ඉහළ මිලට විකිණෙන වීඕසී බඩු


ගාලු කොටුව

 

රාජ්‍යයකට රාජ්‍ය ලාංඡනය වැදගත් ​වෙන්නේ යම් සේද සමාගමකට තම සමාගමේ ලාංඡනය ද ඒ ආකාරයෙන් ම වැදගත් වේ. ලොව සමාගම් අතර බෙහෙවින් ජනප්‍රිය හා ජනතා මතකයේ ඇති සමාගම් ලාංඡන බොහොමයක් තිබේ.   


ඒවා අතරින් වැඩිම ප්‍රසිද්ධියක් ඇති ලොව පැරණිතම සමාගම් ලාංඡනය නම් VOC ලාංඡනය වෙනවාට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ආසියාවේ ම VOC අකුරු තුන කියූ පමණින් ඕනෑම අයකුගේ මතකයට එන්නේ ඕලන්ද ජාතිකයෝය. ඔවුහු ලෝකයේ අධිරාජ්‍ය ගොඩනැගූ යුරෝපීය ජාතියකි. වර්තමානයේ නෙදර්ලන්තය ලෙස හැඳින්වෙන පුරාණ ඕලන්දය පෘතුගීසීන්ගෙන් පසු නාවුක බලය අත්පත් කරගනිමින් ලොව රටවල් තම යටතට ගත් ජාතියයි.   


ඕලන්දයේ රජුගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව ගොඩනැගුණු “ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම” යනුවෙන් අප සිංහල බසින් හඳුන්වන සමාගම ඕලන්ද බසින් ලියන ලද්දේ Vereenigde Oost-indische Compagnie (වේරිනිජ් ඕස්ට්ඉන්ඩිෂ කොම්පඤ්ඤෙ) යනුවෙනි. ඔවුහු තම සමාගමේ ලාංඡනය ලෙස යොදාගෙන ඇත්තේ එම නමේ මුල් අකුරු තුන වූ VOC යන්නයි. VOC ලාංඡනය බිහිවන්නේ ඒ ආකාරයෙනි.   

 

ඕලන්ද නැව්

 

එහි මූලාරම්භය සිදුවූයේ 1602 වර්ෂයේ දී ය. ජපාන දේශ සීමාවේ සිට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් දක්වා ප්‍ර‍දේශයේ වෙළෙඳ කටයුතු සඳහා මේ සමාගම පිහිටුවාගෙන තිබිණි. ලන්දේසි නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම සිය බල අධිකාරිය වඩාත් පුළුල් කරන විට එහි මූලස්ථානය බතාවියාවේ පිහිටුවාගත්තේය.   
බතාවියාව යනු ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතේ වත්මන් ජාකර්තා නගරයයි.   


බතාවියාව කේන්ද්‍ර කරගනිමින් ඒ අවට සියලු‍ රටවලට සිය බල අධිකාරිය පැතිරවූ ඕලන්ද ජාතිකයෝ තමන් විසින් පාලනය කරන ප්‍රදේශවල බලකොටු සහ කර්මාන්තශාලා ද, ඉදිකළ අතර පෙරදිග රටවල කුළුබඩු, අලි ඇතුන් හා මුතු මැණික් යුරෝපයට ගෙන ගියහ. තමන් බිහිකළ නගර පාලනය සඳහා ඕලන්දයෙන් ම සිවිල් හා හමුදා නිලධාරීන් ස්ථිර කාර්ය මණ්ඩල ලෙස ගෙනඒමට මෙම සමාගම කටයුතු කළ අතර එම නිලධාරීන් ආසියානු රටවල කාන්තාවන් සමඟ පැවැත්වූ සම්බන්ධතා හේතුවෙන් ඕලන්ද ආසියා මිශ්‍ර ජන කොටස්ද බිහිවන්නට වූහ.   


ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම්, ආගම, නීතිය, භාෂාව පමණක් නොව සිතුම් පැතුම් පවා දශක ගණනාවක ඇවෑමෙන් ආසියානු කලාපයේ දේශීය ජනතාව අතර මුල් බැසගත් අතර දේශීය භාෂාවන්ට ද ඕලන්ද වචන පමණක් නොව පුද්ගල නාමයන් පවා එක්විය.   


1602 දී මේ සමාගම පිහිටුවාගත් වසරේ දී ම පළමු ඕලන්ද ජාතිකයා ශ්‍රී ලංකාවට පා තැබූ බව අපේ ඉතිහාසයේ සඳහන් වේ. ඒ ජොරිස් ෆන් ස්පිල්බර්ජන් නමැති අයෙකි. ඒ වනවිට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල මුහුදුබඩ කලාප අල්ලාගෙන පෙරදිග වෙළෙඳ ඒකාධිකාරිය පවත්වාගෙන යමින් සිටියේ පෘතුගීසීන් විසිනි. නමුත් ඕලන්ද රජු එම සමාගමට පෙරදිග රටවල සම්පූර්ණ වෙළෙඳ ඒකාධිකාරිය වසර 21ක කාලයකට පවරා දී තිබේ.   


මෙම සමාගමට හමුදා පවත්වාගෙන යාමේ පමණක් නොව අධිකරණ බලතල පවා ලැබිණි.   
ඒ අනුව ඕලන්දයේ ධනවතුන්ගේ මුදල් ආයෝජනයෙන් නැව් නිෂ්පාදනය කරමින් හමුදා නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් බඳවා ගනිමින් ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ආසියානු කලාපයේ වෙළෙදාම් ආරම්භ කර තිබේ. එය සාමකාමී වෙළෙඳාමක් වූයේ නැත.   


පළමුවෙන් ඒ ඒ රටවලට පැමිණ ඒවායේ දේශීය පාලකයන් සමඟ ධූත සම්බන්ධතා ආරම්භ කර මිත්‍රශීලී ලෙස වෙළෙඳාම සියතට ගැනීමට උත්සාහ ගන්නා ඕලන්ද ජාතිකයෝ ඔවුන්ට දුන් පොරොන්දුව වූයේ ඒ වනවිට දේශීය පාලකයන්ට හිරිහැරයක් වී තිබූ පෘතුගීසීන් පළවා හරින බවයි. තමන්ගේ නැව් නවීන ආයුධ සහ කුඩා හමුදාවක් යොදාගෙන දේශීය නායකයන්ගේ හමුදාවේ සහයෙන් පෘතුගීසීන් පළවා හැරීමට බිහිසුණු යුද්ධ කිරීමට මේ සමාගම පැකිළුණේ නැත. වසර කිහිපයක් පුරා පැවැති බිහිසුණු සටන්වලින් පසු එතෙක් පෘතුගීසීන් විසින් ගොඩනගාගෙන තිබූ අධිරාජ්‍යය තමන් සතු කරගත් ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම තමන්ට ගිය වියදම පිරිමසා ගැනීමටත් අධික ලාභ ලැබීමටත් උත්සුක විය. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ද ආසියානු කලාපයේ දේශීය පාලකයන්ගේ සතුරකු වීමයි.   


හමුදා නඩත්තු කරමින්, බලකොටු ඉදිකරමින් යන සියලු‍ වියදම් ද පියවා තවත් ලාභයක් ද ඉතිරිකරගෙන එතෙක් සමාගමට මුදල් ආයෝජනය කළ ධනවතුන්ට ලාභාංශ ගෙවීමටත් මේ සමාගම කටයුතු කර තිබිණි. මේ සඳහා පෙරදිග රටවල ඇති වෙළෙඳ භාණ්ඩ අලෙවි කිරීමට අමරතව වටිනා වස්තුව කොල්ලකෑමට ද සමාගම කටයුතු කරන ලදී.   


ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ දත්ත අනුව 1602 වර්ෂයේ සිට ඔවුන්ගේ බල ප්‍රදේශ ඉංග්‍රීසීන්ට නතු වූ 1796 දක්වා කාලය තුළ මේ සමාගම සතුව නැව් 4,785ක් තිබිණි. එම කාලයේ දී මෙම සමාගමේ සෘජුව හා වක්‍රව සේවය කළ පිරිස 882,412 දෙනෙකි. ඔවුන් ටොන් මිලියන 2.5ක භාණ්ඩ නැව් මගින් ප්‍රවාහනය කර ඇතැයි ද සඳහන් වේ.   


1638 දී දෙවැනි රාජසිංහ රජු සහ ඕලන්ද ජාතික වෙස්ටර් වෝල්ඩ් අත්සන් කළ ගිවිසුමකින් පසු ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට මෙරට වෙළෙඳාම සඳහා අවස්ථාව ලැබිණි.   


එතැන් සිට මෙරට ලන්දේසි යුගය ආරම්භ වූ අතර ඔවුන් තමන් ඉදිකරන ලද සහ භාවිතා කරන ලද සෑම දෙයකම, ස්ථානයක ම සහ උපකරණයක ම තම සමාගමේ ලාංඡනය වූ VOC සළකුණ තැබීමට අමතක කළේ නැත. මේවා අතරින් සුප්‍රකටම හා විශිෂ්ටතම VOC ලාංඡනයක් ලෙස සැලකෙන්නේ ගාල්ල කොටුවේ පැරණි දොරටුවේ පිටුපස බිත්තියේ ගලක නෙළා සවිකර ඇති ලාංඡනයයි.   


මේ සමාගම මූල්‍ය දායකත්වයෙන් නිපදවූ සෑම දෙයකටම VOC ලාංඡනය යෙදූ අතර ඔවුන් විසින් යටත්කරගත් ආසියා කලාපයේ සියලු‍ රටවල තම රාජ්‍ය පාලනයේ සංකේතය ලෙස ද එම ලාංඡනය යොදා ගන්නා ලදී. අතීතයේ ශ්‍රී ලංකාවේ මුදල් සඳහා යොදා ගන්නා ලද්දේ එම මුදල් නිකුත් කරනු ලබන රජුගේ ලාංඡනයයි.   


වර්තමානයේ ඒ ඒ රටවල මුදල් ඒකකය සඳහා රටේ රාජ්‍ය ලාංඡනය යොදා ගන්නාක් මෙන් ඕලන්ද පාලන කාලයේ දී ඔවුහු තම සමාගමේ ලාංඡනය මුදල් සඳහා ලාංඡනය ලෙස යොදාගන්නා ලදී. එබැවින් ඕලන්ද පාලන කාලයේ දී භාවිතා කළ හැඳි ගෑරුප්පුවේ පමණක් නොව, පිඟන් කෝප්පවල සිට, ගොඩනැගිලි දක්වා සෑම ස්ථානයක ම VOC ලාංඡනය තබා තිබේ.   


1683 දි පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගමේ ඇඩම් වැස්ටර් වෝල්ඩ් හා මහනුවර රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුමේ 14 වැනි වගන්තියේ මුදල් අච්චු ගැසීම ගැන ද සඳහන් කර ඇත. සිංහල රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ මොනයම් අයකුටවත් කාසි අච්චු ගැසීමට, සෑදීමට, බෙදා හැරීමට බලයක් නැති බව එහි සඳහන් කර ඇත.  


ඕලන්ද ජාතිකයන් මෙරට මුහුදුබඩ කලාපයේ පාලන බලය අල්ලාගත් මුල් කාලයේ එතෙක් භාවිතයේ තිබූ පෘතුගීසි කාසි ගනුදෙනු සඳහා යොදාගැනීමට අවසර දී තිබුණ ද කාසි නිපදවීම ඉතාමත් ඉක්මණින් සිදුකර පෘතුගීසි කාසි ඉවත් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් කළේ VOC මුද්‍රාව හෝ උඩරට රජුගේ මුද්‍රාව හෝ නොමැති කාසි භාවිතය තහනම් කිරීමයි.   


එසේ වුව ද මෙරට ව්‍යාජ කාසි සෑදීම සිදුවූ බවත් මේ හොර කාසි සැබෑ කාසිවලින් වෙන්කර ගැනීම සඳහා ඉන්දියාවෙන් කාසි නිෂ්පාදකයන් පවා ගෙන්වා ඇතැයි 1693 දී තැබූ වාර්තාවක දැක්වේ.   


1713 දී ලන්දේසින් විසින් තඹ කාසි තැනින් තැන ගෙන යෑමේ තහනමක් ද පනවන ලදී. එසේ ගෙන යන කාසි රාජසන්තක කරන බව ද ඒ නිවේදනයේ දැක්විණ. තව ද 1722 දී රිදී කාසි පිටරට යැවීම ද තහනම් කරන ලදී.   
අදටත් සිංහල භාෂාවේ භාවිතා වන වචනයක් වී ඇති “දොයිතුව” හා “තුට්ටු දෙක” යන්න භාවිතයට පැමිණ ඇත්තේ මේ VOC කාසි භාවිතය හේතුවෙනි. ඕලන්ද සමාගමේ කාසි හඳුන්වා ඇත්තේ දොයිතු කාසි (Doits) යනුවෙනි. ඒවා කුඩා තඹ කාසි විශේෂයකි. මේ කුඩා තඹ කාසි ගණන් කිරීමේ අපහසුව හේතුවෙන් දොයිතු අටෙහි ගුණාකාර ලෙස 8, 16, 24 වශයෙන් තුට්ටු ලෙස හඳුන්වන්නට විය. තුට්ටු 2, 4, 6 ලෙස අගයන්ගෙන් යුක්ත විය. තුට්ටු දෙක භාවිතයට ආවේ එලෙසිනි. මෙය සිදුව ඇත්තේ 1737 පමණ කාලයේ දී ය.   


ඊට පසු කාලයක ඕලන්ද සමාගමට තවත් ගැටලු‍වක් මෙරට දී ඇති වී තිබේ. ඒ මහනුවර සිටි වෙළෙඳුන් දොයිතු හැර වෙනත් කිසිම කාසි වර්ගයක් භාර ගැනීමට අකැමති වීම හේතුවෙන් ඔවුන්ගේ තඹ කාසි හිඟවීමයි. ඒ හේතුවෙන් ඕලන්ද සමාගමේ වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඔවුන් ඊට පිළියමක් ලෙස කර ඇත්තේ මෙරට වැසියන්ගේ දොයිතු කාසි එකතුකර ඒ වෙනුවට රිදී කාසි ලබාදීමයි. ඉන් පසු දොයිතු මාරු කිරීම තහනම් කර ඇත. වරින් වර විවිධ කාසි නිකුත් කිරීම හේතුවෙන් ඕලන්ද ජාතිකයන් විසින් මෙරට භාවිතා කළ කාසි වර්ග කිහිපයක්ම අද දක්වාම දක්නට ලැබේ. ඒවා කෞතුකාගාරවල පමණක් නොව ඇතැම් කාසි එකතුකරන්නන් සතුව ද තිබේ.   


මේ අතරින් විශේෂිත කාසි වර්ගයක් වන්නේ තරමක් ඝනකමින් යුතු කුට්ටි කාසි ලෙස හඳුන්වන වර්ගයයි. ඔවුන්ගේ බලකොටුවල ප්‍රාදේශීය වශයෙන් කාසි අච්චු ගැසූ බවට මේ කුට්ටි කාසි හොඳ සාක්ෂියකි. කොළඹ කයිමන් දොරකොඩ තිබූ කාසි කම්හලක නිපදවූ කාසිවල VOC ලාංඡනයට අමතරව C අකුර සටහන් කර තිබේ. ගාල්ලේ කාසි G අකුර ද, ත්‍රිකුණාමලයේ කාසිවල T අකුර ද, යාපනයේ කාසිවල J අකුර ද සටහන්ව ඇත.   


මේ අතර ඕලන්ද කාසිවලට සිංහල අකුරු ද ප්‍රවේශ වී තිබේ. STUIVER යන ඕලන්ද වචනය “ඉස්ත්‍රිබි” ලෙස සිංහල බසින් භාවිතා කර ඒ වෙනුවට කාසියේ ‘ඉ’ අකුර සටහන් කර ඇත.   


ඕලන්ද බසින් RYKSDAALDER (රික්ස්ඩැල්ඩර්) යනුවෙන් හැඳින්වුණු කාසියක් සිංහලෙන් ‘පතාගය’ හැටියට ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව තිබිණි. මෙහි වටිනාකම තුට්ටු 48 කි. එකල වටිනාකම් අනුව පතාගය විශාල මුදලකි. එයින් බිඳී ආ වචනයක් අදට ද සිංහල භාෂාවේ “පදාසය” ලෙස භාවිතා වේ. පදාසයක් යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ප්‍රදේශයක් යනුවෙනි.   


ඕලන්ද පාලනයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වා ම ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම විසින් පාලනය කළ අනෙක් රාජ්‍යයන්හි භාවිතා කළ කාසි විශාල ප‍්‍රමාණයක් අප රටේ භාවිත විය. මේ කාසි දැනට ද අපේ කාසි එකතු කරන්නන් අතර බහුලව තිබෙනු දක්නට ලැබේ.   


අනෙකුත් ‍ඕලන්ද භාණ්ඩ ද එවැනිය. විවිධ රටවල නිෂ්පාදනය කරන ලද VOC භාණ්ඩ රැසක් තවමත් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන් සතුව මෙන්ම කෞතුකාගාරවල ද තිබේ. ගාලු‍ කොටුවේ කැණීම් කරන විට පොළොව යට තිබී ඕලන්ද සමාගමේ ලාංඡනය සහිත කැඩී බිඳී ගිය පිඟන් මැටි භාණ්ඩ රැසක් හමුවෙයි.   
ඇතැම් පුද්ගලයන් මේවාට විවිධ අර්ථකථන දෙමින් අධික මුදල් ප්‍රමාණයකට ලංසු තැබුව ද ඒවායේ ඇත්තේ පැරණි වටිනාකමක් විනා වෙනත් විශ්මිත දෙයක් නොවන බව පුරාවිද්‍යාඥයෝ කියති.   

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර