ඉන්දියාව අත්පත් කරගත් මූගල් මෙහෙයුම 6


ජහන්ගීර් සහ ෂා ජහාන්ගේ මූගල් අධිරාජ්‍යය

අක්බර්ගේ මරණයෙන් පසු නූර් උද්දීන් මහමුද් ජහන්ගීර් පද්ෂා ඝාෂි නමින් රජ වූ සලීම් කුමරු හිතුවක්කාරයකු වුවද අදක්ෂයකු නොවීය. ඔහුට අති දක්ෂ අමාත්‍ය මණ්ඩලයක් විය. රාජ්‍ය පාලනයට එතරම් උනන්දු නොවූ ඔහු රාජ්‍ය පාලන වගකීම් ඇමති මණ්ඩලයට පවරා කෙළිදෙළෙන් කාලය ගෙවීය. ඔහු සරණ පාවා ගත්තේ එක් මෙහෙසියක පමණි. එහෙත් සිය ගණනින් වූ අන්තඃපුර ස්ත්‍රීන්ගේ ඇසුරද ප්‍රිය කළේය. ඔහුද දිග්විජය කිරීමේ ආසාවෙන් පෙළුණේය.

ජහන්ගීර්ගේ රාජ්‍ය පාලනය අක්බාර්ගේ රාජ්‍ය පාලනයට සමාන විය. ඔහු උතුරු ඉන්දියාව මෙන්ම, දකුණු ඉන්දියාව වෙතද තම අවධානය යොමු කළේය. ඔහුට මේවාරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට අවශ්‍ය විය. ක්‍රි. ව. 1597දී ප්‍රතාප් සිංගේ ඇවෑමෙන් මේවාරයේ පාලකයා වූයේ රාණා අමර් සිංය. රාජ්‍යත්වයට පත් පළමු වසරේදීම ජහාන්ගීර් මේවාරය ආක්‍රමණය කිරීම සඳහා සිය මද්දුම පුත්‍රයා වූ පර්වේස්ගේ නායකත්වය යටතේ 20,000 හමුදාවක් එහි යැවීය. එහෙත් ඔහුට මේවාරය අත්පත් කරගත නොහැකි විය.


ක්‍රි. ව. 1613දී ජහන්ගීර් සිය තුන් වැනි පුත්‍රයා වූ බුරාම් කුමරු සේනාධිපති ධුරයට පත් කළේය.  ඔහුගේ නායකත්වයෙන් යළි මේවාරය ආක්‍රමණය කිරීමට ජහන්ගීර් පියවර ගත්තේය. ගම් නියම්ගම් ගිනිබත්කොට සියලු දේ කොල්ලකා රාජ්පුත්වරුන් කුසගින්නේ තබා  ඔවුන්ගේ බළකොටු අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ආහාර හිඟවීම හා විවිධ රෝග පැතිර යෑම නිසා තම ශක්තිය හීන වූ මේවාරයේ පාලක රාණා අමර් සිං අවසානයේ ජහන්ගීර්ට යටත් විය.


ජහන්ගීර්ගේ ඉදිරි අරමුණ වූයේ කංග්‍රා ප්‍රදේශය තම රාජ්‍යයට ඈඳා ගැනීමය. කංග්‍රාවේ ගිරි බළකොටුව පිහිටා තිබුණේ රවි සහ සට්ලෙජ් ගංගා දෙක අතර කඳුකරයේය. ක්‍රි. ව. 1620දී මුර අට්ටාල 23කින් සමන්විත එම බළකොටුව යටත් කර ගැනීමට ජහන්ගීර්ගේ හමුදාපතිවරයකු වූ රායි රායන් වික්‍රමාජිත් සමත් විය.


මේ කාලයේ පර්සියාවේ පාලකයා වූයේ ෂා අබ්බාස්ය.  ඇෆ්ඝනිස්තානයේ කන්දහාරය ඉතා වැදගත් නගරයක් වූයේ එය වෙළහෙළඳාමට හා යුද්ධෝපාය අතින් ඉතා වැදගත් වූ බැවිනි. අක්බාර් විසින් කන්දහාරය අත්පත් කර ගෙන තම රාජ්‍යයට ඈඳා ගැනීම හේතුවෙන් පර්සියානුවන් සිටියේ දැඩි කනස්සල්ලකිනි. ක්‍රි. ව. 1606දී පර්සියානුවෝ කන්දහාරය යළි අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වුවද එය අසාර්ථක විය. යුද්ධයෙන් අත්පත් කර ගත නොහැකි වූ කන්දහාරය උපාය මාර්ගයෙන් අත්පත් කර ගැනීමට ඔවුහු තීරණය කළහ. වරින් වර සාම තානාපතිවරුන් එවමින් ජහන්ගීර්ගේ හොඳහිත දිනා ගැනීමට ඔවුහු සමත් වූහ. පර්සියානුවන් කෙරෙහි විශ්වාසය තැබූ ජහන්ගීර් කන්දහාරයේ ආරක්ෂාව අවම කළේය. 


ක්‍රි. ව.  1622දී ෂා අබ්බාස් කන්දහාරය වැටලුවේය. දින 45ක සටනකින් පසු කන්දහාරය අත්පත් කර ගැනීමට ඔහුට හැකි විය. ජහාන්ගීර් යළි එය අත්පත් කර ගැනීම සඳහා යුද වැදීමට තීන්දු කළේය. ෂා අබ්බාස් සමග සටන් වැදීමට නියමිත සේනාවේ නායකත්වයට පත් කෙරුණේ ජහාන්ගීර්ගේ බාල පුත්‍රයා වූ කුරම් කුමරුය. එහෙත් තම අනාගත රාජ්‍යත්වයට එය බාධාවක් විය හැකි යැයි සිතූ කුරම් යුදයට යෑම ප්‍රතික්ෂේප කළේය.
මෙසමයේ ජහන්ගීර් මාළිගයේ බලසම්පන්නම තැනැත්තිය වූයේ ක්‍රි. ව. 1611දී ඔහුගේ මෙහෙසිය බවට පත් නූර් ජහාන්ය. ඇය පර්සියානු සම්භවයක් සහිත කාන්තාවක වූ අතර  ඇගේ පියා අක්බාර් යටතේ සේවය කළේය. ඉතා රූමත් කාන්තාවක වූ නූර් ජහාන්ට දේශපාලනය පිළිබඳ මනා දැනුමක්ද විය.


ජහාන්ගීර්ගෙන් පසු රාජ්‍ය පාලනය ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වූ බුස්රු කුමරුට හිමි වනු ඇතැයි සියල්ලන්ගේ විශ්වාසය විය. එහෙත් ක්‍රි. ව. 1622දී බුස්රු ඝාතනය කෙරිණි. එයට ඔහුගේ බාල සොහොයුරු කුරම්ගේ සම්බන්ධයක් පැවැති බවට අනාවරණ විය. මේ වන විට ජහාන්ගීර් රෝගාතුරව සිටියේය. කුරම් හා ජහාන්ගීර් අතරත්, නූර් ජහාන් අතරත් යහපත් සබඳතාවක් නොවීය. තමා කන්දහාරයේ සටනට ගියහොත් නූර් ජහාන් ඇයට හිතවත් ඔහුගේ බාල සොහොයුරු ෂරියාර් කුමරුට රජකම පවරනු ඇතැයි කුරම් බිය විය. ඔහු කන්දහාරයේ සටනට යෑම ප්‍රතික්ෂේප කරන ලද්දේ එහෙයිනි. ඔහු පියාට එරෙහිව කැරැලි ගැසීය. 


කන්දහාරය අත්පත් කර ගැනීම සඳහා වන සටනට නායකත්වය දීම ෂරියාර්ට පැවරිණි. එහෙත් කුරම්ගේ කැරැල්ල හේතුවෙන් හරි හැටි සේනා සංවිධානය කර ගැනීමට ඔහුට නොහැකි විය. පර්වේස් කුමරු කුරම් පරාජය කළ අතර ඔහු ඩෙකානයටත් එතැනින් ඔරිස්සාවටත් පලා ගියේය. ක්‍රි. ව. 1626දී පර්වේස් මිය ගියේය. ඉන් වසරකට පසු ලාහෝරයේදී ජහන්ගීර්ද මිය ගියේය. ඒ වන විට ඔහු වසර 22ක් මූගල් රාජ්‍යය පාලනය කොට තිබිණි. එතෙක් සැඟ වී සිටි කුරම් මූගල් සිහසුන අත්පත් කර ගැනීම සඳහා අග්‍රාවට පැමිණියේය. ඔහු තම ඥාති සොහොයුරන් ඇතුළු සියලු පුරුෂයන් ඝාතනය කළේය. ෂාරියාර් හා නුර් ජහාන් සිරභාරයට ගැනිණි.  ක්‍රි. ව.1628 පෙබරවාරියේදී අග්‍රාවට පැමිණි කුරාම්, ෂා ජහාන් නමින් මූගල් සිහසුනට පත් විය. රාජ්‍යත්වයට පත් වන විට ඔහු තිස් හය වැනි වියේ පසුවිය.


ෂා ජහාන්


ෂා ජහාන් නොහොත් කුරම් ළමා වියේ සිටම රාජ්‍ය පාලනය කෙරෙහි උනන්දුවක් දැක්වූවෙකි.  රාජ්‍යත්වයට පත් වූ විගස තමන්ට බාධකයක් විය හැකි යැයි සිතූ සියල්ලන් විනාශ කර දැමීමට හේ පසුබට නොවීය. සිය වගකීම් නොපිරිහෙළා ඉටු කළ ඔහු සේනා මෙහෙයවීමේදී අසාහය දක්ෂතාවක් ප්‍රකට කළේය.  15 වැනි වියේදී 13,000ක සේනාවකට නායකත්වය දුන් ඔහු, ඉන් වසර පහකට පසු 50,000ක සේනාවක් මෙහෙය වන්නට සමත් විය. තම පියා සමඟ අර්බුදයක් ඇති කර ගැනීමට පෙර ඔහු සටන් පෙරමුණු රැසකට නායකත්වය දී තිබිණි. ඔහුට රාජ්පුත්වරුන්ගේ සහය දිනා ගැනීමට හැකි විය. නූර් ජහාන්ගේ සොහොයුරා වූ අසාෆ් ඔහුගේ මාමා වූ අතර දක්ෂ රාජ්‍ය නිලධාරියකු වූ ඔහුගේ සහය නිරතුරු හිමි වූයේ ෂා ජහාන්ටය. මහබත් කාන් වැනි රණශූරයෝ ද ඔහුට සහය පළ කළහ. ෂා ජහාන් උපතින් ගෙන එන ලද දක්ෂතා ඇත්තෙකි. ඔහු නිර්භීතය. සිය පාලන සමයේ තමාට එරෙහි කැරලි කිහිපයකටම මුහුණ පෑමට ෂා ජහාන්ට සිදු විය.


ඉන් එක් කැරැල්ලක් වූයේ බුන්දෙල් රාජ්‍ය පාලක පුජ්හාර් සිංගේ කැරැල්ලයි. එයට මුහුණ දීම සඳහා සා ජහාන් හමුදා තුනක් තුන් පසෙකින් යැවීය. පරාජය වූ පුජ්හාර් සිං ඩෙකානයට පලා ගියේය. පස් වසරකට පසු ඔහු යළි කැරැල්ලක් මෙහෙය වූ අතර ඉන් පරාජය වූ පුජ්හාර් මරණයට පත් විය. ක්‍රි. ව. 1628දී ඩෙකානයේ මූගල් සේනා භාරව සිටි ඇෆ්ඝන් ජාතිකයකු වූ ජහාන් ලෝදි තවත් කැරැල්ලක් මෙහෙය වීය. එය මැඬපවත්වන ලද අතර ලෝදි දව්ලතාබාදයට පලා ගියේය. පසුව ඔහු මරණයට පත් විය.


ක්‍රි. ව. 1630දී ඩෙකානයේ හා ගුජරාටයේ දරුණු සාගතයක් පැතිර ගියේය. වසංගත රෝග බහුල වූ අතර කැරලි කෝලාහලද පැවතිණි. ෂා ජහාන් මෙසමයේ වාසය කළේ ඩෙකානයේය. ඔහුගේ මෙහෙසියක වූ මුම්තාස් මහල් දෙවියගේ මරණය සිදු වූයේද මේ කාලයේය. ඇය ඔහුගේ ප්‍රේමණීය බිසව වශයෙන් පුරා 19 වසරක් ජීවත් වූවාය.  ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සදාකාලික වූවක් විය. පර්සියානු සම්භවයක් සහිත ඇය අබුල් හසන් අසාෆ් කාන්ගේ දියණිය වූ අතර දරුවන් 14 දෙනකුගේ මවක ද වූවාය. ඇයගේ මුල් නම අර්ජුමාන්ද් බානු බේගම්ය. 


ක්‍රි. ව. 1593දී උපත ලද ඇය ක්‍රි. ව. 1607දී කුරාම් නොහොත් ෂා ජහාන් සමඟ විවාහ ගිවිස ගන්නා ලද අතර, ක්‍රි. ව. 1612දී විවාහ වන විට 19 හැවිරිදි විය. ඇය හා විවාහ ගිවිස ගෙන සිටි සමයේ ෂා ජහාන් කන්දහාරි බේගම් නම් තවත් කුමරියක හා විවාහ විය. එහෙයින් අර්ජුමාන්ද් බානු බේගම් නොහොත් මුම්ටාස් මහල් ඔහුගේ දෙවැනි බිසව විය. ඔහුගේ තෙවැනි බිසව වූයේ අක්බරාබාදි මහල් දේවියයි. මෙම බිසවුන් තිදෙනා අතුරින් ෂා ජහාන්ගේ ප්‍රේමය උපරිමයෙන්ම හිමි කර ගන්නා ලද්දේ මුම්ටාස් මහල්ය. රූමතියක වූ ඇගේ රුව කවියන්ගේ වර්ණනාවට බඳුන් විය. ෂා ජහාන් සටන් බිමට ගිය සැම අවස්ථාවකම ඇය ඔහු සමඟ වූවාය. 


ක්‍රි. ව. 1628දී ෂා ජහාන් රාජ්‍යත්වයට පත් වූ විගස මුම්ටාස් මහල් තම අග රැජනිය ලෙස නම් කිරීමට ඔහු ක්‍රියා කළේය. එහෙත් ඇයට අග බිසව වශයෙන් කටයුතු කිරීමට අවකාශ සැලසුණේ තුන් වසරක් පමණි.  ඔහු ඇයට අග්‍රා බළකොටුවේ විශේෂ ස්ථානයක් නිර්මාණය කළේය. එය නම් කළේ ‘කහස් මහල්’ නමිනි. තනි රනින් හා අගනා මාණික්‍යවලින් අලංකෘත වූ එම මාලිගය වටා රෝස වතුරින් පිරුණු තටාග විය. එය ඔවුන්ගේ ආදර කැදැල්ල විය.  


මූගල් රාජ්‍යයේ සෑම බිසවකටම විශේෂ මාසික දීමනාවක් හිමි විය.  කිසිදු මූගල් අධිරාජ්‍යයකු තම බිසවකට නුදුන් දීමනාවක් ෂා ජහාන් මුම්ටාස් මහල් දේවියට ලබා දිණි. ඔහු වසරකට ඇයට ලබා දුන් දීමනාවේ එවක අගය ඉන්දියානු රුපියල් දස ලක්ෂයකට සමාන විය.  පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික කරුණු පිළිබඳවද ඇයගෙන් අදහස් විමසීමට ඔහු ක්‍රියා කළේය. ඇය ඔහුගේ සමීපතම හා විශ්වාසවන්තම උපදේශිකාව වූවාය. ඇයගේ උපදෙස් අනුව මරණ දඬුවම ඉවත් කළ ඔහු සතුරන්ට සමාව දීමට පෙළඹිණි. රාජ්‍යත්වයට පත්වීමේ කිසිදු ආසාවක් නොතිබි ඇයට අවශ්‍ය වූයේ ෂා ජහාන් සමීපයේ සිටීම පමණකි. අලි ඇතුන්  හා රාජ සභාවේ පැවැති මල්ලව පොර නැරඹීම ඇගේ විනෝදාංශ විය. කවියන්, පඬිවරුන් හා කලාකරුවන් ඇසුරු කිරීමට රුචි වූවාය. සංස්කෘත කවියකු වූ වන්සිදාර මිශ්‍රා ඇගේ ප්‍රියතම කවියා විය. දිළිඳු පඬිවරුනට, දේවගැතියන්ට සහ බැතිමත් ආගමිකයන්ට විශ්‍රම වැටුපක් හා ඔවුන්ගේ දියණිවරුනට දීමනා ලබා දීමට ඇය කටයුතු කළාය. ඇතැම් සැඳෑවන්හි අග්‍රාවේ ෂාරාබාග් නමින් හැඳින්වුණු නදී තෙර උද්‍යානයක හුදෙකලාවේ කාලය ගෙවන්නට ඇය ප්‍රිය කළාය.


