එංගලන්තේ මහ රැජිණටත් බීරලු රේන්ද යැවූ ගාල්ලේ කාන්තාවෝ


ගංදුව , කුවේනිදුගේ දුව, රෙන්ද කොට්ටය නම් ස්ථානය හා දූපත

 

 

සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ... ගීතය ඈතින් ඇසේ. ඈත මුහුදේ සිට ගාල්ල වරායට ඇදෙන නැව් කිහිපයකි. ගාලු කොටු පවුරේ තැන තැන රේන්ද ගොතන ලියෝ අගනේය. අප කුඩා කාලයේ දැක නැති නමුත්, මාර්ටින් වික්‍රමසිංහ ගත්කරුවාගේ පොතපතෙන් හා වෙනත් පොතපතෙන් ද දැනගත්තේ රේන්ද ගෙදර පිළිබඳවයි. අත්දිගට හැට්ට අඳින මේ ලියන් ගොතන්නේ බීරළු රේන්දයි. Galle lace හෙවත් මාගාල්ලේ බීරළු රේන්ද කර්මාන්තය අදවන විට ලංකාවේම පවත්වාගෙන යන්නේ මාගාල්ල හා දකුණු පළාතේ තවත් ප්‍රදේශ කිහිපය පමණි.   


මේ රේන්ද ගොතන කතුන් මෙන්ම ගෙත්තම් කරන රේන්ද ද සුන්දරය. ගෙත්තම් කරන්නේ ජීවන අරගලය ජය ගන්නටය. දෙස් විදෙස් සංචාරකයන් හා වැඩිදෙනෙක් විදෙස් සංචාරකයන්ගේ අවධානයට යොමුව ඇති කර්මාන්තය සත්තකින්ම අනාදිමත් කාලයක සිට පවත එන්නකි.   


Galle lace හෙවත් දකුණු පළාතේ, බීරළු රේන්ද කර්මාන්තයේ නියලෙන ජීවිතය ජය ගන්නට අගරලයක නිරතවන දිරිය කතුන්ගේ කතාන්දරය රේන්ද මෙන් කලාත්මක නොවන අවස්ථාද ඇත. එනම්, රේන්ද මෙන් අත්කම් ලියකම් මෙන් රේන්ද වියන කුවේණියගේ දියණියන්ගේ ජීවිත ලස්සන නැත. සමහරු නම් දන්නවාත් ඇති. සමහර අය දන්නේ නැතිවත් ඇති. ඒත් ගැහැනු ළමයි නම් දන්නවා. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වෙරළාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි මේ රේන්ද කර්මාන්තය.   
ගාල්ල මාගාල්ලේ වයි. මානවඩු මහත්මිය (70) දැනට ලංකාවේ සිටින බීරළු රේන්ද ගෙත්තම් කරන රුහුණේ සිටින ජ්‍යෙෂ්ඨතම පුරවැසි කාන්තාවයි. ඇය අප සමඟ මෙසේ පැවසුවාය.   


“මගේ වයස අවුරුදු 70යි. මාගාල්ලෙන් තමයි ලංකාවේ රේන්ද බීරළු ඇතිවෙලා තියෙන්නේ. යටත් විජිත කාලයේ මේ රස්සාව ඇවිත් තියනවා. මාගාල්ල ගමේ ඇත්තෝ එංගලන්ත මහරැජිණිටත් රෙන්ද බීරළු නැව් මාර්ගයෙන් යවා තියනවා. එංගලන්ත රැජිණිගේ සාරි, හැට්ට, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, ගවුම් රෙදි, බුමුතුරුණ, අත්පිස්නා, බිත්ති සැරසිලි, විසිතුරු කාමරය සරසන රෙදි, දවටන, ආහාරපාන වසා තබන අසුරා තබන රෙදි, තුවා, වීදුරු කෝප්ප දවටන, බහාලුම් දවටන ආදියද එදා සිට අද දක්වාම සකස් කරනවා.   
මම මගේ දුවයි පුතයි දෙන්නාම මේ රස්සාවට හුරුකර තියනවා. මේ දෙන්නා අද නවීන තාක්ෂණය ඇතිව දෙස් විදෙස් ගනුදෙනුකරුවන්ට හා රැජිණගෙන් පැවැති එන ඥාතීන්ටද බීරළු රේන්ද අලෙවිකරනවා. දැන් ටිකක් සුද්දෝ අඩුවක් තියනවා. නමුත් සමහර දිනවල නම් ගනුදෙනුකරුවෝ වැඩියි.   


බීරළු සමඟ සකස්කර ගත් සාරි හැට්ට, බ්ලවුස්, කමිස, මේස රෙදි, අත්පිස්නා රේන්ද, නිෂ්පාදන, ටේබල් මැට් ආදී සියලුම දේ අපි මේ ගමේ නිෂ්පානය කරනවා. ගනුදෙනුකරුවන්ට වෙළෙඳසල් පහසුකම්ද මිලදී ගන්නට පහසුකම් ද, දැකගන්ට නිරීක්ෂණය කරන්නට ඉගෙන ගන්නට ද පහසුකම් සපයා තියනවා. ගමේ විශාල පිරිසක් මේ රස්සාව සිදුකරනවා. කෑලි ගණනට විකුණවා. සමහර අය අපටත් විවිධ රේන්ද බීරළු නිෂ්පාදන ලබාදෙනවා.   


මේ කර්මාන්තය මෙම ගම්මානයේ පටන් අරගෙන අවුරුදු සිය ගණනක් වෙනවා. අපේ මහත්තයාත් කර්මාන්තය දැනගෙන කර්මාන්තය කළා. එයාගේ අම්මලා තාත්තලා මේ රස්සාව කර තියනවා. ඒ අයගේ අම්මලා තාත්තලා ද මේ රේන්ද බීරළු කර්මාන්තයේ නිරත වූ පිරිස් තමයි පරම්පරාවක් නොවෙයි පරම්පර ගණනාවක පිරිස් මේ කර්මාන්තය සමගින් එක්ව මේ ගමේ සිටින පිරිස් ඇවිත් තියනවා.   


අලුත් පරපුර මේවාට එන්නේ නෑ. එන පිරිස් මෙහි රැදෙන්නේ නෑ. ගාමන්ට් යනවා ගැණු ළමයි. නමුත්, මෙහි රැඳී සිටියොත් ඉහළ ආදායම්ක් ලබා ගත් හැකියි. කර්මාන්තය ද ආරක්ෂා වෙනවා. මෙයට ප්‍රචාරයක් නැතිකම, නූල් හා රෙදිවල මිල ඉහළ යෑම, ශ්‍රම හිඟකම, රාජ්‍ය මැදිහත් නොවීම, අනුග්‍රහයක් හෝ දැවන්ත ප්‍රචාරයක් ලබානොදීම නිසා ගැටලු තියනවා.   


අපේ අම්මාත් මේ රස්සාව කළා. අම්මාගේ අම්මා ආතම්මා ද මේ රස්සාව කළා. රේන්ද මළු පිටින් සුද්දන්ට ගිහින් දී තියනවා. ඔරියන්ටල් හොටලයටත් රේන්ද විකුණලා තියනවා. අපේ ගමේ ඇත්තෝ විදේශිකයන් දන්න පිරිස් ගාල්ලට ආවොත් රේන්ද නිෂ්පාදන ගන්න එන්නේ මාගල්ලට. මාගාල්ල ලංකාවේ රේන්ද නිෂ්පාදනය කරන ගම් අතර පැරණිතම ගම. ලෝකයේ මේ ගම ජනප්‍රියයි.   


අත්කම් නිෂ්පාදන ඉතාම කලාත්මකයි. කලාත්මක බව, සංයමය, රිද්මය, කාත්තාවන්ගේ මොලොක් බව, විනීත බව, නිවිච්චකම, සකසුරුවම සියල්ලම රේන්දයට එක්වුණාම මිලත් වැඩියි. ලස්සනයි. සුන්දරයි ඇය කියන්නීය.   


රේන්ද නිපැයුම් සම්බන්ධයෙන් සම්මාන සහතික හා දෙස්විදෙස් සම්මාන ජනාධිපති සම්මාන ද අපේ ගමේ මාගාල්ලේ කාන්තාවෝ අරගෙන රේන්දවලින් කප් ගහලා තියනවා යැයි”, ද ගාල්ල මාගාල්ලේ වයි. මානවඩු මහත්මිය(70) කීවාය.   


ගාලු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. එය පෘතුගීසීන් විසින් මීට වසර 600කට පෙර ගාල්ල අවට ප්‍රදේශයේ හඳුන්වා දුන් අතර ගාලු වරාය මූලික කරගෙන ලොව නන් දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත්කර ඇත.   
රේන්ද බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් ලෙස පැවතුනත් දැන් නම් එය නැතිවී යන තත්ත්වයටම පත්ව ඇත. බීරළු රේන්ද කලාව උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි. මේ සඳහා ලීයෙන් සැදූ රෙදි පුරවා සකස් කර ගත් “රේන්ද කොට්ටය” නම් වූ රේන්ද නිර්මාණය කරන කොට්ටය යොදා ගනී. එහි සිලින්ඩර හැඩයට ලීයෙන් සෑදුව (කොයිරුව නමින් හඳුන්වයි) ඇති අතර එයට ද රෙදි අල්ලා පුරවා ඇත. රේන්ද මෝස්තරය ප්‍රස්ථාර කොළයක පැන්සලකින් අඳින අතර එය යටින් කාඩ්බෝඩ් පටියක විදිය යුතු තැන් ඇල්පෙනෙත්තකින් සිදුරු කරමින් සකසා එය පෙර සඳහන් කළ සිලින්ඩරය මත ඇල්පෙනෙති මගින් අමුණනු ලබයි. (ඡායාරූප දසුන් බලන්න මැනවින් පැහැදිලි වෙයි.)   
මේ අනුව, කාඩ්බෝඩය එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) ලෙස හඳුන්වයි. එහි ඇල්පෙනෙති නියමිත තැන්වල සවි කර එම ඇල්පෙනෙති වටා බීරළු වටා එතූ නූල දමා එම බීරළු එහා මෙහාට එම ගොතන කොට්ටය මත විසිකරමින් මනා වූ නිර්මාණයක් සිදුකරයි. එය අතිවිශිෂ්ඨ වියමනකි. මේවායෙන් තවමත් ගොතනු ලබන්නේ පෘතුගිසීන් හඳුන්වා දුන් එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) ම පමණක් වීම විශේෂිත කරුණකි. මේ අච්චු සඳහා ගාල්ලේ නැතිනම් මාගාල්ලේ විවිධ නම් භාවිත කරයි. ඒ සඳහා යොදා ගන්නා බීරළු ප්‍රමාණයන් ද වෙනස් වේ.   


එයින් කිහිපයක් පහත දැක්වේ. මේවා එස්බිසලය නැත්නම් කොයිරු මෝස්තර ලෙසද කියයි. සැලැක්කය - බීරළු කුට්ටම් 08 නුල් පෙත්ත - බීරළු කුට්ටම් 15 කොරදම බීක්කුව, බීරළු කුට්ටම් 12 ආදී වශයෙන් ආසන්නව 25-30 පමණ ඇත. මේ එස්බිසලයේ ඇල්පෙනෙත්තිය සවිවන ස්ථානය ගැන මනා වූ මතකය ද අත්‍යවශ්‍ය වේ. ඇල්පෙනෙත්තක් වැරදුනහොත් මුළු රේන්දය වරදිනවා යැයි, වයි. මානවඩු මහත්මිය කීවාය. ඒ නිසා මෙය සාත්තරයට සූත්තරයට කළ යුතුව ඇත. එහෙත් වර්තමානයේ නම් රේන්ද කලාව අභාවයට යමින් පවතී. පරම්පරාවෙන් මේ දේ රැගෙන යන්නේ ඇත්තටම පිරිස එතරම් වැඩිනොවන්නේය.   


