උඩරට රජකාලේ හැදූ පානබොක්ක වලව්ව


ලංකාවේ පුරාණ වලව්   

 

පානබොක්කේ වලව්ව (ඉදිරිපස)

  • මෙරට ප්‍රථම පොලිස් පරීක්ෂක පානබොක්කේ නිලමේ කෙනෙක්.   
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගම්පොළ ඡිනරාජ විද්‍යාලය, මහනුවර මල්වත්තේ සඟරාජ පිරිවෙන වැනි අධ්‍යාපන ආයතන බිහි කිරීම සඳහාත් දායක වෙලා තිබෙනවා.  

 

ඓතිහාසික, සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකමක් ඇති වලව් බොහොමයක්ම එදා මෙන්ම අදට ද විරාජමානව පවතී. අප රටේ ජාතික වීරයන්, කවීන් ලේඛකයන්, සමාජ ශෝධකයන් බොහෝ දෙනෙක් බිහි වී ඇති එවන් වලව්වල ඇති කලාත්මක සහ පුරාවිද්‍යාත්මක වටිනාකම කෙසේ නම් තක්සේරු කරන්න ද ? එය මිල කළ නොහැකිය. ඉන් කියැවෙන්නේ අප රටේ අතීතයයි. ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වයයි. එපමණක් ද නොව එවන් වලව් තුළ ජීවත් වෙමින් ජනතාවට සේවය කළ සුන්දර මිනිසුන් බොහෝ දෙනෙකි. ඉන් පානබොක්කේ පරම්පරාවේ මුතුන් මිත්තන් ගැන අමතක කරන්න බැරිය.   


පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිට පැවත ගෙන එන පානබොක්කේ පරම්පරාව ගැන තොරතුරු අපට පැවසුවේ, එහි හතර වැනි පරම්පරාව නියෝජනය කරන පද්මිණී දයනීතා පානබොක්කේ මොළගොඩ (80) මහත්මියයි.   


පානබොක්කේ ගම පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ උඩුනුවරයි. පරාක්‍රමබාහු රජවරුන්ගෙන් කුමන රජතුමාගේ කාලයේ ද?, යන්න ගැන පැහැදිලි අදහසක් නැති වුණත්, එතුමා වෙනුවෙන් විදේශීය තානාපතිවරයෙක් වශයෙන් සිදුකර ඇති සම්භාවනීය සේවය වෙනුවෙන් පානබොක්කේ ග්‍රාමයෙන් අමුණු හතරක කුඹුරක් සන්නසකින් ඔවුන්ට පිරිනමා තිබෙන බව පද්මිණී මහත්මිය පැවසුවාය.   


ඇය තවදුරටත් මෙසේ ද කීවාය.   


සමස්ත වික්‍රම කරුණාතිලක අභයවර්ධන බුවනෙකසේකර ජයසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ (ජ්‍යෙෂ්ඨ) මහතා මගේ මුත්තා. ඔහු ක්‍රි.ව 1876 වසරේදී සාදා නිම කර ඇති පැරණි වලව්ව අදට ද එදා මෙන් ම පවතිනවා. ඒ පරම්පරාවෙන් ලැබුණු උඩුනුවර ඉඩමකයි. විවේකි කාලයේ මෙහි වතුපිටි සංවර්ධනය කරනවා. මැද මිදුලක් සහිත මෙම දෙමහල් වලව්වට ඉදිරියෙන් සහ පැත්තකින් විශාල පිට්ටනියක් තිබෙනවා. ඒ විවිධ උත්සව, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහායි.

   
ඒ අනුව වලව්ව ඇතුළු භූමිය අක්කර දෙකක් පුරා විහිදී යනවා. වලව්වට විශාල කාමර හයක්, කෑම කාමරයක්, සාලයක්, ලී කැටයමින් අලංකාර කරන ලද විශාල කණු, දොර ජනෙල්, මෙන් ම, ලී පෙට්ටි, කබඩ්, හාන්සි පුටු, ඇඳන් ඇතුළු විවිධ ගෘහ භාණ්ඩ රාශියක් අදට ද ආරක්ෂාකාරීව පවතිනවා. එපමණක් ද නොවේ උඩුමහලේ ආදිලින්දය, බිම් මහලේ මුළුතැන්ගෙය, ඒ ආසන්නයේ ඇති වී අටුව, පානබොක්කේ වලව්වේ පෞරාණික බවට හොඳම උදාහරණයි. වහලයට සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි. මැද මිදුල දෙපැත්තේ පා සේදීම සඳහා ගල් පතුරු දෙකක් තබා ඇත.   

 


ඒ වලව්වේ ජීවත් වන සාමාජික සමාජිකාවන් නින්දට යාමට පෙර පා සෝදා ගැනීම සඳහායි. විශේෂයෙන් ම කිරිවවුල, ගඩලාදෙණිය, ඇම්බැක්කේ ඇති කැටයම් වලට සමාන නිර්මාණ බොහොමයක් ම මෙහි දක්නට ලැබීම විශේෂත්වයක්. මෙයින් අදහස් වන්නේ එම කලාකරුවන් හෝ ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන අය පානබොක්කේ වලව්ව සෑදීමේ දී සහාය වී ඇති බවයි.   


මෙම වලව්වේ පහත මාලය 1947 වසරේ දී ගංවතුරට යට වුණා. අදිකාරම් තුමා ඇතුළු පවුලේ සෑම දෙනාම බේරා ගත්තේ අසල්වැසියන් බෝට්ටු වලින් ගිහිනුයි. එවිට මගේ වයස අවුරුදු හතක් පමණ ඇති. ඉන්පසුව ඊට මඳක් ඉහළින් තවත් වලව්වක් හැදුවා. දන් අපි පදිංචිව සිටින්නේ අලුත් වලව්වේ. පැරණි වලව්ව සංචාරක නිකේතනයක් ලෙස භාවිත කරනවා. ඇය පැවසුවාය.   


අපේ පරම්පරාවේ ආදීතමයා ලෙස සැලකෙන පරාක්‍රමබාහු රජතුමාගේ තානාපති වශයෙන් සේවය කළ පානබොක්කේ නිලමේතුමායි. එතුමාගෙන් පසු පරම්පරා දෙකක් ගැන තොරතුරු සොයා ගත නොහැකියි. ඉන්පසුව පානබොක්කේ පරපුරේ නියම උරුමකාරයා වශයෙන් සඳහන් වන්නේ දුක්ගන්නා නිලමේතුමායි. මෙතුමා එලමල්දෙණියේ කුමාරිහාමි සමග විවාහ වුණා. ඔවුන්ට මුහන්දිරම් නිලමේ සහ කුඩා නිලමේ යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියා. 1824 මුහන්දිරම් නිලමේ, දවුලගල කුමාරිහාමි සමග විවාහ වෙනවා. ඔවුන්ට ලොකු නිලමේ, ගුණරත්න උන්නාන්සේ, මද්දුම නිලමේ, කුඩා බණ්ඩා පානබොක්කේ නමින් දරුවන් හතර දෙනෙක් ලැබෙනවා. කුඩා නිලමේ දූල්ලෑවේ අදිකාරම්තුමාගේ දියණිය සමග විවාහ වුණා. එහෙත් දරුවන් ලැබුණේ නැහැ.   


ලොකු නිලමේ හුලංගමුවේ කුමාරිහාමි සමග සහ ගුණරත්න උන්නාන්සේ ටිකිරි කුමාරිහාමි සමගත්, විවාහ වෙනවා. පසුව ලොකු නිලමේ මිය යන නිසා, ඔහුලේ බාල සහෝදරයා වන කුඩා බණ්ඩා පානබොක්කේ සමග නැවත හුලංගමුවේ කුමාරිහාමි විවාහ වෙනවා. මෙම යුවළට දරුවන් තිදෙනෙකු ලැබෙන අතර ඉන් වැඩිමහල් පුතා ටිකිරි බණ්ඩා පානබොක්කේ (ජ්‍යෙෂ්ඨ) මගේ මුත්තා, 1846 වසරේදී උපත ලබනවා. ඔහු එල්.බී. අලුවිහාරේ ගේ දියණිය සමග 1872 වසරේදී විවාහ වෙනවා, එහෙත් ඇය මිය යනවා.   


ඉන්පසුව 1882 වසරේදී හලංගොඩ කුමාරිහාමි විවාහ කර ගන්නවා. ඔවුන් දෙපළට දරුවන් හත් දෙනෙක් ලැබෙනවා. ඉන් වැඩිමහල් පුතා වන ටිකිරි බණ්ඩා පානබොක්කකේ (කනිෂ්ඨ) 1883 වසරේ ඉපදෙනවා. මෙතුමා මගේ අත්තා. ඔහු මන්ත්‍රී කැප්පෙටිපොළ මැතිණිය සමග විවාහ වෙනවා. මෙම යුවළට දරුවන් දස දෙනෙක් ලැබෙනවා. ඉන් දෙවෙනි පුතා මගේ පියා වන තියඩොර් පානබොක්කේ වන අතර මව නුගපිටිය මැතිනියයි. මට එක සහෝදරියක් සිටියා. පසුව ඇය හදිසි අනතුරකින් මිය ගියා. දැනට පානබොක්කේ පරම්පරාවේ ඉතිරිව සිටින වැඩිමහල් කාන්තාව මමයි. මා විවාහ වුණේ මොළගොඩ මහතා සමගයි. අපට දරුවන් පස් දෙනෙක් සිටිනවා.   


ලංකාතිලක හා ගනේගොඩ දේවාලවල මද්දුම බණ්ඩා සහ ලොකු බණ්ඩා පානබොක්කේ යනුවෙන් බස්නායක නිලමේවරුන් දෙදෙනෙක් හා වැඩබලන දියවඩන නිලමේවරයෙක් ද සිටියා. 

 
මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගම්පොළ ජිනරාජ විද්‍යාලය, මහනුවර මල්වත්ත සඟරාජ පිරිවෙන වැනි අධ්‍යාපන ආයතන බිහි කිරීම සඳහා ධනය, ශ්‍රමය සහ කාලය පවා එතුමා කැප කළ බව සඳහන් වෙනවා.   
තවද මෙරට ට ඉමහත් සේවයක් කළ විශිෂ්ට ලංකා පුත්‍රයන් වූ අරුනාචලම් රාමනාදන්, ආනන්ද කුමාරස්වාමි, යුරෝපා ජාතික ඩොන්හොස්ට් කොළඹ ඇකඩමියේ (රාජකීය විද්‍යාලයේ) ඉගෙන ගන්නා කාලයේ ඇසුරු කළ සමකාලීන මිත්‍රයෝ...   


අපේ මුත්තා නැතිනම් එවකට තරුණ ටිකිරි බණ්ඩා පානබොක්කේ( ජ්‍යෙෂ්ඨ) මැතිතුමා ගේ ප්‍රථම රැකියාව වූයේ පරණපට්ටිය විදුහලේ ගුරු සහායක තනතුරයි. එකල ඔහුගේ මාසික වේතනය වශයෙන් ලැබී ඇත්තේ රුපියලක මුදලක්. ඊළඟ තනතුර වූයේ පොලිස් පරීක්ෂකයි. එය උඩරට තේ වගාව ව්‍යාප්ත වෙමින් පැවති කාලයේ එම පළාත ආවරණය වන පරිදි අලුතින් පිහිට වූ තනතුරක්. එහි ප්‍රථම පොලිස් පරීක්ෂක ලෙස පත් කළේ මගේ මුත්තායි.   


ඔහුගේ රාජකාරි වසම වූයේ දඹුල්ලේ සිට බදුල්ල දක්වා වූ විශාල ප්‍රදේශයක්. ගමන් කළේ අශ්වයෙකු ගේ පිටෙන්. ඔහුගේ සේවා කාලයේ දී තමයි එංගලන්තයේ එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවට පැමිණෙන්නේ. ඒ 1870 මාර්තු මස 30 දිනයි. ආදිපාදවරයා මහනුවර සංචාරය කිරීමේ දී එතුමාගේ ආරක්ෂක කටයුතු පැවරුණේ මගේ මුත්තාටයි.   


ඉන්පසු උඩුනුවර ආදායම් පාලක කොට්ඨාසයේ ගම්සභා උසාවියේ සභාපති වශයෙන් පත් කර තිබෙනවා. එම රාජකාරි කරන කාලයේ දී ඇල්පිටිය ගමේ නි​ෙවසක් සෑදීමටත්, තේ වගාවත් ආරම්භ කළා. පසු කාලයේ දී සූරියගොඩ උන්නාන්සේගෙන් පාලි හා සංස්කෘත භාෂාව ඉගෙන සී.ජේ.ආර්. ලෙමෙසූරියර් සමග එක්ව නීති නිඝණ්ඩුව නම් මහනුවර සමයට අදාළ වන නීතිය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීමත්, කාලිදාසගේ මේඝදූතය පරිවර්තනය කිරීම පවා සිදු කර තිබෙනවා. ඒ සඳහා බොහෝ විට ගත කර ඇත්තේ රාත්‍රි කාලයයි.   
1875 වසරේදී වේල්සයේ එඩ්වඩ් කුමාරයා ලංකාවට පැමිණ මහනුවර සංචාරය කරනවා. පසු කලෙක හතර වැනි එඩ්වඩ් නමින් බ්‍රිතාන්‍යයේ රජකිරුළ හිම වන්නේ එතුමාටයි. උඩරට සම්භාවනීය පුද්ගලයන් හඳුන්වාදෙනු ලැබු අවස්ථාවේ, මගේ මුත්තාත් ඉන් එක් අයෙක්. 1883 වසරේදී දුම්බර රටේ මහත්තයා පදවිය ද, 1885 උඩ පළාතේ රටේ මහත්තයා වශයෙන් සහ උඩරට සහ පහතරට පාලන ප්‍රදේශ සඳහා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙකු ලෙසත් කටයුතු කරමින් එකවර තනතුරු දෙකක් දරා තිබෙනවා.  ඒ අනුව එතුමා මන්ත්‍රණ සභාවේ පළමු නියෝජිතයා වශයෙන් ඉතිහාසයට එක් වෙනවා.   


ගම්පොළ මහේස්ත්‍රාත් ධුරය දැරූ අවධියේ එනම් 1897 දී එංගලන්තයේ මාල්බරෝ මන්දිරයේ පැවති දියමන්ති ජුබිලියට පවා සහභාගි වුණා.   

 

 ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා එංගලන්තයේ බකිංහැම් මාලිගයේ පැවති උත්සවයට සහභාගී වූ ප්‍රභූන් සමග.​

1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම අත්සන් කරන ලද කන්ද උඩරට ප්‍රභූන් සමග එංගලන්තයේ රාජ්‍ය නියෝජිත ජේ.පී. ලුවිස් සමග ගත් ජායාරූපයක්. මෙහි දකුණු පස සිට දෙවෙනියා ටිකිරි බණ්ඩා පානබොක්කේ (ජ්‍යෙෂ්ඨ) නිලමේතුමාය.​

 

මෙතුමා ගැන තවත් විශේෂ දෙයක් කිව යුතුයි. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සේවය කරන කාලයේ පොදු මහජනතාව වෙනුවෙන්, මහජන අයිතිවාසිකම් සහ සුබසාධනවලට එරෙහිව ගෙන ආ අණපනත්වලට එරෙහිව නොබියව නැගී සිටීමයි. වී බද්ධ පැනවීමට එරෙහි වීම, පන්සල් ඉඩම් වලින් බදු අය කිරීමට ගෙන ආ යෝජනා වලට විරුද්ධ වීම, පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම වැනි කරුණු ඉන් ප්‍රධානයි. මෙතුමාගේ මුල් ඇඳුම, මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.   


ඊ ළඟට මුත්තාගේ පුතා නැතිනම් මගේ පියාගේ පියා, වන අත්තා ද, මෙරට ජන සමාජය වෙනුවෙන් කැප වී, වැඩ කළ නිලමේ කෙනෙක්. එතුමා ශ්‍රීමත් ටිකිරිබණ්ඩා පානබොක්කේ. පළමුවෙනි අදිකාරම් වශයෙන් සේවය කර තිබෙනවා. එදා උඩරට සිංහල දරුවන්ට ඉගෙන ගැනීමට මහනුවර නගරයේ පාසලක් තිබිල නැහැ. ඒ අඩුව පිරවීම සඳහායි විද්‍යාර්ථ විද්‍යාලය ආරම්භ කළේ. පසුව ගම්පොළ උසාවියේ මහේස්ත්‍රාත්වරයෙක් ලෙසත්, සේවය කළා. 1954 අප්‍රේල් මස 14 වෙනි දින දෙවෙනි එළිසෙබත් රැජින මහනුවරට පැමිණි අවස්ථාවේ මල් කලඹක් දීලා පිළිගත්තේ මමයි. එය මගේ ජීවිතයේ නොමැකෙන සිහිවටනයක්.   

මැද මිඳුල  

 පැරණි වී අටුව   

 

මගේ පියා ගැන සඳහන් කරනවා නම් ගලහ, උඩුනුවර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් 1956 දක්වා සේවය කළා. මහජන බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කරන කාලයේ තමයි, කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉඳිකිරීම ආරම්භ කළේ. ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙසත් සේවය කළා. ඊට අමතරව චීනයට ගොස්, රබර් සහල් ගිවිසුමට පවා අස්සන් කළා. අවසාන කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති වෙලත් සිටියා. යනුවෙන් ඇය අවසන් වශයෙන් පැවසුවාය.   


ස්තුතිය - වලව්වේ භාරකරු තිරාණගම ජයතිලකට   

 

සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර