ඉඳුවර බ්ලිගත් නා හිස සහිත යක්ෂයා


හිස නාගයෙකු සිරි ගන්නාවූ මේ යක්ෂයාගේ ශරීර ස්වරූපය මිනිස් රුවකට සමානය. කළුවරේ ඇවිද එන මේ යක්ෂයාගේ නීල හරිත වර්ණය සත්තකින්ම සියල්ලෝම බියපත් කරන්නට සමත් වන්නේය. මේ යක්ෂ පෙනුමෙන් සමන්විත අමනුෂ්‍යයා සත්තකින්ම ඉඳුවර පුංචි පුතා බිලි ගන්නට පාසල් දොරටුව අභියස සැඟව සිටියේ ය. මේ ඒ යක්ෂයා බිලි ගත් පුංචි පුතාගේ කතාවයි..   


යකුන්ට, ප්‍රේතයින්ට, භූතයින්ට, අමනුස්සයින්ට නොයෙකුත් අද්භූත දේ කළ හැකි බව අප සමාජයේ ඕනෑතරම් අසන්නට ලැබේ. මිනිසුන් අසනීප කරවීමට, මිනිසුන්ගේ දියුණුවට බාධා කිරීමට, මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් වෙනස් කරවීමට ආදී බොහෝ දේ ඉහත අමනුස්සයින්ට කළ හැකි බව අදටත් අප සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ මතයයි. ඇත්තටම මෙවැනි දේ අමනුස්සයින්ට කළ හැකිද?   


ඉඳුවර පවුලේ එකම දරුවාය. ඉඳුවරගේ පියා රැකියාව කරන්නේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙනි. ඉඳුවරගේ මව ගුරුවරියකි. ඉඳුවර ඉගෙනුම ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ඉහළ පෙළේ පාසලක හත්වන ශ්‍රේණියේය. එහෙත් ඉඳුවර ඉතා මුරණ්ඩුය. දෙමාපියන් කියන කිසි දෙයක් කනකටවත් නොගන්නා ඉඳුවර පාසලේදී පවා හැසිරෙන්නේ තමාට ඕනෑ හැටියටය. ගුරුවරුන්ගේ කීමකටවත් කන් නොදෙන ඔහු යම් යම් අවස්ථාවල පාසලේ අනික් ළමුන් සමඟ රණ්ඩුසරුවල්ද ඇතිකර ගනී. මේ නිසාම පංතිභාර ආචාර්යවරයා විසින් නිතරම ඉඳුවරගේ දෙමාපියන්ට තමන් මුණගැහෙන ලෙස දන්වා ඉඳුවරගේ පොතේ ලිඛිත සටහනක් තබා පණිවුඩයක් යැවීම සිරිතක්ව ඇත. ඉඳුවර හොඳින් ඉගෙන ගත් නිසා පංතියේ ශිෂ්‍ය නායකකම ද ඔහුට ලැබී තිබුණත් ඉඳුවරගේ ක්‍රියාකලාපය එන්න එන්නම නරක අතට හැරීම නිසා ඔහුගේ ශිෂ්‍ය නායකකමද නැතිවිය.   
“මේ දරුවා නිසා මටත් ලැජ්ජයි. මමත් ගුරුවරියක්. ඉගෙන ගන්නෙ නැතිව වෙන වෙන දේවල්වල නියැළෙනවා කියලා මම අනිත් ළමයින්ට තරවටු කරනවා යහමඟට ගන්න ඒත් මගේ දරුවා අන්තිමයි. මට නම් තේරෙන්නෙ නැහැ මේ දරුවට මොනවා වෙලාද කියලා” ඉඳුවරගේ මව විසින් තම සැමියාට පැවසුවේ පසුදින පාසලට පැමිණෙන මෙන් පංතිභාර ගුරුවරයා විසින් ලියා එවන ලද සටහන කියවීමෙන් අනතුරුවය. “ඒක තමයි ඔයානෙ හුරතල් කරේ මම දරුවාගේ වැරැද්දක් දැකලා තරවටු කරන හැමවෙලේම. දැන් ඉතින් ඔයාම බලාගන්න. දරුවා මට තියෙන බයත් නැති කරේ ඔයා” ඉඳුවරගේ පියා තම බිරිඳට දෝෂාරෝපණය කළේය.   


ඉඳුවරව පාසලට පිටත් කර යැවුවාට පසු ඉඳුවරගේ මව විවේක වේලාවේදී ඉඳුවරගේ පංතිභාර ගුරුතුමා හමුවීමට පාසලට ගියාය. “ආ.. ඉඳුවරගෙ අම්මා ආවද... ඉඳුවර නම් හැදෙනවා අන්තිමයි. ඉස්සර ඉගෙනීමට හරි මුල්තැන දුන්නා. දැන් ඒකත් නැහැ. හැමවෙලේම පොඩි පංතිවල ළමයින් එක්ක පැටලෙනවා. නැත්තම් පංතියේ ළමයි එක්ක පැටලෙනවා. කියන දෙයක් අහන්නෙ නැහැ. වෙන වෙන ලෝකවලනෙ මේ ළමයා ඉන්නේ. පාඩමට ඇහුම්කන් දෙන්න කීවම කිසිම ගරුසරුවක් නැති විදියටනෙ මේ ළමයා හැසිරෙන්නෙ. මොකක්ද ඉඳුවරගෙ අම්මා අපි මේකට කරන්නෙ. විදුහල්පතිතුමා එක්කත් මේ ගැන මං කතා කරා” පංතිභාර ගුරුවරයාගේ නොපැහැදීම වචනවලට හැරී තිබුණි. “පුතා මේ විදියට හැසිරෙන්නෙ ඇයි කියලා මටත් හිතාගන්න බෑ සර්. මං පුතාට දැඩිව අවවාද කරන්නම්. දැනට පුතාට දඬුවම් කරන්න එපා” ඉඳුවරගේ මවගේ ප්‍රකාශයට පංතිභාර ගුරුතුමා දුන්නෙ මෙවැනි පිළිතුරකි. “ඔයත් ගුරුවරියක්නෙ. තව ටිකක් දරුවා ගැන සැලකිලිමත් වුණොත් හොඳයි නේද ” යන්නයි.   


“මේ දරුවා නිසා මං පුදුම විදියට ලැජ්ජ වෙනවා එක එක ගුරුවරුන්ට. අද මං දෙකෙන් එකක් කරන්නම්කො” ඉඳුවරගේ මව කෝපයෙන් යුතුව පාසලින් පිටත්ව නිවසට පැමිණියාය. ඉඳුවර පාසල නිමවී නිවසට පැමිණ දිවා ආහාරයද ගෙන නිවසින් පිටත යාමට සැරසෙන විට ඉඳුවරගේ මව “ඔහොම නවතිනවා. මට ඇතිවෙලා තියෙන්නෙ ඔයාව. ඇයි මේ විදියට අපිව ලැජ්ජ කරන්නෙ. හැසිරීම අන්තිමයි කියලා ඉස්කෝලෙ ගුරුවරු කියනවා” යැයි පැවසූ විට “අනේ මේ.. පාඩුවෙ ඉන්නවද අම්මා” කියමින් ඉඳුවර නිවසින් පිටව යාමට සැරසුණා පමණි. ඉඳුවරගේ අතින් ඇද ඉඳුවරගේ මව ඔහුට හොඳටම තඩිබෑවාය. “යනවා ගේ ඇතුළට. ආයෙ ගෙයින් එළියට අඩියක් තියන්නෙ නෑ. අර සෙල්ලම මේ සෙල්ලම... අර යාළුවා මේ යාළුවා කියාගෙන ගෙවල් ගානේ යෑමත් තහනම්” ඇය ඉඳුවරව හයියෙන් අතින් ඇද කාමරයට දැමුවේය. ඔහු කෝපයෙන් දැවෙමින් තම නිදන ඇඳ මත වාඩිවී සිට නැවත නැගිට පොත් මේසය අසලට ගොස් පෑන් පැන්සල් දමා ඇති කවකටු පෙට්ටිය මහා හයියෙන් පොළවට දමා ගැසීය. එම ශබ්දය ඇසී මව යළි පැමිණ ඉඳුවරට කිහිපවරක් පහර කීපයක් පිට මැදට ගහගෙන ගහගෙන ගියාය. ඉන්පසු දොර වසා දැමුවාය.   


එදින තම සැමියා පැමිණි පසු ඉඳුවරගේ මව සියල්ල ඔහුට පැවසීය. රාත්‍රී කෑමටද ඉඳුවර පැමිණියේ නැත. ඔහු කාමරයටම වී සිටියේය. පසුදා පාසල් යාමට සූදානම් වන ලෙස මව විසින් අණ කළද ඔහු කිසිවක් නෑසුකන්ව සිටියේය. මෙසේ පාසල් යාමද ඔහු අත්හළේය. මව කිසිවක් පැවසූ කළ ඔහු කරන්නේ නිවසේ ඇති බඩුමුට්ටු පොළවට දමා ගැසීමය. මෙය තවත් බලාසිටිය නොහැකි නිසා ඉඳුවරගේ මව නිවාඩුවක් දමා තම වැඩිමල් සහෝදරයා වෙත ගොස් ඉඳුවරගේ තත්ත්වය පැහැදිලි කළේය. “ඕකට නංගි ඔහොම මට්ටු කරලා බෑ. ළමයට අපල ඇති. පොඩ්ඩක් සෙත් ශාන්තියක් කරලා බැලු‍වොත් නරකද. කෝකටත් කොල්ලගේ හඳහන පොඩ්ඩක් ගේන්න අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා ජ්‍යොතිෂ මහත්මයෙක්. එයාට කියලා බලවමු” වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ විසින් ඉඳුවරගේ මවට පැවසීය.   


ඉඳුවරගේ හඳහන රැගෙන ඉඳුවරගේ මව ඉඳුවරගේ නැන්දාත් සමඟ ජ්‍යොතිෂ මහතා හමුවන්නට ගියාය. ජ්‍යොතිෂ මහතා සෙත්ශාන්ති වැඩ හා යන්ත්‍රමන්ත්‍ර එනම් ගුප්ත වැඩ සියල්ලක්ම තමන් කරන බව ඉඳුවරගේ වැඩිහිටියන්ට පැවසීය. ඉඳුවරගේ හඳහනට අනුව ඉඳුවරට තවත් වසර කීපයක්ම නරක කාලය තිබෙන බවත් “රාහු ඔලු‍වෙ ඉන්නෙ” යනුවෙනුත් සෙත් ශාන්තියක් කර සුරයක්ද කර පැළඳිය යුතු බවත් ඉන්පසු දරුවා හොඳින් ඉගෙන ගන්නා බවත් හික්මීම ඇති වන බවත් ජ්‍යොතිෂ මහතා හෙවත් කපු මහතා ඉඳුවරගේ වැඩිහිටියන්ට පැවසීය.   


ඉඳුවරව කපු මහතා ලඟට ගෙනගොස් සෙත් ශාන්තියක් කළායින් පසුව ඉඳුවරගේ ගෙලට කපු මහතා විසින් අපලවලට යන්ත්‍රයක් දැමීය. සති තුන පැන්නවිට ඉඳුවරගේ හැසිරීම යහපත් අතට හැරේවි කියා කපු මහතා කීය. ඒ මොහොතේදීත් ඉඳුවර කිසිඳු හික්මීමකින් තොරව හැසිරුණි. තම මව දෙස රවා බලමින් කපු මහතා ගෙලේ සුරය දමන විට “අනේ මේ මේවා ඔයා බැඳගන්න” කියමින් මවට සැර කළේය. “අනේ පුතේ කෝ පොඩ්ඩක් ඉන්නකො හොඳ පුතා වගේ” ඉඳුවරගේ නැන්දණිය ඉඳුවරව සන්සුන් කළේය. ඉන්පසු කපු මහතාගේ ගාස්තුවද ගෙවා ඔවුන් නිවසට පැමිණියෝය.   


“කපු මහත්තයා කීවා මස් මාළු එහෙම මාස තුනක් කන්න දෙන්න එපා කියලා. කිලි ගෙවල්වල එක්ක යන්න එපා. කිල්ලට අහුවුණොත් බල බිඳෙනවා කීවා සුරයේ. අනික නිකමටවත් සුරය කරෙන් ගලවන්න එපා ඒක ඇඟේ තියෙන්න තියෙන්න තමයි බල වැඩිවෙන්නේ කියලා කීවා. ටික දවසක් යනකොට ඔය ගති ටිකින් ටික මඟහැරිලා යයි කියලා කපු මහත්තයා කීවා.” කපු මහතා කී දෑ විශ්වාසයෙන් යුතුව ඉඳුවරගේ මව විසින් ඉඳුවරගේ පියාට පැවසීය. “අනේ මන්දා ඕවා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ. බලමුකො අපි” ඉඳුවරගේ පියා කීය. පසුදින ඉඳුවර පාසල් නොගියද ඉඳුවරගේ මව එය ගණනකට නොගත්තේ “තාම එක දවසයිනේ සුරය දමලා” යනුවෙන් තම සිත සනසා ගනිමින් ඉඳුවරට පාසල් යාමට බලනොකරමින් ඉඳුවරගේ පියාටද “පුතාට මොකුත් කියන්න එපා. එයාටම හිතිලා ඉස්කෝලේ යන්න ගනීවි” යි කියමිනි.   
එහෙත් දින, සති ගෙවෙමින් තිබියදී පාසලින් ඉඳුවරගේ දෙමාපියන්ට විදුහල්පති හමුවන ලෙස පණිවුඩයක් ලැබුණි. ඉඳුවරගේ මව පසුදිනම ඉඳුවරගේ විදුහල්පතිතුමා මුණගැසිණි. “ඉඳුවර සති ගණනක් පාසලට ආවෙ නෑ. දරුවට අසනීපයක්ද..” විදුහල්පති විමසීය. 

 
 “නෑ සර් මේ... මේ... පුතා කියන දෙයක් අහන්නෙ නැති නිසා ටික දවසක් ඔහොම හිටපුදෙන් කියලා මම බලකරන්න ගියෙ නෑ ඉස්කෝලෙ යන්න කියලා. පුතාගෙ මුරණ්ඩු ගති තව ටික දවසක් යනකොට මගහැරිලා යයි. එතකොට ඉස්කෝලෙ එවන්නම්” ඉඳුවරගේ මව විදුහල්පතිතුමාට සහතික විය. “ඒකනම් යක්ෂ කතාවක් තමයි. මං හිතන්නෙ ඉඳුවරගෙ අම්මා ගුරුවරියක් නේද.. ඔය විදියේ කතාවක් කියපු එක ගැන මට හරිම කණගාටුයි. වෙන දෙමව්පියො දරුවව කොහොම හරි තරවටු කරලා හරි පාසල් එවන්නයි කටයුතු කරන්නෙ. මොකද අධ්‍යාපනයේ වටිනාකම දන්න නිසා. ඒත් මං මේ දැක්කමයි දරුවා පාසල් නෑවිත් ඉන්න එක ගැන හරිම සැහැල්ලු‍වෙන් හිතන අම්මා කෙනෙක්ව. ඒකත් ගුරු වෘත්තියෙ යෙදෙන කෙනෙක්. අපි තව ටිකක් බලමු. එහෙම නැතිනම් මං අස්වීම දෙන්නම් වෙන පාසලකට ඇතුළත් කරගන්න” විදුහල්පති කීවේ ඉඳුවරගේ මව දෙස බලා “එහෙනම් දැන් යන්න” පවසමිනි. එහෙත් ඉඳුවරගේ මවට එය එතරම් වගක් නොවූයේ කපු මහතා පිළිබඳ විශ්වාසය ඇගේ සිත තුළ පැළපදියම් වී තිබීම නිසාය.   
දින සති ගෙවිණි. මාස එකහමාරකුත් ගතවිය. ඉඳුවරගේ වෙනසක් නොවීය. ඉඳුවරගේ මව ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රඥ කපු මහතා සොයා ගියේය. “මේකයි ඔය දරුවට අසනීපයක් තියේද දන්නෙ නැහැනෙ. ඒ නිසා ඩොක්ටර් කෙනෙක් ළඟට පොඩ්ඩක් එක්කරගෙන යන්න. මොකද මං අපල තියෙන නිසා ඒවට තමයි යන්ත්‍රයක් පැලඳුවේ. ඉස්කෝලෙ නොයන එකට මට මොකවත් කරන්න බෑ” කපු මහතාගේ වදනින් ඉඳුවරගේ මව කෝපයට පත්විය. එහෙත් කිසිවක්ම නොපවසා ඇය එතැනින් නික්මුණි. “මොකක්ද මේකට කරන්නේ. ඉස්කෝලෙ තවදුරටත් නොගියොත් ප්‍රින්සිපල් අස්කරාවි. ඒ වගේ ලොකු ඉස්කෝලයක් ආයෙ ලැබෙන්නෙ නෑ පුතාට. මගෙ මහන්සියත් වතුරෙ” ඉඳුවරගෙ මව බොහෝ කල්පනා කළාය. එහෙත් කිසිවක් සිතට ආවේ නැත.   


ඇය බලු‍ කපුටු දානද දුන්නාය. එක් දේවාලයක කපු මහතෙක් යම් දෙවිකෙනෙක්ගේ නමක් පවසා එම දෙවියන්ට ගොස් දරුවා කීකරුව සිටින සේ දරුවාව තමන්ට මෙල්ල කර දෙන මෙන් කන්නලව් කරන්න යැයි පැවසීය. ඇය එයද පූජා වට්ටි තබමින් දිගටම කළාය. එහෙත් වෙනසක් නොවීය. මුදල් වියදම් වනවා විනා දරුවාගේ ක්‍රියාකලාපය වෙනස් කරන්නට නොහැකි විය.   


මේ අතර ඉඳුවරගේ පාසලේ විදුහල්පතිතුමාගෙන් නැවත පණිවුඩයක් ලැබුණි. එදින ඉඳුවරගේ මුරණ්ඩු බවටත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උනන්දුව ඇතිවීමටත් ඉඳුවරව තමන් හොඳින් දන්නා මානසික වෛද්‍යවරයෙක් වන විද්‍යාකුලපති මහතා වෙත ඉක්මනින් රැගෙන යන ලෙසත් තවදුරටත් දරුවාව නිවසේ රඳවා නොගෙන පාසල් එවීමට කටයුතු කරන ලෙසත් අවවාදාත්මක ස්වරයෙන් යුතුව විදුහල්පතිතුමා ඉඳුවරගේ මවට පැවසීය. මෙම තත්ත්වය ඉඳුවරගේ පියාට පවසා සිටි ඉඳුවරගේ මව කීවේ තවත් බලා නොසිට එම වෛද්‍යවරයා වෙත දරුවා කැටුව යා යුතු බවයි. “මම එන්නෙ නෑ. මට එන්න බෑ” කියමින් ඉඳුවර නිවසේ බඩු මුට්ටු පොළවේ ගසමින් හිතුවක්කාර විලාසයක් මවාපාමින් හැසිරුණි. එහෙත් පසුදින කෙසේ හෝ ඉඳුවර ඔහුගේ පියා විසින් වෛද්‍යවරයා වෙත කැටුව යනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙතට ඉඳුවරව යොමු කෙරිණි.   
සියලු‍ විස්තර වෛද්‍යවරයා හමුවේ ඉඳුවරගේ දෙමාපියන් පැවසීය. අම්මා හා තාත්තත් එක්ක වෙන වෙනම කතා කළ වෛද්‍යවරයා ඉඳුවර සමඟද කතා කළේය. වෛද්‍යවරයා ඉඳුවරගේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් ඉඳුවරට තදින් කතා කළේය.   
“අම්මා තාත්තා බය වුණාට අපිව බය කරන්න හදන්න එපා” කියා වෛද්‍යවරයා තම ස්වරය වෙනස් කර සැරෙන් කතා කළ විට ඉඳුවර යම් තරමකට මෙල්ල විය. ඉඳුවර මෙල්ල වූවාට පසු වෛද්‍යවරයා ප්‍රතිකාර ඇරඹීය.   


කුලපති මහතා ඉඳුවරට මුලින්ම සංයම අභ්‍යාස ලබාදුන්නේය. ඉන්පසු ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු කළේය. ඒ අතරේ මනෝ ප්‍රතිකාරද ලබාදුන්නේය. මාස තුනක කාලයක් යනවිට ඉඳුවර සම්පූර්ණයෙන් කීකරුභාවයට පත්විය. පාසල් වැඩකටයුතුද ඉතා හොඳින් කළේය. දිනපතා පාසල් ගියේය. ඉඳුවර කීකරු දරුවකු බවට පත්විය. දෙමාපියන් බොහෝ සතුටට පත්විය. ඉන්පසු කිසිම දිනෙක ඉඳුවරගේ පාසලේ ගුරුවරුන්ගෙන් ඉඳුවරගේ දෙමාපියන්ට පැමිණිලි ලැබුණේ ද නැත.   
වෛද්‍ය විද්‍යාකුලපති මහතා මෙම තත්ත්වය මෙසේ පැහැදිලි කළේය. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ ඉඳුවරගේ දෙමව්පියෝ. ඉඳුවරගේ අකීකරු බවට වගකිව යුත්තේ දෙමව්පියෝ. විශේෂයෙන්ම ඉඳුවරගේ මව තමයි වගකිව යුතු වන්නේ. පියා තරවටු කරන විට දරුවාගේ ඉදිරියේ පියාට බනිමින් දරුවාගේ වැරදිවලට තරවටු නොකර දරුවාගේ සිතේ පියා ගැන තිබෙන බයද නැති වෙන අන්දමින් කටයුතු කර, කුඩා කල සිටම ඉල්ලන ඉල්ලන දේ දීලා දරුවා කියන කියන දේට අවනත වීමත් හැම සැපසම්පතක්ම ලබාදීමත් නිසා තමයි මෙය සිදු වී ඇත්තේ. දෙමව්පියෝ දෙමාපියන්ගේ භූමිකාව තියාගන්න ඕනේ.   


ළමයාව ළමයා ලෙස තියාගන්න ඕනේ. ළමයා වැඩිහිටියෙකුගේ භූමිකාව පාමින් තමන්ට ඕන විදියට හැසිරෙද්දී දෙමාපියන් ඔහුගේ කීමට අවනත වීම කිසිසේත්ම විය යුතු නෑ. ළමයා අකීකරු විදියට හැසිරෙන්නට පටන්ගන්නා මොහොතේදීම ළමයාට අවවාද කළ යුතුයි. ළමයාව කුඩාකල සිටම දෙමාපියන්ගේ වචනයට යටත් කරගත යුතුයි. එසේ නොවන විට දරුවාගේ ඉදිරි අනාගතය අඳුරුවීමට දෙමාපියන් වගකිව යුතු වෙනවා. එසේම උගත් දෙමාපියන් වීද මිථ්‍යා විශ්වාස පසුපස යාම කනගාටුවට කරුණක් බැව් අවසන් වශයෙන් පැවසිය යුතුව ඇත.   

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත