ඉසිවර ජානුගේ කුස තුළ හිරවුණු බ්‍රහ්මගේ දියණිය


භාරත දේව සභාව

මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය.

අන්සුමාන්ගේ බ්‍රහ්ම වන්දනාවට ඔහුගේ පුත් දිලීප්ද එකතුවිය. මේ තාත්තා සහ පුතා එකතුව කොයිතරම් වුවමනාවෙන් බ්‍රහ්ම වන්දනාව කරගෙන ගියද, දිව්‍ය ලෝකයේ ගලාගිය ගංගා නම් ගංගාව පෘථිවියට පහත් වූයේ නැත.   

 

‘ඇයි තාත්තා ගංගාව පෘථිවිය දිගේ ගලාගෙන නොයන්නේ? බ්‍රහ්ම උතුමාණෝ අපිත් එක්ක අමනාප වෙලාද?’   
දිලිප් අන්සුමාන්ගෙන් ඇසුවේය.   
‘ඒකම තමා මටත් තියෙන ප්‍රශ්නෙ සමහරවිට අපි පූජාව තියපු විදිහ වැරැදි ඇති’   
අන්සුමාන් කීවේ කණගාටුවට පත්වය.   
‘ඉන්නකො තාත්තෙ බ්‍රහ්ම පූජාවට මාත් එන්නම්’   
දිලිප්ගේ පුතා වූ භාගීරාත් කීවේය.   
ගංගාව පොළොවට එවන්නැයි ඉල්ලා සිටීම පිණිස බ්‍රහ්ම වෙත කන්නලව් කිරීමට අන්සුමාන් දුලිප් සහ භාගීරාත් යන තිදෙනාම එකතු වූහ.   
අවසානයේ බ්‍රහ්ම ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය.   
‘මොකක්ද ​ඔබේ පැතුම?’   
බ්‍රහ්ම ඇසුවේ භාගීරාත්ගෙනි.   
බ්‍රහ්මගේ දෙපාමුල දණගැසූ භාගීරාත් මොහොතක් එලෙසම රැඳී සිටියේය.   
ඇත්තටම ඔහුගේ හිතේ උපන්නේ දරාගත නොහැකි සතුටකි. එසේම විමතියකි.   
උතුමාණනි, ශාපයකින් විනාශ වුණ මගේ සීයලාගේ ආත්මයන් දිව්‍ය ලෝකය කරා යැවීමට අපට අවශ්‍යයි. නමුත් ඒ සඳහා ඒ අළු මතින් ගංගාව ගලා යායුතුයි. එබැවින් උතුමාණනි ඔබේ ගංගා පෘථිවිය වෙත එවනු මැනවි’   
බ්‍රහ්ම මොහොතක් ගැඹුරු කල්පනාවකට යොමුවිය.   
‘පුතා’   
අවසානයේ ඔහු කතා කළේය.   
මට පුළුවන් ගංගාව පෘථිවිය කරා එවීමට. නමුත් ඇය බොහෝ සේ බලවත්.   
ඇය උපන්නේ විෂ්ණුගේ පා දෙවූ වතුරෙන්. ඒනිසා   
ඇය සතුව ඔහුගේ බලශක්තිය ද තිබෙනවා. ඇය දිව්‍යලෝකයේ සිට ගැලුවොත් අනිවාර්යයෙන්ම පෘථිවියට ගං වතුරක් එනවා. ඒ ගංවතුර පෘථිවියට කරන්නේ බරපතළ විනාශයක්’   
භාගීරාත් බලාසිටියේ පුදුමයෙනි.   
‘එසේනම් මා කළයුත්තේ කුමක්ද? උතුමාණනි, මගේ සීයලට දිව්‍ය ලෝකයට යන්න බැරිවෙයිද?’   
බ්‍රහ්ම යළිත් කල්පනාවේ නිමග්න විය.   
‘භාගීරාත් එසේනම් ශිව උතුමාණන්ට යාච්ඤා කරන්නට පටන්ගන්න. ඔහුට හැකිවේවි ගංගාව පාලනය කරන්නට. ඔහු හෙමින් සීරුවේ ගංගාව මුදා හරීවි. එවිට ඇයගෙන් පෘථිවියට ගංවතුර අවද‌ානමක් එන එකක් නැහැ’   
භාගීරාත් ගැඹුරු හුස්මක් ගත්තේය.   
ඔහුගේ කාරියෙන් හරි අඩක් අවසන් වී තිබේ. දැන් කළ යුත්තේ ශිව දෙවියන් වෙනුවෙන් යාච්ඤා කිරීම ආරම්භ කිරීමය. ඒ වෙනුවෙන් සංසුන් ලෙස වාඩි වූ ඔහු යළිත් වරක් යාච්ඤා කරන්නට පටන් ගත්තේය.   
දෙතුන් දිනකට පසු දවසක ශිව උතුමාණෝ භාගීරාත් අභියස පෙනී සිටියහ.   
‘භාගීරාත්’ මම දන්නව ඔබේ පැතුම කුමක්ද කියා. කෙසේ වෙතත් මගෙන් පිහිටක් ඉල්ලා සිටීම සහ මට යාච්ඤා කිරීම මට සතුටට කරුණක්. මම ඔබේ පැතුම ඉටුකරන්නම්’   
එසේ පැවසූ ශිව දෙවියා අහස දෙස බැලුවේය.   
අනතුරුව ගංගාට කතා කළ ඔහු දිව්‍යලෝකයෙන් පෘථිවියට හෙමින් සීරුවේ කඩා වැටෙන්නැයි ඉල්ලා සිටියේය.   
ගංගා ඒ ඉල්ලීමට අවනත වූවාය. ඇය හෙමින් සීරුවේ දිව්‍යලෝකයෙන් බැහැර වනවිටම ශිව දෙවියා ඇගේ කෙස් කළඹෙන් අල්ලා ගත්තේය. අනතුරුව ඉතා හෙමින් පොළොව වෙත ඇද ගත්තේය.   
‘භාගීරාත් ඔබට අවශ්‍ය තැනට ගංගාව කැඳවාගෙන යන්න’   
ශිව කී පසු භාගීරාත් ගංගා දෙස බැලුවේය. අනතුරුව හෙමින් පියවර තැබූ ඔහු ගියේ මාමාවරුන්ගේ අළු තිබෙන තැනටය.   
එහෙත් ඔහුගේ පසුපසින් ටික දුරක් ගිය ගංගාව ඇයට පරණ පුරුදු කෙලිලොල් බව දැනුණේය. සතුටක් ලැබිය යුතු යැයි සිතූ ඇය අතරමඟ දී හමුවූ ඉසිවර ජානුගේ ආශ්‍රමයට ඇතුළු වූවාය.   
ඒ මොහොතේ ජානු ඉසිවරයා සිය භාවෘත සැසිය නිමාකර දෙනෙත් විවර කළා පමණකි. ඔහුට පෙනුණේ සිය ආශ්‍රමය පුරා වතුර පිරී ඇති අන්දමය.   
‘මේක විය නොහැක්කක්. වැස්සෙත් නැතුව කොහොමද ගංවතුරක්?’   
ඉසිවර ජානු තමාගෙන්ම අසාගත්තේය.   
ඔහුට දැනුණේ පුදුමයකි. යළි දෙනෙත් පියාගත් ඉසිවරයා දෙනෙත පියාගෙන ගංවතුරට හේතුව විමසුවේය.   
ඉසිවරයාට සත්‍යය අවබෝධ විය.   
‘ගංගාගේ දඟකාරකමක්’   
ඔහු තමාටම මුමුණාගත්තේය.   
‘හොඳයි මම තොපට පාඩමක් උගන්වන්නම්’   
ඉසිවර ජානු තමන්ටම කියාගත්තේය.   
ඔහු තම භාවනාවේ බලයෙන් ආශ්‍රමය වටා තිබූ ගංවතුර වහාම ගිල දැමුවේය. දැන් ගංගා හිරවූවාක් වැන්න. ඇයට අවශ්‍යව ඇත්තේ නිදහස්වී ගලා යන්නටය. එහෙත් දැන් ගංගා මුළුමනින්ම සිටින්නේ ඉසිවරයාගේ කුස තුළය.   
මේ අඳුරු හිරගෙයින් මිදෙන්නට ඇය උත්සාහ ගත්තා. එහෙත් ඉසිවරයාගේ කුස තුළින් නික්මීමට ඇයට නොහැකි විය.   
‘අහෝ දෙවියනි, මා වැඩිදුර නොසිතා කරගත් මෝඩකමක්’   
ඇය තමන්ටම කියාගත්තාය.   
කෙසේ වෙතත් භාගීරාත් සිටින්නේ සතුටෙනි. ඒ ගංගාව ඔහුගේ පසුපසින් පැමිණෙන බැවිනි.   
‘අන්තිමට කොහොමහරි මම මගේ මමලාට සැනසීම උදාකර දුන්නා තව ටිකකින් ඔවුන් දිව්‍යාලෝකයේ’   
එහෙත් ඔහුට ගඟේ ශබ්දය නොඇසී ගියේය.   
වහා නැවතුණ ඔහු ආපසු හැරී බැලුවේය. ඔහු පුදුමයට පත්කරමින් ගඟ අතුරුදන්ව තිබිණි.   
‘මෙච්චරවෙලා මගේ පස්සෙන් ආපු ගංගාවට මොකක්ද වුණේ?’   
භාගීරාත් කල්පනා කළේය.   
ඔහු වටපිට බලන විට දුටුවේ ඉසිවර ජානුගේ ආශ්‍රමයයි. ඉසිවර ජානු විසල් වූ කුස අතගාමින් ආශ්‍රමය ඉදිරිපිට සිටගෙන සිටියේය.   
‘දෙවියනි කුමක්ද සිදුවුණේ?’   
භාගීරාත් කල්පනා කළේය.   
එකත් එකටම ගංගාව අතුරුදන් කළේ මේ ඉසිවරයා වෙන්න ඇති.   
භාගීරාත්ට සිතිණි. ඔහු වහාම ආශ්‍රමය කරා දිවගියේය.   
‘උතුම් ඉසිවරයාණනි, මෙතනින් ගිය ගඟ කෝ දැන්? එයට කුමක්ද වුණේ කියා ඔබ දන්නවා ඇති’   
ඉසිවරයා අභියස එකත්පස් වූ භාගීරාත් විමසුවේය.   
ඉසිවර ජානු භාගීරාත් දෙස බැලුවේය.   
‘ඔබ කියන්නෙ ගංගා ගැනද?’   
‘ඔව්’   
ඉසිවර ජානු සිය කුස මත අත තබාගත්තේය.   
‘මං ඇයව ගිල්ලා’   
භාගීරාත් ගේ දෙනෙතින් කඳුළු ගලායන්නට පටන්ගත්තේය.   
උතුමාණනි, කරුණාකර ඇයව නිදහස් කරදෙන්න ඇයට ගලන්නට ඉඩ දෙන්න’   
භාගීරාත් කීවේ කැඩී විසුණු වූ හදවතිනි.   
ඉසිවර ජානු භාගීරාත් දෙස අනුකම්පාවෙනි...  
‘මගෙ පුතා උඹ වෙනුවෙන් මම ඒ ගඟ නිදහස් කරනවා’   
අනතුරුව ඔහු ගංගාව කුසින් මුදාහැරියේය.   
නිදහස් වූ ගංගාව ඉසිවර ජානු දෙස බැලුවේ කෘතඥ පූර්වකය.   
‘ඔබට බොහොම ස්තුතියි. මා නැවත නම් දඟකාරකම් කරන්නේ නැහැ’   
ගංගා කීවාය.   
භාගීරත් යළිත් ගමන ආරම්භ කළේය. ගංගා ඔහුගේ පසුපසින් සංසුන්ව ගමන් කළාය.   
ඉසිවර කපිල ගේ සාපයට අසුව අළු බවට පත් වූ හැට දහසක් ඥතීන්ගේ අළුමතින් ගංගාව ගලාගියේ අනතුරුවය.   
එකී ආත්මයන් පෘථිවියෙන් මුදාහැරීමේ සතුට භාගීරාත් භුක්තිවින්දේය.   
ගංගා නම් ගංගාවට ජානිවී යන නම පටබැඳී ඇත්තේ ජානු ඉසිවරයාගේ කුස තුළ සිරව සිටීම හේතුවෙනි. භාගීරාත්ගේ පසුපසින් පෘථිවියට පැමිණි බැවින් භාගීරතී යන නමද ගංගා නම් ගංගාවට ලැබී ඇත.   

 

 

 

 


ශාන්ත කුමාර විතාන