ඉසිවර බලයට පැරදුණු මහ දෙවියා


භාරත දේව  සභාව

 

බලකාමය මිනිසුන්ට පමණක් පොදු වූ දුර්වලතාවක් නොවේ. දෙව්ලොව දෙවියෝද තම බලය රැකගැනීම සඳහා බොහෝ උපක්‍රම භාවිත කරති. අලුතින් බලවත් වීමට දඟලන්නවුන් පාගා දැමීමටද උත්සාහ කරති.   
දෙව්ලොව මහ දෙවියා වන ඉන්ද්‍ර නාරායන සහ නාර නම් වූ ඉසිවරුන් බලවත්වීමට දරන තැත නැති කිරීමට යුද උපක්‍රම ගැන අද භාරත දේව සභාවෙන් කියවමු.   

ගිම්හානය වුවත් බද්රිනාත් වනයේ ගස් වැල්වල හරිත පැහැය ඉතිරිව තිබිණි. වියළි කර්කශ සුළඟ හමාගියත් වනාන්තරය තුළ තෙතමනය ඉතිරිව තිබිණි. වියළී වැටුණු සහසක් පත්‍ර වලට යට පොළොව මත තෙතමනයක් විය.   


මේ මහා වන මැද වූ සංසුන් ගල්තලාවක් මත නාරායන හා නර යන නිවුන් සොහොයුරන් දෙදෙනා දෙනෙත් පියාගෙන එරමිණිය ගොතා ගෙන බවුන් වඩමින් සිටියහ. හැම දිනකම අවදිව උදයට සුළු ආහාරයකින් කුස පුරවා ගන්නා ඔවුහු දැහැනට සමවැදී බවුන් වැඩූහ. ඒ භාවනාවේ අරමුණු සතුට ළඟාකර ගැනීමය.   


සැබැවින්ම කිවහොත් මෙසේ බවුන් වැඩීමෙන් ඔවුන් ලද්දේ සතුටකි.   


මෙකී නාරායන සහ නර යනු විෂ්ණු ගේ දරු දෙදෙනෙකි. එසේ වුවත් ඔවුන්ට ලැබී තිබූ රූපකාය වූයේ මිනිස් රූපය. නොඑසේනම් ඔවුහු මිනිස් වෙසින් පෙනී සිටියහ. නාරායන සහ නර යනු බොහෝ සේ බලසම්පන්න ඉසිවරුන් බව දෙව්ලොව පැතිරගිය පුවතක් විය.   


‘‘එසේ වුවහොත් ඔවුන්ගේ බලය මගේ බලය ඉක්මවා යා හැකියි.’’   


ඉන්ද්‍රට සිතුණි.   


දෙව්ලොව අධිපතියා වන ඉන්ද්‍ර, හැම විටම කල්පනා කළේ තම බලය රැක ගැනීමටය. එම නිසා තමන්ගේ බලය ඉක්මවා වෙනත් දෙවියකු හෝ ඉසිවරයකු හෝ බලවත් වනු දැකීමට ඔහු ප්‍රිය නොකළේය. සැබැවින්ම ඔහු එවැන්නකට අකමැති විය.   


‘‘මේ දෙන්නගේ භාවනාවට බාධා කරන්න ඕනෑ’’   


අන්තිමේ දී ඉන්ද්‍ර තීරණයක් ගත්තේය.   


බද්රිනාත් වනයට ගිය ඉන්ද්‍ර, වන මැදට ඇවිද ගියේ නාරායන සහ නර යන ඉසිවරුන් මුණගැහෙන්නටය.   


ඉන්ද්‍ර යන විටත් ඔවුන් දෙදෙනා සිටියේ භාවනානුයෝගීවය. 

 
ඉන්ද්‍ර දුර සිට ඉසිවරුන් දෙස බලා සිටියේය. සංසුන්ව එකම ඉරියව්වකින් වාඩි වී සිටි ඔවුන්ගේ නෙත් පියැවී තිබිණි.   


අවට වූ ගස් අතු ඉපල් පාගමින් හඬ නැගෙන අයුරින් පා තැබූ ඉන්ද්‍ර, අවසානයේ ඉසිවරු ළඟ නිතර විය. එහෙත්, අතු බිඳුණු හඬින් බිඳක් වත් නොකැළඹුණු ඉසිවරු නෙත් පියාගෙනම සිටියහ.   
‘‘ඉසිවරුනි, නෙත් අරින්න’’   


ඉන්ද්‍ර පැවසුවේය.   


‘‘මා පැමිණියේ ඔබ දෙදෙනාට, ඔබ දෙදෙනා කැමති ඕනෑම වරයක් දීමට කරුණාකර ඇස් අරින්න’’   


එහෙත් නෙත් විවර කළේ ඉසිවරු නොවේ. 

 
‘‘වරයක් දෙන්නම් කියලත් මේ දෙන්නා අැස් නොඅරින හැටි’’   


ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.   


නාරායන සහ නර යනු දෙවියන්ගෙන් හෝ වෙනත් කිසිවකුගෙන් හෝ වරයක්, වරප්‍රසාදයක්, ප්‍රාර්ථනා කරන්නවුන් නොවේ. ඇත්තටම ඒ වන විටත් විශාල මානසික ශක්තියක්, අත්පත් කර ගෙන සිටි ඔවුහු භාවනානු යෝගීව ගත කිරීමෙන් අපමණ සැනසිල්ලක් ලබාගෙන සිටියහ. භාවනාව එකම සතුට බවත්, විමුක්තිය බවත් දෙදෙනා​ෙග්ම අදහස විය.   


‘‘ඉසිවරුනි ඔබේ නෙත් අරින්න’’ 

 
ඉන්ද්‍ර එවර පෙරට වඩා දැඩි හඬින් කීවේය.   


එහෙත් නෙත් අැරියේ ඉසිවරුන් නොවේ.   


කොහොමහරි මෙයාලගෙ භාවනාව නතර කරන්න ඕනෑ’’   


ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.   


දැන් ඔහුගේ හිතේ ඇත්තේ කෝපයකි. තම බලය යෙදූ ඉන්ද්‍ර බද්රිනාත් වනයේ තැන තැන විසිරී සිටින සියලුම වන සතුන් කැ​ෙඳව්වේය.   


අක්කර සිය ගණනක් විහිදී තිබූ වනාන්තරයේ විවිධ වනසතුන් රැසක් සිටියහ. නපුරු කොටි, සිංහයන් සේම අහිංසක මුවන්ද, නයි පොළඟුන් වැනි විෂඝෝර සර්පයන්ද, රාජාලීන් මෙන් මාංශභක්ෂක පක්ෂීන්ද වාසය කළ මේ වන රජදහන එක්වරම කැළඹීමට පත්විණ.   


ඉන්ද්‍රගේ අණ පරිදි, වන සත්තු කැලය පෙරළාගෙන දිව ආහ. හෝරා දෙකක් ගතවනවිට වනසත්තු සිය ගණනක් ඉන්ද්‍ර ඉදිරියේ හති ඇර ඇර බලා සිටියහ.   


‘‘පහර දෙනු’’   


ඉසිවරුන් පෙන්වූ ඉන්ද්‍ර, වන සතුන්ට නියෝග කළේය.   


එක පොදියට පොරකන මේ වනසත්තු නාරායනගේ සහ නරගේ සිරුරු මතට පැන හපා සූරා කරන වින්නැහිය දකින්නට ඉන්ද්‍ර බලා සිටියේය.   


එහෙත්?   


එකද නපුරු සතකුවත් නාරායන සහ නර වෙත කිට්ටු වූයේ වත් නැත. බවුන් වඩන ඉසිවරු අබියස වෙව්ලන්නට වූ කොටින් සහ සිංහයන්ගේ කටවල් විවර වී හති පිටවිය. වලිග කකුල් අස්සේ රුවාගත් උන් සිටියේ බියපත්වය.   


‘පහර දෙනු’’   


ඉන්ද්‍ර යළිත් ගිගුරුවේය.   


එහෙත් වනසත්තු ගෙරවුම් හඬක්වත් පිට නොකළහ.   

 


ඉන්ද්‍ර ගේ කෝපය දැඩි විය.   
‘දැන් මොකක්ද කරන්නෙ?’’   


ඉන්ද්‍ර තමන්ගෙන්ම අසාගත්තේය. ඔහු අහසට ද අධිපතිය. වළාකුළු රැස්කරවා මහා වැස්සකට අණ කළේය. ඒ සමගම අකුණු කැඳවා බවුන් වඩන ඉසිවරු මත ඒ අකුණු පුපුරුවන්නට අණ කළේය.   


මහා වැස්සට තෙමෙමින් අකුණු වලට ලක්වන විට මේ ඉසිවරු දැහැමින් මිදෙන බව විශ්වාසය. එසේත් බැරිවුණොත් සුළි සුළඟක් කැඳවා ඉසිවරුන්ගේ සිරුර මත ගස් පෙරළා දැමීමටත්, ගංවතුර කැඳවා ඔවුන් වෙනතක රැගෙන යන්නටත් ඉන්ද්‍ර තීරණය කළේය.   


එහෙත් කිසිවක්ම සිදුවූයේ නැත. කළු වළාකුළු අහසට ආවේවත්, වැහි බිත්තර පොළොවට වැටුණේවත් නැත. ඉතින් වහින්නේ, ගොරවන්නේ, සැඩ සුළං හමන්නේ, ගංවතුර ගලන්නේ කෙසේද?   
ඉන්ද්‍රගේ කෝපය වැඩිවිය   


‘‘වන සත්තුන්, අහසත් මට අකීකරු වුණා. මගේ බලය, අර ඉසිවරුන්ගේ භාවනා බලයට වඩා අඩුද?’’ 

 
ඉන්ද්‍ර දත්මිටි කමින් කල්පනා කළේය. ‘‘මේක මට වුණු නින්දාවක් අපහාසයක්’’   


ඉන්ද්‍ර වහාම දිව්‍යාලෝකයට ගියේය. සිය මැදුරට ගිය ඔහු කෝපයෙන් වෙව්ළමින් එහා මෙහා ගියේය. 

 
‘‘අර දෙන්න භාවනා කරල ඒ බලයෙන් මගේ බලය නැති කරන්නයි හදන්නෙ. ඒකට ඉඩ දෙන්න බැහැ.‘‘   


දිව්‍ය මාළිගය පුරා සක්මන් කළ ඉන්ද්‍රගේ නෙත් ගැටුණේ අප්සරාවන්ය. ලෝකයේ කොතැනකවත් නැති තරම් ලස්සනම ලස්සන කාන්තා පිරිස අප්සරාවන්ය. ඔවුන් සතු ස්ත්‍රී ලාලිත්‍යය කොයිතරම්ද යත් ඔවුන්ට වසඟ නොවන ඉසිවරයකුවත් නොමැති බව ඉන්ද්‍ර අසා තිබුණේය. ඔහු වහාම අප්සරාවන් හා ගාන්ධර්වයන් තමන් වෙත කැඳෙව්වේය.   


‘‘වහාම ප්‍රසංගයකට සූදානම් වන්න’’   


ඔවුන්ට අණ කළ ඉන්ද්‍ර, ඊළඟට ගියේ වසන්ත දේව වෙතය.   


වසන්තයට අධිපති වන ඔහු ලවා බද්රිනාත් වනාන්තරයට වසන්තය කැඳවා වනය මිහිරි මලින් සරසා, මල් සුවඳින් ගවසා බිඟුන් සමනලයන් කැඳවා විසිතුරු ලෝකයක් මැවිය යුතුය.   


ඒ වසන්තයෙන් මන්මත් කරවා ඉසිවරුන්ගේ දැහැන බිඳිය යුතුය. ඉනික්බිති ගාන්ධර්වයන්ගේ මියුරු සංගීත රාවයෙන් අප්සරාවන්ගේ නර්තන රිද්මයෙන් ඔවුන් වසඟ කරගත යුතුය. ඔවුන් කාමයෙහි ගල්වා කාම යෝගීන් කරගත යුතුය. ඒ සඳහා කාම දේවගෙන් ආලය ඉල්ලාගත් ඉන්ද්‍ර ආපසු තම මැදුරට ගොස් ගාන්ධර්වයන් සහ අප්සරාවන්, බද්රිනාත් වනාන්තරයට පිටත් කර යැවීය.   


බද්රිනාත් වනාන්තරයම සුවඳ මලින් පිරිණි හමන මද පවනේ මල් සුවඳ මුසුව තිබිණි. ඒ මල් සුවඳ ඉසිවරුන් දෙදෙනාගේ නාස් පුඩු වලින් ඇතුළු වී ඔවුන්ගේ සිතිවිලි අවුල් කළේය. ගාන්ධර්වයන්ගේ තූර්ය භාණ්ඩ හැඬවිණි. ඉන් නැගුණේ මියුරු වාදනයන්ය.   


ඒ වාදනයේ රිද්මයට දෙපා තැබූ අප්සරාවන් මනරම් නර්තනයක් ඉදිරිපත් කරමින් ඉසිවරුන් අභියසට ගියහ. දෙපා තබන රිද්මයට සැලුණු රන් රසදැල් හඬ පවා මනරම් විය.   


ඒ වන විට සිය භාවනාව අවසන් කර සිටි ඉසිවරු දෙනෙත් විවර කළහ.   


ඉන්ද්‍රට දැනුණේ සතුටකි.   


‘‘හරි. ඉසිවරු ඇස් ඇරියා. මේ අප්සරාවන්ගේ ශෘංගාර නර්තනයන් ඔවුන්ගේ නෙත් වසඟ කරාවි. කාම දෙවියන් ඔවුන්ව ආලයෙන් මුසපත් කරාවි.’’ 


‘‘එතකොට?’’ 


‘‘ඔව් එතකොට ඉසිවරු තවදුරටත් භාවනා කරන එකක් නැහැ. මම අප්සරාවන් මේ ඉසිවරුන් ළඟින්ම තියනවා. ඔවුන්ගේ ලස්සන මේ ඉසිවරුන්ගේ හිත් කාමයෙන් පුරවාවි.’’ 

 
ඉන්ද්‍ර තමන්ටම කියාගනිමින් අප්සරාවන්ගේ නර්තන ලීලා දෙස බලාසිටියේය.   


ඉසිවරුද නෙත් විවර කරගෙන බලාසිටියේ මේ අප්සරාවන්ගේ නර්තන ලීලා දෙසය. පුළුලුකුළු සොලවමින් එ් මේ අත චලනය කරමින් දෙකට නැමෙමින් යළි නැගිටිමින් බිම දිගා වෙමින් උඩ පනිමින් අප්සරාවෝ නටති. ඔවුන්ගේ සිරුරු වැසී තිබුණේ දුහුල් සළු පිළිවලිනි. විටෙක සළුපිළි විවර වී අප්සරාවන්ගේ පිරුණු දඟ යුග නිරාවරණය විය. සුදුම සුදු පැහැගත් ඒ වටකුරු දඟයුග දෙස ඉසිවරු දෙදෙනා බලනු ඉන්ද්‍ර දුටුවේය.   


‘‘ඒ දෙන්නට මේ අප්සරාවන් ගැන අාස හිතිල වගේ. තව ටිකකින් මේ අය සළු ඉවතට විසිකරල නටයි. එතකොට මේ අයට භාවනාව අමතක වෙනවා නියතයි.’’   


ඉන්ද්‍ර මිමිනුවේය.   


ඔහු සිතුවා හරිය. උඩුකය මත දමාගෙන සිටි සළුව ගලවා ඉසිවරුන් වෙත විසිකළ අප්සරාවන් හංසයන් බඳු වූ පියවුරු සෙළවූහ. 

 
ඉසිවරුන්ගෙන් වැඩිමල් වූ නාරායන දැහැනින් මිදී එරමිණියෙන් මිදී කාමදේව වෙත ගියේය.   


මට ප්‍රශ්නයක් ඇසීමට අවසරද? 


නාරායන ඇසුවේය.   


කාමදේව සතුටට පත්විය. අප්සරාවන් ඉසිවර දැහැන් බිඳ අවසන්ය. දැන් මොවුන් මේ විමසන්නේ අප්සරාවන් සමඟ කාලය ගත කරන හැටියක් ගැන විය යුතුයැයි කාමදේව කල්පනා කළේය.  


‘‘ඕනෑ එකක් අහන්න’’  


කාම දේව කීවේය.  


‘‘කව්ද මේ නාටිකාංගනාවන්’’  


කාමදේව මද සිනා නැගීය. ‘‘මේ අය දිව්‍යාලෝකෙන් ආව අප්සරාවන් ඉන්ද්‍ර දෙවියන් විසින් ඔබ වෙත තිළිණ කළ නාටිකාංගනාවන්. ඒ නිසා ඔවුන්ගෙ නර්තන ලීලා නරඹමින් ඔබට සතුටුවිය හැකියි.’’  


නාරායන සහ නර යන ඉසිවරු ඔවුනොවුන්ගේ මුහුණු බැලූහ.  


ඊළඟ මොහොතේ නාරායනගේ කලවයෙන් මලක් පිපිණි. කාමදේව පුදුමයට පත්ව ඒ මල දෙස බලාසිටියේය. ඉසිවර කලවයකින් මල් පිපීම කාමදේවට අරුමයක් වූ නිසාය. මොහොතකින් ඒ මල කාන්තාවක බවට පත්විය. ඒ තරම් ලස්සන කාන්තාවක් දිව්‍ය ලෝකයේදීවත් දැක නොමැති කාමදේව මහත් ආශාවෙන් ඇය දෙස බලාසිටියේය.   


‘‘අප්සරාවන්ට වැඩිය ලස්සනයි’’  


කාමදේව මිමිනුවේය.  


‘‘ලස්සන වගේම තමා ඇගේ නර්තනයත් අප්සරාවන්ට මේ ඇගේ ලස්සනට කිට්ටු කරන්න බැහැ වගේම ඇගේ නර්තනයට ළංවෙන්නත් බැහැ. ඇයව රැගෙන ගොස් ඉන්ද්‍රට බාර දෙන්න. මගේ දැහැන් බිඳින්න ඔහු එවූ අප්සරාවන්ගේ හිලව්වට’’  


නාරායන පැවසුවේ සමච්චල් හඬිනි.  


කාමදේව නාරායන සහ නර දෙස බැලුවේ පුදුමයෙනි. ඔවුන් සතු අාධ්‍යාමික බල ශක්තිය අති විශාල බව කාමදේව තේරුම් ගත්තේය.  


‘‘කව්ද ඈ?’’  


ඔහු නාරායනගෙන් ඇසුවේය.   


නාරායන සිනාසුණි.  


‘‘ඇය පැමිණියේ මගෙ කලවයෙන්. ඒ නිසා ඔබට පුළුවනි ඇයට උරුවසී යැයි අමතන්නට’’  


‘‘උරුවසී’’  


‘‘ඔව් උරුවසී දැන් ඔබට පුළුවනි ඇය සමග ඉන්ද්‍ර මුණගැහෙන්නට. කරුණාකර ඇය ඉන්ද්‍රට භාරදෙන්න’’  


නාරායන කීවේය.  


උරුවසි සමඟ ඉන්ද්‍ර හමුවට ගිය කාමදේවයා සිදුවූ සියල්ල පැවසුවේය.  


මවිතයෙන් යුතුව සියල්ල අසා සිටි ඉන්ද්‍ර, උරුවසියගේ මුහුණ බැලුවේය. ඇගේ රූ සිරි ඉන්ද්‍රගේ නෙත් ආලයෙන් අන්ධ කළේය. උමතුවෙන් මෙන් උරුවසිය දෙස බලා සිටි ඉන්ද්‍ර අවසානයේ පියෙවි සිහියට පැමිණියේය.  
‘‘මම අප්සරාවන් යැව්වෙ නාරායනගේ හා නාරගේ භාවනානුයෝගී ඉරියව් බිඳ දැමීමට. ඔවුන් කාමයෙන් මුළාකොට ඔවුන්ගේ මානසික ශක්තිය අඩු කිරීමට. එහෙත් අවසානයේදී නාරායන රූමතියක් මවා මා වෙත එවා ඇත්තේ මට සමච්චල් කිරීමට. මගේ බලයට වඩා ඔහුගේ බලය වැඩි බව පෙන්වීමය.  


‘‘ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය. 


මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලාසිටි ශිවට ඉන්ද්‍ර පිරිහෙන අයුරු දැකගත හැකි විය. දෙව්ලොව සියලු දෙවිවරුනට අධිපති වූ ඉන්ද්‍ර ඉසිවරුන් හමුවේ පැරදිය යුතු නැත. එබැවින් වහා ගොස් ඉන්ද්‍රට පිහිට විය යුතු බව කල්පනා කළ ශිව ​ඉන්ද්‍රවෙත ගියේය.  


නාරායන සහ නර සතු බලය ඉමහත්. මන්ද ඔවුන් මට බොහෝ සේ භක්තිමත් නමුත් ඔවුන් දෙදෙනාම මගේ බලය අබියස දුර්වලයන්   


ශිව කීවේ තමන් සතු පශූප්‍රංස්තාව නම් බලගතු අවිය දෙස බලමිනි.  


‘‘විවිධ ආකාර වලින් ඔබට විනාශ කර දැමිය නොහැකිවූ ඉසිවරුන් මට විනාශකර දැමිය හැකියි.’’  


ඉන්ද්‍ර හමුවේ පුරසාරම් දෙඩූ ශිව තම අවිය නාරායන සහ නර වෙත යොමු කළේ ඔවුන් විනාශ කර දමනු පිණිසය.  


වහා සුරතින් මිදුණු අවිය ඉසිවරු හමුවට ඉගිළී ගියේය. එහෙත් ඔවුන් ළඟදී අඩපණ වූ අවිය බිම වැටුණේ ඉන්ද්‍ර සේම ශිවද අන්දමන්ද කරමිනි.   


‘‘කිසි කලෙකත් සිදු නොවූ දෙයක්.’’  


ශිව තමන්ටම කියාගත්තේය. ඉන්ද්‍ර දෙස නෙත් කොනින් බැලූවිට ශිවට පෙනුණේ ඉන්ද්‍ර තමන් දෙස බලා සිටින හැටිය.  


‘‘කුමක්ද සිදුවුණේ?’’  


ඉන්ද්‍ර ඇසුවේය.  


‘‘ඉසිවරුන්ගේ බලය මගේ බලයද ඉක්මවා ගිහින්’’  


ශිව කීවේ පසු තැවිල්ලෙනි. බිම පතිත වූ අවියත් රැගෙන ශිව වහා තම මැදුරට ගියේ පරාජිත හැඟීමෙනි. ඉන්ද්‍රද සුසුමක් හෙළුවේ පරාජිතවය. 

 

 

 

 
ශාන්ත කුමාර විතාන