උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට සුරූපිනියන් හමුදාවක්


2018 පෙබරවාරියේ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සඳහා සුරූපිනියන් කණ්ඩායමක් දකුණු කොරියාවට යැවීමට උතුරු කොරියානු නායක කිම් ජොං උන් පියවරගෙන තිබේ.

‘සුරූපිනියන්ගේ හමුදාව’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම යුවතියන් අවුරුදු 20 අඩු තරුණියන්ය. දකුණු කොරියාවේදී ඔවුනට විශාල ප‍්‍රචාරයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි සුපරික්ෂා ලෙස, ඕනෑම දුෂ්කරතාවකට මුහුණ දීමට හැකියාවක් සහිත තරුණියන් අතුරින් මෙම පිරිස තෝරාගන්නා ලදැයි උතුරු කොරියානු ප‍්‍රකාශකයෙක් සඳහන් කර තිබේ. ඔවුන් සියලුදෙනා අඩි 5 අඟල් 3කට වඩා උසැති වැදගත් පවුල් පසුබිමක් සහිත යුවතියන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක් කිම් ඉල් සුං විශ්වවිද්‍යාලයේ සිසුවියන් වන අතර සෑම යුවතියකටම කිසියම් සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකිය. දිරිගැන්වීමේ යුවතියෝ නැටුම් ගැයුම් හා වැයුම්වලින් සිසිර ඔලිම්පික් උළෙල වර්ණවත් කරනු ඇත. මෙම සංචාරය ‘සුරූපිනියන්ගේ හමුදාවේ’ සිවුවැනි සංචාරයයි.


උතුරු හා දකුණු කොරියාව වශයෙන් බෙදී සිටියද කොරියානුවෝ එකම ජාතියකි. 1953දී අවසන් වූ කොරියානු යුද්ධයෙන් පසු කොරියාව උතුරු හා දකුණු වශයෙන් බෙදී වෙන්විය. එතැන් සිට උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර එතරම් යහපත් සබඳතාවක් පැවතියේ නැත. අවම වශයෙන් සෘජු දුරකථන සබඳතා හෝ සෘජු තැපැල් සේවයක් හෝ එම දෙරට අතර නොමැත.

එහෙයින් දකුණට පැමිණෙන උතුරු කොරියානු දූත පිරිස් පිළිබඳව දකුණු කොරියාව දැඩි සුපරික්ෂාකාරීව කටයුතු කරයි. මෙම තත්ත්වය දැන් ක‍්‍රමයෙන් වෙනස් වෙමින් තිබේ. සාමය සඳහා දෙරටට පොදු දේශසීමා ගම්මානයේදී දෙරට නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වේ. ඒ සඳහා මඟ සැලසුණේ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප‍්‍රතිපත්ති හේතුවෙනි. සිසිර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ එම දේශසීමා ගම්මානයට කිලෝමීටර 80ක් පමණ දකුණින් පිහිටි පියොංචෑන්ග්හිදීය.


පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි දකුණු කොරියාවට පැමිණෙන සුරූපිනියන්ගේ හමුදාවට නවාතැන් සැපයෙනුයේ සොකෝහී නවතා ඇති මගී නෞකාවකය.

 

දිරි ගැන්වීමේ කණ්ඩායමක් ලෙස සුරූපිනියන්ගේ හමුදාවක් උතුරු කොරියාවෙන් මුල් වරට සහභාගී වූයේ 2002 වසරේ බුසාන්හි පැවැති ආසියානු ක්‍රීඩා උළෙල සඳහාය. සාම්ප‍්‍රදායික කොරියානු ඇඳුමෙන් සැරසුණු යුවතියෝ 300ක් පමණ එයට සහභාගී වූහ. සමගි බවේ ධජ වනමින් ඔවුහු තම පිළ දිරිගැන්වූහ. දකුණු කොරියානුවෝ දිරි ගැන්වීමේ සුරූපිනියන් කණ්ඩායම එවර මහත් හරසරින් පිළිගන්නා ලදහ.

 


2005 සුරූපිනියන්ගේ කණ්ඩායමේ නායිකාව වූ චෝ මියුං අයි හට දකුණු කොරියාවේ සම්සුං ජංගම දුරකථන සමාගම වෙනුවෙන් නිපදවන ලද වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටින්නටද අවස්ථාව හිමි විය. එම වසරේ උළෙල නියෝජනය කරන ලද යුවතියක වන රි සොල් ජු වර්තමාන කොරියානු නායක කිම් ජොං උන්ගේ බිරිය බවට පත් වූවාය. සුරූපිනියන්ගේ හමුදාව දකුණු කොරියාවට පැමිණීම ක්‍රීඩා උළෙලේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය වැඩි කර ගැනීමට ද මඟක් යැයි පවසන පියොංචෑං ක්‍රීඩා කමිටු සාමාජික සුං බෙයික් යූ ඔවුන්ගේ පැමිණීමෙන් දෙරට අතර සාමය හා සමගිය වර්ධනය වන බව ද පවසයි.


උතුරු කොරියානුවන් දකුණට පැමිණීම එක් අතෙකින් රාජ්‍ය තාන්ත්‍රික හිසරදයක්ද වී තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා ඔවුන්ගේ යුදවාදී ආකල්ප හේතුවෙන් දකුණු කොරියානුවෝ පෙර මෙන් උණුසුම් අයුරින් ඔවුන් පිළිගනු ඇතිදැයි යන සැකය මතුවී තිබේ. එමෙන්ම දකුණු කොරියානු භූමිය තුළ උතුරු කොරියානු ධජය එසවීම හෝ ජාතික ගීය වාදනය කිරීම තහනම්ය. ඒ සඳහා භාවිත කළ හැකි වන්නේ එක්සත් ධජයක් පමණි. 2014 ආසියානු ක්‍රීඩා උළෙලේදී දෙරට අතර පැවැති පාපන්දු තරගයේ කොඩි ගසේ ලෙළදුන් උතුරු කොරියානු ධජය ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. 2000 සිඩ්නි සහ 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයන්හි හා 2006 ටොරිනෝ සිසිර ඔලිම්පික් උළෙලේදී කණ්ඩායම් දෙක ඒවාට සහභාගී වූයේ එක කණ්ඩායමක් ලෙස එක්සත් ධජයක් යටතේය. පෙබරවාරි 9 වැනිදා පැවැත්වෙන සිසිර ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදීද එම පිළිවෙතම අනුගමනය කෙරෙනු ඇත.

 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා