ඈත විශ්වයට යාහැකි තාරකා දොරටු ගැන එෆ්.බී.අයි. හෙළිදරව්වක්


විශ්වයේ එක් තැනක සිට තවත් තැනකට යෑම පහසු දෙයක් නොවේ. මිනිසාට යා හැකි ස්ථානයක් වේ නම්, ඒ සඳට පමණි. සඳ තරණය කළේ ඇමෙරිකාව ය. 1969 ජූලි 20 වැනිද‌ා, නාසා ආයතනය දියත් කළ “ඇපලෝ 11” ගගන මෙහෙයුම යටතේ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳට පය තැබුවේ “මිනිසකුට මේක කුඩා පියවරක්. ඒත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්” යැයි කියමිනි.   

ඇපලෝ 11 ත් ඇතුළුව ඇපලෝ මෙහෙයුම් 6ක් යටතේ සඳ තරණය සිදුවිය. කෙසේ නමුත් මිනිසා සඳට නොගිය බවත්, සඳ තරණය කළා යැයි බොරුවක් කරමින්, නිරවි යුද සමයේ දී සෝවියට් රුසියාව පැරැදූ බවටත් මතයක් පවතී. වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකාව අතීතයේ කළාක් මෙන් යළිත් වරක් අභ්‍යවකාශ තරණයට සූදානම් විය යුතු බවත්, ඉදිරි වසර ඇතුළතදී යළි සඳට ගගනගාමීන් යැවිය යුතු බවත්ය. එපමණක් නොව, අඟහරු ග‍්‍රහයාට මිනිසුන් යැවීම කෙරෙහි ද පෘථිවි විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී අවසන්ය.   


සඳ තරණය මෙන් නොව, “රතු ග‍්‍රහයා” හෙවත් අඟහරු තරණය පහසු නොවේ. ඒ, රොකට්ටුවකින් අඟහරු යන්නේ නම්, ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගත වීමත්, ගගනගාමීන්ට කායික සහ මානසික වශයෙන් එවැනි ගමනක් ඔරොත්තු නොදීමත් යන්නය. එපමණක් නොව, අඟහරු යෑමට තවමත් ප‍්‍රබල රොකට්ටු විද්‍යාඥයන් නිර්මාණය කර නැත.   


විශ්වයේ එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් යා හැකි ක‍්‍රමයක් ඇතිනම් සියල්ල වෙනස් වෙයි. බොක්ස් ඔෆිස් වාර්තා තබමින්, 1994 වසරේ තිරගත වුණු “ස්ටාර්ගේට්” චිත‍්‍රපටය අතිශය ජනප්‍රිය විද්‍යා ප‍්‍රබන්ධයකි. මෙය හොලිවුඩයේ කීර්තිමත් අධ්‍යක්ෂකවරයකු වන රෝලන්ඩ් එමර්රිච්ගේ අධ්‍යක්ෂණයකි. හොලිවුඩ් ජනප්‍රිය නළු කර්ට් රසන් ප‍්‍රධාන චරිත නිරූපණය කළ “ස්ටාර්ගේට්” චිත‍්‍රපටයේ ජනප්‍රියත්වය සහ සාර්ථකත්වය සමඟ “ස්ටාර්ගේට් එස්.ජී. 1” යන නමින් රූපවාහිනී කතාමාලාව ආරම්භ විය. 1997 වසරේ සිට 2007 තෙක් මෙය පුංචි තිරයේ විිකාශය විය. “ස්ටාර්ගේට් එස්.ජී. 1” කතාමාලාවට සමගාමීව, ස්ටාර්ගේට් ඇට්ලැන්ටිස්, ස්ටාර්ගේට් යුනිවර්ස් ආදී වශයෙන් තවත් නවතම කතාමාලා කිහිපයක් ද පුංචි තිරයට පැමිණියේය.

මේ සියල්ල අතිශයින් ජනප්‍රිය විය. දැන් 1994 වසරේ තිරගත වුණු “ස්ටාර්ගේට්” චිත‍්‍රපටයට පාදක වුණු සිදුවීම් මාලාවට පෙර සිදුවුණු සිදුවීම් මාලාවක් ඇසුරින් “ස්ටාර්ගේට් ඔරිජින්ස්” නමින් තවත් ස්ටාර්ගේට් කතාමාලාවක් තව නොබෝ දිනකින් පුංචි තිරයට පැමිණීමට නියමිතය. “ස්ටාර්ගේට්” චිත‍්‍රපට සහ රූපවාහිනී කතා සඳහා පාදක වී ඇත්තේ “අයින්ස්ටයින් රෝසන්” තාරකා දොරටුවේ සංකල්පයයි. 

 

 

 

“ටාර්සන්” චරිතය මැවූ ඇමෙරිකන් ලේඛක එඩ්ගාර් රයිස් බරෝස් ලියූ “ප්‍රින්සෙස් ඔෆ් මාර්ස්” (අඟහරු ලොවේ කුමරිය) කථාවට පාදක වන්නේ එවැනි විස්මිත ගමන් මාර්ගයක් ගැනය. “ප්‍රින්සෙස් ඔෆ් මාර්ස්” කතාවේ වීරයා පෘථිවි වාසියකු වන ජෝන් කාටර්ය. ජෝන් කාටර්ගේ වික‍්‍රමය සිනමාවට ද නැගී ඇත. ජෝන් කාටර් පෘථිවියේ සිට රතු ග‍්‍රහයා වන අඟහරු යන විස්මිත ගමන් මඟ “වර්ම්හෝල්” යනුවෙන් තාරකා විද්‍යාඥයෝ හඳුන්වති. “වර්ම්හෝල්” මාර්ග හරහා ක්ෂණිකව විශ්ව තරණය කළ හැකිය. විශ්වයේ එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් යා හැකි මෙම ගමන් මාර්ගය “ස්ටාර් ගේට්” (තාරකා දොරටුව, සක්වළ දොරටුව, තාරකා යතුර) යන නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාඥයන් අතරේ ඇති “ස්ටාර් ගේට්” සංකල්පය හුදෙක් න්‍යායක් පමණක් වුවත්, එය ශ්‍රී ලංකාවේ අපට ද ආගන්තුක නොවන බව පැවැසෙයි.   


ලොව විවිධ රටවල පැරැන්නන් “ස්ටාර් ගේට්” එසේත් නැතිනම් “තරු දොරටු” භාවිත කරමින්, විශ්වයේ ග‍්‍රහලෝක අතරේ තරු අතරේ ගමන් බිමන්වල යෙදුණු බවටත්, “මැවුම්කරුවන්” හමුවුණු බවටත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් “එෆ්.බී.අයි.” එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. මෙම සාක්ෂි ලැබී ඇත්තේ ඇමෙරිකාවෙන් පමණක් නොව, ලොව නන්දෙසිනි. පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍රයට සැඟවිලා විශ්වයට විවර වුණු “දොරටු” ඇතැයි නාසා ආයතතය පවා අනුමාන කරයි. ඒ අනුව පැරැන්නන් විසින් හඳුන්වාදී ඇති “තරු දොරටු” හුදෙක් මිථ්‍යාවක් නොව යථාර්ථයක් විය හැකි බවට සැකයක් පහළ වී තිබේ. “එෆ්.බී.අයි.” වාර්තාවේ මේ බව සඳහන් වෙයි.   


ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ, හයු මර්කාහි නමැති පුරාණ නගරයේ වැසියන් “දෙවියන්ට විවර වුණු දොරටුව” යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙවැනි තරු දොරටුවකි. හයු මර්කා තාරකා දොරටුව ගැන පළමුවෙන් අනාවරණය වී ඇත්තේ 1996 වසරේදී හෝසේ ලුවිස් දෙල්ගාඩෝ මමානී නමැති සංචාරක මඟ පෙන්වන්නාය. “ස්ටාර්ගේට්” විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයටත්, රූපවාහිනී කතා මාලාවටත් පාදක වන්නේ ඊජිප්තුවෙන් හමුවන තරු දොරටුවකි. කෙසේ නමුත් මිසර වැසියන්, පාරාවන් තරු සහ ග‍්‍රහලෝක සමඟ සුවිශේෂී බැඳීමකින් පසුවුණු පිරිසක් බව පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කරගනු ලැබ තිබේ. ඊජිප්තුවේ අබු ගුරාබ්හි “දෙවියන්ගේ මාලිගය” නමින් හැඳින්වෙන අබු සර් පිරමීඩ ආශ්‍රිතව ද තරු දොරටුවක්‍ පිළිබඳ ශේෂ වුණු සාක්ෂි හමුවී ඇතැයි පැවැසෙයි.   


ඇමෙරිකාවේ මිචිගන් විල ආශ්‍රිතව පිහිටා ඇති පුරාණ ගල් කණු ගවේෂණය කළ විද්‍යාඥයන්ට වසර 9,000 ක් පැරැණි සාක්ෂි හමුවී ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. එංගලන්තයේ විල්ට්ෂයර් පළාතේ ඇති ස්ටෝන්හෙන්ජ් ගල් කණු ද විශ්වයට විවර වුණු දොරටුවක් යැයි පිළිගන්නා විද්වතුන් බොහෝ සිටින බව එෆ්.බී.අයි. පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. පුරාණ සුමේරියානු වැසියන් තරු දොරටු ගැන විශ්වාස කළ බව ඉතිරි වුණු නටබුන් අතර ඇති රූපාක්ෂරවලින් හෙළි වී තිබේ. සුමේරියානු වැසියන්ගේ සංකේතය වන්නේ සුමේරියානු දෙවියකු ඔහුගේ ලෝකයේ සිට දොරකින් අපේ ලෝකයට පැමිණෙන අයුරුය. බොලිවියාවේ ටියවනාකා නටබුන් පුරයෙහි දකින්න ලැබුණු “හිරුගේ දොරටුව” ද තරු දොරටුවක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ටියවනාකා නගරයේ දකින්න ලැබෙන්නේ ගලින් කළ නිර්මාණය. මේවා පාස්කු දූපතේ ගල් පිළිමවලට සමාන යැයි ද පැවැසෙයි. නගරයේ ඇති ගල් කණු, ගල් බැමි, ගල් පිළිම හා කැටයම් වසර 7,000කට වඩා පැරැණි යැයි ද පැවැසෙයි. ලොව පැරැණිතම නගරය ටියවනාකා විය හැකි යැයි අනුමාන කෙරේ.   

 

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න