ඉස්ලාම් නීතියෙන් පාලනය වෙන පොතුවිල් නගරය


අනාවරණ

පොතුවිල් නගරයේ වෙ​ෙළඳසැලක සුදුකොඩි

ආරුගම්බේ පාර

ආරුගම්බේ පාර වර්තමානයේ 

 

 

 

පාස්කු ඉරිද‌ා බෝම්බ සිද්ධියත් සමඟ නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල රටේ පොදු නීතිය කඩකරමින් ගෙන තිබූ කැලෑ නීති දැන් තාවකාලිකව යටපත් වන ආකාරයක් දක්නට ඇති බව එම ප්‍රදේශවල බහුතර මුස්ලිම් ජනයාත්, සුළුතර සිංහල සහ දෙමළ ජනයාත් පවසති. 


අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන අතරින් පොතුවිල් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොතුවිල් නගරයේ මීට මාස කිහිපයක සිට රටේ පවතින පොදු නීතියට එල්ල වූ බලපෑම් බොහෝය. සිකුරාද‌ා දිනයේ වෙ​ෙළඳසල් විවෘත කිරීම තහනම් විය. එදින නගරයේ සහ අතුරු පාරවල්වල යතුරුපැදි ධාවනයේදී හිස්වැසුම් භාවිත නොකිරීමට සමහරු පියවර ගත්හ. වාණිජ බැංකුවල කටයුතු පවා සිදු කෙරුණේ දොරවල් අඩක් වසාගෙනය. 


නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට හිස්වැසුම් නොමැතිව ධාවනය කරන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබුණි. නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල විය. එල්ටීටීඊ සමයේවත් නොතිබූ ආකාරයෙන් විවිධ බලපෑම් කරන කණ්ඩායම් පොතුවිල නගරය ආශ්‍රිතව බලය පතුරුවාගෙන සිටී. මේ දිනවල ඇත්තේ එහි තාවකාලික පසුබෑමක් පමණි. 


පොතුවිල් ප්‍රාදේශීය සභාව කොට්ඨාස දොළහකින් සමන්විතය. කෝමාරි 01, කෝමාරි 02, හිදයාපුරම්, වික්ටර්වත්ත, වට්ටිවේලි, රසාක් මව්ලාන නගර්, සින්න පුදුකුඩිඉරුප්පු, මදුරච්චේනෙයි, පොතුවිල් නගරය, කළපුකට්ටු, සරුවෝදයපුරම් සහ සින්න උල්ලෙයි එම කොට්ඨාසයි. 


පොතුවිල් ප්‍රාදේශීය සභාවේ 2011 දී බලය හිමිව තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයටය. මන්ත්‍රී ධුර හයක් ඔවුන්ට හිමිව තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර දෙකකුත් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයට එක් මන්ත්‍රී ධුරයකුත් හිමිව තිබුණි. 


කොට්ඨාස සීමා නිර්ණයෙන් පසු 2018 පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දී පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභික ධුර සංඛ්‍යාව විසි එකක් විය. තිබුණට වඩා සභිකයන් 12ක වැඩිවීමකි. කොට්ඨාස අනුව 2018දී පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සභිකයන් 6ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සභිකයන් 5ක් ද, ඉලංකෙයි තමිල් අරසුකච්චි සඳහා සභිකයන් 3ක් ද, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් සඳහා සභිකයන් 4ක් ද, අහිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් සඳහා සභිකයන් 1ක් ද, ජනතා වික්මුක්ති පෙරමුණට සභිකයන් 1ක් ද, ස්වාධීන කණ්ඩායමකට සභිකයන් 1ක් ද ලෙස නියෝජිතයෝ තේරී පත්වූහ. ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණට සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට සභික ධුර හිමි නොවිණි්. 


ඒ අනුව පොතුවිල් ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්‍ෂය විසින් පිහිටුවා ඇත. සභාපති ඒ.එස්. අබ්දුල් බාසික්ය. ඔහු පැවසුවේ පොතුවිල් නගරයේ කඩසාප්පු සිකුරාදාට වැසීමට තීරණයක් ගත්තේ ප්‍රාදේශීය සභාව විසින් බවයි. එකී තීරණයට නගරයේ සියලුම මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ සිංහල ව්‍යාපාරිකයන් කැමැත්ත පළකළ බවද ඔහු කියයි. මොණරාගල, දොඹගහවෙල සහ සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශවලින් සංක්‍රමණය වී ඇති ජංගම වෙ​ෙළඳුන් කිහිප දෙනෙක් පමණක් ඊට විරෝධය පළ කරන බව සභාපතිවරයා කීවේය. සභාපතිවරයා පවසන මේ ජංගම වෙ​ෙළඳුන් සිංහල අයයි. ඔවුන් පොතුවිල් බස්නැවතුම අසල තාවකාලිකව වෙ​ෙළඳසල් පවත්වාගෙන යමින් එළවළු සහ පළතුරු වෙ​ෙළඳාමේ නිරතව සිටිති. බොහෝ විට ඔවුන් වෙ​ෙළඳාම් කරන්නේ පහතරට හේන් එළවලුය. පලතුරු ද දේශීය ඒවාය. 


“ඒ අය පිටස්තරින් පැමිණි අනවසර වෙළෙන්ඳන්. ඒ අය ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් තියෙනවා. මම ඒ අයව ඉවත් නොකර හිටියේ. ඒ අය මට අවනත නොවුණොත් මම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරලා ඉවත් කරනවා.” පාස්කු ඉරිදා බෝම්බය පුපුරායාමට කලින් දිනයක දී, සිකුරාදා දිනයේ පොතුවිල් නගරයේ කඩසාප්පු වසා දැමීමේ තීරණය ගැන විමසූ අවස්ථාවේ සභාපතිවරයා කීවේය. 


“උද්ගත වෙලා තියන තත්ත්වය සැලකිල්ලට ගෙන සිකුරාදා කඩසාප්පු වසා දැමීමට ගත් තීරණයත් සිංහල පදික වෙළෙන්දන් ඉවත් කිරීමට ගත් තීරණයත් තාවකාලිකව අත්හිටවූවා.” සභාපතිවරයා 29ද‌ා පැවසුවේය. 


පිටස්තර ප්‍රදේශයකින් පැමිණ පොතුවිල් නගරයේ සරුවත් කඩයක් කරන දෙමළ ජාතික එස්. රවිචන්‍ද්‍රන් පාස්කු බෝම්බ පිපිරුමට පෙර සිකුරාදා දිනවල තමන්ගේ වෙ​ෙළඳසල විවෘත නොකිරීම නිසා මුහුණදුන් අත්දැකීම විස්තර කළේය. 


“මම සිකුරාදා දවස්වල කඩේ වැහුවේ නෑ. කඩේ වහන්න කියනවා කියලා පොලිසියට පැමිණිලි කළා. ඒ.එස්.පී. මහත්තයා වෙන්න ඕනෑ එයා කිව්වා ඔයා කැමතිනම් කඩේ අරින්න කියලා. සිකුරාදාට ගොඩාක් සෙනඟ නගරයට එනවා. කඩ වැහුවම ඒ අය බඩු ගන්න නැතුව හිස් අතින් රස්තියාදු වෙලා යනවා. මම කඩේ ඇරිය නිසා සභාවේ පීඑච්අයි මහත්තුරු එවලා කඩේ අපිරිසිදුයි කියලා කඩේ වහන්න බලකරනවා. රටේ වෙන තැන්වල නැති නීති පොතුවිල නගරයේ තියෙන්නේ” රවිචන්‍ද්‍රන් කීවේය. 


ආදම් සලීම් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පොතුවිල් ප්‍රාදේශීය සභාවේ නියෝජිතයාය. 


“කම්කරුවන්ට නිවාඩු දෙන්න ඕනෑ කියලනේ සිකුරාදාට කඩ වහන්න තීරණය කරලා තියෙන්නේ. කම්කරුවන්ට නිවාඩු දෙන්න ඕනෑ කියන තීරණයට මමත් එකඟයි. නමුත් සිකුරාදා කියන්නේ සතියේ වැඩකරන දිනයක්. එද‌ාට කඩ වහනවට මමත් විරුද්ධයි. කම්කරුවෝ ගැන හිතනවනම් ඉරිදට කඩවහන්න පුළුවන්නේ.” ආදම් සලීම් මහතා කීවේය. 
සිකුරාද‌ාට කඩ වැහීමට බහුතරයක් මුස්ලිම් ව්‍යාපාරිකයෝ ද අකමැතිය. නමුත් ඔවුහු ඊට එරෙහි ​ෙවන්නට ලොකු බියක් දැක්වූහ. අඩුම තරමින් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට මැලිවෙයි. 


කොටි ත්‍රස්තවාදය රටින් නෙරපා දමා වසර කිහිපයක් ගතවෙද්දී නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ආයුධ සන්නද්ධ මුස්ලිම් සංවිධාන ගොඩනැගෙන බවට විවිධ අවස්ථාවල දෙස් විදෙස් මාධ්‍ය වාර්තා පළවන්නට විය. ජෙහාඩ් සංවිධානයේ සාමාජිකයන් පොතුවිල් ප්‍රදේශයේ සිටින බවට ද එකී මාධ්‍ය වාර්තාවලින් එකල කියැවිනි. 


රටේ පවතින නීතියට අභියෝග කරමින් ප්‍රාදේශීය පාලනයන් හරහා ඇතැම් සංවිධාන සිය බලය ගොඩනගන බවට පැතිර ගිය කතා පොතුවිල් ප්‍රදේශයේදී සත්‍යයක් බව පෙනුණි. පොතුවිල් නගරයේ ඉස්ලාම් පල්ලි පහළොවකට ආසන්නයෙන් ඇත. ඒවා නිකාය කිහිපයකට අයත් පල්ලිය. 


නගරයේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපස ජංගම දුරකතන පහළොවකට වැඩි ප්‍රමාණයක් ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 27දා ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අන්තගාමීන් සොයා කරන මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී මේ ජංගම දුරකතන පිලිස්සීම සිදුවිය. 


මේවායේ ඉමි අංකයන් පිටස්තරයින්ට දැනගැනීමට නොහැකිවන සේ සදාකාලික රහස් බවට පත්කරන්නට ඒවා පුලුස්සා දැමුවේද යන්න මේ ​ෙවනවිට ආරක්‍ෂක අංශවල අවධානය යොමුව තිබේ. 21දා බෝම්බ පිපිරුමෙන් පසු 22දා උදේ පොතුවිල් සහ ආරුගම්බේ සෑම කඩයකම පාහේ සුදු කොඩියක් ප්‍රදර්ශනය කර තිබෙනු ද දැක ගත හැකි විය. 
නැගෙනහිර පළාතේ සයින්දමර්දු, කාත්තන්කුඩි ආදී නගරවල ද සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවෙයි. එහි ඇත්තේ වෙනමම නීතියකි. පොතුවිල් නගරයද ගිල ගන්නට ආවේ ඒ නීතියයි. මේ වනවිට තහනමට ලක්කර ඇති ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්්‍රහිම් සංවිධානවල අනුගාමිකයන් පොතුවිල් නගරයේ සහ අවට සිටිය හැකියැයි මුස්ලිම්වරුම පවසති. 


“ඔවුන්ගේ පල්ලිවලට අපි යන්නේ නෑ. ඔවුන්ගේ ඉගැන්වීම් අල් කුරාණයේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනියි.” වැඩිහිටි මුස්ලිම්වරු කියති. 

 

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය (අන්තර්ජාලය)

පොතුවිල් ප්‍රාදේශීය සභාව (අන්තර්ජාලය) 

ආරුගම්බේ වෙ​ෙළඳසැලක සුදුකොඩි ඔසවා

 


දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන ආරුගම්බේ අයත් වන්නේ ද පොතුවිල් ප්‍රාදේශීය සභාවටය. සින්නඋල්ලෙයි කොට්ඨාසයට මේ ප්‍රදේශය අයත්වන අතර මෙහිද සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවෙයි. සුනාමියෙන් පසු වෙරළ තීරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අවසරය ලබාදෙන්නේ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. නමුත් වත්මන් ඉදිකිරීම් සලකා බැලීමේ දී එවැනි නීති ඇති බවක් නොපෙනේ. අප්‍රසිද්ධ අදෘෂ්‍යමාන බලවේගයක් මේ බල ප්‍රදේශයේ නීතිය කඩා දමයි. 


එය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද තදින් බලපායි. හිමිව ඇති බලතල අනුව වනාන්තර ආරක්‍ෂා කිරීමට වනසංරක්‍ෂණ නිලධාරීන්ට හැකියාවක් නැත. රක්‍ෂ්ක පමණක් නොව සංරක්‍ෂිත ඉඩම් සිය ගණනින් පැළ තවාන් සමඟ ඩෝසර් කර මුස්ලිම්වරු අත්පත් කරන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට ඉඩ නොතබමිනි. 


පොතුවිල් නගරයට දකුණු දෙසින් පානම ගම පිහිටා ඇත. ඒ4 ප්‍රධාන පාර ඔස්සේ යද්දී කිලෝමීටර් 285ක් ගියවිට සියඹලාණ්ඩුව හමුවෙයි. මහකළුගොල්ල, හුලංනුගේ පසුකර ලාහුගල වනමැදින් කිලෝමීටර් පහක් පමණ ගිය පසු ලාහුගල නගරය හමුවෙයි. ලාහුගල නගරය පසුකර කිලෝමීටර් හතක් පමණ ගියවිට පොතුවිල නගරය හමුවෙයි. මේ ප්‍රදේශයේ හැඩඔය පාලම අසල කුඹුරු වැඩ කාලයට පමණක් විවෘත වන තේ කඩයක තිබී ආරක්‍ෂක අංශ කඩු කිණිසි කිහිපයක් සොයාගත් බව වාර්තා වූයේ ද දින කිහිපයකට ඉහත දීය. 


අන්තවාදී කල්ලිවලට හිස ඔසවන්නට ඉඩ නොදී රටේ පවත්නා පොදු නීතිය පොතුවිල්වල ද අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු බව සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ඉල්ලීමයි. වහබ් හෝ ෂර්යා නීති අනුමත නොකරන බව මුස්ලිම්වරුම කියති. ඉස්ලාම් ආගමිකයන් පමණක් ජීවත්විය යුතුයැයි අන්ධ ඉගැන්වීම මොහොමඩ් නබිතුමන්ගේ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනි බව බහුතර මුස්ලිම්වරුන්ගේ මතයයි. 


අයිඑස් අන්තවාදීන්ට සම්බන්ධ සංවිධාන පොතුවිල්වල ඇත්නම් සහමුලින් ඉවත්කර රටේ පොදු නීතිය ක්‍රියාත්මක කර සහජීවනයෙන් යුතුව ඉන්නට ඉඩසැලසීමට ආරක්‍ෂක අංශවලට ඉඩ ලැබේවා යන ප්‍රාර්ථනය පොතුවිල්වල යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයෝ කරති. 

 

 


සටහන හා ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය සහ
පානම - ප්‍රියනාත් චන්ද්‍රපාල