ඉන්දියාවෙ කාන්තාවන් ලස්සන වෙන ප්ලාස්ටික් සැත්කම්


විලාසිතා fashion

 

තම රූපය සුන්දරව තබා ගන්නට අකමැති කෙනෙක් නොමැති තරම්. නමුත් ඒ අතරේ උපතින් තමන් ලද රූ සපුව කෙරෙහි සෑහීමකට පත් නොවී එය වඩ වඩාත් සුන්දර කරන්නට ඇතැමුන් දරන උත්සහයත් සමඟින් ප්‍රමුඛ ස්ථානය හිමි වෙන්නේ ප්ලාස්ටික් සැත්කම්වලටය.   


පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පවා වසරක් පාසා ප්ලාස්ටික් සැත්කම් කළ අයෙකු බවට ප්‍රසිද්ධය. ක්‍රිස්ටිනා මාර්ටෙලී නම් විසිතුන් හැවිරිදි නිරූපිකාව පසුගිය මැයි මාසයේ දී මිය ගියේ 100 වැනි ප්ලාස්ටික් සැත්කමට මුහුණ දෙමින් සිටියදීය. බොලිවුඩයේද මෙලෙසින් ප්ලාස්ටික් සැත්කම් උපකාරයෙන් තම රූපය වඩ වඩාත් ඔප්නංවා ගත් නිළියෝ වෙති. 


ලෝක රූ රැජින කිරුළ පැලඳී සුරූපිනියන් අතරේ අයිශ්වර්යා රායි බච්චන්, සුශ්මිතා සෙන් ,ඩයනා හේඩන් , ලාරා දත්තා ප්‍රියංකා චොප්රා , මනුෂී චිලර් යන සියලු දෙනා අතරින් දෙස බලන විට හිටපු ලෝක රූ රැජිනක් හා වර්තමානයේ බොලිවුඞ් සුපිරි තරුවක වන ප්‍රියංකා චොප්රා එදාට වඩා අද බොහෝ සෙයින් වෙනස් බව පෙනෙන දෙයක්. ඇය ප්ලාස්ටික් සැත්කමකට මුහුණ දුන්නේ තම දෙතොල් සහ නාසය වෙනස් කරගැනීම සඳහා යැයි ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විචාරකයෝ සඳහන් කරති. 


කරිෂ්මා කපුර්, කත්රිනා කායිෆ්, ශිල්පා ෂෙට්ටි, ශ්‍රැති හසන් ද දෙතොල් සහ නාසය වෙනස්කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් සිදුකර ඇතැයි එම ඉන්දීය සිනමා විචාරකයෝ පවසති. කරීනා කපූර් සිනමාවට පිවිස වසර පහළොවක් ගත වූ පසුව ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ බව තවදුරටත් බොලිවුඩ​ෙයන් වාර්තා වේ. ඇය තම කම්මුල් පිරුණු ස්වභාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් මෙම සැත්කම සිදුකර ඇත. 


හින්දි සිනමාවේ පළමු සුපිරි නිළි තරුව වූ නැසීගිය ශ්‍රීදේවි පවා තම නාසය වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ බව බොලිවුඩයෙන් ජනප්‍රිය රහසක්. ඇය සිනමා ගමන ආරම්භ කළ කාලයේ චිත්‍රපට නැරඹූ විට මේ වෙනස දකින්න පුළුවනි. බොලිවුඩයේ තවත් සුපිරි නිළියක හා වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි ගේ ප්‍රිය භාර්යාව වන අනුෂ්කා ශර්මා ඇයගේ ප්‍රථම චිත්‍රපටයේ දුටුවාට වඩා තරමක වෙනසක් වර්තමානයේ දී දකින්න පුළුවනි. අනුෂ්කා සැත්මක පිහිටෙන් තම නාසය සහ තොල් සඟල වෙනසකට ලක්කර තිබෙන බවයි බොලිවුඞ් ඕපා දූප වෙබ් අඩවිවල සඳහන් වන්නේ.එයට ඇයගේ සිනහවත් සාක්ෂි දරනවා ඇති. 


මෑත කාලයේ කිසිදු ගුරු ගෝල සබඳතාවක් නොමැතිව බොලිවුඞ් සුපිරි තරුවක වූ කන්ගනා රනවුත් ද ප්ලාස්ටික් සැත්කමේ පිහිටෙන් තම පියයුරු වර්ධනය කරගෙන ඇති බවත් , වානි කපූර් තම සුන්දරත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් දෙතොල් හැඩ කරගත් බව ද එම ඕපාදූප වාර්තාවල සඳහන් වෙයි. 


සිනාසෙන විට කම්මුල්වල ගැසෙන කාන්තාව නිරන්තරයෙන් සතුටින් සිටින බව දේහ ලක්ෂණ ශාස්ත්‍රයේ කියැවෙන්නක්. බොලිවුඩයේ මේ වැනි ලක්ෂණයක් දකින්නට ඇති නිළියක් නම් ඒ ප්‍රීටී සින්ටා බව කවුරුත් දන්නා දෙයක්. ඇය මෙලෙස කම්මුල් වළ ගැසීම වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදුකර තිබෙන බව බොලිවුඩ් ආරංචි වලින් පසුකාලීනව වාර්තා විණි. බොලිවුඩයේ කිං ඛාන් ශාරුක් බිරිය ගෞරි ඛාන් දැන් ගෙවන්නේ සිය දිවියේ හතළිස් හය වැනි වසරයි. ඇය සිය මුහුණේ තරුණ පෙනුම රැකගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදුකර තිබෙනවා. 


මේ විදියට සැත්කම් ආධාරයෙන් උපතින් ලද ස්වරූපය වෙනස් කර ගන්නා බොලිවුඞ් තරු අතරේ එලෙස සැත්කම් නොකළ අය ද සිටින බවත් වාර්තා වෙනවා. දීපිකා පදුකෝන්, ආලියා භාත්, ජැක්ලීන් ෆර්නැන්ඞ්ස්, ශ්‍රද්ධා කපූර්, සෝනක්ෂි සිංහා, සෝනම් කපූර්, ඉලෙයානා ඩී කෘස්, යමී ගෞතම්, නාර්ගීස් ෆක්රී, විද්‍යා බාලන්, පරිනීති චොප්රා තවමත් ප්ලාස්ටික් සැත්කම්වල පිහිට නොපැතූ ලැයිස්තුවේ සිටින බොලිවුඩ් තරු වෙති. 


පිරිමින් වසඟයට පත්කිරීමේ අභිලාසයෙන් කැපී පෙනෙන සේ ළැම හා නිතඹ ලොකු කර පෙන්වීමට ළඳුන් විශේෂයෙන් පෙළඹී සිටින අතර ඒ සඳහා ඔවුන් කර ගන්නා වූ ශල්‍යකර්ම අතිශයින් ම අවදානම් බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ප්ලාස්ටික් සැත්කම්වලට විශාල මුදලක් වැය කිරීමටත් ඒ සඳහා විදෙස්ගතවීමටත් සිදුවන නිසා ඉන්දියාවේ සමහර ගැහැනු නිතඹ ලොකු කරගන්නේ එකපිට එක තබා ඝනකමට මසා නිමකරන ලද ”නිකර් බොකර්” නම් යට ඇඳුමකිනි. 


මෙම ඇඳුම ඔවුන් ඇවිදින විට නොබෙදී එහා මෙහා යන හැඩයකින් යුක්තවන බැවින් සැත්කමින් පසු ලැබෙන රටාවක් ඉන් පිළිබිඹු නොවේ. එය කෘත්‍රිම ඇඳුමක් පැලඳි බව පෙනෙන ස්වරූපයක් දරන බව ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පිනියක වන මදුබාලා සංකර් වරෙක හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි. 


ප්ලාස්ටික් සැත්කම් නමින් (Plastic Surgery) හැඳින්වෙන මෙම හැඩගැන්වීම් සඳහා සිලිකොන් හා මේද රසායන වර්ග ස්ත්‍රීන්ගේ පසුපස දෙපස (තට්ටම් දෙක) පලා ඇතුළු කර මැසීම ඒ සැත්කම් ක්‍රමය වේ. නිතඹ පුම්බා හැඩගැස්වීමට කරනු ලබන ප්‍රකට සැත්කම් වර්ග දෙකක් ඇත. සිලිකොන් රසායන ද්‍රව්‍ය සංයුක්ත කොට එනම් ඝනකමට එකට ගැබ්කොට නිතඹ පලා ඇතුළේ තැන්පත් කිරීම ඉන් එකකි. ඊට අමතරව සිරුරෙන් ලබාගන්නා මේද විශේෂයක් ස්ත්‍රියගේ උකුළේ පසුපස දෙපැත්තට බද්ධකිරීම අනිත් සැත්කම වේ. 
පසුගියදා මෙවැනි සැත්කමක් කරගත් ආජන්ටීනාවේ රූ රැජින වන සෝලංගා මැග්නානෝ ගේ තට්ටම්වලට බද්ධ කළ රසායන ද්‍රව්‍යය ඇයගේ පපුවට හා මොළේට විහිදී ගොස් සිහි මුර්ඡා වී දින තුනකින් ඇය මරණයට පත් වූවාය. 


සිරුර හැඩවැඩ කර තබාගැනීමට ලලනාවන් දක්වන්නේ අසීමිත ආශාවකි. ගැහැනුන්ගේ පිහිටිය යුතු පැහැපත් කම, කෙස් කලබ, නෙතඟ බැල්ම, පිරිසිදු බව, කතා විලාසය, කෝමල සිනහව, රතු වන් තොල්පෙති, මුතුවන් දත්, ලාලිත ගමන, උසට කැපෙන මහත, ආලවන්තකම කරුණාව, සංග්‍රහශීලී බව හා පරිත්‍යාගශීලී බව යනාදී ගුණාංගයන් අතර ඉදිරියට නෙරා පිහිටි පපුව හා පුළුලුකුළ විශේෂ තැනක් ගනී. 


සෙසු අංගෝපාංග සමගින් සිරුර මනාව හැඩගැසී පරිපූර්ණ වනුයේ මෙම අංග දෙකද ඇතුළත් වූවොත් පමණි. එම නිසා, නිතඹ සොලවා පිරිමින්ගේ මනස සෙලවීමට අඟනෝ දැඩි පරිශ්‍රමයක් දරති. 


එහෙත් ප්ලාස්ටික් සැත්කම් සඳහා වැය කළ යුතු විශාල ගාස්තුව දුප්පත් කාන්තාවන්ට නම් දැරිය නොහැකි ය. 


ආජන්ටිනාව පාපන්දු ක්‍රීඩාවට මෙන්ම රූපලාවණ්‍ය සැත්කම්වලටද ප්‍රකට රටකි. හේතුව අන් රටවලට වඩා එරට ගාස්තු අඩුවීමයි. එහි කාර්යබහුලත්වය කොතෙක්ද යත් සැත්කමට නම් දී පොරොත්තු ලේඛනයේ දිගු කලක් බලා සිටිය යුතුය. ආජන්ටිනා රූප සුන්දරී සෝලංගා ඇස ගැටෙන පිරිපුන් දේහ විලාශයකින් හෙබි තරුණියකි. රැලිවැටුණු කෙස් කලබ බෙල්ල දිගේ ඇද වැටෙන්නේ රටාවකට ය. නීල මැණික් සේ ඔප්ගැන් වූ නෙත්වලින් විහිදෙන කාන්තිය, ඇය මඳ සිනහවක් පානාවිට අවට පාළුව මැකි යන බව මාධ්‍යවේදීහු කියති. මුළු සිරුරෙන්ම ලස්සන වැගිරේ. එහෙත් මෙතරම් රමණීය දේහයක් උරුම වී තිබියදීත් තමාට යම් අඩුවක් ඇතැයි ඇයට සිතිණි. 


සෙසු ජනප්‍රිය ළඳුන් සතු යම් හැඩයක් තමන්ට නැතැයි ඇයට සිතිණි. ඔවුන් ඇවිදිනවිට පසුපස දෙපැත්ත ”තරග වදින සැටි” ඇය ඕනෑකමින් බලා සිටී. මේ නිසා තමන්ටද පස්ස ගස්සා ඇවිදීමට ආශාවක් ඇයට ඇතිවිය. ඇවිදීමට පස්ස පැත්ත නැටවීම” නිළියකගේ ගායිකාවකගේ රූප සුන්දරියකගේ හෝ රංගන ශිල්පිනියකගේ රුව වඩාත් ඔප්නැංවෙන බව ඇයගේ සිතට කාවදින්නට විය. ඇගේ නිතඹ තරමක හැඩයෙන් යුක්තවුවද තව ටිකක් ඒවා ලොකු කරගැනීමට සිතා ශල්‍යකර්මයක් කරගැනීමට ඇය තීන්දු කළාය. 
ඒත් අවාසනාවකි. සැත්කම වැරදී තට්ටම් තුළට ඇතුළු කළ සිලිකොන් රසායනය දියවී ඇයගේ පපුවටත් මොළයටත් පිවිසීමෙන් දින තුනක් දුක්විඳි ඇය අවාසනාවන්ත ලෙස මරණයට පත්වූවාය. මරණයට පත්වන අවධියේ ඇයටම අයත් රූපලාවණය ආයතනයක්ද තිබිණි. සුරඟනක් බඳු ශෝබන දේහයක් තිබිය දී සුළු දෙයකට ලෝබ වී මේ මෝඩකම කළේ ඇයිදැයි ඇගේ රසිකාවියෝ හඬා වැලපෙන්නට වූහ. 


ප්ලාස්ටික් සැත්කමින් ජීවිතය අහිමි වූ තවත් තරුණියකි 22 හැවිරිදි සිනමා නිළි මයිරා ලාසට් කොන්ටිරාස්. ඇයට ලැබුණු චිත්‍රපට කොන්ත්‍රාත්තුවේ වැඩ ආරම්භ කිරීමට තිබූ හෙයින් එහි රඟපෑමට නියමිත පෙම් ජවනිකාවලදී නිතඹ නටවා පෙම්වතා කුල්මත් කරවීමේ ආශාවක් ඇතිවී පසුපස ලොකුකර හැඩගැන්වීමට හදිස්සියක් ඇයට ඇතිවිය. 
”පොරොත්තු” ලැයිස්තුවේ වාරය එනතෙක් බලා සිටීමෙන් තම අරමුණු පමා වන බැවින් අඩු වියදමින් එම සැත්කම් කරන සහෝදරියන් දෙදෙනෙකු එක්ව පවත්වාගෙන යන සායනයකට ඇය ගියාය. ඔවුන් අඩු පුහුණුව ඇති අය බැවින් සැත්කම වැරැදී මෙම නාඹර වියේ තරුණිය මෙලොවින් තුරන් වූවාය. ශල්‍ය කර්මය සිදුකළ ස්ත්‍රීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දැන් නඩු පවරනු ලැබ ඇත. 


ලස්සන බිරිඳ ආඩම්බරයක් වී පවුලට සිරියාව ගෙනදෙන බව සැමියන් සලකන නිසාත්, තරුණයන්ගේ වසඟයට පත්වීම සඳහාත් කැපීපෙනෙන හැඩයකින් යුක්තවීම තරුණියනට අවශ්‍ය නිසාත්, රූපලාවනණ්‍යය කලාව අද ජනප්‍රිය මෙන්ම අපමණ ඉල්ලුමක් සහිත මාතෘකාවක් බවට ද වර්ධනය වී තිබේ. 


ළැම හා නිතඹ ස්වභාවයෙන් මහත් වී ඉලිප්පී නොතිබුණාට තරුණියන් තැවුල් විය යුතු නැත්තේ කෘත්‍රීම ක්‍රමවලින් හා සැත්කම් මගින් තමන්ට අවැසි පමණට ඒවා හැඩගන්වා ගතහැකි නවීන ක්‍රම තිබෙන නිසා යෑයි වෛද්‍යවරු පවසති. නමුත් අවසානයේ කායිකව සිදුවන දෑ විඳදරා යුත්තේ ඔවුහුමය. 

 


විකිපීඩියා සහ ඉන්දීය පුවත්පත් සේවා ඇසුරෙනි. 


සටහන  තිළිණි ද සිල්වා 


හතළිහේ කෙනා විස්ස කරන්න බෑ. ඒත් අවුරුදු පහකින් තරුණ කරන්න පුළුවන්  

 

ලස්සන වෙන්න එන ගැහැනුන් ගැන රූපලාවන්‍ය ශිල්පිනියන් 
කියන කතා  

 

 

සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින  
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන  
දිසි රණ ලියෙව් රූසිරි යුත් මෙපුර ඟන  
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙව ඟන  


(සැළලිහිණිය)  


පංච කල්‍යාණයෙන් යුක්ත වූ සුන්දර කාන්තාවෝ ස්වභාව සෞන්දර්යයේ සොඳුරු නිමැවුම්වලට උපමා කර ලියවුණු පද රචනා නම් බොහෝය. සීගිරි බිතුසිතුවම්වල කාන්තා රූප පිළිබඳ වර්ණනයන් සැළලිහිණි සංදේශ කතුවරයා සුන්දර කාන්තාවන් පිළිබඳ කර ඇති මෙම වර්ණනයන් ඊට උදාහරණ වේ. අතීතයේ සිටම කාන්තාවෝ සිය රූපය සුන්දර කර ගැනීමට විවිධ දේ භාවිතා කළහ. සුදු හඳුන්, කහ, කොකුම්පොතු, මීපැණි, දෙහියුෂ, වෙනිවැල්ගැට ඊට භාවිත කළ අමුද්‍රව්‍ය කිහිපයකි.  


තාක්ෂණය දියුණුවන්න දියුණුවන්නට අතින් කඩා ගලෙන් අඹරා ආලේපනය කර සෝදාහැරි රූපලාවණ්‍ය ද්‍රව්‍ය කල්තබාගත හැකි අයුරින් කෘත්‍රිමව නිර්මාණය කර භාවිතයට ගැනීමට සමාජය පුරුදුවුණි.  


ඉන් නොනැවතුණු රූපලාවණ්‍ය ශිල්පීහු පෙති එන්නත් හා ශල්‍යකර්ම මගින් රුව රැකදීමේ කර්තව්‍යය ව්‍යාපාරිකව කරගෙන යති.  


ස්වභාවිකව ශරීර වර්ණය හා පෙනීම බොහෝ විකෘති වී ඇතිනම් ප්ලාස්ටික් ශල්‍යකර්ම තුළින් ද යළි සකස් කිරීම ඒ සම්බන්ධ වෛද්‍යවරුන් අතින් සිදුවේ.  


අද වන්නේ බොහෝදෙනා සිය පිහිටි සිරුර ඉක්මනින් වෙනස් කරගැනීමටත්, විශේෂයෙන් සුදුවීමටත්, වයසට යාම නොපෙන්වීම සඳහාත් විවිධ ශල්‍යකර්ම කරගැනීමට ගොස් විවිධ අකරතැබ්බවලට ලක්වීමය.  


ඇතැම් අය ඉක්මනට ලස්සන වීමට සැත්කම් කරගෙන සමාජය ඉදිරියේ කෙටි කාලයක් සුන්දර ලෙස බැබලී කාලයකට පසුව හිටියාටත් වඩා අසුන්දර බවට පත් වූ අවස්ථා නම් එමටය.  


ලංකාව වැනි රටක දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂාවීම සඳහා ස්වභාවයෙන්ම නිපදවෙන මෙලනින් නිෂ්පාදනය අක්‍රිය කර ඉක්මනින්ම සුදුවීමට ගොස් දිගුකාලීන වශයෙන් බොහෝ අතුරු ආබාධවලට පත්වීමේ ප්‍රවණතාව ඇති කාන්තා පිරිස වැඩි බව සමාජ ගවේෂණයේ දී හෙළිදරව්​ වේ.  
තමන්ගේ සත්‍ය වයස සඟවා ඉක්මනින්ම තරුණ බවට පත්වීමත් සමහර දෙනාගේ අපේක්ෂාවන්ය. මේ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියන්ගේ සහාය පතන අය ද අපමණවත් සිටිති. මේ සටහන ලස්සන වෙන්න එන කාන්තාවන් රූපලාවණ්‍ය ශිල්පිනියන්ට කියන කතා පිළිබඳවය.  


ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී බර්නි බාලසූරිය පුරා වසර 22ක් තිස්සේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන ඇයගේ අදහස් මෙසේය.  


රූපලාවණ්‍ය පිළිබඳ අත්දැකීම් රැසක් මට තියෙනවා. ඒ ගැන නිසි අධ්‍යාපනය ලබලා ස්වයං රැකියාවක් විදියටයි රූපලාවණ්‍ය කරන්නේ. මේ තුළින් මම ගොඩක් මුදල් ඉපයුවේ නැහැ. මම කරන්න පුළුවන් සීමාවේ ඉඳගෙන රූපලාවණ්‍ය කටයුතු කරගෙන යනවා.  


රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අප ළඟට සේවාවන් ලබාගැනීමට එන්නේ ගොඩක් මිල මුදල් තියන අය. සාමාන්‍ය ගෘහණියන් ගෙදර ඉඳලා ඒ කටයුතු කරගන්නවා. ඒත් මහත්තුරු සල්ලි දීලා එයාලගෙ වුවමනාවට එවන අයත් ඒ අතර ඉන්නවා.  


සමහර ධනපති පන්තියේ අය අද අධිතාක්ෂණික දේවල් හොයා යනවා. එදා අද කොලිවුඩ්වල නිළියන් භාවිත කරපු දියුණු තාක්ෂණික ක්‍රම ලංකාවටත් ඇවිත් තියනවා. මිල මුදල් අධික අය වයස අඩුකර පෙන්වීම සඳහා ඒ ක්‍රමවලට යන්නේ. ඒ ඉක්මනටම ලස්සනවීමත්, වයස අඩුවෙන් පෙනීමත් යන සාධක දෙක ඉෂ්ට කරගන්න.

  
එ්ත් මම ඒක පිළිගන් නැහැ. අපිට උත්පත්තියෙන් ලැබුණු ලස්සනක් තියනවා. අපි වයසට යන්න යන්න ඒ ශරීර වෙනස්කම් පෙන්නුම් කරනවා. ඒත් ඒක නොපෙන්වා ඉන්න ලොකු ලොකු දේවල් නොකර පිටතින් කරන්න පුළුවන් දේවල් කිරීම තුළින් රූපයත් රැකී බාහිර ආබාධත් වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස එල්ලා වැටෙන හමකට ෆෘට් පැක් එකක් ගාලා ටික වේලාවක් තදවීමට තබා සෝදා හැරියාම එහි ප්‍රාණවත් බවක් ඇතිවෙනවා.  


අපි රූපලාවණ්‍ය තුළින් ඇහිබැමි සකස් කිරීම, අනවශ්‍ය රෝම ඉවත්කිරීම වගේ දේවල් කර මුහුණට එළියක් ලබාදෙනවා. ඉස්සර සීගිරි බිතුසිතුවම් බැලුවත් එහි ඇහිබැමි ක්‍රමානුකූලව නිර්මාණය වී තිබෙනවා. ඒ කාලයෙත් කාන්තාවන් රුව ගැන සැලකිලිමත්වෙලා තියනවා කියන එකයි ඉන් වැටහෙන්නේ.  


හම කළු වුණත් සුදු වුණත් කාන්තාවකගේ මුහුණේ ප්‍රසන්න බව ත්‍රෙඩින්, ෆේෂල්ස්, වැක්ෂින් වගේ දේවලින් ලබාදීමේ හැකියාව අපට තියෙනවා.  


ඒ වගේම සම එල්ලා වැටෙනවා නම් අපිට ඒ සඳහා ෆේස් ලිප්ට් කරන්න පුළුවන්. ඩබල් චින් තියනවා නම් ඒකට අදාළ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ දේවල් කෘත්‍රිම ලෙස නොකර ජෙල් වර්ග ආලේප කර මෘදු ලෙස සම්බාහනය කර ඇස් යට රැලිවීම වළක්වා ගැනීමටත් ෆේෂල් වර්ග ව්‍යායාමවලින් ඇස් යට කළුවීම වළක්වා ගැනීමත් කරන්න පුළුවන්. ඒ වගේම නිදාගන්න ඉස්සරවෙලා ඇස් යට ක්‍රීම් එකක් ගාන්න පුළුවන්. ටිකක් මහත්වීගෙන එනවා නම් ඒවාට පිටතින් මසාජ් ක්‍රම තියනවා. ඒ තුළින් කෙනෙක්ට සුන්දර පෙනුමක් ලබාගන්න පුළුවන්.  


අප ළඟට රූපලාවණ්‍ය ප්‍රතිකාර සොයා එන බොහෝදෙනා අතර අවුරුදු හතළිස් පහට වැඩි අය. එයාලා හැමදාම හොඳින් වැඩකර කර ඉඳලා කාලෙකින් කණ්නාඩියෙන් තමන්ගේ රූපය දිහා බලලා කලබල වෙලා ඒ වියපත් බව නැතිකරගන්නයි දුවගෙන එන්නේ.  


එයාලා ළඟ කිසි ආහාර පාලනයක් තිබිලා නෑ. හොඳ සෞඛ්‍ය පුරුදු නෑ. කකුල් දෙක ස්ක්‍රබ් එකක් කරලා සුද්ධ කරගෙන නෑ. මූණට ක්‍රීම් ටිකක් ගාලා නෑ. තද හිරු රශ්මියේ නිරාවරණය වෙලා ඇවිදිනවා. හොඳ පේෂ්වොෂ් භාවිතා කරලා නෑ. වැඩ කරල නිදිමරලා ඔහේ නින්දට වැටෙනවා. ඒ වගේ දේවල් නිසා ඇස් යට කළුවෙනවා. ඇස් යට රැලිවෙනවා. ඒක දැක්කහම බයවෙලා දුවගෙන එන්නේ.  


මේ දේවල්වලට ප්‍රතිකාර තියනවා. ඒත් හතළිහේ වයසක කෙනාව විස්ස කරන්න බෑ. පහක් විතර අඩුකරලා පෙන්වන්න පුළුවන්. ඒත් ශල්‍යකර්ම වගේ ලොකු ප්‍රතිකාරවලට එන්නේ ඉක්මන් ප්‍රතිඵල ඕන අය. හිමිහිට දිගු ගමනක් එන අයට අපිට හිමිහිට ප්‍රතිකාර කළ හැකියි. එහිදී ඇස් යට රැලි වූ අයට ක්‍රීම් භාවිත කරන්න දෙනවා.  


අන්ඩර් අයි ජෙල් අන්ඩර් අයි ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරනවා. අපි ජොජොබා ඔයිල්වලින් ඇස්යට සියුම්ව මසාජ් කරලා ක්‍රීම් හෝ ජෙල් ගාලා නිදාගන්න උපදෙස් දෙනවා. ඒකෙන් ඇස් යට රැළි වැටීම ටික ටික ඉවත් වෙනවා.  


ඒ වගේම රාත්‍රී කාලයට හොඳ නයිට් ක්‍රීම් එකක් භාවිත කරන්න දෙනවා. හේතුව තද අව්වේ, දූවිල්ලේ දහවල ගත කළාම හමට හොඳ පෝෂණීය සත්කාරයක් අවශ්‍යවීම. ඒ තුළින් හමේ පැහැපත් බව රැක ගන්න පුළුවන්.  


ඊළඟට ඇහිබැම සකස් කිරීම. වයසක අයගෙ හම රැළිවුණාම ඇහිබැම සකස් කිරීම අපහසුයි. ඒත් සමහරු තරුණ කාලේ ටැටූ කරගන්නවා. ඒත් හම එල්ලා හැලෙන නිසා එය හරි විරූපී ගතියක් පෙන්නනවා.  


සමහර අය ඉන්නවා කොණ්ඩේ කපලා, පාට කරලා, ඇහිබැමි හදලා වෙන අය වගේ වෙන්න හදනවා. ඒක නුසුදුසු දෙයක් තමන් තමන් වෙන්න ඕන.  


නිළියක්, නිරූපිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් රූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒත් ඒ රූපලාවණ්‍යයම සාමාන්‍ය කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නෑ. ස්වභාවධර්මයට විරුද්ධ නොවී රූපලාවණ්‍යයේ නිරතවුණොත් යහපත් ප්‍රතිඵල ළඟාකරගන්න පුළුවන්. 

 


කුමාරි හේරත්