ඉඩකඩම් ප්‍රශ්නෙන් මහමගට වැටුණු මාග්‍රට් අම්මා


මහළු මඩමේ තනිවුණු ඈ අපේ  අම්මාය   

 

 

බලාපොරොත්තු නොවුණු පරිදි සිදුවෙන දේවල් බොහෝය. කොයිතරම් හීන තිබුණත්, සමහර විට ඒ සිහින දිනාගත්තත් නොහිතන පරිදි සියලු දේ කැඩී බිඳී විනාශ වී යයි. උදේ සිට රෑ වෙන තුරු, ගලින් ගල තනා හැදූ තමන්ගේ නිවසේ නිදහසේ මැරෙන්නට නැතිව මහලු මඩමෙන් ජීවිතය අවසන් කරන කතා අපට හමුවේ. මුළු සේසතම වියදම් කර ඉඩම් පවා විකුණා දරුවන්ට ඉගැන්වූ පසු උගත් දරුවෝ මවුපියන් අත හැරි අඳුරු කතා වැඩිහිටි නිවාසයේ බිත්ති හතරට කොටු වී තිබේ. ඒ දුක් සුසුම් බොහෝ භයංකාර ය. සසර බියකරු බව පසක් කරයි.   


ලෝකය දුක මත පිහිටා ඇති බව බුද්ධ දේශනාවයි. ඒ දුක, සෝ සුසුම මිහිපිට දකිනවා නම් ඇත්තටම වැඩිහිටි නිවාසය ඊට ගැළපෙන තැනකි.   


ජීවිතයේ සැඳෑ සමය වැඩිහිටි නිවාසයක හුදෙකලාවේ ගෙවීම, බලා හිඳීම, බලාපොරොත්තුව, තනිකම, දුක මේ සියලු දේ තබා නිහඬව ජීවිතය අවසන් කරන ඒ අම්මලා සොයා අදත් ආවෙමි. අද මගේ කතාව වෙනත් පළාතක සිට ය.   


හොරණ ‘කුඹුක් සෙවණ වැඩිහිටි නිවාසය’ සහ කොට්ටාවේ ‘මවුපිය උපහාර මන්දිර’ වැඩිහිටි නිවාසය යන දෙකේම ප්‍රධාන පාලක ඩී. එම්. එස්. දිසානායක මහතා සමග වයෝවෘද්ධ මවුපියන් හමුවට යෑමේ අවස්ථාව මට උදා විය.

   
මේ නිවාස දෙකේම වයස්ගත අම්මලා පනහක් පමණ සිටිති. වේලාව දවල් දොළහට ආසන්නව ඇත. ඔවුන්ට ආහාර බෙදමින් සිටින මොහොතකි. මම එක් අම්මා කෙනෙකු ළඟට කිට්ටු වීමි.   


ඇය මා දෙස මොහොතක් බලා සිටියාය. බැලූ බැල්මට පැහැපත් වගේම බොහෝ නිවුණු හදවතක් ඇත්තියක් බව දැනේ. මොහොතක් බලා සිට ඒ අම්මා,   
“මටත් පුතා වගේම දරුවො ඉන්නවා. එයාලා හොඳට ඉගෙන ගත්තා. ඒ අය ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මටත් කෝල් කරනවා” ඇය කීවාය.   
ඉනික්බිති ඈ අතට ගත් බත් පිඟාන බලා සතුටින් සිනාසුණාය.   


“මට මේ බත් පිඟාන සතුටින් කන්න පුළුවන් මොකද දන්නවාද ?”   
ඇය මගෙන් විමසුවාය.   
“දන්නෙ නෑනේ අම්මේ...” යි මම යළිත් කීවෙමි.   


“පුතේ.... මගේ දරුවො සතුටින් ඉන්නෙ. එයාලට කෑම බීමෙන් අගහිඟයක් නෑ. ඒ හින්දා මම මේ කන බත් ටික සතුටින් කන්න පුළුවන්. ඒ වාසනාව මට තියෙනවා. මගේ දරුවන්ට කන්න නැත්නම් කොහොමද පුතේ මම මේ බත් ටික සන්තෝෂයෙන් කන්නෙ..”   
ඇය කී කතාව හදවත පාරන්නකි. ඇත්තටම අම්මලා එහෙමය. දරුවෝ මොන දේ කළත් අම්මලා හිතන්නේ දරුවන්ගේ යහපත ගැනය. දරුවෝ බඩගින්නේ නම් නිවාසයේ හිටියත් බත් පත ගිලෙන්නෙ නෑයි ඇය කීවේ අපට තේරුම් ගන්නට මහා කතාවකි. ඒ වචන කීපය තුළ අම්මා කවුදැයි ඇය අපට පසක් කළාය.   
කැස්බෑවේ අහස යටින් ලියැවෙන අද කතාව මාග්‍රට් අම්මාගේ . මාග්‍රට් අම්මාට දැන් වයස අවුරුදු 58 කි. මාග්‍රට් අම්මා ඉඩකඩම් වතුපිටි ඇති හොඳ ආර්ථික හයියක් තිබුණු පවුලක කෙනෙකි. ඇගේ ස්වාමිපුරුෂයා අවුරුදු 35 කට පමණ එහා දී මියගොස් ඇත.   


“මට හිටියේ එක පුතායි.. එයා උසස් පෙළ පාස්වෙලා, පුද්ගලික අංශයේ ආයතනයක රැකියාවක් කළා. මහත්තයා මියගියාට පස්සේ ගෙදර හිටියේ මමයි, පුතායි විතරයි.   
අපට ඉඩම් අක්කර එකහමාරක් තිබුණා. හොඳට ගේ දොර තිබුණා. කරදරයක් තිබුණේ නෑ. සන්තෝෂයෙන් හිටියා.   
පුතාට, උදේට උයලා පිහලා, බත් බැඳලා දෙන එක මගේ සිරිතක් වුණා. උදේ වැඩට ගියාම පුතා නැවත එන්නේ ගොඩක් රෑ වෙලා. එහෙම එද්දිත් පුතාට බත් උයලා තියලා පුතා එනකල් ඇහැරිලා බලන් ඉන්නවා. එයා දැනගෙන හිටියා කවදා හරි අම්මට සලකන්න ඉන්නෙ එයා විතරයි කියලා.   
“මම අම්මාව බලා ගන්නවා. අම්මාට ඕනෑ හැමදේම මට කියන්න..” මගේ රත්තරං පුතා නිතරම කිවුවා.   


“මට මොනවද පුතේ ඕනෑ. උඹ හොඳ විවාහයක් කරගෙන හොඳට ඉඳින්. මට ඒ ඇති.” ඒ හැමදාම මම එහෙමයි කිවුවේ.   
මේ විදියට කාලය ගෙවිලා ගියා. ටික දවසක් යද්දි පුතා කාටදෝ ආදරය කරන බව මම දැන ගත්තා. එයා රෑට ඇවිත් දුරකතනයෙන් පැය ගණනක් කතා කර කර ඉන්නවා. රෑට කන්න ගියත්, කටට දෙකට කාලා ෆෝන් එකේ.   
ඉතින් මම කිවුවා..   


“පුතේ, උඹේ කල වයසත් දැන් හරිනෙ. ඔය ඉන්න දැරිවි ගැළපෙනවා නම් කරල දාමු කියලා.   
පුතා ඉතින් මට විස්තර කිවුවා. හඳහන් එහෙමත් බැලුවා. හඳහන්වල ගැළපීමක් තිබුණේම නෑ. මේක කරන එක අසුබයි කියලා තමා කියැවුණේ. මම ඒ ගැන පුතාට කිවුවා. මගේ හිතේ අකමැත්තක් තියෙන්න තවත් හේතු තිබුණා. ඒ ගෑනු දැරිවි අපේ පවුලට යම් යම් නොගැළපීම් තිබුණා.   
එ්ත් මහත්තයෝ දැන් කරන්න දෙයක් නෑ. පුතා කැමති කෙනානේ. මම ඉඩ දීලා හිටියා.   
මේ විදියට තවත් කාලයක් ගෙවිලා ගියා. කවදාවත් බීපු නැති පුතා වැඩ ඇරිලා එද්දි ටික ටික බීලා එන්න පුරුදු වුණා. එයා ඇවිත් රෑටත් නොකා, වෙනදාවගේ පැය ගණනක් කෝල් නොකර නිදා ගන්නවා. ආයෙත් උදේ නැගිටලා වැඩට යනවා.   


මම ඇහුවා පුතේ දැන් අර ගෑනු දැරිවි එක්ක සම්බන්ධෙ නැද්ද කියලා   
පුතා නම් කිවුවේ, ඒ හැම වෙලාවෙම ‘තියෙනවා අම්මෙ’ කියලා.   
කොහොම හරි දෙන්න අතර ගැටලුවක් තියෙන බව, බහින්බස්වීම්වලින් මට දැනුණා. ඒ මොනවා තිබුණත් මගේ පුතා මට සස්ටජන් එකක්, ගෙදර පහේ එහෙමත් ගේනවා. මගේ පොඩි අසනීපවලට දොස්තර මහත්තයා චැනල් කරලා පෙන්වනවා.   
දවසක් උදේ නැගිටිද්දි ඇස් අදහාගන්න බැරි දෙයක් වෙලා තිබුණා.   


මාග්‍රට් අම්මා මඳක් කල්පනාවට වැටුණාය. ඇය යළි නැගිට්ටේ කඳුළු මතිනි. කඳුළු බිංදු වේගයෙන් ගලා යයි. කඳුළුවලට සද්දයක් තිබුණා නම්, ඒ සංවේදී බව කොතරම්දැයි හඬක් නැගෙනු ඇත.   


උදේ මම පුතාට වැඩට යන්න බත් එක උයලා පුතා එනකල් බලාගෙන හිටියා. එයා අවදිවෙලා ආවේ නෑ. පරක්කු නිසා කාමරය ළඟට ගිහින් කතා කළා. සද්දයක් නෑ. අඩවල් කරපු දොර ඇරලා බලද්දි,   


’‘දෙවියනේ, මේ මොකද ? මම මහා හයියෙන් කෑ ගහල ඇඬුවා. එච්චරයි මතක.   
පුතා ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන තිබුණා.   
අවසන් කටයුතු ඉවර වුණාම පස්සෙ මම ගෙදර තනි වුණා. දැන් මොකද කරන්නෙ. මට හිතා ගන්න බෑ. මෙහෙම ඉද්දි මගේ බාල සහෝදරයා අපේ ගෙදරට නිතර ආවා ගියා මාව බලලා යන්න.   


“මම අක්කා බලන්න ආවා..” කියලා එළවළු පහේ කිරි පිටි අරන් මලයා එනවා. කොහොම හරි මාව බලන්න ආවේ එයා විතරයි.   
පස්සෙ බාල සහෝදරයා කියනවා මම අක්කව බලා ගන්නම් මැරෙනකල් මේ දේවල් ඉතින් එයාට ලියන්න කියලා.   
“මහත්තයෝ කොහොම අවිශ්වාස කරන්නද ? එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයනේ. මම කිවුවා හරි මල්ලියේ මම මේ ඉඩම් කඩම් උඹලට ලියන්නම්. මාව මැරෙනකල් බලාගනින් කියලා. අන්තිමට අසරණ වෙලා හිටපු මම අක්කර ගාණනක ඉඩම් මල්ලිට ලිවුවා.   
ඔහොම කාලයක් යනකල් එයා මම ගැන බැලුවා.   


“ඊට පස්සෙ වෙච්ච දේ දන්නවාද ?” මාග්‍රට් අම්මා මා දෙස බලා විමසුවාය.   
“මල්ලි ඒ ඉඩම් වික්කා. දැන් මොකද වුණේ. පොඩි ගාණක් මගේ පොතට දැම්මා... මම මල්ලිගෙ ගෙදර නතර වුණා. එහෙ ප්‍රශ්න වැඩියි මහත්තයෝ. මල්ලිගෙ දරුවො ඉන්නවා. ඒ අය බැඳලා මට එහෙ ඉන්න බැරි පරිසරයක් උදා වුණා. මම දැන් කල්පනා කළා. මොකද කරන්නෙ කියලා.   
ලක්ෂ කීපයක් දාපු පොතක් මට තියෙනවා. එච්චරයි. මට මගේ සුදු පුතාත් නෑ, අන්තිමේ හිටපු ගේ ඉඩමත් නෑ.   
මහ පාරට බහින්න දහස්වරක් කල්පනා කළා. මොකද ඉතිරි වුණේ, මානසිකව නිදහසේ ඉන්න ඕනෑ නම් අඩුම ගණනේ මහ පාර හෝ තෝරා ගන්න එකයි. එහෙම ඉද්දි තමයි මොකක් හෝ පෙර කළ පිනකට මේ වැඩිහිටි නිවාසය මට හමු වුණේ.   


ඒ ගැන දැනගත්ත ගමන් මම නිවාසයට ආවා. දැන් ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම සතුටින් ඉන්නවා මහත්තයෝ.   
මේ නිවාසය ඇතුළේ ගොඩාක් අය දුකින් ඉන්නෙ. ඒත් ගෙදරක ඉඳන් හැමදේම නැතිවුණු මට මේ නිවාසය ගොඩාක් වටිනවා.   
මෙතැන හමු නොවෙන්න, මම මේ වෙද්දි මහ මඟ මියැදිලා.   


“සමහර වෙලාවට අපි දරුවො හදලා, ඒ අය අපට සලකාවි කියලා හිතා ඉන්නවා. එහෙම හිතන්න එපා. අපි මවුපියන් හැටියට තේරුම් ගන්න ඕනෑ. ‘අහිමි, නොලැබෙන දෙයක් හදිසියේ හරි වුණොත් ඒකට කොහොමද මුහුණ දෙන්න ඕනෑ කියලා. ඒකට සූදානම් වුණොත්, මම හිතන්නේ ඊළඟ ආත්ම භවය අපට හරියට සකස් කර ගන්නට පුළුවන්.” ඇය කීවාය.   


ඇගේ පණිවුඩය මහා දැනමුතුකමකි. ලැබීම නොලැබීම කෙසේ වෙතත්, ඕනෑම අහිමි වීමකට හිත හයිය නම් ඊට වඩා හයියක් තවත් කොයින්ද ?   
(නම් ගම් මනඃකල්පිතය.)   


ස්තූතිය : කොට්ටාව ‘මාපිය උපහාර මන්දිරය’ වැඩිහිටි නිවාසය සහ හොරණ ‘කුඹුක් සෙවණ’ වැඩිහිටි නිවාසයේ’ ප්‍රධාන පාලක, ඩී. එම්, එස්. දිසානායක මහතාට.  

 

 

සටහන: අසංක ආටිගල