ජීවන අරගල සඳහා ගෙත්තම් කරමින් පන්නරය දෙන දිරිය දියණියෝ දිරියක් නැතුව සිටින්නීය. අරගලවලට අතපොත් තබා රට අල්ලන්නට ආණ්ඩු පෙරළන්ට අරගල කරන මැති ඇමැති ඇත්තෝ ජීවත්වන්ට මිනිසුන්ට අතහිත දෙන්නේ නැත. ඒ මේ නිර්මාණවලට යහපත් වෙළෙඳපොළක් නැති හේතු නිසාවෙනි. ඔවුන් වෙනත් රැකියා කරා යොමුවීමත් තවත් හේතුවක් වී ඇත. සමහර රටවල මේ බීරළු හා ලේස්වලට තවමත් හොඳ ඉල්ලුමක් ඇත. එහෙත් මීට වඩා පෞද්ගලික අංශයෙත්, රාජ්‍ය අනුග්‍රහයත් නොමඳව ලැබුණොත් එයින් දිවි රැකගන්නා දකුණේ පවුල් සම්භාරයකට හොඳ අනාගතයක් ඇති කිරීමට අනිවාර්යෙන්ම හැකි වේ.   


දැන් නම් මේ රේන්ද යොදා ගෙන කරන්නේ නව නිර්මාණ. ඒ කියන්නේ පුටු කවර, මේස රෙදි , සාරි, ලේන්සු, ජනෙල් රෙදිවල වාටි, කාන්තා ඇඳුම්වල වාටි සඳහා යොදා ගනු ලබයි. නව තාක්ෂණය, නව අදහස්, කාලීන නිර්මාණ හා වෙළෙඳපොළේ අවශ්‍යතාවන් ආදිය සැලකිල්ලට ගෙන මේ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ලාභ ගෙනෙන, යොවුන් උදවිය ඇද බැඳ තබාගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙන බව නම් අනිවාර්යයි.   


මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැම නව කතාවකම හා දැනට සිනමාවට නැඟී ඇති ගම්පෙරළිය, විරාගය හා කළුවර ගෙදර නිර්මාණයන්හි පවා මේ බීරළු ගෙතීමට මුල් තැනක් දී තිබුණු බව එම පොත්පත් කියවන විට දැකගත හැකිය.   


පෘතුගාලයෙන් ගලා ආ රේන්ද කලාව රෙන්ද මෙන් දිගු ඉතිහාසයක් තිබේ.   


1505 වර්ෂයේදී පළමු යුරෝපීය සංක්‍රමණය ආක්‍රමණයක් සංස්කෘතිකව සිදුකරන ලද පරිවර්තනය දැඩිව සමාජය වැළඳ ගැනීමට සමත් විය. වස්කෝද ගාමා ඇතුළු මෙම සංක්‍රමණිකයන්ගේ අරමුණ කුළුබඩු, මුතුමැණික් සොයා පැමිණීමත්, කිතුණු ආගම ව්‍යාප්ත කිරීමත් වූ අතර එකී තත්ත්වය ජනතාගත වීමට ගතවූයේ ඉතාම කෙටි කාලසීමාවකි. භාෂාව, ආහාරපාන, ඇඳුම්පැළඳුම් විෂයෙහිලා සිදු වූ මෙම විපර්යාසය වෙරළබඩ දිවිගෙවන අනාර්යය සිංහල ගැමි සම්ප්‍රදායට සිදුකළේ මහත් බලපෑමකි.   


පාරම්පරිකව රැකගෙන ආ කුල සිරිත් සම්ප්‍රදාය, පෙරදිග ක්‍රම, විලාසිතා අතර වෙනස් වුවද මෙම බටහිර පන්නයේ යුරෝපීය සංස්කෘතික ඌරුව ඉක්මනින්ම වැළඳ ගැනීමට මෙම වෙරළබඩ ජනතාව දැක්වූයේ ඉමහත් ඇල්මකි. මූලිකවම ආගම පසුව ඇඳුම් පැළඳුම් ඉන්පසුව භාෂාව සහ සංස්කෘතික උපාංග යුරෝපීයකරණය තුළට ගාල් වීම අනුපිළිවෙළින් සිදුවිය. මේ ආකාරයෙන් ලංකාවේ බීරළු රෙන්ද කර්මාන්ය ආරම්භ විය.   


රේන්ද කලාවේ නියුතු දැනඋගත් වැඩිමලුන් විශ්වාස කරන අන්දමට බීරළු රේන්ද කලාව පෘතුගීසි ආගමනයත් සමඟම මෙරට ජනප්‍රිය විය. එය ක්‍රමිකව දකුණු පළාත ආශ්‍රය කරගෙන ප්‍රචලිත වූ අතර නූතනයේ ද රේන්ද කලාව විෂයෙහිලා ඉතා ජනප්‍රියත්වයක් උසුලනු ලබන්නේද දකුණු පළාතයි. පහතරට වෙරළබඩ කලාපය තුළ දිවිගෙවන මෙම මිනිසුන්ගේ ඇඳුම්පැළඳුම් හැඩකරන මෙම රේන්ද කලාව පසුකාලීනව කුලීන පරම්පරාවන් වෙත ද ක්‍රමිකව විකාශනය විය.   


දුප්පත් පවුල්හි බිරින්දෑවරුන් සහ දූවරුන් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේම නිර්මාණයක් වූ මෙම රේන්ද කලාව මෝස්තරයක් ලෙස පසුකාලීනව උඩරැටියන් අතරද ප්‍රචලිත වූහ. පහතරට වෙරළබඩ විසූ ඉහළපෙළ කුල කාන්තාවන්ගේ කාල වේලාව මෙම රේන්ද විවීමත් සමඟම බැඳී පවතී. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ‘ගම්පෙරළිය’ සහ ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන ලද ‘කඩුල්ල’ යන ඵෙතිහාසික නිර්මාණයන් හි ද මෙම රේන්ද වියන දකුණු ලක වෙරළබඩ කුල කාන්තාවන් දක්නට ලැබේ. එය එතරම්ම ජනප්‍රිය කර්මාන්තයකි. ස්වයං නිර්මාණයකි. සත්තකින්ම මනාවූ කලාවකි.   


විවිධ වූ හැඩතල මෝස්තර සහ කැටයම්වලින් අනූන වූ මෙම රේන්ද කලාව අද වනවිට කළුතර සිට මාතර දික්වැල්ල දක්වා ඇති වෙරළබඩ කලාපය තුළ ව්‍යාප්තව පවතී. මෙම රේන්ද විවීම වෙනුවෙන් ගොඩනැගෙන පාරම්පරික පවුල් බොහෝමයකි. දියණියන් සහ බිරින්දෑවරුන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර පවුල්වල බිරින්දෑවරුන් ද මෙම රේන්ද විවීමේ කලාවට සහජ දක්ෂතා දක්වයි. ඵෙතිහාසිකව විකාශය වූ මෙම රේන්ද කලාව පිළිබඳව ගොඩනැගී ඇති ජනශ්‍රැතික සාධකද පවතී.   


එනම් විජය රජු ලක්දිවට සපැමිණෙන මොහොත වනවිට කුවේණි විසින් ගොතන ලද්දේ මෙම රේන්ද රටා වියමනක් බවයි.   


එකල යක්ෂ ගෝත්‍රිකයන් බහුලව වාසය කරන්නට යෙදුණේ දක්ෂිණ දේශයේ බවත් එසේම කුවේණියගේ ජනාවාසය දකුණු වෙරළබඩ පැවති බවත් විජය රජු ගොඩබැස තිබුණේ දකුණු වෙරළට බවත්ය.   

 

ගාල්ල මාගාල්ලේ වයි මානවඩු මහත්මිය (70)

 


මෙම ජනශ්‍රැතික කරුණු හා ගැළපෙන භෞතික සාධක අතර එදා කුවේණිය විසින් වියමින් තිබූ රේන්දය සඳහා භාවිත කළ රේන්ද කොට්ටය අදට ද (ගල් නිමැයුමක්) හබරාදූව අහංගම ගොවියාපාන වෙරළබඩ සමීපයේ දක්නට ඇති බවයි. ඔවුන් එය හඳුන්වන්නේ යක්ෂණියගේ කොට්ටය ලෙසයි. යකින්නගේ දුව මේවන විට සයුරුමා හෝටලය අසල මහ මුහුදේ අදටත් දැකිය හැකිය. යකිනියක් සිටින බවද ගොවියාපාන ගැමියෝ අදටත් කියන අතර රේන්ද කොට්ට ද තවත් ගලක සිදුරකින් ඈත මුහුද දෙස  ලංකර බැලිය හැකි බැව්ද කියති. මේ සුවිශේෂ ස්ථානය කිසිවෙකුගේ හිරිහැරයක් සිදුවන්නට ඉඩ නොදී ආරක්ෂා කරන්නේ ලයනල් ඉපලවත්ත මහතාය. (හබරාදූව එජාප හිටපු සංවිධායක වත්මන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක).   


එහි අවසාන නිගමනය වූයේ පෘතුගීසීන් පැමිණීමටත් පෙර සිටම අප රටට උරුම වූ රේන්ද කලාවක් නොඑසේ නම් මෝස්තර කලාවක් පැවති බවට කරන සේයාවක් නොවේ ද, අදට ද සමහර කෙම්මුර දිනවල මහ කළුවරේ ගිනි හට්ටියක් හිසමත දරාගෙන යකින්නගේ දූපතේ නැතිනම් රේන්ද කොට්ටය සහිත දූපතේ දැකිය හැකි බැව් අදට ද ගොවියාපාන ගමෙහි වැඩිහිටියෝ පවසති.   


රේන්ද විවීම සඳහා භාවිත කරනුයේ මැෂිමක් වැනි උපකරණයකි. එය රේන්ද කොට්ටය ලෙස හඳුන්වන අතර මේ සඳහා කපු නූල් භාවිත කරයි. නූතනයේ මෙම නූල විදෙස් රටවලින් ආනයනය කිරීම සිදුවේ. මෙම රේන්ද කොට්ටය මත සවිකරන ලද කුඩා බැරලයක් වැනි කරකැවෙන රෝදය ඉහළ නූල් එකිනෙක පිළිවෙළට තබා පසුව අවශ්‍ය රටාවට අනුව කටු (ඇල්පෙනිති වැනි යමක්) අමුණා ගනී. මෙම කටු අදාළ මෝස්තරයට අනුව අමුණා ගැනීම සිදුවේ. අදාළ මෝස්තරය බොහෝ විට කුඩා බැරලය මත සටහන් කර ගැනීම වඩා පහසුදායී වේ. මෙම නූල් ඔතා තබන කුඩා ලී කොටය බීරළු ලෙස හඳුන්වන අතර එය ඉතා අලංකාර ලෙස සකසයි. මෙම රේන්ද විවීමේ කලාව ඉතා සූක්ෂමව සහ මනා සංයමයකින් යුක්තව සිදු කළ යුතු අතර මෙම කලාව නිවැරදිව ප්‍රගුණ කර ගැනීමට මාස 10 කට වඩා කාල සීමාවක් අවශ්‍ය වේ. මෙම මෝස්තර නිර්මාණය කිරීමේ සංකල්පීමය අදහස් කාන්තාවන්ට උරුම වූ ආවේණික ලක්ෂණයකි. එනිසා අද වනවිට මෙම රේන්ද කලාව තුළ කාන්තා නියෝජනය පමණක්ම වේ.   


රේන්ද කර්මාන්තය වෙළෙඳාමක් ලෙසද ආදි කාලයේ සිට ඉතා ජනප්‍රිය වී ඇත. හුවමාරු ක්‍රමය යටතේ මෙම රේන්ද උඩරැටියන් අතරට පත්විය. ඉංග්‍රීසි ආධිපත්‍යයට උඩරට නතුවීමත් සමඟ එහි දිවි ගෙවූ ඉහළපෙළ ඉංග්‍රීසි කාන්තාවන්ට රේන්ද මෝස්තර අළෙවි කිරීම සිදුවිය. ඔවුන්ගේ බොහෝ ඇඳුම් ආයිත්තම් හැඩ කිරීමට මෙම රේන්දය යොදා ගැණුනි. පහතරට ඉතා ජනප්‍රිය වූ හැට්ටය නොඑසේ නම් කබා කුරුත්තුව අලංකාර කළ මෝස්තරය වූයේ රේන්ද වැලයි. කර වටා සහ අත් වටා ගෙතෙන වාටිය අමුණා ඇති මෙම රේන්ද මෝස්තර ඉතා ජනප්‍රිය සාධකයක් වූ අතර පහතරට උසස් කුල කාන්තාවන්ගේ ඇඳුමට එය අත්‍යවශ්‍ය අංගයක් විය.   


රේන්ද කලාව යුරෝපීය රටවල් අතර ජනප්‍රිය මෝස්තරයක් වෙයි. මෙම රේන්ද විවීම තුළ පෘතුගාලය කැපී පෙනේ. අද වෙනවිට මෙම රේන්ද කලාව ඔවුන්ගේ පාසල් විෂය ධාරාව යටතේ දුවාදරුවන්ට හැදෑරීමට අවස්ථාව සැලසී තිබේ. පෘතුගාලය විසින් සෙසු යුරෝපීය රටවල් වෙත අපනයනය කරනු ලබන රේන්ද ඉතා ඉහළ මිලක් යටතේ පවතී. එසේ වුවද ලංකාවේ මේ සම්බන්ධව පවතින්නේ ශෝචනීය තත්ත්වයකි. පාසල් විෂයෙන් මේ කර්මාන්තයට ඇති ඉඩක් නැත.   


කලක් දේශීය අත්කම් නිර්මාණ වෙනුවෙන් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය රේන්ද කර්මාන්තය නගාසිටුවීමට ඉමහත් දායකත්වයක් දැක්විය. නමුත් නූතනයේ මෙම සාම්ප්‍රදායික රේන්ද කලාව හස්ත කර්මාන්තයන්ගෙන් ඔබ්බට ගිය විද්‍යුත් තාක්ෂණික උපකරණයන් සමඟ බද්ධ වී තිබේ.   


මෙමඟින් සිදුව ඇත්තේ සාම්ප්‍රදායික රේන්ද කලාව මගින් පෝෂණය වූ කර්මාන්තකරුවන් බිඳ වැටීමයි. එයට හේතුව බාල වර්ගයේ නූල් සහ සීමිත මෝස්තර ප්‍රමාණයකින් නිර්මාණය කරන ලද රේන්ද තොග වශයෙන් ඉතා අඩු මිලට ගැනුම්කරුවන් අතට පත්ව තිබීමයි. රෙන්ද සඳහා භාවිත නූල් පවා ආනයනය කිරීම අධික වියදම් ගෙනදෙන කටයුත්තකි. මෙම නිසා වෙරළබඩ කලාපය තුළ ග්‍රාමීය ජනතාව විෂයෙහි ලා ජනප්‍රිය රේන්ද කලාව නූතනයේ ඉතා සීමිත පිරිසකගේ නොවිධිමත් ජීවනෝපාය මාර්ගයක් පමණක්ම බවට පත්ව ඇති බව දැක ගත හැකිය. අද තරුණ යුවතියෝ මේ කර්මාන්තයට අත ගසා ඇතිසේය. එය සත්තකින්ම අගය කළ යුතුවන්නේය.   


බීරළු රේන්ද කලාව මෙරට වෙරළබඩ ජනතාවගේ සංස්කෘතිකගත කර්මාන්තයකි. එය කර්මාන්තයට වඩා එහා ගිය සාම්ප්‍රදායික නිර්මාණයකි. ඔවුන්ගේ ආවේණික ජීවනෝපාය මාර්ගයකි. සියුමැලි ඇඟිලිතුඩු සියදහස් වාරයක් එහා මෙහා වෙමින් නිමැදෙන බීරළු රේන්ද රටා හෙට දිනයේ සංස්කෘතික සබැඳියාවන් තුළ සුරැකීම ජාතියේ වගකීමයි.   
විටක මෙම කලාව ජනතාව ජීවත්වන්නා වූ අරගලයට පන්නරය දෙන රස්සාවකි. විනෝදාංශයක් ලෙස රේන්ද කලාවට ද ඉඩ හසර සාදාගත් බවයි. එක් රේන්ද මලක් නිම කිරීමට පැය එකහමාරක් පමණ කාලයක් ගතවන බව පැවසූ ඇය එවන් රේන්ද මල් සියයක් පමණ යොදා ගනිමින් නිර්මාණකර ඇත. එනම් කොතරම් මිලක් මෙයට අය කරන්නට හැකි ද? නමුත් එවන් මිලක් අයකරන්ට නොහැකිය. රේන්ද කලාව වැනි විශිෂ්ට කලාවක් ඉදිරියට ගෙන යාම ඇයගේ එකම අභිප්‍රාය බව රේන්ද වියන මාගාල්ලේ සන්නාලියෝ කියති.   
යොදාන්නා බීරළු වඩු කාර්මිකයෙකු ලවා සකස් කර ගත යුතුය. එය ඉතා කුඩාවට සකස් කරගත යුතුය. ඒවා මෘදු විය යුතුය. බීරලූ ගෙතීමට ප්‍රථම අවශ්‍ය රටාව කඩදාසියක ඇඳ ගත යුතුය. වර්තමානයේදී මේ සඳහා යොදා ගැනෙන්නේ ප්‍රස්තාර කොළයි. අවශ්‍යය රටාව ඇඳගත් කොළය බ්‍රිස්ට්ල් බෝඩ් කැබැල්ලක් මත අලවා එය බීරළු කොට්ටයේ බෝලය මත සවිකෙර්. එම රටා ඇඳ පත්‍රිකාව කොයිරව ඉස්මිලය යන නම්වලින් හැඳින්වේ. ඒ එහි ඇඳි රටාවට අනුව අැල්පෙනෙති ගැසීම මඟිනි. මේ සඳහා යොදා ගැනෙන අැල්පෙනෙති තරමක් දිගින් යුක්ත ඒවාය. බීරළුවල එතූ නූල් බීරළු ගෙතීම පිණිස බීරළු බෝලයට සම්බන්ධ කරන්නේ එම අැල්පෙනෙති ආධාරයෙනි.   


සිත්තරාට වක දෙක ඇඳීමට හුරු කරන්නා සේ බීරළු ගෙතීමේ ආධුනිකයාට පළමුව හුරකරවන්නේ දම්වැල් පටියකි.   


බීරළු දෙකක් පමණක් යොදා ගෙන කෙරෙන මෙම සරල නිර්මාණයෙන් අත හුරුකරගත් පසු සංකීර්ණ රටා සඳහා ගොටුවීමේ හැකියාව පවතී. බීරළු ගෙතීමේදී අවශ්‍යතාවකට අනුව කරනු ලබයි. පල්ලූ රටාවක් ලෙස යොදා ගැනෙන මෝස්තරය බීක්කු හැඩයක් ගනී. ඒවා ඇඳුම් වාටි සැරසීමට යොදාගැනේ. දෙඅන්තයම සමාන ඍජු හැඩයෙන් යුතු ජටි යොදා ගන්නේ ඇඳුම් ආදී මේ මැද කොටස් සැරසීමටය. ඇඳුම් වාටි අාදිය සැරසීමට අමරතව දොර ජනෙල් රෙදි ඇඳ අැතිරිලි, පිටු කරව, බීග්, තිර රෙදි මේස රෙදි ආදිය සැරසීමට ද බීරළු රේන්ද කලාව යොදා ගැනෙයි. ලංකාවේ මාගාල්ල, වැලිගම, මාතර, දික්වැල්ල ආදී ප්‍රදේශවල අද වනවිට බීරළු රේන්ද කලාව සුළු වශයෙන් භාවිතයේ පවතී.   

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව - නිමල් අල්ගෙවත්ත