උපන් ලපයක් හෙළි කළ පෙර භව වකුගඩු රෝගය


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පවුලේ බාල දියණියට නම් දී තිබුණේ සෙහෙරා යනුවෙනි. උපතින් නිරෝගී දරුවෙකු වුවද වයස අවුරුදු හතරක් පමණ වන විට ඇය තුළින් රෝගී තත්ත්වයක් මතු විණි. ඇගේ සිරුර ඉදිමීමකට ලක් විය. දියණියගේ මෙම රෝගී තත්ත්වය නිසා මාපියෝ මහත් කනස්සල්ලට පත්ව සිටියහ. එහෙත් ටික දිනක් ගත වන විට එම සිරුරේ ඉදිමීම ක්‍රමයෙන් අඩු වී ගියේය.   


මේ අතර ඇගේ පියා වියෝවීම නිසා මව මහත් අසීරු තත්ත්වයකට මුහුණපෑවාය. දියණියව රැක බලා ගැනීමට මවගේ ඥාතිවරයෙක් ඉදිරිපත් විය. ඒ අනුව පදිංචිව සිටි ප්‍රදේශයෙන් බැහැරව ඇය ඥාතිවරයාගේ නිවස වෙත ගියාය. තරුණ වියට පත් වන තුරු ඇය ඥාතිවරයාගේ නිවසේ වැඩ කරමින් එහි රැඳී සිටියාය.   
ඇය බැලීමට මව පැමිණි බොහෝ අවස්ථාවල ඇයව නිවසින් පිට කිරීම පිළිබඳව ඇතැම් විට මවට දොස් පැවරීය. ඇය දහ අට වන වියට පත් වීමත් සමග ඇගේ කුඩා කල තිබූ රෝගී තත්ත්වය නැවත මතු වන්නට විය. ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍ය මතය වූයේ ඇය වකුගඩු රෝගයකින් පසු වන බවය. එය සුවකළ නොහැකි රෝගී තත්ත්වයක් බැව් ද අනාවරණය විය. වකුගඩු පිහිටි ප්‍රදේශය තුළින් වේදනාවක් දැනෙන බැව් ද ඇය ප්‍රකාශ කළාය.   
ඇගේ රෝගී තත්ත්වය මත නිවසේ තවදුරටත් නතර කර ගැනීමට අකමැති වූ ඥාතිවරයා ඇයව ආපසු මව සිටි නිවස වෙත යැවීමට තීරණය කළේය. ඇය ආපසු මවගේ නිවසට ගිය පසු නැවතත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇය රෝහල්ගත කරයි. රජයේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් නමුත් එවර ඇගේ සිරුර තද බල ලෙස ඉදිමීමට නැවත ලක් විය. ඇයට ජලය ලබා දීම ද බලවත් ගැටලුවක් විය. අවසානයේ ඇගේ සිරුරේ චර්මය පුපුරා යන තත්ත්වයට පත් වී ඇය අසාධ්‍ය රෝගියෙකු වූවාය. ඇගේ සිරුරේ ඉදිමීම සමගම වකුගඩු ප්‍රදේශයේ වේදනාව තදබල ලෙස ඇති වීම නිසා එය සුව කළ නොහැකි බව වෛද්‍ය මතය විය. ඒ අනුව ඇය රෝහලේ තවදුරටත් නතර කර තබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් නිවස වෙත රැගෙන යන ලෙසත් උපදෙස් ලැබිණි. තම දියණියගේ අවසනාවන්ත රෝගී තත්ත්වයෙන් දැඩි කම්පාවට පත් වූ මව ඇයව නිවසට කැඳවාගෙන ගියාය. ඇය නිවසට රැගෙන ගොස් දින දහයක් පමණ ගත විය. එම රෝගී තත්ත්වයෙන්ම ඇය මරණයට පත් විය. ඇගේ මරණයට හේතු වී ඇත්තේ වකුගඩු රෝගය බැව් (A Kidney Disease) යනුවෙන් හඳුන්වනු ලැබීය. ඇගේ මරණය සිදුවන විට ඔවුන් පදිංචිව සිටියේ තට්ටු නිවාස සංකීර්ණයකය. 1940 වසරේ දී උපත ලැබූ ඇය දහඅට වන වියේ දී මරණයට පත්වී තිබිණි.   
වසරක් ගත විය. එම තට්ටු නිවාස සංකීර්ණයට නුදුරු වෙනත් නිවසක පදිංචිව සිටි පහළොස් දෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා ලෙස උපන් දැරියට සෙල්මා යනුවෙන් නම් තැබිණි. නිරෝගීව උපත ලැබූ අැයගේ උදරයටත් පිටටත් අතර උපතින් තද රත් පැහැති ලපයක් පිහිටා තිබිණි. උපන් ලපයක් වූ එය පිළිබඳව ඇගේ මව කිසිදු අවධානයක් යොමු නොකළාය.   


ඇය බහ තෝරන වියට පත් වී දෙපයින් ඇවිද යන කාලය උදා විය. ඒ වන විට ඇයට වයස අවුරුදු දෙකක් විය. දිනක් තම දියණිය ඇවිදින අයුරු දුටු මව ඇගේ එක් චර්යාවක් දුටුවාය. ඇය ඇවිදින අතර පිටුපස පිට පෙදෙසට අත තබමින් කිසියම් වේදනාවක් දැනෙන අයුරින් ඇවිදින්නට උත්සාහ ගන්නා බව මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව මව අවධානය යොමු කළාය. මවට දක්නට ලැබුණේ ඇගේ සිරුරේ උපන් ලපය ඇති ස්ථානයට අත තබමින් ඇය ඇවිදීමට උත්සාහ ගන්නා බවය.   
මේ අතර දිනක් මව සිය දියණිය සමග ඔවුන් පදිංචිව සිටි නිවසින් පිටතට පැමිණ මාර්ගය දෙසට ගමන් කරමින් සිටියාය. මාර්ගයට පිවිසි විටදී දියණිය මහත් උනන්දුවෙන් එහි නිවාස දෙස බලනු මව දුටුවාය. සුළු වේලාවක් නිවාස දෙස බලමින් සිටි දැරිය මව දෙසට හැරුණි. මට මගේ අම්මා ළඟට යන්න ඕනෑ. අපේ ගෙදර යන්න ඕනෑ යනුවෙන් පැවැසුවාය. එය ඇසූ මව මවිතයට පත්ව මම තමයි ඔයාගේ අම්මා යයි දියණියට පිළිතුරු දුන්නාය. එයට නැවත පිළිතුරු දුන් දියණිය. නෑ නෑ ඔයා මගේ අම්මා නෙවෙයි යයි කීවේ මව තවත් මවිතයට පත් කරවමිනි.   


මට මගේ අම්මාව සොයා ගන්න පුළුවන්. අපේ ගේ මම පෙන්වන්නම් යයි ඇය නැවත නැවත ප්‍රකාශ කරන්නට වූවාය. ඒ වන විට සවස් වී අඳුරු වැටී තිබීම නිසා ඇය දියණිය කැටුව නිවස වෙත පැමිණියාය. එහෙත් ඇය නැවත නිවසට ඒමට දැඩි අකැමැත්තක් දක්වමින් හඬන්නට වූවාය.   


නිවස වෙත පැමිණි දැරිය ඇගේ පෙර භවය මතක සටහන් නැවතත් ප්‍රකාශ කරන්නට වූවාය. ඇයට සොහොයුරියක සිටි බැව් හෙළි කළ ඇය අැගේ නම ද පැවසුවාය. පෙර භව මවගේ තවත් සොහොයුරෙකුගේ නමක් ඇගේ මතකයේ තිබිණි. පෙර නිවසේ සිට නැවතත් මව පදිංචිව සිටි නිවස වෙත පැමිණි අයුරු ද ඇය හෙළි කළාය.   
වකුගඩු ආබාධය නිසා ඇය රෝහල් ගතවූ බවත් පසුව රෝගය සුව නොවන බැව් වෛද්‍යවරුන් පැවසීම නිසා ඇය එම රෝගී තත්ත්වයෙන්ම නැවත නිවසට ගිය බවත් ඇය මරණයට පත් වූයේ නිවසේ සිටිය දී බවත් ඇය පැහැදිලිව හෙළි කළාය.   
මෙම තොරතුරු නිරීක්ෂණය කිරීමට ඇගේ මිත්තණිය උත්සාහ ගනු ලැබුවාය. ඒ සඳහා අැයට පෙර භව නිවස සොයා ගැනීමට හැකි වේද යන්න විමර්ශනය කිරීම මිත්තනියගේ බලාපොරොත්තුව විය. දැරිය හෙළි කරන පෙර භව නිවස සොයා ගිය මුල් දිනයේ දී ඇය ආපසු නිවසට රැගෙන ගියත් මුළු රාත්‍රියම ඇය දැඩි ලෙස හඬමින් මව බැලීමට යාමටත් ඇයව සොයාගත යුතු බවත් කියන්නට වූවාය.   


එදින දැඩි අපහසුතාවයකින් රාත්‍රී ගත කළ මිත්තනිය දැරියගේ ප්‍රකාශයේ කිසියම් සත්‍යයක් තිබේ ද යන්න නිරීක්ෂණය කිරීමට ඉදිරිපත් වූවාය. ඒ අනුව පෙර දිනයක ඇය සමග ගිය ප්‍රදේශයට නැවත ගමන් කළාය. මිත්තනිය සමඟ ගමන් ගත් දැරිය එක් නිවසක් දෙසට යන ගමන් මාර්ගයේ දී නතර වූවාය. මෙන්න මෙතනින් තමයි අපේ අම්මා ඉන්න ගෙදරට යන්නේ යැයි දැඩි විමසිල්ලෙන් පරීක්ෂා කරන්නට වූවාය. ගත වූයේ විනාඩි කීපයකි. එම නිවස දෙසට දුව ගිය දැරිය එහි ගෙමිදුලේ සිටි කාන්තාවක් වෙත ගියාය. ඒ අවස්ථාවේ එම කාන්තාව එළ දෙනෙකගෙන් කිරි දෙවීම කරමින් සිටියාය. එම කාන්තාව වෙත ඇඟිල්ල දිගු කළ දැරිය, මේ ඉන්නේ මගේ අම්මා යයි ප්‍රකාශ කළාය. පෙරභව මව පුදුමයට පත් වූවාය. අනතුරුව දැරිය කළ ප්‍රකාශ පිළිබඳව මිත්තනිය පෙරභව මවට අනාවරණය කළාය. සිය දියණියක් මීට වසරකට පෙර මියගිය බවත් ඇයට වැළඳී තිබුණේ දරුණු වකුගඩු රෝගයක් බවත් අනාවරණය කළාය.   


පෙර භවය හෙළි කළ දැරියගේ සිරුරේ උදර ප්‍රදේශයේ දක්නට ඇති උපන් ලපය ඇති පෙදෙස තම දියණිය විසින් නිතර පිරි මැදීමට පුරුදුව සිටි බව ද පෙර භව මම හෙළි කළාය. ඇය එම ස්ථානය පිරි මදින ලද්දේ දැඩි වේදනාවක් දැනෙන බැව් ප්‍රකාශ කරමින් බව ද ඇය පැහැදිලි කළාය.   
මෙම දැරියගේ පුනර්භව සාධකය පිළිබඳ වර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් පර් යේෂණ සිදු කරනු ලැබුවේ 1970 වසරේ දීය. රිසෙට් බේයර් සහ මහාචාර්ය ඉයස් ස්ටීවන්සන් විසින් එම පර් යේෂණ පවත්වනු ලැබීය. මිය ගිය තරුණියගේ ජීවිතයට සම්බන්ධ පෙර භවය පිළිබඳව දැරිය විසින් හෙළි කළ තොරතුරු පර් යේෂණ වාර්තාවකට ඇතුළත් වී ඇත. එහි මරණයට හේතු වූයේ වකුගඩු ආබාධයක් බැව් ඇය විසින් නිවැරදිව අනාවරණය කර තිබිණි. එයට අමතරව කරුණු 15ක් පමණ ඇය හෙළි කර තිබිණි. එම කරුණු ද පර් යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


ඇයට සොහොයුරියක සිටි බවත් ඇගේ නමත් ප්‍රකාශ කළාය.   


සොහොයුරෙකු සිටි බවත් ඔහුගේ නමත් හෙළි කළාය.  


මවගේ නම ප්‍රකාශ කිරීම   

​රෝහල් ගත කර සිටි බැව් කීම   

වකුගඩු ​ආබාධය හෙළි කිරීම   

​රෝහලේ සිට නැවත නිවසට පැමිණි බැව් හෙළි කිරීම   

රෝහලේ දී මරණයට පත් වීම.   


මීට අමතරව එම දැරිය විසින් සිදු කළ හඳුනා ගැනීම් ද පර් යේෂණ වාර්තාවේ ඇතුළත් වේ. ඒ අනුව පෙරභවයේ මව හඳුනා ගැනීමත් නිවස හඳුනා ගැනීමත් ප්‍රධාන කරුණු දෙකක් විය.   


පෙර භවයේ තරුණියගේ මරණයට හේතු වූ වකුගඩු රෝගය පිළිබඳ එම පර් යේෂණ වාර්තාවේ ඇතුළත් වන්නේ (Her Skin had actually broken down in some places from the distension produced by the retained water. She complained of pain in the region of her Kidneys) යනුවෙනි.   
වකුගඩු රෝගය නිසා මිය ගිය සෙනෙරා නම් එම තරුණිය මරණයට පත් වූයේ 1958 වසරේදී වූ අතර ඇගේ පෙරභව තොරතුරු අනාවරණය කළ දැරිය උපත ලැබුවේ 1959 වසරේදී විය. මෙම පුනර්භවයේ දක්නට ඇති තවත් සුවිශේෂී කරුණක් තිබේ. එනම් පෙරභවය හෙළි කළ දැරියගේ උදර ප්‍රදේශයේ තද රත් පැහැති උපන් ලපයක් පිහිටා තිබීමය. එහෙත් මිය ගිය තරුණියගේ වකුගඩු ආබාධයට කිසිදු ශල්‍යකර්මයක් සිදු කර නොතිබිණි. එම ස්ථානය තද බල වේදනාවක් දැනෙන බව පමණක් ඇය පවසා ඇති අතර එම ස්ථානය පිරි මැදීමකට ලක්කර තිබේ.   


පෙර භවය හෙළි කළ දැරිය උපන් ලපය ඇති ස්ථානයට අත තබමින් වේදනාවක් ඇති බැව් ඇඟවෙන පරිදි දැඩි අපහසුතාවකින් ඇවිදීම සිදුකර ඇත්තේ වයස අවුරුදු දෙකේ පමණ සිටය. වකුගඩු ආබාධවලින් මියගිය බැව් අනාවරණය කළ පුනර්භව සාධක තුනක් පමණ ලොව සිදු කළ පුනර්භව පර් යේෂණ අතර දක්නට ඇත. එම සිදුවීම්වල දී ඔවුන්ට සැත්කම් සිදුකර ඇති අතර එම ස්ථානවල උපතින් කැළැල් දක්නට තිබේ.   


එහෙත් සෙල්මා දැරිය කිසිදු ශල්‍යකර්මයකට භාජනය වී කිසිදු කැළලක් පෙර භවයේ සිරුරේ නොතිබිණි. මෙම දැරියගේ පුනර්භව සාධකය හෙළි වූයේ තුර්කියේ සිදු කළ පර් යේෂණයක දීය.   

 

 


තිස්ස ජයවර්ධන