උතුම් මිනිසුන්ට සවිය දෙන්නට නර ලොවට එන සුර දූතයෝ


අගක් මුලක් නැති කතා

 

ලෝකය රාගාදී ක්ලේශයන්ගෙන් වැසී ගොස් ඇත. භවය නමැති බන්ධනාගාරයේ වෙසෙන පෘතග්ජන හිරකාරයන්ට හොඳ නරක, පින් පව්, යුතු අයුතුකම් කර්ම විපාක නොවැටහෙයි. මිනිසත් බව ලැබුවත් එයින් නිසි පල ලබන අය අල්පය. පාපයෙහි සාපයට හසුවී වැනසෙන්නෝ බහුලය. එවන් අඳුරු යුගයක සත්‍යය හෙළි පෙහෙළි කොට දහමෙහි පිහිටුවන්නට ලෝක පාලක බලවේග ක්‍රියාත්මක වෙයි. දිව්‍යමය ශක්ති ඇති මිනිස් ආත්ම මනු ලොවට එවති. යනුවෙන් සිත දියුණු කළ උතුමෝ ප්‍රකාශ කරති.   


පෙරපින් මහිමයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් පැහැදිලි අවබෝධයෙන් හා චිත්ත ධෛර්යයෙන් යුත් සුවිශේෂ ගණයේ මිනිස්සු වරින් වර නොයෙක් රට වල බිහි වෙති. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. ඕල්කට්තුමා ද එවැන්නෙකි. තවත් ගිහි පැවිදි අය ඒ අතර වෙති. පරාර්ථකාමී බව මුල් තැන්හිලා කටයුතු කරන ඔවුනට සම්‍යක් දෘශ්ටික ගුප්ත බලවේග ඉමහත් කැමැත්තෙන් සවිය දෙමින් ආරක්ෂාව සපයමින් යා යුතු මඟ පෙන්වා දුන් සත්‍යමය පුවත් කොතෙකුත් ඇත. එවන් සවි බල ගෙන දෙමින් ආශිර්වාද කරන්නේ අනුන්ගේ යහපතට කටයුතු කරන්නාක් පමණි.   


අප මේ කියන්නට යන කතාව එකම කාලයක එකම අදහස් ඇතිව පරාර්ථ සේවයට කැප වූ ගිහි - පැවිදි පිරිසක් (රටවල් කිහිපයක සිටියත්) එකට එක් කළ අපුරු ගුප්ත බලවේගයක් පිළිබඳ විස්මිත පුවතකි. ඇතමෙක් මෙය නොපිළිගන්නට ඉඩ කඩ ඇතත් සත්‍ය වශයෙන්ම එය මෙලොව සිදුවූ දෙයකි.   


සුප්‍රසිද්ධ පරම විඥානාර්ථ සමාගම පහළ වූයේ වර්ෂ 1875 නොවැම්බර් 11 වන දින ඇ​ෙමරිකාවේ නිව් යෝක් නගරයේදීය. ජාති, ආගම්, වර්ණ, කුල ආදී කිසිදු භේදයකින් තොරව සත්‍යය පමණක් සෙවීමේ නිරතවූවන්ගෙන් සැදුම් ලත් මේ අපූරු සංවිධානය මිනිස් වර්ගයාට සේවය කරන්නට ගිවිස ගෙන සිටියේය. ඒ සමගම මිනිසාගේ අධ්‍යාත්මික ශක්තිය පිළිබඳ ගුප්ත කරුණු ගවේෂණය කිරීමද ඔවුන්ගේ උදාර අරමුණු අතර විය. ඒ නිසා සංවිධානයේ සියලු දෙනා විවිධ භාෂා විද්‍යා ශාස්ත්‍ර ඥානයෙන් සුචරිතයෙන් අගතැන්පත් පර් යේෂකයෝ සහ ගවේෂකයෝ වූහ. එමෙන්ම අහිංසාවාදී පිරිසක් ද විය. ඒ සඳහා ලොව පුරා සැරි සැරූ මොවුන්ගේ ආදර්ශ පාඨය වූයේ ‘සත්‍යයට වඩා උසස් ආගමක් නැත.’ යන්නයි.   


​මේ සමාගම පිහිටුවී​මෙහිලා ඇ​මෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා දැඩි කැපවීමක් කළ අතර එහි ශාඛා රැසක් ද නොයෙක් රටවල පැනනැගුණි. මේ ව්‍යාපාරය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගියේ මිනිස් සංවිධාන ශක්තියේ හා කැපවීමේ ප්‍රතිඵලයකින් පමණක් නොවන බවත් ඒ සඳහා නොපෙනෙන දේව බලයක සහාය නොඅඩුව ලැබුණ බවත් එකල එහි සාමාජිකයන්ගේ මතය විය. ඒ පිළිබඳ ඕල්කට්තුමාගේ දින පොතෙහිද විස්තර කොට ඇත.   


සත්‍ය ගවේෂණයට ලොව ප්‍රබල රටවල් වූ ඇ​මෙරිකාවෙන් පැමිණි ඕල්කට් සහ රුසියාවෙන් පැමිණි බ්ලැවැට්ස්කි යන ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර කිසිදා නොබිඳිය හැකි සහෝදර බැම්මක් හා එකමුතුකමක් ඇති කොට ලොව පුරා ගොස් ගවේෂණයට දිරිදුන්නේ මෙකී දේව බලයන් විසින් බව හෙළි වී තිබේ. දිව්‍යමය බලයක් ඇති මේ අන්දමේ ගුප්ත පුද්ගලයන් දෙදෙනෙක් ගැන පැරණි පොත පතේ සඳහන් වේ.   


රටවල් යටත් කරගෙන එම රටවල සම්පත් කොල්ලකමින් බලහත්කාරයෙන් ආගම් වාද පතුරවමින් මිනිස් ඝාතන හා අපරාධ සිදුකරමින් පාපී දුරාචාරයන් පතුරමින් ගෙන ගිය රාජ්‍ය පාලනයන් හේතුවෙන් මිනිස් සමාජය දුකට පත්ව සිටි යුගයක සත්‍ය ධර්මය පෙන්වා දෙන්නට බාහිර බලවේගයක ගුප්ත මඟ පෙන්වීම අවශ්‍ය වේ. ඒ ගැන කියවෙන කතා පුවත් රස බර සහ විස්මිත තොරතුරු වලින් යුක්තය.   


මිනිස් ලොව මිනිසුන් අතර සැරිසරමින් යහපත් ජීවිත ගත කරන උතුම් අරමුණු ඇති මනුෂ්‍යයින් ඉදිරියේ උන් හිටි ගමන් පෙනී සිටි මෙයින් එක් ගුප්ත ආත්මයක් සඳහා එකල නම් රැසක් භාවිතා විය. ඒ බහුනාමධාරී පුද්ගලයා මිනිස් වේශයෙන් පෙනී සිටින කාරුණික දෙවියෙක් බව ඒ යුගයේ ප්‍රකට විය. ඒ වර්ෂ එක්දහස් අටසිය ගණන් වලය.   


පරම විඥානාර්ථ ව්‍යාපාරයත් පසුව බුදු දහමත් පරාර්ථකාමී සදාචාරාත්මක ජීවන පැවැත්මත් පතුරුවන්නට දිවි කැප කර සිටි ඕල්කට්තුමා ඉදිරියේ ජීවමානව වරක් පෙනී සිට වටිනා උපදේශ රැසක් ලබා දුන්නේ මේ ගුප්ත ආත්මය බව එතුමාගේ දින පොතේ විස්තර කර ඇත.   


හිමිදිරි පාන්දර පොතක ඇතුළත් කරුණු සිතට ගනිමින් හිඳ ගෙන සිටි ඕල්කට්තුමා තම දකුණු අත පැත්තෙන් විහිදී ගිය වර්ණවත් ආලෝකයක සේයාවක් දැනී ඒ දෙස විමසුම් ඇසින් බැලීය. විස්මයකි.   


සාමාන්‍ය මිනිසකුට වඩා බෙහෙවින් උස සුදු වතින් සැරසුණ දේහධාරි ඉතා පැහැපත් පෙනුමින් යුත් මේ පුරුෂයා දුටු හෙතෙම ඒ දර්ශනයෙන් වශී විය. විවිධ වර්ණයෙන් බබළන ජටාව, ඒ අතරින් උර හිස දක්වා පහළට වැටුණ කේශ කලාපය, නිකටෙන් පහතට බෙදී අමුතු ආකාරයකට පිහිටි කාල වර්ණ රැවුල කාන්තිමත් දෙනෙත හේතුවෙන් තම දෙනෙත් ඉවතට ගත නොහැකිව සිටි ඕල්කට්තුමා වහා හුනස්නෙන් නැගී සීරුවෙන් නිසලව සිටියේ කීකරු දරුවකු මෙනි.   


ඕල්කට්, මාගේ පුත්‍රය, මා පැමිණියේ ඔබට උදව් කිරීමටයි. ඔබේ අදහස හා ඔබ ක්‍රියාකරන ආකාරය ඉතා හොඳයි. මනුෂ්‍ය සංහතියේ යහපතට ඔබලා කරගෙන යන ව්‍යාපාරයට පැමිණෙන දුෂ්කරතා වලදී උපකාර පිණිස බාහිර බලවේගයක් අවශ්‍යයි. ඒ සඳහා මගේ උපකාර ලැබෙනවා. මා ගැන නොසිතන්න, මා කියන කරුණු සැලකිල්ලට ගන්න ආදී වශයෙන් කියා තුන්වන පාර්ශ්වයක් විසින් දැන නොගත යුතුයි. යනුවෙන් රහස් කරුණු කිහිපයක් ඔහුට අනාවරණය කළේය.   


නැගී සිට සමුගන්න මොහොතේ ඔබට මා අවශ්‍ය කුමන අවස්ථාවක ද සිහි කළ සැණින් මා ඔබ සමගය. යනුවෙන් පැවසු මේ අද්භූත පුරුෂයා සුරත දිගු කොට ඕල්කට්ගේ හිස පිරි මැදි මොහොතේ ඕල්කට් ගේ මුළු සර්වාංගයම කිලිපොළා ගියේය.   


ඔහු යන්නට සමුගත්තත් ඉවතට යනු දක්නට නොලැබිණි. ඔහු ගියේ කොතැනින් ද? ආවේ කොහොමද? කාගේ කව්ද? කොහි සිට පැමිණීයේ ද? ප්‍රශ්න රැසක් ඉතිරිව තිබුණත් සැබවින්ම ඔහු ඉවත්ව ගොස් තිබිණි.   
මුල් කාලයේ කෘෂි විද්‍යාඥයකු ලෙසද යුධ සෙන්පතියකු හැටියට ද විවිධ න්‍යාය ශාස්ත්‍ර හදාළ බුද්ධිමතකු හැටියට ද ලොව පුරා සංචාරය කළ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මේ අද්භූත පුරුෂයා ඉදිරියේ කුඩා දරුවකු මෙන් කීකරු වී සිටියේ ඇයි?   


ඒ මොහොතේ මට කුමක් වී දැයි මටම සිතා ගත නොහැකි විය. මෙවන් ශෝභාසම්පන්න සද්දන්ත පුරුෂයින් මේ මිහිපිට නම් සිටිය නොහැකිය. එතුමන් දුන් උපදෙස් තරයේ පිළිපඳින්නට මම ඒ අවස්ථාවේම ඉටාගතිමි. යැයි ඕලකට් තුමා සිය දින පොතේ ලියා තිබිණි. 

 
ඕල්කට් තුමා සමග එකට වැඩ කළ විස්මිත හාස්කම් කළ හැකි රුසියානු ජාතික බ්ලැවැට්ස්කි මැතිනිය ගැන ද මේ අද්භූත පුරුෂයා අවස්ථා ගණනාවක් සඳහන් කොට තිබේ.   


ඕල්කට් සිත එකඟ කොට නිසලව සිටින්න. ඔබ අප වැනි අය ගැන සොයන වික්‍රමාන්විත විශ්වාස කටයුතු සොයුරියක් සිටී. හෙලේනා බ්ලැවැට්ස්කි නම් වූ ඇය වහාම මුණ ගැසිය යුතුය. කඩුවට, ගින්නට, බිය නොවන ඇයගේ චෛතසිත බලය ඉහළය. ඇයගෙන් ඔබට බොහෝ දේ ඉ​ෙගන  ගත හැකිය. පළමුවෙන් කළ යුත්තේ හිස් ඇගයුම් පසු පස යමින් දුරාචාරය ගොදුරුව සිටින ඇයගේ අවාසනාවන්ත සැමියා ළඟට ඇයට නැවත යන්නට ඉඩ නොදීමයි. ඇය සතු බලය දැන් සංක්‍රමණ අවස්ථාවක පවතී. ඇය සිටින පරිසරය පවිත්‍රව තිබිය යුතුය. ඇයට වැඩ කරන්නටත් ලියන්නටත් ඉඩ ලබාදෙන්න. ඔබටත් ලෝකයටත් විශෘල සෙතක් එමගින් උදාවනු නියතය. යනුවෙන් අද්භූත ආගන්තුකයා කියා තිබේ යැයි මේ තොරතුරු ඇතුළත් කුඩා පොතක් 1953 දී නිකුත් කළ ලේඛක ඩී.ඩබ්. සේනාධීර මහතා සඳහන් කර ඇත.   


හෙලේනා බ්ලැවැට්ස්කි පැරැණි රුසියානු රජ පෙළ පතට සබඳකම් ඇති ප්‍රභූ පවුලක කාන්තාවක් වුවද ඒ බව කීමට ඇය කිස්සේත් කැමති නොවීය. නොගිය රටක් ලොව නැති තරම්ය. භෘෂා රැසක් ඇයට ඉතා නිවැරැදිව හසුරුවන්නට හැකි විය. ආගම් හා දර්ශන ශාස්ත්‍ර පිළිබඳ අද්විතීය දැනුමක් සහිතව සිටි ඇය හිමාලයේ තාපසාරාම වල භාවනා ක්‍රම ප්‍රගූණ කොට ඒ ධර්මයන් මිනිස් පරපුර ඉදිරියේ හෙළිකළේ ඇදහිය නොහැකි විස්මිත දේ සිදුකරමිණි. ලංකාවේ අධ්‍යාපන කටයුතු හා ස්ත්‍රී පක්ෂයේ අභිවෘද්ධියටද එතුමිය විශාල සේවාවක් සිදුකර ඇත්තේ ඕල්කට් තුමා ඇතුළු පිරිසට එක්වෙමිනි. 

 
​දේවාශිර්වාද ලද ඇය කරන කියන දේ ​ෙසවීමට එකල ඇතැම් පත්‍රවාර්තාකරුවෝ සැඟවී බලා සිටි බව කියති. 1905 දී ඕල්කට්තුමාගේ ලිපියක ඇය ගැන මෙසේ කියා තිබේ.   


අැතැම් විට ඇය තමන්ගේ වයස අසූවක් බවත්, ගෙවී ගිය සියවසේ උපන් බවත් කියයි. වරෙක ඇය මැහැල්ලක මෙනි. තවත් විටෙක යොවුන් තරුණියක් මෙනි. තවත් විටෙක ඇය ස්ත්‍රීභාවයෙන් පුරුෂ භාවයට ද‌, පුරුෂ භාවයෙන් ස්ත්‍රීභාවයට ද පරිවර්තනය වී තිබේ. පැරණි ගම්භීර ධර්මයන් මැනවින් ප්‍රගුණ කළ ඇය ඈත හිමාලයේ භාවනා යෝගීන් සමග අදහස් හුවමාරු කර ගනී. බුද්ධ ධර්මයටත් හින්දු ආගමේ මති මතාන්තර වලටත් මහත් බැතිමත් බවක් දැක්වූ බ්ලැවැට්ස්කි හා ඕල්කට් දෙදෙනා හට උතුම් මනුෂ්‍යයින්ට සවිය දෙන්නට නරලොවට එන සුරදූතයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව අනුන්ගේ යහපත සඳහා කැපවීම වෙනුවෙනි.   


අද මෙන් දියුණු ප්‍රවාහන ක්‍රම නොතිබූ දුෂ්කර යුගයක මහත් දුෂ්කර අපසුතා මැද ඕල්කට්තුමා ලංකාවට37 වාරයක් ද, හතළිස් වාරයක් පමණ ඉන්දියාවට ද විසි වාරයක් එංගලන්තයට ද ඒ හා සමාන වාර ගණනක් ප්‍රංශය ජර්මනිය වැනි රට වලට ද නැව් මගින් ගියේ පොදු සේවාවන්ටය. සිය ගණන් කතා පවත්වමින් ලිපි ලියමින් දුක්ගැනවිලි වලට කන් දෙමින් ලෙඩුත් සුපවත් කරමින් ගැටලු විසඳමින් පාසල් හා සමිති පිහිටුවමින් ලෝකය වෙනුවෙන් සේවය කළේ කිසිදු විවේකයක් සැප පහසුකමක් නොමැතිවය.  ඒ නොසැලෙන චිත්ත ධෛර්යය වැඩි දියුණු කර සවිය, බලය දෙන්නට සුර ලොවින් සුර දූතයන් නර ලොව පැමිණීම පුදුමයක් නොවේ යැයි සිත දියුණු කළ උතුමෝ කියති.   


ඕල්කට්තුමා අවසන් ගමන් යද්දී ඇනී බැසන්ට් මැතිනිය කළ කථාවේදීද, හිමාලයෙන්, කාශ්මීරයෙන්, මිසරයෙන් විවිධ වේශයන්ගෙන් එහි පැමිණි දේවතාවුන් ගැන ප්‍රසිද්ධියේ සඳහන් කොට තිබේ. ඈත උත්තර දිශාවේ පිහිටි දිව්‍ය වාස භවනයට ඔහු කැඳවා ගෙන ගිය බව ඇය කියා ඇත.   

 

 


දෙවිනුවර දම්සිරි කරුණානායක