ඉසිවර ශාපයෙන්, අප්සරාවට වඳුරු මුහුණක්


භාරත දේව සභාව

 

දිව්‍ය ලෝකයෙන් නික්මුණු පුන්ජීකස්තලා අප්සරාව, නිල්වන් ගුවනේ නිදහසේ සැරිසැරුවාය. විටෙක සුදු වළාකුලක් මත වැතිරුණු ඇය තවත් වරෙක අහසේ සක්මන් කළාය. යළි දිව්‍ය ලෝකවලට ඇතුළු වී ඒවායෙහි ද නිදහසේ සංචාරය කළාය. වඳුරකු සිය කකුල් දෙකත් එරමිණිය ගොතාගෙන සංසුන් ලෙස භාවනා කරනු ඇය දුටුවේ එ් මොහොතකය.
   
වඳුරකු එරමිණිය ගොතාගෙන අත් දෙක ඔඩොක්කුවේ තබාගෙන භාවනා කිරීම පුන්ජිකස්තලාගේ මුවට සිනා ගෙනාවාය. ඒ සිනාව පාලනය කරගත නොහැකි වූ ඇය මහ හඬින් සිනාසෙන්නට වූවාය. එහෙත් ඒ සිනාව රිෂී නම් වූ වඳුරු ඉසිවරයාට ඇසුනේ නැත. ඔහු භාවනාවට සමවැදී සිටි බැවිනි.   
එහෙත් එක් මොහොතක ඔහුට අමුත්තක් දැනිණි. යම් කිසිවකු විසින් තම සිතුවිලි චංචල කරන අයුරකි. කිසියම් ස්ත්‍රියක තමා වෙත උපහාස සිනාවක් නගන හැටි ද ඔහුට දැනිණි. 
රිෂී විමතියට පත්විය. 
වහා වහං වූ පුන්ජිකස්තලා තම හිනාව මුවේ තදකර ගත්තාය. 
ඊළඟ මොහොතේ අඹ ගෙඩියක් අතට ගත් ඇය ඉන් රිෂිට දමා ගැසුවාය. පලතුර ගිහින් වැදුණේ ඔහුගේ හිසෙහිය. 
තවදුරටත් බවුන් වැඩීම අපහසු වූයෙන් රිෂී දැහැනින් මිදුණේය. ඔහු දෙනෙත් විවර කළ අතර තම පාමුල වැටී තිබූ අඹ ගෙඩිය දුටුවේය. එය යම් කිසිවකුගේ පහර දීමක් බව ඔහුට වැටහිණි. 
මෙය මොහොතකට කලින් තමන් වෙත උපහාස සිනා එල්ල කළ ස්ත්‍රියගේම වැඩක් බව රිෂීට අවබෝධ විය. 
තමන්ගේ භාවනාවට බාධා කිරීම ගැන කෝපයට පත්ව සිටි රිෂීගේ තියුණු දෙනෙතට පුන්ජිකස්තලා අසුවිය. ඒ මොහොතේ ඇය සිටියේ ගලක් සුරතට ගෙන එය රිෂී වෙත එල්ල කරගෙනය. 
කෝපයට පත් වූ රිෂී ඉසිවරයා රතැසි දෑසින් අප්සරාව දෙස බැලුවේය. 
ඔහුගේ දෙනෙතට තමා ඉලක්ක වූ බව වැටහුණු අප්සරාව, වහාම අත වූ ගල බිම දැමුවාය. අත පහළට ගත්තාය. 
“ඇයි උඹ මට ඔය විදිහට පහර දෙන්නෙ?” 
රිෂී ඇසුවේ කෝප ස්වරයෙනි. 
අප්සරාව දෙතොලග ඇදුණු උපහාස සිනාව බලහත්කාරයෙන් මැඩ ගත්තාය. 
“උඹ මගෙ භාවනාව කැඩුවා. මගෙ දැහැන බින්දා. මම හිටියෙ පුදුම සැහැල්ලුවක නමුත් උඹ මගේ ඒ සමාධිය බින්දා” 
පුන්ජිකස්තලා අප්සරාව කටඋත්තර නැතිව බලා සිටියාය. 
“උඹ හිතන්නෙ මම විහිලුවක් කියලා. මට තියෙන වඳුරු පෙනුම උඹට මාව විහිලුවක් වගේද පේන්නෙ. මම උඹට ශාප කරනවා. උඹේ ඔය ලස්සන රූපෙ වෙනුවට උඹටත් වඳුරු රූපයක් ලැබෙන්න කියලා” 
තමන් කළේ ගොන් තකතීරු වැඩක් බව අප්සරාව තේරුම් ගත්තේ එ් මොහොතේ දී ය. ඇගේ ඉහ මොල රත්වී පපුව පිච්චෙන්නට පටන් ගත්තේය. වහාම රිෂී ඉසිවරයා වෙත දිවගිය අප්සරාව හඬන්නට පටන් ගත්තාය. 
“උතුමානණි, මට සමාවෙන්න. මට වැ... වැරදුණා. මම හිතුවෙ නෑ. ඔබ ඉසිවරයෙක් කියා. ඔබ බවුන් වඩන බවත් මා දැන සිටියේ නෑ. මං හිතුවෙම මේ වඳුරෙක් කියලා. ඒකයි මම පලතුරකින් දමා ගැහුවෙ. මං හිතුවෙ වඳුරෙක් භාවනා කරන්න හදනවා කියලා” 
අප්සරාව කීවේ හැඬුම් මුසු ස්වරයකිනි. 
“මා සත්‍යය නොදැන, විහිලුවට කළ වැඩේට ඔබ දෙන දඬුවම බරපතළ වැඩියි ස්වාමිනී” 
අප්සරාව වහා පහත් වී වඳුරු මුහුණැති රිෂී ඉසිවරයාගේ දෙපා ඇල්ලුවාය. 
“කරුණාකරල මට සමාව දෙන්න. මම කරපු මෝඩ වැඩෙන් මම පාඩමක් ඉගෙන ගත්තා. මම ආයෙ කිසිවෙක් විහිලුවට ගන්නෙ නෑ. ඒ නිසා ඔබේ දරුණු ශාපයෙන් මා නිදහස් කරන්න” 
අප්සරාව හඬමින් පැවසුවාය. 
ඇගේ ඇස්වලින් ගලාගිය කදුළුවලින් රිෂී ඉසිවරයාගේ දෙපා උණුසුම් විය. මොහොතකින් සීතල විය. 
වඳුරු රුවැති ඉසිවරයා, පුන්ජිකස්තලා දෙස බැලුවේය. ඇය ඇත්තටම කර ඇත්තේ කෙලිලොල් ක්‍රියාවක් බව ඉසිවරයාට වැටහිණි. යෞවනයේ දඟකාරකම ද තමන් ඉසිවරයකු බව නොදැන සිටීම ද මේ වැරැද්දට හේතුවය. එසේ වුවත් තමන් ඉසිවරයෙකි. ඉසිවරයකු යනු බොහෝ බලසම්පන්න කෙනෙකි. එබැවින් ඉසිවරයකුට කළ හැකිදේ ද කිව හැකි දේ ද බොහෝය. කොටින්ම ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක පවා අසීමිත බලයක් තිබේ. එසේ වුව තමන්ගේ මුවෙන් ගිලිහෙන වචනයක බලය ඉසිවරයකුට වුව නැවත ආපසු ඇද ගැනීමට නොහැකිය. 
“පුන්ජිකස්තලා ඔබේ වචන මං විශ්වාස කරනවා. ඔබ හුදෙක් විනෝදයට මිස වෙනත් අදහසකින් මට පලතුරකින් දමා ගැසුවේ නැති බව මට වැටහෙනවා ඒත්” 
“ඇයි උතුමාණනි, ඒත් කියන්නෙ”
අප්සරාව විමතියෙන් ප්‍රශ්න කළාය. 
“එ්ත් මගේ මුවින් පිට වූ වචනයක් මට යළිත් ආපසු ඇද ගැනීමට පුළුවන් කමන් නැහැ ඔබට මා කළ ශාපය අවසන් වන්නේ ඔබ දරුවකු ප්‍රසූත කළ පසුව පමණයි. කෙසේ වෙතත් ඔබට පුළුවනි. ශිව දෙවියන්ට යාච්ඤා කරන්න. දැන් ඉතිරිව ඇත්තේ ශිවගේ පිහිට පමණයි.” 

වඳුරු රුවැති ඉසිවරයා, පුන්ජිකස්තලා දෙස බැලුවේය. ඇය ඇත්තටම කර ඇත්තේ කෙලිලොල් ක්‍රියාවක් බව ඉසිවරයාට වැටහිණි. යෞවනයේ දඟකාරකම ද තමන් ඉසිවරයකු බව නොදැන සිටීම ද මේ වැරැද්දට හේතුවය. එසේ වුවත් තමන් ඉසිවරයෙකි. ඉසිවරයකු යනු බොහෝ බලසම්පන්න කෙනෙකි. එබැවින් ඉසිවරයකුට කළ හැකිදේ ද කිව හැකි දේ ද බොහෝය. කොටින්ම ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක පවා අසීමිත බලයක් තිබේ. එසේ වුව තමන්ගේ මුවෙන් ගිලිහෙන වචනයක බලය ඉසිවරයකුට වුව නැවත ආපසු ඇද ගැනීමට නොහැකිය.

 


අප්සරාව, ඉසිවරයා දෙස බලා සිටියාය. ඒ අතර තුරම රූබර අප්සරාවගේ සිරුර වඳුරු සිරුරක් බවට වෙනස්විය. දිගු වල්ගයක් මැවුණ අතර ඇය ගං ඉවුර දෙසට පැන පැන යන්නට වූවාය. 
ගං ඉවුර අද්දර වූයේ වනයකි. එම වනයට දිව ගිය ඇය ගසක් මතට නැග්ගාය 
“ශිව දෙවියන්ට යාච්ඤා කරන්න.”
ඉසිවරයා පැවසූ වදන් පුන්ජිකස්තලාට සිහිපත් විය. යළි ගසෙන් බිමට බැසගත් ඇය ශිව දෙවියන්ට යාච්ඤා කරන්නට පටන් ගත්තාය. 
යළි පසුවදා උදේත් ඇය කළ පළමු කටයුත්ත වූයේ ශිව වෙනුවෙන් යාච්ඤා කිරීමය. 
මේ යාච්ඤාවේ ප්‍රතිපලයක් නිසාදෝ ඇගේ හිතට සැහැල්ලුවක් දැනිණි. ඇය ගහෙන් ගහට පනිමින් වන මැදටම ගිය අතර වන මැද වූ ආශ්‍රමයක් අහම්භ අයුරින් හමුවිය. ඇය එම ආශ්‍රමය දෙසට ගමන් කළේ නිරායාසයෙන්මය. ඒ වන විටත් දෙවියන් වෙනුවෙන් පැවැත් වුණු පූජාවක් අවසන් වූවා පමණි. බැතිමතුන් සිය ගණනක් ආශ්‍රමයේ සිටි අතර ඔවුන්, තමන් වෙත පැමිණි වැඳිරියට පලතුරු කන්නට දුන්හ. 
දවස් දෙක තුනකින් කිසිදු අහරක් ගෙන නොතිබූ බැවින් ඇයට දැනුණේ දැඩි කුසගින්නකි. ඒ නිසාම ඇයට ලැබුණු සියලු පලතුරුවල රස බැලූ වැඳිරිය ඇයට කෑම දුන් පිරිස දෙස ස්තූතිපූර්වකව බැලුවාය. 
“උඹ කව්ද මගෙ දරුවා” 
ආශ්‍රමයේ නායකයා වූ වියපත් තවුසා පුන්ජිකස්තලාගෙන් විමසුවේය. 
“ස්වාමිනී මම පු....” 
පුන්ජිකස්තලා කියන්නට ගිය වදන් ගිලගත්තාය” 
“මම අප්සරාවක් බවත් ඉසිවරයකුට විහිලු කරන්න ගිහින් ඉසිවර ශාපයට ලක්වෙලා වඳුරු රුවක් ලැබුණු බවත් කාටවත් කිව යුතු නැහැ. එවිට ඔවුන් මට හිනාවෙන්නත් සමහර විට හිංසා කරන්නත් බැරි නෑ. ඇරත් අප්සරා ජීවිතය අයිති අතීතයට. දැන් මම වැඳිරියක්. ඒ නිසා මම බොරු නමක් කියනවා.” 
පුන්ජිකස්තලා තමන්ටම කියාගත්තාය. 
“මම අන්ජානා”
ඇය තවුසාට පැවසුවාය. 
“අන්ජානා මට පේන්නෙ ඔබ බොහොම නිර්භීතයි කියායි. රාත්‍රියේ දී අප කිසිවෙක් මෙම වනාන්තරයේ ගැවසෙන්නෙ නෑ. ඒත් ඔබ බය නැතුව රාත්‍රියේත් මේ වනයේ ගැවසෙනවා. ඔබ දන්නවද අන්ජානා මේ වනාන්තරයෙ බොහොම බලගතු යක්ෂයෙක් ඉන්නවා.” 
තවුසා කී විට අන්ජානා බලාසිටියේ විමතියෙනි. 
“ඒ යක්ෂයා බොහොම දරුණුයි. මිනිසුන්ට මෙන්ම සතුන්ටත් හිංසා පීඩා කරනවා. බොහොම නපුරෙක්” 

 

 

විමතිය පත් අන්ජානා තවුසා දෙස ඇස් කන් පමණක් නොව කට ද ඇරගෙන බලාසිටියාය. 
“ඔබ දන්නවද? බොහෝ විට අද රාත්‍රියේ ඔහු මේ ආශ්‍රමයට පහර දීමට පුළුවන්.” 
“අද රෑ මේ ආශ්‍රමයට පහර දෙනවා යක්ෂයා” 
අන්ජානා, ප්‍රතිරාවය කළාය. 
“ඔව්, අපි මේ ආරක්ෂක විධිවිධාන යොදමින් ඉන්නෙ” 
“මටත් පුළුවනි ඔබට උදව් කරන්න. අපි ඒ යක්ෂයාට පහර දෙමු” 
අන්ජානා කීවාය. 
ඇය ආශ්‍රම මිදුලට ගිය අතර කුඩා ශිව ලිංගයක් ගෙන ශිව වන්දනාව ආරම්භ කළාය. 
“මේ මිනිස්සු හරි හොඳයි ඒවගේම කරුණාවන්තයි. ඔවුන් මට ආරක්ෂාවත් දුන්නා ආහාරත් දුන්නා ඒ නිසා මගේ වගකීම වෙන්නෙ ඔවුන්ට ආරක්ෂාව සැලසීමයි. ඒ නිසා මේ භයානක යක්ෂයා සමග සටන් කිරීම සඳහා මට ශක්තිය ලබාදෙන්න” 
අන්ජානා, ශිව හමුවේ යාච්ඤා කළාය. 
හෝරාවක් පමණ කාලයක් මෙලෙස යාච්ඤා කරන විට අන්ජානාට කිසියම් හඬක් ඇසිනි. 
“මගෙ දරුවා ඔය සටනින් ඔබට ජයගන්න පුලුවන්. නොබියව සටන් කරන්න.” 
අන්ජානා තම දැහැනින් මිදී නෙත් විවර කළාය. 
එහෙත් පරිසරය තිබූ සේමය. ඇය ඉදිරියේ කිසිවකු දකින්නට නොලැබිණි. එසේ නම් අර හඬ කාගේද? 
අන්ජානා කල්පනා කළාය. 
“හරි ඒ ශිව උතුමාණන්ගෙ හඬ. මගේ යාච්ඤාව එතුමාව ඇහිලා. එතුමා තමයි මට ආශිර්වාද කළේ. මම සටනින් ජයගන්න බවයි එතුමාණන් පැවසුවේ.” 
අන්ජානාට සතුටක් දැනිණි. 
අන්ජානා යුද්ධයට සැරසුනාය. ඒ වෙනුවෙන් ආයුධ රැස්කරන්නට වෙහෙසෙද්දී ඇයට හමුවූයේ අපූරු මිනිසෙකි. ඔහුද සිටියේ ඉපැරැණි ආයුධ වගයක් සුද්ධ පවිත්‍ර කරමිනි. ඔහු පහතට හැරී අායුධ දෙස බලා සිටි බැවින් අන්ජානාට ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනුණේ නැත. ඔහු මහත් උනන්දුවෙන් යුතුව ආයුධ සුද්ධ කරනු දුටුවිට, ඔහු රණකාමියකු විය යුතු බව අන්ජානාට වැටහිණි.   
අන්ජානා ඔහු දෙස බැලුවේ විමසිලි දෑසිනි. ඔහුගේ සිරුරෙහි හොඳවුණු තුවාල කැලැල් රැසක්ම විය. ඒ කැලැල් කියාපෑවේ ඔහු මින් පෙරත් සටන් ගණනාවකට මැදිව, තුවාල කරගත් මිනිසකු බවය. එනිසාම ඇයට ඔහු සමඟ කතා බහ කිරීමේ සිතක් උපනි.  
“ඔබ ඔය පවිත්‍ර කරන්නේ බොහොම පරණ ආයුධයක්ද?”   
අන්ජානා කතාබහට ප්‍රවේශ වීම පිණිස විමසුවාය.  
එවිට ඔහු හිස හරවා අන්ජානා දෙස බැලුවේය. යුද වීරයාගේ මුහුණේ ස්වභාවය දුටුවිට අන්ජානාව පුදුම නොවී සිටිය නොහැකි විය. ඔහුට තිබුණේද වඳුරු මුහුණකි.  
“එකත් එකටම මෙයා වඳුරු රජ්ජුරුවෝ වෙන්න ඇති.”  
අන්ජානාගේ සිත කීවේය.   
“හ්ම්.. මේක පරණ ආයුධයක් තමා. මේ ආයුදේ සටන් ගණනාවකටම පාවිච්චි කරලා, හොඳ ප්‍රතිඵල ලබපු ආයුධයක්. ඒ නිසා ​ෙම්ක පැත්තකට දාන්න මට හිතෙන්නෙ නෑ...”  
ඔහුගේ කටහඬ ගැඹුරුය.   
අන්ජානා බලා සිටියාය.  
මොහු කවුරුන්දැයි ඇයට සිතා ගත නොහැකි විය.  
‘මම කේශාරි. මම ආවෙත් ඔබ වගේම අර යක්ෂයා එක්ක සටන් කරන්න.’  
කේෂාරි මද සිනාවක් පෑවේය.  
‘ඇත්තටම ඔබ වීරවරියෙක්. ඔබ බොහොම නිර්භීතයි’  
‘මං වගේ නෙවෙයි ඔබ... ඔබ බොහොම එඩිතරයි. ඒ වගේම සටන් කර පලපුරුද්දක් තිබෙන බවයි පෙනෙන්නේ’ අන්ජානා පැවසුවාය.  
කේශාරී හිනැහුණි.  
‘ඒක මගේ රාජකාරිය. මම තමයි වඳුරු රජ්ජුරුවෝ. මේ සියළු මිනිසුන්ට රැකවරණය දීමට මා බැඳී සිටිනවා.’  

 

 

 


ලබන සතියට...

 


ශාන්ත කුමාර විතාන