ඉන්දියාවෙන් ආ ෂාලිය වංශයෙන් බිහි වූ ඉස්ලාමිකයෝ


ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ආරම්භය සොයා යමු-02

 

 

අරාබි මුස්ලිම් ජනතාවගේ ආරම්භය සඳහා මෙරට නාග ගෝත්‍රිකයන්ගේ දායකත්වය ගැන සුළුවෙන් තැකිය නොහැකි බව ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ආරම්භය ගැන සොයා යන ගමනේදී අපට පැහැදිලි වෙන කරුණකි. ඔවුන් නැවත ලංකාවට පැමිණ ජීවත් වූයේ සිංහල ජනතාව සමග සහෝදරත්වයෙනි. ඒ ජානවල ඇති බැඳීම නිසා විය යුතුය. මෙයින් අදහස් වන්නේ ලෝකය එකම මල් යායක් ලෙස තිබූ බව නොවේද ? එසේ නම් සහරාන්ලා වැනි අන්තවාදී පුද්ගලයන් එම මල් යාය සුනුවිසුනු කර දැමීමට උත්සාහ කළේ ඇයි ද යන්න ගැටලුවකි. 


“එදා උඩරට රාජධානියේ විසූ මුස්ලිම්වරු, අද සිටින මුස්ලිම්වරුන් මෙන්, බහුජාතිය සමග අන්තර්ග්‍රහණය වීමට ආශාවක් දැක්වූ ස්වීකරණය වීමට නැඹුරු වූ සුළු ජාතියක් නොවූහ. විශාල සමාජ ක්ෂේත්‍රයන්හි අතරමං නොවී ඔවුහු උඩරට රාජධානියේ සමාජ, ආර්ථික ජීවිතයේ පූර්ණ හවුල්කරුවෝ වූහ” යනුවෙන්, ලෝනා දේවරාජා මහත්මියගේ ශ්‍රී ලංකවේ මුස්ලිම්වරු කෘතියේ සඳහන් කර ඇත. ඒ අනුව සිංහල සමාජයේ මෙන් ම, මුස්ලිම් ජන සමාජයේ ද විවිධ කුල ගෝත්‍රවලට අයත් ජනතාවක් ජීවත් වන බව රහසක් නොවේ. කරාව සහ සලාගම ඉන් ප්‍රධානය. එසේ නම් මරක්කල, හාලි, හම්බ, මට්ට යනුවෙන් හඳුන්වන්නේ ද එම පිරිසම ද ? මේ ඒ ගැන සොයා යන ගමනේ තවත් එක් මුස්ලිම් ජන කොට්ඨාසයක ආරම්භය මෙසේ ඉදිරිපත් කරන්නෙමු. 


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු කෘතියේ තවදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ. එනම් “මුඛ පරම්පරාගත කතාවකට අනුව දහතුන් වන ශත වර්ෂයේ දී, දකුණු ඉන්දියාවෙන් පැමිණි රෙදි වියන්නන් කණ්ඩායමකින් සලාගම නැතිනම් හාලි කුලය බිහි වී තිබෙන බවය. පසුව ඒ අයට කුරුඳු රැහීමේ කාර්ය සීතාවක රජතුමා විසින් පවරන ලදී. දුරාවේ අය හෙවත් වන්දෝවරු රා මදින්නන් වූ අතර, ඔවුහු එම රැකියාවේ දිගටම නියැළී සිටියහ. මේ කාලය තුළ ඔවුහු දේශීය භාෂාව සහ ආගම පුරුදු පුහුණු කර දිවයිනේ දකුණු සහ බටහිර මුහුදුබඩ පළාත්වලට සිමා වූ සිංහල කුල බවට පත් වූහ. සමාගමට කුරුඳු සැපයීමේ අධික බරෙන් මිදීම පිණිස සලාගම කුලයේ අය උඩරට ප්‍රදේශයට පලා ගියහ. ගොවීන් නොවන ජන කොටසක් වූ කරා​වේ අය මුහුදුබඩ ප්‍රදේශවලින් ලබා ගත් ලුණු සහ කරවල වෙ​ළෙඳාම් කිරීම සඳහා උඩරට ට පැමිණියහ.” යනුවෙනි. 


ඊජිප්තුවේ කාහීර් නගරයේ වංශවත් පරපුරකින් පැවත ගෙන එන ෂාලියර් වංශාධිපතිවරයාගේ ආගම වූයේ සාලිහ් නම් ශාන්තුවරයා දේශනා කළ ධර්මයයි. මුස්ලිම්වරුන්ගේ ශූද්ධ වූ ග්‍රන්ථය වන කුරාන්හි සඳහන් වන පරිදි අයහපත් මාර්ගයේ ගමන් කරන මිනිසුන්, යහපත් මාර්ගයට යොමු කිරීම සඳහා විටින්, විට මෙලොවට නබිවරුන් පහළ වී ඇත. එම නබිවරුන් ගෙන් එක් කෙනෙක්, සාලිහ් නම් වෙයි. ඔහු උපත ලැබුවේ ලෙබනන්වල වන අතර, මෙතුමාගේ ධර්මය අනුගමනය කළ අය සාලිහ්වරුන් ලෙස හැඳින්වෙනවා යැයි, දකුණු පළාත් මානව හිමිකම් අධ්‍යක්ෂ හා ජනශ්‍රැති විශ්ලේෂක අෂ්ෂෙයික් මුහම්මදු සමාන්උල්දීන් මහතා පවසයි. 


ඔහු එසේ පැවසුවේ හලාගම, හාලි (සලාගම) නැතිනම් ෂාලිය වංශ මුස්ලිම්වරුන්ගේ ආරම්භය ගැන අදහස් දක්වමිනි. 


මෙම සාලිහර්වරුන් ගේ ප්‍රධාන රැකියාව වූයේ වෙ​ළෙඳාම ය. තම රටේ පමණක් නොව වෙනත් විදෙස් රටවල්වලට පවා බඩු භාණ්ඩ පමණක් නොව ශ්‍රමිකයින් ද වෙ​ළෙඳාම සඳහා රැගෙන යනවා. ඒ අනුව ඔහු උතුරු ඉන්දියාවට යන්නේ, වෙ​ෙළඳාම සඳහා බඩු භාණ්ඩ රැගෙනය. තරුණ වයසේ පසු වු ෂාලියර් වංශාධිපතියාට උතුරු ඉන්දියාවේ කාන්තාවක් සමග විවාහ වීමට එම රටේ පාලකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔහු තම සහචරයන් සමග දකුණු ඉන්දියාවට ගොස් හින්දු ආගම වැලඳ ගන්නවා. ඒ එහි ප්‍රධාන පූජකයා හමු වී ඔහුගේ අනුමැතිය ඇතිවය. ටික දවසක් ගත වෙද්දී, එහි ප්‍රධාන පූජකයාට ඉතාමත් රූමත් දියණියක් සිටින බව දැන ගන්නවා. ඇය ගේ නම වල්ලිමුණි ය. 
විවාහ වීමේ අවශ්‍යතාවයෙන් පසු වූ මෙම වංශාධිපතියාට, එක දවසක් ඇයව මුණගැසීමට අවස්ථාවක් ලැබෙනවා. ඇය ඉතාමත් ලස්සනයි. දැකපු සැණින් කෙනෙකුගේ සිත ඇදී යනවා. මේ තරුණ වංශාධිපතියා ගේ සිතත් ඇයට වශී වෙනවා. දැකපු දවසෙම, ඇයගේ කැමැත්ත විමසන්නේ නැතිව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විවාහ කර ගන්නවා. ඒ දකුණු ඉන්දියාවේ කායල් පට්ටනම්හි දී. එහි රාජධානියක් බිහිකරනවා. එම රාජධානියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ඔහුගේ රාජධානිය අයත් රටේ, රජුට බදු වශයෙන් ලබා දෙනවා. ඒ නිසා, රජතුමාගෙන් ඔහුට කිසිදු කරදරයක් සිදු වන්නේ නැහැ. 


වර්තමානයේ මෙරට විවාහ ජීවිතයට ඇතුළත් වන මනාලයෙකු දෙපස, දෙවෙනි මනාලයන් ගමන් කිරීම ආරම්භ වන්නේ, මේ ෂාලියර් වංශාධිපතියාගේ විවාහයෙන් පසුව බව පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. එනම් ඔහුගේ බිරිඳ බලෙන් රැගෙන ඒමේදී, දෙපසින් ආරක්ෂාවට ගිය පිරිස සංකේතවත් කරමින් බවත්, දැන් එය දෙදෙනෙකුට හෝ ඊට ආසන්න සංඛ්‍යාවකට සීමා වී ඇති බවත් සමාන්උද්දීන් මහතා පවසනවා. 


ඔහු තවදුරටත් මෙසේ ද කියනවා. 


ඔවුන්ට දාව දරුවන් අට දෙනෙක් බිහි වෙනවා. පළමු ගැහැනු දරුවා ට අමතරව, බාල පිරිමි දරුවන් හත් දෙනෙක්. ධනවත් පවුලක දරුවන් නිසා සැප සම්පත්වලින් පිරිපුන් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. විනෝදයෙන් ජීවත් වෙනවා. ඒ නිසා ටිකෙන් ටික වැඩෙද් දී, මත්පැන් පානයටත්, සූදුවටත් යොමු වෙනවා. මත්පැන් පානය නිසා අහලපහල අයත් සමග මේ සහෝදරයෝ නිතර ගැටුම් ඇති කර ගන්නවා. මෙය මවුපියන්ට වගේම තම එකම සහෝදරියටත් වධයක් වෙනවා. එහෙත් වැඩිමහල් සහෝදරියට තියන බිය නිසා ම, ඇය කියන දේ අහනවා. 


මෙම වැඩිමහල් දියණිය මොරොක්කෝවේ සිට පැමිණි මෛරවීය වංශික අබුජෙට්ටි නමැති අරාබි ජාතික නෞකාධිපතිවරයා සමග විවාහ වෙනවා. “බින්න බැහීම” යන සංකල්පය ඇති වන්නේ ඉන් පසුවයි. එය සැකෙවින් මෙසේ ය. අබුජෙට්ටි ඉන්දියාවේ කායල්පට්ටනම්වලට පැමිණ නිදහසේ බඩු බාහිරාදිය රැස් කරමින් මිනිස් ශ්‍රමිකයෝ ද වෙළෙඳාම සඳහා රැගෙන යාමට උත්සාහ කරනවා. එහි අධිපති ෂාලිහර් නමැති වංශාධිපතියා, භාණ්ඩ රැගෙන යාමට අවසර ලබාදිය හැකි වුවත්, මිනිස් ශ්‍රමිකයන් රැගෙන යාමට අවසර ලබා දිය නොහැකි බව පවසනවා. එහිදී අබුජෙට්ටි විමසා සිටින්නේ ඒ සඳහා රන්, රිදි කාසි කොපමණ අවශ්‍ය ද කියා ය. රන් රිදී නොව ඔබගේ ජීවිතය අවශ්‍ය බැවින්, ඒ සඳහා මගේ දියණිය හා විවාහ විය යුතු බවත් ඔහු කියනවා. 


හරි මම ඔබගේ දියණිය විවාහ කර ගන්නම්, ඒ මෙහි අධිපතිකම ලබා දෙනවා නම් පමණි යැයි යෝජනාවක් ඉදිරිපත් කරනවා. මෙහිදී ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් ඇතිකර ගන්නවා. එනම් ඔබේ ජීවිතය වන්දි වශයෙන් ගෙවිය යුතු බවත්, ඒ සඳහා මගේ දියණිය විවාහ කර ගෙන මෙහි ජීවත් විය යුතු බවත් ෂාලිහර් වංශාධිපතියා පවසනවා. ඒ අනුව “දෑවැද්දක් ” වශයෙන් අධිපතිකම දුව වෙනුවෙන් අබුජෙට්ටි ට, ලබා දීමට කැමති වෙනවා. පසුව අබුජෙට්ටි, ෂාලිහර් ගේ නිවසේ පදිංචි වෙනවා. එය මුස්ලිම් ජනතාවගේ “බින්න බැහීමේ” ආරම්භය ලෙස සැලකෙනවා. මෙම සම්ප්‍රදාය පසුව මුස්ලිම් සමාජය පුරා පැතිර ගියා. 


මොවුන්ට පෙරිය මුදලි මරික්කාර් නමින් පුතෙක් ලැබෙනවා. පසුව ඔහුත් නෞකාධිපතිවරයෙක් වෙනවා. පෙරිය මුදලි මරික්කාර්ගේ අම්මගේ මල්ලිලා, නැතිනම් මොහුගේ මාමලා හත් දෙනා, පසුව ලංකාවේ බොහෝ වෙනස්කම් සිදු කිරීමට දායකත්වය ලබා දෙන්නේ පෙරිය මුදලි මරික්කාර් නිසයි. 

 

 


කෙසේ වෙතත්, ලෝකයේ විවිධ රටවලට ගමන් කරමින් වෙළෙඳාම් කරන පෙරිය මුදලි මරික්කාර් දවසක්, හලාවතට ගොඩ බසිනවා. ඒ 5 වන මිහිඳු මහ රජතුමා (ක්‍රී.ව 1001-1017 ) ගේ කාලයේදී. එහි වෙළෙඳාම් කරන අතරතුර රජතුමා ද බැහැ දැක ගැනීමට අවස්ථාව ලබා ගන්නවා. රජතුමා සමග මිතුරු වන ඔහු, ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවක දී ම, තෑගි බෝග ලබා දීමට අමතක කරන්නේ නැහැ. ඒ හිතවත් කම නිසා දකුණු ඉන්දියාවේ කුරුඳු, කපු වගා කිරීමට දක්ෂ අය ලංකාවට රැගෙන එනවා. ඒ අතරේ රජතුමා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා.. ඒ විශ්වාස කළ හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් තමන්ගේ දෝලාව රැගෙන යාමට ගෙන්වා දෙන මෙන්.. 


සමාජයට සහ පවුලට වන අපකීර්තියෙන් බේරා ගැනීමටත්, ඔවුන්ගේ ජීවිතවලට යහපතක් උදාකර දීමේ අරමුණෙන්, තම මවගේ සහාය ඇතිව මාමලා, ලංකාවට රැගෙන යාමට සැලසුම් කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. ඒ අනුව, දිනක් පෙරිය මුදලි මරික්කාර්ගේ එක් රුවල් නැවක යට තට්ටුවේ මත්පැන් සමග ආහාර ගබඩා කර වලි අරසන්, වලිමුනි, වලි අරුණන්, වලි සල්මන්, වල්ලි අරසන්, පරමුත්ති, වල්ලියන් යන මාමාවරුන් වෙනුවෙන් සාදයක් පවත්වනවා. කාඩ් කුට්ටම් කිහිපයක් ගෙන ගොස් ඔවුහු සෙල්ලම් කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. මාමලා හත් දෙනා අසීමිත ලෙස මත්පැන් පානය කරන නිසා, වෙරි වී නින්දට වැටෙනවා. ඒ අතරේ රුවල් නැව ලංකාව බලා යාත්‍රා කරනවා. ඒ ආකාරයෙන් දින කිහිපයක් මත් වතුර පානය කරමින් සෙල්ලම් කරන නිසා, ඔවුන්ට කාලය ගත වන බව දැනෙන්නේ නැහැ. වෙරි වී සිටින එක් දවසක බේරුවල වරායට නැව පැමිණෙනවා. මත් වී සිටි මාමාලා, පෙරිය මුදලි මරික්කාර්ගේ නිවෙසට රැගෙන යන විටත් ඔවුන් සිටියේ සිහි මද ගතියෙන්. 


මාමාලාට සිහිය එන විට තමන් වෙනස්, අමුතු පරිසරයක සිටින බව පෙනෙන්නට තිබෙනවා. පුදුමයට පත් මාමාලා පෙරියසාමි ගෙන් ඒ ගැන විමසනවා. මාමාලා නැවේ වෙරිමතින් සිහි නැතිව සිටින විට නැව කුණාටුවකට හසු ව, ලංකාවට ගසා ගෙන ඇවිත් බේරිලා තිබෙන්නේ මතැනදීයි කියා පවසනවා. ඒ ආකාරයෙන් ගසාගෙන ඇවිත් බේරුණු තැන, පසුව “බේරුවල” යන නමින් ව්‍යවහාරයට පැමිණෙනවා. 


කුණාටුව අවසන් වනතුරු, මාස කිහිපයක් මෙහි ගතකිරීමට සිදු වන බවත්, තමන්ගේ රටේ දී, මෙන් මෙහි ජීවත් විය නොහැකි බවත්, රටේ නීතියට ගරු කළ යුතු බවත් පෙරිය මුදලි පවසනවා. එසේ නොකළ හොත් හිස්ගැසුම් කෑමට සිදු වෙන බවත් ඔහු කියනවා. 


“මම කියන ආකාරයට වැඩ නොකළොත් මගේ බෙල්ලයි දංගෙඩියට තබන්න වෙන්නේ. මෙහෙන් බේරිලා, ඉන්දියාවට ගියත්, මගේ අම්මාගෙන් ඔබලාට බේරෙන්න බැරි වේවි. ඒ නිසා ටික දවසකට මා කියන විදියට වැඩ කරන්න”. යැයි ඔහු තවදුරටත් පවසනවා. 


ඒ වන විටත් රජතුමා සමග සාකච්ඡා කරගත් පරිදි, මාමාවරු හත්දෙනා රජ වාසලට කැඳවාගෙන ගොස් , දෝලාව ඔසවා ගෙන යාමට කැමති කරවා ගන්නවා. ඒ අතරේ මත්පැන් පානය කිරීම ද නතර කිරීමට සිදු වුවත්, ගැටුම් ඇති කර ගැනීමේ පුරුද්ද අත් හැරියේ නැහැ. පසුව මෙම හත් දෙනා ගෙන් තුන් දෙනෙක් රජතුමාට හිස නමන්න කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඉස්ලාම් ආගමේ නීතියට අනුව කිසිවෙකුටත් හිස නැමිය යුතු නැති බව, රජතුමාත් දැන ගෙන හිටියා. පසුව ඒ තිදෙනා ඉස්ලාම් ආගම වැලඳ ගෙන රාජ සේවයෙන් ඉවත් වෙනවා. පසුව තිදෙනාම විවාහ ජීවිතයට ඇතුළත් වී බේරුවල, කළුතර, අලුත්ගම ආදී ප්‍රදේශයන්හි පදිංචි වුණා. රජතුමාට අයත් කුරුඳු වගාව වලි අරසන්ටත්, කපු වතු හා පේෂකර්මාන්තය පරමුත්තිටත්, වාරි, වඩු ( ගල් හා ලී) කර්මාන්තය වල්ලියන්ටත් භාර කළා. සේවයට අවශ්‍ය මිනිස් ශ්‍රමිකයෝ දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. මේ ආකාරයෙන් රජතුමාට සේවය කරමින්, සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම ගැන, දැනගත් දෝලාව උස්සන් යන මාමාවරු හතර දෙනා කලබලයට පත් වුණා. 


දවසක්, රජුව දෝලාවේ තබා ගෙන ගමන් කරන අතරතුර, රජතුමා පැවසූ කතාවකට මාමාවරුන්ට කේන්ති එනවා. ඔවුහු දෝලාව බිම තබා දුවගොස් සැඟවෙනවා. පසුව පෙරිය මුදලි මරික්කාර් පැමිණ රජුගෙන් සමාව අරගෙන, ඔවුන්ට සුදුසු රැකියාවන් ලබා දීමට කටයුතු කරනවා. ඒ අනුව වලිඅරසන් රජුගේ හමුදාවේ ප්‍රධානියා වශයෙන් සහ මුහුදුබඩ ආරක්ෂාව භාරව පත් කළා. මොහුගෙන් අංගම්පඩි පරම්පරාව බිහි වෙනවා. . එනම් අංගම්මන සටන් ( අතින් පයින් පහර දෙන සටන් ක්‍රමයක් ) ශිල්පයයි. අංගම්පොර සටන් ක්‍රමය නොවේ. වලිමුනිව පේෂකර්මාන්තයට සම්බන්ධව ආරක්ෂාව ලබා දීමට පත් කළ අතර, වලිඅරුණන් ට ලංකාවේ සියලුම වරායවල් ද භාර වුණා. ඒ ආකාරයෙන් මාමාලගේ ප්‍රශ්නය ඔහු විසඳනවා. 


මේ අනුව රටට අවශ්‍ය ආරක්ෂාව පමණක් නොව ධනය සොයා දීමට පවා පෙරිය මුදලි මරික්කාර්, ඔහුගේ මාමලා ඇතුළු ෂාලිය වංශිකයෝ බොහෝ වෙහෙසී තිබෙන බව පෙනී යනවා. එහෙත් රාජ සභාවේ සමහර ඇමැතිවරුන් මොවුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කළා. රජුට කේලාම් කීවා. අවසානයේ රජතුමා ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් (පෙරියමුදලි මරික්කාර්ගේ බිරිඳගේ පරපුරේ අය) කුලී හමුදාවක් ගෙන්වීමට තීරණය කරනවා. 

 

එයට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කෞරව වංශික සූරියඅන්නන්ය. පෙරිය මුදලි ඊට විරුද්ධ වෙනවා. එහෙත් ඔහුගේ විරුද්ධත්වය නොතකා කුලී හමුදාව රැගෙන විත්, ෂාලිය වංශිකයෝ (පෙරිය මුදලි ඇතුළු මාමාලා) පදිංචිව සිටින ප්‍රදේශවල පදිංචි කරනවා. 


මෙයින් කෝපයට පත් ෂාලිය වංශිකයෝ රටේ සංවර්ධනය අඩාළ කරනවා. එ් නිසා ආර්ථිකය පහතට වැටෙනවා. රජුගේ පාලනය දුර්වල වෙනවා. කේරලයෙන් රැගෙන ආ හමුදාවට වැටුප් ගෙවීමට පවා හැකියාවක් ලැබෙන්නේ නැහැ. කැරලි ඇති වී කුලී හමුදාව රජ වාසල වටලනවා. රජු උමගකින් දෙවුන්දරට පැන යනවා. ඒ අවස්ථාවේදී චෝලවරුන්ට ලංකාව ආක්‍රමණය කිරීම පහසු වෙනවා. මෙයින් පෙනී යන්නේ රජතුමා පෙරිය මුදලි මරික්කාර් ඇතුඵ ෂාලිය වංශික පිරිස අමනාප කර ගත් නිසා, රජකම පවා අතහැරීමට සිදු වූ බවය. 


“හාලියා හොඳින් ඉන්නතාක් කල්, කරේ තියා ගනී, තරහා වුණොත් බිම තියයි” යනුවෙන් උපමාවක් භාවිතයට පැමිණියේ, රජතුමාගේ දෝලාව බිම තබා පැන ගිය දවසේ දී ය. ඔවුහු හලාවතට ගොඩබැස, එහි කාලයක් ජීවත් වූ නිසා, හලාගම, හාලියෝ යන වචනය භාවිතා කරන්න ඇති බවත් සමාන්උල්දීන් මහතා පවසනවා.  පොදුවේ මුස්ලිම් ජනතාව “මරක්කලයෝ” යන නමින් ද හඳුන්වනු ලබනවා. මෙම මරක්කල යන වචනයත් භාවිතයට පැමිණියේ ෂාලියර් වංශිකයෝ නිසාය. “මරක්ක කලඹින” යන්න නාග වංශිකයෝ භාවිතා කළ වචනයක්. මරක්ක යන්නෙන් ‘අමතක කරවන්න’ (අමතක කරන්න) යන අදහස් ගැබ්ව ඇති අතර, කලඹින යනු ‘ඉවත් කිරීම’ ‘රැගෙන ඒම’ වැනි අදහස් ලබා දෙනවා. මේ අනුව “මරක්කල” යන්නෙන් අදහස් වන්නේ අමතක කරවා රැගෙන ආවා යන්නය. පෙරිය මුදලි මරික්කාර්ගේ මාමලා ද මත්පැන් පානයට යොමු කර සිහි මද ගතියෙන් නැතිනම් අමතක කරවා රැගෙන ආ පිරිසකි. ඒ නිසා ඔවුහු මරක්කලයෝ යන නමින් හඳුන්වනු ලබනවා යැයි සමාන්උල්දීන් කියනවා. 


දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර ගැටුමක් ඇති කර ගන්නා විට “වලියක්” යන වචනය මෙරට සමාජයේ භාවිත කරනවා. එම වලියක් යන වචනයේ ආරම්භය සිදුවන්නේ මෙම මාමලාගෙන්. ඊට හේතුව වන්නේ, ඔවුහු ඉන්දියාවේදී විනෝදකාමී ජීවිත ගත කරමින් කාබී වෙනත් අය සමග ගැටුම් ඇති කර ගැනීමේ පුරුද්ද, මෙරටේදී ද සමහර දිනවල දී දක්නට ලැබුණ නිසයි. එම ගති ලක්ෂණ අත් හැරියේ නැහැ. එවකට මෙහි ජීවත් වූ ජනතාව මත්පැන් පානය කරමින්, ඒ ආකාරයේ ගැටුම් ඇති කර ගත් පිරිසක් නොවේ. මොවුන්ගේ පැමිණීමත් සමග මෙරට සමාජයේ ද ගැටුම් ඇති කර ගන්නවා. ඔවුන්ගේ නම් වල වලිඅරසන්, වලිමුනි වැනි නම් තිබෙන නිසා, ගැටුම් ඇති කර ගන්නා විට, ඒ ගැටුම් ඇති කර ගත්තේ වලිඅරසන්, වලිමුනි නිසයි කියා මිනිසුන් පවසනවා. වලියක් යන වචනය භාවිතයට පැමිණෙන්නේ එවන් සිද්ධීන් නිසයි. 


බේරුවලපෙරිය මුදලි මරික්කාර්ට සිංහල නරපතියෙකු (ක්‍රී.ව 1016 ) විසින් ප්‍රදානය කරන ලද තඹ සන්නසක්, නීතිඥ අල්තෙන් මරික්කාර් සහ ඔහුගේ සහෝදරයා වන මැණික් ව්‍යාපාරික අබුබකර් යන මහත්වරුන් සතුව තිබෙන අතර, සමාන්උල්දීන් මහතාට එහි පිටපතක් ලබා දී ඇත. ඉන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ. 


“බේරුවල නැව් නැංගුරම් ලෑම නිසාත්, ඒවා වෙනත් රටවල් කරා යාත්‍රා කරවා එමගින් ගමේ අභිවෘද්ධියට මං සැලසීම නිසාත් ප්‍රසාදයට පත් වූ මහා රාජොත්තමයාණන් වහන්සේ ඊට ප්‍රත්‍යුපකාර වශයෙන් .... පෙරිය මුදලි මරික්කාර් ගෙන් පැවතෙන පුත්තු හා මුනුපුරෝද ඔවුන්ගේ දරුවෝ ද ජීවිතාන්තය දක්වාම දෝලා ඔසවාගෙන යාමේ සේවයෙන් හෙවත් රාජකාරියේ යෙදීමෙන් ද, බදු මුදල් ගෙවීමෙන් ද නිදහස් වෙති. ඔහුගේ ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය මෙදා කල් අනූනව ආරක්ෂා කළ යුත්තේය. ස්වකීය ආගමික සේවාවන් සපුරාලීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා අනුව මස්ජිද් ඉදිකිරීමට ඔවුන් බැඳී සිටිත්. ඒවා සුරක්ෂිත කළ යුත්තේය. තවද ඒ උදෙසා ඔවුන් ඉල්ලා සිටින කවරම බිම් පෙදෙසක් හෝ ඔවුන්ට පවරා දීම ද කළ යුත්තේය.” යනුවෙනි. 


මෙයින් පැහැදිලි වන්නේ පෙරිය මුදලි මරික්කාර් යන පුද්ගලයෙකු මෙරට ජීවත්ව සිට ඇති බවත්, ඔහු වටා ගෙතී ඇති කරුණු සැබෑවක් බවත් නොවේද ? 


ලබන සතියේදී කෞරව (කරාව ) වංශික මුස්ලිම්වරු ගැන දැන ගනිමු.. 


ස්තුතිය - ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ, පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට 

 

 

 

 

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර