ඉරානයේදි නැටුවොත් මරණය


 

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් දහස් ගණනක් සිටින ඉරාන ජාතික තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වීම සමඟ ඉරානයෙන් වාර්තා වෙන්නේ අපූරු කතාවකි. නර්තනයේ යෙදෙන හා එම නර්තන වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට එකතු කරන තරුණියන් විශාල සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් නමුත් ඔවුන් ජනප්‍රිය අය නොවීම නිසා ඒ කතා කිසිවක් මාධ්‍ය වෙත වාර්තා නොවූ බව කියැවේ.   


සහ්රා අෂ්ෆාරියන්, සාරා ෂරියත්මදාරි හා නිලුෆර් මොටියේ යන තරුණියෝ තිදෙනා ෂෆ්ල් ඩාන්ස් හෙවත් රිද්මයකට අනුව ඉදිරියටත් පසුපසටත් පා මාරු කරමින් කරන නර්තනය සඳහා ඉරානයේ ප්‍රසිද්ධ තිදෙනෙකි. ඔවුන්ගේ සමාජ ජාලවල පාසල් සිසුන් ඇතුළු අනුගාමිකයන් දහස් ගණනක් සිටීම හේතුවෙන් පසුගිය දිනක මේ තිදෙනා අත් අඩංගුවට ගෙන කුප්‍රකට ක්වාචාර්ක් සිරගෙයි රඳවා ඇත. මෙවැනි නර්තන ශිල්පිනියන් රැසක් එසේ අත් අඩංගුවට ගෙන ඝාතනය කර ඇතැයි වාර්තා වේ.   
ගසාලේ නම් 19 වියැති තවත් තරුණියක පසුගිය වසරේ අත්අඩංගුවට පත් වීමට ආසන්නව සිටියදී තුර්කියට පලා යාමෙන් දිවි ගලවා ගත්තාය. ඇය සුම්බා හා බැලේ නර්තන ශිල්පිනියකි.   


උතුරු ඉරානයේ ටැබ්රිස් නම් නගරයක ජීවත් වූ ඈ යොවුන් වියේ සිටම නර්තනයට ආශා කළාය. යන්තම් වයස අවුරුදු 17ක් වූ පසු ඇය තමාගේ නර්තන වීඩියෝගත කර ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයට එකතු කරන්නට පුරුදු වූවා ය. එහෙත් ඇය ඒ සියල්ල කළේ නිවෙසට හා මාපියනට හොරෙනි. මාපියන් දැඩි මතධාරී අය වූ බැවින් ඔවුන්ට හොරා විනෝදාංශයේ නිරත වූ නමුත් බොහෝ දෙනෙක් කරන මේ කටයුත්තෙහි කිසි භයානක බවක් ඇතැයි ඈ නොසිතුවාය.   


ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව පොදු එකක් නොවන අතර ඈ හට සිටින්නේ ද අනුගාමිකයන් 2000ක් පමණි. නර්තන ශිල්පිනියන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව ඇයට ද දැනගන්නට ලැබුණද ඇය සිතා තිබෙන්නේ ඔවුන් බියවද්දා නර්තනයේ යෙදීම නැවැත්වීමට එසේ කරන බවය.   


ඇගේ ලෝකය කණපිට හැරුණේ ඇය ටැබ්රිස් හි උද්‍යානයක නර්තනයේ යෙදෙමින් සිටින විට එය වීඩියෝ කර එය ඉන්ස්ටග්‍රෑම් හි බෙදාහැරීම සමඟ ය. ඇගේ මිතුරියක් තවත් කාන්තාවක හා එකතු වී කළ මේ වැඩය ගැන ගසාලේ නොදැන සිටි අතර එම වීඩියෝව මුදාහැරීමෙන් විනාඩි කිහිපයකට පසුව ඇගේ ගිණුම හැකරුන්ගේ ආක්‍රමණයට ලක් විය.   
ඉන් දින කිහිපයකට පසුව ඇගේ පාසලට පොලිසියෙන් ඇමතුමක් ලැබිණි. ගසාලේ හා ඇගේ මාපියන් හමුවී යම් දෙයක් ගැන කතා කරන්නට තිබෙන බව ඔවුහු දැනුම් දුන්හ. ගසාලේගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ගැන ඇගේ මාපියෝ දැනගත්තේ ඒ අවස්ථාවේ ය. ඔවුහු ඇයට නර්තනය අත්හරින්නැයි බල කළද, ඇය සිය අදහස වෙනස් කරනොගන්නා බව දුටු බැවින් අවසානයේ හිත හදාගෙන පොලිස් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඇයට තුර්කියට පැන යාමට උදවු කළෝය. 

 

 

 


මාස කිහිපයක් තිස්සේ තුර්කියේ ජීවත්වෙන ඇය මාපියන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොපවත්වයි. පවුලේ අයගේ සහයෝගයක් නැතිව, දුක සේ ජීවත් වන නමුදු නැවත ඉරානයට නොයන්නට ඇය හිත හදාගෙන හමාර ය. පසුගිය වසරේ සිට මෙවැනි අත්අඩංගුවට ගැනීම් වැඩි වී තිබෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට අමතක කරලීම පිණිස රජයේ වැඩපිළිවෙළකට අනුවදැයි ඇය ප්‍රශ්න කරන්නීය.   


ඉරාන නීතියට අනුව නර්තනයට තහනමක් නැති නමුදු, පොදු ස්ථානවල අවිනීතව හැසිරිම යන නීතිය යටතේ නර්තනයේ යෙදෙන්නන් අත් අඩංගුවට ගැනේ.   
ඉරානයේදී වේදිකාවක් මත නර්තනයේ යෙදීමේ අවසරය තිබෙන්නේ පිරිමින්ට පමණයි. ඉරාන නීතියට අනුව සමාජ මාධ්‍ය තුළින් අවිනීත ක්‍රියා ප්‍රචාරය කිරීම හා ඒවාට දිරි දීම වරදකි.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක