ඉවතලන බෝතල් යොදා ඉදිකළ නිවසක්


 

අසීමාන්තික ලෙස දරුවන්ට ආදරය කරනා මව්වරුන්ට පියවරුන්ට එම දරුවන් අහිමි වී ගියහොත් දරු දුක ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගන්නා අය බොහොමයක් සිටියදී ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධෛර්යවන්ත ගැහැනියකි. ඇය සිටින්නේ බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේය. නමින් ඉවොන් මාටින්ස් වන්නීය. එක්දරු මවක වූ ඇය සිය පුත්‍රයාගේ මරණයත් සමග ඇතිවූ පීඩනය අවම කිරීමේ අරමුණින් ඉවොන් මෙම අපූරු නිවස ඉදිකිරීම ආරම්භ කර තිබේ.   


ඉවතලන බෝතල් යොදාගනිමින් ඉදිකළ එම නිවස ඉදිකිරීම සඳහා බෝතල් හයදහසක් පමණ යොදාගෙන තිබේ.   


අවට පරිසරයේ කසළ ලෙස එක්රැස් වී තිබූ බෝතල් දැකීමෙන් තමාට බෝතල් යොදාගෙන නිවස ඉදිරිකිරීමේ අදහස් පහළවූ බව ඇය ප්‍රකාශ කළාය. නිවස ඉදිකිරීම සඳහා වීදුරු බෝතල් හයදහසක් පමණ යොදාගෙන ඇති අතර සිමෙන්ති බදාම මගින් බෝතල් එකිනෙක සම්බන්ධ කර තිබේ.   


මීටර් තුනක් උසැති ඉවෝන්ගේ නිවස මීටර් නවයක පළලින් හා මීටර් අටක දිගින් යුක්තයි. එමෙන්ම නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, නානකාමරයක් හා කොරිඩෝවකින් එය සමන්විත වෙයි.   


ඉවත ලන බෝතල් යොදාගනිමින් නිවස ඉදිකිරීමෙන් තමාට වියදම් අවම කරගැනීමට හැකි වූවාක් මෙන්ම පරිසරයට කසළ එකතුවීම අවම කිරීමටත් හැකි වූ බවයි ඉවෝන් පවසන්නේ. එමෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය යොදාගනිමින් ඉදිරියේදී මෙම නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ නිපදවීමටත් ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය.   

 


ටයිම්ස් නව් ඇසුරෙනි.   
තිළිණි ද සිල්වා