උග්ගල් අලුත්නුවර දේවාලයේ විශේෂිත යාතිකා


ලංකාවේ දේවාල

උඩරට රාජ්‍ය පාලන ක්‍රමයෙන් සබරගමු පළාතේ ප්‍රභූ පැලැන්තියට හිමි වූ වරප්‍රසාදයක් වන්නේ දික්ගේ නැටුමය. නැටුමට උපන් හපන් රුවැති ස්ත්‍රීන් කිහිපදෙනකු ප්‍රභූවරයාගේ නිවස වන වලව්වේ දික්ගේ කාමරයේ සිට කරන මේ නැටුම වලව්වේ පුරුෂ පක්ෂයට පමණක් රසවිඳිය හැකි නැටුමකි. එකල සබරගමුවේ හැකි නැටුමකි. එකල සබරගමුවේ දික්ගෙයි නැටු පවුල් හතරක් සිටි බව කියැවේ.  


දික්ගෙයි නැටුම නමැති මෙම වරප්‍රසාදය දේවාල සඳහාද වෙන්ව පැවතුණි. උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේද අතීත කාලයේ මෙම නැටුම තිබූ බව සැලකෙන අතර අද ද එය වාර්ෂික පෙරහරට අයත් අංගයකි.   
ගම්වර ලැබී ඇති දේවාලවල ප්‍රධානීන්ටද තම දේවාලයට අයත් ඉඩකඩම් භුක්ති විඳින පවුල්වල කාන්තාවන්ගේ දික්ගෙයි නැටුම් නැරඹීමට නීතිමය හිමිකමක් තිබූ අතර 1952 දී රත්නපුර මහ සමන් දේවාලයේදීද මෙවැනි නැටුමක් පැවැත්වුණ බවට සාධක ඇත. පෙරහර පවත්වා අවසානයේ මෙම නැටුම පැවැත්වෙන අතර පෙරහර අවසන් වීමේ ප්‍රීතිය භුක්ති විඳින්නේ ඒ ආකාරයෙනි. මේ වන විට දේවාලවල දික්ගෙයි නැටුම නටන්නේ පිරිමි පමණකි. ඔවුහු ස්ත්‍රි ඇඳුමින් සැරසී දෙවියන් සතුටු කිරීම සඳහා නැටුම් ඉදිරිපත් කරති. මෙය කාර්ති මංගල්‍ය නමින් හැඳින්වේ. කාම මංගල්‍ය යන්න එහි තේරුමය. කාර්ති මංගල්‍යයට දේවාලයේ බස්නායක නිලමේවරයා සහභාගී නොවේ. සහභාගී වන්නේ කපු මහත්වරුන්ය.


පැරණි දේවාලවල කපුරාල ධූරයට පත්කරන්නේ රදළයෙකි.


ඔහුට කීවේ කපු රදලයා කියාය. හැම දේවාලයක්ම හැදුණේ රජ්ජුරුවන්​ගේ බිසෝවරුන්ට හැදුණු දොළක් හෝ ගායක් සංසිඳුවන්නට යාමේදීය.


දේවාල හැදුණේ රජ්ජුරුවන් නිසා තුන්දොස් කිපුණු බිසවුන්නාන්සේලාගේ අටෝරාශියක් ලෙඩ රෝග සමනය කරන්නට යාමේදීය. රජ්ජුරුවන් නිසා බිසොවුන්ගේ තුන්දොස් කිපීම අරුමයක් නොවේ. ඇතැම් බිසවුන්නාන්සේලා අන්තඃපුරයට ගාල්වුණේ සිබිඩ්ඩෙන් පොත්ත පනින්නටත් කලිනි. රජ්ජුරුවන්ගේ ඇහැට හසුවීම නිසා හෝ රදළයකුගේ වන්දියකට හිලව් කර ගන්න හෝ එසේත් නැතිනම් කාරියකරවන නිලමෙලාට සිතී උස්සගෙන විත් අන්තඃපුරයට අතහැරි නිසා තනිකම් දෝෂවලට ලක්වුණ බිසවුන්නාන්සේලාගේ තනිකං දෝෂ නිසා අටෝරාශියක් ලෙඩ රෝග ඇතිවුණේ රාජකීය වෛද්‍යවරයාට බෙහෙත් කරන්නටත් බැරි ගානටය. තුන්දොස් කිපුණු වෙලාවට ආරක්ෂාවට ඉන්න අයවත් අන්තඃපුරයට ගෙන්නා ගන්න බැරි වන්නේ ඒ හැම කෙනෙක්ගේම අංග ඡේදනය කර තිබෙන නිසාය. සමහර බිසවුන්ට රාජකීය ශරීරයේ ස්පර්ශය ලැබෙන්නේ අවුරුද්දකට දෙකකට වරකි.


කපු රදලයා බිහිවූයේ මේ හිස් තැන පිරවීම සඳහාය. රජ්ජුරුවන් වහන්සේට පමණක් රිංගන්න බලය තිබෙන ලැගුම් ගෙවල්වල රිංගන්න බලයක් සමග කපු රදලයා බිහිවුණේ රජ්ජුරුවන්ගේ පූර්ණ ආශිර්වාදයෙනි. අංග ඡේදනය කර නැති නිසා රජ්ජුරුවන් වහන්සේ වෙනුවෙන් ඒ රාජකාරිත් ඉටුකරමින් බිසවුන්නාන්සේලාගේ කිපුණු තුන්දොස් සමනය කරමින් හෝරා ගණන් කතා බහ කරමින් කිල්ලට අහුවෙන තැන්පවා දෙහි තබා කපමින් කපු රදලයා ඕනෑම තනිකංදෝසයක් සමනය කරන්නට දක්ෂය. රදලයෙක් නිසා බිසවකට හදිසියක් වුණත් අවුලකුත් නැත. මහා බල සම්පන්න දෙවිවරුන් වැඩ සිටින නිසා කපු රදලයාගේ කුටියට බිසවුන්නාන්සේ හැර අවශේෂ සේවක සේවිකාවන් යන්නේද නැත. රදලයෙක් නිසා රාජකීය ලේත් ඇත. කපු රදලයාද තම පරම්පරාව වර්ධනය කරමින් සීඝ්‍රයෙන් බෝ වෙන්නට පටන් ගත්තේය. රජ්ජුරුවන්ට යුද්ධ භූමිවල මාස ගණන් කල් ගත කරන්නට පුළුවන් වූයේත් තම යහන් ගබඩාවේ දුක සැප ​සොයන්නට තමන්ගේම ලේ ඇති කපු රදලයන් සිටිය නිසාය.


දේවාලවල කපු ධූරයට පත් කෙරුණේ පුරාණ කාලයේ මෙසේ නිර්මාණයවූ රදලයන්ය. මෙරට සියලුම දේවාල බිහිවූයේ රජවරුන්ගේ වුවමනාව පරිදිය. 


උග්ගල් අලුත් නුවර දේවාලයේ විකාශනය පිළිබඳ ලිඛිත සාක්ෂිය වන මැදගම සන්නසේ හෙවත් ලේකම් මිටියේ සඳහන් පුරාවෘත්තයට අමතරව, ජනශ්‍රැතියේ තවත් මතයක් ඇත. බුදුරජාණන්වහන්සේ කතරගම ශුද්ධ භුමියට වැඩම කරවීමේදී මුල් වූ අය අතර, එවකට ප්‍රාදේශීය පාලකයෙකු වූ සපුමල් බණ්ඩාර (සුමන සමන් දෙවිඳු) ඇති බවත් එම වඩින ගමනේ දී මැදගම් නුවර මෙම දේවාලයට ආසන්නයේ පිහිටි විලක් අසලට වැඩම කොට අපගේ දෙලොව අභිවෘද්ධිය හා අප කෙරෙහි ඇති වූ මහත් කරුණාවෙන් මෙම විලෙන් ද හස්ත පාදයන් හා මුව දෝවනය කොට වදාරනු ලද බවත්ය.   


ඉන්පසු "බුදුන්ගේ විල"නමින් හැඳින්වූ නමුදු, පසුකාලීනව "බුදුන්නේ වෙල" යයි පරිවර්තනය විය. අද ද මෙම ප්‍රදේශයේ පැරණි බෞද්ධ නටබුන් සහිත ඉපැරණි වෙල් යායක් තිබේ. මෙසේ ආරම්භ වූ දේවාලය විවිධ රජවරුන්ගේ පුද සත්කාරයන්ට ලක් වී ඇති අතර, ඇතැම් ප්‍රදේශීය රජවරුන්ගේ මෙම දේවාලයේ ඉඩකඩම් හා දේපල දේවාලවලට අයිති වී ඇත. 

 
පෘතුගීසි සමයේ දී "කොන්තන්තීනු ද සා "ගේ යුද හමුදාව විසින් මැදගම් නුවර පිහිටි අළුත්නුවර ගින්නෙන් විනාශ කළ ද, මෙම දේවාලයට කිසිදු හානියක් සිදු නොවූයේ මෙම දෙවියන්ගේ හාස්කමක් නිසා යැයි විශ්වාස කෙරේ. පෘතුගීසින්ගේ සමයේ රාජකාරි බොහොමයක් සහ රාජකාරිවරුන්ගේ ඉඩකඩම් ද වෙනස්වීම්වලට ලක් වී තිබේ. 1622දී පෘතුගීසින් විසින් සකස් කරන ලද ඉඩම් ලේඛන වන "තෝම්බුව" සහ "පෝරාලය "සකස් කිරීමේ දී, බොහෝ ඉඩම් අන්සතු. පෘතුගීසින්ගෙන් ද මෙම දේවාලයට විවිධ වූ බලපෑම් එල්ල විය.   


රා.ව. 1796 දී ලංකාව බ්‍රිතාන්‍ය සතුවීමත් සමඟ පැරණි බොහෝ නිල රාජකාරීවරුන් ක්‍රිස්තියානි වැළඳගත් බවද සඳහන් වේ. කෙසේ වුවද, පැරණි රජදරුවන්ගේ පටන් පැවතී රාජකාරි අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා 1870 අංක 4 දරණ සේවා භුක්ති ආඥා පනතට අනුව මෙම දේවාල ඉඩම් "මුත්තෙට්ටුව සහ"නිලපංගු"වශයෙන් කොටස් දෙකකට බෙදන ලද අතර ,නිලපංගු නැවතත් "පරවේණි පංගු "හා "මාරු වෙන පංගු" වශයෙන් කොටස් දෙකකට බෙදන ලදී. 18 වන සියවසේ පටන් මෙම දේවාලයේ බොහෝ ඉඩම් අන් අයට විකුණමින් රාජකාරිවලින් දුරස්වන ස්වභාවයක් දක්නට පුළුවන එසේ වුවත්, මේ වන විට බොහෝ රාජකාරි නැවතත් පටන් ගෙන ඇත.   


අවුරුදු කාර්ති මංගල්‍යය   


පැරණි චාරීත්‍රානුකූලව ගණිත පංගුවෙන් නැකත් සාදන අතර, පෙරහැර ආරම්භ කරන දිනය පිළිබඳ ඒ ඒ ප්‍රවේණි ගම්වල රාජකාරීවරුවන් ප්‍රථමයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. පුරාණයේ මේ සඳහා අඬබෙර ගැසීම සිදු කළත් අද සිදුවන්නේ ඒ ඒ ගම්වල දැන්වීම් ආරම්භයට පෙර විශේෂ රාජකාරි කිහිපයක් සිදු වේ. ඒවා අතර පහත සඳහන් රාජකාරී ඇත.   


පුරප්පට්ටුව: පෙරහැර ආරම්භ වන දින අලුයම පුරප්පට්ටුව වාදනය කරයි. මෙවිට‍ දේවාලය පිරිසිදු කිරීමට‍ අවශ්‍ය සියලු රාජකාරීවරුවන් දේවාලයට පැමිණ දේවාලය පිරිසිදු කරයි.   


බඩහැල පංගුවෙන් පැමිණීම : මෙම ප්‍රවේණි නිලකරුවෝ පෙරහරට අත්‍යවශ්‍ය වූ වළං වර්ග කිහිපයක් රැගෙනවිත් ඒ ඒ නිලවලට භාරදීම සිදු කරයි. මෙහි වැදගත් භාණ්ඩයක් නම්,"පදලන කොරහ" නම වූ විශේෂිත වළං භාණ්ඩයක් විදානේ අතින් ගණිත පංගුවට භාර දීමයි. පුරාණයේ සිට අදත් නැකත් බලන්නේ පෑ තැටියෙන් වෙලාව බැලීමට වතුර බහාලන අවශ්‍ය කොරහ "පෑලන කොරහ" නම වේ.   


හානිද‌ා දොරේ ගැසීම : නැකතට පැයකට පමණ පෙර සිංහලක්කාරයින් සය දෙනා විසින් "හානිදා දොරේ " නම් විශේෂි වූ දවුල් වාදනය කරනු ලබයි.   


දී වඩන් තේවය: පෙරහැර බැසීමට විනාඩි 7කට පෙර පැරණි චාරිත්‍ර ගණනාවක් ඉටුකරමින් මුළුතැන් රාළ විසින් මහ මාලිගාවට පැන් වැඩමවීම සිදු කරනු ලබයි. මෙම පැන් කෙණ්ඩිය දේව මන්දිරයේ තැන්පත් කළ පසුව පෙරහැර බැසීමට අවසර ලැබේ. 

 
වාහල් බෙරේ ගැසීම   


තොටුපල පංගුවෙන් දේවාල මහා දොරකොඩ පහළ කට්ටලයේ සිට "වහල් බෙරේ"නම් වූ දවුල් වාදනය සිදුකරනු ලබයි.   


දෝලාව තේවය කිරීම   


වහල් බෙරය ගසන අතරතුරදී සියලුම රාජකාරීවරුවන් ඉතාම ගෞරවාන්විත දෙවියන් වහන්සේ දෝලාවට වැඩම කරවීමට පෙර කළ යුතු සියලුම රාජකාරි ඉටුකරන අතර, ප්‍රධාන කපුමහත්තයාගේ සිරස මතින් දෙවියන්ගේ දෝලාවට වැඩම වනු ලැබේ. ඉන් පසුව පෙරහැර පංචතූර්ය නාද මැද්දේ විහාර මළුවේ චෛත්‍යය ඉදිරිපිටට ගමන් කරයි.   


පත්තිනි කෝවිලේ පෙරහර පිටත්වීම   


දෙවියන් වහන්සේ විහාර මළුවේ වැඩ සිටින විට පත්තිනි කෝවිලේ පෙරහැර කෝවිල වටා ගමන කොට නැවත මාලිගාවට ගෙවදිමින් පූජෝපහාර දක්වයි.   


කපු නැටවීම   


දෙවියන් වහන්සේ චෛත්‍යය මළුවට වැඩම කළ පසු පත්තිනි පෙරහැර අවසන්වනතුරු සුවිශේෂ වූ නර්තනයන් කීපයක් රඟ දක්වමින් දෙවියන් වහන්සේට පුජෝපහාර දක්වයි. එහිදී ප්‍රථමයෙන් සිදුවන්නේ කඳ සුරිදුන්ගේ බල පරාක්‍රමය හඟවමින් කවි ගායනා කිරීමයි. මේවා "යහන කවි" ලෙසද හඳුන්වයි. මෙය කපු නැටවීම ලෙස හැඳින්වේ.   


නයි අඩි නැටවීම   


කපු නැටුම අවසන් වූ පසු නයි අඩිකාර පංගුවේ 4 දෙනෙකු විසින් දෙවියන් වැඩ හිඳින දෝලාව ඉදිරියේ නර්තනය නයි අඩි නර්තනයයි.   


කෝලං නැටීම   


නයි අඩි නැටීම අවසන් වූ පසු කෝලං මූණු බැඳගත් දෙදෙනෙකු විසින් කෝලං නැටුම නම් නර්තනය ඉදිරිපත් කරනු ලබයි. මේ සෑම නර්තනයකින් ම අදහස් කරන්නේ දෙවියන්ගේ තේජෝ බල පරාක්‍රමයත් ඒ බල පරාක්‍රමයේ මහිමයෙන් කරදර දුරු කරන ලෙසත්ය. මෙම රංගනයන් සහ වාදනයන් මෙම දේවාලයට පමණක් අවේණිකවීම විශේෂත්වයකි. එමෙන් ම, මෙම රංගනවල සහ වාදනවල ශෛලිය සබරගමු නර්තන තාලයන්ට අයත් වීම ද විශේෂත්වයකි. රංගනයන් අවසන් වූ පසු, පෙරහැර ගමන් ආරම්භ වී, පංචතූර්ය නාද මැද්දේ, දේවාලයට ඇතුළු වන දොරටුව අභියසදී සිදුවන රාජකාරී කීපයකින් අනතුරුව දේවාලයට ඇතුළු වී, මහ දේවාලයේ දොරකඩ අභියස දී ප්‍රධාන කපු මහතාගේ සිරස මතින් දේවාභරණ මහා මාළිගයට වැඩමවීම කරනු ලැබේ.   


දික්ගේ නැටීම   


"මානික්ක පංගුවේ" ස්ත්‍රීන් විසින් මෙම නර්තනය ඉදිරිපත් කරන අතර ,"මොට්ටුක්කාර පංගුවෙන්" දවුල් ගැසීමත් "මල්වර පංගුවෙන්" තාලං ගසමින් කවි කීමත් සිදු කෙරේ. දැනට මේ දේවාලයේ දිග්ගේ නැටුම් රංගන විලාශය වන්නේ"හස්ත නැටුමේ මනරබා සම්ප්‍රදායට අයත් දිග්ගේ නැටීම" යි.   


මංගලම් කවි කීම   


දික්ගේ නැටුම අවසන් වූ පසු කඳ සුරිඳුන්ගේ තේජෝ බල පරාක්‍රමයත් දෙවියන්ට ආවැඩිමත් සියලු දෙනාට පිහිට අයදීමත් මෙම මංගල්‍ය කවි කීමෙන් බලාපොරොත්තු වේ. මෙම මංගලම් කවි පිරිමි පක්ෂය විසින් ගායනා කෙරෙයි.   


ආලත්ති බෑම 

 
මංගලම් කවිවලින් පසු ආලත්ති බෑම සිදු කරනු ලැබේ. සිංහල කවිකාරයන් හේවිසි වාදනය කරන තුරු හක්කාරයා විසින් සක පිඹින විට, ආලත්ති අම්මලා විසින් ආලත්ති බෑමෙන් සිදු කරනු ලබන්නේ පැරණි චාරිත්‍රානුකුලව මහ මාලිගාවේ දොරකඩ සිට පහන් තිර පත්තු කර ගත් මණ්ඩා දෑතින් ගෙන රංගනයක යෙදීමයි.මෙය "ආලත්ති බෑම "නම් වන අතර, "අහර්තලාව"නම් වූ සුවිශේෂ ස්ථානයට ද ආලත්ති බෑම සිදු කරනු ලබයි. ඉන් පසු ආලත්ති අම්මලා බුදුන් වැඳ, මණ්ඩා හතර මාලිගාවේ දොරටුව අසල තබා, එම රාජකාරිය අවසන් කරයි.   


පස්පැණියෙන් මුරුතැන් බෑම   


රාජකාරිකරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පංචතූර්ය නාද මැද්දේ මුරුතැන් රාළ විසින් දන් කදත් පසුව පැන් කෙණ්ඩියත් දෙවියන්ට පුජා කිරීම කරනු ලබයි මෙවිට‍ ගණිත පංගුවෙන් මහ දොරකඩ පොල් ගෙඩියක් බිඳියි එය ගණ දෙවියන්ට කරන පුජාවක් ලෙස සලකයි. මුරුතැන් දෙවියන්ට පූජා කළ පසු කපු මහතා විසින් නිලකරුවන් කීප දෙනෙකුට පමණක් පස්පැණිත මුරුතැන් ගෙනත් දෙයි.   


නීලමුරුතැන් බෑම   


පස්පැණිත මුරුතැන් බෑමෙන් අනතුරුව නීල මුරුතැන් බෑම ආරම්භ කරනු ලබයි පස්පැනිතේ මුරුතැන් බෑම සිදුවූ ආකාරයටම නිල මුරුතැන් බෑම ද සිදුවේ. දෙවියන්ට මුරුතැන් පූජා කළ පසු කපු මහතා විසින් රැස්ව සිටි සැමටත් මේවා අනුභව කිරීමට‍ බෙදා දෙනු ලබති. සෑම කෙනෙක්ම මහත් ගෞරවාන්විතව දෑතින් ගෙන මේවා අනුභව කරන අතර ස්වල්පයක් හෝ නිවෙස්වල සිටින අයට ද ගෙන යති. මේවා අනුභවයෙන් ලෙඩ රෝග සුවපත් වන බව විශ්වාස කරනු ලබයි. මෙයින් පෙරහැර රාජකාරිය අවසන් වේ. පළමුවන දිනයට වඩා දෙවන දිනයේදී මහා මාලිගාවට පිරිත් නිලයේ හාමුදුරුවරුන් වඩම්මවා පිරිත් සජ්ඣායනා පවත්වනු ලබයි.

පස්පැනියෙන් මුරුතැන් බාන්නේ පළමු දිනයේ සහ අවසාන දිනයේ පමණි.   

 

 


ප්‍රේමකීර්ති රණතුංග