය. රවුමක් කැරකුණු කොතලාවල ජෝන්ට වේගවත් පා පහරක් එල්ල කළේය. ජෝන් කපාලූ කෙසෙල් කඳක් මෙන් බිම ඇදගෙන වැටුණේය.  


​ෙම් සිදුවීම බලාසිටි එළුවා කොතලාවලයන්ට අනින්නට පැන්නේය. උගේ තියුණු අං දෙක අමෝරාගෙන කොතලාවලයන් වටේ කැරකුණේය. කීප සැරයක්ම එහා මෙහා යමින් එළුවාගේ ප්‍රහාර වැළැක් වූ සාජන් මේජර්වරයා පස්සට පැන එළුවාට පා පහරක් දුන්නේය. පා පහර කෑ එළුවා කෑ ගසාගෙන බිම ඇදවැටුණේය.  


මේ සිදුවීම් දරාගත නොහැකිවූ නෙයින තම්බි සිය පිස්තෝලය ඇද කොතලාවල දෙසට එල්ල කළේය.

  
කොතලාවල ක්ෂණිකව ඉක්මන්වී නෙයිනගේ පිස්තෝලය පත්තුවීමට පෙර ඔහුටද පා පහරක් දුන්නේය. ඔහුගේ අතින් පිස්තෝලය ගිලිහී ගිය අතර නෙයිනාද අඩපණවී බිම ඇදවැටුණේය.  


සියලුදෙනාම අත්අඩංගුවට ගත් සාජන් මේජර්වරයා ඔවුන්ට නීතිප්‍රකාරව දඩයට යටත් කළේය. එහිදී නෙයිනට රුපියල් 1000 කුත් අන් අයට රුපියල් 10 බැගිනුත් දඩ නියම විය. එම යුගයේ හැටියට එය විශාල මුදලකි. නෙයිනා ඇතුළු කීපදෙනෙක් දඩ මුදල් ගෙවූ අතර හත් දෙනෙකුට දඩ ගෙවීමට නොහැකිවිය. එම දඩ මුදල් ගෙවන ලද්දේද සාජන් මේජර් කොතලාවලමය.  


පසුව අපරාධකරුවන් පිරිස කෙසෙල් පිට්ටනියට රැගෙනවිත් ඔවුනට නැවත මෙවැනි නීතිවිරෝධී ක්‍රියා නොකර සිටින ලෙසට අවවාද කළේය. එදායින් පසු නෙයින තම්බිගේ සූදු පොළ නැවතුණේය.  


මෙයට වසර ගණනාවකට පෙර නෙයිනා තම්බිගේ පිහිටි ස්ථානය සොයා අප ගියේ අද එම ස්ථානය ඇති අන්දම දැක බලා ගැනීමටය. එහිදි ආමර්වීදිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින බී.ඒ. මුනිදාස මහතා අපට උදව් කළ අතර එහිදී ඔහු පැවසූ වදන් මෙසේය.  

 

 


ඩී.ඒ. මුනිදාස  


මැසෙන්ජර් වීදියයි පරණ යෝන් වීදියයි මැද තමයි නෙයිනගෙ සූදුවත්ත පිහිටලා තිබුණේ. කාලයක් ඔය වත්තට සූදු කාමර වත්ත කිව්වට ඊට පස්සේ මම්ම රොෆ්ගෙ වත්ත කිව්වා. ඊට පස්සේ ඒ වත්ත තිබුණ පාර මසංගස් වීදිය කියලා හැඳින්වූවා. ඊටත් පස්සේ එය මැසෙන්ජර් වීදිය විදියට හැඳින්නුවා. දැන් එය ලෆීර් මාවත කියලා හඳුන්වනවා.  


ඔය නෙයිනගෙ කතාවෙ සඳහන් වන නෙයිනා මරික්කාර් රැකියාවක් කළේ නෑ. ඔහුගේ එකම රැකියාව තමයි සූදුපොළ. ඒක කරගෙන යන්න උදව් කළේ සේද වත්තේ ජෝන්. ජෝන් හරි චණ්ඩියා, සූදු පොළට කොළඹ ලොකු ලොකු මුදලාලිලා ගෙන එනවා. කවදාවත් පොලිසියට හසුවෙලා නෑ.  


ඒ සූදුපොළ තිබිලා තියෙන්නේ නෙයිනගෙ සූදු තිප්පලේ බිම් මහලක. දොර ළඟ ආරක්ෂාවට එළුවා ඉන්නවා. සැක කරන කෙනෙක් ආවොත් එළුවාගෙන් නම් බේරෙන්න බෑ. රෑට තමයි සූදුව පටන් ගත්තේ.  


මේ කාලේ කොටහේනේ පොලිසියට අලුත් සාජන් මේජර් කෙනෙක් ආවා. නම කොතලාවල. පොලිසියේ කීපදෙනෙක් එක්ක වෙස්වළාගෙන ඇවිල්ලා තමයි නෙයිනයි සූදු කෙළපු අයයි අල්ලාගෙන තියෙන්නේ. ඊට පස්සේ හැමෝම කෙහෙල්වත්ත පාර්ක් එකට අරගෙන ගිහින් දඩ ගහලා.  


ඒ දඩ ගෙවලා තියෙන්නෙත් කොතලාවල මහත්තයා.  


සූදුපොළ නම් එතනින්ම නැවතුණා. ඊට පස්සේ නෙයිනා කළේ මොකක්ද කියන එකනම් මතක නෑ.   


නෙයිනගෙ සූදුපොළ වැටලීම කොතරම් ප්‍රසිද්ධ වූවාද කියතොත් එම සිදුවීම අළලා දයානන්ද ගුණවර්ධනයන් විසින් මධුර ජවනිකා නම් වේදිකා නාට්‍යය නිර්මාණය කෙරිණි. ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි මහතා සහ ප්‍රවීණ නිළි අනුලා බුලත්සිංහල මහත්මිය විරිදු ගායනයකින් එහිදී සිද්ධිය විස්තර කරති.  


මෙවන් වූ වීර ක්‍රියා සාජන් මේජර් කොතලාවලගේ චරිත කතාව තුළ ඕනෑ තරම් ඇත.  


කොතලාවල පොලිස් සේවයට සමුදෙයි  


කොතලාවලයන් විවාහ වී සිටියේ කලකදී මිනිරන් රජා ලෙස විරුදාවලි ලත් ආටිගල මහතාගේ දියණියකවූ ඇලිස් ආටිගල සමගය. ඔවුනට දරුවන් තිදෙනෙක් වූහ. ජෝන් ලයනල් කොතලාවල වැඩිමල් දරුවා වූ අතර ජස්ටින් කොතලාවල හා ප්‍රීඩා කොතලාවල අනිත් පුතා හා දියණියය.  


පොලිස් සේවයෙන් එතුමා සමුගත්තේ මුඩ්ලියර් ආටිගල මලාලියර් මහතාගේ මරණින් පසුය. ආටිගල මහතාගේ වතුයායේ කළමනාකාර ලෙස කටයුතු කළ කොතලාවලයන්ට සිය මවගේ වතුපිටිද කළමනාකරණය කිරීමට සිදුවිණි. වගකීම් රාශියක් සිය උර මතට ගත් කොතලාවලයන් ලංකා ජපාන වෙළෙඳ සහයෝගීතා සමාගම පිහිටුවා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජපානයට යාමට සිදුවිය.  


ජපානයේ සිට ආපසු පැමිණි කොතලාවලට තවත් බරපතළ චෝදනාවකට මුහුණදීමට සිදුවිය.  


ඒ ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල මරාදැමීමේ චෝදනාවට ලක්වීමය. එහි අවසානය වූයේ මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණීය දණ්ඩනය හිමිවීමය. කොතලාවලයන් නීතියට අනුව මරණීය දණ්ඩනය දීමට පෙර සියදිවි හානිකර ගත්තේය.  


අභීත පොලිස් නිලධාරියකු දක්ෂ ව්‍යාපාරිකයකු ලෙස ජනාදරයට පත් කොතලාවලයන් ජීවිතයේ එක් සන්ධිස්ථානයකදී ගත් වැරදි තීරණයක් නිසා එවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරුවූවේය. කෙසේ වුවද ඔහු පොලිස් සේවයේ සිටිය දී මෙරට ජනතාව වෙනුවෙන් කළ අභීත ක්‍රියා අදට ද ජනප්‍රියව ඇත්තේය.  


නෙයිනගෙ සූදු වත්තේ අද තත්ත්වය  


මැසෙන්ජර් වීදියටත්, ගල්වල පාරටත් මධ්‍යයේ නෙයිනා මරික්කාර්ගේ සූදුපොළ පිහිටා තිබූ අතර එම ඉඩමේ තිබූ නිවාසවලට පොලිසියටවත් ළඟාවිය නොහැකි තත්ත්වයක පැවතිණ. එහෙත් කොතලාවලගේ අභීත ක්‍රියාව නිසා භීෂණය තුරන් වූ බැවින් අවට ජනතාව නිවාස සාදාගනිමින් වත්තේ පදිංචි වූහ.  


අද වන විට එහි දක්නට ඇත්තේ මහල් නිවාස සංකීර්ණයකි.  


මැසෙන්ජර් වීදියේ ඇති කඩපෙළ අතුරින් කුඩා පාරක් එම වත්තට ඇතුළුවීම සඳහා භාවිතයට ගැනේ. ඉන් ඇතුළුවනවාත් සමගම පෙනෙන මහල් සංකීර්ණයේ ඇති නිවෙස්වල ප්‍රමාණයට වඩා විශාල තනි නිවසක් දක්නට ඇත. එම ස්ථානය එදා නෙයිනගෙ සූදුපොළ පැවති ස්ථානය බව මහල් සංකීර්ණයේ ජීවත්වන පිරිස් පැවසූහ.  


මැද කොළඹ ආසනයට අයත් වන මෙම ප්‍රදේශය දේශපාලන අතින් ද තීරණාත්මක සාධකයක්ව ඇත්තේය. එනම් එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක ශාඛාව පිහිටුවීම සිදුවන්නේ ද මෙම ප්‍රදේශයේය.  


ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේද මෙම ආසනයෙන්ය. එසේම රටක් හඬවමින් ප්‍රේමදාස ජනාධිපතිවරයා සමුගන්නේ ද මෙම ආසනයේදීමය.


තොරතුරු ලබාදීමට උපකාර කළ එම ප්‍රදේශයේ ජනතාවට ස්තූතියි

 

සටහන - කුමාරි හේරත්  
ඡායාරූප - චානුක කුලසේකර