උදරයෙන් හෙළි​ෙවන ජීවන තොරතුරු


 

 

යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ උදරයේ පිහිටීම හෙවත් ස්වභාවය පිරික්ෂා බලා ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු ගතිගුණ ආදිය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමේ හැකියාව දේහ ලක්ෂණ ශාස්ත්‍රයට තිබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ ඒ පිළිබඳවයි.  


රෝම නොමැතිව මෘදුව හා තුනීව පිහිටි සමකින් යුතු ප්‍රියමනාප උදරයට ස්ත්‍රියකට ශුභඵල උදාකරයි. මස් මොළොක්ව ද ඇත්නම් වැඩි ශුභඵලය. ධන ධන්‍යාදී සැප සම්පත් ලබා සුවබර දිවියක් ගෙවන්නීය. යම් ස්ත්‍රියකගේ උදරය මැඩියකුගේ හැඩය ගනී නම් අැය භාග්‍යවන්තය. රජයේ උසස් තනතුරු ආදීය ලබාගැනීමට උරුමකම් තිබේ. ගෞරවය, ප්‍රසිද්ධිය හා ජනප්‍රියතාව නිතැතින්ම පාහේ උරුම වෙයි.  


කිසි කලෙකත් ආර්ථිකය අතින් දුබල නොවන තරම්ය. ඇලපත දෙපස මසින් පිරී මනාව පිහිටි උදරය ඇති කාර්යශූරය. උත්සාහවන්තය. විවාහ දිවිය සිත් පරිදි වෙයි. යම් ස්ත්‍රියකගේ උදරය මසින් තොරව නහර මතුව ඇත්ද කලයක, පුහුල් ගෙඩියක හැඩය ගනී ද ඇය දුක්බර දිවියක් ගෙවන්නීය. චරිත ගතිගුණ නරක අතට හැරෙයි. දරුඵල හීනය. වකුටු ස්වභාවය ඇති උදරය හිමි ඇත්තිය ද නිතරම පාහේ දුක් කරදරවලට පැටලෙයි. අන්‍යයන් යටතට පත්වන ගතියක් පවතී. වැහැරුණු උදරය ඇති ස්ත්‍රියකගේ ඥාතීන් ට අපල ඇති කරයි.  


උදරය මැද රැලි තුනක් නාභිය දක්වා වැටී ඇත්නම් එම කාන්තාවගේ අනාගතය දීප්තිමත්ය. එහෙත් මෙම රැලි පළල්ව හා ගැඹුරුව පිහිටීම අශුභඵල ඇති කරයි. වෙසෙසින් විවාහයට අහිතකරයි. දුක් කරදරවලින් පිරුණු දිවියකි. උදරයේ රෝම පිහිටීම ද අභාග්‍යවන්තය. සිතිවිලි හා කටයුතු යන දෙකම බොහෝදුරට අශුභය. පුරුෂ උදරය වටකුරුව, බැලූ බැල්මට සමාන මහතකින් යුක්ත වීම, ප්‍රියමනාප වීම වාසනාවන්ත දේහ ලක්ෂණයකි. ඉසුරුමත් දිවියකට උරුමකම් තිබේ. රජයේ රැකියාවලට නෑකම් කියයි. උසස් තනතුරු හා ගරු සැලකිලි ද උරුමයි. නීතිවිරෝධී නොවේ. දූරදර්ශීය. බුද්ධිමත්ය. වටකුරු උදරය මදක් පහතට නැඹුරු වූයේ නම් හෙතෙම විනෝදශීලීය. අනන්‍යයන්ගේ දුක් හොඳට තේරෙයි. ඥාති හිතමිත්‍රාදීන් අතර හොඳ හිත පවතී. යමක් ඉක්මනින් අවබෝධ කරගනී. උදරය මැඩියකුගේ හැඩය ගනීනම් හොඳ ආර්ථික ශක්තියක් උරුම කරගනී. උදරය පුරා මෘදු ලොම් ඇත්නම් එය පුරුෂයන්ට ශුභ දේහ ලක්ෂණයකි. යහපත් සිතිවිලි සහිතය. විශාල උදරය දිළිඳු බවේ ලකුණකි. කළගෙඩියක හැඩය ගනීනම් එයද අයහපත්ය. දුකින් පිරුණු දිවියකි.  
ගර්භණියකගේ මෙන් පිහිටි උදරය ඇති අයගේ ශරීර සනීපයට නිතර නිතර බාධා පැමිණේ. නමුත් ධන ධන්‍යාදී සැප සම්පත් ලබයි. කෘෂ වූ උදරය ඇති අයගේ සිතිවිලි අශුභය. පව පින නොහඳුනයි. සර්පයකුගේ මෙන් උදරය ඇත්තා අනුන් යටතට පත්ව බැලමෙහෙවර කරයි. සුනඛයකුගේ මෙන් උදරය ඇත්නම් හෙතෙම දිළිඳුය.  


පුරුෂයකුගේ උදරයේ රැලි තුනක් පිහිටීම ශුභ ලකුණකි. රැලි එකක් පිහිටා ඇත්නම් දීර්ඝායු ලබයි. රැලි දෙකක් නම් ධන ධන්‍යාදී ලබයි. අනාගතය සැපවත්ය. රැලි තුනක් ඇති අය අධ්‍යාපන කටයුතුවලට දක්ෂය. බුද්ධිය මුල්කොටගත් වෘත්තියක නිරත වෙයි. මෙම රැලි සෘජුව පිහිටීම වැඩි ශුභඵල ප්‍රදානයට හේතුය. ඇඳට පිහිටීම කාමාධික බව පෙන්වන ලක්ෂණයකි. කාන්තාවකගේ උපන් ලපයක් පිහිටයි නම් ඇය දරුඵල සහිතය. එහෙත් පුරුෂයකුගේ උදරයේ උපන් ලප පිහිටීම අශුභය. අන්‍යයන්ගේ දුක් කරදර නොදැනේ. කම්මැළිය. චරිත කැලැල් ඇතිවේ. සැත්කම් වලට ද භාජනය විය හැකිය. උපන් ලප වම් පැත්තේ නම් වැරැදි හැසිරීම් සහිත කෙනෙක් විය හැකිය.  

 


නයෝමි පබසරා මැණිකේ  
මාවනැල්ල.