ඉතිහාසයේ රහස සැඟවුණු මීගමුවේ කාමච්චෝඩය


මීගමුවේ මහවීදිය පල්ලිය ඉදිරිපිටින් දිවෙන විස්ත්‍රීනි පටුමග දිගේ ගමන් කළ විට හමුවන කාමච්චෝඩයේ විවිධ වෙළෙඳසල් සහ කුඩා නිවෙස්වලින් පිරි කුඩා පෙදෙසක් ඇත.
මෙම මීගමු කාමච්චෝඩ​ෙයහි පැරණි නුග ගසක් ඇත. මෙම නුගගස අබියස ඉතාමත් ඈත අතීතයේ සිට එක් එක් මිනිස්සු කාමච්චි නම් දේවතාවියක වෙනුවෙන් පුද පූජා පැවැත්වූහ. පසු කාලයක මෙම නුග ගස ආශ්‍රිතව දේවාලයක් ඉදිවිය. වසර තුන්සියයකටත් ඈත කාලයක සිට මිනිසුන් මෙම නුග ගහයට අධිගෘහිත දේවතාවියට පුද පූජා පවත්වා ඇත.


බොහෝදෙනා පවසන්නේ මෙම කාමච්චෝඩ​ෙයහි පැවැත්වෙන පුද පූජා රාම රාවණා යුගය තෙක් ඈතට දිවයන බවය.
රාවණ රජු දවස මීගමුව හඳුන්වා ඇත්තේ නිගුච් භීල යනුවෙනි. එහි අරුත පිරිසිදු ජලාශය යන්නය.


මීගමුව හැඳින්වීම සඳහා ද්‍රවිඩ භාෂාවෙහි භාවිත කරනු ලබන නිර් කොලම්බු යන වචනයේ අරුත ද පිරිසිදු ජලය යන්නය.


ජනප්‍රවාදවල දැක්වෙන ලෙස ඉතාමත් ඈත අතීතයේ මෙම ස්ථානයේ මිනිස් බිලි පූජා පවත්වා ඇත. එම දේවාලයහි බිලි පූජා කිරීමට ප්‍රථම, මෙම දේවාලය අසල තිබූ පිරිසිදු ජලාශයකින් එම මිනිස් බිල්ල සෝදා නහවා පවිත්‍ර කරගෙන ඇත.


මීගමුව අවට පුරාවෘත්ත පිළිබඳ පර්​ෙ‌ය්ෂකයකු වන නන්දන පෙරේරා පවසන්නේ, රාමායනයෙහි සඳහන් නිගුම් භීල පිහිටා තිබෙන්නට ඇත්තේ මීගමුවේ කාමච්චෝඩ​ෙයහි බවය.


රාචායනම් ආදී කාව්‍යම් යනුවෙන් කියැවෙන පරිදි වාල්මිකී පඬිවරයා විසින් රචිත රාමායනය, පැරණිම කාව්‍ය ග්‍රන්ථය වශයෙන් සලකනු ලැබේ.
එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ රාවණ රජු දඬුමොනරය යනුවෙන් හැඳින්වුණ ගුවන්යානයෙන් දඹදිව දණ්ඩක වනයට ගොස්, එහි සිටි රාම කුමරුගේ බිසව වූ සීතාව පැහැරගෙන ආ බව සඳහන් වෙයි.


තම සහෝදරිය වූ සුෂ්පනඛා කුමරියට අතවරයක් කරන්නට තැත්කිරීමේ වරදට දඬුවමක් වශයෙන් රාවණා රජු සීතා කුමරිය දඹදිව සිට ගුවනින් මෙරටට ගෙනවුත් රඳවා තබන ලද බව සඳහන් වෙයි.


රාජාවලියෙහි දැක්වෙන ලෙස රාවණ රජු ජීවත්ව ඇත්තේ ක්‍රි.පූ. 19 වන සියවසෙහිය. ඒ බුදුන්වහන්සේගේ කාලයටත් පෙරය.
බුදුන් වහන්සේ දේශනා කරන ලද කාෂ්ඨ වාහන කතාවෙන්ද දැක්වෙන්නේ එක්තරා කාලයක බුද්ධිමතෙක් ලීයෙන් කළ වාහනයකින් අහසින් ගිය බවය.
ඒ ඉතා ඈත කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයේය.


රාම - රාවණා කතාව ප්‍රබන්ධයකැයි සමහරුන් මත පළකළත්, රාවණා රජු විසින් ලියන ලදැයි සැලකෙන ශීවතාණ්ඩ ස්තෝත්‍රය සහ අර්ක ප්‍රකාශ, නාඩි තන්ත්‍ර, උඩ්ඩිසතන්ත්‍ර ආදී වෛද්‍ය ග්‍රන්ථ අදටත් දක්නට ඇත.


ශිශුපාලමධ මහා කාව්‍යයහි සඳහන් පරිදි, රාවණාවන් ක්‍රි.පූ. 500 දී රුහුණේ විසූ බලවතෙකු වූ හිරණ්‍යකශිපු රජුගේ පරම්පරාවෙන් පැවත එන්නෙකි.
පොළොන්නරුවේ පුලස්ති ඉසිවරයාගේ දෙටු පුතණුවෝ රාවණාවන්ය. රාවණාගේ දේවිය චන්දෝදරීය. පුත්‍රයා ඉන්ද්‍රජිත්ය. සහෝදරයා විභීෂණය. සහෝදරිය සුප්පනඛාය. රාවණගේ මාලිගා රුහුණේ තැනින් තැන තිබුණි.


නුවරඑළියේ, රාවණාඑළිය, සීතා ඇල්ල ආදී ස්ථාන මෙන්ම, රාවණගල - රාවණහෙල, සීතාවක, සීතා එළිය ආදී තැන්ද, උඩුරාවණ, යටි රාවණා රාවණ කෝට්ටේ වැනි ග්‍රාම නාමයන් ඇතිවීමටද කිසියම් හේතු සාධක අවශ්‍යය.


යක්ෂ ගෝත්‍රික රාවණාගේ පරම්පරාවේ රජවරු විජයාගමනය නොකීම මෙරට පාලනය කර ඇත. කැලණිය නාගදීපය, මහියංගණය යක්ෂ ජනපද විය.
ප්‍රාග් ​ඓතිහාසික යුගයේ සිට විජයාගමනය දක්වාම ලංකාවේ ජාතික කොඩිය වශයෙන් භාවිතා වී ඇත්තේ රාවණා කොඩියය. විජයාවගමනයෙන් පසුව සිංහ ධජය භාවිතයට ආවත්, රුහුණු, මායා, පිහිටි යනුවෙන් හෙළදිව බෙදීගිය පසුවද ස්වදේශිකත්වය රැකගැනීමට රාවණා ධජය සමත් වී ඇත. කලක් එය කොත්මලේ දිසා කොඩිය බවට පත්ව තිබුණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමයේදී එය හේවාහැට කොඩිය බවට පත්විය.


පර සතුරන්ට විරිදුව යුද පවුරු බැඳ
හේවාහැට වලපනේ කොත්මලේ ​සොඳ
සිංහල සෙනඟ රාවණ කොඩිය යට හිඳ
රණකෙළි පෑ අයුරු කෙතරම් ලස්සනද
රාවණ කොඩිය හෙළ දිව ජාතික කොඩිය
සිංහලයේ දස්කම් පෙන්වූ කොඩිය
උඩරට රදලවරු පණ සේ රැකි කොඩිය
පෙරමුණ රැගෙන යමු අද රාවණ කොඩිය


හෙළදිව ඉපැරණි ධජය බවට පත්ව තිබූ රාවණ ධජය කන්ද උඩරට දිසා ධජය හා ප්‍රාදේශීය ධජය ලෙස බැබලෙමින් තිබූ බව එම ජනකවි තුළින් පැහැදිලි වෙයි.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ එනම් අතීතයේ, කොත්මලේ දිසාවෙහි රාවණ කොඩිය ගුරු පැහැති පසුබිමකින් යුත් තීරුවක් වැනි වූ උස් කොඩියකි. එහි තද කහපාට රේඛාවලින් රාවණ රජුගේ රුව සිත්තම් කොට ඇත. හිසෙහි ඔටුන්නකි. වම් අතෙහි දුන්නකි. දකුණු අතෙහි ඊතලයකි. රාවණා රජු උත්තුංග දේහ විලාශයෙන් සිටගෙන සිටියි. රුව දෙපස හිරු සහ සඳු ලකුණු කොට ඇත. මුළු ධජයේම බෝඩරයෙහි පලාපෙති මෝස්තරයකින් සමන්විතය. ඌව ප්‍රදේශයේ රාවණ ධජයේ විදහා දැක්වෙන්නේ දුනු ඊ අමෝරා සතුරන් සමග සටනට සූදානමින් සිටින රාවණා රජුගේ විලාසයකි.


මේ සියලුම තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ රාවණා හුදු මනඃකල්පිත කතාවක් නොවන බවය.


රාමායනයහි සඳහන් මෙම නිගුච්හීල අසල කාමච්චි නම් දෙවඟන වෙනුවෙන් කැප කරන ලද දේවාලයක් ඉතා ඈත අතීතයේ තිබී ඇත.


කාමච්චියගේ දේවාලය පිහිටි අඩවිය, කාමච්චෝඩය යනුවෙන් හැඳින්වෙන්නට විය.


සීතා සොයා පැමිණි රාම කුමරුව, රාවණා රජු විසින් අත්අඩංගුවට ගෙන බිලිදීම සඳහා මෙම නිගුච්භීල අසල රඳවා තිබූ බවත්, හනුමාන් යෙදූ උපක්‍රමයකින් රාමකුමරු පණ බේරාගත් බවත් පැරණි ජනප්‍රවාදවල සඳහන් වෙයි.


පසුකාලයක මෙම කාමච්චි දෙවොල සහ නිගුච්භීල විල මුහුදට බිලිවී ඇත. සමහර ධීවරයන් පවසන්නේ කාමච්චෝඩය අසල මුහුදේ පත්ල අමුතුම රත් පැහැයකින් දිස්වන බවය. නිසි පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණයක් සිදුකළහොත් රාවණා යුගයේ නිගුච්භීල අසල පිහිටි කාමච්චි දෙවඟනගේ දෙවොලේ නටඹුන් සොයාගත හැකි බවය.
සමහරුන් පවසන්නේ මීගමුව කාමච්චෝඩයේ අතීතයේ පැවැතියා යැයි පැවසෙන කාමච්චෝඩ දෙවොල ප්‍රාග් ඓතිහාසික යුගයේ, මායා රට විසූ නායිකාවක වෙනුවෙන් කැපවූ එකක් බවය.


තවත් සමහරු පවසන්නේ කාමච්චි යනු රාවණා රජුගේ තවත් සොහොයුරියක බවය.


මීගමුව කාමච්චෝඩයහි දැවැන්ත නුග ගස සමීපයෙහි ඇති නූතන කාමච්චි දෙවොලෙහි ප්‍රධාන පූජා භාණ්ඩ අතර ඉපැරණි ත්‍රිශූලයක්, දේවතාවියකගේ පිළිමයක් ඇත. එම පිළිමයහි එක් අතක උක් ගසක් සහ අනික් අතෙහි ගිරවෙකු දක්නට ලැබේ.


එම දෙවොල භාර කුරුක්කල්වරයා පවසන්නේ එය පත්තිනි මෑණියන්ගේ පිළිමයක් බවය.


දරුවන් නැති කාන්තාවන් දරු පල ලබාගැනීම සඳහා භාරවීමට එම දෙවොලට එන බවය. ජූලි මාසයේ එහි ප්‍රධාන උත්සව පැවැත්වෙයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය ලංකාවේ ඇති එකම කාමච්චි දෙවොල බවය. ඉන්දියාවේ කාංචිපුරම්හි එවැනිම දෙවොලක් ඇත.


නමුත් ඉන්දියාවේ කාංචිපුරම්හි දේවාලය කැපකර ඇත්තේ කාමච්චි දෙවඟන වෙනුවෙන් නොව, කාමක්ශි දෙවඟන වෙනුවෙන්ය. දේව පුරාණයහි දැක්වෙන ලෙස කාමක්ශි ශිව දෙවියන්ගේ බිරිඳය. ඇයගේ දෙඅත්හි ඇත්තේද උක් දණ්ඩක් සහ ගිරවෙකි.

 

 


පීටර් කැනියුට් පෙරේරා