එංගලන්තෙ හොල්මන්වලට බයේ තනියම කාමරේ ඉන්න බියවූ ක්‍රීඩකයෝ


හිටපු වේගපන්දු ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු කියන කතාව

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට කිසිද‌ා අමතක කළ නොහැකි තවත් ක්‍රිකට් තරුවකි. වේග පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් කඩුලු 100 ක් සහ එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු 187 ක් මෙන්ම ටී-ටුවෙන්ටි තරගවලදී කඩුලු 18 ක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දස්කම් පෑ දිල්හාර අද මොනවද කරන්නෙ.  


ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ නොකළ ද 2016 සිට දිල්හාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටින වග කියන්න පුළුවනි. මේ දිනවල නම් ඔහු සිටින්නෙ ලංකාවෙ නොවෙයි. මේ දිනවල ඔහු සිටින්නෙ ඇමරිකා එක්සත් ජනපදයේය. කාලයකට පසුව හමුවූ දිල්හාර අපට මොනවද කියන්නෙ බලමු.  


• දිල්හාර කොහොමද ජීවිතේ  


වරදක් නැහැ. සුපුරුදු විදිහට බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග මගේ පුංචි ව්‍යාපාරයක් කරමින් ජීවත් වෙනවා.  


• ව්‍යාපාරවලට යොමු වුණේ කවදද?  


ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේදීම අනාගතය ගැන මට යම්කිසි සැලැස්මක් තිබුණා. ක්‍රිකට්වලින් පසුව මම මොනවද කරන්නෙ කියන අදහස ගැන හිතුවා. ක්‍රිකට් එක්කම ජීවත් වෙලා, තරග සංචාරවලට ගිහින් කාර්යබහුල වූ ජීවිතයක් ගත කිරීමෙන් පසුව ගෙදරට වෙලා නිකරුණේ කාලය ගෙවීම හරි අසීරු දෙයක්. ඒනිසා එහෙම ඉන්න වුණා නම් ජීවිතය ආයෙත් මුල සිට සැලසුම් කරන්න වෙනවා. එතකොට ඒක ලෙහෙසි වෙන්නෙ නැහැ. ඒ නිසා ක්‍රිකට් එක්ක සක්‍රියව සිටින කාලයේදීම කළයුතු ව්‍යාපාරයක් ගැන හිතුවා. ඒ නිසා පුංචියට හෝ ව්‍යාපාරික කටයුතුවලට යොමු වුණේ ඒ ක්‍රිකට් ගහපු කාලයේදීමයි.  


• ව්‍යාපාරික කටයුතු නිසාම ද රටින් බැහැරව ඉන්නෙ.  


එහෙම කියන තරම් ලොකු ව්‍යාපාරයක් නෙවෙයි කරන්නෙ. මේ කටයුතු අතරේ වසරකට දෙතුන් සැරයක් ලංකාවට ඇවිත් යනවා. ඒත් මේ කෝවිඩ් තත්ත්වය නිසා හිතාගෙන හිතපු විදියට ලංකාවට එන්න බැරි වුණා.  


• දිල්ගෙ පවුලේ විස්තර කිව්වොත්.  


බිරිඳ ඉරේෂා නම් ගෙදර ඉන්නෙ. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා මෙහේ පාසල් යනවා. එයාලා ක්‍රීඩාවලට ළැදියි. ලොකු දුව පිහිනුම් ක්‍රීඩාවට බොහොම දක්ෂයි. මෙහේ තියෙන තරගවලට එහෙම දායක වෙනවා. කවදාහරි දවසක එයාලා ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරව තරග කරාවි කියලා හිතෙනවා. ඒ වෙනුවෙන් අපි දූලා දෙන්නම උනන්දු කරවනවා.  


මම ලංකාව නියෝජනය කළ නිසා දූලා දෙන්නත් එයාලා දක්ෂ අංශයකින් ලංකාව නියෝජනය කළොත් ඒක මට හරි සතුටක්. ලොකු දුවට දැන් අවුරුදු 12යි. පොඩි දුවට 8 යි.  


• බිරිඳ ගැන කිව්වොත්?  


එයාගෙ නම ඉරේෂා. මගේ වැඩවලටත් උදවු කරනවා. එයා ගෙදර වැඩ බලා කියාගෙන දූලා දෙන්නගෙ වැඩත් කරමින් සහයෝගයෙන් කටයුතු කරනවා.  


• ඔබ එක්ක එකට ක්‍රීඩා කළ ක්‍රිකට් යාළුවෝ එහෙම හම්බ වෙනවා ඇති.  


මම ලංකාවට ආ හැටියෙ මගේ සමකාලීන ක්‍රිකට් මිතුරන් හමුවෙනවා. ඒක අනිවාර්යයෙන් වෙන දෙයක්. කොහෙ හරි තැනකට ගිහින් කෑමක් එහෙම කාලා අපි සතුටු වෙනවා. මාත් එක්ක ක්‍රිකට් ගහපු ඔක්කොමලා හොඳ යාළුවෝ.  

 

 


• මතකද මුලින්ම ශ්‍රී ලංකා ටීම් එකට ඇතුළත් වූ විදිහ. දවස.  


එතකොට මම සේවය කළේ සෙලාන් බැංකුවෙ. මහේල තමයි මාව එදා පාසලින් ඉවත්වූ අලුත සේලාන් බැංකුවට යොමු කළේ. සේලාන් බැංකුවෙ ක්‍රිකට් ටීම් එකක් තිබුණා. ​ජොබ් එක එක්ක සේලාන් ටීම් එකට ක්‍රීඩා කළා.  


දවසක් මට බැංකුවේ සිටිය දී එහි සේවය කළ යාළුවෙක් පත්තරය ගෙනැල්ලා පෙන්නුවා. එතකොට තමයි මම දැන ගත්තෙ ශ්‍රී ලංකා ටීම් එකට මාව තෝරගෙන කියලා. ඒක ඇත්තටම මාව පුදුමයට පත් කරවූ අවස්ථාවක්. ඒ මොහොත කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ. 2000 වසර වගේ මට මතකයි. සනත් අයියා තමයි එදා ශ්‍රී ලංකා කණ්‍ඩායම මෙහෙය වූයේ.  


පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ දී එදා මොහොමඩ් වසීම් දවා ගනිමින් ජාත්‍යන්තර පිටියේ ප්‍රථම කඩුල්ල දවා ගත්තා. වසීම් අක්‍රම්, වකාර් යුනුස් ඇතුළු ප්‍රබල පාකිස්තානු කණ්ඩායමට එරෙහිවයි එදා මුල්ම තරගයට මම ශ්‍රී ලංකාව නියෝජනය කළේ.  


• එදා කණ්ඩායමේ යාළුවෝ කතා කළේ මොන නමින් ද?  


ඩිලි කියලා.  


• අතීත මතකයන් අතරට යමු. ඩිලීටත් ඇති හොඳ මතකයන්.  


ඔව්. ඉතින් අපි ක්‍රීඩා කළේ රට වෙනුවෙන්. හදවතින්ම අවංක කැපවීමෙන්. මුලින්ම ඒ ගැන කියන්නට ඕනෑ. තරග සංචාරවලට ගියාම බොහෝ සොඳුරු අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. මම සාමන්‍යයෙන් ත්‍රාසජනක දේට මුහුණ දෙන්න බය නැහැ. වතාවක් නවසීලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී විවේකයක් ලද මොහොතක බන්ගි ජම්පින් කරන්න ගියා. උස තැනක ලණුව කකුලක ගැටගහලා බිමට පැනීම එම ත්‍රාසජනක ඉසව්වයි. මම ඒක කළාට බොහෝ දෙනෙක් බයට ද මන්දා ඒක කළේ නැහැ.  


• විනාඩි පහක් කතා නොකර සිටීම  


අපේ ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් කියන්නෙ කතා කරන්න ගියාම නොනවත්වා කතා කරන කෙනෙක්. සංචාරයකදි අපි ටීම් එක බස් රථයක ගමන් කරමින් සිටියේ. සුපුරුදු පරිදි එකිනෙකා එක එක දේ ගැන කතා කරමින් ගියේ. හරි අද අපි තරගයක් පවත්වමු. විනාඩි පහක් කතා නොකර සිටීම තමයි මේ තරගයේ ස්වභාවය වුණේ. ඔන්න ඉතින් ඔක්කොමලා සයිලන්ස්. හැබැයි තත්ත්පර කීපයකට විතරයි. මුරලි සුපුරුදු පරිදි එයාගෙ කතාව පටන් ගත්තා. අපට නොනවත්වා හිනා ගියා.  


• එංගලන්තයේ දී ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලලා එන අතරේ චණ්ඩි කොලු රෑනකට මැදිවීම.  


වතාවක් එංගලන්තයේ දීර්ඝ සංචාරයක් යෙදී තිබුණා. ඉතින් විවේකයක් ලද මොහොතක කළමණාකරුගේ අවසරය ඇතිව මම සනත් අයියා, රුචිර පෙරේරා සහ තවත් දෙතුන් දෙනෙක් එකතුවෙලා හොල්මන් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක බලද්දි අපි සෑහෙන්න බය වුණා. ඒ බය එක්ක තමයි නැවත එන්න පිටත් වුණේ. එන්න තිබුණෙ පාළු පාරකින්. ෆයින් ගස් තිබෙන කැලෑවක් වගේ තැනක්. මිනිස්සුත් පෙනෙන්නට හිටියෙ නැහැ. මේ අතරේ එක පාරටම මෝටර් බයික්වල නැගි කොල්ලො කණ්‍ඩායමක් අපිව වට කරලා අපට ගහන්න වගේ හැදුවා. කර කියා ගන්න දෙයක් නැතුව අපි අසරණ වෙලා හිටියෙ. මේ වෙලාවෙ රුචිර පෙරේරා එයාගෙ ජංගම දුරකථනය අරගෙන ටී ෂර්ට් එක අස්සෙන් පිස්තෝලයක් වගේ අර කොල්ලො වෙත යොමු කරලා. උඹලට දැන් වෙඩි තියන්න යන්නෙ කියලා කෑ ගැහුවා. ඒ මදාවි කොලු රෑන වැටි වැටී දුවන්න පටන් ගත්තා. අපට නවත්ව ගන්න බැරි විදියට හිනා. හැබැයි එතැන හිටපු එක තරුණයෙක් රුචිරගෙ ජංගම දුරකථනයේ ආලෝකය දැකලා ආයෙත් පෙර විදියටම සෙට් එක අපි දිහාට ආවා. ඒ පාර නම් ඉතින් හරි වරෙල්ලා ගහගන්නනෙ ඕනෙ උඹලට කියලා මමයි රුචිරයි ඉදිරියට ගියා. ඒ පාර උන් ආයෙත් වේගයෙන් මෝටර් සයිකල් පදවාගෙන යන්න ගියා. අපි හෝටලයට ආවා. හැබැයි හොල්මන් ෆිල්ම් එක බලලා සනත් අයියා නම් හොඳටම බයවෙලා හිටියෙ.  


කොහොමත් එංගලන්තෙ පරණ හෝටල්වල හොල්මන් තියෙනවාය කියලා කතාවක් තියෙනවා. මේ නිසා අපේ සමහර ක්‍රීඩකයින් තනියම කාමරේ නිදාගන්න පවා බය වූ අවස්ථා තිබුණා.  


• ඩිලී එංගලන්තයේ දී හොල්මන් අවතාර දැකලා නැද්ද?  


නෑ මම නම් බය නැහැ. හොල්මන් මට බය වුණොත් මිසක.  


• ලාහෝර් ප්‍රහාරයේ මතකය  


එදා පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේ මුල් දින තුනේදි දෙපිලම විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හිටියා. පන්දු යවන්නන්ට ඒ විකට්ටුව කිසිම සහයෝගයක් ගෙන දුන්නේ නැහැ. මේ නිසා තිළිණ තුෂාර ග්‍රවුන්ඩ් එකට එන අතරවාරයේ දී අනේ මේ තරගය නම් අතරමග නතර වෙනවා නම් හොඳයි මේක කවුරුවත් දිනන තරගයක් නම් නෙවෙයි. කියමින් එක එක විහිළු කතා කියමින් සිටියෙ. ඒ අතරවාරයේදි රතිඤ්ඤා පුපුරණ සද්දයක් වගේ ආවා. මම හිමිහිට රියැදුරු අසල ඉදිරිපස වීදුරුවෙන් එළිය බැලුවා. ආරක්ෂාවට ගිය මෝටර්සයිකල් දෙකේ නැගල හිටපු ආරක්ෂක නිලධාරීන් බයික් දෙක හරවාගෙන වෙන පැත්තකට ගියා. මොකක්ද මේ වෙන්න කියලා තේරුම් ගන්න ටික වේලාවක් ගියා.  


හැබැයි එදා අපි රැගත් බස් රථය පැදවූ රියැදුරුගේ දක්ෂතාව නිසා අපි බේරුණු බව කියන්න පුළුවන්. තරගය පැවත්වූ ග්‍රවුන්ඩ් එකට ඇතුළුවන දොරටුව වෙතින් රථය එක්වර හරවා ඇතුළට ගන්න බැහැ. ඒත් ඔහු එක් සැණෙකින් එය කළා. ඒනිසා අපට නිමේෂයකින් ග්‍රවුන්ඩ් එකට එන්න පුළුවන් වුණා. ග්‍රවුන්ඩ් එකට ආවාම ක්‍රීඩාගාරයේ ඇති ටී.වී. ඔස්සේ මේ සියල්ල පෙන්වන කොට තමයි අපට පුදුම බයක් ඇතිවුණේ. මම ​ඩ්‍රෙසින් රූම් එකට ගිහින් මුහුණ බලද්දි ඔළුවෙ සුදුපාටට කුඩු වගේ දෙයක් තිබුණා. අපි කිහිප දෙනෙකුගෙම සිරුරේ ඒ විදියට තිබුණෙ. බසයේ සීට් පසාරු කරගෙන උණ්ඩ පිටවෙද්දි පුපුරා ගිය සීට්වල කැබැලි. ඒ කියන්නෙ බුලට් ගිහින් තිබුණෙ අපේ හිස් අසලින්මයි. ඒක ඇත්තටම වාසනාවට සහ හාස්කමකට වගේ ජීවිත බේරුණ ​මොහොතක්. පෙර පිනකට බේරුණේ කිව්වොත් හරි.  


• ඔබ කිව්වනෙ මුලින්ම ශ්‍රී ලංකා කණ්‍ඩායමට ක්‍රීඩා කළේ සනත් ජයසූරියගෙ නායකත්වය යටතේ කියලා. කොහොමද ඔහු යටතේ ක්‍රීඩා කරද්දි ඔහු මොන වගේ කෙනෙක්ද? ඒ ගැන මතකය අවදි කළොත්. 

 
හොඳ නායකයෙක්. එයා සිටියදි ඉතා දක්ෂ කණ්ඩායමක් තිබුණෙ. මුරලි, වාස්, මහේල, සංගා එහෙම. ඒ ඔක්කොමලාගෙ හොඳම කාලය. එ් නිසා හැමෝම දක්ෂතා පෙන්වුවා. මම හිතන්නෙ නායකයකු ලෙස තරග ජයග්‍රහණය කිරීමේ වැඩිම ප්‍රතිශතය තිබෙන්නෙ සනත් අයියගෙ නායකත්වයටයි.  


එදා අපි තරගවලට යද්දි ඒ තරගය දිනනවා කියලා කලින්ම දැනගෙන හිටියෙ කණ්ඩායම අතර හොඳ අවබෝධයක් සහ දක්ෂතාවයක් තිබූ නිසයි. 2007 වර්ල්ඩ් කප් එකට ඉන්දියාව එක්ක ට්‍රිනිඩැඩ්වලදී අපට තරගයක් තිබුණා. මේ තරගය පැරදුනොත් ඉන්දියාව තරගාවලියෙන් ඉවතට. ඉතින් කොහොම හරි ඉන්දියාව පරාජය කරන්න තමයි අපටත් ඕනෑ වුණේ. ඒ වන විට අපි කොහොමටත් සුපිරි කාණ්‍ඩයේ කණ්ඩායම් හයට තේරිලා තිබුණෙ.  


එදා උදෑසන ග්‍රවුන්ඩ් එකට ගිහින් ශාරීරික යෝග්‍යතාවල යෙදෙන අවස්ථාවෙම අපි ඉන්දියාවට ගහන බව දැනගෙන හිටියෙ. ලෙහෙසියෙන්ම පරද්දන්න පුළුවන් කියලා අපට ​තේරුණා. ඒ හිතුවා වගේම අපි ඉන්දියාව ලෙහෙසියෙන්ම පරාජය කළා.  


• ඔබගෙ ක්‍රීඩා දිවියෙ අමතකම නොවන තරගය මොකක් ද?  


ලෝක කුසලතා තරගාවලි දෙකකට ක්‍රීඩා කළ කණ්‍ඩායමේ සාමාජිකයකු වීම කවදාවත් අමතක නොවන දෙයක්. එම තරගාවලිවලට අමතරව එක්තරා අවස්ථාවක දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් පැවැත්වුණා. තරගය ජයගන්න එයාලා එක එක උප්පරවැට්ටි කළා. තරගයකට එහා වූ ද්වන්ධ සටනක් වගෙයි. ඒ ස්වභාවය නිසාම කොහොම හරි ඒ තරගය ජයගන්න අපට ඕනෑ වුණා.  


ඔවුනට ජයගන්න අන්තිමට ලකුණු එකසිය විසි ගණනක් වගේ ගන්න තිබුණෙ. එය නොදී ලකුණු 110 කට විතර කඩුලු හත අටක් දවාගන්න අපට පුළුවන් වුණා. මම එහිදී හොඳ පන්දු යැවීමක් කළා. ඒ තරගය වගේම එංගලන්තයේ දී කළ තරගයක දි හොඳ පන්දු යැවීමක් කළා. ඒ වගේ අවස්ථා කිහිපයක්ම තියෙනවා.  


• ඉන්දීය ක්‍රීඩක හර්බජන් සිං ඔබගෙ හොඳ යාළුවෙක්ලු නේද?  


හර්බජන් සිං අදටත් කතා කරනවා. ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම යාළුවෝ. සමහර අවස්ථාවලදි එයාලා ලංකාවෙ සංචාරයක් එහෙම ආවාම අපි කොහේ හරි කෑමකට එහෙම යනවා.  

 

 


• ඇමරිකාවෙ සිට ගෙවන පවුල් දිවියේ විස්තරත් කියමු.  


ජීවිතයේ දුක සැප බලන්නට කෙනෙක් ඉන්න ඕනෑ. ඉරේෂා මගේ බිරිඳ එක්ක අපි ජීවිතය දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. ඒක ලොකු හයියක්. විශේෂයෙන්ම මේ වගේ රටකට ආවාම තනියම ජීවිතය ගෙවීම ලෙහෙසි දෙයක් නෙවෙයි. බිරිඳ සහ දරු දෙදෙනා නිසා පාළුවක් නැහැ. සමහර වෙලාවට ලංකාවෙ හිටියට වඩා වැඩි කාලයක් පවුල සමග ගත කරන්න ලැබෙනවා. ඒකත් හොඳ දෙයක්.  


• තවත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඔබ සිටින පළාතේ සිටිනවද?  


පුලස්ති ගුණරත්න සහ සජිත් ප්‍රනාන්දු එහෙම මෙහිදී හමු වෙනවා. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් බොහොමයක් ක්‍රීඩා කරන සෙන්චරි නමින් ක්‍රිකට් ක්ලබ් එකක් එහෙමත් තියෙනවා. ඉඳ හිටලා මාත් ඒ ක්ලබ් එකට ගිහින් එයාලා එක්ක පුහුණුවීම් කරන්නෙ ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යාමටයි.  


• ඩිලී ඇයි ඔබ සමුගැනීමේ උත්සවයක් නොපවත්වා අන්තර් ජාතික ක්‍රිකට් පිටියට සමුදුන්නෙ.  


ඒ වගේ උත්සවයක් තිබුණොත් එය සැණකෙළි ස්වරූපයක් ගන්නවනෙ. සාමාන්‍යයෙන් මම ඒ වගේ දේට කැමැති නැහැ. ඒක මගේ විදිය. මගේ පුද්ගලික අදහස.  


• ක්‍රිකට් හැර ඒ දිනවල ඔබ දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක් වුණා නේද?  


ඇත්තම කිව්වොත් මම පාසල් සමයේ දී හොඳ පැසිපන්දු ක්‍රීඩකයෙක්. වොලිබෝල් ක්‍රීඩාවත් කළා. ක්‍රිකට්වලට මාව ගත්තෙ උස මහත පෙනුම තිබුණ නිසයි. දැන් මෙහිදී ඉඳ හිටලා බේස් බෝල් ක්‍රීඩා කරනවා.  


• කොරෝනා වසංගතය ආවාම හොඳටම බය වෙන්න ඇති.  


ලොක්ඩවුන් කළාට පසුව ගෙදරටම වෙලා කොරන්ටයින් වෙන්න සිදුවුණා. හැබැයි මම නම් මගේ ව්‍යාපාරික කටයුතුවල යෙදුණා. ළමයින්ට ඉස්කෝල වහලා. ගෙදර ඉඳලා එයාලා ඔන්ලයින් එකෙන් පාසල් වැඩ කළා. මේ කාලයේ දී ආයෙත් ටිකත් මහත් වුණේ ගෙදරදි එක එක කෑම ජාති නිතර කෑමට ලැබුණු නිසයි.  


• ඇමරිකාව දැන් ඔබට හොඳට හුරු ඇති.  


එහෙමම කියන්නත් බැහැ. තවම මෙහි ඇවිත් අවුරුදු දෙකක් විතර ඇති. ටිකක් විතර හුරුයි. මුල් කාලයේදි නම් ගෙදර යනවා කියන හැඟීම ආවෙ නැහැ. ඒත් දැන් පෙරට වඩා හොඳ හැඟීමක් තියෙන්නෙ.

 

පිළිසඳර - සඳුන් ගමගේ