උණ පඳුරක සැඟ වී සිට යළි උපන් දරුවෙක්


​පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

පුනර්භව පර් යේෂණ අතරින් අතිශය පුදුම සිදුවීම් තායිලන්තයෙන් ද අනාවරණය වේ. 1962 වසරේදී උපත ලද දරුවෙකු මගින් හෙළි වූ සිදුවීමක් පුනර්භව පර් යේෂකයන්ගේ දැඩි අවධානයට යොමු විය. එයට හේතු වූයේ පෙර භවය හෙළි කළ එම දරුවාගේ ප්‍රකාශයකි. තමාගේ මරණය සිදුවීමෙන් පසු ඒ අසල උණ පඳුරක සැඟ වී සිටි බැව් එම දරුවා ප්‍රකාශ කළේය. මෙම පුනර්භව සාධකය පිළිබඳව එරට පුවත්පත් දෙකක් වූ PIM THAI සහ THAI RAT මගින් විමර්ශනයක් සිදු කළේය. 1965 මාර්තු 11 වැනිද‌ා එම වාර්තා පළවීමෙන් පසු පුනර්භව පර් යේෂකයන් පිරිසක් ද මේ පිළිබඳව පූර්ණ පර් යේෂණයක් පැවැත්වූහ.   


 දරුවන් එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ දසවැනි දරුවා වූ ඔහුට නම් දී තිබුණේ බොන්කචි යනුවෙනි. වයස අවුරුදු එකහමාරක් පමණ වෙන විට එම දරුවාට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි. මාස කීපයක් ගතවීමත් සමග දිනක් ඔහු මව ඇමතුවේය.   


‘මේ මගේ ගෙදර නෙවෙයි. මට මගේ ගෙදර යන්නට ඕනෑ.’ යැයි ඔහු කීය. තම පුත්‍රයාගේ මෙම වදන මවගේ මවිතයට හේතු විය. නැවත නැවත ඔහු පැවැසුවේ ඔහුට වෙනත් නිවසක් ඇති බවකි. තවත් මාස කීපයක් ගත විය. ඔහු පෙර භවයේ නම චමිරත් බැව් පැවසීය. එහිදී පුද්ගලයන් දෙදෙනෙක් සමග ඔහු මරණයට පත් කළ බවත් හෙළි කළේය. මරණය සිදුකළ දින ඔහු ඔවුන් දෙදෙනා සමග නගරයේ පැවැති පොළක් වෙන ගමන් කරමින් සිටි බව ද එම දරුවා මතකයෙන් හෙළි කළේ මාපියන් පුදුමයට පත් කරවමිනි. ඔහු පදිංචිව සිටි ප්‍රදේශයත් ඔහුට තිබූ ගොවිතැන් වැඩ පිළිබඳවත් පැහැදිලිව ඔහුගේ මතකයේ තිබිණි.   


තමා ඝාතනය කිරීමෙන් පසු අත තිබූ අත් ඔරලෝසුව සහ ගෙල බැඳ තිබූ රන් දම්වැලත් මිනී මරුවන් විසින් ගලවා ගත් බව ද එම දරුවා අනාවරණය කළේය. මිනීමැරුම සිදුකළ අවස්ථාවේ එහි සිටි එක් අයෙක් ඔහුගේ මිතුරෙකු බැව් ද එම දරුවා හෙළි කළේය. පෙර ජීවත්ව සිටිය දී ලතින් භාෂාව භාවිත කළ බව ද මෙම දරුවාට මතක තිබිණි. තම පුත්‍රයා හෙළිකරනු ලබන ගම් ප්‍රදේශය පිළිබඳව මාපියන්ට එතරම් අවබෝධයක් නොතිබුණි. එම ප්‍රදේශයේ වරින් වර මිනීමැරුම් සිදුවන බැව් ඔවුන් අසා තිබුණ ද බොන්කච් හෙළිකළ පරිදි තරුණයෙකු ඝාතනය කිරීමක් ගැන ඔවුහු දැන නොසිටියහ. 

 
කාලය ගෙවී ගියේය. වසරක් පමණ වෙන විට එම දරුවාගේ ප්‍රකාශ පිළිබඳව අසල්වැසි ගම්වලටත් පැතිර ගියේය. ඒ වෙන විට ඔහුගේ පෙර භවයේ ගමත් දෙමාපියන්ගේ නම් සහ සොහොයුරෙකුගේ නමක් ද ඔහු විසින් හෙළිකරනු ලැබීය.   


 ඔහුට පෙම්වතියක් සිටි බවත් ඇගේ නමත් අනාවරණය කළ එම දරුවා පෙර භවයේදී ඔහු මරණයට පත්වන විට අවුරුදු දහඅටක තරුණයෙකුව සිටි බැව් ද පැහැදිලිව ප්‍රකාශ කළේය. තම පියා විසින් ඔහුට ගවයින් දෙදෙනෙක් ලබා දුන් බව ද පැවසූ එම දරුවා ද එක් ගවයෙක් රතු වර්ණය තිබූ බැව් ද අනෙක් ගවයා කළු සහ සුදු පුල්ලි තිබූ බැව් ද පැවසීය.   
මරණය සිදුකළ අවස්ථාවේ එහි සිටි දෙදෙනාගෙන් එක් අයෙක් තම දෑත් අල්ලාගෙන සිටි බවත් අනෙක් පුද්ගලයා පිහියකින් ඇන්න බවත් පැවසීය. තමා බිම වැටීමෙන් පසු මරණයට පත් වූ බැව් පැවැසූ ඔහු තම සිරුරේ තිබූ ඔරලෝසුව සහ රන්මාලය කඩා ගත් බැව් ද කීය

.   
බොන්කචි අනාවරණය කරන තොරතුරු පෙර භවයේ මාපියන්ට ද අසන්නට ලැබිණි. ඒ අනුව ඔවුහු එම දරුවාගේ නිවස සොයා පැමිණියහ. තොරතුරු විමර්ශනය කිරීමෙන් ඔහු හෙළි කළ තොරතුරු මියගිය තම පුත්‍රයාගේ ජීවිත තොරතුරු බැව් පැහැදිලිව සනාථ විය. මියගිය තරුණයා ඒ වන විට 18 වැනි වියේ පසු වූ බවත් ඔහු මරණයට පත් වූ අන්දම පෙර භවය හෙළි කළ දරුවා නිවැරදිව ප්‍රකාශ කරන බවත් පෙර භවයේ මාපියෝ පිළිගත්හ. ලැබූහ. මෙම පුනර්භව සාධකය පිළිබඳව පුවත්පත් මගින් අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පුනර්භව පර් යේෂකයන් වූ ප්‍රැන්සිස් ස්ටෝරි සහ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් පර් යේෂණයක් පවත්වනු ලැබීය.   


බොන්කචි හෙළිකළ පෙර භව තොරතුරු පර් යේෂණ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව ඔහු හෙළිකළ කරුණු තිහකට වැඩි ගණනක් සනාථ කිරීමට හැකි විය. එහි ප්‍රධාන කරුණු ලෙස සඳහන් වූ තොරතුරු පර් යේෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය.   


පෙර භවයේ නව ප්‍රකාශ කිරීම.   
මාපියන්ගේ නම් හෙළි කිරීම.   
පෙම්වතිය ගැන හෙළි කිරීම.   
මරණය සිදුවන විට වයස පැහැදිලිව හෙළි කිරීම.   
ගොවිතැන් වැඩවලදී සිටි ගවයින් ගැන හෙළිකිරීම.   
ගවයින් දෙදෙනාගේ හැඩරුව කීම.   
අවසන් වරට ඇඳ සිටි ඇඳුම් පිළිබඳව හෙළි කිරීම.   
මරණය සිදුකළ ආකාරය සහ ස්ථානය පැහැදිලිව කිරීම.   
සිරුරේ තිබූ ඔරලෝසුව සමඟ රන්මාලය ගලවා ගත් බැව් හෙළි කිරීම.   
මරණය සිදුකළ ස්ථානය අසල උණ පඳුරක් තිබූ බැව් හෙළි කිරීම.   
ලතින් භාෂාවේ වචන ප්‍රකශ කිරීම.   


 මෙම සියලු කරුණු සනාථ වූ අතර පෙර භවයේ පෙම්වතිය සහ සොහොයුරෙක් නිවැරදිව හඳුනා ගැනීම ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි අතර දක්නට ලැබිණි.   
පර් යේෂකයන් සිදුකළ විමර්ශනයේදී මරණයට පත්වූ තරුණයා පිළිබඳව කරුණු දැඩි විමර්ශනයනට ලක්කර තිබේ. 1936 දී උපත ලද චමීරත් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ සිව් වැනි ශ්‍රේණිය දක්වා පමණි. ඔහුගේ පියා ගොවිතැන් කළ අයෙකි. පියා සමග එක් වී කුඩා කල සිටම ඔහු ගොවිතැන් කටයුතුවල නියැළී සිටියේය.   


ඔහු තරුණ වියට පත්වීමත් සමග පියා විසින් ඔහුට ගොවිතැන් කිරීම සඳහා කුඹුරක් සහ ගවයින් දෙදෙනෙක් ද දෙනු ලැබිණ. ගොවිපළ වැඩිදියුණු කරගනිමින් ජීවිකාව කරගෙන ගිය ඔහුට පෙම්වතියක් සිටියාය. නිතර ඇය හමුවන ඔහු විවාහයට සූදානමින් සිටියේය. එද‌ා ඔහු මරණයට පත් වූ දිනයේ ඔහුගේ මිතුරෙක් තවත් අයෙකු සමග ඔහු හමුවිය. එදින පැවැත්වෙන ආගමික සංදර්ශන පොළක් නැරඹීමට එන ලෙස ඔහුට ආරාධනා කරනු ලැබිණි. ඔහුට ආරාධනා කළ දෙදෙනාගෙන් එක් අයෙක් ඔහුගේ මිතුරෙකි. අනෙක් තැනැත්තා කලක් ඔවුන්ගේ ගොවිතැන් කටයුතුවල නියැළි සිට ඉන් ඉවත් කළ කම්කරුවෙකි. මිතුරා සිටි නිසා තමාට කළ ආරාධනය පිළිගත් තරුණයා ඔවුන් සමඟ පොළ වෙත ගමන් කළේය.   
පොළ වෙත යන අතර ජනයා අඩු ප්‍රදේශයකදී ඔහුට නොසිතූ ඉරණමකට ගොදුරුවන්නට සිදුවිය. එක්වරම ඔහුට පහර දුන් එක් අයෙක් ඔහුගේ දෑත් අල්ලා ගත්තේය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ අනෙක් පුද්ගලයා ඔහුට පිහියෙන් ඇන්නේය. බිම වැටුණු ඔහුගේ සිරුරේ තිබූ රන්මාලය සහ ඔරලෝසුව ගලවාගත් ඔවුන් මියගිය තරුණයාගේ සිරුර ඉවතට ඇද දමා පලාගියහ.   


 සිරුර හමුවූයේ උණ පඳුරක් අසල තිබියදීය. මෙම පුනර්භව සාධකයේ එම දරුවා විසින් කරන ලද ප්‍රකාශයක් අතිශය පුදුම උපදවනසුලු විය. ඔහු පැවසුවේ උණ පඳුරේ ඔහු සිටි බවය. ඒ බැව් මව සමග ඔහු ප්‍රකාශ කළේ ඉතා කුඩා අවදියේදීය. වරක් මව සමග ඒමට උත්සාහ කළ නමුත් ඇය මඟහැරුණ බැව් ද ඔහු ප්‍රකාශ කළේය. අනතුරුව පියාව දුටු බවත් පසුව ඔහු සමග නිවසට පැමිණි බවත් කීය. එදින වැසි සහිත දිනයක් බව ද මෙම දරුවා හෙළිකළේය. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී පියා සඳහන් කරනු ලැබුවේ බිරිය එම දරුවා පිළිසිඳ ගැනීමට මසකට පෙර ඔහු සිටි බැව් සඳහන් කළ උණ පඳුර අසලින් ඔහු ගමන්ගත් බවකි. එදින වැසි දිනයක් වූ බැව් ද පියාගේ මතකයේ තිබිණි.   


මෙම තොරතුරු අනාවරණය කළ දරුවාගෙන් මව වරක් ඔහු සිටි අන්දම විමසා සිටියාය. ඔයා එහෙ ඉන්න කොට බඩගිනි දැනුනෙ නැද්ද?’ යයි මවගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම දරුවා පැවසුවේ එය සිදු නොවූ බවය. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර් යේෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ මෙසේය.   


'BONKUCH SAID THAT HE STAGE 'OVER THE BAMBOO TREE' FOR SEVEN YEARS. HIS MOTHER ASKED HIM IF HE GOT HUNGRY DURING THIS TIME. AND HE SAID THAT HE DID NOT' යනුවෙනි.   


ඔහුගේ ප්‍රකාශය අනුව වසර කීපයක් උණ පඳුරේ සිටි බැව් හෙළි විය. එම දරුවගේ උපත 1962 වසරේදී සිදුවූ අතර ඔහු හෙළිකළ පෙර භවයේදී මරණය සිදුවී ඇත්තේ 1954 වසරේදීය. ඒ අනුව උපත සහ මරණ අතර කාලය අට වසරකට ආසන්න වී ඇති බැව් පර් යේෂණයේදී තහවුරු විය.   

 

 


තිස්ස ජයවර්ධන