ක්‍රි. ව. 1631 ජූනි 17 වැනි දින බුර්හාන්පූරයේදී මුම්තාස් මහල් දේවිය මිය ගියේ තම 14 වැනි දරුවාට උපත ලබා දෙමිනි. බුර්හාන්පූරයේ තප්ති නදී තීරයේ ඇගේ සිරුර තාවකාලිකව මිහිදන් කෙරිණි. 

 

මුම්තාස්මහල් දේවිය මිය යන විට ඈ සතුව විශාල ධනයක් විය. එය ඉන්දියානු රුපියල් මිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ. ෂා ජහාන් එම ධනයෙන් අඩක් තම වැඩිමහලු දියණිය වූ ජහනරා බේගම්ටද ඉතිරිය අනෙක් දරුවන් අතරද බෙදා දුනි. තම ආදරණීය දේවියගේ දේහය බුරහාන්පූර්හි තැන්පත් කිරීමට ෂා ජහාන් අකමැති විය. ක්‍රි. ව. 1631දී දෙසැම්බර්යේ යළි ගොඩගන්නා ලද ඇගේ සිරුර රන් කරඬුවක බහා අග්‍රාවට ගෙන එන ලදී. එය යමුනා නදිය අසල කුඩා ගොඩනැඟිල්ලක තැන්පත් කෙරිණි. ෂා ජහාන් තවදුරටත් බුර්හාන්පූරයේ රැඳී සිටියේ හමුදා මෙහෙයුමක නිරතව සිටි හෙයිනි. තම බිරියගේ දේහය තැන්පත් කිරීම සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් තැනීම ඔහුගේ අරමුණ විය. ටජ්මහල් මන්දිරය ඉදිවූයේ ඔහුගේ සිහිනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය ඉදිකිරීම සඳහා ඔහුට වසර 22ක් ගත විය. මුම්ටාස් මහල් දේවියගේ හා ෂා ජහාන්ගේ ප්‍රේමයේ සංකේතය බඳු ටජ්මහල සදාකාලික සිහිවටනයකි.


ක්‍රි. ව. 1657දී ෂා ජහාන් රෝගාතුර විය. ඔහුට පුතුන් සිව් දෙනකු සිටි අතර ඔවුන්ගෙන් කිසිවකු ඒ වන තෙක් සිහසුනට නම් කර නොතිබිණි. ෂා ජහාන්ගේ අරමුණ වූයේ තම වැඩිමහලු පුත්‍රයා වූ දාරා කුමරුට රාජ්‍ය පැවරීමය. එහෙත් රජුගේ තෙවැනි පුත්‍රයා වූ ඖරංසෙබ් කුමරු ඔහුට තර්ජනයක් විය. දරුවන් අතර සිහසුන වෙනුවෙන් අරගල ඇති විය. රෝගී ෂා ජහාන්ට මෙම අරගලවලට මැදිහත් වන්නට සිදු වූ අතර ක්‍රි.ව. 1658දී ඔහු ඖරංසෙබ්ගේ සිරකරුවකු බවට පත් විය. පුරා අට වසරක් තම පුත්‍රයාගේ සිරකරුවකු ලෙස දිවි ගෙවූ ෂා ජහාන් ක්‍රි.ව. 1666දී මරණයට පත් විය. 


ෂා ජහන්ගේ පාලන සමය මූගල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙයි. ඔහුගේ පාලන කාලයේ මූගල් අධිරාජ්‍යය ඉතා සශ්‍රික විය. කලා නිර්මාණවලට විශේෂ ස්ථානයක් හිමි විය. රාජ්‍යය සමෘද්ධිමත් විය. ඔහු විසින් ඉදිකරන ලද ටජ් මහල, මුතු පල්ලිය, අලි මස්ජිදය වැනි කිරිගරුඬයෙන් අලංකෘත ගොඩනැඟිලි මූගල් රාජ්‍යයේ එදා පැවැති ශ්‍රී විභූතිය ප්‍රකට කරමින් තවමත් විරාජමාන වෙයි.

 

 

 

 

 

 


මතු සම්බන්ධයි

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා