උතුරේ කළ පළමු ක්ෂණික විහිදුම් මෙහෙයුම ඔප​ෙර්ෂන් අලිබබා


පලාලි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයේ ක‍්‍රියාන්විත මැදිරිය තුළ 2/ලුතිතන් තනතුරේ නිලධාරීන් 15 දෙනෙක් පමණ අසුන්ගෙන සිටිති. පළමුවන පාබල හමුදාව, පළමුවන සිංහ රෙජිමේන්තුව හා පළමුවන ගැමුණු හේවා බලඇණිය යන පාබල සටන් ඒකකයන්ට අයත් තරුණ නිලධාරීන් වන මොවුහු වැල්වෙටිතුරය, තොන්ඩමනාරු, මාදගල්, අලිමංකඩ, පුනරින් යනාදී උතුරේ පිහිටි හමුදා අනුඛණ්ඩයන් වෙතින් පැමිණි නියෝජිතයන් ලෙස කටයුතු කරති. මේ සියලු නිලධාරීන් උතුරට අමුත්තන්ය. 2/ලුතිතන් ජනක මාසක්කාර, 2/ලුතිතන් රජීව් වීරසිංහ, 2/ලුතිතන් ශ්‍යාමි විදුරපොල, 2/ලුතිතන් සජිත් විජේකෝන් හා 2/ලුතිතන් ලෙනාඩ් මාර්ක්, 2/ලුතිතන් එස්.එස්. පැමිණ සිටින නිලධාරීන්ගෙන් කිහිප දෙනෙකි. 1980 වර්ෂයේදී කෙඩෙට් නිලධාරීන් ලෙස හමුදාවට බැඳී තම පුහුණුව ලබා 1981 වර්ෂයේදී 2/ලුතිතන්වරු ලෙස අධිකාරීයට පත්ව යුද හමුදාවේ පාබල සටන් ඒකකයන්ට සම්බන්ධ වී ඇති මෙම තරුණ නිලධාරීන් උතුරේ තම ප‍්‍රථම අත්දැකීම් අත්විඳීම ආරම්භ කරන්නේ පලාලි හිදීය. ඒ 1981 වර්ෂයේ සැප්තැම්බර් මස එක්තරා දිනයකි. ​ෙව්ලාව (උදෑසන) 08.45 පැයට ආසන්නව ඇත. මූලස්ථානයේ තුන්වන මාණ්ඩලික නිලධාරී කපිතාන් කෝලිත ලියනගේ මැදිරිය තුළට පැමිණේ. “හෑස් එව්රිබොඩි කම්?” (ඔක්කෝම ඇවිල්ලා ද ඉන්නේ?) “හූ ඊස් ෆ්‍රොම් විවිටී?” (කවුද වෙල්වෙට්ටිතුරෙන් ඇවිත් ඉන්නේ?). එවිට 2/ලුතිතන් මාර්ක් “සර්” යි කියමින් තම අත එසවීය. “දෙන් තොන්ඩමනාරු?” (එතකොට තොන්ඩමනාරු වලින් ?) 2/ලුතිතන් විජේකෝන් තම අත එසවීය. මේ අයුරින් එක් එක් කඳවුරුවලින් පැමිණි නිලධාරීන් පිළිබඳව තහවුරු කරගනී. අනතුරුව කපිතාන් ලියනගේ තම දෙවන මාණ්ඩලික නිලධාරී වන මේජර් අශෝක ජයවර්ධන වෙත ගොස් සියලු දෙනාම පැමිණ ඇති බවත්, පෙරකථනය සඳහා අදාළ නිලධාරීන් සූදානම් බවට රපෝර්තු කර සිටියි.  

වේලාව - 09.00 පැයයි. “ගුඩ් මෝනිං ජෙන්ට්ල්මන් !” යනුවෙන් එසේ අමතමින් පැමිණියේ මේජර් අශෝක ජයවර්ධනය. “හව් ඊස් ජැෆ්නා. ආර් යු ඕල් හැපි හියර්.” (කොහොමද යාපනය. ඔබලා මෙහේ සතුටින්ද ඉන්නේ?) එය ඔහුගේ පළමු ප‍්‍රශ්නය විය. “සර්, වී හෑව් කම් ටු ඇන් අන්නෝන් ලෑන්ඩ්. යෙට් වී ආර් හැපි ටු සර්ව් හියර්” (සර්, අපි ඇවිත් ඉන්නේ නොදන්නා භූමියකට. ඒත් අපි කැමතියි මෙහි සේවය කරන්න) නිලධාරියෙක් පිළිතුරු දේ. ‘ගුඩ්!’ (හොඳයි) යනුවෙන් පවසමින් මේජර් ජයවර්ධන වර්තමාන තත්ත්වය පිළිබඳව මෙසේ කරණු දක්වයි. ‘‘වර්තමානයේ කුඩා සන්නද්ධ කල්ලි දහයකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඉන් කල්ලි තුනක් හැර අනික් ඒවාවල ඉන්නේ දහයකට අඩු සංඛ්‍යාවක්. ප්ලොට්, ටෙලෝ, එල්ටීටීඊ යන කල්ලිවල තමයි මින් ප‍්‍රධාන. පහළොවක් විස්සක් අතර සංඛ්‍යාවක් තමයි ඔවුන්ට ඉන්නේ අපේ හමුදා බුද්ධි තොරතුරුවලට අනුව. පසුගිය අවුරුදු කිහිපය පුරා විටින් විට මේ අය ප‍්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනා. 1972 දී ජනරජයක් බවට ප‍්‍රකාශ කිරීමෙන් පස්සේ මේ අය උතුරේ දේශපාලනයේ යෙදුණ ඇතැම් අය ඉලක්ක කරලා ඝාතනයන් සිදුකිරීමට තැත් කළා. 1975 දී යාපනය නගරාධිපති දොරේඅප්පා ඝාතනය වුණා. දේශපාලනික වශයෙන් සිදුවූ පළමුවන ඝාතනය වන්නේ එයයි. මුල් කාලයේ දී එවකට රජයන් කල්පනා කළේ මෙම ක‍්‍රියාකාරකම් හුදෙක් මැර කල්ලි විසින් සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩත්වයන් විදිහට. නමුත් පසුව ඔවුන් තේරුම් ගත්තා මෙම ක‍්‍රියාකාරකම් ඇතිවීම පිටුපස යම් දේශපාලන, ආර්ථික, සමාජීය පසුබිමක් තියනවා කියලා.’’ වත්මන් තත්ත්වය පිළිබඳව කෙටි හැඳින්වීමක් දෙමින් මේජර් ජයවර්ධන තම කථනය ආරම්‍භ කළේ ඒ අයුරිනි.   


එවකට සිටි සන්නද්ධ කල්ලි සාමාජිකයින් සියල්ල පාහේ ජීවත් වූයේ තම ස්ථිර පදිංචි ස්ථානයෙන් බැහැරවය. මොවුන් තරුණවියේ පසුවන්නන් වූ අතර අවිවාහකයෝ වූහ. 1978 වර්ෂයේ දී මන්නාරම මඩු ප‍්‍රදේශයේ දී විමර්ශන කටයුතු සඳහා ගිය පොලිස් පරීක්‍ෂක බැස්ටියන් පිල්ලේ ඇතුළු සිව් දෙනෙකු සන්නද්ධ කල්ලියක් වූ එල්ටීටීඊය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එවකට සිටි ආණ්ඩුව තිගැස්සුනි. පොලිසියේ බුද්ධි තොරතුරුවලට අනුව හඳුනාගත් පුද්ගලයින් 38 දෙනෙකුගේ ඡායාරූප ‘වෝන්ටඩ්’ හෙවත් අවශ්‍ය පුද්ගලයින් ලෙසට පෝස්ටර් අලවා දිවයින පුරා ප‍්‍රදර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පැතුවේ ඉන් පසුවය. එකී පුද්ගලයින් අල්ලා ගැනීම සඳහා නිවැරදි තොරතුරු සපයන්නෙකුට ත්‍යාග වශයෙන් මුදලින් රුපියල් ලක්‍ෂයක් පිරිනමන බැව් සඳහන් කර තිබිණි. එහිදී ඔවුන් ‘රාජ්‍ය විරෝධී ත‍්‍රස්තවාදීන්’ ලෙස හැඳින්වීය. පසුව 1979 වර්ෂයේ ජූලි 20 වන දින ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ සම්මත විය. පොලිසියට හා යුද හමුදාවට අදාළ පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කිරීමට ‘විශේෂ නෛතික බලය’ හිමි වූයේ ඉන් අනතුරුවය. ඒ දක්වා හඳුනාගත් පුද්ගලයන් ලෙස සිටි අයවලුන් තම ස්ථිර වාසස්ථානය හැර ගොස් ‘සැඟවුණු ජීවිත’ ගතකිරීම ආරම්භ කරන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.   


වේලාව - 09.20 පැයට පමණ ඇත. මේජර් ජයවර්ධන තවදුරටත් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව මෙසේ පැහැදිලි කරයි. ‘‘මේ දක්වා සන්නද්ධ කල්ලි විසින් සිදුකරනු ලැබූ ප‍්‍රචණ්ඩත්ව ක‍්‍රියා විධි කීපයකට අපිට වර්ග කරන්න පුළුවන්. දේශපාලනයේ නියුතු වූවන් ඝාතනය කිරීම, පොලිසියට ඔත්තු සපයන්නන් ඝාතනය කිරීම, පොලිස් විමර්ශන නිලධාරීන් ඝාතනය කිරීම, බැංකු මංකොල්ලකෑම සහ පොලිස් ස්ථානයන්ට පහරදී අවි ආයුධ පැහැර ගැනීම යනාදී වශයෙන්. දැන් ප‍්‍රශ්නය වෙන්නේ පවතින මෙවැනි තත්ත්වයක් මත අද උතුරේ පොලිසිය ක‍්‍රමයෙන් අකර්මණ්‍ය වෙමින් පවතිනවා. ඒ වගේම යාපනයේ පදිංචි වෙලා ඉන්න උතුරේ සේවය කරන දමිළ පොලිස් සාමාජිකයන් සෑහෙන තර්ජනයකට මුහුණදීලා තියනවා මේ තත්ත්වය නිසා.ˮ   


තම කථනය මෙසේ කරගෙන යන අතරතුර දී ‘රෝල්’ කරන ලද යමක් රැගත් සැරයන්වරයෙකු ක‍්‍රියාන්විත මැදිරියට ඇතුළුවීමට අවසර ඉල්ලයි. ‘‘සාජන්ට් එන්න ඇතුළට, බෙදලා දෙන්න ඔය පොස්ටර්ස් ටික මේ සර්ලාටˮ මේජර් ජයවර්ධන කීය. මෙසේ ලබා දුන් පොස්ටරයෙහි කළු සුදු වර්ණවලින් යුත් විවධ අයගේ ඡායාරූප අඩංගුය. උමා මහේෂ්වරන්, ශ්‍රී සභාරත්නම්, ප‍්‍රභාකරන් වැනි අයගේ නම් ආරම්භයේදීම දැකගත හැක. ‘‘මේ ඡායාරූපවල සිටින අයගේ සැබෑ පෙනුම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් අයගේ ඡායාරූප අරගෙන තියෙන්නේ ඒ අය වයස අවුරුදු 16 දී පමණ. ප‍්‍රභාකරන්ගේ ඡායාරූපය ඊට ​හොඳ උදාහරණයක්. ඒ නිසා ඔය ඡායාරූපවල ඉන්න අයම බලාපොරොත්තුවෙන්න එපා. එසේ කියූ මේජර් ජයවර්ධන නිලධාරීන් හට මෙසේ උපදෙස් දෙයි. ‘‘මෙහි තිබෙන ඡායාරූප හොඳට අධ්‍යයනය කරන්න. ඒ සඳහා හඳුනා ගැනීමේ පුහුණුවක් සිදුකරන්න. එහි අවසාන ප‍්‍රතිඵලය වෙන්න ඕනෑ, මෙහි සිටින සෑම අයෙකුගේම ඡායාරූපය දැක්ක ගමන් ඔහුගේ නම කියන්න පුළුවන් වීමˮ. වේලාව - 10.00 පැයයි. තේපැන් පානය සඳහා කථනය නවත්වයි.   


හඳුනාගත් සන්නද්ධ කල්ලි සාමාජිකයින් සතුව එක් පොදු ශරීර ලක්‍ෂණයක් තිබිණි. එනම් ඒ සියලු අය උඩු රැවුලකින් සමන්විත වීමය. එය දමිළ ප‍්‍රජාවගේ පුරුෂ පක්‍ෂය විසින් රැගෙන එනු ලැබූ සංස්කෘතිමය අංග ලක්‍ෂණයක් සේ වුවද හැඳින්විය හැක.   


වේලාව - 10.15 පැයයි. තේ පැන් සංග‍්‍රහයෙන් පසු කථනය නැවත ආරම්භ වේ. ‘‘මේ දක්වා හමුදාවට නිශ්චිත ක‍්‍රියාන්විත දැක්මක් තිබුණේ නැහැ. ඒ ඒ අවස්ථාවල දී ප‍්‍රතික්‍රියා කළා පමණයි. 1979 දී යුද හමුදාව දැඩි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කළා. සැක ඇති සෑම තරුණයෙක්ම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළා. කොටසක් සැඟවුණා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල. තවත් කොටසක් ඉන්දියාවට පළා ගියා. 1980 දී කිසිදු සිදුවීමක් වාර්තා වුණේ නැහැ. නමුත් 1981 දී ඔවුන් නැවත ක්‍රියාත්මක වුණා. ඉන් එක් කරුණක් සක්සුදක් සේ ඔප්පුවෙනවා. අත්අඩංගුවට පත් වුණ අයගෙන් බොහොමයක් මේ ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති අය වග. එසේ පැවසූ මේජර් ජයවර්ධන තම සටහන් දෙස බලා මෙසේ දක්වයි. ‘‘දැනට මේ වර්ෂයේ අද දක්වා ඔවුන් බරපතළ සන්නද්ධ ක‍්‍රියා කිහිපයක් සිදුකරලා තියනවා. මාර්තු 25 මහජන බැංකුවේ මුදල් රැගෙන ගිය රථ දෙකකට පහර දීලා මුදල් පැහැර ගත්තා. රුපියල් 7,909,813/- ක්. තොරතුරුවලට අනුව ‘ටෙලෝ’ හා ‘එල්ටීටීඊ’ යන කල්ලි දෙකම එකතුවෙලා මේ මංකොල්ලය කරලා තියෙන්නේˮ.   


‘‘අප්‍රේල් 05 වනදා හොඳ ‘කැච්’ එකක් ලැබුණˮ ​ෙම්ජර්වරයා කියයි. නාවුක හමුදා ජංගම මුරයක් මගින් නගර්කෝවිල් මුහුදු වෙරළේදී දෙන්නෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. මොකද ඔවුන් ඉන්දියාවට යන්න ඉඳලා තියෙන්නේ. එක් අයෙක් ළඟ රිවෝල්වරයක් හා රත්තරන් තිබිලා තියනවා. නමුත් නාවුක මුරය දැනහඳුනාගෙන නැහැ ඔවුන් කවුරුන්ද යනවග. පේදුරුතුඩුව පොලිසියට ඔවුන් භාරදුන්නට පස්සේ එතැන සිටි ජ්‍යෙෂ්ඨ දමිළ ජාතික සැරයන්වරයෙකු තමයි ඔවුන් මුලින්ම හඳුනාගෙන තියෙන්නේ. අහම්බෙන් වුණත් නාවුක මුරයට හමුවෙලා තියෙන්නේ එදා හිටපු ‘මෝස්ට් වෝන්ටඩ්’ දෙන්නෙක් ටෙලෝ කල්ලියේ. දන්නවාද ඔවුන් කවුරුද කියලා?ˮ මේජර් ජයවර්ධන නිලධාරීන්ගෙන් ඇසීය. ‘‘නෝ සර්”ˮ නිලධාරීහු පිළිතුරු දෙති.  


‘‘ඒ අහුවුණේ කුට්ටුමනී සහ තේවන්. ඒ වගේම මැයි 31 වනදා යාපනයේ නච්චිමාර්කෝවිලඩ් වලදී මැතිවරණ රැස්වීමකට ආරක්‍ෂාව දුන් පොලිස් කොස්තාපල් දෙදෙනෙකුට වෙඩි තියලා ඝාතනය කළා. ඔවුන්ගේ අවි පැහැරගත්තා. ඊට පස්සේ ජූලි 27 තමයි මේ දක්වා සිදුවූ දෑ අතරින් බරපතළම සිදුවීම සිද්ධවුණේ. ඒ අනාකොට්ටේ පොලිසියට රාත‍්‍රීයේ පහරදීලා අවි ආයුධ පැහැරගැනීම.ˮ   


‘‘හොඳට මතක තියාගන්න! මේ කල්ලිවල සාමාජිකයන් ජීවත්වන්නේ වෙන් වෙන්වයි. යම් ක‍්‍රියාවක් කිරීමට අවශ්‍ය වූ විට විතරයි ඔවුන් එකතු වෙන්නේ. ඒ වගේම පුළුවන් තරම් මේ ප‍්‍රදේශවාසීන් සමග කුළුපගවෙන්න. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ භූමිය අපි හරි හැටි නොදැනීම. උතුරු භූමිය, සංස්කෘතික අතින් හා ජීවන රටාව අතිත් සෙසු ප‍්‍රදේශවලට වඩා වෙනස්. ඒ එක්කම තරමක ගුප්ත බවක් මේ ප‍්‍රදේශයේ රැඳිලා තියනවා යි’’ පවසමින් මේජර් ජයවර්ධන නිලධාරීන් දැනුම්වත් කරයි.   


මේජර්වරයා යාපනය අර්ධද්වීපය පිළිබඳව කළ විස්තරය නිවැරදිය. ගුප්ත බව පමණක් නොව සැඟවුණු බව හා අබිරහස් බව ද එදා යාපන අර්ධද්වීපය සතුව තිබූ හා දිවයිනේ සෙසු ප‍්‍රදේශවල දකින්නට නොතිබූ සුවිශේෂී වූ මෙන්ම සිත්ගන්නා වූ ලක්‍ෂණයක් විය. නමුත් එය අද දක්නට නොමැත. ඉන්දියාව සමග උතුරු වෙරළබඩ ප‍්‍රදේශයේ සිදුකළ හොර බඩු ජාවාරම හා සන්නද්ධ කල්ලි රහසේ සැඟවී සිටිමින් සිදුකළ ඇතැම් ක‍්‍රියාකාරකම් මෙකී ලක්‍ෂණය වඩාත් ප‍්‍රගුණ කිරීමට හේතුවූවා යැයි කීම නිවැරදිය. එවන් පසුබිමක සන්නද්ධ කල්ලි හා හොරබඩු ජාවාරම පිළිබඳව රහස් සෙවීම, ඒවා විමර්ශනය කිරීම, අදාළ අයව අත්අඩංගුවට ගැනීම වැනි දෑ සැබැවින්ම සිත්ගන්නාසුලු හමුදා කාර්යයන් විය. එහෙත් 1983 ජූලි 23 තින්නවේලි ප‍්‍රහාරයෙන් පසුව හටගත් ‘කළු ජූලිය’ නිසා ඇතිවූ අනිටු ප‍්‍රතිඵල හේතුවෙන් එතෙක් තිබූ ඒ පරිසර ස්වභාවය යාපන අර්ධද්වීපයෙන් ක‍්‍රමයෙන් අතුරුදන් වුණි. යාපනයේ විසූ දමිළ ප‍්‍රජාවෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකාව අත්හැර විදේශයන් වෙත යාම, සන්නද්ධ කල්ලි විවෘතව සටනකට එළැඹීම හා දමිළ ප‍්‍රජාවේ ඇතැම් කොටස් විවෘතව සන්නද්ධ කල්ලි වෙත සහාය දැක්වීම එසේ වීමට ප‍්‍රධාන හේතු සාධකයන්ය.   


වේලාව 10.45 පැයට පමණ ඇත. ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ පෙර කථනය අවසන්ය. හදිසි ක්‍රියාන්විත මෙහෙයුමේ ක‍්‍රියා පිළිවෙත ඇතුළත් ‘ඔප් ඕඩර්’ (ඔපරේෂන් ඕඩර්) යන කෙටි නමින් හඳුන්වන ‘ක‍්‍රියාන්විත නියෝග ලිපි ගොනුව ‘අතිරහස්‍ය’ යනුවෙන් වර්ගීකරණය කරන ලද ලිපිකවරයක බහා කපිතාන් ලියනගේ විසින් අදාළ නිලධාරීන් වෙත ලබාදේ. එය තම කඳවුරට ගෙන ගොස් තම කණ්ඩායම් නිලධාරි අණදෙන වෙත භාරදී අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ අනුව තම භට පිරිස් දැනුම්වත් කිරීමෙන් අනතුරුව පෙරහුරුවක් සඳහා සූදානමින් සිටින ලෙස දැනුම් දේ. ‘කන්ටින්ජන්සි ඔපරේෂනල් ප්ලෑන් ’ යනුවෙන් හඳුන්වන මෙය හදිසි අවස්ථාකදී පමණක් ක්‍රියාත්මක වන ක්‍රියාන්විත සැලැස්මකි. ‘ඔපරේෂන් අලිබබා’ එහි ගුප්ත නමයි. එයට අනුව සියලුම හමුදා කඳවුරු දෙනු ලබන රේඩියෝ සංඥාවකට අනුව තම වගකිවයුතු ප‍්‍රදේශයේ අදාළ පරිදි පාමුර සංචාර, ජංගම මුර සංචාර, බෝට්ටු මුරසංචාර, රැක සිට පහරදීම්, සීමීත වටලා සෙවීම් යනාදිය සිදුකිරීම, මාර්ග බාධක, රථවාහන පරීක්‍ෂණ හා පාලන ස්ථාන, නිරීක්‍ෂන ස්ථාන යනාදිය ස්ථාපිත කිරීම හා කඳවුර ක්‍ෂණික සූදානමකට ගෙන ඒම වැනි ක‍්‍රියාන්විත කාර්යයන්හි යෙදීම එහිදී සිදුකළ යුතුවේ.   


උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයෙන් ‘ඔප් ඕඩරය/ ක්‍රියාන්විත නියෝගය’ ලැබී දින දෙකක් ගතවී ගොස්ය. ස්ථානය - වෙල්වෙටිතුරය කඳවුරය. වේලාව 14.00 පැයට පමණ ඇත. කඳවුරේ රේඩියෝ සංඥා සෙබළා කඩිනමින් පැමිණ, ‘‘සර් ඔපරේෂන් අලිබබා ඔන්” යැයි පවසයි. ‘‘ඕ කේ ගෙට් රෙඩ් ෆෝ ඔපරේෂන් අලිබබාˮ එසේ හඬනගා කීවේ පළමුවන ගැමුණු හේවා බලඇණියේ ‘ඩී’ කණ්ඩායම් භාර නිලධාරි අණදෙන කපිතාන් නිමල් රත්නායකය. භට පිරිස් ක්‍ෂණිකව තමන් හට පවරා ඇති කාර්යයන් ඉටු කිරීම සඳහා යුහුසුළුව තම අවි ආයුධ උපකරණ අතැතිව අදාළ ස්ථානයන්ට දිවයයි. බෝට්ටු තොටුපළේ නවතා ඇති බෝට්ටු එංජින් පනගන්වන හඬ ඇසේ. ඒ දියත් කිරීමට සූදානම්ව ඇති බෝට්ටු මුරයන්ය. ‘‘කෝ, කෝ ලයිෆ් ජැකට්ස්? ඒවා ඇඳගෙන නගිනවාˮ මුරය මෙහෙයවන සැරයන්වරයා තම භට පිරිස්වලට කෑගසා කියයි. එක් බෝට්ටුවකට තිදෙනෙකු බැගින් බෝට්ටු හතරක් එකවර දියත් කෙරේ. බෝට්ටු යාත‍්‍රා කළ යුත්තේ ‘යුගළයන්’ ලෙසිනි. එක් බෝට්ටුවක් අනෙක ආරක්‍ෂා කළ යුතුය. මේ අනුව එක් බෝට්ටු යුගළයක් නැගෙනහිර දිසාවේ පිහිටි පේදුරුතුඩුව දෙසටද අනෙක් යුගලය බටහිර දිසාවේ පිහිටි තොන්ඩමනාරු දෙසට ද දියත් කෙරේ. ‘‘සා.ර්.ජ.න්.ට් ! රේඩියෝස් ඔන් තියාගන්න. හදිසියක් වුණොත් විතරක් කථා කරන්න. නැත්නම් බැටරි ඉක්මනට බහී. එසේ හඬ නැඟුවේ තොටුපොළ අසලට පැමිණි කණ්ඩායමේ සංඥා මැදිරිය භාර කෝප‍්‍රල්වරයායි. මේ අතර මුරයට සිව් දෙනෙකු බැගින් යුත් පාමුරයන් දෙකක් වැල්වෙට්ටිතුරය දෙසට හා තොන්ඩමනාරු දෙසට වෙරළ තීරුව දිගේ ගමන් ගනී. ඒ සමඟම ජීප්රථ දෙකක් ජංගම මුරයන් සඳහා පිටත්වේ. වෙල්වෙට්ටිතුරය නගරය පසු කිරීමෙන් අනතුරුව මේ රථ උපදෙස් දී ඇති පරිදි එක් එක් මාර්ග ඔස්සේ වෙන වෙනම ගමන් කිරීමට නියමිතය. තවද, කඳවුර ඉදිරියේ මේ වනවිට රථවාහන පරීක්‍ෂාව සඳහා මාර්ග බාධකයක් ද ස්ථානගත කර ඇත. සංඥා මැදිරියෙන් හඬක් නැ​ෙග්. ‘‘හෙලෝ ටකය-ජගත්-ටකය, දිස් ඊස් ටැන්ගො-පපා-මානෙල්, සන්රේ අහනවා ඔක්කොම හරි ද කියලා.. ඕවර්ˮ ටකය-ජගත්-ටකය යනු පළමුවන ගැමුණු හේවා බලඇණිය සඳහා එවකට භාවිතා කළ ‘ගුප්ත ඇමතුම් නාමය’ වන අතර රමණී-පපා-මානෙල් යනු පලාලි කඳවුරයි. මෙම අවස්ථාවේදී සඳහන් වන ‘සන්රේ’ යනු උතුරු ආඥාපතිය. මෙහිදී කණ්ඩායම් අණදෙන කපිතාන් රත්නායක ක‍්‍රියාන්විත නියෝගයට අනුව සියල්ල සිදුවේයි යනුවෙන් දැනුම් දෙයි. අනතුරුව ඔහු “හෙලෝ වන්-වන් ඇන්ඩ් වන්-ටූ , සිග්නල්ස්.. ඕවර්” යනුවෙන් වෙල්වෙට්ටිතුරය කඳවුරේ සිට පිටතට ගොස් සිටින තම ජංගම මුරයන් අමතයි. ‘‘වන්-වන් ඕ කේ.. ඕවර්ˮ. ”වන්-ටූ ඕකේ.. ඕවර්ˮ යනුවෙන් අදාළ මුර පිළිවෙළින් පිළිතුරු දේ. ‘වන්-වන්’ සහ ‘වන්-ටූ’ යන ජංගම මුරවල 2/ලුතිතන්වරු දෙදෙනෙක් සිටිති. තම සිතියම කියවා ‘වඩමාරච්චි’ කලාපයේ අවසාන මංසන්ධිය දක්වා පමණක් මුර සංචාරය කරන ලෙස නිලධාරි අණදෙන උපදෙස් දෙයි.   


වේලාව - 15.30 පැයට පමණ ඇත. ‘ඔපරේෂන් අලිබබා’ අවසන් කිරීම සඳහා පලාලි මූලස්ථානය වෙතින් රේඩියෝ සංඥාවක් ලැබේ. ඒ අනුව කඳවුරු තම භට පිරිස් වෙත ඔවුන් විසින් ඉටු කරමින් සිටින ලද කාර්යයන් අවසන් කර නැවත කඳවුරුවලට වාර්ථා කරන ලෙස උපදෙස් දේ. මේ අතර වෙල්වෙට්ටිතුරය කඳවුරේ දුරකථනය නාද වේ. ‘‘සර්, පලාලි එස්-ඕ ටූ ගෙන් කෝල් එකක්ˮ කණ්ඩායම් මූලස්ථාන කාර්යාල සහාය සෙබළා කියයි . ‘එස් ඕ ටූ’ යනු දෙවන මාණ්ඩලික නිලධාරි ය. ‘‘නිමල්, අශෝක හියර්.. කම් ටු පලාලි ඇට් නයින් ටුමෝරෝ ෆෝ අ ඩීබ‍්‍රෆ්...” (ක‍්‍රියාන්විතයේ පසුකථනය සඳහා හෙට නවයට පලාලිවලට පැමිණෙන්න) යනුවෙන් කපිතාන් රත්නායක හට එසේ කීවේ මේජර් ජයවර්ධනයි. වේලාව - 16.30 පැයයි. ස්ථානය - වෙල්වෙටිතුරේ කඳවුරයි. ක‍්‍රියාන්විතය සිදු කළ අයගේ සහභාගිත්වයෙන් රැස්වීමක් සෙසු නිල භට නිවාසවලට ආසන්න එළිමහන් ස්ථානයකදී පැවැත්වේ. එහිදී තම කාර්යයන් ඉටු කිරීමේදී මුහුණදුන් අපහසුතාවයන් හා අදාළ ක‍්‍රියාන්විතය තවදුරටත් සාර්ථකව හා කාර්යක්‍ෂමව ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා යනාදිය එහිදී සටහන්කර ගැනිණි. සමස්ත වඩමාරච්චි කළාපය වෙල්වෙට්ටිතුරය හා තොන්ඩමනාරු යන කඳවුරුවලින් පමණක් ආවරණය කිරීමට කිසිසේත් නොහැකි බවටත් හා ඒ සඳහා තවත් කඳවුරු කිහිපයක් අදාළ කලාපයේ පිහිටු විය යුතු බවටත් යෝජනා විණි. ජංගම මුරයන් සඳහා ‘ඉන්දීය/ඇමරිකන් වීලීස්’ වර්ගයට අයත් රියදුරුද ඇතුළුව හයදෙනෙකුට පමණක් යා හැකි කුඩා හා විවෘත ‘රෙකී පැට්‍රෝල් ජීප්ස්’ (නිරීක්‍ෂණ ජංගම මුර රථ) යොදා ගැනීම, රේඩියෝ සංඥා උපකරණයක් සෑම මුරයකටම ලබාදීමට තරම් සංඛ්‍යාවක් කඳවුරේ නොමැතිවීම නිසා සංඥා බළකාය මගින් අදාළ උපකරණ සපයා තිබීම අත්‍යාවශ්‍ය වීම යනාදී කරුණු මෙහිදී සාකච්ඡා විණි. පසුදින නිලධාරි අණදෙන පලාලිහි පැවැත්වූ පසුකථනයට සහභාගී වේ. පෙර දින තම භටපිරිස් සමඟ සාකච්ඡා කළ කරුණු එහිදී ඔහු විසින් ගෙන හැර දක්වන ලදී.   


සතියක පමණ කාලයක් සිදුවීම් වාර්තා වීමකින් තොරව ගෙවී යයි. වේලාව - 13.30 පැයට පමණ ඇත. ස්ථානය වැල්වෙට්ටිතුරය කඳවුරයි. සංඥා සෙබල දිව ඒ. ‘‘සර් ඔපරේෂන් අලිබබා ඔන්ˮ පණිවිඩය ලද සැනින් කඳවුරේ භට පිරිස් ‘අලිබබා’ ක‍්‍රියාන්විත නියෝගයේ සඳහන් පරිදි තම කාර්යයන් ඉටු කිරීම සඳහා පිටත් වීමට සූදානම්​ වේ. ‘‘රේඩියෝ සෙටිස් ගන්න අමතක කරන්න එපා” යි නිලධාරියෙන් කියයි. මේ අතර නිලධාරි අණදෙන වහා සංඥා මැදිරියට ගොස් ‘‘දිස් ඊස් සන්රේ කෝල් සයින් වන්, වට් හෑස් හැපන්ඩ්... ඕවර්” (මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ) යනුවෙන් අසයි . ‘‘ඇන් අන්අයිඩෙන්ටිෆයිඩ් ගෲප් හෑස් ඇටෑක්ඩ් ද ප‍්‍රිස්න් වෙහිකල්. ඔන් පීපීඩී-කරවඩ්ඩි-ජැෆ්නා රෝඩ්. ” (හඳුනා නොගත් කණ්ඩායමක් බන්ධනාගාර රථයට පහර දීලා. පේදුරුතුඩුව-කරවඩ්ඩි-යාපනය මාර්ගයේ) එසේ කීවේ තුන්වන මාණ්ඩලික නිලධාරි කපිතාන් ලියනගේය. පොලිසියෙන් ලැබී ඇති තොරතුරු එපමණක් බව ද වැඩි විස්තර දැනගත් විගස දන්වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර වෙල්වෙට්ටිතුරයෙන් පිටත් වූ ජංගම මුරයන් දෙකක්, කරවඩ්ඩි දෙසට මාර්ග දෙකකින් ළඟා වෙමින් සිටී. මින් එකක්, වෙල්වෙට්ටිතුරෙයි - උඩුප්පිඩ්ඩි - කරවනායි - කරවඩ්ඩි මාර්ගය වන අතර අනෙක,වෙල්වැට්ටිතුරෙයි - උඩුප්පිඩ්ඩි - නෙල්ලිඅඩි - කරවඩ්ඩි මාර්ගයයි.   


කරවඩ්ඩි මංසන්ධියට 2/ලුතිතන් එස්එස් ගේ ජංගම මුරය ළඟාවේ. මංසන්ධියේ පිහිටි කඩමණ්ඩිය වසා ඇති බව පෙනේ. කිහිපදෙනෙකු පමණක් ඔබමොබ යති. රථය මංසන්ධිය පසු කරයි. ‘‘මෙතනින් එහාට කවුරුවත් නැහැ. ඒක ටිකක් රිස්කි. වාහනේ පොඩ්ඩක් නවත්වන්න. මොකක්ද කියල අපි හරියට දන්නේ නැහැනේ. බලමු ලෙෆ්ටිනන් මාර්ක්ට කථා කරලා. එයාගේ ලොකේෂන් එක කොහෙද කියලාˮ යනුවෙන් පවසමින් 2/ලුතිතන් එස්එස්, 2/ලුතිතන් මාර්ක්ව අමතයි. ”හෙලෝ වන්-වන් ෆෝ වන්-ටූ සිග්නල්ස්. ඕවර්ˮ. ‘‘වන්-ටූ ෆෝ වන්-වන් ඕ කේ. ඕවර්ˮ. ඒ 2/ලුතිතන් මාර්ක් ය. ‘‘වන්-වන් ෆෝ වන්-ටූ යුවර් ලීමා. ඔිවර්’’. ‘ලීමා’ යනු ලොකේෂන් හෙවත් ස්ථානයයි. 2/ලුතිතන් මාර්ක් ඒ වනවිට කරවඩ්ඩි මංසන්ධියට ළඟාවෙමින් සිටින බැව් කීය. තම රථය කරවඩ්ඩි පසු කර ඉදිරියට පැමිණ ඇති බවත් මංසන්ධියෙන් ඉදිරියට මාර්ගයේ කිසිවෙකු දක්නට නොමැති බවත් 2/ලුතිතන් එස් එස් , 2/ලුතිතන් මාර්ක් වෙත දැනුම් දේ. ‘‘හරි අපි යමු. අපිට පස්සේ ලෙෆ්ටිනන්ට් මාර්ක් එයි. ඇලර්ට් එකේ ඉන්නවාˮ. ජංගම මුරය ‘විවෘත හුදකලා’ කලපු ප‍්‍රදේශයක් හරහා යන මාර්ගයකට පිවිසේ. ‘‘අපි ඇවිල්ලා තියෙන්නේ වඩමරච්චියි, තෙන්නමරච්චයි බෝඩර් එකට. මේ ඒරියා එකේ අපේ කවුරුත් නැහැˮ. සිතියම බලා 2/ලුතිතන් එස්එස් කියයි. ඒ සමඟම ඈතින් නිල් පැහැති බස් රියක් මාර්ගය අයිනේ නවතා තිබෙනු ඔවුන් දකී. ඒ අසල ලා නිල් පැහැති ඔස්ටින්/හිල්මන් වර්ගයේ මෝටර් රථයක් ද ඇත. ‘‘ළඟටම යන්න එපා. ඔය ඉස්සරහ වැටට කවර් වෙන්න නවත්තන්නˮ. ‘‘සර්, යුනිෆෝම්වලින් කවුරු හරි ඉන්නවා.’’ සෙබළෙක් කියයි. ‘‘ප‍්‍රින්ස් එකේ ද නැත්තම් වෙන අය ද? හමුදා රිය දුටු ඔවුන් ඒ දෙසට පැමිණේ. ‘‘කෝකටත් රෙඩි පිට ඉන්නවා’’. 2/ලුතිතන් එස් එස් ඒ දෙසට යමින් සිටින අතරතුර කියයි. මඳ වේලාවකින් දෙපිරිස එකිනෙකා හඳුනාගනී. 2/ලුතිතන් මාර්ක්ගේ ජංගම මුරය ද මේ මොහොතේ පැමිණේ. බස් රථයට තරමක් ඈතින් භූමියේ තිදෙනෙකුගේ මළසිරුරු දක්නට ලැබේ. ‘‘ඕ මයි ගෝඩ්!ˮ තිදෙනාගේම හිස් කඳෙන් වෙන් කර ඇත. ‘‘සර්, අර අතනත් තුන්දෙනෙක් වැටිලා ඉන්නවාˮ සෙබළෙක් කීය.   


බන්ධනාගාර නියාමකයන්ට අනුව මෙය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් නොවේ. දෙපාර්ශ්වයක් අතර ඇතිවූ මතභේදයක් දුරදිග යාම නිසා සිදුවූවකි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ යාපනය බන්ධනාගාරයේ සිට පේදුරුතුඩුව උසාවියට නඩු සඳහා ගෙනගොස් ආපසු රැගෙන එමින් සිටි සැකකරුවන් සය දෙනෙකි. මෙහි අනෙක් පාර්ශ්වය විසින් ඔවුන් එන මඟ රැක සිට මෙම ඝාතනය සිදුකර ඇත. ඝාතකයින් පසෙක නවතා තිබූ මෝටර් රථයෙන් මාර්ගය හරස්කර නිරායුධව සිටි බන්ධනාගාර නියාමකයින් බිය ගන්වා තිබේ. නියාමකයන් එහිදී සැකකරුවන් හට මාංචුවලින් නිදහස් කර පළායාමට ඉඩදී ඇත. ඝාතකයින් කෙසේ හෝ සැකකරුවන් පසුපස හඹා ගොස් කඩුවලින් ඔවුන්ගේ හිස් කඳින් වෙන්වන අයුරින් කපා දමා ඇත. පසුව, ඔවුන් රැගෙන ආ තවත් වාහනයකින් පළාගිය බව පැවසූ නියාමකයින් මෙය ‘පළිගැනීමක්’ වශයෙන් සිදුකළ ඝාතනයක් බව කීහ. ‘‘දෙවියන් කෙරෙහි පුදුමාකාර භක්තියක් තියන සංස්කෘතියක් ඇති දමිළ ප‍්‍රජාව තුළ මෙතරම් දරුණු අයත් ඉන්නවා ද කියන එක හරි පුදුමයි’’ යනුවෙන් මෙම ස්ථානයට පැමිණි භට පිරිස එදා කතා වුණි. ‘‘නමුත් ඒක ‘පළිගැනිීම’ සඳහා නම් පුදුමවීමකට කරුණකුත් නොවේ’’ යි පසු කලෙක ඔවුනට වැටහුණේ එල්ටීටීඊය සිංහල හා මුස්ලිම් ගම්මානවල වැසියන් කපා කොටා මරා දමා තිබූ අන්දම දුටු විටය.