ඉරාන න්‍යෂ්ටික බලය වළක්වන්න දිගින් දිගටම මොසාඩ් ප්‍රහාර


ඉතිහාසය වෙනස් කළ රහසිගත මොසාඩ් මෙහෙයුම්

ඉරාන යුද භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි ගුවන් යානාවක් ටෙහෙරානයට නුදුරින් කඩා වැටීම

 

 

ඉරානය න්‍යෂ්ටික බලවතෙක් වීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය හා ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව පසුගිය සතියේ කතාවේ ඉතිරි කොටස. 
  
ඒ වෙන විට ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය, ඉරානය ගැන තොරතුරු සපයන ප්‍රධාන සංවිධානයක්ව පැවතිණි. ඉරානයේ කොම් නගරයේ අලුතෙන් පිහිට වූ රහසිගත ස්ථානයක් ගැන මෙන්ම බොහෝ වැදගත් තොරතුරු මොසාඩ් සංවිධානය එක්සත් ජනපද බුද්ධි සේවාවන් ඇතුළු තවත් රටවල් රැසකට ලබා දුන්නේය. ඒ රටවලින් ඉරානය බලා පිටත්වෙන න්‍යෂ්ටික අවි රැගත් නැව් අල්ලා ගැනීමට එය පිටිවහලක් විය. එහෙත් එවැනි බුද්ධි තොරතුරු ලබාගැනීම පමණක් ඊශ්‍රායලයට ප්‍රමාණවත් නොවීය.   


ඒ වෙන විට කෙනෙහිලිකම් වලින් කුපිත වී සිටි ඉරානය විවෘත අභියෝගයක් කළේ ඊශ්‍රායලය විනාශ කරන බව කියමිනි. එයින් ලෝකයේ අනෙකුත් රටවල් ද මඳක් සැලී ගියේය. ඉන්පසු ඊශ්‍රායලයට ඉතිරි වූයේ ඉරාන අවි වැඩසටහනට එරෙහිව රහස් මෙහෙයුම් දියත් කිරීමේ විසඳුම පමණි. මොසාඩ් නායකත්වය වසර 16ක් පමණ ඒ පිළිබඳව නොසලකා හැර සිටි බැවින් ක්‍රියාත්මක වීමට කාලය එළැඹ තිබෙන බව ඩගන් වටහා ගෙන සිටියේය.   


2006 ජනවාරියේ මධ්‍යම ඉරානයේ සිදු වූ ගුවන් අනතුරකින් එහි සිටි මගීහු සියලු දෙනා මිය ගියෝය. ඉරාන විප්ලවීය හමුදාවේ අණ දෙන නිලධාරී අහමඩ් කසාමි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ කිහිප දෙනෙක්ම එහි වූහ. අයහපත් කාලගුණය නිසා ගුවන් අනතුර සිදු වූ බව ඉරානය හැඟවූවත් සැබැවින්ම සිදු වී තිබුණේ බටහිර නියෝජිතයන් විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවකි.   


ඊට මාසයකට පෙර ද යුද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ටෙහෙරානයේ නිවාස සංකීර්ණයකට කඩා වැටී තිබිණි. එහි සිටි මගීන් 94දෙනාම මිය ගියහ. එහි සිටි මගීන්ගෙන් බහුතරයක්ම විප්ලවයේ හමුදා නිලධාරීහූ හා බලවත් මාධ්‍යවේදියෝය.   


2006 නොවැම්බරයේදී තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල විය. ඒ අවස්ථාවේදී ඉරාන ආරක්ෂක ඇමැතිවරයා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශයක් කරමින් එම සියලුම ගුවන් යානා අනතුරු පිටුපස සිටින්නේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා ඊශ්‍රායල ඔත්තුකරුවන් බව කියා සිටියේය.   


මේ අතර මීර් ඩගන් අප්‍රසිද්ධියේම ඉරානය කෙරෙහි ඊශ්‍රායල් ප්‍රතිපත්තියේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත්ව තිබිණි. ඉරානය නැවැත්වීමට කිසිවක්ම කිරීමට නොහැකි වුවහොත් පමණක් මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවනු ඇතැයි ඩගන් විශ්වාස කළේය. නමුත් අවසානයේදී සිදුවූයේ ද එයමයි.   


2005 ඩයලෙම්හි න්‍යෂ්ටික බලාගාරයක පිපිරීමක් සිදු විය. ප්‍රහාරය එල්ල කර තිබුණේ හඳුනා නොගත් ගුවන් යානයකිනි. වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් රුසියානු සහයෝගයෙන් තැනූ න්‍යෂ්ටික බලාගාරයට ගෑස් සපයන නළයක පිපිරුමක් සිදු විය. ඒ ද බුෂෙර් ආසන්නයේය. මේ ආකාරයෙන්ම ටෙහෙරානයට ආසන්නව පරමාණුක පිපිරුම් ගැන අත්හදාබැලීම් කරමින් සිටි පාර්චින් පරීක්ෂණාගාරයට ප්‍රහාරයක් එල්ල විය. එමඟින් රහසිගත භූගත විද්‍යාගාරවලට දැඩි හානි සිදුවී ඇතැයි ඉරානයෙන් වාර්තා විය.   
2006 අප්‍රේල් නාටන්ස්හි සිදුවෙමින් පැවති පර්​ෙ‌ය්ෂණවල ප්‍රගතිය පරීක්ෂා කිරීමට විද්‍යාඥයින්, තාක්ෂණවේදීන් හා ව්‍යාපෘති බලධාරීන් පැමිණ සිටි අවස්ථාවක, කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියා හේතුවෙන් මහා පිපිරුමක් ඇති විය. ඒ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවූයේ ඒ පිපිරුම සිදු කිරීමට ඇමෙරිකානු නියෝජිතයන් සම්බන්ධ බවත්, ඔවුන්ට ඊශ්‍රායල බුද්ධි සේවයේ සහය ලැබී ඇති බවත්ය. 

 

 .

බෙන්ජමින් නෙතන්යාහු මීර් ඩගන් වැලඳ ගනිමින්  

 


2007 ජනවාරියේදී නැවතත් එබඳුම ප්‍රහාරයක් සිදු විය. බටහිර බුද්ධි සේවා එම පිපිරුම සිදුවන තැනට කටයුතු කර තිබුණේ ඉතා උපක්‍රමශීලීවය.   


2007 මැයි වෙනවිට ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ් ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට මෙහෙයුම් අරඹන ලෙස දන්වමින් සී.අයි.ඒ. ආයතනයට රහස් ලියවිල්ලක් එවීය. ඉන්පසු බටහිර බුද්ධි සේවා කිහිපයක් එකතු වී අදාළ ව්‍යාපෘතියට අවශ්‍ය කොටස්, උපකරණ හා අමුද්‍රව්‍ය සැපයුම් අඩාළ කිරීමට සැලසුම් කරන ලදී. මීර් ඩගන් අගෝස්තුවේදී ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියෙකු හමුවෙමින් ඉරානයට එරෙහිව ගත හැකි උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා හා පිපිරුම් හේතුවෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වසර හතක් පමණ ප්‍රමාද විය.   


2008 දී බුෂෙර් ප්‍රතික්‍රියාකාරකයේ සිසිලන පද්ධතියේ ඇති වූ හඳුනාගත නොහැකි දෝෂයක් නිසා එහි වැඩ කටයුතු වසර දෙකකින් පමණ ප්‍රමාද විය.   


නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් පුවත්පතෙන් කළ හෙළිදරව්වකට අනුව ස්විස් ජාතික පවුලක ඉංජිනේරු පියෙක් හා පුතුන් දෙදෙනෙකු ලිබියාවේ හා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට සී.අයි.ඒ. සංවිධානයට උපකාර කළ බවත් ඒ සඳහා සී.අයි.ඒ. සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ගෙවා ඇති බවත් වාර්තා විය. නීති විරෝධී න්‍යෂ්ටික අවි වෙළෙඳාම් නිසා ස්විස් රජයෙන් ඇති වූ බලපෑම්වලින් ඔවුන් බේරාගන්නට ද සී.අයි.ඒ. සංවිධානය උපකාර කර ඇති බවත් හෙළිවී ඇත. ඔවුහු ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය සඳහා දෝෂ සහිත විදුලි උපකරණ සපයා තිබූ අතර ඒ හේතුවෙන් බලාගාරයට දැවැන්ත අලාභයක් සිදු විය.   


රුසියානු කාර්ය මණ්ඩලයක් රැගෙන ෆින්ලන්තයේ සිට ඇල්ජීරියාව බලා යාත්‍රා කළ ආක්ටික් සී නැව පැහැර ගැනීමේ සිද්ධියට මොසාඩ් සංවිධානය සම්බන්ධ බව ටයිම්ස් සඟරාව හෙළිදරවු කළේ මේ අවධියේය. 2009 ජූලි 24 වැනිදා ගමන් ඇරඹූ නැව දෙදිනකට පසු කොල්ලකරුවන් අට දෙනෙකුගේ ග්‍රහණයට ලක් විය. ඉන් මාසයකට පමණ පසු රුසියානු කොමාන්ඩෝ පිරිසක් නැව සිය භාරයට ගෙන ඇතැයි රුසියාව ප්‍රකාශ කළේය. ලන්ඩන් ටයිම්ස් හා ඩේලි ටෙලිග්‍රාෆ් යන පුවත්පත් මෙම ක්‍රියාවට මොසාඩ් සංවිධානයේ ඍජු සම්බන්ධයක් ඇතැයි පෙන්වා දුන් අතර හිටපු රුසියානු නිලධාරියෙකු ලබාදුන් යුරේනියම් තොගයක් එයින් ඉරානයට ප්‍රවාහනය කරන බව කියා රුසියානුවන්ට ඔත්තුව දුන්නේ මොසාඩ් සංවිධානය බවත් වාර්තා කළහ. යුරෝපීය සංගමයේ රටවල නැව් කොල්ලකෑමට එරෙහිව සටන් කරන අද්මිරාල් කෝට්ස් කියා තිබුණේ වෙනම කතාවකි. ඒ අනුව යුරේනියම් ප්‍රවාහනය ප්‍රමාද කිරීමට නැව පැහැරගෙන තිබුණේ මොසාඩ් සංවිධානයයි.   


මෙබඳු ප්‍රහාර කොපමණ එල්ල වුවත්, ඒවා හමුවේ ඉරානය සිය අරමුණු අත්හැරියේ නැත. 2005 හා 2008 අතර කොම් නගරයට ආසන්නයේ න්‍යෂ්ටික පර්​ෙ‌ය්ෂණ කටයුතු සඳහා ඉතා රහසිගතව භූගත සංකීර්ණයක් ඉදිකිරීමට සමත් වූහ. 2009 වෙන විට ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා ඊශ්‍රායලයේ බුද්ධි අංශ කොම් බලාගාරය පිළිබඳව දැන සිටි බවත් ඉරානයට ඉව වැටී තිබිණි. එනිසා තවත් අවදානමක් ගනු වෙනුවට ඔවුහු වහා ක්‍රියාත්මක වී අන්තර්ජාතික පරමාණුක ශක්ති අධිකාරියට කොම් බලාගාරය ගැන දැනුම් දුන්හ. ඔවුන් ඉක්මන් වූයේ ඔවුනට හසුවුණු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙක් නිසා බවත්, කොම් බලාගාරය පිළිබඳව ඔහු සතුව සත්‍ය තොරතුරු තිබුණු බවත් තවත් පිරිසකගේ අදහස විය. ඉන් මාසයකට පසු සී.අයි.ඒ. ප්‍රධානී ලියොන් පැනෝටා ටයිම්ස් සඟරාවට කියා තිබුණේ ඔවුන් කොම් බලාගාරය ගැන දැන සිටියේ වසර තුනකට පෙර සිට බවය. ඊශ්‍රායලය ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව ද ඔවුහු කියූහ.   


ඉරානය මට්ටු කිරීම සඳහා ඇමෙරිකානු සී.අයි.ඒ. බ්‍රිතාන්‍ය එම්16 හා ඊශ්‍රායල් මොසාඩ් යන සංවිධාන අතර ගොඩනැගී තිබුණු රහසිගත සම්බන්ධතාව කොපමණ ගැඹුරට විහිදී ඇත්දැයි යන්න වටහාගැනීමට මේ අවස්ථාව හොඳටම ප්‍රමාණවත් විය. ප්‍රංශ මූලාශ්‍රයක් හෙළිකළ අන්දමට මෙම බුද්ධි අංශ සහයෝගීව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණු අතර ඉරානය තුළ සිට මෙහෙයුම් දියත් කළ මොසාඩ් සංවිධානයට අනෙකුත් කණ්ඩායම්වලින් හොඳ සහයෝගයක් ලැබී තිබිණි. 

 
2010 ඔක්තෝබර්හිදී සිදු වූ පිපිරුම් කිහිපයකටම මොසාඩ් සංවිධානය වගකිව යුතුය. ෂහාබ් මිසයිලය එකලස් කිරීමේ කටයුතු සිදු කෙරුනු සාර්ගොස් කඳුකරයේ තිබූ බලාගාරයේ සේවය කළ තාක්ෂණවේදීන් 18 දෙනෙක් ඒ පිපිරීම්වලින් මිය ගියහ. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සහයෝගයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයන් පස් දෙනෙකු මරා දැමීමට ද ඔවුනට හැකිවිය.   
ලොව බලවත්ම බුද්ධි අංශ තුනක් සහයෝගයෙන් වැඩ කරන මට්ටමට පැමිණියේ මීර් ඩගන්ගේ කැපවීම නිසායි. ඔහු මොසාඩයේ අධ්‍යක්ෂවරයා වූ දින පටන් විදේශ රහස් සේවා සමඟ සමීප සබඳතා ගොඩනගා ගන්නැයි ඔහුගේ මිනිසුන්ට බල කරන්නට විය. මොසාඩ් සංවිධානයේ රහස් විදේශිකයන් අතට පත් නොකරන්නැයි කියා ඔහුගේ උපදේශකවරුන්ගෙන් ලැබුණු දැඩි අවවාද පවා ඔහු මුළුමනින්ම නොසලකා හැරියේය.   


බ්‍රිතාන්‍යයන් හා ඇමෙරිකානුවන්ට අමතරව ඉරානයේ සිට ක්‍රියාත්මක වෙමින් මීර් ඩගන්ට වටිනා තොරතුරු ලබාදෙන රහසිගත මූලාශ්‍රයක් විය. ඒ, ඉරාන එන්.සී.ආර්.අයි. දේශපාලන සංවිධානයේ නායකයන්ය. ඔවුහු ඉරානයෙන් පිටතදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉරාන ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයාගේ නම, වයස, රැකියාව, තනතුර, ලිපිනය, පාස්පෝට් අංකය හා නිවසේ දුරකථන අංකය පවා ලබා දුන්හ. බොහෝ කාලයක් තිස්සේ රහසක්ව පවත්වාගෙන සිටි ඔහුගේ අනන්‍යතාව හෙළිකෙරුණේ එපරිද්දෙනි.   
ඔහු අවුරුදු 49ක් වූ මොෂේන් ෆක්රි සාදේය. ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මාහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු ගුප්ත මිනිසෙකු ලෙසද හැඳින්විණි. ඔහු න්‍යෂ්ටික පිපිරුම් පිළිබඳ විශේෂඥයෙකු වූ අතර ඔහුගේ කණ්ඩායම ඒ වනවිට ෂහාබ් මිසයිලයේ හිස කොටසට ගැළපෙන පරිදි බෝම්බ කුඩා කර සැදීමේ නිරතව සිටියහ. ඉහත තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔහුට ඇමෙරිකාවට හා යුරෝපා සංගමයේ රටවලට ඇතුළුවීම තහනම් කෙරිණි. බටහිර රටවල තිබූ ඔහුගේ බැංකු ගිණුම්ද අත්හිටුවනු ලැබීය.   
මහාචාර්ය සාදේ කළ කී දෑ, ඔහු සමඟ වැඩ කළ විද්‍යාඥයන්ගේ නම්-ගම් හා ඔහු වැඩ කළ රහසිගත විද්‍යාගාර පිහිටා තිබුණු තැන් පවා එම දේශපාලන සංවිධානය නොමසුරුව හෙළි කර තිබිණි. ඔවුනට එම තොරතුරු ලැබුණේ අතිශය රහසිගතව ක්‍රියාත්මක වූ සේවාවකිනි. ඒ අනාවරණයේ අරමුණ වූයේ ඝාතනයේ මීළඟ ගොදුර ඔහු බව හැඟවීමයි. ඔවුහු ඔහුට දුෂ්කර ලෙස දිවිරැක ගැනීම හෝ පලායාම යන විසඳුම් දෙක ඉතිරි කර තිබුණි.   


ඉරානයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ ජෙනරල් අලි - රෙසා අස්ගාරි 2007 වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් කරා යමින් සිටියදී අතුරුදන් විය. ඔහු න්‍යෂ්ටික ව්‍යාපෘතියට ගැඹුරින්ම සම්බන්ධ වී සිටි අයෙකි. ඉරානය ඔහු සොයාගැනීමට මහත් වෙහෙසක් දැරුවද, එහිලා අපොහොසත් විය. ඉන් වසර හතරකට පසු, 2011 ජනවාරියේදී ඉරාන විදේශ ඇමති අලි අක්බාර් සලේහි, එක්සත් ජාතීන්ගේ ලේකම් ජෙනරාල්වරයාගෙන් උදවු ඉල්ලමින් කියා සිටියේ මොසාඩ් සංවිධානය ඔහු පැහැරගෙන ඊශ්‍රායලයේ හිර කර තබා ගත් බවය.   


ලන්ඩනයේ සන්ඩේ ටෙලිග්‍රාෆ් පුවත්පත කියා තිබුණේ අස්ගාරි බටහිරට පලා ගිය බවත්, පලායාම සැලසුම් කිරීමට හා තුර්කියේදී ඔහුගේ ආරක්ෂාව පිළිබඳව බලාගැනීමට මොසාඩ් සංවිධානය උපකාර කළ බවත්ය. ඔහු සී.අයි.ඒ. සංවිධානයට ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය ගැන වටිනා තොරතුරු ලබාදී ඇති බව පසුව හෙළි විය.   

 

 


අස්ගාරිගේ අතුරුදන්වීමෙන් මාසයකට පසුව, 2007 මාර්තුවේදී තවත් මුල් පෙළ නිලධාරියෙකු එපරිදිම අතුරුදන් විය. අල් කුඩ්ස් ඒකකයේ සේවය කළ ඔහු අමීර් ශිරාසි නම් විය. මේ දෙදෙනාට අමතරව පර්සියානු ගල්ෆ් කලාපයේ අණදෙන නිලධාරී මොහම්මද් සුල්තානිද අතුරුදන් විය.   


2009 ජූලි මස න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ ෂහ්රාම් අමීරිද රට හැර ගියවුන්ගේ ලැයිස්තුවට එකතු විය. කොම්හි සේවය කළ ඔහු මෙකා වන්දනාවේදී සවුදි අරාබියේදී අතුරුදන් විය. ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයන ලෙස ඉරානයෙන් සවුදියට පණිවිඩය එවනු ලැබිණි. එයින් මාස කිහිපයකට පසුව ඔහු එක්සත් ජනපදයෙන් මතු විය. ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක්, නව අනන්‍යතාවක් හා ඇරිසෝනා ප්‍රාන්තයේ නව නිවසක් ඔහුට ලැබුණු දේ අතර විය. ඔහු වසර ගණනාවක සිට බටහිර බුද්ධි සේවාවලට ඔත්තු සැපයූ තැනැත්තෙකු බව සී.අයි.ඒ වාර්තාවලින් කියැවිණි.   


තාක්ෂණවේදය පිළිබඳ මලෙක් - අෂ්ටාරි විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ ඔහු හෙළි කළේ ඉරාන දිගු දුර මිසයිල සැලසුම් කිරීම සඳහා සිය විශ්වවිද්‍යාලය යොදා ගැනුණු බවය. එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වූයේ ෆක්රි සාදේය.   


ඇමෙරිකාවේ වසරක් ගතකළ අමීරි ඔහුගේ සිත වෙනස් කරගෙන නැවත ඉරානයට යාමට තීරණය කළේය. ඔහු පෙන්වා සිටියේ අලුත් ජීවිතයේ පීඩනය ඔහුට දරාගැනීමට නොහැකි වූ බවයි. ඔහු සිය නිවසේදී නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝවක දැක්වුණේ සී.අයි.ඒ. සංවිධානය තමා පැහැර ගන්නා ලද බවයි. පැය කිහිපයකට පසුව ඔහු ඒ වීඩියෝව වෙනුවට දෙවැනි හා තෙවැනි වීඩියෝද නිකුත් කරන ලදී. ඉරානය වෙනුවෙන් එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ පාකිස්තාන තානාපති කාර්යාලය හා සම්බන්ධ වූ අමීරි, තමා නැවතත් ඉරානයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව 2010 ජූලි මස ඔහු ටෙහෙරානයට ළඟාවිය. එහිදී මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වීමෙන් පසු, සී.අයි.ඒ. සංවිධානය ඔහුව පැහැරගත් බවත්, නිර්දය ලෙස ඔහු නොසලකා හැරි බවත් ප්‍රකාශ කර අතුරුදන් විය.   


මේ අතරවාරයේදී ඉරානය ද මොසාඩ් සංවිධානයට එරෙහිව තොරතුරු එක්රැස් කරමින් සිටියේය. 2004 දෙසැම්බරයේදී ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වෙනුවෙන් සේවය කළ ඔත්තුකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. එයින් තිදෙනකු න්‍යෂ්ටික බලාගාර තුළ සේවය කළවුන් විය. 2008දී නවීන සන්නිවේදන උපකරණ, ආයුධ හා පිපිරුම් ද්‍රව්‍ය භාවිත කිරීමට මොසාඩ් සංවිධානයෙන් පුහුණු කර තිබුණු ඉරාන ජාතිකයන් තිදෙනෙක්ද අල්ලා ගැනුමට ඉරානය සමත් විය. 2008 නොවැම්බරයේදී ඊශ්‍රායලය වෙනුවෙන් ඉරානයේ ඔත්තු බලා වරදකරු වූ අලි අෂ්ටාරි එල්ලා දමනු ලැබිණි. යුරෝපයේදී මොසාඩ් නියෝජිතයන් තිදෙනෙකු මුණ ගැසුණු බවත්, ඔවුන් ඔහුට මුදල් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දුන් බවත් නඩු විභාගයේදී ඔහු පිළිගති.   


“​ෙමාසාඩ්කාරයො මට කිවුවා ඉරාන බුද්ධි සේවාවලට කම්පියුටරුයි ඉලෙක්ට්‍රොනික් උපකරණයි විකුණන්න කියලා. ඒ හැම එකකම ඔවුන්ගේ කතා අහන්න පුළුවන් උපකරණ සවි කරන්න කියලත් ඔවුන් කිවුවා”. අෂ්ටාරි පාපොච්චාරණය කළේය.   


2010 දෙසැම්බර් 28 වැනිදා ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයේදී අලි අක්බාර් සිදාත් නමැති තවත් ඔත්තුකරුවෙක් එල්ලා මරනු ලැබිණි. මොසාඩ් සංවිධානයට සේවය කිරීම, ඉරානයේ හමුදා ශක්තිය හා මිසයිල වැඩසටහන් ගැන ඔත්තු සැපයීම ඔහුට එල්ල වූ චෝදනා විය. 


සිදාත් වසර හයක් පමණ මොසාඩ් නියෝජිතයන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත්, විවිධ රටවලදී මුණ ගැසී මුදල් ලබාගත් බවත් හෙළිවිය.


2010 වසරේදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙෙළ් ප්‍රගතිය අඩාළ විය. උපකරණ සඳහා උසස් තත්ත්වයේ කොටස් සොයා ගැනීමට නොමැතිවීම ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක්දැයි යන සැකයක් තිබිණි. මන්ද ඔවුනට අමතර කොටස් විකුණනු ලැබුවේ මොසාඩ් සංවිධානය විසින් හදාගත් ව්‍යාජ සමාගම්වලිනි. ගුවන් යානා කඩා වැටීම්, විද්‍යාගාර ගිනි ගැනීම්, මිසයිල හා න්‍යෂ්ටික ගබඩාවල සිදුවූ පිපිරුම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පලායාම්, ප්‍රධාන විද්‍යාඥයින්ගේ මරණ, සුළුතර කණ්ඩායම්වල කැරලි මෙන්ම ඩගන්ගේ මිනිසුන් කළ දේවල් නිසාද යනුවෙන් ප්‍රශ්නාර්ථ ඉතිරි විය.   


ඒ සියල්ල ඉක්මවා යන තරමේ දරුණු හානියක් සිදුකිරීමට ඩගන්ගේ අන්තිම තුරුම්පුවද යොදාගෙන තිබිණි. න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කරන පරිගණකවලට හානි සිදුවෙන පරිදි සැකසූ ස්ටක්ස්නෙට් වෛරසයේ බලපෑමෙන් පරිගණක දහස් ගණනක් අඩපණ විය. විශේෂඥයන් විශාල සංඛ්‍යාවක් හා ප්‍රමාණවත් තරම් අරමුදල් නැතිව එවැනි දරුණු වෛරසයක් නිර්මාණය කරන්නට නොහැකිය. පද්ධති රැසක් අතරින් අවශ්‍ය පද්ධතිය තෝරාගෙන පහර දීමේ හැකියාව මෙම වෛරසයේ විශේෂත්වයක් විය. එය කිසියම් පරිගණකයක තිබේදැයි සොයාගැනීමටත් අපහසුය. න්‍යෂ්ටික බලය ඉපදවීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නිෂ්ඵල කිරීමට සහ විශේෂයෙන්ම එවැන්නක් සිදුව ඇති බව කිසිවෙකුටත් හසු නොවන අන්දමට මෙම වෛරසය නිපදවා තිබිණි.   


එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව තිබෙන්නේ ලෝකයෙන්ම රටවල් දෙකකට පමණක් බව අන්තර්ජාල විශ්ලේෂකයන්ගේ අදහස විය. ඒ, අවිවාදයෙන්ම එක්සත් ජනපදය හා ඊශ්‍රායලයයි.   


ස්ටක්ස්නෙට් සිදුකළ විනාශය පාලනය කර තිබෙන බවට ඉරාන ජනපති අහමඩි නෙජාඩ් ප්‍රකාශ කළ ද, සත්‍ය වශයෙන්ම සිදුවී තිබුණේ න්‍යෂ්ටික බලය නිපදවීමේ කටයුතු සෑහෙන දුරට අඩාළ වීමයි.   


ඩගන්ගේ මිනිස්සු වසර ගණනාවක් මුළුල්ලේ විවිධ අංශවලින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියා, එක්සත් ජනපද ආරක්ෂක කවුන්සිලයෙන් සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් හා සීමා කිරීම්, බෝම්බ හැදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම වැළැක්වීම, වාණිජ සාධක භාවිතයට ගනිමින් නිදහස් ලෝකයේ රටවල බැංකුවලට ඉරානය හා ගනුදෙනු තහනම් කිරීම්, රට තුළ දේශපාලන අසහනයක් ඇති කරමින් පාලන බලය වෙනස් කිරීම් හා කුර්දිශ්වරු, අසේරිස්වරු, බෙල්ෂොයිවරු, අරාබියෝ සහ තුර්ක්මෙනිස්තානු ජාතිකයෝ සියයට 50ක් සිටින ඉරානයේ බෙදුම්වාදය අවුලුවාලීම් හා විශේෂයෙන්ම ඉරාන ව්‍යාපෘතියට එරෙහිව ගෙන ගිය නොයෙක් මෙහෙයුම් ආදී හේතු සාධක සියල්ලටම ඉරානයේ න්‍යෂ්ටික සිහිනය ප්‍රමාදවීම කෙරෙහි බලපෑවේය. නමුදු කුමන බලපෑම් කළද, ඔවුන්ගේ උත්සාහය වළක්වාලීමට නොහැකි විය.   


වරක් ඊශ්‍රායල විශ්ලේෂකයෙකු “සැබෑ ජෙම්ස් බොන්ඩ්” වශයෙන් හැඳින්වූ මීර් ඩගන්ට හෝ ඉරානය වැළැක්වීමට නොහැකි විය. ඔහුගේ උපරිමයෙන් ක්‍රියාත්මක වීමෙන් පවා සිදුවූයේ ඔවුන්ගේ වේගය අඩාළ වීම පමණකි. ඉරානය නැවැත්විය හැක්කේ ඉරාන රජයේම තීරණයකින් හෝ විදේශයක සිට ඉරානයට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයකින් පමණකි. 

 

 

 


විශේෂඥයන් අනාවැකි කියා තිබුණේ 2005 වන විට ඉරානය සිය න්‍යෂ්ටික සිහිනය සැබෑ කරගන්නා බවයි. එහෙත් ඩගන් මොසාඩ් සංවිධානයේ නායකත්වයට පත්වීමත් සමඟ ඒ අනාවැකිය වසරෙන් වසරට කල් ගතවී, අවසානයේ 2011ත් එළඹියේය. ඔහු 2011 ජනවාරි හයවැනිදා සේවයෙන් ඉවත්වන විට ඔහුගේ රටට පණිවිඩයක් තැබීය. ඒ, අවම වශයෙන් 2015 වෙනතුරු ඉරානය ප්‍රමාද කළ බවයි. ඒ සියල්ල ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් ඔහු නිර්දේශ කළේය. වසර අට හමාරක මොසාඩ් ඉතිහාසයේ වැඩිම කාලයක් අධ්‍යක්ෂ තනතුර දැරීමේ ගෞරවයද ඔහුට හිමි වේ.   


ඩගන්ගෙන් පසුව මොසාඩ් නායකත්වයට පත්වූයේ ටමීර් පාර්ඩෝ නමැති හිටපු මොසාඩ් නිලධාරියෙකි. ඔහු නව තාක්ෂණය පිළිබඳව විශේෂඥයෙකු වූ අතර අසාමාන්‍ය මෙහෙයුම් සැලසුම් කිරීමෙහිද නිපුණයෙකි. ඩගන් ඉවත්වී යනවිට සතුරු රටවල සේවය කරන මොසාඩ් නියෝජිතයන් මුහුණ දෙන රුදුරු තනිකම හා විපතකදී සහයට කිසිවෙකුත් නොමැතිවීම ගැන සිත් තැවුලෙන් කතා කළේය. ඔහුගේ අතින් සිදුවූ දුර්වල වැරදි කිහිපයක්ද නිහතමානීව සිහිපත් කළේය.   


එවැනි වැරදි කළ නායකයෙක් වුවද, ඔහු ලැබූ ජයග්‍රහණ විසින්ම හොඳම මොසාඩ් නායකයාට හිමි ගෞරවය ලබා දී ඇත. අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවා යුදෙව්වන්ගේ නාමයෙන් ඔහුට ස්තූති කළ අතර සුහද වැලඳගැනීමක්ද කළේය. විශ්‍රාම ගන්නා විට 65වැනි වියේ සිටි ඩගන්ට ඊශ්‍රායල කැබිනට් ඇමතිවරු නැගී සිට අත්පොළසන් දීමද ඒ සමඟ නිරායාසයෙන්ම සිදුවූවකි.   


එක්සත් ජනපද ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් මහතාද පුද්ගලික ලිපියක් යවමින් ඔහුට ආචාරය පුද කළේය. එහෙත් ඒ සියල්ලටම වඩා හොඳම අගය කිරීම ලැබුණේ නිරන්තරව සතුරු ආකල්පයකින් ඊශ්‍රායලය විවේචනය කරන අල් අහ්රාම් නමැති ඊජිප්තු දිනපතා පුවත්පතකිනි. 2010 ජනවාරි 16වැනිදා ප්‍රකට රචකයෙකු වූ අෂ්රෆ් අබු අල් හෝල් ලියූ “ඩගන් නොමැති කල” යන ශීර්ෂපාඨය සහිත ලිපියක් පළ විය. ඔහු එහි මෙසේ ලිවීය.   


“වසර ගණනාවකට පෙර ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්නට හැකියාව තිබිණි න්‍යෂ්ටික විද්‍යාඥ මසූද් අලි මොහොම්මදිගේ ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්දැයි ඉරානය දනී. හැම ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක්ම ඒ ඩගන්ම බව දනිති. ඊශ්‍රායලයේ මොසාඩ්හි අධ්‍යක්ෂවරයාගේ නම හුරු පුරුදු කිහිප දෙනෙකුට පමණි. මන්ද ඔහු මාධ්‍යවල අවධානයෙන් දුරස්ථව, හුදෙකලාව ක්‍රියාත්මක වන්නෙක් බැවිනි. එහෙත් පසුගිය වසර හත පුරාවට ඔහු ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතියට වේදනාත්මක ප්‍රහාර එල්ල කර, එහි වර්ධනය අඩාළ කළේය. මැදපෙරදිග කලාපයේ සිදවූ දරුණුතම මෙහෙයුම් කිහිපයකටම මොසාඩ් සංවිධානය වගකිව යුතුය” අල් හෝල් එසේ ලියා තිබුණි.   


සිරියාවට, හිස්බුල්ලාට, හමාස් සංවිධානයට හා ඉස්ලාමික ජිහාඩයට එරෙහිව ඩගන්ගේ ක්‍රියාකලාපය ගැනද ඔහු සඳහන් කළේය.   


මේ සියල්ලම මීර් ඩගන් ඊශ්‍රායල් සුපර්මෑන් බවට පත්වීමට බලපෑවේය.   


මූලාශ්‍රය : මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත, මොසාඩ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය   

 


පරිවර්තනය - නිසංසලා දිසානායක