ඉස්පිරිතාලෙ වැඩ කරන “නෑ මිසී”


අමුතු ගති ඇති මිනිස්සු  

 

පරමාර්ථ වශයෙන් සලකනු ලැබුවහොත් මෙරට සිටින සියලුම මනුෂ්‍යයෝ අන්‍යොන්‍ය වශයෙන් නෑදෑයෝය. එසේ වන්නේ අප සියලු දෙනාම එකම රටක වෙසෙන මනුෂ්‍ය ජීවීන් වන බැවිනි. ඒ අනුව අතිවිශාල ඥාති සමූහයක් සිටින බොහෝ දෙනා එය සලකනු ලබන්නේ තමන් ලැබූ මහඟු සම්පතක් ලෙසිනි. කලකට ඉහත කොළඹ ජාතික රෝහලේ එක්තරා වාට්ටුවක සේවය කළ “නෑ මිසී” ද එවැන්නියකි. 


ඇයගේ නියම නම වෙනත් මොකක් දෝ එකක් වුවද රෝහලේ සෙසු හෙදියන් අතර ප්‍රසිද්ධව සිටියේ “නෑ මිසී” යනුවෙනි. එසේ වූයේ රටේ සිටින තරමක් ධනවත් සහ ප්‍රබල චරිත සියලු දෙනාම ඇයගේ සමීප ඥාතිවරුන් වීම හේතුවෙනි. 


එහි ඇති විශේෂත්වය වන්නේ ඒ සියලු දෙනාම නොම්මර එකේ දළකාරයන් වීමයි. ආණ්ඩුවේ ඇමැතිවරුන්, ඉහළම පෙළේ විද්වතුන්, මහාචාර්යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ නළු නිළියන් අතිවිශාල පිරිසක් “නෑ මිස්”ගේ ඥාති සමූහයා අතර සිටියහ. 


අපෝ.... හෙල්ත් මිනිස්ටර් ද? එයා අපේ තාත්තිගෙ ෆස්ට් කසින්. මම ඉල්ලුවොත් හෙට වුණත් ප්‍රමෝෂන් එකක් දේවි. ඒත් මම එහෙම දේවල් එයාගෙන් ඉල්ලගෙනත් නෑ. ඉල්ලන්නෙත් නෑ....”යි කියන “නෑ මිසී” ඊට හේතුව ලෙස දක්වන්නේ කොතරම් සමීප ඥාතිවරයකු වුවද බාල්දුවීමට තමන් තුළ ඇති අකැමැත්තයි. 
“අංකල් මට කීප දවසක්ම පණිවිඩ එවල තිබුණා එයාගේ මිනිස්ට්‍රියේ පර්සනල් ස්ටාෆ් එකේ චීෆ් හැටියට වැඩ කරන්න කියලා. අනේ මම ඒ පැත්ත පළාතක ගියේ නෑ. ඒව මහ කරදර වැඩ..... 


ඇය එසේ කියන්නේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්වුවහොත් තමන්ට මුහුණපෑමට සිදු විය හැකි අනවශ්‍ය ප්‍රශ්න සහ දුෂ්කරතා ගැන සඳහන් කරමිනි. 
“නෑ මිස්” තම යෙහෙළියන් සමග කියන අන්දමට මෙරට වෙසෙන මුල් පෙළේ ධන කුවේරයන් කීප දෙනෙක්ම තමන්ගේ සමීප නෑදෑයන්ය. එහෙත් තමන්ගේ එම ධනපති නෑදෑයන් සමග පයුරු පාසානම් පැවැත්වීමට ඇය අකැමැතිය. 
එයාලගේ සල්ලිකාරකම හොඳයි එයාලටම. අපේ දුප්පත්කම අපට හොඳයි.....” කියන ඇය ඒ සමගම සඳහන් කරන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයාට ලොරි දහයක්ම ඇති බවය. එයින් හයක් අලුත්ම අලුත් කිරි ටොයියන්ය. 


මේ අතර මෑතකදී කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති විවාහ මංගල්‍යයකදී තමන්ගේ ධනපති නෑයන් කීප දෙනෙකුම ඇයට මුහුණට මුහුණ හමුවී තිබේ. එදින තමන් එපා කියද්දීම එයින් එක් ඥාතිවරයෙකු ඔහු සතු බී.එම්.ඩබ්ලිව්. වාහනයෙන් තමන් ගෙදරටම ඇරලූ බව කියන “නෑ මිසී”ගේ පිළිගැනීම වී ඇත්තේ එම නෑයා තමන්ට එවැනි උපකාරයක් කරන ලද්දේ ඔහු සතු ඓශ්චර්යය විදහා දැක්වීමේ අදහසින් බවයි. 
ඇයගේ සමීප ඥාතීන් අතර විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සහ ප්‍රසිද්ධ ලේඛකයන් හතර පස් දෙනෙක්ම සිටිති. එම පිරිස අතර වැඩි දෙනකු නෑ මිස්ගේ අංකල්ලාය. සිංහල අලුත් අවුරුද්දට බුලත් දීමට යන සෑම අවස්ථාවකදීම තමන්ට ඔවුන්ගෙන් බැණුම් ඇසීමට සිදුවන බව ඇය පවසන්නේ සිනාසෙමිනි. 
එක ලකුණක් මදිවෙලා මෙඩිකල් කොලේජ් යන්න බැරි වුණායි කියල ඔයා නර්සිං ට්‍රේනින් එකට නොගිහින් තව සැරයක් ට්‍රයි කෙරුව නං ඔයත් අද ඩොක්ටර් කෙනෙක්....”යි කියමින් ඔවුන් අදටත් තමන් දුටු විට බැණවදින බව “නෑ මිසී’’ තම මිතුරියන් සමග පවසා ඇත්තේ එය ඇගේ දෛවය බව කියමිනි. ඇය කියන අන්දමට මෙරට ප්‍රසිද්ධ වෛද්‍යවරියන් දෙතුන් දෙනෙකුම උසස් පෙළ අධ්‍යාපනය ලබා තිබුණේ තමන් සමග එකටය. ඒ අතර සිටි එක් සිසුවියක් එකල තමන්ගෙන් අමාරු පාඩම් අසා ගත් බව ද “නෑ මිසී”ට මතකය. අද ඇය ගාලු මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකි. 


“එයාට මම අදටත් ටෙලිෆෝන් කරල සැප සනීප අහනවා. හැබැයි මගේ නං එයත් එක්ක කිසිම ඉරිසියාවක් නෑ. එයාගේ දෛවය අනුව එයා එතන ඉන්නවා. මගේ දෛවය අනුව මම අද මෙතන ඉන්නවා....” 


වර්තමානයේ වෙසෙන එක්තරා සුරූපී ටෙලිනාට්‍ය නිළියක “නෑ මිසී”ගේ ළඟම ඥාතිවරියකි. ඇයට තම සිරුරේ හැඩය රැක ගැනීම සඳහාත්, ඡවිකල්‍යාණය සුරක්ෂිත කර ගැනීම සඳහාත් සතියකට වරක් අවශ්‍ය උපදෙස් දෙනු ලබන්නේ “නෑ මිසී” විසිනි. 
“මම එයාට කිව්වා දිනපතා රුව රැක ගැනීම සඳහා අවශ්‍ය ව්‍යායාම නොකෙරුවොත් මුළු ඇඟම මහත්වෙලා ඉදිමෙන්න පුළුවන් කියලා. ඊට පස්සෙ තමයි එයා අඩුවෙන් කෑම ගන්න පටන් ගත්තේයයි කියන “නෑ මිසී”ගේ අදහස වී ඇත්තේ කෑම අඩු කිරීම නිසා ඇඟ තරමක් කෙට්ටු වුවද ඇයගේ රූපශ්‍රීය පෙරට වඩා දෙගුණයකින් වර්ධනය වී ඇති බවය. 
ඒ ගැන එම නිළියගෙන් අසා දැනගත් ටී.වී. චැනල් කීපයකින්ම නෑ මිස්ට ආරාධනා ලැබී ඇත්තේ ඔවුන්ගේ රූපලාවණ්‍ය වැඩසටහන්වලට සහභාගි වී රුව වැඩීම පිළිබඳව උපදෙස් දෙන ලෙස කියමිනි. 


“අපි ඒකට ඔයාට සෑහෙන මුදලක් ගෙවන්නං”යි කී එම ටී.වී. නාළිකා ඒ සඳහා ඉහළ මිල ගණන්වලට ලන්සු තබා ඇතත්, ඇය ඒ සඳහා අකැමැත්ත පළ කර ඇත්තේ තම දැනුම මුදලට අලෙවි කිරීමට තමන් තුළ ඇති බලවත් විරෝධය මුල්කරගෙනය. 


“මගෙන් පාරෙ යනකොට කවුරුහරි උපදෙසක් ඇහුවත් මම ඒක ඉතාමත් සතුටින් කියල දෙනවා. හැබැයි මට ටී.වී.වලටයි, එෆ්.එම්. චැනල්වලටයි විකිණෙන්න නම් බෑ.....” 
“නෑ මිසී” තරමක් දැඩි ස්වරයකින් එසේ කියන්නේ තමන් මුල සිටම අනුගමනය කරන ස්ථිර ප්‍රතිපත්තියට අනුවය. 

 


නිහාල් ජගත්චන්ද්‍ර