ඉන්දියානු වෙරළට වැටුණු වලාකුළු


 

ඉන්දියාවේ චෙන්නායි හි මරීනා වෙරළ මේ දිනවල අමුතු කිරි සයුරක් වී තිබේ. රැල්ලත් සමඟ වෙරළට පැමිණෙන සුදු පැහැ පෙන, අහසින් කඩා වැටුණු වලාකුළු මෙනි. මේ අරුමය දකින කුඩා දරුවෝ වෙරළට පැන පෙණ තළා මත දුව පැන ඇවිදිමින් විනෝද වෙති. එහෙත් මේ පෙන වනාහි යහපතක් නිසා මතුවූවක් නම් නොවේ. හැම මෝසම් වැසි කාලයකම මරීනා වෙරළ මෙසේ පෙණවලින් වැසෙන නමුදු මෙවර තත්ත්වය වඩාත් උග්‍රවී ඇතැයි වාර්තා වේ.   


හානිය කෙසේ වෙතත්, මේ වෙරළේ තිබෙන පෙණ කැටි හැදී තිබෙන්නේ පසුගිය වකවානුවේ දිගටම ඇදහැලුණු වැසි සහ උග්‍ර සාගර දූෂණය නිසා යැයි කියැවේ. ළමයින් හා තරුණ පිරිස් පෙණ වලාකුළුවල දැවටෙමින් විනෝද වුවත්, ඒවායින් ඇසිඩ් ගන්ධයක් නික්මෙන බවත්, මෙම පෙණ වලාව පැමිණි පසු ධීවරයන්ට මුහුදු යාම තහනම් කර තිබෙන බවත් වාර්තා වේ. විස පෙණ වලා හේතුවෙන් සමේ ආසාදන ඇතිවිය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත.   


එහෙත් චෙන්නායි හි පිහිටි අතිශය ජනාකීර්ණ වෙරළට විනෝද වෙන්නට පැමිණෙන පවුල්වල ඇත්තන්ට එම අනතුරු ඇඟවීම් වාර්තා වී නැතැයි කියැවේ. මෙය ඉන්දියාවේ තිබෙන දිගම නාගරික වෙරළයි. වෙරළ ඔස්සේ කිලෝමීටර් කිහිපයක් දුරට පැතිරී තිබෙන පෙණ වලාවල සාම්පල තමිල්නාඩුවේ තිබෙන දූෂණ පාලන මණ්ඩලයට යවා ඇත්තේ මේ පෙණ වර්ගය කුමක්දැයි හරියටම දැන ගැනීම පිණිසය. තමිල්නාඩුවේ වෙරළ පර්​ෙ‌ය්ෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු වන ප්‍රවාකර් මිශ්‍රා කියා සිටියේ මෑත වසරවල සිට මෙසේ පෙණ හටගැනීම වැඩි වී තිබෙන බවයි. 

 
2017 වසරේ දී මෙවැනිම සිද්ධියක් නිසා මසුන් දහස් ගණනින් මිය ගිය අතර රට පුරා වෙරළ දූෂණය වී තිබිණ. එක් ධීවරයෙක් පවසා තිබුණේ මෙම සිදුවීම නිසා තමා විසින් අල්ලන ලද මසුන් ස්වල්පයවත් කිසිවෙකු මිල දී නොගත් බවයි. චෙන්නායි නගරවාසීන්ගේ ජීවිතවල කේන්ද්‍රස්ථානයක්ව පැවති මරීනා වෙරළට පෙණ රැළි පාව ඒමට හේතුව නම් පිරිසුදු නොකළ මළ අපද්‍රව්‍ය හා පොස්පේට් මුහුදට ගසා ගෙන ඒම බව විශේෂඥයන්ගේ අදහසයි. රෙදි සෝදන කුඩු හෙවත් ඩිටර්ජන්ට් වර්ග වෙනත් අපද්‍රව්‍ය හා මුසු වීම මෙසේ පෙණ ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව බව මිශ්‍රා මහතා පවසයි. 

 
චෙන්නායි සහ අනෙකුත් විශාල නගරවලින් ඉවත ලන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් පිරිසුදු කෙරෙන්නේ සියයට 40ක් පමණක් බව එක් පර්​ෙ‌ය්ෂකයෙක් පැවසීය. ඉතිරි සියල්ල මුහුදට බැහැර වෙන බවත්, මෙසේ පෙණ සෑදෙන්නේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දිල්ලියේ දූෂිත වායුව මැනීමට ක්‍රමවේදයක් තිබෙනවා මෙන් ඉන්දීය සාගරයේ ද දූෂණ මට්ටම මැනීමට ක්‍රමවේදයක් ඔවුහු සකසාගෙන සිටිති.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා